..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Sunday, May 20, 2012

වේලුනු මතක

මතක පිටු අතර - වේලුනු මතක




සමහර දවසට , කම්මැලි හිතුනම මම කරන්නේ මයෙ පරණ පොත් අවුස්සන එක.ඒවයෙ අතර තියෙන මතක, අමතක වෙලා ලියල දාපු කොළ කෑලි. ටොපි කොළ , වේලුනු මල්, කූඹි , ටියුෂන් කාඩ් , සීසන් ටිකට්,

හ්ම්ම්ම්..... අදටත් ඉවර කරල නැති සමහර ටියුට්ස්... බාගෙට ලියපු ලියුම් ,අතන මෙතන ඇදපු බලි, සමහර තැනක පොතක නෝට් එක අස්සෙම ලියලා “ එයා අද ඇවිත් නෑ “ හිහි........ හදිසියේම ඇති වෙන කලබලයකින් වගේ , ආපහු අපිළිවලටම ඒ පොත් ටික තිබ්බ තැනටම තල්ලු කරනවා.මම හරි බයෙන් , මතක ටික අමතක වෙයි කියල ද? නැතිනම් මතකය අලුත් වෙනවට ද?


මේ පොත් පෙට්ටි දෙක තුන ගින්නට පූජා කරන්න කී පාරක් මම උත්සාහ කරා ද? එක දවසක් , අලුත් අවුරුද්දකට ගෙවල් අස්කරද්දි.... මයෙ කාමරයෙන් මේ පොත් පෙට්ටි ටික එළියට ඇදල දමද්දි ,අම්මගෙ මවිතය පිරි ඇස් මා දිහා බලාන හිටියේ “ මේ මොන පුදුමයක් ද ? “ කියන්න වගේ.

එදා වැඩට ගියත් මයෙ හිතට කිසිම සැනසිල්ලක් තිබුනෙ නැති හැටි.භාග නිවාඩුවක් අරන් ගෙදර ඇවිත් ඒ වෙන කොටත් හරි ජයට ඇවිලෙමින් තිබ්බ ගින්න දිහා බලාන හිටිද්දි.

“ අන්න පොත් පෙට්ටිය මම කාමරයට දැම්මා “ කියල අම්ම කීවේ හරියට මගෙ හිත කියෙව්වා වගේ.

ගෙදර කවුරුවත් නැති සමහර මහ මුසල පාලු දවස් වලට , පොත් පෙට්ටි ටික අවුස්සන්න ගත්තම , තනිමං වටේ බොහොම සොඳුරු වගේම වේදනාබර මතක ඇවිත් පිරෙනවා. . . . . පොත් පිටු වලට හිනා වෙන අතරෙම , ඉදල හිටලා පොතක පිටුවක් බොද වෙලත් යනවා.

මතක තියෙන්නෙ හිතේ නෙමෙයි , සමහර ද්‍රව්‍යමය දේවල් එක්කල බැදිල කියල හිතෙන්නේ පොතක අස්සක තියෙන පුංචි ටොෆි කොලයක් දැක්කම තමයි.

ඒත් . . . . . . . මයෙ ජීවිතය අලුත් වෙන්න දැන් කාලය හරි. බොහොම ලෝබකමින් පොදි බැදගත්ත මතක වස්තු ගින්නට පුදන්න.සියල්ලෙන් මිදිලා සමාජයේ පිළිගත්ත කුටුම්භයකට කොටු වෙන්න දැනටමත් පරක්කු වැඩියි.

හදවතින්ම වෙලා ගත්ත දේ අත්හරින එක සර්පයෙක් හැව අරිනව තරම් ලේසි නම් ? හිතට මුවා වෙලා , බොරුව පිරුනු ලෝකෙක ජීවත් වෙන්න හරිම ලේසි වේවි...

පොතක පිටුවක අතර වේලුනු
මලක පෙති ලෙස පාවෙලා
සුවඳ පමණක් තබා යනු මැන
වියලි මතකය හැර පියා

කඳුළු බිද බිද එකතු වී යළි
වියළි මතකය පණ පොවා
අදක් මිස , මිය ගිය හෙටක් ගැන
නොසිත ඉන්නෙමි සිත පියා (හිත පියාගෙන )

13 ප්‍රතිචාර:

Anonymous said...

මාත් දවසක් ගිනි තිබ්බා පොතක්ම කවි ගොඩක් ලියපු. එහෙම කලේ පොත වගෙම පොතේ කවි ලියපු කෙනාවත් අමතක වේවි කියල. ඒත් තවමත් පොතෙ මුලම පිටුවෙ ඉඳන් ලියල තිබුනු අන්තිම කවිය වෙනකල්ම තාම මට මතකයි. හැම දේම හොඳටම මතකයි.

ගොඩගමයා said...

මතකයන් අලුත් කරන්න පුළුවන් දේවල් වලට අපි ගොඩක් වෙලාවට අසයි තමා...
එකනේ අපි කොයි කව්රුත් සමරු පොත් වලට අස...

ගොඩගමයා said...

මතකයන් අලුත් කරන්න පුළුවන් දේවල් වලට අපි ගොඩක් වෙලාවට අසයි තමා...
එකනේ අපි කොයි කව්රුත් සමරු පොත් වලට අස...

දයානන්ද රත්නායක said...

අන්ක් ඒව නම් මම දන්නෙ නැහැ. ඒත් පොතක් ගිනි ගොඩකට විසි කරන්න තරම් කෙනෙකුට හිතක් පහළ වෙනවද කියන්න අමාරුයි. එහෙම කරනවා නමි ඒ හරියට තමන්ගෙ අතේ තියෙනු තුවක්කුවෙන් තමන්ම පපුවට වෙඩි තියාගන්නවා වගෙ මට නම් දැනෙන්නෙ.

මම මගේ පුංචි මතකයක් කියන්නම් ඒ හරියටම 88 - 89 කාලෙ හරියටම භීෂනය ගේ දොරකඩට ආපු කාලෙ. මම පාසල් ශිෂයයෙක් වුනත් පාසලේදි ටොපියක් රස කැවිල්ක් නොකා අමාරුවෙන් ඉතුරු කරගත්ත කීය කිය හරි එකතු කරල ගත්ත රුසියානු සාහිත්‍යය කෘති, ලෙනින්, කාල්මාර්ක්ස්, ගෝර්කි, වගේ අයගේ වටිනාම දැනුම සම්භාරය මිහයිල් ගොර්බචොව් ගේ රුසියානු බිඳවැටීම වගේ වටිනා කෘති එක දවසක ගිනිබත් කරන්න වුණා පවුලේ සියලුදෙනාගේ බලවත් පෙරැත්තය මත.

මොනව කරන්නද ඒ ඉල්ලීම වඩාත් ගෞරවාන්විතව ඉටු කළා එදා. ඒත් අදටත් මම මට අහිමි වූ ඒ කෘති ගැන කම්පා වෙනවා.

ඊට පස්සෙ එකතු කරගත්ත හැම පොතක් පත්තරයක්ම කැසට් පටයක් වගේ දේවල් අදටත් මගේ ගාව සුරැකිව තියෙනවා. ගත්ත තැන, දුන්න කෙනා. ඒ පොතට ලැබුණ හැම සංවේදී මතකයක්ම තාමත් මා සතුයි. අතීත මතක සුවඳ දෙනවා

ඒ හරියට " පොත් මගේ නෙත් වගේ" නිසා..

ඔබේ අදහස ලස්සන අරුත්බර සුන්දර මතකයක්

Naughty (සුරේෂ්) said...

අලේ සොසී..

දුමී said...

ගොඩක් වෙලාවට අපේ පහුගිය මතකයන් තමයි ජීවිතේ කොච්චර සුන්දරද කියලා අපිට කියා දෙන්න. ජීවිතේ සුන්දර බව අපිට අද තේරෙන්නෙ නෑ. හෙට දවසේ ඉඳගෙන යටගිය අද දවස දිහා බලනකොට තමයි ඒක පේන්නෙ.....!

Sarath Chandrasiri said...

මට හිතෙන විදිහ හරිනම් ගෑනු දරුවට මොනවා හරි හිතිලා තියනවා. හාං..... බොරුද මම කියන්නේ.?

සිතින් අමතක කරනු යෙහෙකිද
දියෙහි ලෑ ලුනු අහුර විලසින්
දුකින් උතුරන වතුර සැලියම
සිහිල්වී ලිප නිව්නු දවසේ

(නිරන්ජලා සරෝජනී මහත්මියගේ සිංදුවක එහෙම තිබුනා වගේ මතකයි.) මට..! ඔයාට ජය...!

හරී said...

මටත් පොත් හරි වදයක් කාමරයක් පුරෝලා..

වැඩකුත් නෑ විසිකරන්න හිතෙන්නෙත් නෑ..

Bindi said...

...දැමුයේ කොයි පිටුවෙද..

පොත වැසූ දින මතකද .

දිනක ඒ පෙති හමුවෙද

සුවඳ තාමත් ඉතිරිද ...

තිස්ස දොඩන්ගොඩ said...

මෙන්න ඇවිත් - "රෝස පාට මට එපා" - ලියාපු සොඳුරු සිත!!!!

Demintha Jayasinghe said...

මම මහ ලොකු එකෙක් නෙමෙයි..තවම යන්තම් ඒලෙවල් කරන්න ගත්ත විතරයි..දවසක් මම පන්ති ගිහින් එනකොට අපෙ අම්ම මගෙ කාමරේ අස් කරල ඕලෙවල් පොත් ටික අයින් කරලා..ඒව පෙරලද්දි අම්මට හම්බෙල තියෙන දේවල්(වෙලාවට අම්ම ඔක්කොම දේවල් දන්නවා)කවි,කුරුටු ගාපුවා,සින්දු කෑලි..ඒ මතකය අයින් කරන්න මම කොච්චර උත්සහ කරත් එහෙම කරන්න බෑ..ඒ නිසාමද මන්දා..ඒ පොත්,ඒ මතක සැමරුම් තවමත් මගේ පාලු මකන්න මගේ කාමරේම ලැගල ඉන්නෙ..

සචිත් said...

අතීත මතක
රැදුණු
සොදුරු
මතක
යලි
පාරවන
නෙතට කදුලක්
උනන
මගේ පොත් ගොඩ

Shanthi Chandrasekera said...

hamadama banum ahanawa mahaththayagen parana dewal goda gahagena innawa kia eth ohu danne naha e parana poth godawal athara poth pitu athare bageta liya damu kavi nisadas mal peth ,akkapana kola yaluwange pemwathunata udawwata leewa chiththara ewa dakiddi hitha atheetheta yanawa kochchara sundara kalayakda ewagema mage mahaththaya mata vibageta udaw wenn ewwa hadu gann kola asse leewa panivida eda nodakka sahaththiyak e thula thiyena bawa dan penawa

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...