..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, June 27, 2012

අයන්නක හිරවුනු සිහින -Just a Dream

අයන්නක හිරවුනු සිහින



පාසල් කාලෙ මට තිබ්බෙ , බොහාම පුංචි බලාපොරොත්තු. විනෝදගමන්... සවාරි.... යහළු යෙහෙළි ගෙවල් වල යෑම් මගෙ දවස් අතරට ආවෙම නැහැ. කවියක් , කතාවක් ලියා ගන්න බැරි වුනේ, හාමදාම මගෙ රචනා වලට සිංහල ටීචර් දුන්න අඩු ලකුණු නිසා. විද්‍යාව ගණිතය වැඩි ලකුණු ගනිද්දි ඒ පැත්තටම පාවුනේ ගණිතය ටීචර්ගෙ කරුණාව නිසාම ද මන්දා.....

ඒත් දැන්.............බොහෝ දේ වෙනස් වෙලා.

පුංචි කුරුල්ලන්ට ළං වෙන්න, මල් ගස් වටේ ඇවිදින්න.දුර ඈත කවදාවත් නොගියපු පළාත් වල යන්න. ගහ කොළ ගැන හොයන්න. කෙල්ල කාලෙවත් නොතිබ්බ ආසාවල් පහළ වෙලා.ඒ හැම ආසාවක්ම හිර කරලා... ලත් තැනම ලොප් කරන ලොකුම ලොකු අයන්නක් හැම වෙලේම මගෙ හීන අස්සෙ ඇවිත් හිර වෙනවා..... ඒ තමා මෙයා...


“ අනේ ලොකු දුවේ.... පොඩි දරුවෙක් හදා ගන්න , පුංචි ගෙයක් අටෝ ගන්න.දෙයියනේ කියලා පවුලක් වෙලා.........මට නිදහසේ මැරෙන්න දෙන්න “


ජිවිතේ විඳින හැටි පුද්ගලයාගෙන් පුද්ගලාය වෙනස් වුනත්.... ඇසේ කඳුලු පුරවන් , මූන දිහාම බලාන කියන වචන දෙක තුනකින් මගෙ මුළු හීනෙම දිය කරල යවන්න පුලුවන් හැකියාවක් තියෙනවා.

ආයෙත් ඒ හීන කවදාවත් සම්පූර්ණ කර ගන්න බැරි වුන මගෙ හීන පොතෙන් ගැලවෙද්දී  වෙනත් කෙනෙක්ගෙ හීන ඉටු කරන්න , වෙනත් කෙනෙක්ගෙ හීන ඇල්බමයක ලස්සන පින්තූරයක් වෙලා මම ඇලවේවි.

මනාලියක් වෙලා  මම දැකපු ලොකුම අයන්නෙ හීන ඇල්බමයෙ ඇලවුන දවසට ඇයට සතුටක් දැනේවි. මයෙ හීන පොත එදාට මම පුච්චල දානව................

එක්කොත් බෑ....එයාට හොරෙන් කොහෙ හරි හංගල තියාගන්නවා ........


මට ආසයි මම ඇතුලෙම
සඳහට සැඟවිලා ඉන්න

මා තුල ඇති මම දැක නැති
සොඳුරු ම දේ සොයා ගන්න

ඒත් බැහැනේ
මා වටේට
මගෙ සුසුමක වෙළී ඉන්න

ඔවුන්ගෙ සිත
සැනසුම් වෙන
සුසුමක මා ඔතා ගන්න

මගෙ පැතුම් සිහින සිතුම්
දියඹ සැරට ගසා යන්න



මා තුල මම සොයන
මම
෴ සොඳුරු සිත ෴

18 ප්‍රතිචාර:

උඩගෙදර said...

.

වීපොකුර said...

අනේ ලොකු දුවේ..... මමත් කියන්නෙ ඒ ටිකම තමයි...සොඳුරු සිතට..!!

සඳා said...

මේ කියන්නේ මම හිතන දේ ගැනද ?

නිම්ශා said...

අක්කා එතකොට කොමත් හිතන්න ඔනි අතීතේ නෙමේ අනාගතයේ ඉන්න කෙනා ගැන..

Dinesh said...

" මා තුල ඇති මම දැක නැති.."

ඒ වචන පෙල අපූරුයි..

niroshini said...

ඒකට අක්කා තවත් 'පුංචි කුරුල්ලන්ට ළං වෙන්න, මල් ගස් වටේ ඇවිදින්න.දුර ඈත කවදාවත් නොගියපු පළාත් වල යන්න. ගහ කොළ ගැන හොයන්න.' ආස කරන මහත්තයෙක් හොයා ගන්නකො. එතකොට win-win situation එකක් නේ !

Gimhani said...

අර නිරෝෂිනි කිව්ව වගේ ඔයාගේ හැම සිහිනයක්ම ඉටු කරගන්න පුලුවන් කෙනෙක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා .
…පරණ සිහින අමාරුවෙන්හරි අමතක කරමු .

තරුරසී said...

ඔයත් ලොකු දුව... මමත් ලොකු දුව... ඔය ප්රාශ්නෙට ඔය තරම්ම බරපතල විදියට නැතත් මමත් මුහුණ දීලා තියෙනවා... මුහුණ දෙමින් ඉන්නවා... හුදකලා ජීවිතේ සැහැල්ලු සරල බවට හුරු‍ වෙලා අපි ඒක විඳිමින් ඉද්දි අපි වටා ඉන්න ආදරණියයන් අපි ගැන වධ වෙනවා... ජීවිතේට ළන් කර ගන්න බැරි ආදරයක් වෙනුවෙන් නම් තැවි තැවී ඉන්න එක තේරුමක් නැහැ මට හිතෙන විදියට...

මට හිතෙන්නෙ නිරෝෂණි කියල තියෙන දේ හරියටම හරි.... 100% නැතත් 50% වත් අපේ සිතුවිලි එක්ක යාවෙන කෙනෙක් ජීවිතේට ළං කර ගන්න එක හොඳයි... ඉතිරි 50 සම්පුර්ණ වෙන්නෙ තේරුම් ගැනීම, ඉවසීම, කැප කිරීම වගේ මානුෂික කාරණා එක්ක...

හැබැයි ලෝකයා කියන නිසා, අනුකම්පාව නිසා විවාහ වෙන එක නම් මම අනුමත කරන්නෙ නැහැ... තමන්ගෙ ආත්මය මරාගෙන සතුටින් ජීවත් වෙන්න බැහැනෙ...

අඩවි රජ said...

අක්කගේ අනාගතේට........
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

දයානන්ද රත්නායක said...

හැම මවක්ම සිහින දකින්නෙ තමන්ගෙ දරුවා නිසි වයසට එළඹුනාම ඒඒ කාරණා කටයුතු ඉටුකරල දී අම්මා කෙනකු සතු වගකීම් වලින් නිදහස් වෙන්න. ඒක හැම කෙනෙක්ගෙම බලා පොරොත්තුව. ඒතකට වැට බඳින්න කාටත් බැහැ. හැබැයි එහෙම වුණා කියල අම්මලට වගකීම්වලින් නිදහස් වෙන්න ලැබෙන්නෙත් නෑ.

එහෙම වුණත් ගුණදාස කපුගේ ගැයූ සුනිල් ආරියරත්න ලියූ මේ ගිතය අහල බලන්න මේ කියන්නේ ඇත්ත නෙවේද කියලා

අම්මේ නුඹෙ ඇස් පියවුණු දාකට
කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැතිවුණු කාලෙක
කවුරුද මගෙ දුක සැප විමසන්නේ..

තනි යහනේ මා නිදා සිටින විට
මගේ හිතේ ඇති පාලුව නුඹ දුටුවා
තවකල් දිවි මග තනිව නොයන ලෙස
කියමින් රහසේ නුඹ ඉකිබිඳ හැඬුවා

මගේ විසල්ගෙයි මගේ බිරිඳ ඉඳ
මා සැනසීමයි නුඹ ලබනා සහනේ
මුණුබුරු මිණිබියන් වට කරගෙන
ගී මිමිණීමයි නුඹේ ලොකුම සිහිනේ...

Loku John said...

මටනම් මෙගැන මුකුත් කියන්න බෑ

සචිත් said...

ලස්සනයි ජීවිතේ වසන්තයම උදා වේවා !!!!!!!

හිරුහිමාවී said...

කවියේ මුල් පද හතරට මම ගොඩක් ආසයි යාළු! :)

AnithKona said...

ලොකු දුවලා හැමෝටම එකම වගේ ප්‍රශ්ණ එක එක වයස් වලදී...සමාජේ හැදුනු හැටි තමයි

පුංචි එකී.. said...

මම කියන දේ වැරදි වෙන්න පුළුවන් වත්.. ඒත් මට හිතෙන්නෙ සමහරුන්ගෙ විවාහ ජීවිතයට වඩා සතුටිනුයි සැනසිල්ලෙනුයි පිරිච්ච තනිකඩ ජීවිත ගෙවන අය ඉන්නව.ආදරය හමු වෙන තැන ගැනයි අපි සැලකිලිමත් වෙන්න ඕන.ඒක දෙන්න පුළුවන් කෙනෙක් මුණගැහෙනතුරු බලා ඉන්න බැරුව මිනිස්සු කොච්චර වරද්දාගන්නවද?අම්මල තාත්තලගෙ බලපෑම් නිසා -විවිධ බාහිර සාධක නිසා.. තමන්ට නොගැළපෙන කෙනෙක් එක්ක ගිහින් ජීවිතේ විනාස කරගන්නවට වඩා ජීවත් වෙන ටික කාලෙ තනියෙන් හරි සන්තෝසයෙන් ඉන්න එක නේද වටින්නෙ..?

Ruvanmali Ranathunga said...

අපිට අපි හිමි නෑ ලොවේ..:):)
පාවෙන සරුංගල්...
ඈතට පේන්නෙ හරිම නිදහස් ඔහේ පාවෙන අනන්තයට ඇඳිලා යන්න නිදහස තියෙන දෙයක් වගේ..කෙනෙක් වගේ..
ඒත් නූල අපි අතේ නෑනේ... :):)

සිත්තමී said...

මගේ අත හිතට 640ක් වෙලා මමත් ආව ඔයාගෙ හිත බලල යන්න අක්කියෝ...

මමත් ආසයි නිදහසේ ඉන්න හරියටම ඔයා වගේ..නිදහසේ ජීවත් වෙන්න..ඒත් අපිට ඒක කරන්න බැරිවෙලා.ගැහැණියකට ඇත්තටම තනියම ජීවත් වෙන්න බැරිද?.......?.......?......?

ආයෙමත් එනවා ඔයාගෙ සොදුරු හිත බලන්න...කවිය හරි ලස්සනයි පළමු පද 4 හරිම ලස්සනයි

චූටි බටපොලයා said...

ඇයි ඔයා ඔයාට ඕනි ඒ පිස්සු වැඩ කරන්න,ඔයා වගෙම හිතන කෙනෙක් හොයා ගන්න බැරි?
හොයාගන්නකො එහෙම කෙනෙක්.........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...