..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, July 15, 2012

෴අටවක සඳ෴

෴ අටවක සඳ ෴




“ මෙන්න මේක  සඳා අක්ක දෙන්නෙයි කීවා “

හෑනඩ් බ්‍රේක් ඇද , ගස්සා නවතා ගත් සෙල්ලම් වාහනයේ සිටම , නිල් පැහැති පාසල් කොට කලිසමේ සාක්කුවෙන් ඉවතට ඇද ගත් දෙකට තුනට නමන ලද ඇක්සයිස් පොතකින් ඉරා ගන්නා ලද කොළයක් වසන්ත වෙත පාමින් ජයසිරි වසන්තගේ මුහුණ දෙසම බලාගත් වනම සිටින්නට විය.

“ ගන්න ගන්න මට පරක්කු වෙනවා බන් අයියේ , අද උත්තර ඕනි නැතෙයි කීවේ.හෙට හවහට මං එන්නම් උත්තරයක් ලෑස්ති කරල තියහන් . මම ගියා ඕං “

“ ඈම්....පීක් පීක් ...........බෘම්ම්ම් ....................... “

ජයසිරි මද දුරක් ගොස් එක් අතකින් කලිසම  ඔසවනා සැටි ද වේගය අඩු නොකට දිගටම දුවන සැටි ද  දුටු වසන්තගේ වත ඇදුනු සිනාව මැකී ගියේ ඈ ජයසිරි අත එවූ පණිවිඩය සුභ එකක් නොවන විත්තිය ඉවෙන් මෙන් දැනුන නිසාය.

 වසන්ත ,

ඔබ වෙත මා එවා ඇති ලිපි සහ ඔබ ලඟ ඇති මාගේ පින්තූරු සියල්ල හෙට හවස වන්නට පෙර ජයසිරි අත මා වෙත ලැබීමට සලස්වන්න.

සඳා

ආදරණීය, මගේම ආදරණිය , රත්තරන් වසන්ත . .. නිකම්ම නිකම් වසන්ත ද , ඔයාගේම ආදරණිය ,ඔයාගේම සදාදරණිය සඳා , නිකම්ම නිකම් සඳා වූයේ ද ඇයට වැරදී නොවන බැව් වසන්ත දැන වුන්නේ ය.


“ මගේම ආදරණිය වසන්ත,

ගෙදරින් එන බලපෑම් එන්න එන්නම වැඩි වෙනවා. අනේ රත්තරනේ යන තැනක මාවත් අරන් යන්න.දැන් නම් මට ගෙදර මිහිපිට අපායක්.


මින් පෙර එවූ ලිපියක එසේ තිබූ විත්තිය වසන්තට අමතක නැතිවා නොවේ.

ඒ අවදියේ තමා කිසිත් හවුහරණක් නැති , කසාඳ බැදීමට තියා තමන්ගේ බඩවියත වත් රැකගත නොහැකිව සිටි කෙසඟ සිරුරැති වසන්ත බැව්  , හොඳින් වැඩුනු සිරුරද නවීන පන්නයට කැපූ කොණ්ඩයද පෘෂ්ඨිමත් නිරුවත් උඩුකය ද සහිතව තමා ඉදිරියෙන් සිට ගෙන තමා දෙස බලමින් සිටිනා ප්‍රතිබිම්භය දෙස බලමින් වසන්ත සිතන්නට විය.

එක වරම යමක් මතක් වූවාක් මෙන් අත තිබූ පනාව පසෙකලූ ඔහු පොත් රාක්කය පුරා වු පොත් එකිනෙක ඉවතට අදින්නටත් පෙරළා බලන්නටත් විය.පොත් දෙක තුනක් එසේ පෙරලද්දි ඉන් එකක් තුල තිබී බිමට වැටුනු යමක් ඔහු නැමී අසුලා ගත්තේ ඉතාම පරිස්සමිනි.

ඇය ලියූ පෙම් හසුන් සියල්ලත් , එවූ පින්තූර දෙකෙන් එකකුත් ආපසු ජයසිරි අත යැවූව ද පාස්පෝට් ප්‍රමාණයේ ඇගේ සිනාසෙන මුහුණ නොයවා සිටීමට ත් , එක කලක් තිස්සෙ තම පසුම්බියේ රඳවා ගෙන සිටීමටත් , දැනට වසක දෙහෙකට පමණ පෙර හමුවු පෙම්වතියක නිසා පසුම්බියෙන් ගිලිහී ගොස් පොත් පිටු අතර රැඳවීමටත් තරම් වසන්තගේ සිත බොළඳ විය.

දෙවන පෙම්වතියව කුමක් හෝ හේතුවකට අත්හල පසුව  ද  විටින් විට සඳාගේ සිනාසෙන මුහුණ නිවාඩුවකට ගෙදර ආ ඇතැම් දිනක පොත් පිටු අතරින් ඉවතට ගෙන බැලූවද , ඇය පසුම්බියේ හුවා ගැනීමේ ආසාවක් වසන්තගේ සිතට නාවේ ය.

අගනුවර කාර්යාලය දී මුණ ගැසුනු දෙවන පෙම්වතිය ගේ කීමට තරම් විශාල වරදක් නොතිබුනද ඇගේත් වසන්තගේත් පෙම් පලහිලව්වේ නතර වීම වසන්තගේ සිතට ගෙන ආවේ යම්කිසි සැනසිල්ලකි.

ගියවර ගමේ ආ වේලාවක දී තම මව කපුවකු මාර්ගයෙන් සොයා බැලූ මනාලියක බැලීමට ගිය අන්දමත් ඇය ඔහුටත් ඔහු ඇයටත් කැමැති වූ අන්දමත් වසන්ත සිහි කළේ උපේක්ෂාවෙනි.

වැඩි කල් නොයවා විවාහය රෙජිස්ටර් කළ යුතු බැව් දෙපාර්ශවේම අදහස වූයෙන් මෙවර සතියක නිවාඩු දමා ඔහු ගෙදර පැමිණි සිටී.

සඳාගේ සිනා සෙන මුහුණ නැවතත් පිටු අතර සඟවන්නේ ද ? ඉරා විසි කරන්නේ ද? පුලුස්සා දමන්නේ ද යන උගතෝකෝටික පැනය මදකට පසෙකින් තැබූ හේ සුදු සරම ද සුදු කමිසය ද ඇඳගෙන මිදුලට පැන්නේ මළ ගෙදර දෙසට යන අදහසින්ම නොවූව ද , නොයන අදහසින්ම ද නොවේ.

“ පුතා කොහෙ යන්නෙයි ? “

“ ටවුම පැත්තට යන්නෙයි කයලා “

“ සුදුම ඇදන් ? මං හිතුවෙ පන්සල පැත්තෙවත් යන්නදැයි කියලා “

“ නැහ් . . “

“ ඔන්න මං නොකීවැයි කියන්නෙපා  පුතේ , හොඳවුනු තුවාල පාර ගන්නහෙම යනව නෙමෙයි.දැරිවියකට බහදීලා ඉන්න විත්තය අමතක කරන්නෙපා “

තම මවට පිටුපා යන වසන්ත. මදක් හෝ නොනැවතී තම හිත වෙනස් වෙයි දෝ බියෙන් මෙන් සුදු කොඩි වට කර ගත් පාළු දෙවට දිගේම හනිකට පියමනින්නට විය.

වසන්ත වැඩි වේලාවක් මළ ගෙදර නොනැවතුන ද , මළ ගෙදර සිට ආපසු ආවේ රාත්‍රීයේ දී ද නැවත පැමිණෙන බවට ඇයට පවසාය. ඇය වැහැරී කෘශව යමින් තිබුනි.ඇගේ තනයේ එල්ලුනු මාස අටක පමණ සිඟිත්තියක ඇගේ ඉතිරි මාංශය ද උරා බොමින සිටිනු දුටු ඔහුට ඇති වුයේ කම්පාවකි.ගිලුනු ඇස් වල සෝකය වෙනුවට තිබුනේ කියාගත නොහැකි හැඟුම් සමුදායකි.

“ වසන්තට දුන්න දුක තමයි මට පලිසන් දුන්නේ “

වසන්ත ඉලවු ගෙදරින් පිටව යෑමට සැරසී ඇයට ආයුබෝවන් කියන අතරේ ඇය පැවසන විට දී නම් ඇගේ නෙත් අගට රහසේම කඳුලක් උනනු ඔහු දකින්නට ඇත.

මළවුන් තමා පසුපසින් පන්නාවි යැයි බියෙන් මෙන් ඉලවු ගෙදරින් පිටවූ ඔහුට මඟ දිගටම හමුවූයේ සඳා හා ඔහු අතර තිබූ මිහිරි මතක සිහිවටනයි. ගම හැරදා ගිය ද , ගමට පැමිණි සෑම දිනකම ඒ මතකය තම සිත පෑරුව ද , මෙවරනම් හොල්මනක් මෙන් තමා පසුපස්සෙම එන ඒ මතක වලින් මිදෙන්නට මෙන් ඔහු හතිදමා ගෙන දුව න්නට විය.

දාඩිය වලින් සිරුරටම ඇලී ගිය කමිසය පිටින්ම ඇදේ ඇලවුනු හේ  පැය ගනනකට පසු නැගී සිටියේ, ඇද සිටි කමීසය ගලවා බෝල  රාක්කය මත එල්ලා , මේසය මත දමා ගිය සිනාසෙන සඳාගේ ඡායාරූපය ගෙන තම පසුම්බියේ ඇයට හිමිතැන තැන්පත් කරේ ද තම මව සොයා මුළුතැන්ගෙට පිය මැන්නේ ද , ඇගේ සිනාව රැඳි මුහුණ සඟවා ගෙන සිටි ය  පොතේ පිටු පෙරළුනේ ද  එකවරම වුවත් ....

මුළුතැන් ගෙය දෙසින් නැඟී එන වාදයේ හඩ මැද්දේම ...........

කුතුහලයෙන් මඩිනා ලද මා සිත පොත වෙත යොමු වත්ම එහි පෙරළි තිබූ පිටුවක මෙසේ ලියා තිබෙනු දැකිය හැකි විය.

“ෆ්ලොරෙන්ටිනෝ අරීසා තරමට පෙම් කරන්න
ෆෙමිනා දාස් තරම් දුකක් නොදෙන්න
මගේම වෙන්න
හැමදාමත්
මේ
පුංචි තෑග්ග

ආදරණිය සඳාගෙන්
සදාදරණිය වසන්තට




ෆොරොන්ටිනෝ එන තෙක්
මඟ බලන
මම
෴සොසී෴


චිත්‍රය ;- සිළුමිණ පත්තරයෙන් උපුටා ගැනුනි.

7 comments:

  1. හරිම ලස්සන කතාවක් යාළු...

    ReplyDelete
  2. අටවක සද පොඩි උනාට හරි හැඩයි....

    ReplyDelete
  3. සැබෑ ආදරය ජයගන්නවා කිව්වොත් බොළඳ වැඩිවෙයිද මන්දා මේ කතාවට..

    ReplyDelete
  4. අම්බෝ සෑහෙන කාලෙකට පස්සේ සොඳුරු අක්කගේ කතාවක් කියෙව්වා. :)

    ReplyDelete
  5. කෙටි කතා තරගයෙන් දිනුවා කිව්ව කෙටි කතාව මේකද?

    මේකටත් සම්මානයක් දෙන්න වටිනවා. ලස්සනට කසියම් අපූර්වත්වයකින් යුතුව චරිත හැඩගැන්වීම් සිදුවීම් පෙලගැස්වීමත් භාෂා හැසිරවිමත් කරල තියෙනවා. හොඳ නිර්මාණයක්

    ReplyDelete
  6. හොඳ කෙටිකතාවක ඇති ලක්‍ෂණ අති බහුතරය මෙහි ඇති යැයි මට සිතුණි.

    ReplyDelete
  7. ඔයා හැමදාම පෝස්ට් එක අවසාන කරන විදිහට මම හරිම ආසයි යාළු !!!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...