..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, February 11, 2012

෴ පෙර දිනයක ඈ මා ළඟ සිටියාය -අද ළඟ ඉදිදදි දුර මෙන් දැනුනාය ෴


බොහොම කාලයකට පසුව අද ඔහු ගෙදරය.කාර්ය බහුල පරිසරයෙන් මිදී ආදරය පිරුණ තම නිවසේ ඇයත් සමඟ තනිවෙන්නට දවසක්ම ඇත. උදයේම ඇය සාදා දෙන කෑමෙකත් පොදි බැදන් නිවසෙන් බැස යන ඔහු නැවතත් නිවසට පැමිණෙන්නේ හිරුත් බැස ගොස් බොහෝ වේලාවක් ගතවූවාටත් පසුවය.ඇයත් සමඟින් ආදරයෙන් ගත කළ මොහොතක් තනි වූ මොහොතක් මතක් කිරීමට ඔහු ගත් උත්සාහය නිර්තක වී යත්ම නිදිඇදෙන් බැස ගත් ඔහු ඇය සොයා මුළුතැන් ගෙට පියමනින්නට විය.


ඔහු සිතුවා හරිය. ඇය මුළුතැන් ගෙයි බරටම වැඩය.කිසිවකු පෙනෙන්නට ද නැත. කට කොනකට නඟාගත් සිනාවෙන් යුතුව හොර බළලෙකු මෙන් ඇය වෙත ඇඳී ගිය ඔහු ඇගේ බඳ වටා දෑත් යවා ඇය තම සිරුරට කිටි කිටියේ සිරකර ගත්දීම සිදුවූයේ නොසිතූ දෙයකි.


“ මේ මොන කෝලමක් ද මේ ? දැන් පුතත් ඒවි “


“ අද නිවාඩු නෙ මැණික. කෝ පොඩ්ඩක් ළඟට . .“තව


“ පිස්සු ද ඔයාට . ඔයාට නිවාඩු උනාට අද මට දාහක් වැඩ තියෙනවා.එහෙනම් හොඳ මහත්තය වගේ අද පුතාව ක්ලාස් අරන් යන්න ඔයා. පොඩි පුතාට බෙහෙත් විදින්න යන්නත් තියෙනවා. ඔයාගෙත් හෝදන්න තියෙන රෙදි තියෙනම් සාක්කු සුද්ද කරල බාත් රූම් එකේ බේසමට දාන්න. “


“ කිස් එකක් වත් දෙන්න බැරි ද? “


“ ඕනි දෙයක් දෙන්නම්. හැබැයි රෑට. දැන් ඔය කෝලම් නවත්තල ,මුණ හොදන් ඇවිත් මේ තේක බොන්න “


ඇය සිනාසුනාය, ඔහුට අණ කලාය. මැෂිමක් සේ එක සීරුවට වැඩ කළාය. ඇය හොඳ ගෘහණියක බවත් , ඉතාම හොඳ මවක බවත් , තම දුක සැප සොයනා අගනා බිරිඳක බවත් ඔහු සිහි කළේ , දරුවන් හා ඇගේ ලෝකයෙන් තමන් පිටමන් වූයේ කවදාසිටදැයි කල්පනා කරන ගමන්ය.


ප්‍රීතිමත් තරුණයා වෙනුවට , කැඩපතින් දකිනා මේ විවාහකයා කවුදැයි ඔහු සිතන්නට විය. මදක් හිසකේ ගිලිහී ගිය හිසක් , තරමක් තරබාරු දේහයක් , මදක් ඉදිරියට නෙරා ආ කුසක් සහිතව කැඩපත ඉදිරියේ සිටින්නේ ලෝකයා හමුවේ සාර්ථක මිනිසෙකි.හොඳ සැමියෙකි.දයාබර පියෙකි.


සිහින් දැවිල්ලක් සමඟින් පැසුණු මුහුනේ එහා මෙහා ගිය රේසරය මදකට නැවතුන අතර , ඔහු තම හදවත අල්ලා බැලුවේ දැවිල්ල පැන නැගුනේ හදවතින් දැයි බැලීමට මෙනි.


කැඩපතේ වූ මිනිසාගේ මුහුණෙන් ලේ බිදකුත් දෑසින් කඳුලකුත් ගලද්දී ,තමා තනිවී සිටින ප්‍රීතීමත් විවාහයෙකු බවට ඔහුට සිහිවිය.





ප:ලි
අමරදේව මාස්ටර් ගායනා කරන මේ සින්දුවෙනුත් කියන්නේ පෙම්වතිය බිරිඳ උනාට පස්සේ සිද්ධ වෙච්චි මේ වෙනස ගැනම කියලයි මට හිතෙන්නේ.


43 ප්‍රතිචාර:

නෝටි | Naughty said...

සිරාවටම ලස්සනයි අක්කේ...
මැවිලා පෙනුන නෝටියට නොටිච්චිත් අනාගතේ දවසක් ඔය විදියට නෝටියට කියනවා..

දයානන්ද රත්නායක said...

වයසින් මුහුකුරා ගිය ජීවන අත්දැකීමක්. සැබෑම යථාර්ථය මෙයම තමයි.කාර්ය බහුල වුනාම ජීවිතය, ආදරය, සෙනෙහස, අඹුදරුවො ජීවිතය තුල ජීවත් වුනත් ඒ සැබෑ ලෝකයෙන් ටිකක් ඈත්වෙලා. බාහිර ලෝකය සමග ගැටෙන හැම වෙලාවකම එහෙම වෙනවා ඒ අපේ ජීවිතවල හැටි. හරිම ස්වභාවිකයි.

ජීවිතයක පරිණත අත්දැකීම් වඩාත් නිර්මාණාත්මකව "සොඳුරු සිතට" කොහොම දැනෙනවද මන්දා..

" කැඩපතේ වූ මිනිසාගේ මුහුනෙන් ලේ බිඳකුත්, දෑසින් කඳුළකුත් ගලද්දී, තමා තනිවී සිටින ප්‍රීතිමත් විවාහකයෙකු බවට ඔහුට සිහි විය."

මේ කෙටිකතාවේ පරිසමාප්ත අරුත හකුළුවා දක්වන්නේ මේ ටිකෙන්. රසවත්ම කෙටි කතාවක්.

සිහින මතකයන් said...

මේ ලිපිය ලියල තියෙන විදිහ ලස්සනයි...

පොඩි මෑන් said...

ඒ ඇහෙන් ආව කදූලට හේතුව පසුතැවීමයි... ඒ කඳුලට හේතුව තමන්මයි....

Ishara said...

ඔය ලියලා තියෙන දේ වගේ දෙයක් අද මටත් වුණා. “කුස පබා“ බලන්න යන්න කථා කළාම “අනේ එතකොට පොඩි දෙන්නා කොහෙවත් එක්ක යන්නෙ නැද්ද? ඒ දෙන්නා දාලා යන්න දුකයි“ මටත් හිතුනෙ ඔය ටිකම තමා.

Dinesh said...

අපූරුයි අක්කේ.. අදත් හදවතට දැනුන කතාවක් කියෙවුවා..

Themiya Sahas Ekanayake said...

මේ නම් සැබෑවට ම සොඳුරු සිතුවිල්ලකි

පැතුම් said...

හොඳයි, නියමයි ලස්සනට ලියල තියනවා. එත් "තනිවී සිටින්නෙකුට" "ප්‍රීතිමත් විවාහකයෙක්" වෙන්න පුලුවන්ද?

පැණි දොඩම් said...

බලමුකො ඉස්සරහට.

සිත්රූ සිහින said...

හ්ම්ම් ..මම නම් කවදාවත් බලාපොරොත්තු නොවෙන දෙයක්..මම නම් මගේ සැමියගෙන් බලාපොරොත්තු වෙන්නෙ අද මං ලඟ ඉන්න මගේ පෙම්වතාමයි..

රූ.... said...

විවාහයට පෙර හා පසු..හ්ම්..

ravinumal said...

මිනිස්සු කිනෙකාගෙ අවශ්යදතා, ඕනෑ එපාකම් හරි පුදුමාකාර විදියට වෙනස්, ඒක තමයි යථාර්ථය... ඒ බව මතක් කර දෙන ලස්සන නිර්මාණයක්. ඒත් ගීතයේ පසුබිම ටිකක් විතර වෙනස් නේද?

ගැමියාගේ පත් ඉරුව said...

හරිම ලස්සන කතාවකින් දුක හිතෙන සත්‍යයක් කියලා තියෙනවා හැම කෙනෙක්ටම මෙහෙම වෙන්න පුළුවන් තියෙන වගකීම් කන්දරාවත් එක්ක....

මේක මම කොහේදි හෝ ඇහුව කතාවක්.... ආදරේ කරලා බැන්දට ඊට පස්සේ කවදාවත් ආදරේ කරන්න හම්බුවෙන්නේ නෑ ළමයි හදලා ඉන් පස්සේ ළමයි වදන්න ගියාම... ඒක ඇත්ත කියලත් හිතුනා මේ කතාව දකිද්දි ඒත් මේක ලෝක ස්වාභවයනේ...

මම අදයි මෙහෙට ගොඩබැස්සේ බුකිය හරහා....

තිස්ස දොඩන්ගොඩ said...

පොඩි මෑන් පොඩි නෑ කියල හිතෙනව කමෙන්ටුව දැක්කම එක පැත්තකින්

අනෙක් පැත්තෙන් අර ෆිනොප්තැලින් අනුමාපනය වාගේ පාට වෙනස් වෙනවා දැනෙන්නේ එක පාරටම - ඒත් ඒ වෙනකොටත් භෂ්ම බින්දුවෙන් බින්දුව ගොඩක් එකතුවෙලා ඉවරයි

ඒ නිසා මුලින්ම භෂ්ම බින්දුව එකතු වෙන එක ගැන අවධානයෙන් ඉන්න පුලුවන්නම් හැමදාම ෆිනොප්තැලින් රෝස පාට වෙන එක වලක්වාගන්න පුලුවන් - පොඩි මෑන් කීව එකේ අනෙක් තේරුම මම එහෙම ගන්නවා

"දිනෙන් දින ඔබ මා කෙරෙන්
දුරස් වන විට - මගේ මනසට
තවත් ලංවනු පමණෙකිය ඔබ..."

නවම් said...

තිස්ස අයියා ++++++++

ඔන්න ඔය භෂ්ම බින්දුව ගැන සමුලින්ම අමතක වෙලා ගිහිල්ල ආයෙ මතක් වෙන්නෙ වැඩේ කෙළවෙලා ගියාමයිනෙ.

සොසී.

//තමා තනිවී සිටින ප්‍රීතීමත් විවාහයෙකු බවට ඔහුට සිහිවිය.//

මෙතනින් එහාට එක වචනයක් වත් නොලියා ඉඳීමමෙන තමයි කතාවෙ උපරිමය ‍රැඳිල තියෙන්නෙ.

හිතහොඳ පිස්සා said...

නියමෙට ලියල තියෙනව අක්කෙ....

Ravi said...

වත්මන මා දකිනුයේ එදා මා දුටු ඇයමද?
නැතිනම් වෙනත් එකියක්ද?

මේ සිටිනුයේ ඇය නොවේ..
ඇය නොවේද නොවේ.....

පරස්පරයක් සේ එක්වරම දිස් වුවද මේ වනාහී ජීවිතයේ පරම සත්‍යය වූ යථාර්තයයි.
ජීවිතයේ සතුට සහ විඳීම යන මායාවී සංකල්ප ඒ පරම සත්‍යය වටහාගන්නා වූ ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වේ.

මේ කාගෙදෝ ජීවිතය පිළිබඳ පළමු නියමය....නම මතක් වෙන්නෙ නෑ.....

වියමන නම් අපූරුයි වත්. නවම් කිව්ව වෙගෙ කතාවක අපූර්වත්වය ඉස්මතුවෙන්නෙ නිවැරදිව ප්‍රශස්ත තැනින් නැවත්තුවාම. ඒ න්‍යාය ඔබ මනාව පිළිපැද ඇතිබව නොකියාම නොහැකිය......

සිතුවිලි නිහඬයි said...

කතාවනම් උපරිමයි අක්කා.....

තිස්ස දොඩන්ගොඩ said...

රවී මහත්තයෝ ටිකක් පැහැදිලි කලානම්?

"එදා බැලුව කෝල බැලුම් දැන් හෙලන්නේ නෑ" කියන එකද "පරම සත්‍යය"

ගහ පුංචි කාලේ හරිම ලස්සනයි - උද්‍යානය ලා දලු වලින් එළිය කරනවා
ගහ උස යනවා, මෝරණවා - දලු කාටවත් පේන්නේ නෑ - උද්‍යානයට එළියකුත් නෑ
ඒ වුණාට මෙන්න බොලේ ගෙඩි!!!
දැන් ගහ පරණයි - පලදාව ඇත්තෙම නෑ - ඒත් අතු පතර හරිම සිසිලයි - මුල ඉඳගත්තම නිකන්ම විඩාව නිවෙනවා
කොළ හැලිල මැරිල ගියා
පොත්ත රැහැල හැදුවේ නැද්ද අරටුවෙන් වයිරම් ලස්සනට ඔපදාපු පුටු සැට් එකක්?

ලා දල්ලෙන් හැමදාම සැනසෙන්න හිතාපු කෙනාගේ තමා අවුල!!

Ravi said...

තිස්ස, ඔබ හරි....එහෙම තමයි වෙන්නෙ......එහෙම වෙන්නෙත් නිකම්ම නෙවෙයි...ඉතාම වැදගත් හේතුවක් ඇතුව කියලයි මට හිතෙන්නෙ...

ආයෙම කැඳවන්න වෙනව මගෙ උදව්වට අතිජාත මිත්‍රයෙක්....අතිගරු ඩෙස්මන්ඩ් මොරිස් මහතා........හෙහ්,හෙහ්,

ඩෙස්මන්ඩ් ගොයිය කිව්ව ආදරය සෙනෙහස ඔය ඔක්කොම සංකල්ප බිහිවෙන්නෙ වර්ගයා නොනැසී පවත්වාගෙන යාමේ කාර්යයට උත්තේජක විදිහට කියල.

ඒ කාර්යය ඉටුවූ පසු ඒ කියන්නෙ දරුවෙක් බිහිවූ පසු අනිවාර්යයෙන් ගැහැණියගේ සම්පූර්ණ අවධානය සහ ප්‍රමුඛත්වය හිමිවන්නේ ඒ දරුවාට. ඒ දරුවා තමයි වර්ගයාගේ අනාගතය.තම සහකරුවා එවිට වැදගත් කමින් අඩු වෙනවා.මේ සංසිද්ධිය කල්ප කාලාන්තරයක් තිස්සේ පැවත ආ සහජයක්. ඒ ගැන තේරුම් ගන්නවා මිසක හිත් තැවුල් ඇතිකරගැනීමෙන් කාටවත් වැඩක් වෙන්නෙ නෑ.

ඉතින් '' පුංචි පුතේ නුඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා " කියන එක අහන්නත් දෙයක්ද?

෴සොඳුරු සිත෴ said...

ඒකනම් හරි ආදරයෙන් කියපු දෙයක්.......... ස්තූතියි නෝටි.

෴සොඳුරු සිත෴ said...

අත්දැකීම් තමන්ගෙම වෙන්න ඕනි නැහැ දයා අයියේ . අනුන්ගේ අත්දැකීම් , තමන්ගේ හීන , තමන්ගේ අත්දැකීම් අනුන්ගේ හීන ..මේ හැම දේම එකතු කරලයි මම ලීවේ....මගෙ යහළූවන් මට කියන දෙයක් තමයි... අනුන්ගේ ජීවිත අත්දැකීම් එක්ක තමන්ගේ අනාගතයේ ඉදිරිය බලන්නෙපා කියනෙක...ඒකෙත් ඇත්තක් නැත්තෙම නැහැ නේද...

෴සොඳුරු සිත෴ said...

ස්තූතියි සිහින මතකයන්... බ්ලොග් එකක් ලියනව ද බලන්න ඔයාගේ ලින්ක් එක දිගේ එන්නයි හදන්නේ.

෴සොඳුරු සිත෴ said...

තිස්ස අයියා කීවත් වගේ , පොඩි මෑන් බලාන ගියහම පොඩිම නැහැනේ.ඒත් ..පිරිමි අය හරිම කාර්ය බහුලයි. කසාද බැන්දම ගොඩක්ම කාර්ය බහුල වෙනවා.... ඒ තමන්ගේ ආදරණීයයන්ගේ ඉදිරිය ගැනම හිතලමයි.එහෙම නොවෙන අයත් ඉන්නවා.ෟගෑණිගේ කෑගැහිල්ලෙන් බේරෙන්න බැහැ බං ... තව ටිකක් ඉදලම යනවා “ කියලා හිතල මතලම කාර්ය බහුල වෙන අයත් නැතිවා නෙමෙයි....ඒත් අනාගතය සුරක්ෂීත කරන්න පිරිමි අය ගන්නා වෙහෙස නිසාම බොහොම පුංචි දේවල් එයාලට මඟ ඇරෙනවා.... ඒකයි කණගාටුව... භෞතිකව බොහෝ දේ ලං කර ගනිද්දි ... සතුටට හේතු වෙන ගොඩාක් දේවල් දුරස් වෙලා පරතයක් හැදෙන්නේ ඒකයි.

෴සොඳුරු සිත෴ said...

Isharaහ්ම්... ඒත් සමහර ගෙවල් වල නම් , පොඩි අයව ආතම්මලයෙ ගෙදර නවත්තලා ෆිල්ම් බලන්න යන අය මම දැනුවත්වම ඉන්නවා. හැබැයි ඉතින් ආතම්ම තේරුම් ගන්න පුලුවන් විදිහෙ කෙනෙක් වෙන්නත් ඕනි. නැතිනම් කියාවි “ පුංචි උන් හදල ගෙවල් වල දාලා මුන් තාමත් මඟුලෙ යනවා.කසාද බැදල තාමත් මුන්ට කුලප්පුව “ කීවොත් ඉතින් ඉදල මොට ද ?

෴සොඳුරු සිත෴ said...

මුලින්ම ...කලකින් මේ පැත්තේ ඇවිත් වටිනා අගනා කමෙන්ටුවක් පල කිරීම සම්බන්ධව මාගේ හෘදයාංගම ප්‍රීතිය තිස්සඅයියාට පිරිනමමි... :)

දෙවනුව...මේ පෝස්ට් එක ලියන කොට මට මතක් උනේ තිස්ස අයියා හද ගී පොතේ කාලෙකට කලින් සටහන් කරල තිබ්බ කතාවක්...

මට මතක හැටියට ඒ මෙහෙමයි... කසාද බැදල කාලෙකට පස්සෙ කොහෙදෝ යද්දි..කොච්චියෙන්... බිංගෙයක් අහු වෙච්චි ගමන් පරණ මතකය මතකෙට ඇවිත් ඇගේ කම්මුලක් ඉම්ඹ හැටි. “ හොරා“ ... ඒ පුංචි දේ මේ තරම් මතක හිටින්නෙ ඇයි... පුංචි දේවල් වල ලොකු සතුටක් රැදිල තියෙන නිසා නේද... ඇස්වහක් කට වහක් එපා. විවාහ ජීවිතේ ගැන බොහොම ලෙංගතුව කතා කරන ,මම දුටු පුද්ගලයෙක් තමයි තිස්ස අයියා... ඉතින් මම පරාදයි.... දහසක් අතර ඔබ වැනි අය නිසා තමයි විවාහයට වටිනාකමක් එකතු වෙලා තියෙන්නේ.... ස්තූතියි තිස්සයියා

෴සොඳුරු සිත෴ said...

හැමදාමත් ඇවිත්... මගේ හොඳම කියල යන්නෙපා.වරදකුත් කියන්න. හැමදාම ඇවිත් කමෙන්ටුවකුත් ලියල යන්න තරම් මා වෙනුවෙන් කාලය වෙන් කරන එකට මම ගොඩාක් වෙලාවට උත්තයක් වත් දෙන්නෙ නැහැ... සමාවෙන්න.Dinesh

෴සොඳුරු සිත෴ said...

Themiya Sahas Ekanayakeබොහොම ස්තූතියි තේමිය...

෴සොඳුරු සිත෴ said...

ravinumal මේ ගීතය ගොඩාක් අය තේරුම් අරන් තියෙන්නේ , පෙම්වතෙක් ,තමන්ගේ පැරණී පෙම්වතිය ගැන කියවෙන්නක් විදිහට.

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා

මේක තමයි වරද්ද ගත්ත තැන.

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
ඒ කියන්නේ කලින් හිටිය දඟකාර අනුරාගී බිරිඳ/පෙම්වතිය... මවක් උනාට පස්සේ අම්මකෙනෙක්ගේ දයාව අරන් ඇවිත්...නුරාව දුරස් වෙලා... පිරිමි කැමැති බිරිඳගෙ දයාවට ද නුරාවට ද? ඒක ඉතින් දන්නේ ඔයාල....


නොකා නොබී දුක් වින්ද අතීතය යළී මට සිහිවෙනවා කියන්නේ
පවුලේ සුබ සිද්දිය වෙනුවෙන් තමන් කරපු කැප කිරීමේ තරම.ඒ දේවල් කරද්දි මඟ ඇරුන පුංචි දේවල්.

කියනව නම් මේ ගීතය ගැන...ගොඩාක් දේ තියෙනව නේද....

෴සොඳුරු සිත෴ said...

පැතුම් එතන මම හෙම ලීවේ...එයා පිටත ලෝකයට බොහොම සාර්ථක මනුස්සයෙක්.නමුත් ඇතුලතින් දැනෙන දුකත් එක්ක තනිවෙච්චි කෙනෙක්....

෴සොඳුරු සිත෴ said...

ගැමියාගේ පත් ඉරුව බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවාට. ජීවන චක්‍රය යාන්ත්‍රිකව යද්දි හැල්මේ දුවද්දි... ආදරය කරන්න කාටද වෙලාවක්. ඒත් අපෙ හිතට නොතේරෙන්නෙත් ඒක. හිත පතන දේ ලැබෙන්නැති උනාම වෙනත් වැඩ කටයුතු වලින් ඒ පීඩනය මුදා හරිනවා. පොඩි උන්ට බනිනවා කෑගහනවා. තමන් යටතේ වැඩ කරන අයට බනිනවා කෑගහනවා... ජීවිතෙ හැටි....

෴සොඳුරු සිත෴ said...

පැණි දොඩම් බලමු බලමු... දිගටම යාළු වෙලා ඉන්න හොඳද...නැතිනම් බලාගන්න බැරි වෙනෝ...මඟ ඇරෙනෝ...

෴සොඳුරු සිත෴ said...

සිත්රූ සිහින//මම නම් මගේ සැමියගෙන් බලාපොරොත්තු වෙන්නෙ අද මං ලඟ ඉන්න මගේ පෙම්වතාමයි..// ඔන්න නඟේ ...ඕක තමයි වරද....

෴සොඳුරු සිත෴ said...

නවම් ඔබ වගේ ලියන්න , ඔබ වගේ හිතන්න. මේ බ්ලොග් ලොකේ ගොඩාක් දෙනා කැමැති. මාත් ඉන් කෙනෙක්.වෙලාවකට නවම් ලියු දේ කියවල බලල හිතෙනවා.. “ අනේ මේ මම ලියන්න හිතුව දෙයක් නේද මේ ලියල තියෙන්නේ ඒ විදිහටම, ඇයි මට බැරි උනේ ලියන්න “ කියලා... ලිවීම ඒ තරම්ම හිතට ළං වෙලා.හෘදයාංගම වෙලා. සමහර කතෘන් ඉන්නේ අපි තුලමයි කියල හිතෙන තරමට ඒ පිස්සුව මට තිබ්බා... ඉතින් එහෙම වෙලාවක... මේ අගය කිරීම මට හරිම සතුටක්...

෴සොඳුරු සිත෴ said...

ස්තූතියි හිතහොඳ පිස්සෝ..

෴සොඳුරු සිත෴ said...

Raviඅයියා.. මොකක් ද අයියා ඒ නියමය... ? අයිය ජීවිතේ දිහා බලන උපේක්ෂා සහගත විදිහට ඇයි මට ජීවිතේ දිහා බලන්න බැරි කියලා මම දුක් උනවාර අපමණයි. ඒත් මට මෙහෙමත් හිතෙනවා. උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන කෙනා දුක සතුට විඳින්නෙ නැද්ද කියලත්.... බාහිර සමාජය උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන කෙනාව දකින්නේ හැඟීම්විරහිත කෙනෙක් විදිහට නෙමේද කියල....

මොනා උනත් මම දැකපු හොඳම විවාහකයා අයිය කියල මට කියන්න පුලුවන්.... ඒකට හේතු ගොඩාක් තියේ.... ඒ හේතු නොකිය ඉන්න මං කැමැති.

෴සොඳුරු සිත෴ said...

ස්තූතියි සිතුවිලි නිහඬයි

෴සොඳුරු සිත෴ said...

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා

මෙතන දි , පෙම්වතිය බිරිඳක් වෙලා මවක් උනාම සිද්ද වෙන වෙනස නේද අයියි කියන්නේ.ඒත් ගොඩාක් දෙනා හිතන්නේ මේක පැරණි පෙම්වතිය ගැන කියනෙකක් කියලා. එක අතකට ඒකත් හරි...ඇයි ඉතින් එයා බිරිඳ වෙලා මවක් උනාම පෙමවතිය පලා යනවනේ...

සිය පුතු නලවනවා කියන්නේ
බිරිඳට දැන් පුතා ඉන්නවා... කවුද මට ඉන්නේ ..කියල හිතනෙක....

නුරාව ද දයාව ද ... තිස්ස අයියා ඔයත් උත්තර දෙන්නෝන මේකට..

තිස්ස දොඩන්ගොඩ said...

ඇයි දෙවි හාමුදුරුවනේ ගහේ උපමාවෙන් කිව්වේ ඕකට උත්තරේ තමා :-)

මගේ ගෙවුයන ලස්සන කරපු, මට මිහිරි ඵල ලබා දුන්නු, විඩාවට හෙවණක් දුන්නු ගහෙන් මම ඕනෑවට වඩා දේ බලාපොරොත්තු වෙන්නේ නෑ

Ravi said...

එහෙම නියමයක් කවුරුවත් කියල නෑ නඟේ....ඕක ඔය මගේම නියමයක්....හෙහ්, හෙහ්,

උපේක්ෂාවෙන් ජීවිතේ දිහා බලන්න ගිහාම ඔයා කියන තත්වෙට මුහුණ දෙන්න වෙනව නම් තමයි...ඒක ඇත්ත,

බොහෝවිට උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන පුද්ගලයා සමාජය දකින්නෙ හැඟීම් විරහිත නරුමයෙක් විදිහට.

ඒත් ජීවිතේ සතුට සහ දුක....යන හැඟීම් දෙකම විඳින්නට උපේක්ෂා සහගත උනොත් බැරිද?......උපේක්ෂා සහගත වෙනවයි කියන්න මගෙ නිර්වචනෙ හැටියට හැඟීම නැතිකිරීමම නෙවෙයි හැඟීම් පාලනය කර ගැනීම.

දැන් මෙහෙම හිතන්න, වසර ගනනක් පෙම්කල පෙම්වතා/පෙම්වතිය අහිමි උනාය කියල හිතමු. උපේක්ෂා සහගත වීම කියන්නෙ ඒ ගැන දුක් නොවීම නෙවෙයි. එහෙම දුක් නොවෙනව කියන්නෙ එතන ආදරයක් තිබිල නැහැනෙ. උපේක්ෂාව කියන්නෙ දුක් වෙන අතරම ඒ දුකට තමන් පාලනය කිරීමට ඉඩ නොදීමයි. ජීවිතේ ඒ මත්තෙම නොගෙවා ඉදිරියට යාමයි.....

ස්තූතියි වත්, ප්‍රශංසාවට........

Ravi said...

මේ ගීතය ගැන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ එහෙම තමයි, පෙම්වතිය අහිමි වූ පසු ගයන විරහ ගීයක් කියල.

ඒත් තම අතීත පෙම්වතිය සහ වර්තමාන බිරිඳ වන එකම යුවතිය ගැන කියවෙන්නක් විදිහටත් අර්ථ දක්වන්න බැරි කමකුත් නම් නැහැ,මම සිළුමිණ පුන්කලස අතිරේකයකදි මට මතක විදිහට දැක්ක ගීත රචකයම, සුනිල් සරත් පෙරේරා මහත්මයම, එහෙම කියල තිබුණ.

/ සිය පුතු නලවනවා කියන්නේ 
බිරිඳට දැන් පුතා ඉන්නවා... කවුද මට ඉන්නේ ..කියල හිතනෙක..../

හරි වත්...සිය පුතු.....'' සිය '' කියන වචනෙ තමයි වැදගත්.....

හැබැයි ඒ නැළවිල්ලට මමත් සම්බන්ධයි කියල කියන්නෙ ඊළඟට "' මගේම ගීයක් නැළවිලි ස්වරයෙන්......."'

'' එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා".....මම වෙනස් වෙලා නෑ,

' නෙත් අදහන්නට බැරිලෙස රූ සිරි කෙමෙන් මැකී යනවා "....... ඔබ තමයි වෙනස් උනේ....

ravinumal said...

හ්ම්ම්.. මං හිතන්නෙ මමත් වැරදි තැනින් අල්ලගෙන තිබුනෙ. ස්තුතියි නිවැරදි කලාට.

Anonymous said...

මම වැඩිය මේ පැත්තේ එන්නේ නෑ, මොකද මම කවි රසවිදින්න දන්නේ නැති නිසා.
හැබැයි මේ කතාව නම් කියෙව්වා. සහතික ඇත්ත

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...