..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, July 20, 2012

මකුළු දැලයි - සමණළයයි / Always Gets Stuck In The Wrong Net



මකුළු දැලයි - සමණළයයි

Always Gets Stuck In The Wrong Net 





මුළු පරිසරයම නිහඩයි.. . . . .. 

නිහඬයි කියන්නමත් බැහැ.රැහැයියෙක්ගෙ නොනවතින විලාපය ඇහුනත් පරිසරය නිහඬයි කියල මයි හිතෙන්නේ.මොකද මේ පරිසරේ රැහැයියගෙ තාලෙට තියන විලාපය උනත් පරිසරයෙම කොටසක් නිසා.

දවස් දෙක තුනක් එක දිගට , පොළවට රිදෙන්න වැස්සම නම් රැහැයි හඬට තාල අල්ලන තවත් බොහොම අය උන්නත්, පොළව බදාගන්න නොඉවසිල්ලෙන් එන වැහි බිඳු වල පීඩනය දරන් ඉන්න බැරි නිසාම කැඩුනු දැලේ කොනකට වෙලා ඉන්න ඔහුට ඒ ගීත ඇහෙන්නෙ හරියට සෝක ගීතයක් වගේ.

රැහැයි හඬේ තාලයට මකුළු දැල වටේ රවුමක් ගියපු ඔහු , මකුළු දැල පිරික්සුව  වගේ පෙනුනට , මට නම් හිතුනේ ඔහු යමක් හෝ යමෙක් බලාපොරොත්තු වෙනව වගේ.

හවස ලාවට වැටුණු හිරි පොද වැස්සෙ , පුංචි පුංචි වැහි බින්දු දෙක තුනක් බිමට වැටෙන්න ලෝබකමකින් වගේ දැලේ කිහිප පොළක එල්ලිලා තිබ්බ නිසා . . . දැල ටිකක් විතර පහලට විස්ථාපනය වෙලා තිබ්බා.

ඔහුට මතක් උනා මේ දැල වියපු මුල්ම කාලේ.... හොඳ තරුණ කාලේ.දන්න වැඩ ඔක්කම දාලා වියපු දැල දිහා හැම කෝණෙකින්ම බලපු හැටි.එදා රෑ රැහැයියො හරි ලස්සන තාලෙට විලාප තිබ්බා.

දැලට ආපු පලවෙනි ගොදුර , ඔහුගෙ ජීවිතයම වෙනස් කරා. හඳ හැංගිලා පුංචි තරු කැට බබලමින් තිබුනා.තරු දිහා බලාන හිටිය ඔහුට දැනුනා දැල දගලනවා. මංගල දැලේ , මංගල ගොදුර.දැලේ පරාසයක්ම ඉරාන ගිහින් . ලොකු ගොදුරක් වගේ.ඔහු ගොදුරට කිට්ටු වුනා.

හිත ප්‍රීතියෙන් වෙව්ලුවා. ඔහු පලවෙනි ගොදුර ට බොහොම ආසාවෙන් ළං වුනා.

“ අනේ මාව මරන්නෙපා. අනේ අනේ ...... “ කියන බැගෑපත් වීමක් බලාපොරොත්තුවෙන් ඔහු ගොදුරට ළං වුනා.

ඒත් . . . . . .

ගොදුර. . . . . .

නිහඩව , නිසලව .... මලානිකව හිටියා.

ගොදුර ගොදුරු වෙලා තිබ්බෙ ලොකු සිත් තැවුලකට.දැලෙන් ලිහුනු ගොදුරෙ දුක්බර කතාව අහන් හිටපු ඔහු ගෙ කුසගිනි නිවුනා.
“ දැකල නෙමෙයි නේද පැටලුනේ “

“ නැහැ. දැකල ම තමයි ආවේ “ ගොදුර කීවා.

“ ආදරයක් නිසා මැරෙන්නෙ මොකට ද ? ඒක ඒ තරම් වටිනව ද? අපරාදේ නෙ අපි දැල් වියන්නේ.ආදරය කරල පැරදුනු අය හොයා ගත්තනම් මොකටද දැල් “

“ ඔයාට තේරෙයි දවසක “ ගොදුර කීවා

හිමිදිරි උදය වෙනකොට ගොදුරත් ඔහුත් බොහොම හිතවත් වුනා. ආයෙත් දැල් වල පැටලෙන්නෙ නැතිව පියාඹන විදිහත්. දැල් තියෙන්න පුලුවන් ඉසවු සීමාවනුත් ඔහු ඇයට කියා දුන්නා.ඔහුගෙ පරම්පරාවෙන් හම්බුනු හැම රහසක්ම ඔහු ඇයට කීවේ ඇය ඒවා අනිත් අයටත් කියයි කියල නොසිතාමයි.

ඇය ගියාම ඔහුට අමුතුම පාලුවක් දැනුනා. ඔහුට මතක් වුනා බොහොම සීරුවෙන් ඇය වටා එතුනු දැල් ගලවපු හැටි. ඇය අනිත් ගොදුරු වගේ දැලෙන් ගැලවෙන්න කියලා දගලන්න ගියේ නැති නිසා ඇයව දැලෙන් ගලවන්න පහසු වුනා. දගලන්න දගලන්න තව තව දැලේ ඇලෙනවා කියලා පස්සෙ කාලෙක ඔහු ඇයට කියලා දුන්නේ තමන්ගෙම  දැලේ තමන් ඇලේවි කියලා බයෙන් වගේ.

“ ඔයා බය උනාද ? මම කාවි කියලා “


“ මම ආවෙ මැරෙන්න “ ඇය කීවා.

ඔහු සමහර වෙලාවට දුක් උනා.ඒත් දුක් වෙලා ඉවර වෙන්නත් කලින් ඇය ආයෙත් ඇවිත් ඔහුගෙ දැලේ පැටලුනා.

“ ආයෙත් සැරයක් “

“ පාර වැරදුනා “ ඇය බොරුවක් කීවා.

එදා දවසත් ඔහු ඇයත් එක්ක ගත කරා.වැඩියෙන් කතා කරේ ඇය. ඇය ඔහුට නොයෙකුත් මල් වර්ග ගැනත්.ඒවායේ විවිධ හැඩරුව ගැනත්, සුවඳින් මල් වෙනා කර ගන්නා හැටි ගැනත් ඔහුට කියා දුන්නා.

ඇය සමුගෙන යද්දි , ගිහින්න එන්න කියල කියන්න හිතුනත් ඔහු කීවේ ආයෙත් දැලේ පැටලෙන්න එන්න එපා කියලා.

මේ විදිහට දවස් කිහිපයක්ම ඇය ඇවිත් දැලේ පැටලුනා.ඔහු ගිහින් ඇයව නිදහස් කරද්දි ඇය හිටියෙ ඔහුව බලාපොරොත්තුවෙන්.සියුම් සමණළ තටුවකට පුංචි සීරීමක්වත් නැති වෙන විදිහට ඔහු සීරුවට දැල අයින් කරා. ඇය සීරුවට ඒ සියල්ල විද ගත්තා.

දැලට ආවේ ඇයි කියලවත්, දැලෙන් බේරෙන්නෙ කොහොම ද කියලවත් ආයෙ ආයෙ කීවෙ නම් නැහැ.ඇය ඇහුවෙත් නැහැ.

ඔහු හැමදාමත් දැල වියුවා ඒ ඇය වෙනුවෙන්.ඇය හැමදාමත් දැලේ පැටලුනා.ඒ ඇයයි ඔහුයි දෙන්නම වෙනුවෙන්.

ඒත් දවසක් . . . . . . .

ඔහු තමන්ගෙම දැලේ එල්ලිලා මැරිලා හිටියා.

“ ඔයාට දවස තේරේවි..... “ පලවෙනි දවසෙම ඇය කියල තිබ්බා.

එදා රෑ නම් රැහැයියන්ගෙ විලාප හඬ අහන්න ඉන්න බැරි තරමට දරුණු වුනා .
හැම වෙලේම වැරදි දැලේ පැටලෙන
මම
සොඳුරු සිත

12 ප්‍රතිචාර:

Loku John said...

සමහර විට දැලෙ ඉන්න එක එලියට වඩා ආරක්ශිතවන්නට පුලුවන් ....

ගිමන් නිවන්නා said...

කතාව නම් නියමයි! ඔයා කොහොම මේ වගේ එකක් හිතුවද කියල හිතුනා.
ඒත් මකුළුවා මැරුණෙ ඇයි කියල හිතා ගන්න බැහැනෙ :( . සමනලයව අයිති කර ගන්න බැරි හින්දද?

හිරුහිමාවී said...

අපූරුයි යාලු! :)

Chandi said...

කථාව නම් හරිම ලස්සනයි නංගී. එක හුස්මටම කියවාගෙන ගියා. "ඔයාට දවසක තේරේවි " කියන වචන ටිකෙන් මුළු කථාවෙම අන්තර්ගතය කියවෙනවා. හිත් ගත්තා හැම දෙයක්ම්. අහිංසක ආදරයක් වෙනුවෙන්....

Dude said...

රවිගෙ කවිය දැකලා ආවෙ සොසි. ලස්සනයි!! :)
henryblogwalker the Dude

Anonymous said...

ලස්සනයි...

හැමදාම මාත් දැලේ පැටලි පැටලි ඉඳලා ගැලවුනු මම තවමත් ඒ දැල සොයනවා. පැටලෙන්න නම් නෙවි.

~ Jemma ~

hansakinkini said...

හ්ම්!! මේ වෙලාවෙ මගෙ හිතේ තියෙන දේ හරියටම වචනවලින් කියන්ඩ අමාරුයි සොසී අක්කෙ...
ඔයාට තේරේවි!!!!

nawammawatha said...

මම තාම මේකෙ නොකියපු කතාව හොයනව. මේක නම් බොහොම සුන්දරයි සොසී !!

චමී4යූ~chami4u said...

නියමයි අනර්ගයි

චමී4යූ~chami4u said...

ඒත් දවසක් . . . . . . .

ඔහු තමන්ගෙම දැලේ එල්ලිලා මැරිලා හිටියා.

“ ඔයාට දවස තේරේවි..... “ පලවෙනි දවසෙම ඇය කියල තිබ්බා.

Blacky said...

සොබා දහමේ ලස්සන තැන් ගොඩාක් එකට එකතු කරලා ලස්සන මකුළු දැළක් වියූ සොසීත් හරිම හපන් මකුළුවෙක් තමා.

Anonymous said...

Sosie , Why dd U remove that last post?

~ Jemma ~

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...