..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, June 13, 2012

විත්තිකාරී

විත්තිකාරී



“ ආහ් කෙල්ල ....... වෙඩින් එකත් අත ළඟම තියන් , අව්වෙ පිච්චි පිච්චි කොහෙ ද මේ යන්නේ ? “

මුහුදු සුළඟට , ඇඟටම බදනා සුදු සාරිය එකතකින් ද , සුළං රැල්ලට අසුවී දගලමින් මුහුණටම වැටෙන අකීකරු කෙස් රොදවල් අනිත් අතින් ද හේකර ගනිමින් , යුහුසුළු ගමනක් යමින් සිටි අනූ මොහොතකට නවතන්නට ඒ හඩට හැකි විය.
“ අනූ . . . මොක ද බන් බය වෙලා වගේ. කොහෙද මේ යන්නේ ? සුදු සාරියකුත් ඇදන්. හරියට මිනිහ මැරුනු ගෑනි වගේ. මොකක් ද බං හෙට අනිද්දට මනමාලියක් වෙන්න ඉන්න කෙල්ලක් නේද ?
“ හදිසි වැඩක් බන්. . . . මං යන්නම් “ සියළු දෙනාගෙන් වසන් වී පැමිණිය ද , දන්නා හඳුනන එකෙකුට හෝ මේ ගමන ගැන ඉව වැටීම ඇගේ සිත නොසන්සුන් කිරීමට සමත් කරුණකි. තව සති දෙකකින් මනාලියක වන්නට සිටින අනූගේ ජීවිතය සහමුලින්ම වෙනස් කිරීමට අද ඇය යන මේ ගමනත් , අද තව සුළු මොහොතකින් ඇය ගන්නා තීරණයක් කරන්නේ සුළු පටු බලපෑමක් නොවන බැව් ඇය නොදන්නවා විය නොහැකි ය.

ජීවිතයේ එක් නොගැලපීමක් පසෙකලා තවත් ගැලපීමක් සොයමින් සිටි ඇයට සිදු වී ඇත්තේ ගැලපීම් නොගැලපීම් හමුවේ දෝලනය වන සිතට නිවනක් ලබා දීමට වඩා වෙනකෙකුගේ ජීවිතයක හැරවුම් ලක්ෂය තමාගේ තීන්තෙන් ලකුණු කිරීමටයි.වෙනකෙකුගේ නඩුවක් වෙනුවෙන් මාස ගනන් රස්තියාදු වී ඉතාමත් වෙහෙස වී සිටි ඇය අද මේ යන්නේ අනුන්ගේ නඩුවට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවා තීන්දුව දී, සියල්ල නිදොස් කොට නිදහස් කර ගැනීමට යි.
විත්තිකාරයා ඇය එන තුරා බලා සිටින්නේ ඇගේ අවසන් සුසුම් බිදෙන් ප්‍රාණය සොයන්නෙකු ලෙසිනි.මුල දී මුල දී විත්තිකරු අනූ ගැන අනුකම්පා සහගත වූව ද දැන් දැන් ඔහුට ද අවශ්‍ය වන්නේ කෙසේ හෝ මේ නඩුවෙන් ගැලවීමට බැව් අනූ හෙවත් අනුත්තරා සිතන්නට විය.
අසා අවසන් වූ පෙර නඩු වාරයේ දී විත්තිකරු ඇය හා දෙඩූ වදන් වල ගැබ්වී තිබුනේ , කෙසේ හෝ තමා නිදහස් කර ගන්නා මෙන් කෙරුණු ආයාචනය කි.
“ අනූ . . . ඔයාට විතරයි පුලුවන් දැන් මාව මේකෙන් නිදහස් කරන්න. ඔයාට පේනවෙන් . මට ගැලැවෙන්න කිසිම විදහක් නැහැ. අනික ඒ වරද මං නොකරපු බවට හොඳටම දන්නෙ ඔයයි මායි විතරයි “


“ හ්ම් . . . . . මං මොනා කරන්න ද ? “

“ පේනවනේ , මං ගියොත් යන්නෙ අඩුම ගානේ අවුරුදු දහයකට . . .එතකන් අර අසරණයො ටික මොනා කරන්න ද ? මගෙ පඩියත් පැන්ශන් එකත් නැති වෙනවා. ඔයාට පුලුවන් ද එයාලව බලා ගන්න ? “

ඒසේ පවසන විත්තිකරුගේ දෑස් , ඔහු පසු කර උසාවියෙන් ඉවතට යමින් සිටි සෙනඟ අතර වූ ගර්භණී කාන්තාවක් සහ ඇගේ සුදු සාරියේ එල්ලී පසුපස බලමින් යන කුඩා පිරිමි ළමයෙකු වෙත එල්ල වී තිබෙන යුරු ත් විත්තිකරුගේ දෑස් සියුම් කඳුළු පටකින් වැසීයනයුරුත් අනුත්තරා බලා සිටියේ තමා ගැනම ඇති වූ අනුකම්පාවෙනි.
ඒ අනුකම්පාව දස දහස් වාරයක් වැඩි වූයේ ඊළඟ නිමේෂයේ දී අනුත්තරා ඇසූ පැණයට විත්තිකරුවා දුන් පිළිතුරෙනි.
“ ඒ දේ එළි කරොත් , මට වගේම ඔයාටත් හොඳ නැහැ කියලා ඔයා දන්නව නේද ? “
“ ඔවු මන් දන්නවා. ඒත් එයා මට සමාව දේවි. අවුරුදු දහයක් දුක් විදින්න තරම් වරදක් නෙමෙයි ඒක “
විත්තිකරුගේ පිළිතුරින් සසල වී ගිය අනුත්තරා , විත්තිකරුගේ දෑසටම එඹෙමින් ඇසූ ඊළඟ පැනය ට විත්තිකරුගේ පිළිතුර වුයේ දීර්ඝ සුසුමකුත්, පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි අනුත්තරාගේ දෑස් මඟ හරිමින් ඈත කොහේ දෝ නොපෙනෙන දුරකට යොමු වූ දෑසත් පමණි.
“ එතකොට මං . . . ! ! ! ! “ අනුත්තරාගේ පැනය එදින සිට අද වෙන තෙක් අනුත්තරාගේම සිත තුල දෝංකාර දෙන්නේ , නිසි පිළිතුරක් නොලද නිසාවෙනි.
නමුත් අද සියල්ල සංසුන් වනු ඇත.විත්ති කූඩුවට නැග ඇය පවසන දෙයින් , සියල්ල නිදොස් වී ඇය පමණක් වැරදි වනවා ඇත.
උසාවි සංකීර්ණය තුලට පැමිණි ඇය , නීතිඥවරුන්ගේ කාර්යාල පේළියේ කොණේම කාර්යාලය වෙත විගසින් පිය මැන්නේ , තම සිත තුල ඇති තිර අදිටන කොයි මොහොතක හෝ වෙනස් වේ යැයි බියෙන් මෙනි.
ගැහෙන හදවත නීතිඥකාමරයේ දොරකඩ තබා එතුලට ඇතුවූ අනුත්තරා . . . . කිසිම නඩුවක් නොදිනන වයසක නීතිඥමහතා කතා කරන දිනන්න යන එකම නඩුවේ විත්තියේ සාක්ෂියක් වී විත්ති කූඩුවට යෑමට තමන් කැමැති බැව් පවසද්දී . . . . . නහය අග රැදි උපැස්යුවල ගලවා අතට ගත් හේ ,
“ දරුවා තමාට හොඳටම විස්වාස ද තමා කරන්න යන දේ හරි කියලා. “


ඇසුවේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවන වග අනුත්තරා දැන සිටියා ය. නමුත් ඇය සිය කටහඬ අවදි කළේ , ලොව සියළු බැදීම් ආත්මාර්ථකාමී වන බැව් පසක් කර ගත් සේම ආදරය නම් දෙයක් නොපවතින බව ද සක්සුදක් සේ පැහැදිලි කිරීමට මෙනි.



“ ඔවු . . . මම හොඳටම දන්නවා එයා මේ හොරකම වෙන වෙලාවෙ එතන හිටියෙ නැහැ කියලා. එයා හිටියේ මාත් එක්ක. අපි දෙන්නට ඕනි වුනා ඒ සම්බන්ධය නතර කරලා , අපි දෙන්නට වෙන් වුනු පාරවල් වල යන්න. ඒ ගැන කතා කරගන්න , අන්තිමේ දී අපි හමුවුනේ ඔය කියන දවසෙ . අපි හිතාන හිටියෙ අපේ කතා වෙන් වෙන් විදිහට අලුතින්ම ලියන්න. . . . . “
“ ඔය කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙයි ද දරුවා “
“ ඔවු . . . . . අපි එදා හිටපු කාමරය අයිති හෝටලයේ පොතේ ඇත්තේ අපි දෙන්නගෙ ම ඇත්ත නම් “


විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටිය නොහැකිව ලතැවෙනමම
෴ සොඳුරු සිත ෴

12 comments:

  1. බොහොම වෙනස් මානයක්... අමුතු කථාවක්.. සොඳුරුගෙන්.....

    ReplyDelete
  2. ටිකක් අමුතු කතාවක් වගේ අක්කේ. තව කොටසක් තියෙනවාද ??

    ReplyDelete
  3. ආත්මයක් ආත්මයක් පාසා එන අවංක කමක් තියන්න ඕනෙ මෙහෙම තීරණයක් ගන්න. සාර්ථක තවත් එක් නිර්මාණයක්. මම බලා ඉන්නේ කවද ද අපි ඔබේ නමින් මුද්‍රිත පොතක් කියවන්නේ කියලා?????

    ReplyDelete
  4. හ්ම්...! අමුතුයි...මටත්.!

    ReplyDelete
  5. ඉතාමත් හොඳට හිතල නැවත කියවල කරපු නිර්මාණයක්.එක පෙළට ගලාගෙන යාම ලස්සනයි රසවත්ව ගලපනවා. චරිත සහ සිද්ධි එකින් එක මාරු වෙන්නෙත් කියවන්නාට නොදැනෙන්න. කතා පුවත සංවේදී වෙන්නෙ තමන් භාවිතා කරන භාෂා රටාව නිසා.

    මොනව ළුුනත් අනුත්තරා වගේ චරිතයකට මේ වගේ විවෘත අධිකරණයකදී සිද්ධිය සිදුවූ ස්ථානයේ විත්තිකරු නොසිටි බව ඊට අදාල සාක්ෂි මගින් ‍තහවුරු කරන්න පුළුවන්.

    කතාවේ අන්තිම පේලිය ඒ සඳහා ප්‍රමාණවත්. හොඳ නිර්මාණාත්මක සංකල්පනාවක්.

    ReplyDelete
  6. වෙනස් කතාවක් කියලා මටත් හිතුණා මුලින්ම.මේ කතාව තව ඉදිරියට අරන් යන්න පුළුවන් කියලා හිතෙනවා.

    ReplyDelete
  7. අපි එදා හිටපු කාමරය අයිති හෝටලයේ පොතේ ඇත්තේ අපි දෙන්නගෙ ම ඇත්ත නම්


    මගේ ඇග සීතල වුනා ඒ කතාවට. ලස්සනයි......

    - ‍දේදුනු -

    ReplyDelete
  8. වෙනස් කතාවක්. වෙනස් පරිත්‍යාගයක්. වෙනස් අවසානයක්.

    ReplyDelete
  9. වෙනස්ම පැත්තකින් ලිය උන කතාවක්.. අදත්...

    ReplyDelete
  10. සොඳුරු සිතේ උපන්න තවත් සොඳුරුම නිමැයුමක්....ලස්සනට එක දිගට ගලායන්නෙ...

    ReplyDelete
  11. සොදුරු අක්කේ.. පොතක් එහෙම පබිලිස් කොරන්න අදහස් නැතෙයි... මරු කතාව....

    ReplyDelete
  12. මේ... අහුවට තරහ වෙන්න එපා..! ඩීමන් ආනන්ද මහත්තයා ලියපු විදිහේ කතාවක් එහෙම ලියන්න අදහසක් නැතෙයි..? ජය...!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...