ගෙවුනු පැන්සල් තුඩත්
කිලිටි හිස් කොළයකුත්
ගෙන අදිනු මැන ඉතින්
නුඹේ මතකය ලෙසින්
නිල් නුවන්
පිරුනු තොල්
සිනා සෙන කම්මුලුත්
හදන්නට එපා කිවු
දෙබැම මතකයෙ ලෙසින්
මතක අමතක උනත්
නෙතු අගට කඳුළකුත්
සිනාසෙන තොල් මතට
සීත හාදුව පුදන්
සිත්තමේ අවසාන
බොඳ උනොත් ඇස් නුඹේ
කඳුළු බිඳු වලින් එය
සෝඳලා මට එවන්
එවිට මා දැන ගනිමි
මම නුඹේ හදවතේ
ඇති බවත් සිටි බවත්
පෙර දිනේ දුටු ලෙසින්
මතකයේ සුළු තැනක සිටින
මම
෴ වත්෴



10 ප්‍රතිචාර:
ලස්සනයි.. :)
බලාගෙන ඇහේ ඇනෙයි....
ලස්සනයි වත්...
අර මනුස්සයා අඳින පින්තූරෙත් හරිම ලස්සනයිනෙ... ඒක ඇත්තම චිත්‍රයක් නම් ඒ ඇස් කොච්චර ජීවමානද..... ඔයාගෙ කවි කතාවට හොඳට ගැලපෙනවා....
"හදන්නට එපා කිවු දෙබැම..."
මෙන්න මගේ සිත්ගත් කවි යලි කල එලි බැස..
ලස්සනයි අද කවිය
සුදෝ සුදු පෙන පිරිනු
හඬමින්ම ගලා යන
සිහිල් ඇල්ලක් වගේ
කවිය නම් හරි අගේ..
හද මත නොමැකෙන සායමෙන්
මා සොඳුරු සිත්තරා..
ජීවිතේ පාලු රැයකට සඳ එලිය ගෙනැවිත්..
සුදු රැයට සත්සර මුසු කල ඇගේ ගී හඬ මැදින්..
සිතුවම් කල සදා නොමැකෙන සිතුවම...
හීන් හඬින් ඉකිබිඳියි...
මම
හඳ අඳුරට පෙම් බ්ඳින මල
මේ කවියයි, මේ සිතුවමයි නෙත ගැටුන ගමන් මගේ මතකයට ආවේ දයාන් ගැයූ මේ ගීයයි.
"සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනට වැකෙන තුරා...
විඳින්න දුන් ජීවිත අරන් මම
විඳවන්නෙම් මේ භවය පුරා"...
- දයාන් විතාරණ ගැයූ ගීයක් -
/ සිත්තමේ අවසාන
බොඳ උනොත් ඇස් නුඹේ
කඳුළු බිඳු වලින් එය
සෝඳලා මට එවන්
එවිට මා දැන ගනිමි
මම නුඹේ හදවතේ
ඇති බවත් සිටි බවත්
පෙර දිනේ දුටු ලෙසින් /
කිසිදිනක සොඳුර නුඹ,
වෙත එවිය නොහැක එය,
මා සිතේ ඇඳුනු නුඹ,
මතක සිතුවම් කරන,
සිත්තමෙහි අවසනක්,
කිසිදිනක දකින්නට,
නොහැකිබව පසක්වෙයි,
ගෙවෙන හැමදිනෙක මට,
අවසානෙ නුඹ දෑස,
සිතුවමට නඟනවිට,
මගෙ දෑස පිරි කඳුළු,
වලින් බොඳවී ගිහින්,
සිතුවමේ නුඹ වුවන,
දෙස බලා හිඳින්නෙමි,
නොනිමි නුඹෙ නෙතු අතර,
මගෙ කඳුලු හෙලන්නෙමි.
තුන් හතරවතාවක් කියෙව්වා ආසාවට.
ගියා ඈතට ඈතට කියුවෙ හුඟාක් ඈතට....
ඇඟ හිරිවැටිල ගියා ඇහේ ඇනෙයි කියල.
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.