..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, March 8, 2012

෴ පරපෝෂිතයා / The Parasite of The Tavern, ෴

බිදෙන් බිඳ වැටෙන සිහින් පොද වැස්සත් , ජැකට්ටුවෙන් වැසුනු ඇඟට,  දැනෙන දැඩි තෙහෙට්ටුවත් , හිතේ කොහෙදෝ තිබ්බ මත් වීමේ ආසාවත්  ඒ අවස්ථාවේ දී පසුකර යමින් සිටි දැක පුරුදු මුත් ගොඩවැදී නොමැති ප්‍රමාණයෙන් කුඩා තැබෑරුමත්  සියළු අවශ්‍යතා සපුරා ලන්නට වූයෙන් නොදැනීම මුත් යතුරු පැදිය ඊළඟ මොහොතේ දී වූයේ තබෑරුම  අසල වූ සිහින් පටු තිරුවේ ඉඩක් සොයමිනි.

සරිලන ඉඩකඩක් සොයා ගත නොහැකි තැන්හි තාර පාරට මදක් එපිටින්  ද තැබෑරුම් දොර හරස් නොවන සේ  ද හැකි තරම් සීරුවට ද යතුරු පැදිය නතර කළ මා ජැකැට්ටුව නොගලවාම තැබෑරුම තුලට රිංගුවේ හැකි ඉක්මනින් නැවතත් ගමන ඇරඹිය යුතු වූ නිසාමය.

නිදහසේ බීර වීදුරුවක් තොල ගෑමට  තිබූ ආසාවන් සියල්ල දවා ලමින් ද තැබෑරුම් හිමිකරුගේ සකල සියළු ප්‍රාර්ථනාවන් ඉටු කරමින් ද තැබෑරුම  තුල වූයේ එකම මී මැසි පොදියකි.සියළුම මේස පිරී ගොස් තිබුනු අතර මේස වල වාඩි වූ හුන් පිරිසටත් වඩා වැඩි පිරිසක් තවමත් මත් නොවූ දෙපා වලට මත් වෙමින් තිබූ ශරීරයන්හි බර දෙමින් හුන්තැනම සිට කාලේ බෝතල් කටේ හලා  ගනු දැකිය හැකි විය.

තබෑරුමේ අඳුරු අහුමුළු වල හුන් බේබදු ගැහැණුන් ද ,ලෝක විනාශයේ මුව විට සිටින්නාක් මෙන් පිරිමින්ට නොදෙවෙනි ආකාරයෙන් බීමේ නිමග්නව සිටිනා යුරු දැකිය යුතුව තිබුනේ තොල් රතු කර ගෙන මහ හඩින් කෑගසනා කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය බැව් මට සිතේ. එකම අසමානක කම වන්නේ පිරිමින් ඔවුනට අඳුරු අහු මුළු පමණක් හිමිකර දීම විය හැක.

පෙණ නඟින බීර වීදුරුවේ සිහිනය බිඳි යද්දී , තැබෑරුමෙන් පිටට පිලිපන් මා යතුරු පැදිය නතර කර ආ ඉසව්ව දෙස විමසිල්ලෙන් බැලුවෙමි. ඒ වන විට ද යතුරු පැදිය කෙරේ අවධානය යොමු කළ අයකු ඒ අසල ගැවසෙනු දුටු මා පය ඉක්මන් කළේ , ගරාජයේ ගාල් කළ යුතු වූව ද තවමත් මා සමඟ සිටිනා අපූරු සඟයාට හිරිහැරයක් වීමට දිය නොහැකි නිසාය.

“ ආහ් . . . . මහත්තය යන්න ද ? . . දැන් නේද ආවේ “

යතුරු පැදිය පැදකුණු කරමින් සිටි මිනිසා එකවරම ඇසුවෙන් ඔහු මා සම්බන්ධයෙන් විමසිලිමත් වී ඇති බැව් පසක්වත්ම , මගේද විමසිලි දෑස් ඔහු කෙරේ යොමු විය.

මැදි වියද ඉක්මවමින් සිටි ඔහුගේ වයස හැටකට වඩා වැඩිවිය නොහැකි හැකි බැව් මට සිතුණි. මාගේ කාල නිර්ණයන් වරදින්නේ නම් ඒ ඉතාමත්ම නොසැලකිය හැකි අවස්ථාවක දී පමණි. තැනින් තැන පැල්ලම් වැටුනු කිලිටි කමීසයකුත් , රටාව සොයා ගත නොහැකි ලෙස කිලිටි වී තිබුනු සරමකුත් හැදන් වුන් හේ තම සටකපට දත් පෙන්වා අව්‍යාජ ලෙස මා හා සිනා සෙන්නට යත්න දැරීය.

“ ඔවු. . . .බාර් එකේ ඉඩ නැහැ . . . .  “

“ අයියෝ මහත්තයා . . . යන්නකෝ උඩට “

ඔහු තැබෑරුමේ ඉහල මහල දෙසට අත දිගු කරමින් පවසන්නට වූයේ. . මා හට කරන උපකාරයක් ලෙසින් හිස ද නමමිනි.

“ උඩත් තිය ද ? “

“ ඔවු සර් . . ටොප් බඩු “

ඇසක් ඉඟිමරමින් ද , ශේෂ වූ උරිස් මේඛලාව මඳක් ඉහලට ඔසවමින් ද  ඔහු ගෙන හැර පෑ සහිතකය හමුවේද මා නොසෙල් වී සිටිනා යුරු දුටු හේ  ඉහල ඇති බඩු තරමක් ගනන් නමුත්  හිරිහැරයන් නොමැතිව රස විඳිය හැකි බැව් වැඩි දුරටත් පවසන්නට විය.

බීර වීඳුරුවේ පෙණ බුබුළක් සේම නිරායාසයෙන්ම මා සිතේ මතු වී ආ කුතුහලය විසින් මෙහෙය වනු ලැබු මා උඩුමහලට යන්නට පෙර ගතයුතු ආරක්ෂක පියවර කිහිපයක් ඒ වන විට මා ලබා තිබූ අත්දැකීම් විසින් මා වෙත මතක් කර දෙන්නට යෙදුනි.

“ ඒත් ලොකු උන්නැහේ. . .  උඩට ගියහම මේ බයිකෙක පෙන්නැහැ නේ. අනික මේක මෙහෙම දාලා යන්නත් බැහැ. හරි අයියල නෙ මේ ඒරියා එකේ ඉන්නේ “

“ අයියෝ බය වෙන්නෙපා සර්. . . සර් උඩට ගිහින් එන්නකෝ...මම මේක බලාගන්නම්. කිසිදේකට බය වෙන්නෙපා “

යතුරු පැදියේ යතුරු ලැ හැකි සියල්ල යතුරු ලූ මම බීර පෙණ අතරින් පෙනෙන තැබෑරුමේ උඩුමහල බලා පිය නැගුවේ බීර පොඳක් තොල ගෑමට පමණක් සිතා නොවන බව දැන ගැනීමට නම් , කම්මැලි ඇඟිලි තුඩු වටා දැවටෙන ඊළඟ කතා වාරය එන තෙක් ඔබට මාහා රැඳී සිටින්නටම සිදු වෙනවා ඇත.



මෙන්න දෙවැනි කොටසට යන්න පාර. . .

11 ප්‍රතිචාර:

බස්සා said...

ටොප් බඩු.....

Ravi said...

අන්න වත්තො.....නියම කතාවක්..තැබෑරුම් සම්බන්ද කතා කියන්නෙ ආයෙ ඉතිං කියන්ට දෙයක් නෑ, මගේ ජීවිතේට ඉතාම සමීප කතා...හෙහ්, හෙහ්,

/ තබෑරුමේ අඳුරු අහුමුළු වල හුන් බේබදු ගැහැණුන් ද...../

මෙන්න මෙතන හැබැයි කෙල්ලෙ , තියනව පොඩි කොස්සක්, උඹ මේ කියන්නෙ ලංකාවෙ තැබෑරුමක් ගැනනම් මේ සීන් කෝන් එක ටිකක් අන්විස්වාසබල්...එහෙම නැත්නම් අවුලක් නෑ......

Praveena Palipana said...

කතාවේ ඉතුරු ටික (හොඳම හරිය ) අහගන්ට ඕනි හන්දා ඉතින් රැඳී ඉන්නම්.:)))

ඔය කම්මැලි ඇඟිලි තුඩුවලට කරන්ට දෙයක් නැද්ද?

Observer said...

ගැහැණු ඉන්න තැබෑරුමක් නං කොළඹ හයි ෆයි එකක් එහෙම නැත්තං පිටරටක වෙන්න ඕනෙ. එතකොට කතාව ට්‍රාන්ස්ලේෂන් එකක්ද එහෙම නැත්තන් නිර්මාණයක්ද ?

කොහොම වුනත් රවි කිව්ව වගේ ' you are speaking my language '

Dinesh said...

බීර වීදුරුව කොහොම වෙතත් බයිසිකලේ උස්සන් යාවිද දන්නේ නෑ.. බලමුකෝ ඊළග කොටසත්..

දයානන්ද රත්නායක said...

මේ කෙටි කතාව නම් අපුරුයි. ඒත් පොඩ් ගැටලුවක් තියෙනවා. මේක ලංකාවෙ පරිසරයට නම් ගැලපෙන්නෙ නැහැ.

කීපවතාවක්ම නැවත නැවත කියෙව්වා. රුසියානු සාහිත්යයයේ නොමද ඇසුර මේ කෙටිකතාව තුල දිව යනවා.හරියට පළමු සහ දෙවන ලෝක යුද සමයේ ජන ජීවිත කෙටි කතාව තුල දිවෙනවා. අනෙක් අතට Western Film එකක ජවනිකාවක් වගේ රූප රාමු පෙළක්ම කතාව තුළ ඇ‍ඳෙනවා.

අර බයික් එක වටේ කැරකෙන මිනිසා විස්තර කර ඇති විදියට මේ කතාවට අනුව ඔහුට සරම ගැලපෙන්නෙ නෑ. එතකොට නිකං අස්වාභාවික ගතියක් දැනෙනවා.

ලස්සන කෙටි කතාව හරියටම චිත්රටපට ජවනිකාවක් වගේ මනසේ ඇ‍ඳෙනවා.

හැබැයි ලංකාවෙ නම් බීර බිව්වත් ඊළඟ හෝල්ට් එකේ පොලීසිය ඉන්නවා. බැලුමක් පුම්බලා වෙරි බහිනකම් කූඩුවේ. බීලා වාහන පැදෙව්වොත් බඩුම තමා. ආයෙ දෙකක් නෑ.

පැතුම් [සිතුම් පැතුම්] said...

ඊළඟ කතාවාරය එන තුරු ඉවසිල්ලක් නැත.

කිරිපුතා said...

මේක ටිකක් බටහිර පන්නෙට බරයි වගේ.....
ඉක්මනටම ඉතුරු ටිකත් දාන්න

Sumith Niriella said...

කවුරු කොහෙම කිව්වත් මේක ලංකාවෙ වෙන්න බැරි දෙයක් නෙවෙයි කියලා මම හොඳටම දන්නවා. ගම්පහ රෙස්ට් හවුස් එකේ අපි සෙට් වුන දවසක මම දැක්කා එක අම්මන්ඩි කෙනෙක් බෙබෙක් එක්ක කොක්කක් ඇදගෙන බෝතලයක් කඩලා ඒකෙනුත් අනින්න ගියා. වැඩේ බේරුමක් කළාට පස්සෙ, වාහෙවත් CM බයික් එකේ පිටිපස්සෙ දාගෙන ෂෝක් එකට ගියා කොණ්ඩෙත් වන වනා රෙනිගේඩ් වගේ...
දැන් ලංකාවෙ ස්ත්‍රීන්ට සමතැන් හම්බවෙලා, ඉතින් කිසි අවුලක් නැතුව ඕන තැනක අනුමත වෙනවා.

ක්සැන්ඩර් | Xander said...

කොළඹ හයිෆයි වෙන්න ඕනෙම නෑ ඔබා මාමේ.. මං නම් ගෑනු ඉන්න තැබෑරුම් වල බීල තියනවා. හයිෆයි නොවීත්.

Observer said...

@ Xander,
මීගමුව පැත්තෙද ?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...