..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, March 26, 2012

෴ සමුගෙන්න යන්න ඔබෙන් තව මොහොතයි ෴


නිදිබර ඇසි පිය මොහොතකට එසවූ ඔහු දුටුවේ කිසිම හිඩසක් නොමැතිව පියවිලා තියෙන ඇගේ තොල් පෙති , ඇගේ තොල් මත මන්දස්මිතයක් තැවරිලා තිබුන කියල ඔහුට හිතුනා.කොහොමත් ඔහු ආපු දවසට ඇය ඉන්නෙ හරිම සතුටින් විත්තිය ඔහුට රහසක් නෙමෙයි.


ඇය හමුවෙන දවස ඔහුගෙ ලෝකයෙත් සතුටුම දවස කියල ඇය දන්නව ද කියල නම් ඔහුට හිතා ගන්න බැරි වුනා. ඔහු හිස තියාන හිටියෙ කොහෙද කියල ඔහුට වැටහුනු ගමන්ම ඔහුගෙ වත පුරාත් පැතිරිලා ගියේ සතුටින් ප්‍රමෘදිතවුන සිනාවක්.

ඇගේ හිතේ දොර පියන් තමන් ට ඇරල දාපු විදිහටම විවර වෙලා තිබුන කවුළුව අතරින් ආපු සඳ එළියෙන් ඇගේ උස්පහත් වෙන නිරුවත් පිරුණු පපුව දිහා ඔහු ආසාවෙන් බැලුවා.ඒ පපුවට තුරුළු වෙලා ආයෙත් නිදා ගන්න ඔහුට හිතුනත් දැන් ඒකට වෙලාවක් නැති බව මතක් වෙද්දිම ඔහු මුවින් ගිලිහුනු සුසුමේ සැර ඇගේ පපුවෙ වැදිලද කොහෙ ද ඇගේ දිගැටි දෙනුවන් නින්දෙන් ඇහැරුනා.


“ ඔයා යන්න ද ? “

“ හ්ම් . . . . . .  “

“ හ්ම් . . . . . . “

ඇගේ සුවැති නිරුවත් පපුවෙන් ඔහු හිස එසව්වෙ කැමැත්තෙන් නම් නෙමෙයි වෙන්න ඇති. ඒත් . .

“ වෙලාව හරි මැණික “

“ ඉන්න , මම වතුර එකක් ලිපේ තියන්නම් , තෙකක් බීලම යන්න “

එපා කියන්න ඔහුගේ දිව නොනැමුණේ , ඇගේ ඒ පුංචි සතුටත් ඇගෙන් උදුරගන්න තිබ්බ නොකැමැත්ත නිසාමයි.

ඇයට යන්න ඇරල මොහොතකින්ම ඔහුත් ඇගේ පසුපස්සෙන්ම වැටුනා. වතුර කේතලය උතුරනකම් වගේම  , ඒ වතුර තේ කහට වලට වැටිලා සීනි කිරි පිටි ගානට දාලා ඇය තේ හදන හැටි ඔහු බලාන හිටිය මිසක් , එතන තිබ්බ නිස්කලංකබව බිඳින්න ඔහුටවත් ඇයටවත් උවමනා වුනේ නැහැ. විටින් විට මුණ ගැහැනු ඇස් වලින් හිනා වුනත් ඒවයෙ ලියවෙලා තියෙන දුක්බර කතාව වචන වලට හරවන්න දෙන්නටම ඕනි වුනේ නැහැ.

ඊළඟ මොහොතෙ ඔවුන් හිටියේ නිවසේ දොරකඩ , හදිසියේ නමුත් යහමින් පිළියල වුනා කියල හිතන්න පුලුවන් බත් පාර්සලයක් ඔහු අතේ තිබ්බ ඇගේ ඇසින් කඳුළක් වැටුනා.

“ ආයේ කව දද එන්නේ “ කියලා ඇය ඇහුවෙවත් , “ මම විඟහින් එනව මැණිකෙ “ කියල ඔහු කීවද කියලවත් මට ඇහුනේ නම් නැහැ.

නමුත් ඔහු බොහොම ස්නෙහසින් ඇගේ තොල් මත කෙටි හාදුවකුත්  ඇගේ නලල  මත දීර්ඝ හාදුවකුත් තියනවත් ඇය එය විඳගන්නා අයුරුත් නම් මම බොහොම පැහැදිලිව දැක්කා.

“ පරිස්සමින් ගිහින් එන්න “ කියන වචනත් එක්කම ඔහු නිවසින් පිට වුනේ ත් උදැසන සීතල මීදුම අතරින් ඔහුගේ රුව ක්‍රමයෙන් නොපෙනී ගියෙත් මගේ ඇහැට කඳුළක් එක් වුනේත් එකම වෙලාවට වුනත් , වැඩි කල් නොගොසින්ම ඔවුන් නැවත හමුවෙන්න ඇති කියලා හිතලා මම මගේ හිත සනසගත්තා.

අහල බලන්න . . . . මට හිතුනේ මේ ගීතය ලියැවිලා තියෙන්නෙ නම් ඔවුන් දෙදෙනාටම තමයි කියලා.

Gynadasa Kapuge/Malani Bulathsinhale - DAM PATIN LA SANDA .mp3









10 ප්‍රතිචාර:

දයානන්ද රත්නායක said...

දිගු නිහැඬියාව බිඳල ගේන ගීයත් කතාවට හරියටම ගැලපෙනවා. හැබැයි මේ ගී‍යේ තියෙන සෘංගාරාත්ම බව තව ටිකක් කතාවෙන් රස කලානම් නියමයි.
ලූෂන් බුලත්සිංහල මේ ගීය ගැන දකිනේනෙ මේ විදියට" දම්පාටින් ළා සඳ බැසගෙන යනවා දකින්න පුළවන් වෙන්නෙ කලාතුරකින්. පුන් පෝය දවසක අලුයමටයි. ස්වභාව ධර්මය සමහර වෙලාවට එක එක හාස්කම්පානවා එකම දර්හනය චිත්‍ර ශිල්පියෙක් දෙවරක් ඇන්දොත් ඒක දෙවිදියක්.සොබාදහම නිරමාණය කරන සෞන්දර්යයත් ඒ වගේ"

එක්තරා දවසක පෙම්වතියක් වෙන් වී යන තම පෙම්වතා සිහිවනු පිනිස අඟුරු කෑල්ලකින් ඔහුගේ සෙවනැල්ල බිත්තියේ ඇන්දලු..
ඔය ගීයට වස්තු විෂය වෙන්නෙ ඒ පෙම් පුවතයි.

කොහොම වුනත් සොදුරු සිත ලියපු මේ කතාවත් කපුගේ,මාලනී ගැයූ ගියත් දෙකම සමානයි

අදයාත්මික ප්‍රේමයේ ගැඹුර, ලිංගික ආලයේ සිදුරු වසාගෙන සංයෝගයේ ප්‍රමෝදයත්, වියෝගයේ දුකත් මේ කතාවයි ගීයයි කියා දෙනවා.

Dinesh said...

හරිම අපූරුයි අක්කේ.. සිංදුව අහලා කතාව ආයෙම පාරක් කියෙවුවා...

පුංචි කුමාරිහාමි said...

මම හිතන් හිටියේ මීට වෙනස් තේරුමක්..ඒ අසම්මත ආදරවන්තයෝ දෙන්නෙක් ගැන..මේකත් ලස්සන අදහසක්...

Anonymous said...

ඔයා දැන් ලියන්නෙ ගොඩාක් අඩුවෙන්... මේ අදහසත් ලස්සනයි

නිසුපා said...

ලස්සන කතාව.ඒත් තව ටිකක් දිගට ලියන්න තිබුනා.මං ආසම සින්දුවක් ඕක.කැම්පස් එකේ මුලින්ම සින්දුවක් කියන්න කිව්වාම කිව්වෙත් ඕක.

වෙද ගෙදර මහ වෙදනා said...

මම ඔබට බොහෝම කැමතියි. මගේ නිගමනය ඔබත් බොලොග් ලෝකයේ සිටින දක්ෂම ලේඛිකාවක්. නලිනිත් ඔබත් එකවගේ දක්ෂයි. මේ ගීය අනුසාරයෙන් ඔබ කළ නිර්මාණය මට හරිම සමීපයි. අතීතයේ දිනක මේ ගී ඛාන්ඩය මගේ ජීවිතේ වෙනස් කලා ඉතාම ප්‍රභල ලෙස. ඒ කියන්නේ 1988 දී අපේ වෙදහාමිනේ මුණ ගැසීම වුනේ ඔය ගීතය නිසා. ඒකත් මේ කථාව වගේම ලස්සන කථාවක්.

සිතුවිලි නිහඬයි said...

ලස්සනයි අක්කා.....

Anonymous said...

Nice template sosi

Ravi said...

'' මහනුවර සිට මාතර බලායන සීග්‍රගාමී දුම් රිය තව ස්වල්ප වේලාවකින් පළමුවන වේදිකාවට ළඟා වනවා ඇත. එම දුම් රිය නවත්වන්නේ........''

පේරාදෙණිය දුම් රිය නැවතුම් පළෙහි ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නිකුත් වූ ඒ නිවේදනය වරින් වර හඬ උස් පහත් වී ඇසුනේ හමන සුලඟේ දිශාව වරින් වර වෙනස් වීම නිසා බව ඔහු දැන සිටියේය.

'' යන්න ඕන නේද?...''

ඇය ඇසුවේ නිවේදනය අවසන් වී මිනිත්තු භාගයක් පමණ ගෙවී යාමෙන් ද පසුවය.

'' තව වෙලා තියනව...ඔය එනවුන්ස්මන්ට් එක දෙන්නෙ නුවරින් කෝච්චිය පිටත් වෙනකොටමයි ''

එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඔහු මෙන්ම ඇය ද දැන සිටියද ඇය මඳ සිනහවක් නැඟුවා පමණි.

තවත් නිමේශයක් ඇය තුරුකොටගෙන සිටි හෙතෙම සෙමින් පහත්ව නළලත සිප නැඟී සිටියේය.

'' ගිහිල්ල එන්නම්...''

'' පරිස්සමින්....'' දොරකඩ සිට ඇය තොල මතුලේ නිවස ඉදිරිපිට පිහිටි මාර්ගය දක්වා විහිදීගිය පිටගැටපෙළ බසිමින් ආපසු හැරී බැලූ ඔහු දෙස බලා කඳුලක් පිස ගනිමිනි.

*****************************************************

ඔයා ලියල තියෙන්නෙ මගේ කතාව නංගි....කතාව කියවද්දි කීප වරක්ම නවත්තල හොඳ හුස්මක් ගන්න උනා හිත පාලනය කරගන්න...ඇත්තමයි...

ඊට පස්සෙ මම ලිව්වෙත් මගේ කතාවමයි,..ඔය ඔහු කියන්නෙ මම....මේ වගෙ සමුගැනීම් අඩුම ගානෙ තියෙන්න ඇති සිය ගණනාවක්....මම මේ කියන්නෙ වසර හතරකට වගෙ එහා පැත්තෙ අතීතයක් ගැන....

මේ ගැන ලියන්නම ඕනයි කියල කීප වරක් හිතල වැඩේ පටන් ගත්ත උනත් දළ කෙටුම්පත් තත්වයෙන් එහාට ගියේ නෑ...දැන් නම් ලියන්නම ඕනය කියල හිතෙනව....

*****************************************************

ඔයා දක්ෂයි කියල මම මීට කලින් අනන්ත වාරයක් කියල ඇති. ඒත් සමහර දේවල් තියනව කොච්චර කිව්වත් සෑහීමකට පත් වෙන්න බැරි...ඒ නිසා ආයෙම කියන්නම්...

You are just incredible.......

෴සොඳුරු සිත෴ said...

@Ravi අයියා...

බොහොම ස්තූතියි රවි අයියා. මම වෙන මොනව කියල කියන්න ද? ‍

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...