..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, August 20, 2012

අම්මා

අම්මා

ගවුමට උඩින් ඇද ගත් වීත්තයේ කොණක් උස්සා ඉනේ ගසා ගත් අම්මා , ඉනට හිරකර ගත් පොල් අතු ටික හැකි වෙර යොදා දියෙන් ගොඩට අදින්නට වූවා ය. පොල් අතු අස්සේ දැවටී ගොඩට එන ඉස්සන් දැකීමට ආසා කළ මම එදෙසට දිව ගියෙ මි.

දැනට දින දෙක තුනකට පෙරාතුව ගං ඉවුරේ උණ පඳුරේ ලණු පොටකින් ගැට ගසා ඟඟට දැමූ පොල් අතු අම්මා ගොඩට අදින්නේ ඒවා පදම් වීමට දුන් කාලය ප්‍රමාණවත් බව අත්දැකීමෙන් දැනගෙන බව මට තේරුම් ගන්නට එවක නොහැකි විය.

" මේ ළමයා. . . . එන්නයි කීවේ ගොඩට. කියන දේ අහන්න කො වස්තුවේ.... "

අම්මා කෑගැසුවත් , ඇයගෙන් මගේ මේ ක්‍රියාවට කිසිවිටක බලවත් විරෝධතා මතු නොවනා බැව් දන්නා මම ඇයගේ වදන් නෑසුනාක් මෙන් ඇය ගොඩට අදිනා පොල් අතු අස්සේ ඔවුන් සොයන්නට වීමි.

නිල් කොට කලිසමේද මඩ ඉහෙන්නට වූවත් අම්මා ගොඩ දාන පොල් අතු අස්සේ ඉන්නා පුංචි ඉස්සො පැටවු අල්ලා උන්ගේ හැඩ බලා ඇති වූ පසු නැවතත් දියඹට අතෑරීම සිතට ප්‍රීතිය ගෙන එන කටයුත්තකි.

අම්මා පොල් අතු සියල්ල ගොඩට ඇද ගත් පසු මගේ සෙල්ලම ද නිමාවට පත් වෙයි. පොල් අතු නිවහන කරගෙන ගැඹුරු දියබට බයෙන්  සිටි ඉස්සො පැටවු දියෙන් පිටට පනිමින් මට ටටා දිදී යන්නට ඇතැයි මට සිතේ.

දිනක් මේ වග පාසලේ දී කියූ විට , පාලිත පැවසු කතාවක් මට සිහිවේ.

" අයියෝ . . .  බොලා හරිම මෝඩයි. යකෝ ඉස්සො ටික අල්ල ගන්න අනිත් දවසෙ භාජනයක් අරන් පලයන්. උයල කෑවම මාර රසයි "

ඉන් පසු දිනේ පාලිත ගේ උපදෙස් ක්‍රියාත්මක කිරිමට ගොස් හොඳ හැටි ගුටි කන්නට මට සිදු විය. කොහෙන් දෝ කඩා ගත් කෝටු වකින් අම්මා " ක්‍රීස් . . !! ක්‍රීස් හඬින් පහර දුන් හැටි සිහිවන විට පවා පිට හිරිවැටී යයි.

" මොකක්ද පවු කාරයෝ ඔය කරන වැඩේ. හිටපන් මම අද උඹට . . . . . "

හවස් වන විට පිටේ ඉලිප්පී ආ තුවාල පහරවල් වල වේදනාව දැනුනේ මට නොවේ ඇයටය. ඇය මා ළඟට ගෙන හඬමින් මගේ පිටේ තෙල් ගෑවෑ ය. අප්‍රමාණ සෙනෙහසින් හිස සිඹිමින් මට දොස් කීවාය. මා වෙනුවෙන්ම රසට පිසූ මූදු මාළු ඇය ඇගේම අතින් අනා මට කැවුවා ය.

" අම්මා . . . . "

" ඇයි මයෙ වස්තුවේ "

" අම්මා . . . . පොල් අතු අස්සෙ ඉන්න ඉස්සො අල්ලල උයල කනේක පවු ද අම්මා "

" ඔවු මයෙ මැණික. ඒකනෙ මම මෙච්චර වෙලා ඔයාට කීවේ රත්තරනේ "

" අම්මා . . . "

" ඔවු මයෙ පුතේ "

" මූදෙ මාළු උයල කන්න පවු නැත . . . . . .! ! ! "

" හා හා . . . . පණ්ඩිත කතා නවතලා. . .  මේ බත් කට කන්න "

එදා සිට තවමත් මා ඇගේ පසු පසින් පොල් අතු ගොඩ දෑමට ගඟට ගියත් , පාලිතගේ උපදෙස් නම් පිළිපැදීමට නොගියෙ මි.

අම්මාගේ අමාරුවෙන් පොල් අත්තක් ඉල්ලා ගන්නා මා ඇයත් සමඟින් ද , විටෙක ඇය පසු කර වේගයෙන් දුවමින්  ද , තවත් විටෙක ඇයට පිටුපසින් ද ඇගේ අඩි පාරේම පොල් අත්ත ඇද ගෙන යමි.

" මොන ද ළමයෝ . . . . . ! ! ! ! කිවුවම අහන්න මැණික.ඔයාට බෑ ඕවා.

පොල් අතු සියල්ල ගේ මිදුලට රැගෙන ආ පසු ඇය පොල් අතු බිම දෑමීමටත් ප්‍රථමයෙන් මා ගෙනා පොල් අත්ත මඟ දමා මහ ගෙයට පිටින් ඇති මැටි කුස්සිය තුලට දුවන මා මන්නා පිහිය රැගෙන විත් ඇය ට දෙන්නේ , ඇයට මා කරනා උපකාරයක් ලෙසිනි.

" මන්නෙත් එක්ක දුවන්නෙපා ළමයො. කොච්චර කීවත් වැඩක් නැහැ. නපුරු තැනක වැදුනොත් කාට කියන්නෙයි "

ඇය එසේ කීවත් මා හතිදමමින් දිව විත්  අම්මාගේ අතේ තබන මන්නා පිහිය ඇය ගන්නේ මගේ හිස ද අතගාමිනි.

ඇය මන්නා පිහියෙන් පොල් අත්ත සීරුවෙන් දෙකට බෙදන්නී ය. පොල් අත්ත මුල සිට අග තෙක් කිසිදු එහා මෙහා වීමක් නොමැති ව ඇය එය සිදු කරනා සැටි බලා සිටින්නට හරිම අගේ ඇති වැඩකි.

ඉන්පසු ගේ මිදුලේ ‍පසු පසට වන්නට සෙවන තැනක් සොයා ගන්නා අම්මා , ඇණ ගසා ගෙන බිම වාඩි වෙන්නේ අපූරු ලතාවකටය. ඇගේ එක් කකුලකට සිරවෙන පොල් අත්ත මැසිමක මෙන් සීරුවට ඇගේ දකුණු පස සිට වම් පසට යයි. ඇගේ ඇඟිලි සීරුවට එහා මෙහා යයි. විටෙක පොල් කොළයක් කඩා විසි කරන ඇය තවත් විටෙක මට කියා වෙනත් අත්තකින් ‍කඩා ගන්නා පොල් කොලයක් එයට අමුණයි.

ඇය වියනා පොල් ‍අතු, ඇය මෙන්ම පිරිපුන්ය , හැඩය ලස්සනය. පොල් අත්ත පිරී එන රටාව ඇය ගේ වත මෙන්ම සුන්දරය.

ඇගේ මුහුණට වැටී ඇති කෙස් රොදවල් ඉවත් කිරිමටවත් ඉසිඹුවක් නොගන්නා ඇය දිගටම වියයි. මා ඇගේ දෑස මානයේ පෙනෙන්නට සිටිනවාදැයි බැලීමට පමණක් විටින් විට හිස ඔසවන ඇය ,දෑතේ ඇගිලි වලට නිවාඩුක් නොදෙයි.

ඇගේ අතින් නිමාවට පත්වන පොල් අත්තක් , ඇය මට හඩ ගසා බාර දෙයි.

" පුතේ. . . .  මැණික. . . . මෙන්න මේකත් අර අව්ව තියන පැත්තට ගිහින් දාන්න ළමයෝ "

ඇය ඉන්නා සෙවන ඉරු රැස් විසින් අරක් ගන්නා විට දී කොන්දට අත තියා මදක් පසුපසට නැමෙන ඇය

" හම්මේ . . . . . ! ! ! "  යැයි හඩ නගමින් මා දෙස සිනා සී බලයි.

" මයෙ පුතාට බඩගිනි ද "  ඇය අසයි. ඇගේ දෑසේ කරුණාව උතුරයි.

නැගී සිටිනා ඇය , මා අව්වට දැමු ,ඇය වියූ පොල් අතු නැවතත් පිරික්සා බලයි.

ඉන් පසු කුස්සියට වදින අම්මා . . . .  ලොව ඇති රසතම කෑම මා වෙනුවෙන් පිසින්නී ය.

නමුත්  . . . .

අම්මා වැන්නවුන් පමණක් සිටිනා ලෝකයක් නොවේ මෙය. . . . . . .


හමුවෙමු තවත් දවසක ......


මම

සොඳුරු සිත


ප:ලි,-  මා ඊයේ ඉතාම දරුණු ලෙස ඇය සමඟ අමනාප වූයෙ මි. මේ ඇය වෙනුවෙන් ම‍ගේ සිතින් සමාව අයදිමක් දෝ සිතෙයි.

23 ප්‍රතිචාර:

බුද්ධි said...

හමුවෙමු තවත් දවසක ......!

හිරු said...

හපොයි... මාත් කොච්චර නං අම්මත් එකක් රණ්ඩු වෙලා තියෙනවද....
ඒවා මතක් කර කර ඉන්න අස්සෙ නේ මේකත් දාලා තියෙන්නේ... මට ඉතිං ඇඩුනා....

hansakinkini said...

හ්ම්!!! අමනාප වෙලා ඉන්ඩ එපා අක්කෙ.. ඒක පස්සෙ කාලෙක හරි වේදනාවක් වෙයි!

අවතාර් said...

matath ohoma wela tiyenawa habei e amanapaya thiyenne paya ganai

නන්ඳු said...

//නමුත් . . . .

අම්මා වැන්නවුන් පමණක් සිටිනා ලෝකයක් නොවේ මෙය. . .//

ආදර උල්පතේ නොසිදෙන දිය කඳ.. අද ඒ අමනාපය හිත අහලකවත් නැතිව ඇති.. ලස්සනයි මේ සෙනෙහසට වියුව රටාව අක්කෙ..

Kathandara Karaya said...

කවද හරි හොඳ අම්මෙක් වෙන්න!

සුදා මල්ලි said...

කියන්න මුකුත්ම නෑ...
දරුවෙක්ගේ හැඟීමයි අම්මගේ හැඟීම්නුයි ඔක්කොම නියමෙටම දැනෙන්න තියෙනවා.. ඒත් මදි අඩු පාඩුවක් උනොත් කියලා.. මෙන්න මේ ටික විතරක් දාන්නම්
වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන්සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විසාකාව වී මෙත් මග නෙත් හමු වේවා
ඇත් රැජිණියනේ ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා.

තිස්ස දොඩන්ගොඩ said...

කතන්දර මහත්තයාගේ මුවේ දමන්ට, වටිනා දෙයක් ලඟ නැත...!!!!

ඉබ්බා said...

ලස්සනයි ඇත්තටම
www.ibba.tk

මාතලන් said...

එහෙම තමයි, රන්ඩු වෙනවා යාළු වෙනවා. අම්මගේ වටිනාකම තේරෙන්නේ. අම්මා අපි ලඟ නැති දවසට.. ඒ නිසා එයාගේ හිත රිද්දන්න එපා එයා වැරදි උනත්..

prasanna86k said...

///" අම්මා . . . "

" ඔවු මයෙ පුතේ "

" මූදෙ මාළු උයල කන්න පවු නැත . . . . . .! ! ! "

" හා හා . . . . පණ්ඩිත කතා නවතලා. . . මේ බත් කට කන්න "/// කොල්ලෝ ඔහොම්මයි... අම්මලව හිර කිරනවා පණ්ඩිත කමෙන්....

මොකද මන්දා මට ආයෙත් සොඳුරු සිත කියවන්න හිතිලා... ලස්සනයි අක්කේ...

බය වෙන්න එපා අම්මලා පුතාල එක්ක තරහා වෙලා අවුරුද්දක් හිටියත් දුවත් එක්ක තරහා වෙලා සතියක් වත් ඉන්න බෑ....!!!

Ravi said...

අම්ම එක්ක අමනාප වෙලා ඉන්න එපා නඟේ.....වහාම ආයෙම යාලු වන්න..එච්චරයි..

Dont worry about having disputes though,...It means she cares about you and you care about her...:) :)

රොබින් said...

අපි කොච්චර තරහ උනත් අම්මලා අපි එක්ක තරහා වෙන්නේ නැහැ ....

Dinesh said...

ලස්සන කතාවක් අක්කේ... හිතට දැනුනා..

Miyuru said...

හරිම සංවේදී කතාවක්...
මමත් ඒ කාලෙ අම්මත් එක්ක තරහ වෙන අවස්ථාවල් ඕන තරම් තිබ්බා.... ඒත් මට වැඩි වෙලාවක් එහෙම ඉන්න පුළුවන් උනේ නෑ කවදාවත්.... අම්මා මං වෙනුවෙන් කරපුවා මතක් වෙන්න පටන් ගන්නවා..... අම්මට නම් මාත් එක්ක තරහ උනාද කියලවත් මතක නෑ....

ගිමන් නිවන්නා said...

ගොඩක් ඉවසීමෙන් ලියපු එකක් කියල දැනෙනව. අම්මල යමක් කියන්නෙ අපේම හොඳටනේ. ඒ වෙලාවට එකට එක කිය වුනත් දිගටම අමනාප වෙලා ඉන්න නරකයි. සොසීට නම් කොහොමත් එහෙම ඉන්න බැහැනෙ නේද! :)

Gimhani said...

අම්මා ගැන හරිම සංවේදී සටහනක් . අම්මල දුලා ලඟ ඉන්න කොට පොඩි පොඩි මත ගැටුම් ඇති වෙනවා ඒත් ඒවා දරුණුවට ගෙනියන්න එපා සොසී . පස්සෙ කාලෙක ඒව මතක් වෙනකොට ලොකු දුකක් ඇති වෙයි .

Sumith Niriella said...

එහෙම අම්මා කෙනෙක් එක්ක "දරුණුවට" අමනාල වීම තේරුම්ගත නොහැක, සමහරවිට දරුණුවට අමනාපවෙන්න නැතුව ඇති.

ඉන්දික උපශාන්ත said...

අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා...

කනියා said...

ඔහොම තමා අක්කේ අම්මලා මේ බනිනවා ටිකකින් කිරි පැනි වගේ

දයානන්ද රත්නායක said...

මේ ලසටහන නම් අති විශිෂ්ඨයි. අම්මා ගැන කොහොම ලිව්වත් ඒක අති විශිෂ්ඨ නිර්මාණයක්ම වෙනවා.

මහගම සේකර "ප්‍රබ්‍රද්ධ" ලියන කොට අම්මා දැක්කේ ඇවිද ළදු දෙනි කැලෑ බිම්වල" කවියේ අම්මා මතක් වුණා.


Rajitha Malaka said...

කාෙලකින් කිෙයව්ව ලස්සන කතාවක්.... හරිම හැගිම් බරයි....

Rajitha Malaka said...

ලස්සන කතාවක්... හරිම හැගිම් බරයි..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...