..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, June 16, 2012

බරුව

බරුව

“ මොකක් ද මනුස්සයෝ ඒ කළ වැඩේ “

කන්තෝරු කාමරයේ නිස්කලංක බව එකවරම බිඳිමින් පැතිරී ගිය සලං: හඬ තුනී වීයන්නටත් මත්තෙන් සැප විධායක පුටුවේ වාඩි වී සිටි මැදිවියේ විධායක නිලධාරියා පුටුවෙන් පැන බිම විසිරී තිබූ බිඳී විසිරී ගිය වීදුරු බරුව දෙස බලා කෑගසන්නට වූයේ දෑස් ඉන් ඉවතට නොගනිමිනි. 



“ අනේ ................සර් දැක්කෙ නැහැ. අද වැදුනා “


“ දැක්කෙ නැහැ . . .  දැන් ඉතින් මං . . . . ඔක්කම ඉවරයි “ තවත් මොන මොනවාදෝ තමාටම මුමුණමින් , බිදී විසිරී ගිය සුන්බුන් අසල දණ ගසා ගත්තේ , තවත් ඒ පුංචි කොටස් විසිරී අන්තරස්දාන වෙයි  දෝ යයි බියෙන් මෙනි.


“ ඉ. ඉ . .ඉ න් න සර්  . . . මම ඔය ටික අස්කරල දාන්නම් “

“ යනව යන්න මගෙ දෑහට නොපෙනී. කීවම අහල යනව “

කලබලය ඇසී කාර්යාල කාමරය දෙසට දිව ගෙන ආ කාර්යාල සේවක කරුණාජීව , කාර්යාල අමදින්නාගෙන් ඉඟි කර ඇසුවේ කුමක් සිදුවා ද යන්නයි. අමදින්නා තම  උරිස් හකුළුවමින් මූන ඇඹුල් කර පැවසූවේ මෙතනින් පිට වී යාම දෙදෙනාගේම ශරීර සෞඛ්‍යට හොඳ බවය.

“ කොළඹින් අර මොකක් ද තරඟෙකින් හම්බුනු සම්මානෙ , වැරදිලා මයෙ අතින් බිම වැටිල බිදෙද්දිවත් , ලොකු මහත්තය ඔහොම කෑ ගෑවෙ නැහැ “

වායු සමනය කළ කාර්යාලයේ දොර වසා ගනිමින් එළියට පැමිණි අමදින්නා පැවසුවෙ තමාගෙන් සිදු වූ අත්වැරද්දේ ප්‍රමාණය සසඳන්නට මෙනි.

“ ඈ බන් , ඒකට ලොකු මහත්තයා හිනා වෙලා නිකම් හිටිය කියලා , උඹ හදන්නේ එතන තියෙන ඔක්කම කුඩු කරල දාන්න බං “

“ හිතල කරේ නැහැ නේ. . . අද කෙල්ලට බේත් ටික අරන් යන්න තියෙන දවස. කොහෙන් සල්ලි හොයා ගන්න ද කියලා කල්පනා කර කර තමයි උදේ ඉදලම හිටියෙ. “

“ ලොක්කගෙන් ඉල්ලුව නම් දෙනව නෙ සුමනෙ “

“ දැන් මොනා කරන්න ද , ඒකත් ඉවරයි “

“ නැහැ.... ඔය තරහ ටික වෙලාවයි. හවසට ගිහින් අහල බලපන් , උඹ උදේට කාල ද , යමන් බන් කැන්ටිම පැත්තෙ ප්ලෙන්ටියක් වත් බොන්න , බඩගින්නෙ ඉන්න බෑ “
- - - - - - - - - - -


“ ආහ් මිසීලා , තාමත් උදේට කනවැයි , අද පරිස්සමින් හොඳද , අන්න අද උදේම ලොක්කට මල පැනල ඉන්නේ “

“ ඒ මොක ද බන් ඒ “

“ මෙන්න මේකා අද උදේම ලොක්කගෙ මේස උඩ තිබ්බ වීදුරු බරුවකට වැඩේ දීලා , මුට කෑගැහුව සද්දෙට මාත් දුවල ගියා “

“ නැහ්  . . . .“

“ නැහ් නෙමෙයි . . .මංජු මිසී අද පරිස්සමින් හරිය “


“ වීදුරු බරුව නම් මොකක් ද බන් .එකට දහයක් ගන්න බැරිය ලොක්කට “


“ ඔවු මිසී , මම හිතන්නෙ ගෙදර ගෑනිත් එක්ක වලි දාන් ඇවිත් ඒ තරහ අපේ පිටින් යවන්නයි හදන්නේ “


“ හෙහ් හෙහ්  . .. . . කොල්ලො දාන්න කො හොද ස්ට්‍රොන් ප්ලේන්ටි දෙකක් මේ මිසීගෙ ගානේ “

---------------


කඩුගුල ඇවිස්සුනා සේය ,

“ ටිරිර්ර් ර් . . . .  ටිං “

“ ටිරිර්ර් ර් . . . .  ටිං “ 

“ ටිරිර්ර් ර් . . . .  ටිං “


හඬ  ඇසෙන වාර ගනන ගනන් කිරීමෙන්ම , අද දින කාර්යාලයට පැමිණියවුන් ගනන කීයදැයි පැවසීමට හැකි වනවා ඇත. “ ඇගිලි මැසිමයැයි “ නම් ලබා සිටින පැමිණිමේ සහ පිටවීමේ වේලාව සලකුණු කරන යන්ත්‍රය අද්දර මී මැසි පොදියකි.


තරුණ වියේ හැඩකාරියන් තම තමන්ගෙ ඇදුම් ආයිත්තම් සකස් කරන්නට කාලය ගනිද්දී , මැදිවියේ වුන් පොරකන්නේ ඇගිලි අත්සන සටහන් කිරීමටයි. එකිනෙකාගේ ඇඟේ තෙරපෙන ඇතැමුන් , තම කාර්යාලයේ තරුණ පහේ අතැමෙකුට අසභ්‍ය විහිළු කිරිමට ද මෙය අවස්ථාවක් කර ගන්නා යුරු දැකිය හැකි වුවත්. ඒවා සිනාවකින් එපිටට යන්නේ ඉතාම කලාතුරකිනි.


සාමාන්‍යෙයන් මේ අවස්ථාවේ දී මෙතැන නොරැදෙන්නේ මෙම කාර්යාලයේ ලොක්කා පමණි. ඔහුගේ පැමණිම හිමිදිරියේ කුකුළා අතින් අරන්ය , පිටවීම සියල්ලන්ට පසුවය.


නමුත් , අද ඔහුට අමතරව අද කාර්යාලයට පැමිණි තවත් දෙදෙනකු මෙතැන අඩුය.


එකෙකු නම් කාර්යාලය අමදින්නාය . ඔහු මේ වේලාවේ ලොක්කාගේ කාමරයේ ඇතුලු වීමේ දොරටුවට මුවා වී සිටින්නේ , අතමාරුව ඉල්ලා ගන්නට අවස්ථාවක් බලමිනි. කාමරයේ තවකෙකු සිටිනා යුරු දැනුන නිසා ඔහු පෙර මං බලන්නේ කාර්යාලය තුල සිටින්නා එළියට පැමිණෙන තෙක්ය.



නොඉවසිල්ලෙන් සිටිනා අමදින්නා විටින් විට සවන් දී සිටින්නේ කාමරය තුල සංවාදය අවසන් වන ලකුණු බලමිනි.


එහෙත් ඔහු උවමනාවෙන්ම සංවාදයට කණ් දෙන්නට ගත්තේ සංවාදයේ රැදුනු සංවේදිකම ඔහුට ද දැනෙන්නට පටන් ගත් නිසා වන්නට ඇත.


“ කේතකී , මට මේක එපා , ඔයා අරන් යන්න. “


“ ඒත් නලින් . . . .මම කැමැති මේක ඔයාගේ මේස උඩ තියෙනවට “


“ කේතකී . . . . . ඔයා මට දුන්න දේ බිඳුනා.ඒත් මේ ඩිංගට කොහොම ද ඒ වගේම එකක් සොයා ගත්තේ “


“ මේක ත් මම ගත්තේ ඒ දවස් වලමයි. මම ඔයාට දුන්නු හැමදේකම තව එකක් මා ළඟ තියෙනවා. ඔයාගේ වෙඩින් එක දවසෙ ඒ හැමදේම මම විසිකරා. පිච්චුවා “


“ එතකොට මේක . . . ? “


“ මේක මට ගෙදර අරන් යන්න බැරි වුනා.ගත්ත දවසෙ ඉදන් අද වෙනකම් මේක තිබ්බෙ මගෙ ඔෆිස් ලොකර් එකේ . කොහොමත් ලොකර් එක මට අස් කර ගන්න වෙනවා. “


“ ඒ මොක ද ? “



“ ලබන මාසේ ඉදන් මම මෙහෙ නැහැ. ලබන මාසේ මගෙ වෙඩින් එක. වෙඩින් එක ගත්ත ගමන් එයයි මායි රට යනවා. “



“ කේතකී . . . . . . . ! ! ! “


“ මම යනවා නලින් . . . .  මම හිතනවා ඔයා මේක කාටවත් බිදින්න දෙනේකක් නැහැ කියලා. . . . “

ඉන් ටික වේලාවකට පසුව ඇසුනු “ ටිරිර්ර් ර් . . . .  ටිං “ නාදයෙන් පැවසුනේ ඇය ද කාර්යාලයේ පිටවීම සටහන් කර බවයි.


ඉන් පසුව ලොක්කාගේ කාමරයට ඇතුලුවූ අමදින්නාට දැක ගත හැකි වූයේ , උදෑසන තමාගේ අත්වැරදීමකින්  බිදී විසිරී ගිය කඩදාසි බරුව සිනාසෙමින් යළි මේසය උඩ සිටින බවයි.

--------------------


දුක් බරුව මම
නුඹ හිත පතුලෙම
ගිලී සැනහී
උඩට නොම එන
මතක සිතුවිලි වල
බරට
කිසිදිනෙක
මතකයට නොම එන
නුඹේ සිත තුල
මා
මතකයට තැබු
දුක් බරුවයි

සියල්ල දරා සිටින
වීදුරු බරුව
මම
෴ සොඳුරු සිත ෴


10 comments:

  1. කාලෙකට පස්සෙ ගොඩ වැදුනු ඇස් දෙක ආපහු ඇදල ගන්න අකමැති තරමට ලස්සන විදියට බ්ලොග් එකට හැඩ වැඩ දාලා....
    බොහොම ප්‍රියමනාපයි නෙතට...සොඳුරු අක්කගෙ වැඩ කොහොමත් සොඳුරුයි නොවැ...
    වෙනදා වගේම කතාවත් බොහෝම ලස්සනයි..
    මූනු පොතේ ලින්කුව දැකලා ගොඩ නොවී බැරි කමට ගොඩ වෙලා කොමෙන්‍ටුවකුත් දාලම යනවා..
    කප්පරක් වැඩ ගොඩ ගැහිලා....

    ReplyDelete
  2. ලස්සන ඒවගෙම හිතට වදින ...නෑ හිතට වැදුන අදහසක්

    ReplyDelete
  3. "මේක ත් මම ගත්තේ ඒ දවස් වලමයි. මම ඔයාට දුන්නු හැමදේකම තව එකක් මා ළඟ තියෙනවා"
    ඔෆීස් කොපිය වගේ නේද? කතාව හොඳා!

    ReplyDelete
  4. තවත් එක වේදනාවක්... :(

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. හුග කාලේකින මේ පැත්තට ආවේ.. මේ කතාව ලස්සනයි... අපිට ඉතින් වැඩි විස්තර කියන්න තරම් දැනුමක් නෑනේ

    ReplyDelete
  6. නියම නිර්මාණාත්මක කතාවක් කතාවේ අභ්‍යන්තරය තුළ තියෙන හැගීම් වචනයෙන් ලියන්න බෑ. බැඳීම් කියන ඒවා ඇතැම් වෙලාවට සදාකාලිකයි. ඒත් අමතක කරන්න බැරි තැනුත් තියෙනවා.

    මේක කියවන්නා තුළ හොඳ චිත්‍රයක් අඳිනවා. ඒක ඔබතුළ ඇති අති විහේෂ හැකියාවක්.

    ReplyDelete
  7. හරිම ලස්සනයි. කතාවේ ගලායන ගතිය හරිම පංකාදුයි. මිනිස් හිතේ වෙනස්වීම ලස්සනට ඔයාගෙ කතාවල තියෙනවා නංගී.

    ReplyDelete
  8. අදත් හරි අපූරු කතාවක් අක්කේ..

    ReplyDelete
  9. "මම ඔයාට දුන්නු හැම දේකම තව එකක් මාලග තියනවා.." අපූරු තෑගි දීමේ කලාවක් නොවැ.කමක් නෑ, එයාලට හොදනම් අපිට මොකද. ජය..!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...