..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 8, 2012

෴ දොළොස් මහේ පහන ෴

ණ මඩුවේ වුයේ මහා ඝෝශාවකි.ලොකු හාමුදුරුවන් සභාවට වැඩිය ද , ඝෝෂාවේ නම් කිසිදු අඩුවක් සිදු වූයේ නැත.මද වේලාවක් දායක දායිකාවන් දෙස බලා සිටි උන්වහන්සේ තරමක් සද්දයෙන් උගුර පාදන්නට විය.  පිරිස එකා දෙන්නා නැගී සිටින්නටත් , මුණුමුණුව ක්‍රමයෙන් අඩු වන්නටත් , නිංසසල බව පැතිරෙන්නටත් වැඩි කාලයක් ගත නොවිනි.

ලොකු හාමුදුරුවන් අසුන් ගත් පසු දිගැටි බංකු වල නැවතත් අසුන් ගත් දායක සභාවේ ඇත්තන් අතරින් යලිත් මුණු මුණු හඬ දළු ලන්නට විය.

නැඟී එන හඩ යටපත් කරමින් ලොකු හාමුදුරුවන් කතා කරන්නට යෙදිනි.

“ දැන් ඔය ඇත්තෝ කලබොල වෙන්න කාරි නැහැ. පොලිසියටත් අපි දන්වල නෙව තියෙන්නේ. අද අපි මේ රැස් වෙලා තියෙන්නේ හොරු හොයන්නවත් දඩුවම් කරන්නවත් නෙමෙයි. මේ වගේ දෙයක් ආයෙත් වෙනේක වලක්ව ගන්නයි “

“ එහෙම කොහොමද හාමුදුරුන්නේ , එක එකාලට ඕනි විදිහට පන්සලේ දේවල් ඩැහැගෙන යන්න දෙන්නේ.“

දායක සභාවේ සැදැහවත්ම බෞද්ධයාගේ හඩ බණ මඩුවේ සිංහල උළු වහල දෙදරවා යන තරම් විය.

සභාව එකල මෙකල වන අතරේ සැර දමා ගෙන ආ පොලිස් ජිෆ් රථය පංසලේ සුදු වැලි පාර සූරාගෙන විත් නතර විය. දායක සභාවේ පමණක් නොව ලොකු හාමුදුරුවන්ගේ ද  පොලිස් ජිෆ් රිය වටා රොක් වන්නට විය.

ඉදිරිපස ඇරුන දොරින් බිමට බට පොලිස් ලොක්කාගේ කළු පැහැති දිලිසෙන සපත්තුවට පෑගුනු සුදු වැලි කැට කිරි කිරි හඬ නැංවූවත් එය ඇසුනු කෙනෙක් නම් නැත.

“ ආවාසය පැත්තට යමුද හාමුදුරුවනේ , මට පොඩ්ඩක් ඔබවහන්සේ එක්ක කතා කරන්න ඕනි “

පොලිස් නිළධරුවන් පෙරටුකොට ආවාස ගෙට වැදුනු ලොකු හාමුදුරුවන් නොපෙනී යන තෙක් බලා සිටි දායක සභාවේ ඇත්තන්. තම තමන්ගේ මත ප්‍රකාශ කිරීමට වූයේ , එකිනෙකා පරයමිනි.

“ මේක බලා ඉදල බෑ. අද පහන , හෙට මොකක් වෙයිද කවුද දන්නේ “


“ මම නම් හිතන්නේ ඕක පොල් සයිමන්ගෙ වැඩක් , උගෙ ගෑනිත් ලෙඩ වෙලා කරගන්න දෙයක් නැතිව හිටියේ “

“ ඇයි යකෝ , මේකට දම්වැලකුත් දාලා ඉබ්බෙකුත් දාලා නේද තිබ්බේ. යතුරු අපි ගෙදර ගෙනිචචැයි. පන්සලේම නෙව තිබ්බේ.ගමේ අහිංසකයින් පලි නැහැ. මේක නම් හාමුදුරුවන්ගෙම වැඩක්. මුන්ට දං දෙන අපියි මෝඩයෝ. මං යනව බන් ගෙදර යන්න වැඩ කීයක් දාලද අද මේ ආවේ “

“ අර කීවත් වගේ පොඩි හාමුදුරුවොත් පේන්න නැහැ නේද ? “

“ නොදන්න වුන් මේවයෙ අස්සෙ දාගත්තමත් ඔහොම දේවල් වෙනවා “ හින්නි කොලුවා දෙස බැලු එකකු කොල්ලා වෙත හෙලුවේ දැවී හලුවී යන බැල්මකි.

“ ඇයි බන් ඌ අහිසකයා. මේවට ගමේ ගෑණුත් වගකියන්න ඕනි “ ඇහැට කණට පේන ,නිතරම පාහේ පන්සලේ ගැවසෙන , වැන්දඹුවක වී තාමත් වැඩි කලක් ගත නොවූ එකියක දෙස බලා එකකි පැවසුවේ දෑස් වලින් උතුරා හැලෙන ද්වේශයකිනි.

“ හැබෑට දැන් කවුද ඔය පහන පරිත්‍යාග කොරේ.ඒ මනුස්සයටත් දැන්වුව නම් නේද හො ඳ ? “

“ ආහ් ඒ කොළඹ පළාතේ මුදලාලි කෙනෙක් නෙ, උන්දැට ඕක කීවැයි කියල මේ තකහනියක් වැඩ පාඩු කරන් මෙහේ ගාටන එකක් නැහැ. ඕනි නම් තවෙකක් එවාවි “

බොහෝ වේලාවක් බලා සිටි දායක දායිකාවන් , එකා දෙන්නා නිවෙස් බලා යන්නට විය , අවසානයේ ඉතිරි වූයේ පන්සලේ කැහැටු බලු පවුලත් , යන එන තැන් නොමැති නිසාම පන්සලේ ලැග සිටින හින්නි කොලුවාත් පමණි.

එදින එසේ අවසන් වුව ද , පසුදින උදයේ පන්සල් තාප්පය පුරාත් , ඒ ආසන්නයේ ගම පුරාත් ඇලවී තිබූ කැලෑ පත්තර ලීවේ කවුරුන්දැයි දන්නේ දෙවියන්ම පමණි.

“ පහන් හොරා අල්ලාපිය “
“ දං ගෙඩියන් පන්නාපිය “

“ පොලීසියත් මකර කටේ - පහන් වැටත් උන්ගෙ කටේ “

උදේ පාන්දර සීතල දුරැකැමින් පැතීරී ගිය උණුසුම් ප්‍රවෘත්තිය , ඇසූ ගමේ ගැහැණුන් කම්මුල් අත ගහගනිමින් “ අනේ අපොයි “ කීවේය.

“ ඔහොම වෙලා මදි බොලව් . මොකා කරත් පට්ට වැඩේ “ පිරිමින් පැවසීය.

ගමත් පන්සලත් විරසක වූයේ පන්සල තව තවත් අගාධයට තල්ලු කරමිනි. ගමේ මරණයට, දානයට ,බණට ,පිරිතට අල්ලපු ගමෙන් හාමුදුරුවන් වැඩම කරන්නට යෙදුනි. පන්සල ගමෙන් පමනකුදු නොව , පන්සල අනිකුත් සහෝදර පන්සල් අතර ද අගෞරවයටම පාත්‍ර විය.

මේ අතර දින සති මාස ගනන් ගෙවී යද්දී ඇතැමෙකු ඉදහිට පන්සලට ඇදෙන්නට වූයේ ගමේ එකිනෙකා දකිතැයි හොරෙනි. . ලොකු හාමුදුරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහී තිබුනි. පොඩි හාමුදුරුවන් පන්සල හැර ගොස් තිබුනි.

දවස් ගාණකින් අතු නොගෑ සුදු වැලි බෝමළුව පුරා බෝ කොළ විසිරී තිබූ අතර , බෝ ගසේ අතු අග්ගිස්සෙන් නව දළු ලියලමින් තිබුනි.

හින්නි කොළුවාත් , කෘශ බැල්ලත් උගේ පැටවුනුත් පන්සල හැර ගොස් නොතිබුනු අතර ඔවුන් ද ගරා වැටුනු පන්සලේම කොටසක් බවට පත් වී සිටියා වැන්න.

එක් දිනක් මහ රාත්‍රියේ මුළු ගමම නින්දෙන් ඇහැරුනේ පන්සලේ ඝණ්ඨාව නොනවත්වා නද දෙන්නට වූ නිසාය. බිය , සැකය හා වරදකාරී හැඟීම් රැසක් සඟවා ගත් ගම්වැසියන් පන්සලට ඇදෙන්නට විය.

හින්නි කොලුවා ඝන්ඨා කුළුණට වාරු වී ඉකිබිඳිමින් ද , විටින් විට ඝණ්ඨාරය හැකි වෙර යොදා නාද කරමින් ද සිටි අතර කෘශ බැල්ලත් ඇගේ වැඩුනු පැටවුනුත් ආවාස ගෙයි තැන තැන ලැග සිටියේ කළ හැකි සියල්ල කළද තවත් කළ හැකි දෙයක් ඉතිරු නූවන් පරිද්දෙනි.

වහා රථය පනගන්වා ගත් කළු මාමා ද සමඟින් මාද රථයට ගොඩ වුනේ ගමේ වුන් දායක සභාවේ සාමාජිකකේ නොවූ නිසා වන්නට ඇත. ලොකු හාමුදුරුවන් දැඩි සේ ගිලන්ව සිටියේය. රෝහලට රැගෙන යාමට මත්තෙන් උන්වහන්සේ අපවත් විය.

එතුවක් පන්සල හා තිබුනු නොහොද නෝක්කඩු සියල්ල අමතක කර දැමූ ගැමියෝ උන්වහන්සේගේ ආදාහන කටයුතු අතිශය උසස් ලෙස සිදු කිරීමට කටයුතු යොදා තිබුනි.

මළ හිරු බසිනා හැන්දෑයාමයක බොහෝ පිරිසක් සහභාගී වූ ආදාහන පූජෝස්සවය නිමාවත්ම සියළු ගිනි නිමා කරමින් ගිනි දැල්වුනු චිතකයේ උන්වහන්සේ සැතපෙන අතරතුරේ අහසට ගිය දුම් රොටුවක එතී උන්වහන්සේගේ අවසන් වදන් ද මා සවනේ දෝංකාර දෙන්නට විය.

දැඩි සේ ගිලන්ව සිටිය ද , රෝහල වෙත ගෙන යන අතරතුරේ යමක් මුමුණමින් සිටි උන්වහන්සේගේ මුවට සවන ලංකර මට ඇසුනේ

“ පොඩි හාමුදුරුවන්ට කියන්න සමාව දුන්න කියලා. උන්වහන්සෙගෙ වැරුද්දට මං පවු ගෙව්වා. පන්සලට ආපහු වඩින්න කියන්න. “


ගිනි දළු ලන සසර ගමනේ සිසිල සොයන් , තව බොහො දුර යන්න බලන් ,
මම
෴ සොඳුරු සිත෴

6 ප්‍රතිචාර:

Dinesh said...

එතකොට පොඩි හාමුදුරුවොද ඒක කරලා තියෙන්නේ?

ලස්සනයි අක්කේ කතාව..

යසිරු said...

නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

යසිරු said...

නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

Rumal Jayamuni said...

හරිම හොඳයි කතාව!

රූ.... said...

වැරුද්දකට කට පියාන ඉන්න එකත් එක අතකට අසාධාරණයි..

Dush said...

ලස්සනයි අක්කියෝ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...