..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, April 3, 2012

-. නාවිකයාගේ ප්‍රේමය .-

-. නාවිකයාගේ ප්‍රේමය .-


හාත්පස පැතිරි තිබූ ඝණ අඳුරත්, විටින් විට හමා එන සිසිල් සුළඟත් , ඉඳහිට සිදුවෙන නැවේ පැද්දීමත් ඔවු‍න්ගේ කතාවට ම සරිලන වාදනයක් බදු විය. මේ මොහොත මෙහෙම ම නතර වෙනවනම්.

නිශ්චලව තියෙන මහ මුහුද දිහා ටික වේලාවක් බලන් හිටපු නාවිකයාගේ ඇස් ටික වේලාවක් යද්දි අඳුරට හුරු වුනේ ඉඹේමයි. නිසල මුහුද වගේ නාවිකයාගේ හිතත් නිශ්චලවම තිබ්බත් නිසල දිය රැළි අතරින් ඇය මතුවෙත්ම නාවිකයාගේ සිතේ නිසල බවත් බිඳුනා.

නැව් බදේ හැපෙමින් ඇය නාවිකයා දිහාම බලාන හිටියා. ඇගේ ඇස් දිලිසුනේ සතුටින් ද දුකින් ද කියල හිතන්න නාවිකයා කැමැති වුනේ නැහැ. නාවිකයාට ඕනි වුනේ මොහොතක් හෝ මඟ නොඇර ඇගේ ඇස් දිහා බලාන ඉන්න විතරමයි.

නාවිකයාට අද වගේ මතකයි ඇය ව ඉස්සරෝම දැකපු දවස. එදා හඳ පායලා තිබ්බත් ඇය නාවිකයා දිහා බැලුවේ හැංඟි ලා බොහොම හොරෙන්.හැංගි හැංඟි හොරාට කෙරුන මේ හමුවීම් නිසා නාවිකයා කෙරේ ඇය තුල තිබුන බිය පහ වෙලා ගියා. ඇය එනතුරු බලා ඉන්නෙක නාවිකයාගේ දින වරියාවේ ලස්සම වේලාව වුනා. ඇයටත් එහෙම වෙන්න ඇති. ඒත් කියන්න බැරි විදිහෙ පුංචි පරතරයක් ඔවුන් අතර තිබුනත් ඒ පුංචි පරතරය බිඳගෙන එකිනෙකාගෙ වෙන්න වත් ඒ පරතරය වුවමනාවෙන්ම වැඩි කර ගන්නවත් ඔවුන් දෙදෙනාටම වුවමනා වුනේ නැහැ.

නාවිකයා එනතුරු ගොඩබිමේ බලාන ඉන්න පුංචි පවුලක් වුන්න විත්තිය නාවිකයට අමතක වුනේ වත් , තමන්ට හිමි මුහුද බව ඇයට අමතක වුනේ වත් නැති වුනාට , ඔවුන් හමුවෙන වෙලාවෙදි මුළු ලෝකේම හිටියේ නම් ඒ දෙදෙනා විතරමයි.

මුහුදෙ ගෙවුන කාලය නිමා වෙමින් තිබුනා. ගොඩබිමේ දිලිසෙන පුංචි එළි නාවිකයාට දකින්න පුලුවන් තරම් ළං වෙමින් තිබුනා.බොහෝම දුරක් නැව පසුපසින්ම ආපු ඇගේ ගමන ආපසු ආ මඟම යා යුතුව තිබුනා.

අයිති වෙන්නෙ නැති වගේම , අයිතිකර ගන්න බැරි ආදරයක් මේ කිසිම දෙයක් නොතකමින් නිදහසේ ගලායමින් තිබුනා.

කවුරුත් විස්වාස නොකරන දේවල් දැන ගෙන හිටියේ කළුවර ආකාසේ විතරයි. ඔහු ආකාසය දිහා බලල හිනා වුනේ තමන්ගෙ රහස කාටවත් කියන්නෙපා කියන්න වගේ.

" මට කිඳුරියක් හමුවුනා "

ඔහු මහ හයියෙන් කෑගහල කීවත් , කාටවත් ඇහුනෙ නම් නැහැ.


 



බොහොම කලාතුරකින් හමුවෙන සුන්දර අවස්ථාවක් ඔවුන් දෙදෙනාගේම ජීවිත වලට ගෙනාවේ සුන්දර මතකයක් විතරක්ම ද?

දිය කිඳුරියගේ කඳුළු වලින් මුහුද තවත් ලුණු රස වුනා ද?
            උත්තර නැති ප්‍රශ්ණත් එක්ක , මුහුද දිහා බලා ඉන්න
                                    මම
                           ෴ සොඳුරු සිත ෴

11 ප්‍රතිචාර:

තොටියා said...

සමුදුරු කිදුරිය හා බැදි අපූර්ව පෙම....

ජිංජිබිරිස් said...

මාත් කිදුරියක් හොයන්න ගියා ම්හ්
කිදුරියක් වෙනුවට මනුස්ස දුවක් හමිබ උනා
කාටවත් නොකියම ගෙදර අරන් ආවා

kumaraya said...

නාවිකයාගේ ප්‍රේමය ගැන දැනගන්න නම් නබිතුන් සහ කාදම් සරෙං ගෙ කතාව කියවන්න.

See Jay said...

එකිනෙකාට හිමි නොවෙන ලස්සන ප්‍රේමයක්...!

Dinesh said...

කොච්චර ආදරේ උනත් එකිනෙකාට හිමි නැති ආදරවන්තයොත් ඉන්නවනේ..

හිරණ්‍ය said...

සොඳුරු මතකයක් විතරමද කියල දන්නේ ඒ දෙන්නා විතරයි වත්. සමහරවිට මුහුද ලුණු රස වෙන්නත් ඇත්තේ දිය කිඳුරියන් ගේ කඳුළු වලින් වෙන්න ඇති. නිදි කුමාරි කවදාවත් නැගිටින එකක් නෑ, සුදු අශ්වයෙක් පිට නැගිලා හාදු දෙන්න එන කුමාරයෙකුත් නෑ. 'ඉතින් ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් වුණා' කියල ඉවර වෙන්නේ සුරංගනා කතාවල විතරයි.

තරු අරුන්දතී said...

නාවිකයාගේ ප්‍රේමය.......

Anonymous said...

මුහුද ලුණු රස උනේ කිඳුරිගෙ කඳුලු වලින් විතරක් වෙන්න බෑ. මොකද ඔය කිඳුරියො බඩදිය බාන්න ගොඩබිමට එනව කියලයැ. ආවත් මොකෙක්
හරි ඕක වීඩියෝ කරයි.

Anonymous said...

ඇයි දෙයියනේ පවුලක් ඉන්න නාවිකයෙක්වම කිඳුරිට හම්බ උනේ? ඒ නිසා කිඳුරි විතරක් නෙවි නාවිකයත් අනන්ත දුකක් මුලු ජීවිතේම විඳිනවා. ඒත් ඒ කිඳුරි එක්ක ගෙවපු කෙටිම කෙටි කාලය කියාගන්න බැරි තරම් හැඟීම් වලින් පිරුනු ලස්සන කාලයක් වෙන්න ඇති.

දයානන්ද රත්නායක said...

දැන්නම් ඔබ ලියන දේවල් ඉතාමත්ම නිර්මාණාත්මක ප්‍රවේශයකට ළඟා වෙමින් තියනවා. විශේෂයෙන්ම සෘජු ප්‍රකාශනයක් නොවී නිර්මාණාත්මකව කතාව තුළ අඳින සිතුවම් මනසේ විවිධ අයුරින් සිතුවම් කරනවා.

නාවිකයාගේත් දිය කිඳුරියගේත් ආදරය හමුවන්නෙ මහා සාගාරේ විතරද? යන්න නිර්මාණාත්මකව මතක් කරල තියෙනවා.

කොහොම වුණත් මේ කතා කියවන මට හැම තිස්සෙම ගීයක් සිහි කර දෙනවා. මෙන්න අද මට හමුවූ ඔබේ නිර්මාණයට ගැලපෙනම ගීය.

රුවල් ඉරී ගිය නෞකාවේ
නියමුවාණෙනි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩ බිමකට

දෝතට එක්කල වැසි දිය පොවමින් පවසට
ඉරුනු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැක ගත් ඔබ රැක ගතයුතු වේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙර මග තනිවම

සුන් බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
ගැලවී යනු දැන් මේ විපතින් සිත දැඩි කොට

නන්දා මාලිනී ගැයූ මේ ගිය ටිකක් අහල බලන්න ඔය නාවිකයාගේ කතාවයි මේ ගීයයි ගැලපෙන්නේ මොන විදියටද කියලා

Ravi said...

කිඳුරිය ආපහු සමුදුරටම ගියා. ඇය හඬා නොවැලපුනත් ඇගේ නිල්වන් ඇස් දෙකෙන් සමහර වෙලාවට කඳුළු ගලාගෙන ගියා. විශේෂයෙන්ම ඈ අසලින්ම යාත්‍රා කරන නැව් වල ආලෝකය දකින විට....ඈ ඒ ආලෝකය ඈත පුංචි තිතක් වෙලා නොපෙනි යනකල්ම බලාගෙන හිටියා.

සමුදුරට අධිපති දෙවියෝ හරිම කරුණාවන්තයි. එක දවසක් මේ දෙවියෝ දැක්ක කිඳුරිගෙ කඳුලු නොතිබුනත් වේදනාවෙන් පීඩිත ඇස් .

'' දරුවා..මට තේරෙනව ඔය දරුවගෙ හිතේ තියන වේදනාව....මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්....මම ගොඩබිම ජීවත් වෙන්න හැකියාව ඔය දරුවට දෙන්නම්....එතකොට ඔය දරුවට පුළුවන් එයාව හොයාගෙන යන්න..ඒත් එක කොන්දේසියක් පිට. ඔබේ ආයුෂ කෙටි වෙනව ඔබ ගොඩ බිමට ගියොත්....''

කිඳුරිය කල්පනා කලා....අවසානයෙ ඈ දෙවියො අමතල මෙහෙම කිව්ව.

'' ඔබගේ වරයට ස්තූතියි දේවයනි.ඒත් කාරුණිකව ඒ අවසරය ප්‍රතික්ෂේප කරමි.''

'' ඔහ්, ඒ කියන්නෙ ඔබ කැමති නෑ ඔහු වෙනුවෙන් කැපකිරීමක්, පරිත්‍යාගයක් කරන්නට....ඒකද ඔබ කියන්නෙ? ''

'' නැහැ, ඔහු වෙනුවෙන් කලහැකි ඉහලම පරිත්‍යාගය තමයි මම මේ කරන්නෙ....ඔහු වෙතට ගිහිල්ල ඔහුට ප්‍රශ්නයක් වෙන්න මම කැමති නැහැ. ඔහු ආයෙම එනකල් කවදාහරි එනකල්, හැමදාම මම බලාඉන්නව....''

'' ඔහු කවදාවත්ම ආපහු ආවෙ නැත්නම්? ''

'' ඒත් කමක් නැහැ, ඔහු ගැන මතකය හැමදාම මගෙ හිතේ තියේවි, නාවිකයන්ට මඟ පෙන්වන්නෙ උතුරු තරුව....ඔහුගේ මතකය හැමදාම මගෙ හිතේ උතුරු තරුව වගෙ දිලිසේවි...''

ඇය කිව්වා. ඇගේ නෙත් දිලිසුනේ අපරිමිත සෙනෙහසක් තුරුළු කරගෙන කියල දැන ගෙන හිටියෙ ඇගේ හදවත විතරමයි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...