රෑ පිපුනත්
සුවඳ අරන්
පමා වෙලා මං
උදේ පිපුන
මල් ඔක්කම නෙලා ගිහින් නම්
පමා වෙලා මං
හොඳටම පමා වෙලා මං
සඳ දකින්න නෑ
දැක්කත් අයිති කියනු බෑ
තරු යායක
පිපුන සඳට
පෙම් බඳින්න බෑ
පමා වෙලා මං
හොඳටම පමා වෙලා මං
ගුමු ගුමුවක් නෑ
බඹරුන් රෑට එන්නෙ නෑ
රැහැයි නාදේ
සුවඳ ගන්න
උන් දන්නේ නෑ
පමා වෙලා මං
හොඳටම පමා වෙලා දැන්
සඳ යනවා ඉර එනවා
මම මෙතනම තනි වෙනවා
පිපී සුවඳ දී රහසෙම
රැයට හොරෙන් මිය යනවා
පමා වෙලා මං
හොඳටම පමා වෙලා මං
නුඹෙ ආදරෙ විඳගන්නට
පමා වෙලා මං
පමා වෙලා පිපුනු මල
මම
෴ සොඳුරු සිත / වත් ෴



14 ප්‍රතිචාර:
තරු යායේ පිපුනත් සඳ අයිති නුඹට නම්...
ඒ සඳ වෙත පෙම් බඳින්න නෑ කිසි තහනම්........
පමාව පසුතැවිල්ලට හේතු වේ
සඳ පමාව කියද්දී
හිමිහිට මතුවන ඉර
නගන ඉරිසියාව...
සිත් අදගන්නා ඡායාරූපයක් හරිම තාත්විකයි. ඒවගේම ලස්සනයි.
කවිය ඇතුලේ ගීයක අකෘතියක් තියනවා කවියට වඩා ගීතවත්.
මේ කවිය ඇතුලේ මොකක්දෝ දුකුබර කතාවක් හංගලා තියනවා වගේ පේනවා
හපොයි... මේ කවිය ෆේස් බුකියේ කෙල්ලෙක් දාල තිබුන.. මම හිතුවේ එයා ලියපු එකක් කියලා..:-(. ඔයා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නෑ නේද??
හ්ම්.... කාට කියන්න ද? හැමදේම කොපි කරනවා. කතෘගේ නමවත් නැතිව.දැන් නම් මේවට හුරුවෙලා. එහෙමනම් අන්තර්ජාලයේ නොලිය ඉන්න වෙනවා.... මට රික්වෙස්ට් එකක් එවන්න . මගේ වත් පොත sonduru sitha.
හ්ම්ම්..
සඳ නැඟුනත් සිත් අහසේ
ලබන්න බෑ උණුසුම ඒ,
තරු කැටි ලඟ මම කුසුමෙකි
පමාවෙලා මං,
නුඹේ ආදරේ විඳගන්නට පමාවෙලා මං..
අනේ මම මේ කවියට හරිම ආසයි.. මම මේක share කරනවා හොඳේ වත් අක්කේ..
"සද යනවා ඉර එනවා
මම මෙතනම තනි වෙනවා..."
හැමදාමත් වෙන්නේ මේ ටික නේද...
ගොඩක්ම ලස්සනයි අක්කේ...
අදමයි මේ පැත්තට ආවේ...
හැමදාම වගේ සුපිරි. හැබැයි චුට්ටක් කලින් පිපුන නම් ගොඩ නේද ?
පමා වෙලා නෑ අපි කවුරුත්...
තවත් වෙලා තියේ අපි හැමෝටම.
පමා වෙලා නෑ අපි කවුරුත්...
තවත් වෙලා තියේ අපි හැමෝටම.
මල් වට්ටියට ගියාම පහුවදා වෙනකොට පරවෙලා ගිහිල්ල. පඳුරෙම උන්නම කීපදොහක් ඉන්න ඇහැක්වග හිතුනෙ නැද්ද ?
වැඩිපුර වෙලා නින්දගියපු බඹරක්වත් නැතිවෙයිද එන්නෙ ?
අර "රැයට හොරෙන් මිය යනවා" කියන තැනට "දහවලට හොරෙන්" කියලයි මට හිතෙන්නෙ. සමාවෙන්න! කවි ගැන නං මම දන්නා උලව්වක් නෑ!
දයානන්ද කිව්වා වගේ මේක හරිම ගීතවත්!
පමා වෙලා මං
හොඳටම පමා වෙලා මං
නුඹෙ ආදරෙ විඳගන්නට
පමා වෙලා මං...
පමාවූ වසන්තයේ පිපුනු
මල මම
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.