“ අද පන්තියේ ළමයි අඩුයි නේ ද ? “
හැමදාමත් වගේ ක්ලාස් ඇරුනම ඇයත් එක්ක බස් නැවතුමට යන දිලීපගෙන් එහෙම ඇහුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙමෙයි.
“ හ්ම් . . . . . සමරන්න යන්න ඇති. “
“ සමරන්න . . . . “ උත්තරේ දැන දැන උනත් සම්මානි ඇහුවේ දීලිපගෙන්ම ඒ ගැන අහ ගන්න.
“ ඔවු. . .වැලන්ටයින් සමරන්න “
“ හ්ම්. . . ඔයා මොකද දිලීප ඒ ගැන හිතන්නේ ? “
“ කවුද වැලන්ටයින් ගැන ද ? “
“ නැහැ ළමයෝ සැමරීම ගැන “
“ අනේ මන්දා වරදක් නම් නැහැ.ඒත් ඒක වෙළඳාමක් , ආදරය විකුණන් කෑමක් “
“ හ්ම් . . . . . .“
“ඒත් එදාට අපිට දුකක් දැනෙනවා. “
“ ඒ මොක ද ඒ ? “
“ මට කෙනෙක් නැහැ නේද කියලා “
“ හ්ම්. . . . “
සම්මානිගෙ මුහුණ හැකිළුණා.
“ඇයි එහෙම හිතන්නේ , ඔයාට මේ මං ඉන්නේ “ දීලීප කියාවි කියල සම්මානිගේ හිතේ ඇඳුන උත්තරය තමයි ඒ.
“ දිලීප. අපි කෑමෙක කාලා යමු ද? මට බඩගිනි “ නැති බඩගින්නක් මවා පාමින් ඇය කීවා.
“ අද පාර්ක් එකේ ඉඩ නැතිව ඇති “
“ හ්ම් . . . .එහෙනම් ගෙදර ගිහින්ම කනවා “ පිරිමි හරිම මෝඩයි සම්මානිට හිතුනා.
“ නැහැ. අද වේලාසන නෙ. අපි බස් එකට ගිහින් කමු “
කීවත් වගේ බස් එක , බස් නැවතුමෙන් ටිකක් එහා මුහුද අද්දරට වෙන්න නතර කරල තිබ්බෙ බස් එක පිටත් වෙන්න තව වෙලා තිබ්බ නිසා. පුද්ගලික බස් රථයක් ඒ වෙලාවෙදිත් සම්මානිගේ ගමට යන්න සුදානමින් නතර වෙලා තිබ්බත් මාසෙ ගාස්තුව දීලා සීසන් එකට යන නිසා සම්මානි යන්නේ මුහුද අද්දර තාවකාලිකව නතර කරල තිබ්බ ආණ්ඩුවේ බස් එකේ.
දෙදෙනාම හිටියේ තව මාස දෙක තුනකින් විශ්ව විද්‍යාලයට යන්න තේරිලා. මේ ගිහින් තිබ්බේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට කලින් තිබ්බ ඉංග්‍රීසි භාෂා පන්තියට. දිලීප ඉංජිනේරු අංශයටත් සම්මානි යාන්තමින් විද්‍යා උපාධියකටත් තේරිලා තිබ්බා.
සම්මානිගේ බස් එකටම ගොඩවුනු දිලීප ඇයත් එක්ක වෙනද වගේම එක බත්එක බෙදාන කෑවා. වතුර බීල අත හෝදන්න බිමට බැහැපු දිලීප බස් එකේ පාපුවරුවේ වාඩි වෙලා මුහුද දිහා බලාන ඉන්න ගත්තා. ඔහුව පසුකරන් බසයට ගොඩ වෙන්න උවමනාවක් සම්මානිට තිබ්බෙත් නැහැ. ඔහු වාඩි උනු පඩි පෙළට පහල පඩියෙන් වාඩි උනු සම්මානිත් ඔහුගෙ තනියට වගේ මුහුද දිහා බලාන ඉන්න ගත්තා.
මුහුද අද්දර වෙරළට කිට්ටුවෙන් හයිකරල තිබ්බ හැම සිමෙන්ති බංකුවක්ම පිරිලා තිබ්බ. වෙනදා සම්මානි කෑම ගන්න යන සිමෙන්ති බංකුවටත් අද අයිතිකාරයෙක් ඇවිත් හිටියා.
සුදු පාට බ්ලවුසයත් කළු පාට සායකුත් ඇදන් හිටපු ඇයත් සුදු පාට ෂර්ට් එකතු කළු පාට කලිසමකුත් ඇදන් හිටපු ඔහුත් සීරුවට මුහුද දිහා බලන් ඉද්දි. මේ කිසි දෙයක් නොදන්න ඇගේ සිනිදු කොණ්ඩය දීලිපගේ මුහුණ පුරා විසිරුනේ, මුහුදු හුළඟට අහුවෙලා ද දිලීපගෙ මුහුණට ලෝබ වෙලා ද මන්දා.
හිමීට සාක්කුවට අත යවපු දිලීප ගොඩාක් කාලෙක ඉදන් ආසාවෙන් ළඟ තියාන හිටපු පුංචි කළුපාට ටයිටැනික් හිසපලදනාවෙන් ඇගේ විසිරුණු කොණ්ඩය එකට එකතු කරා. ඇය එකවරම මවිත වෙලා ඔහු දිහා බැලුවේ හිසේ ගසපු කොණ්ඩ කටුවට ඇගේ අත යවන ගමන්මයි.
" මගෙන් තෑග්ගක් "
" මාත් ගෙනාව තෑග්ගක්"
ඇය තකහනියෙම ඔහුවත් පෙරලාන බස් එකට ගොඩ වෙලා, ඇගේ ගමන් මල්ල අරන් ඇවිත් ඔහු සමීපයෙන්ම වාඩි උනේ මුහුණට මුහුණ ගෑවෙන තරම් ලඟින්. ගමන් මල්ලෙ තිබ්බ පෑන් පැන්සල් රදවනයෙන් ඇය එළියට ගත්තේ පුංචිම පුංචි ෂර්ට් බොත්තමක්. ඒක හරියටම දිලීපගේ ෂර්ට් එකේ බොත්තම් වලට සමාන උනා.
ඔහු හැමදාම ඉංග්‍රීසි පන්තියට ඇදපු සුදු ෂර්ට් එකේ උඩ ඉදල දෙවෙනි බොත්තම කලක ඉදන්ම තිබ්බෙ ලිහිලා. ඔහුට එය පිළිසකර කර ගන්නවත් ඒ ඇදුම විසි කරල අලුත් එකක් ගන්නවත් නොහිතුනේ පන්ති දවසට විතරක් නිල ඇදුම විදිහට මේක අදින නිසාමයි.
" බොත්තමක් " දිලීප සිනා සුනේ පුදුමයෙන්.
" හ්ම් . . . ! ! ඉන්නකෝ "
ඊළඟට ඇයගේ දෑතේ ඇගිලි වලට මැදි උනේ සුදු නූලක් දාපු ඉදිකට්ටක්.
" ඔයා නම් මාර කෙල්ලෙක් "
දිලීප ගෙනාව හිස් පලදානාවට හසු නොවුනු ඇගේ කෙස් රොදක් මුහුදු හුළඟත් එක්ක ඇවිත් දිලීපගෙ මුහුණෙ වදිද්දි , ඔහුට කිට්ටු උන ඇය වැලන්ටයින් ගෙනත් දීපු පුංචි බොත්තම , ඔහුගෙ හදවතට තියලා නොගැලැවෙන විදිහට මහමින් හිටියා.
" ඇය හරි අපූරු කෙල්ලක් " සුළඟත් එක්ක ආපු කාගෙ දෝ හඬක් හිමීට මිමිණුවා.
හැමදාමත් ආදරය සපිරි වැලන්ටයින් දිනයක් වේවායි පතන
මම
෴ වත්෴



43 ප්‍රතිචාර:
සොඳුරු සිත්තමක්. මගෙ මතකය සෑහෙන්න ඈතට අරන් ගියා
ශා ලස්සන කතාව.මේක කියවනකොට මට ගියපාර වැලන්ටයින් දිනය මතක උනා.මම එයාට දුන්නේ පාසලඹක් සහ පොඩි කි ටැග් එකක්.....ඒ දිනේ නම් මට කවදාවත් අමතක වෙන්නේ නැ.ඒ වගේම අද මං ළඟ එයත් නැ..........
මරු කතාව.. සිරා සිරා.. උපරිමෙන්ම දැනුනා කොන්ඩෙ ගැවෙන විදිය :)
දිලීප ගෙනාව හිස් පලදානාවට හසු නොවුනු ඇගේ කෙස් රොදක් මුහුදු හුළගත් එක්ක ඇවිත් දිලීපගෙ මුහුණෙ වදිද්දි , ඔහුට කිට්ටු උන ඇය වැලන්ටයින් ගෙනත් දීපු පුංචි බොත්තම , ඔහුගෙ හදවතට තියලා නොගැලැවෙන විදිහට මහමින් හිටියා.
ආසාවෙන් කියෙව්ව....ගොඩක් හිතට වැදුන....හිත කැමති වුනත් ඉටු නොවන ප්‍රාර්ථනයක් හිතේ ඇඳුන...
හදවතට දැනෙන්න ලියඋන ලස්සන කතාවක් අක්කේ...
"...වැලන්ටයින් ඉන්නේ හදවතේමයි.."
සහතික ඇත්ත අක්කේ !!
කව්ද මේ වැලන්ටයින් ? අපි තරුණ කාලෙ කොහෙද දන්නෑ හැංගිලා හිටියෙ ? එක අතකට ඒ කාලෙ හැංගිලා හිටි එකත් හොඳා, වෙසක් කාඩ් එහෙකට වඩා දෙයක් අපි අහලවත් තිබුන් නැති එකත් කොයි තරං දෙයක්ද ?
වැලන්ටයින් නෙවෙයි ඔබා මාමේ ඒ කාලේ හිටියේ නැත්තේ වැලන්ටයින් විකුණගෙන කන මුදලාලිලා සෙට් එක...... මොනවා උනත් පොස්ට් එක ලස්සනයි......
//“ මට කෙනෙක් නැහැ නේද කියලා “
“ හ්ම්. . . . “
සම්මානිගෙ මුහුණ හැකිළුණා. “ඇයි එහෙම හිතන්නේ , ඔයාට මේ මං ඉන්නේ “ දීලීප කියාවි කියල සම්මානිගේ හිතේ ඇඳුන උත්තරය තමයි ඒ.//
ගොඩක් වෙලාවට පිරිමින්ට කටට උත්තරේ දීලත් ලබාගන්න බෑ තමා...
ලස්සනයි .. පුහු ආටෝප තියෙන ලොකු තෑගි වලට වඩා සම්මානිට ඒ කොන්ඩ කටුව අගේ ඇති ,,,,,,,
මේකනම් හරිම අපූරුවට ලියලා තියෙනවා අක්කේ!
"ඔහුට කිට්ටු උන ඇය වැලන්ටයින් ගෙනත් දීපු පුංචි බොත්තම , ඔහුගෙ හදවතට තියලා නොගැලැවෙන විදිහට මහමින් හිටියා." :)
මේ කතාවෙ අමුතුම ගතියක් තියෙනව....
එල
දුක හිතෙනවා අප්පා මෙවා දකිනකොට...ගෙදෙට්ට කෝල් කරා උදෙන්ම....අද උදෙන්ම කථා නොකරත් හිත නරක් වෙනවනේ....
හරිම ලස්සනයි. හැබෑ අත්දැකීමක්ද කියල හිතෙන තරමට හිතට වදින්න ලියල තියෙනවා
ලස්සන කථාවක්
හරිම ලස්සනයි..මට මේ අවස්ට්ථාව ගැන ඇත්තමයි ලොකූ ලෝබකමක් දැනුනෙ..
පට්ට රොමෑන්ටික්... පට්ට ලයික්....
අපි දෙන්නත් සෑහෙන කාලයක් මේ වගේ කෙලින්ම ආදරේ නොකියා, අපි අපිවම රවට්ටගෙන යාලුවෝ විදියට ඉදලා ආදරේ කරපු නිසා මේ කතාව මට ගොඩාක් වැදුනා.
ෂාහ්...නියමයි.
අපිට නෑනෙ මෙහෙම කෙල්ලො.
කෙටි කතාවක් නෙවෙයි ඒකාංගික ටෙලි නාට්‍යයක් වගේ.. සේරම මැවිලා පේනවා... :)
ෆුට්බෝඩ් එකේ උඩ පඩියේ වාඩිවෙලා ඉන්න දිලීප යට පඩියේ වාඩිවෙලා ඉන්න සම්මානිගේ කොණ්ඩේට කොණ්ඩ කටුව ගහද්දී ඇය ඒක අතගාන ගමන් පුදුමෙන් හැරිලා බලන හැටි...
අනේ හරිම ලස්සනයි අක්කා කතාව.....සල්ලි ගොඩ දීලා ගන්න බොරු දේවලට වඩා දෙන්න හුවමාරු කරගත්ත ඒ පුංචි බොත්තම හා කොණ්ඩකටුව කොයිතරම් වටිනවද.....
ඔයා ඔය කියපු තැනම බංකුවක් උඩ වාඩිවෙලා වැලන්ටයින් සමරපු මගේ අතීතෙට මම ආයෙම පිය මැන්න.... ඒත් අද ඇය මගේ ළඟ නෑ....
වින්දෙමි!
සෞදර්යාත්මක බවින් පිරිපුන්, ලස්සන ප්‍රේම වෘත්තාන්යක්.. පුංචි සංවේදීකමකුත් එකතුකරලා තියෙනවා.. අද දවසට ගැලපෙන අපූරු කතාව. සැබැවින්ම රසවත්.
පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඇඟේ තියෙද්දි ඇඳුමක් මහන්නෙ නෑ.ඒක අසුබ දෙයක් විදියටයි සලකන්නෙ. එහෙම මහන්නෙ මැරුණ කෙනෙකුගෙ ඇඟේ තියෙන ඇඳුම විතරයි.
දැන් තමයි මම මෙච්චර වෙලා බලාපොරෙත්තුවෙන් හිටිය කමෙන්ට් එක ආවේ. පුංචි කාලේ ඉදන්ම මමත් අහල තියෙන දෙයක් තමයි ‘ඇඟේ තියෙද්දි ඇදුම් මහන්න හොඳ නැහැ “ කියනෙක. ඒකට හේතුව එහෙම කරන එකම අවස්ථාව මැරුන මනුස්සයෙකුට ඇඳුම් මහන විදහ වෙන්න ඇති.
කොහොම උනත් කතාවේ අවසානයේ දී ඔබට දැනුන ඒ අසුබ නිමිත්ත කතාව ලියල හමාර වෙන කොට මටත් දැනුනා...
ලස්සනයි වත් කතාව, සරලයි, හෘදයාංගමයි....
රුසියන් කෙටි කතාවක් මගේ මතකයට ආව. චෙකෝෆ් හරි ගොගොල් හරි එහෙම නැත්නම් පුෂ්කින්....හරියටම මතක නම් නෑ.
තරුණ අඹු සැමි යුවලක්. දරිද්‍රතාවයෙ පතුලටම වැටිල බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ....
නත්තල් දිනය උදා වෙනව. නත්තල් තෑගි හුවමාරු කරගන්න වත් දෙන්න අතේම කීයක් වත් නෑ.
එදා උදේම තරුණය පිටත් වෙලා යනව රැකියාවක් හොයාගෙන. හවස් වෙනකල් ඇවිද්දත් කීයක්වත් හොයාගන්න ලැබෙන්නෙ නෑ. ඒත් හවස ගෙදර එන්න ඉස්සරල කොහොමහරි ඔහු බිරිඳට තෑග්ගක් හැටියට ගන්නව ලස්සන හිස් පළඳනාවක්...මොකද බිරිඳගෙ තියෙනව අපූරු දිග කෙස් වැටියක්.....
ඔහු ඒ තෑග්ගත් අරං එනව හවස ගෙදර....එනකොට බිරිඳ රෙදිකඩකින් හිස වසාගෙන රාත්‍රි ආහාරය සූදානම් කරනව.
ඔහු පසුපසින් ගිහිල්ල ඇය වැලඳගෙන ඇයට හිස් පළඳනාව තෑගි කරනව.
'' කෝ ඉන්න මම මේක ඔයාගෙ ලස්සන කොණ්ඩෙට මගෙ අතින්ම ගහන්න''
ඇය කිසිවක් නොකියා කඳුළු සලනව.
'' ඇයි ලමයො, ඇයි මේ අඬන්නෙ?...''
ඇය හෙමිහිට හිස වසා තිවූ රෙදි කඩ ඉවත් කරනව.ඇගේ ලස්සන දිගු කොණ්ඩය නෑ. කෙටි වෙන්නටම කපල.
'' දෙයියෝ සාක්කි, මොකද ළමයො...කොණ්ඩෙට උනේ? ''
'' මම කොණ්ඩෙ හවරි හදන තැනකට වික්කා, ''
'' ඇයි ඉතිං මේ හදිස්සියෙ? ''
'' මගෙ ගාව කීයක්වත්ම තිබුණෙ නෑ ඔයාට නත්තල් තෑග්ගක් ගන්න, ඒ පාර මම කොණ්ඩෙ විකුණල ඔයාට තෑග්ගක් ගත්ත. ඉන්න...''
ඇය ඇඳ සිටි සායෙ සාක්කුවට අතදාල ගන්නව ලස්සන ඔරලෝසු පටියක්.
'' කෝ දෙන්න අත... මමම මේක ඔයාගෙ ඔරලෝසුවට දාන්න. ''
ඔහුගේ දෑසටත් කඳුළු පිරෙනව...ඒත් ඔහු කඳුළු පිරි දෑසින්ම මහ හඬින් හිනාවෙනව.
'' මොකද අනේ හිනා වෙන්නෙ? ...''
ඇය අහන්නෙ පුදුමයෙන්.
'' හෙහ්, හෙහ්. හෙහ්. අපි දෙන්න තමයි නියම ජෝඩුව.....මම ඔයාට හිස් පලඳනාව ගත්තෙ මගෙ ඔර්ලෝසුව විකුනල...''
ඇයත් ඔහුත් එකිනෙකා වැළඳගෙන කඳුළු සලමින් හිනාවෙනව.
'' කමක් නැ...ඔයාගෙ කොණ්ඩෙ ආයෙම වැවෙයි...මටත් ඔරලෝසුවක් ආයෙම ගන්න පුළුවන්..එහෙම නොවුනත් අපේ ආදරේ සදාකාලිකයි ...''
ඔහු ඇගේ කණට කෙඳිරීය.
ඇය හිස සලමින් ඔහුගෙ පපුවට තවත් තුරුළු වූවාය.
ඕකම තමා මටත් හිතුනේ..
එක මිටට ගත්තම සරල කථාවක්
ගොඩක් සංකීර්ණ පොත ඇසුරු කරල ඇති අය බොලඳ කථාවක් කියාවි
ඒත් මේ "අමුතු ගතිය" මගහැර යන්න බෑ මටත්
අනේ මන්දා මේ පිස්සෝ කියල නම් දාගන්නේ මොටද කියල :-)
රවි අයියා... මම ඔය කතාව කීවරක් කියෙව්ව ද කියල මට මතක නැහැ... රැසියන් කෙටි කතා වලට මම ආදරය කරේ කියවන්න පුලුවන් උනු කාලේ ඉදලමයි... ඔය කතාව මයේ හිතේ කොහේ හරි මුල්ලක තිබිලා ...මේ විදිහට එළියට එන්න ඇති කියල මට දැනුයි හිතෙන්නේ.බලාන ගියහම අපි ලියන්නේ අපෙන් ලියැවෙන්නේ තව කෙනෙක් ලීව දේකම වෙනත් ආකාරයක්...
“ ද නෙක්ලස්“
“ නූල් කෑල්ල “
එතකොට අර , ගැමි යුවතියක් වගේ ඇදගෙන ගිහින් පෝසතෙක් එක්ක පෙමින් වෙලෙන, අන්තිමට ඒ දෙන්නා සැබෑම ජීවිත වලදි හමු උනාම බොහොම පුදුම වෙන කතාව.
එතකොට අර මහ රෑ පැනල ගිහින් පල්ලියක දි වැරදි කෙනෙක්ව කසාද බැදල අන්තිමට බලන කොට සිහි මුර්ජා වෙලා වැටෙන්නේ.ආපහු දවසක එයාවම හමුවෙන්නේ..
මාරයි....ඒ කතා නම් මාරම මාරයි...
ස්තූතියි රවි අයියේ....ගොඩාක් ස්තූතියි.
ඇත්තටම අක්කේ පොස්ට් ඒක කියවලා ඉවර උනාම මොකක්දෝ අමුත්තක් දැනුනා... ඒත් ඒක මොකක්ද කියලා හිත ගන්න අමාරුයි...
පොස්ට් ඒක ඊයෙත් කියෙව්වා.. අදත් කියෙව්වා... ඒත් අර දැනෙන මොකක්දෝ හැගීම තේරුම ගන්න අමාරුයි වගේ..
දැන් මෙහෙ වෙලාව 7.35pm. මම මේ කමෙන්ට් එකත් 7.15 විතර ඉදන් ලියනවා...
ගොඩක් ලස්සන කතාවක් අක්කේ . කියන්ඩ වචන නෑ . ලියලා තියන විදිහට මට බස් එකයි මුහුදයි අර කෙල්ලගේ විසිරෙන කොන්ඩෙයි මැවිලා පෙනුනා ..
පිස්සු හින්ද නොවැ වෙන මක්කටෙයි ඉතින්:)
ඔයාගෙ කතාව මට දැනුනා...හුඟක්...
මාර ලස්සනයි! මම පරක්කු උනේ අපරාදේ
මුකුත් කියන්නෙ නෑ...මොකද මොනාත් කියාගන්න බෑ.
සැහෙන කාලෙකින් අද මෙහෙට ගොඩ උනේ.. ලස්සන කතාවක්. ඒත් මටනම් මෙහෙම අත්දැකීමක් නෑ. මොකද මම කවදාවත් වැලන්ටයින් සමරලා නෑ. ඒත් මගේ හාමිනේගේ උපන්දිනේ අද. ඒ හින්ද එයාට තෑග්ගක් දුන්නොත් ඇරෙන්න වැලන්ටයින් කියල අවුරුදු 6 තිස්සෙම තිබ්බ ආදරේ අපිට ආදරේ දවසකින් සමරන්න ඕනේ උනේ නෑ. ඒ අපේ ආදරේ සදාකාලිකව අපි සමරන නිසා...
ඇඩුන.
කියවපු ලස්සනම සිංහල කෙටි කතාව..ඇත්තටම ඒකාංගික නාට්ටියක් වගේ මැවිලා පෙනුන.
ලස්සන කතාවක් අක්කේ.... අදමයි ඔයාගේ බ්ලොග් එකට මුලින්ම අවේ... ආස හිතෙනවා කියවනකොට... දිගටම ලියන්න... මගෙන් සුභපැතුම්..
සුපිරි අක්කෙ... මෙච්චර ලස්සන කතන්දර කොහෙද අද.. :)
ඇත්තටම හිතට අමුතු හැඟීමක් දැනුනා....
සම්භාව්‍ය ගණෙය් කථාවක් ෙනාවන බව කවුරුත් සිතට ගන්න.
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.