..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, January 6, 2012

෴ කියවීම ෴

කියවීම....


හොඳ පුරුද්දක්.පුංචි කාලේ ඒ හොඳ පුරුද්ද නිසා , කොයි කරම් නම් බැනුම් අහල ඇද්ද.


" ලොකු ළමයෝ . . .  කනව ද කියවන වද ? මම කියල තියේ නේද කෑම මේසෙට පොත් ගේන්න එපා කියලා “


ඒ අම්මා.. . . ! ! ! තාත්තගේ නිහඬ බව කියවීමට රුකුලක් වුනත්, තාත්තා දිනපතා පත්තරය නොවරදවා ගෙදෙට්ට ගෙනාවත්, පත්තරය හැර ඔහු පොත් කියවනව මම නම් දැකල තිබුනේ නැහැ.




කටට දෙකට බත් පිඟානම ඉවර කරන මම , පොතත් අරන් යන්නේ කිසිඑක්කෙනුකුට සොයා ගන්න බැරි තැනකට. කොහොම වුනත් ,මොනාකරත් ඒ කාලේ අතාරින්න බැරි වුන මේ හොඳ පුරුද්ද අද මා ළඟින් ගොඩාක් ඈතට ගිහින්.ගොඩාක් ම ඈතට.


පොත් තේරීමක් නැතිව අහුවෙන අහුවෙන හැමදේම කියවන නිසා , සමහර පොත් හංගල තියන්නත් මට ඒ කාලේ සිද්ධ වුනා. හැබැයි ඉතින් ඒ කාලේ මම හංගපු පොත් , අද කාටත් පේන්න මගේ  පොත් රාක්කයේ වැජඹෙනවා. අද ඒ පොත් දැක්කම මට හිතාගන්න බැහැ, ඇයි ඒ කාලේ මම ඒ පොත් හැංඟුවෙ කියලා.

පොත් රාක්කයේ තියෙන එකමෙක ඇක්සයිස් පොතේ , මගෙන් අතුරදන් වෙලා ගිහින් තවමත් මට නොලැබුන පොත් වල නම් ලියල තියෙනවා. ඒ පොත කියවල මම මොකට නිකම් දුක වෙනව ද?

“ අම්මා කාට හරි මයෙ පොතක් දුන්න ද?

“ ඔච්චර තියෙන ඒකේ දුන්නම මොක ද? ඉල්ලුවම මම දුන්නා. ගෙනත් දේවි. ලෝබ හිතන්න එපා ලමයෝ.ලබන ආත්මේ පොතක් කියවන්න ලැබෙනෙකක් නැහැ “

මොන පොත අරන් ගියාද කියලා හිතා ගන්න බැරි වුනත්, රාක්කයේ පොතක් අඩු බව නම් සහසුද්දෙන්ම මට දැනෙනවා.

බොරු කියන්නේ මොකටද , මෑතක ගතපු, නොකියවපු පොත් කිහිපයකුත් මාළඟ තියෙනවා.


අද මම කියවන්නේ සයිබර් අවකාශයේ.. . . .ලියන්නෙත් සයිබර් අවකාශයේ. . .ඒත් පොතක් කියවල ලබන සංතෘෂ්ඨිය මට සයිබරය කියවීමෙන් ලබන්න බැහැ. නමුත් කෝ පොත් කියවන්න වෙලාවක්.


සයිබරයෙන් හමුවුන ගොඩාක් යාලුවන්ට මම පොත් යවල තියේ.තැපෑලෙන් කෙනෙක්ට පොතක් යවනව කියන එකත් හරිම සතුටක්.එ කෙනා ඒ පොත කියෙව්වා කියල දැන ගන්න එක ඊටත් වඩා සතුටක්. . . . .  මම පොත් යවපු අයට අමතරව. මට පොත් එවපු යාළුවොත් කිහිප දෙනෙක් ම ඉන්නවා.ඒ අයත් අදටත් දැකල නැති විම විශේෂයි.



රවි අයියා , දයා අයියා ඉන් දෙදෙනෙක්. . . . . ඉංග්‍රීසි පොත් කියවන්න මම පුරුදු වුනේ රවි අයියා නිසාමයි.ස්තූතියි  . . .

දයා අයියා නම් පොත් වගේම ගීත රචනයේ දක්ෂයෙක්. ලියන අයට උදවු කරන දැනටත් පොත් කිහිපයක් ලියා පළ කරල තියෙන කෙනෙක්.රවි නම් ලියන්නේ සයිබරයේ.


මම තාමත් කියවනව,හැබැයි ඒ පොත් නෙමෙයි. . . . කාර්යාලයේ මිතුරන් එක්ක වචන වලින් සහ සයිබරයේ මිතුරන් එක්ක අකුරු වලින්.


කියවීම මිනිසා සම්පූර්ණ කරනවලු. . . . මට නම් ඒ කතාවෙ ඇත්තක් පෙන්නේ නැහැ. කියවන්න කියවන්න මිනිස්සු හිස් වෙනවා. හිතන්න යොමු වෙනවා. තමන් ළඟ තියෙන හිස් බව, ලෝකයේ තියෙන සුන්දරත්වය වගේම නපුරුකම දකිනවා. පොත් කියවල නෙතට කඳුලු ආපු වාර ගාන කොයිතරම් ද?


“ මේ පොත් කියවන්න එපා ඔයා.ජීවිතේ එපා වෙයි “ මම ගන්න සමහර පොත් දැකල සමහරු එහෙම කියන්නේ , එයාලගේ ජීවිතේ තියෙන හිඩැස් මම පොතින් දකියි කියල බයෙන් වගේ කියලා මට දැනිල තියෙනවා.


සයිබර් අවකාශයේ ඉන්න සිංහලෙන් බ්ලොග් ලියන බහුතරය , ඉස්සර කාලේ සෑහෙන පොත් කියවන්න යොමු වුන අය. ඒත් අද , එයාලට පොත් කියවන්න ඇත්තටම වෙලාවක් නැහැ.

හරියට .  . . . . . පෙම්වතුන් කාලේ කියවීම ,ඇහුම්කන් දීම , විවාහ වුනාම නැති වෙනව වගේ, පොත් කියවිමත් නැති වෙලා ගියේ ,සයිබරයත් එක්ක කසාඳයක් සිද්ධ වුන නිසා වගේ.




බිසී ලෝකයෙන් මිදිලා ඔබෙ තුරුලෙහි රැදී
කියවන්ට මට ආසයි නුඹ  ගැන සිතුවිලී

නුඹ කියවන ඒ ලෝකය තුල ඇති ඉමිහිරී
සිහින ඉටු වෙලා දවසක වේවි ද සුමිහිරී

කියවන එක නතර කරපු දවසක් වී එළී
අමතක වෙයි අප සිටි හැටි මේ විදිහට වෙලී


පොත් කියවපු එක නතර කරල
කණක් නෑහෙන්න කියවන
මම
෴ සොඳුරු සිත෴


ප:ලි:- මේ පෝස්ට් එක ලියන්න මට මඟ කීවේ . . . . . . .

“ මට දැන් පොත් කියවන්න වෙලාවක් නැහැ සොඳුරු , ඔයැයිට බැරි ද මට ඇහෙන්න පොතක් කියවන්න “

ස්තූතියි ඔබටත් .  . . .

18 ප්‍රතිචාර:

තාරක Dilsh@n said...

ඉස්සර මමත් කොච්චර පොත් කියෙව්වද..
ඒත් දැන්.........

හොයා ගන්න ඕනේ මටත් ඇහෙන්න පොත් කියවන එක්කෙනෙක්... :D

පූසා said...

මටත් ඉස්සර(ඉස්කෝලේ යන කාලේ) කියෙව්ව තරම් 'පොත්' කියවෙන්නේ නෑ. හැබැයි ඊට වඩා සයිබරේ ලියලා තියෙන ඒවා කියවනවා.

මේ බ්ලොග් නිසා මගේ කියවීම සෑහෙන්න වෙනස් වෙලා. පොතක් ගත්තත් ගන්නේ වෙනදා ගත්තු විදිහේ දේවල් නෙමෙයි. ඒ පොත් කිවලාමද මන්දා මගේ අදහස් ආකල්පත් දැන් වෙනස් වෙලා. හිටපු ගමන් අම්මා කියනවා "උඹ ඔය ඕන්නැති පොත් කියවලා ඔලුව විකාර වෙලා" කියලත් :D

ඉංග්‍රීසි පොත් කියවීම ගැන කියනවානම් ඒක මට තාමත් හරියකට කරගන්න බැරි වෙච්චි වැඩක්. නොදන්න වචන ගොඩාක් අතෑර අතෑර කියවන එක ටික වෙලාවකින් එපා වෙනවා. ඒත් කොහොම හරි ඉංග්‍රීසි පොත් කියවන්න පටන් ගන්න ඕනේ!

දයානන්ද රත්නායක said...

ස්තූතියි මං ගැනත් සඳහන් කරල තියනවා. මගේ නම් ජීවිතයේ වැඩිම කොටස පොත් පත් කියවීමමයි.කියවන්න කියවන්න ලැබෙන දැනුමත්, අබබෝධයත්, අලුත් අත්දැකීම් සහ සිතුවිලි එකතු කරපුවාම හිතට ලැබෙන්න හරිම සැනසිල්ලක්.

ඊට පස්සෙ ලියන්න ගත්තම කෙළවර හිතාගන්න බැහැ. අපි අදහස් සහ සිතුවිලි වලින් පෝෂණය වෙන්න නම් මගේ අත්දැකීම අනුව දවසට පැය දෙකක්වත් සාහිත්‍ය පොතපත ඇසුරේම සිටිය යුතුයි. මේකට මම දැන් පුරුදු වෙලා. කියවීම ජීවිතේ එක කොටසක්.

අනික මම කිවපු පොතක් තව කෙනෙකුට දෙන්නෙ ආය ලබාගන්න හිතාගෙන නෙවෙයි.ඒ වෙනුවට කාගෙන් හරි තවත් පොත් දෙක තුනක් දවසක් දෙකක් ඇතුළත මට ඉබේම හම්බ වෙනව.මං ඒකට ගොඩක් කැමතියි.

සයිබර් අවකාශය හොඳයි පොත පත කියවල තියනවනම් තවත් හොඳයි.

kumaraya said...

මමත් ඉස්සර ඉඳන්ම පොත් කියවපු කෙනෙක් .. අදටත් ඒක එහෙමමයි..
මට නම් මොන වැඩ තිබුණත් පොත් කියවන්න වෙලාව තියෙනව. තියෙනව කියන්නෙ...
තමන් දැනගන්න ඕන වෙලාව හොයාගන්න ..
සයිබරයෙ තියෙන ඒව කියවන්න මම පුරුදු වුනේ මෑතකදි.ඒක සතුටුදායක දෙයක් තමයි.. නමුත් පොත් කියවන එකට ඒක සමාන කරන්න බෑ. පැහැදිළි කළොත් මෙහෙමයි .. වේදිකා නාට්‍යවල රඟපාමින් හුඟ කාලයක් හිටපු එකෙක්.. පස්සෙ ගිහින් ටෙලි නාට්‍යයක රඟපෑව වගෙයි .. කවදාවත් ඌ ඒක ගැන සෑහීමකට පත්වෙන්නෙ නෑ.

kumaraya said...

මමත් ඉස්සර ඉඳන්ම පොත් කියවපු කෙනෙක් .. අදටත් ඒක එහෙමමයි..
මට නම් මොන වැඩ තිබුණත් පොත් කියවන්න වෙලාව තියෙනව. තියෙනව කියන්නෙ...
තමන් දැනගන්න ඕන වෙලාව හොයාගන්න ..
සයිබරයෙ තියෙන ඒව කියවන්න මම පුරුදු වුනේ මෑතකදි.ඒක සතුටුදායක දෙයක් තමයි.. නමුත් පොත් කියවන එකට ඒක සමාන කරන්න බෑ. පැහැදිළි කළොත් මෙහෙමයි .. වේදිකා නාට්‍යවල රඟපාමින් හුඟ කාලයක් හිටපු එකෙක්.. පස්සෙ ගිහින් ටෙලි නාට්‍යයක රඟපෑව වගෙයි .. කවදාවත් ඌ ඒක ගැන සෑහීමකට පත්වෙන්නෙ නෑ.

බට්ටා said...

මමත් ඉස්සර සෑහෙන්න කියවපු එකෙක්. වත් අක්කට වගේ ම මටත් පොත් නැතුව බත් කන්න බැහැ වගේ ම බස් එකේ යන්නත් බැහැ. මම ගොඩක් කැමති පරිවර්තන වලට(විශේෂයෙන් චන්දන මෙන්ඩිස් මහත්තයගෙ ). අත උස්සන්න බලන්න "ෂර්ලොක් හෝම්ස්" කියවපු කට්ටිය. තාමත් කියවන්න ආසයි. ඒත් දැන් පොත් හම්බ වෙන්නෑ නොවැ!

Dinesh said...

ඇත්තමයි අක්කේ ගොඩක් කාලෙකින් පොතක් කියෙවුවෙම නෑ.. ඉස්සර ලංකාවේ ඉද්දි නිවාඩු වෙලාවට පොතක් කියෙවුවා.. ඒත් දැන්...

නිසුපා said...

මාත් පොත් පිස්සෙක්.කොච්චර බ්ලොග් කියෙව්වත් පොත්නම් අතඇරලා නෑ.ඒත් ඉංග්‍රීසි පොත් නම් කියවනවා සෑහෙන්න අඩුයි.

මාත් කෑම මේසට පොත් ගෙනියනවා.හැබැයි අක්කා වගේ කටට දෙකට බත් කන්නෙ නම් නෑ.බත් කන එක පැත්තක තියලා පොත් කනවා :D.නංගිත් එහෙමමයි.හැබැයි එයානම් දැන් වැඩිය කන මේසෙට පොත් ගේන්නෙ නෑ.මං නම් තාම එහෙමයි.අක්කගෙ අම්මා කියලා තියෙන දේ ඒ විදිහටම මාත් අපේ අම්මගෙන් අනන්තවත් අහලා තියෙනවා.ඉස්සරහටත් අහාවි.:))

niroshini said...

වෙලාවකට මට හිතෙනවා කියවනවා වැඩි කියලත්. ඉස්කෝලේ යන කාලේදී මට නව කතා කියවීම තහනම්. ඒත් මම හොරෙන් කියෙව්වා...ලංකාවේදී මම කොළඹ මහජන පුස්තකාලේ සහ බ්‍රිතාන්‍ය කවුන්සිල් පුස්තකාලේ දෙකෙන්ම පොත් කියවනවා. අනිත් අයටත් අරන් දෙනවා...මට ඊ බුක් රීඩර් එකක් තෑගි ලැබුන නිසා දැන් නම් හරි ලාබෙට, ලේසියට පොත් කියවනවා :D

'Sometimes I wonder about my life. I lead a small life - well, valuable, but small - and sometimes I wonder, do I do it because I like it, or because I haven't been brave? So much of what I see reminds me of something I read in a book, when shouldn't it be the other way around? ' - You've Got Mail

nihalw said...

මගෙ වයිෆුත් ගොඩක් කියවන කෙනෙක්. එයාට නං කියවන්න ඔය මොනවත් ඕන නෑ. රෑට හීනෙනුත් කියවනව.

Anonymous said...

akkio,mama me avurudde O/L liyanne.ida thiyena hema velavema evith oyava balala yanava.mokada oya mage asama blogger nisa..mama me kalpana kale oyage vayasata avama me pissuven vage kiyavana kiyavilla nathara vevida kiyalai.

හිතුවක්කාරි said...

ඒකනම් ඇත්ත අක්කි.. පොත් කියවන එක දැන් හුඟාක්ම ඈත් වෙලා..

ඉන්දික උපශාන්ත said...

අපේ නෝනගෙ කියවීම නිසා මගේ පොත් කියවීම නැවතුනා. නැත්තං අඩු උනා. ලොක්කො කියවන නිසා ඔෆිස් එකේදිත් කියවන්න බෑනෙ. දැන් ගෙදර ගියාම පොඩි උන්ගෙ කියවීම නිසා තව කාලෙකට පොත් කියවන්න වෙන්නෙ නෑ. හැබැයි ලංකාවට ආවමනං ඕන තරන් අළුත් පොත් හම්බවෙන නිසා කියවන්න වෙලාවක් හොයාගන්න එකත් මහ දෙයක් වෙන එකක් නෑ. ( සමහරවිට බ්ලොග් කෙරුවාව අල්ල දාල ඒ වෙලාවෙ පොත් බලයි )

පරිකල්පන said...

/*
කියවන්න කියවන්න මිනිස්සු හිස් වෙනවා. හිතන්න යොමු වෙනවා.
*/

අක්කේ. මම මේ කතාවෙ මුල කොටසට එකඟ නෑ. ඒත් දෙවෙනි කොටසත් එක්ක එකඟයි.

කියවන මිනිස්සු හිස් වෙනව නෙමෙයි. බුද්ධිය ටිකින් ටික වැඩෙද්දි අපි අවට තියෙන හිස් ගතිය වැඩි වැඩියෙන් දැනෙන්න ගන්නව. මංද, මටනං හිතෙන්නෙ එහෙමයි.

නන්දු said...

හැංගුව පොත් හොය හොයා කියෙව්ව.. සමහර පොත් නැවත නැවතත් කියෙව්ව.. ඒත් දැන්.. නිවාඩුවක් නැති හැටි.. පොතක් හොයාගන්න..

බුද්ධි said...

අනේ මටත් පොතක් එවන්නකෝ සොඳුරු නැන්දේ......

-චුටි මහත්තයා

Gordonia ceylanica said...

මම ඉස්සර ගොඩක් පොත් කියෙව්වා...
දැන් පොත් කියවන්නෙ කලාතුරකින්,
කොහොමත් බොළඳ නවකතා නම් කියවල නෑ,
කියවපුව බහුතරයක් නියම පොත්...

Ravi said...

පොත් කියවීම මට පුරුදු කල මගේ දෙමවුපියන්ට ඒ පිනම ඇති සංසාරෙන් එතෙර වෙන්න....මගෙ ජීවිතයෙ මම යම් සාර්ථකත්වයක් ලැබුවානම් ඒ අනිවාර්යයෙන් පොත් කියවීම නිසාමයි.....ස්තූතියි වත්.......

කියවීම මිනිසා හිස්කරයි - සොඳුරු සිත.......හෙහ්, හෙහ්,

Reading maketh a perfect man....ඒ ඉස්සර හලෝ.....දැන්...Reading emptieth a perfect man

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...