..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, February 21, 2012

෴ වැහි කිරිල්ලී ෴


චිරි බිරි හඩ නගමින් විවේකයක් වත් නොලැබ වරුවක් තිස්සේ එක දිගට ඇද හැලෙනා වර්ෂාව සුමින්දගේ සිතට සැමදා ගෙන ආවේ අමුතුම මිහිරකි. වර්ෂාව හා බැඳී පවතින ඒ සුන්දර මතක සියල්ල කණපිට හරවන්නට අද සුමින්ද ඉදිරිපස පුටුවේ වාඩි සිටින කාන්තාවට හැකි වී ඇති අයුරු පෙවන්වන්නේ ජීවිතයක ඇති අරුමය නොවේ ද.

ඇගෙන් දෑස් ඉවතට ගත් සුමින් ද , කවුළුවෙන් එපිට වැහි බින්දු අතරින් තම මතකය වසර ගනනාවක් එපිටට රැගෙන යාමට ඉඩ හලේ වර්ෂාව විසින් තම මතකය සේදී යා නොදී ඇති බැව් පසක් කර ගනිමිනි .

                 
- - - - - - - - - - - - - - - - - -

තවත් දුක දරා ගත නොහැකිව හුන් වළාකුලු දොඹ ගෙඩි තරමේ වැහි කඳුළු සලමින් හඩන්නට වූයේ න් සුමින් ද තකහනියේම සෙවනක් සොයන්නට වූයේ හැද සිටි ජැකට්ටුව ද විනිවිද යමින් ඇගට රිදවු වැහි බිඳු නිසාමය. මේ මහ වරුසාවේ යතුරු පැදියෙන් යාම ඔහුට කිසිසේත්ම කළ නොහැක්කක් විය. ග්‍රාමීය ප්‍රදේශයක් වූයෙන් සෙවනට තැනක් සෙවීම ද ඉතා දුෂ්කර වූ අතර මාර්ගයේ වාහනයක් දැකිය හැකි වූයේද කලාතුරකිනි.

ඇග සීතල ද සිත කාංසාව ද දුර ලමින් හිස් ආවරණයේ කවුළුව අතරින් ඔහු දුටුවේ ඉදිරියෙන් මහ පාර අයිනට කර නවතා ඇති ලංගම බස් රථයකි. මඟීන් පෝලිමේ බැස යමින් සෙවනක් සොයා කඩිමුඩියේ දිව යනවා පෙනුන අතර අසල තිබුන එකම සෙවන වූ අතහැර දැමූ කුඩා කඩයක් යැයි සිතිය හැකි දිරා ගිය කුඩා ගොඩනැගිල්ල වැහි බිදු දරා සිටියේ ද අපහසුවෙන් බැව් පෙනුනි.

යතුරු පැදිය ඒ දෙසට හැරවූ සුමින්ද දෙස මිනිසුන් හෙළුවේ නොසරුප් බැල්මකි. සෙවනට ගුලි වී සිටි සියළු දෙනා ගේ මුහුණු වල වුයේ එකිනෙකා නුරුස්සනා හැඟීම් සමූහයකි.

වැහි සීතල දරා ගත නොහැකි වූ සුමින් ද ට අවශ්‍ය වුයේ කුඩා හෝ සෙවනකි. යතුරු පැදියෙන් බැස ගත් ඔහු සෙවනට සිටින අය දෙස හෙළුවේ බෑගෑපත් බැල්මක් වුවත් ඔහුගේ බැල්ම දුටු බැල්මක් ඒ කිසිවකු අතරේ නොවීය.සෙවනේ අන්තිම කොණට වී හුන් එක් ගැහැණු ළමයකු පමණක් මදක් සිනා සී ඔහුට ඉඩ දීමට සුදානම් වුව ද . ඇයද සිටියේ තම කුඩා ශරීරයෙන් හරි අඩකටත් වඩා වැස්සට නිරාවරණය කරමිනි.

තෙමුන කිකිලියක මෙන් වූ ඇය දෙස බැලූ ඔහුට ඇති වුයේ සංවේගයකි. ඇගේ කුඩා ශරීරය සිප ගනිමින් ඇගේ ඇඟට ඇලී තිබුන ඇදුම් දෙස බැලීම නොමනා යැයි හුට හැඟුනේ , ඔහු ඇය දෙස බලත්ම  ඇගේ අතේ වූ පොත් මිටියෙන් තෙමුන ලැම පෙදෙස ආවරණය කර ගැනීමට ඇය ගත් අසාර්ථක උත්සාහය දැකීමෙනි.

“ හදන්න බැහැ. ඇදගෙන යන්න තමයි වෙන්නේ. කෝ එන්න කට්ටිය ඉතිරි සල්ලි ගන්න “

ලංගම බසයේ කොන්දොස්තරවරයාගේ හඬින් කඩිගුල ඇවිස්සුනා සේ මිනිසුන් එකා පරයමින් එකා වැස්ස ද නොතකා කොන්දොස්තරවරයා වට කොට ගන්නට වුයෙන් , මෙපමණ වේලා පිරී පැවති සෙවනට ගොඩ වන්නට සුමින්දට හැකි විය.

තෙමුණු කිකිළිය නොසෙල් වී හුන් තැනම සිටියෙන් ගරා වැටුනු කුඩා ගොඩනැගිල්ලේ ඉතිරි වූයේ ඇයත් ඔහුත් පමණි.

“ නංගි ඉතුරු සල්ලි ඉල්ලගන්නේ නැද්ද ? “

“ මම සිසන් “

“ දැන් යන්නෙ කොහොම ද ? “

ඇය සිනාසී බිම බලාගත්තාය. ඇය දෙස ඉතා හොඳින් බැලීමට ය අවස්ථාවක් කර ගත් ඔහු ඇගේ රූ සිරි සැබවින්ම විදගන්නට විය. දිගු කොණ්ඩය තෙත බරිත වී කෙස් වැටිල අගින් විටින් විට දිය බිඳිති බේරේ. ලැමට තුරුළු කරන් සිටිනා පොත් මිටිය පමණක් නොතෙමි සුරක්ෂිතව ඇත.

මිනිසුන්ගේ නොරිස්සුම් හඩත් , කොන්දොස්තරවරයාගේ මුණු මුණුවත් කෙමෙන් විය කී යත්ම කි නෙකා නොයෙක් ආකාරයට තම ගමන යන්නට විය. වැස්ස ද තුරන් වී තිබුනෙන් ඔහුට ද සිය ගමන යාමට හැකි වුවත් වැහි කළුවරේ කාත් කවුරුවත් නැති අඩවියක කෙල්ලක තනිකර යෑමට ඔහු සිත නොකැමැති විය.

“ නංගි . . . ඔයාට ගෙදර යන්න  සල්ලි නැතිනම් මම දෙන්නම් . “

“ මේ වෙලාවට බස් නැහැ. අන්තිම බස් එක තමයි මේක “

“ ත්‍රී වීල් එකකින් යන්න බැරි ද? “

ඇය දෑස් විසල් කර ගත්තාය.

“ තනියම . . . .! ! ! “

“ හ්ම් . . . . මාත් දැන් යන්න ඕනි.ඔයාව මෙතන දාලා යන්නත් බැහැ.බස් එකේ ඉන්නෙත් ඩ්‍රැයිවර් විතර ද කොහෙ ද ? “

වැස්ස ද නැවතී තිබූ බැවින් , ඇගේ දෑසින් ගලන්නේ කඳුළු බැව් වටහා ගන්නට සුමින්දට වැඩි වේලාවක් ගත වූයේ නැත.

“ අකැමැති නැතිනම් මාත් එක්ක බයික්එකේ යං , මං ගෙවල් ගාවින් බස්සන්නම් “

එදා ඔහු පිටුපසින් වාඩි වී පැමිණී ඇය ඇගේ නිවස ආසන්නයේ යැයි කියු තැනකින් බස්සවා ගිය ද, ඇගේ මතකය ඔහුගේ සිත පුරා මුල් බැස තිබුනේ සෑම වැසි දිනයකදීම ඒ මුල් දළු කොළ ලමින් ඔහුගේ හදවත උණුසුමින් පුරවා ලන්නට සමත් විය.

එවක වෛද්‍ය ශිෂ්‍යෙයකු වූ ඔහු ඇය බලාපොරොත්තුවෙන් ඉන් පසු දින කිහිපයක්ම ඇය බස්සවා ගිය තැනත් ඒ අවටත් රැක සිටිය ද ඇයව ඉන් පසු කිසි දිනක ඔහුට දැකිය හැකි නොවූ අතර කාලයා විසින් ඇගේ මතක ඔහුගෙන් දුරස් කලත් , වැසි පැමිණීයේ ඔහුගේ මතක අලුත් කරමිනි.

වැරදීමකින් හෝ ඔහු ඇය නැවත මුණ ගැසුනා නම් ..... කෙතරම් දේ වෙනස් විය හැකිව තිබුනා ද ?

අද ඔහු ඉදිරියේ සිටින්නේ එදා වැස්සට අසුවූ සුන්දර වැහි කිරිල්ලියගේ තටු ගැලවුන ආත්මය බැව් ඔහුට සිතේ. ඔහුට ඇය මතක තිබුන ද ඇයට ඔහු මතක බැව් පෙනෙන්නට නොවීය. ඇය අද සිවු දරු මවකි. දිළුදුකමේ අඩිය සිඹිනා ඇගේ ගෙපැල සැදෑයාමයේ දී බීමත් සැමියාගේ කඨෝර බසින් ද පොඩි වුන්ගේ අඳෝනා වලින් ද නොපිරී පැවතියේ නම් ඒ හෙමත් දවසක දිය.....

මේ සියල්ලට වඩා ඇය අද ඔහුට හමු වූ අලුත්ම රෝගියාය. මේසය උඩ ඇති අලුත්ම ලිපි ගොනුවේ සහ අලුත්ම වාර්තා වල හිමිකාරිය ඇයයි.

අද ඔහු මේ රෝහලේ සමාජ රෝග අංශයේ අංශ ප්‍රධානියාය.



පලි:- මුළු ජීවිතේටම වඩා එකමෙක මොහොතක් වටිනව කියල ඔබට හිතිලා නැද්ද ?


13 ප්‍රතිචාර:

පැතුම් [සිතුම් පැතුම්] said...

ජීවිතේ කියන බොලේ සුළි සුලන් වලට, වැස්සට, අව්වට, ගංවතුරට ගහගෙන ගිහින් පෙරලිලා පෙරලිලා අන්තිමට නතර වෙන තැන කාට හරි කලින් දැනගන්න පුළුවන් නම්.....ඒත් එදාට.......

ජිංජිබිරිස් said...

ඒ වැස්සට හැමදේම කරන්න පුළුවන් උනානමි
අපිට නොදැනෙන මොහොතක්
ජිවිතයක්ම සරු සාර කරන්නට හැකි
එක් නොවට්නා මොහොතක්
ජිවිතේ අර්ථයම ඒහෙම වෙන්න ඇති
මොහොතක අර්ථය ජිවිතය

කිරිපුතා said...

ජීවිතේ ඔහොම තමයි. අපට නොලැබුනු සමහර දේවල් ලැබෙන කොට පරක්කු වැඩියි.

දයානන්ද රත්නායක said...

අකල් මේඝ මහ වරුසාවේ
කාත් කවුරුවත් නැති පාලු වීදියේ
මට මගෙ තනිකම දැනුණා
ඔබෙ දෑස මගේ මතකයේ තිබුණා
දුරස් වූ ජීවිතේ...
යන්න ගිය දුර මාවතේ
කෙදිනකවත් යළි හමු නො වනා වග
මගෙ මතකයෙ තිබුණා..
ආයේ දවසක ඔබ හමු වූ යාමේ
වැහි වැටෙනා වේලේ
ඇයි මට ඔබ හමු වූයේ....
ඇයි මට ඔබ හමු වූයේ....

නන්ඳු said...

"වැරදීමකින් හෝ ඔහු ඇය නැවත මුණ ගැසුනා නම් ..... කෙතරම් දේ වෙනස් විය හැකිව තිබුනා ද ? "
ඇත්තටම..

ලස්සන අදහසක් අකුරු වුණු
වැහි කිරිල්ලියගේ කඳුළුබර කතාවක්.. :)

සාතන් said...

අන්තිම ප්‍රශ්නෙට උත්තරේ, හිතිල තියෙනව.. ඒත් පරක්කුයි :)

Dinesh said...

ඒ එකම එක මොහොතකට ආදරේ කරපු වාර නම් ගොඩක් තියෙනවා අක්කේ.. ඒත් දැන් කාලය ගෙවිලා ගිහින් ඉවරයි..

පරිකල්පන said...

අතීතය මතකයක් සහ අනාගතය බලාපොරොත්තුවක් නිසා මට හිතෙන විදියට අපිට තියෙන්නෙ වර්තමානය විතරයි. අපි අපේ ජීවිතේ කියල අඳුරගෙන ඉන්නෙ එහෙම වර්තමාන මොහොතවල් ගොඩක එකතුවකට...

Ravi said...

බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක මතකද වත්?,....සමනළ ආචරණය....ව්‍යාකූලතා න්‍යාය.....මම කාලෙකට ඉස්සර ඒ ගැන වියුණු සටහනක් ලිව්ව.

ඉතාම නොවැදගත් ඒ වගේම ඉතාම සුළු සිද්ධියක් නිසා , ඒ සිද්ධිය මූලික කොටගෙන ඇතිවන ක්‍රියාදාමයකින් පස්සෙ එහි ප්‍රතිපලයක් විදිහට කාලෙකට පස්සෙ වෙන්න පුළුවන් සිතාගැනීමට පවා නොහැකි තරමේ සංසිද්ධියක්.....මේක සරලව කියන්නෙ අද ලෝකේ කොහේ හෝ සිදුවන සමනල තටු සැලීමකින් එහි ප්‍රතිපලයක් ලෙස තව වසර කීපයකින් ලෝකේ කොහේ හෝ මහා කුණාටුවක් ඇතිවෙන්න පුලුවන්ය කියලයි.....

දැන් ඔන්න සමණල ආචරණය ඔයයි කියන කතාවෙදි ක්‍රියාත්මක වෙන්නෙ මෙන්න මෙහෙමයි..හොඳද..වත්...

***********************************************************

ඔහු කීපදිනක්ම ඇගේ නිවෙස අසල තම යතුරු පැදියේ නැඟී පොරොත්තු වූයේ ඇය හමුවීමේ අටියෙනි.මේ ඔහු එසේ පැමිණෙන අවසාන දිනයයි.

'' අද එයා හම්බ උනේ නැත්නම් මේ වැඩේ අල්ලල දාන්න ඕන...මේක හරියන එකක් නෙවෙයි වගේ''

ඔහු එදින තමාටම සපථ කර ගත්තේ යතුරු පැදියට නැඟී ඒ පණ ගන්වන අතරදීය.

ඇය මේ පිළිබඳව කිසිවක් නොදත්තාය. එසේම දින කිහිපයකට පෙර අතරමඟ දී බසය ක්‍රියාවිරහිත වීමෙන් පසු අධික වර්ෂාවට බත් වීමෙන් වැලඳුනු උණ නිසා ඇය පසුගිය සතියක පමණ කාලය පාසල් ගියේ ද නැත.

යාන්තම් සුව අතට හැරුණු පසු ඇය අද සවස මේ සූදානම් වූයේ අසල පිහිටි මිතුරියක හමුවීමට ගොස් පසුගිය දින කිහිපයේ මඟ හැරුනු පාඩම් සටහන් පිටපත් කර ගැනීමටය.ඇගේ පියා එදිනෙදා කුළී වැඩට ගොස් උපයගන්නා සුළු මුදලින් යැපුණු බැවින් ඔවුන් ගෙවූයේ අග හිඟ කමින් පිරුණු දිවියකි.ඇය සහ ඇගේ සොයුරිය පාවිච්චි කලේ එකම සෙරෙප්පු යුවලකි.

නිවසේ වූ එකම කාමරයේ සෑම තැනම සොයා ද සෙරෙප්පු යුවල සොයා ගත නොහැකිවූ පසු ඇය කුස්සියට ගොස් තම මව ඇමතුවාය.

'' කෝ අම්මෙ අර කළු පාට සෙරෙප්පු දෙක? ''

'' ඇයි මේ කොහෙ යන්ටද? ''

'' පහුගිය ටිකේ මඟ ඇරිච්ච පාඩම් ටික ලියාගන්ට යන්ට කියල මගෙ යාලුවෙක්ගෙ ගෙදර ''

'' ෂහ්, හරි වැඩේනෙ, නංගි කඩේට ගියානෙ ඒක දාගෙන, එහෙනම් එනකල් ඉන්ට වෙයි....''

කඩය පිහිටියේ සෑහෙන දුරකිනි. එබැවින් නංගී ආපසු ආවේ හෝරාවකට පමණ පසුය. ඒ වන විට වැහි අඳුරක්ද පාත් වී තිබුණු බවින් මිතුරියගේ නිවසට යාමේ අදහස ඇය අත්හැර දැමුවාය.

'' කවුද මන්ද අක්කෙ මෝට සයිකල් කාරයෙක් හිටිය අතන දෙවට ගාව. මම යනකොටත් දැක්ක, එනකොටත් හිටිය...මේ දවස් දෙක තුනේමත් මේ පැත්තෙ කැරකුන වගෙ මට මතකයි...කලින් දැකපු කෙනෙක් නම් නෙවෙයි....''

නංගී පැවසුවේ ඇඳුම් ගලවන අතර තුරදීය.

ඇගේ සිතේ සැඳෑ අහසක එක් වරම නැඟී අතුරුදන් වන විදුලි රේඛාවක් මෙන් ඇඳී ගියේ ඔහුගේ මුහුණයි.එදින මොර සූරන වැස්සේ ඔහු තමා නිවස අසලටම ගෙනවිත් ඇරලූ අයුරු....'' ස්තූතියි අයියෙ '' කියද්දී '' ආ, ඒක මොකක්ද නංගි, මම ගිහිල්ල එන්නම් '' කියමින් ඔහු සිනාසී නික්ම ගිය අයුරු...පසුගිය උණ වැලඳී ගෙවූ දින කිහිපයේ පවා ඔහුගේ සිනාමුසු මුහුණ වරින් වර දෑස් පියාගත් කල මනසේ ඇඳීගිය අයුරු.......

'' කෝ නංගි දෙන්න ඔය සෙරෙප්පු දෙක..''

වහා මිදුලට පිවිසි ඇය දෙවට දෙසට නෙත් යොමු කලද ඒ වන විටත් වැස්ස ක්‍රමයෙන් වැඩිවෙමින් තිබූ වැහි බිඳු අතරින් ඇය නෙත ගැටුනේ වැස්සට පෙර ගාල් වීම සඳහා හැල්මේ දිවයමින් සිටි එලදෙනුන් දෙදෙනෙකු පමණි.

ඔහු....ඔව්...ඔහු.....ඊට මිනිත්තු පහකට පමණ පෙර.....වර්ෂාව ඇරඹීමත් සමඟම....අවසන් වරටත් ඇගේ නිවස දෙස බලා තම යතුරු පැදිය පණගන්වාගෙන එතැනින් නික්ම ගොස් තිබිණි.

දිගු සුසුමක් හෙලූ ඇය ඉදිරිපස දොර වසා දමද්දී ගෙතුලට පැමිණි සීතල සුළඟ ඇගේ සිරුරේ හිරිගඩු නංවා ලීය.

'' ඇයි අක්ක දන්නවද ඒ මනුස්සයව? ''

නංගී විමසුවේ කුහුල රැඳුනු දෑසිනි.

'' නෑ, මම දන්නෙ නෑ.....මම කොහොමද දන්නෙ? ''

ඈ පිළිතුරු දුන්නේ නොරිස්සුමෙනි.

Ravi said...

දැන් ඔන්න සමණලය තටු සැළුවා....ඒ කියන්නෙ අර නංගි ගිය කඩේ එදා හවස වහල....අපි කියමු මුදලාලිගෙ කකුල ඇමැට්ටි උනයි කියල ලිස්සල වැටිල ඔයේ නාන කොට...කොහොම හරි මිනිහ වෙදා හොයාගෙන ගියා කඩේ ගෝලයත් එක්ක බයිසිකලේ...ඒ නිසා එදා හවස කඩේ වහල. නංගිට මඟදිම ආරංචි වෙනව කඩේ වහලයි කියල ඒ පාර නංගි ආපහු එනව.

ඒ නිසා ඈ සෙරෙප්පු දෙකත් දාගෙන පිටත් වෙනව මිතුරියගෙ ගෙදර යන්ට...දෙවටට ආව විතරයි ....කව්ද හිටියෙ ඈ එන පෙරමඟ, හිනා කටක් පුරෝගෙන?....

ඇගේ දෙපා එතනම ගල් වුනේ ඇයටත් හොරාම.....මූණට ලේ පිරෙනව නම් ඇයට හොඳටම දැනුන.......

'' අයිය...මේ මොකද මෙතන?.....''

කාලාන්තරයකට පස්සෙ ඇයට ඇහුනෙ ඇගේම කටහඬද කියල ඇයටත් සැකයි.....

'' මම මේ අඳුනන කෙනෙක් මුණ ගැහෙන්න කියල නංගි.....''

ඔහු කිව්වෙ ඇගේ මුහුණ දිහා එක එල්ලේ බලමින්,

'' කවුද ඒ?.....''

ඇගේ මුවඟටත් සිනහවක ඡායාවක්....

'' එන්නකො මෙහාට මම ඒ කවුද කියල කියල දෙන්න.......හෙහ්, හෙහ්, ''

***********************************************************

මොරගෙඩි තරම් වැහි බිඳු මෝටර් රියේ වා මුවාව මතට පතිත වෙද්දී ඔහු නිවසෙහි පෝටිකෝව යට පෝටිකෝව යට රිය නැවැත්වීය.

ඔහු එනතෙක් මඟ බලා සිටි ඇගේ සිනා සපිරි වත දෙස මොහොතක් සිනාමුසුව බල සිටි ඔහු සෙමෙන් දොර විවර කොට රියෙන් බැස්සේය.

'' මොකද අනේ ඔයා පරක්කු උනේ?....මම මේ මඟ බලාගෙන හිටියෙ....''

'' දන්නවනෙ.... මේ වගෙ අනෝරා වැහි වහින දවසට මට තියනවනෙ විශේෂ රාජකාරියක්, ඒකයි පරක්කු උනේ....''

'' මොකක්ද අප්පා ඒ?....''

ඇය විමසූයේ ඔහුගේ අතින් අල්ල අල්ලා ගනිමින් දෙබැමද හකුළුවමිනි..

'' මොකක්ද දන්නවද?....මෙහෙම වහින දවස්වල මම පාර අයිනෙ තියෙන පරණ කඩ කාමර වගෙ ඒවගේ ටිකක් හෝදිසි කරනව ගෙදර යන්ඩ තියෙන අන්තිම බස් එකක් කැඩිල ඉහින් කනින් තෙමීගෙන අඬ අඬා ඉන්න ලස්සන ගෑණු ළමයි එහෙම ඉන්නවද කියල... ''

ඔහු පැවසූයේ ඇය තරයේ වැළඳ ගනිමිනි. ඔවුන් දෙදෙන මහ හඬින් සිනාසෙන හඬ පිටත මහ වැස්සේ හඬද පරදවමින් දසත විසිරී ගියේය.

********************************************

මේ එක සමනල තටු සැලීමක ප්‍රතිඵලය විතරයි...තවත් සිය දහසක් විකල්ප තියෙන්න පුළුවන්.....දැනට මේ ඇති.....හෙහ්, හෙහ්,

සාතන් said...

රවි අයියගෙ විකල්පත් සුපිරි :)

යාළුවා said...

ලස්සනයි අක්කේ ඔයාගේ කතාව නම් ..

වාසනාව අවාසනාව. මේ හැම දෙයක්ම තීරණය කරනවා කියලා මම විස්වාස කරනවා

කිව්වේ කව්ද නම් දන්නේ නෑ ඒ උනාට පතාගෙන ආපු හැටියට ඔතාගෙන යනවා කියන එක නම් අත්දැකීම් අතර මුල් තැන ගත්ත මතකයක්

mekuwi said...

කෙනෙක්ට ජීවිතය ලැබෙන්න වගේම නැතිවෙන්නත් එක මොහොතක් නැත්තන් එක හමුවීමක් ඇති නේද? ඔයාගේ කතා ශෛල්යනම් හරිම අපුරුඉ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...