..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Wednesday, December 28, 2011

෴ හදවත බද්දට / Heart for Rent ෴

බොහොම අපහසුවෙන් නමුත්
කාලයේ දියකර ගත් තීන්ත ගා
තිබුනාටත් වඩා හොඳින් අලුත් වැඩියා කරන ලද
අව්වට වැස්සට ඔරොත්තු දෙන
ඇඳ පළුදු නොමැති
සියුම් කැටයම් ඉවත් කරන ලද
සාදා අවසන් කළ වහාම පදිංචියට සුදානම්.
හදවත ක් බද්දට දීමට ඇත.....
 කී මනි අනවශ්‍යයි.
කළින් පදිංචිකරුවා නොදන්වාම නික්මී ගිය බැවින්
නොකියා නික්මී නොයන බවට
පොරොන්දු පත්‍රයක් පමණක්
අවශ්‍යයි. ....

වැඩි විස්තර සඳහා
අමතන්න
ඔබේ හදවතට


Live in My Heart and Pay No Rent




බ්‍රෝකර් ගාස්තු අය නොකරන
මම
෴ සොඳුරු සිත ෴

Saturday, December 24, 2011

෴ භුත බංගලාව 3 කොටස -(ළමා කතාවකි) ෴


සමීර , අශේන් ගේ ඇගේ එල්ලි සිටියේ , අයියා දෙස බැලීමට මුහුණ හැරවීමටවත් බියෙන් මෙනි. හු හඩ ඇසුනු දිසාවට යා යුතු බැව් අශේන්ගේ සිහියට නැගෙන්නට ද සැලකිය යුතු වේලාවක් ගත විය.ඔහුගේ ඇගේ එල්ලී සිටින කුඩා සමීරගේ සීතල අත තදින් ග්‍රහණය කර ගත් අශේන්.

“ යමු . . . .! ! ! “ යි පැවසූව ද, බිරාන්ත වී සිටි සමීර දුටු අශේන්ට කර කියා ගත හැකි දෙයක් නොවීය.

හිතට දිරි ගත් අශේන්, තමාගේ කුඩා සහෝදරයා ළඟින් දණ බිම ඔබා වාඩි වී ඔහුගේ දෑතට ඒ සීතල අත් දෙක තදින් ග්‍රහණය කර ගත්තේ , කියන්නට කිසිත් සැලසුම් නොකර ගෙන වුව ද,

“ මල්ලි , ඔයා ඔහොම බය වෙලා කොහොමෙයි ? ඒ ආවේ චන්ඩි  අයියා හූ කියපු සද්දෙ. අපි දැන් එතනට යන්න ඕනි තේරුනැ යි? මම ඉන්නකම් ඔයැයි බය වෙන්න එපා කාටවත් . අයිය ඉන්නව නෙ ළඟින්ම “


මද වේලාවක් ,ඇසිපිය නොසෙල්වා අශේන් දෙසම බලා වුන්  පුංචි සමීර අවසානයේ පුංචි හිස උඩටත් පහළටත් සොලවමින් තම සහෝදයාගේ තීරණයට අවනත බැව් හැගෙව්වේය.

එකම සම්මුතියකට එළඹි ඔවුන් දෙදෙනා , චන්ඩිගේ හු හඩ පැමිණි දිසාවට පිය නගන්නට වුයේ හදවතේ ලබ් ඩබ් හඩ ද ක්‍රමයෙන් වැඩි කරම්න්ය.

බංගලාව වටා මදක් දුරක් යත්ම පසුපස බලමින් කකුල් පැටලෙවෙමින් තමන් දෙසට එන චන්ඩිව දුටු අශේන් සහ සමීර නැවති බලා සිටියේ චන්ඩිගේ පෙනුම ඔවුන්ගේ සිතට බියක් ගෙනා නිසාය.

පසුපස බලමින් පැමිණි චන්ඩි ඔවුන් දෙදෙනාගේ සමීපයට පැමිණෙන තෙක්ම අශේන්ව සහ සමීරව දුටුවේ නැත.

“ මොකද බං මේ. මොකද හූ තිවේ. ඇතුලු වෙන්න තැනක් හොයා ගත්තැයි? “

“ අම්මෝ ...මගෙ බුදු අම්මෝ. . . . බොලට ඇහුනයි ඒ අදෝනාව. . . යන්තම් ඇති. දැන් තමයි ලේ ටිකක් ඇඟට ඉනුවේ “

“ මො කද වුනේ “

“ අපි යමු. යමින් ගමන් වෙච්චි දේ කියන්නම්. “

“ එතකොට බෝලේ ? “ මෙතෙක් වෙලා රැකගත් නිහඩ වෘතය බිඳිමින් ඇසුවේ සමීරයි.

“ හෙට එමු. දැන් කළුවර වැටෙනවා. තව ටිහකින් හොඳටෝම රෑ වෙනවා. අවශ්‍ය දේවල් ඔක්කම සූදානම් කර ගෙන අපි ආයෙත් හෙට එමු. “

තිදෙනාම හැරුනේ ආපසු යන්නට බලාගෙනය. ඒ සමඟින්ම  නැවත් නැඟී ආ  මහා අදෝනා හඬ සමඟින් , එක හීයට තිදෙනාම නතර වුයේ , කටුකම්බි වැටෙන් ද එහාට පැන සෙල්ලම් පිට්ටනියේ ද මද දුරක් දුව ගොස් හති වැටුන පසුවයි.
 
දණිස් වලට දෑත් තබා ගෙන ශරීරියේ බර දෑත් දිගේ දණිස් වෙත යවා..... පහලට කර ගත් හිසින් යුතුව තිදෙනාම හති අරින්නට විය.

“ අම් මෝ . . හ් . . .යකෝකෝ. . . . හ්ම් ම් ම් . . . ඒක නම් . .. . භුතයෙක් ම තම යියි යි! ! ! “

කඩින් කඩ හති දමමින් චන්ඩි පවසන්නට වුයේ , එක අතක් තම ඉනට ද අනිත් අත ,ඈත කළුවරින් වැසී යන මූසල පැහැති භුතගුහාව දෙසට ද දිගු කරමිනි.

ඉන් පසු තිදෙනාම අඩිපාරට වැටී තම තමන්ගේ නිවෙස් කරා එක මඟ ගමන් කරනු දැකිය හැකි වුවත්. ඔවුනතර කිසි කතාබහක් නොඇසුනි.

හිටි වනම නිහඩ බැව් බින්ද චන්ඩි පැවසුවේ අරුම පුදුම කතාවකි. . . . 


ඒ කතාවේ සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමට ,අවශ්‍ය ආම්පන්න ද රැගෙන නැවතත් හෙට දිනයේ දී ,මුණගැහෙන පොරොන්දුව මත ඔවුන් සමුගත්තේ තිදෙනාගේ නිවෙස් වලට යනෙන මාවත් බෙදී වෙන් වෙන දෙමංසලේදීය .

ඔවුන් තිදෙනාගේ නැවත මුණගැසීම
බලාපොරොත්තුවෙන් සිටින
මම
෴ සොඳුරු සිත ෴

Thursday, December 22, 2011

෴ නොපැතූ පැතුමක , පැතුම ෴

ජීවිතේ කියන්නේ , නොපැතූ බොහෝමයක් දේ අතර , පැතූ එකම දෙයක් හමුවෙන එක වෙන්න පුළුවන්. කිසිදවසක නොපැතූ පැතුමක් වෙලා නුඹ එද්දි , පැතූ පැතුමක් එපා කියලා, නොපැතූ පැතුම වෙච්චි නුඹව පතන්න දැන් හොඳටෝම කල් මදි. . . . .

දුක හංගන් හිනා වෙන්න කියා දුන්න නුඹ
හිත අස්සේ දුක එළියට අරන් ඇයිද අද
වෙනකෙකුගේ මනාලියක් වෙලා යන්න හෙට
නුඹේ කඳුළු පාඩඩ බැහැ පාගන්නට මට

අහම්බයෙන් මුණ ගැහුනත් මල් සුවඳක් ලෙස
ජීවීතේම සුවඳ කරන් පිපුනා හදවත
හෙටත් ඉන්න  මයෙ දිවියේ සුවඳක් විලසට
එපා යන්න මේ විලසට පරවී මගෙ ළඟ

නුඹේ අතේ දැවටී මුළු ලොවක් දැක්ක මට
වෙනකෙකුගේ ලොවක් වෙනව හෙට දිනයක සිට
ඒ ලොව තුල පුංචි ඉඩක නුඹත් සිටින වග
නොකීවාට නුඹ දන්නව නෙව ද මගේ හිත

ඊයේ අද මතක පොතේ වැසුව පිටක් ලෙස
අමතක වෙන්නැහැ මට නම් කවදාවත් නුඹ
වෙන්නව යන්න දෑත ඉතින් අතහරින්න අද
සිනා වෙවී සමුදෙනව ද මට යන්නට දුර

              සමුදෙන්න බැරිව
                 ලතැවෙන
                   මම
          ෴ සොඳුරු සිත ෴
ප/ලි:-
භුත බංගලාව කතාවේ ඉතිරි කොටස් ඉදිරියට පලවෙන බැව් කාරුණිකව සලකන්න.......

Tuesday, December 20, 2011

෴ භුත බංගලාව 2 කොටස -(ළමා කතාවකි) ෴


" පැනපන් "

අයියාගේත් මල්ලීගේත් කල්පිත ලෝකය බිඳ හෙළු චණ්ඩි ,විධානය දුන්නේ ,බිදී ගිය වැටේ වූ මලකඩ කෑ කටු කම්බි පේලි දෙකක් ඈත් කරම්න්ය.

“ පොඩි එකා . . . උඹ ඉස්සෙල්ලා පැනහන් “

“ ඉහි ඉහි . . . . මට බෑ .මට බෑ බෑමයි “

“ආහ්  . . . ! ! ! ඒකත් එහෙම ද? එහෙනම් බොලයි අයියව ඇතුලට යවල , උඹයි මායි එළියෙන් ඉමු සමීරයෝ “

“ මට බැහැ. එහෙනම් අපි තුන්දෙනාම යං “

“හරි හරි. උඹ පොඩි එකා නිසා ඉස්සෙල්ල රිංගහන් මෙතනින්.අපිත් එනෝ බං “

වියල් කෙරුනු මළකඩ කටු කම්බි ඇඟේ නොවදින්නට , එහා වත්තට පැණිම සමීරට සුළු දෙයක් වුව ද, ඔහුගේ සිත පුරා විහිදී ගිය බිය සහ ත්‍රාසය විසින් දෙතුන් වරක් ඔහුගේ පුංචි ශරීරයේ කටු කම්බි වැදීම නිසා සීරෙන්නට විය.මිනිසෙකුට පිටත ඉදන් කර පොවා බැලීමට නොහැකි තරම් උසින් මන්දිරයේ වත්ත වටා ගසා තිබු ගල් තාප්පය, සෙල්ලම් පිට්ටනියේ මුල්ලේ දී පුංචි කටු කම්බි  වැටකට සීමා වුයේ, එක්කෝ  ගල් මදි වීය , නැත්තම් බාස්ට හදිසියේ ගෙදර යෑමට හදිසි වීම නිසා වෙන්නට ඇති බැව් පුංචි සමීර සිතන්නට විය. මටමයි වෙන්නේ.....

“ අම්මියෝ . . . ! ! ! මට ටෙටනස් විඳින්නත් වෙයි “

“ අනේ මේ . . .  “

දැන් තිදෙනාම වැටෙන් මෙහා පැත්තේ ය. ගමේ ඉන්න වැඩිහිටි චන්ඩියෙක්වත් හොඳ සිහියෙන් පය නොගසන භුමියක , පුංචි කොළුකුරුට්ටන් තිදෙනෙක් , ගැහෙනා දෙපා වලින් , ලේ පොඳක් නැති සුදුමැලි මුහුණු දික්කරන් සිටින්නේ , මඟ වැරදි , අවේලාවේ  අපායට ගොඩබට සූර දූතයන් පරිද්දෙනි.

“ දැන්  . . .  කොහෙ කියල බෝලෙ හොයන්න ද, තව ටිහකින් හොඳටෝම කළුවර වැටෙයි “

මෙතෙක් නිහඬව සිටි සමීරගේ අයියා කොහේ දෝ සිට පහල වූ අපූරු නුවන මෙහෙයවමින් පවසන්නට විය.

“ යකෝ . . . . ! ! ! මේ බංගලාවේ ලොකු. මේක හරියට මාළිඟාවක් වගේ “ දිදුලන දෑස් අයාන පවසන චන්ඩි දෙස අයියාත් මල්ලිත් බැලුවේ අයා ගත් මුවෙනි.

“ කොහෙ යන්න ද? අපි බොලෙ අරන්මයි යන්න ඕනි. තොපි දෙන්න ඕනි නම් ආපහු පලයව්.මම නම් යනෝ මේ බංගලාව ඇතුලටම “

“ නැහැ . . .  අපිත් එනෝ , ඔයැයිතුත් එක්ක “

අයිය මලෝ දෙදෙනාට ලැබුන අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නට ඔවුන් ඒකමතිකව තීරණය කෙරුවාක් මෙන් ඔවුන් පැවසුවේ , පුංචිකමට සිතට නැගෙන දැඩි කුතුහලයත් , පුංචි වික්‍රමයන් හි නියලෙන පුංචි ළමයින්ගේ , සිංහලට හඩ කැවූ ඉංග්‍රිසී නාට්‍ය වැඩිපුර නැරඹිමත් නිසාම වන්නට ඇත.

. . . . මුන් දෙන්න එනෙක , කෝකටත් හොඳයි. නැත්තම් මම මේ භුත ගුහාවේ කොහොම රිංගන්න ද . . . . . 

හිස කරකවා ඔවුන් දෙස බැලු චන්ඩි සිතන්නට විය.

“ එහෙනම් යං “

“ ඒත් කොහෙන් ද ? “

“ යමු. . . වටෙන්ම ඇවිදන් යමු. කොහෙන් හරි තැනක් ඇති. ඇතුලට යන්න. තැනක් නැති වුනොත් , ජනේලයක් කඩල හරි ඇතුලට යමු“

“ කොහොම ත් ඇහුන සද්දෙ විදිහට බෝලෙ ඇත්තේ ගේ ඇතුලෙ “

“ ඔවු , උඹ හරි අශේන් “

සමීරගේ අයියා , අශේන් , වැඩි කතාබතා නැති නමුත් හොඳ මීටරයක් බැව් චන්ඩි දනී. මෙතෙක් පරම සතුරන් සේ එකිනෙකා නොරුස්සමින් සිටි තිදෙනා , එකවර පුංචි සවිමත් කණ්ඩායමක් බවට පත්වුන අපූරුව , පුංචිවුන්ගේ ලොවේම මිසක් වැඩිහිටි ලොව දැකිය නොහැකි ගුණාංගයකියි මට සිතේ.

පුංචි සමීර මේ සියල්ල තුල දුටුවේ ත්‍රාසජනක හා භයංකාරබවම පමණක් වුවත්, ඔහුගේ සිත තුල  ද මේ ක්‍රියාන්විතය ට සම්බන්ධ වීමට ලැබීම ගැන වූයේ යම් ආකාරයක ආඩම්බරයකි.

“ චන්ඩි යන්න ඔය පැත්තෙන් , අපි දෙන්න මේ පැත්තෙන් එන්නම්. ඇතුලට යන්න ක්‍රමයක් දැක්කොත් හයියෙන් හූවක් තියන්න “

“ හරි . . . “

අශේන් වැන්නකු තමන් සමඟ සිටිම ගැන චන්ඩි සැබැවින්ම ආඩම්බර වූ අතර , නිරායාසයෙන්ම පුංචි කණ්ඩායමේ නායකත්වය චණ්ඩිගෙන් ගිලිහී ගොස් අශේන්ට ලැබීම ගැන චන්ඩිගේ සිතේ කිසිම කහටක් ද වූයේ නැත.එ සේ හෙයින් , අශේන් කළ ඉල්ලීම , නියෝගයක් සේ දැක වැඩිහිටියන් සේ කුපිත වීමට ඔහුට අවශ්‍ය නොවීය.


ඒ විශාල මන්දිරය වටා , තිදෙනාටම එකවර පැදකුණු කර අවසන් කිරීමට නම් සැලකිය යුතු කාලයක් ගත වන අතර , අඳුර විත් මුළු ප්‍රදේශයම වසා ගන්නට කලින් මන්දිරයට ඇතුලු වීමට හෝ බෝලය සොයා ගැනීමට නොහැකි වනු ඇත. අශේන්ට ඇත්තේ අනගි මොළයකි.

මන්දිරය විශාල වුව ද කිසිවකු වසන බවට කිසිම සලකුණක් සොයා ගත නොහැකි විය.මන්දිරය විශාල රුක්ගොමුවකින් වට ව තිබූ නිසා , පරිසරයේ වූ අඳුර වඩ වඩාත් ත්‍රීවුර වු අතර, අවුරුදු ගණනකින් ඉදල් ඉරටු පහරක් වැදී නැති පොළව , ගස් වලින් වට සියළු දේ පොළවට පස් කරමින් සිටිනු දැකිය හැකි විය.තට්ටු පිට තට්ටු වැටී තිබූ කොළ රොඩු වල ඔවුන් අඩිය නොතිබ්බේ, විෂ සර්පයන් එහි සිටිනු ඇතැයි යන බියටත් වඩා. පයට පෑගෙන වියළි රොඩු වලින් නැගෙන හඩින් ද ඔවුන් බිය පත් වූ නිසා ය.

මන්දිරය වටා වූ සිමෙන්ති පේමන්ට් එක මතින් ඇවිද ගියේ ... පේමන්ට් එක වැසෙන්නට තරම්  වු නොයේකුත් වර්ගයේ කුණු කන්දල් වල හැපෙමින් ය.

මන්දිරයේ විශාල බිත්ති වල ඇතැම් තැන්හි දිය සෙවෙල් බැඳී තිබුනි.ඇතැම් තැන ක වර්ණාලේපයන් පතුරු පතුරු ගැලවී යමින් තිබුනි. ආලේප කර ඇත්තේ කුමන පාටදැයි පැවසීමට ඔවුනට නොහැකි විය.ජනේලයකින් පනිමු යැයි යෝජනා කල ද, මන්දිරයේ වූ විශාල ශක්තිමත් ජනේල දුටු අශේන්ගේ සිතේ වුයේ  දෙගිඩියාවකි.

සිතේ උපන් දෙගිඩියාව යටපත් කරමින් නැග ආ හූ හඩත් , ඒ එක්කම වාගේ ඇසුනු අද්භුත ගෙරවුම් හඩත් යහළුවන් තිදෙනාගේ මුහුණු සුඳුමැලි දියරයෙන් පුරවා ලන්නටත් , උන්තැනම ගල් වුන සිරුරු තදින් පොළවට බැද තබන්නටත් සමත් කරවීය.
හූ හඬින් සහ අමුතුම ගෙරවුම් හඬින් බිරාන්ත වූ
මම
෴ සොඳුරු සිත ෴

මෙන්න තුන්වෙනි කොටසට පාර . . . .

Monday, December 19, 2011

෴ භුත බංගලාව I කොටස -(ළමා කතාවකි) ෴


" සලාං . . . . . . . . .! ! ! !."

මෙතෙක් ප්‍රීතියෙන් පිනායමින් සිටි පුංචි සිත් , එක මොහොතකින් කළු වළාවකින් වසා දැමීමට ඒ විශාල මිහිරි සද්දයට හැකි විය.

පොඩිවුන් එකිනෙකා ,එකිනෙකාගේ මුහුණු බලන්නට වූයේ , නපුරු සිහිනයකින් සිහි එළවා ගන්නට මෙනි. නඩයේ සිටි ශරීරයෙන් තරමක් විශාල නමුත් වයසින් නොමේරු එකෙකු හඬමින් දුවන්නට වත්ම , අනිකුන්ගේ සිත් ද දුවන්නට ම අර අදින්නට විය.

“ එකෙක් දුවන්නෙ නැහැ ! ! ! ! “

හඩ නැගුවේ නඩේම එකෙකි.

“ යකෝ මේක හරි වැඩක් නෙව. තොපි එකෙක් වත් මයෙ බොලෙ අරන් නොදි මෙතනින් හෙම යනව නෙමෙයි ඕං හරිය “

නඩයට අලුතින් එකතු වූ , ගමට අලුතින් ආ අමුතු පවුලේ කට සැර කොළුවාගේ හඬින් පුංචිවුන් තව තවත් අසරණ වන්නට විය.

“ අපි යමු අයියේ . . . . මට බයයි. “

පුංචි සමීර අයියාගේ කමීසයෙන් අදිමින් පවසන්නට වූයේ අඩන්නට ඔන්න මෙන්න වූ ඇස් . . . චන්ඩියාගෙන් ඉවතට නොගනිමිනි.

“මොකො බොල කුටු කුටු ගාන්නේ ? “

සමීර දෙස රවා බැලු චන්ඩි කොල්ලා. ඔවුන් දෙදෙනා වෙත ලං වත්ම, බියෙන් ඇලලි ගිය සමීර , අයියට මුවා වෙන්නට විය. ඒ සුනංගුවෙන් ලත් අවසරයෙන් , අනිත් කොළු කුරුට්ටන් , දිව යන්නට විය.

“ කොහෙ ද බොල තොපි දුවන්නේ , හොඳයි බලාගනිව්, තොපි එනව හෙම නෙමෙයි මේ පිට්ටනියේ ආයෙ සෙල්ලම් කරන්න “

ප්‍රමාණාවත්තරම් ඈතට දිව ගිය කොළුරැල “හූ “ හඬ නඟන්නට විය.

“ හූ . . . . ! ! ! , හූ . . . ! ! ! හූ . . . . . . . . . .  .! ! ! “

“ යකෝ . . .ව් . . . .  තොපි වරෙව් කෝ ආයේ . . . “

කෑගසන උන් කෙරේ තම කෝපය පල කළ ද , ඔවුන් පසුපස නොදිවු චණ්ඩි කොල්ලා , තවමත් තමන් ළඟ සිටින අහිංසකයන් දෙස බැලූවේ , ඔවුන් දවා හළු කරන නෙතිනි.

“ අයියා . . . . . “

පුංචි සමීර තව තවත් අයියාට තුරුළුවන්නට විය.

“ තොපි දෙන්න හෙල්ලෙන්නෙ නැහැ. වරෙව් යන්න මාත් එක්ක “

“ කො කො . . . කොහෙ යන්න ද ? “

වියළි ගිය තොල කටට නඟාගත් ප්‍රාණයෙන් සමීරගේ අයියා අසන්නට විය.

“ වෙන කොහෙ ද , මයෙ බෝලෙ ගන්න. බොලවු දන්නව ද ,මම ඔය බෝලෙ ගන්න කොච්චර නම් ආප්ප ඇද්දද කඩේට. ඕක අරන් මිසක් , අද මම ගෙදර යන්නෙ නැහැ.මම විතරක් නෙමයි, තොපි දෙන්නත් යන්නෙ නැහැ . හරිය “

“ මල්ලිට යන්න දෙන්න .“

තමන්ගේ කමිසයෙ එල්ලී බියෙන් සැලෙන පුංචි සමීර දෙස බැලු අයියා පවසන්නට විය.

“ ඒව කොහොද ? මාව තම්බන්න හිතුව මදි බොලා, මල්ලි ගිහින් ගෙදෙට්ට කීවම ඔක්කොම ඉවරයි. යමු ඉස්සර වෙලා තොපි දෙන්නා “

“ අපි අලුත් බෝලයක් අරන් දෙන්නම්. “

“ අනේ මේ . . .  තොපි මෙච්චර කල් සෙල්ලම් කරේ රබර් බෝලෙන්, බොලාගේ ටෙනිස් බෝල, අනේ නිකම් පලයව් “

කතාව ඇත්ත බැව් පුංචි සමිරගේ පුංචි හිතට ද වැටහෙයි. අම්මා තාත්තාට කොතරම් සල්ලි තිබුන ද, අයියා කොතෙකුත් ඉල්ලූව ද, ඔවුන්ට ක්‍රිකට් ගැසීමට ටෙනිස් බෝලයක් ලබා දීමට තරම් සමීරගේ දෙමාපියන් කාරුණික වූයේ නැත. නමුත් චණ්ඩි අයියා ගේ ආගමනයත් සමඟම එතෙක් රබර් බෝලයෙන් සෙල්ලම් කළ කොළු රැලට උදාවුයේ වාසනාවන්ත කාලයකි.

චන්ඩි අයියාගේ නියම නම සමීර නොදනි, ගමේ අනිත්වුන් ද නොදන්නා බව සහතිකය. හේතුව නම් ඔහුගේ නම කියා ඇමතීමට පෙරම , ඔහුගේ අනන්‍යතාව හෙලි වී නම් පට බැඳීම නිසාය.ගමට උන්හිටි ගමන් පාත් වූ චන්ඩිගේ අම්මා සහ චන්ඩි ගමේ අතැර දමා තිබු මැටි ගෙදරක හදිසියේම පැල පැදියම් විය.

“ඕකුන් එක්ක සෙල්ලමට හෙම යනව නෙමෙයි හරි ද? “

“ ඇයි අම්මා ඒ . . . ඒ අයියා කතා කරනව අමුතු වුනාට හරි හොඳයිනෙ අම්මා “

“ ඒ ඩිංගිත්තට කතාවටත් ගියා ද? මොන ගුබ්බෑයමක ඉදන් පාත් වුනාද කවුද දන්නේ ? මහමන්ඩිගේ කතාවත් හරියට මුඩුක්කුවක ඉදන් ආවා වගේ “

“ ඒ අයිය හරි හොඳයි. සෙල්ලම් කරන්න ටෙනිස් බෝ . . . “

සමීරට ඉතිරි ටික සම්පූර්ණ කිරීමට නොඳුන් සමීරගේ අයියා , සමීරගේ කට තද කර වසමින් ඔහුව ඉවතට ඇද ගෙන යන්නට වූයේ ,

“ මෝඩයා . . . ඔක්කම කියනවා. එන්නෙපා මාත් එක්ක සෙල්ලම් කරන්න යන්න අනිත් දවසෙ “

“ යමවු යමවු පොඩ්ඩක් කකුල ඉක්මන් කරල “ චන්ඩි අයියාගේ ගෝරනාඩුවෙන් පුංචි සමීර නැවතත් සෙල්ලම් පිට්ටනියේ කෙළවර වෙත පැමිණ තිබුනි.

“ඔයා ඉස්සර වෙන්න, අපි දෙන්න පස්සෙන් එන්නම් “

“ හහ් . . . තොපිනම් යකෝ, අහිංසක කමට හිටියට කට්ටම නැහැ නේද ? මාව ඉස්සර කරල පැනල යන්න ද “

“නැහැ. . .අපිට බයයි “

“ බය ගුල්ලෝ  . . . .! ! ! “

ඒසේ පැවසුව ද , සෙල්ලම් පිට්ටනියේ අඳුරු කෙළවරට පැමිණ සිටි ඔවුන් තිදෙනාගේම මුහුණු වල තිබුනේ , මහා රැදුරු රාක්ෂයෙක්ගේ භවනකට ඇතුලු වන පුංචි දරුවන්ගේ මුහුණු වල වූ හැඟීම් වලට නොදෙවෙනි හැඟීම් රැසකි.

ගොම්මන් කළුවර සෙල්ලම් පිට්ටනියත් යට කරගෙන ඇතිරෙන වේලාවේ , ඒ අඳුරට මුසුවෙන  පුංචි ඡායා තුනක, පුංචි ඇස් හයක් ගමේ වුන් කෙදිනකවත් ඇතුලු නොවූ , රාත්‍රියට මහ හඬ නඟා කෑ ගසන ඒ භුත ගුහාව වෙත යොමු වී තිබුණි.





ගොම්මන් අඳුරරේ , පොඩ්ඩන් දෙස බලා සිටින
මම
෴ සොඳුරු ෴

Friday, December 16, 2011

෴ නුඹ ළඟ සිටි මම ෴


වැලි කතර, මහ මුහුද , නිල්ල නිල් වන අරණ
මඟ දිග ද , සැම තැනම
සෙවූවෙමි මං මම ම

පයට පෑගෙන වැලි ද , හිමිදිරියෙ පිනි මතද
ගලා යන දිය රැළිද ,අහසෙ මියෙනා තරුද
සෙවූවෙමු මං මම ම

බඹර තුඩ විෂ මත ද , විහඟ ගීයක අග ද
මල ක පෙති මත ඇති ද
සෙවූවෙමි මං මම ම

දිනක නොපැතූ විලස , හිත බැඳුන නුඹ ළඟම
 නොසොයාම මුණ ගැසුනි
සෙවූ මම නුඹ ළඟම 

කඩා බිඳ දා පවුරු ,සොයා දී මා මට ම
ගියේ දුර ඇයි නුඹ ත්
මගෙ අඩකුත් රැගෙන

නැති වූ අර්ධය සොයන
මම
෴ සොඳුරු ෴

Sunday, December 11, 2011

෴ සඳේ පෙම ෴


විළිබරව සැඟවෙන
යළිත් හිමිහිට එළි වෙන

සඳ අහසෙ මතුවෙන
නුඹයි මගෙ මතකයට එක් වෙන

නුරා රස සඟවන
කඳුළු තරු මල් අතර දවටන
සුසුම් ගෙන ඉසිමින
මිලින තණබිම මලින් පුරවන

ජනෙල් පළු අතරින
දෑස නිතරම යොමු වෙන
තොල් පෙති පොපියමින
නොකියනා දේ නෙතින් දනවන

රාත්‍රිය මැදියම
යහනෙ නුඹ සැතපෙන විට
සඳ කැළුම් දහසක
දැවටී එන්න නුඹ වෙත

වේදනා දෙන හදවත
නිවා සනසන්නට
හෙලා සුසුමක් දිග
සිප ගන්න ඔය වත මට

ලොවම නොදකින ලෙස
ලොවට රහසක් වූ ලෙස
සඟවන්නෙ කෙලෙස ද
නුඹට පමණයි මගේ සෙනෙහස

නුඹේ සඳ
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, December 7, 2011

෴ සතුට සොයා ෴




“ අර ඉන්නේ , අර අර . . . .  නිල් පාට සාරියක් ඇඳල, හිනා වෙවී ඉන්නේ “

“ ඉතින් ! ! ! “

“ ඔයා කීව නේද දවසක්,ලෝකේ සතුටින්ම ඉන්න කෙනා දකින්න ඇත්නම් කියලා“

“ ඔවු . . ! ! ! “

“ ඉතින් ළමයෝ , මම දන්න විදිහට, ලෝකෙ සතුටින්ම ඉන්න ගැහැණිය තමයි එයා “

“ ඔයා කොහොම ද එහෙම කියන්නේ , ? ඇයි එහෙම කියන්නේ. එයා මේ මොහොතෙ හිනා වෙලා ඉන්න නිසා ද ? “

“ නැහැ. එයා මේ මොහොතෙත් ගොඩාක් ප්‍රශ්ණ වලට මැදි වෙලා ඉන්න නිසා “

“ මට තේරෙන්නෙ නැහැ “

“ හ්ම් . . . ඔයා දන්නව ද, එයා ගොඩාක් පෝසත් පවුලක ළමයෙක්. ඒත් එයා ස්කෝලෙ ඕලෙවල් කරන කාලේ වෙනකොට එයාගේ තාත්තා හදිසියේම අන්ත්‍රා වුනා. එයාට හිටිය එකම සහෝදරයා ,මානසික රෝගියෙක් , ටික දවසකින් අම්ම ත් හදිසියේම මැරුනා. දේපල වස්තුව තිබ්බ නිසා නෑයො ලං වුනත් , ඒ ගැහැණු ළමයව රවටන් දේපල ටික නැති වෙනකම් ළඟහිටියො නෑයෝ ඊට පස්සෙ ඒ ළමයව දාලා ගියා. ණයට සින්න වුන මහ ඉඩමකුයි පරණ දිරල ගිය වලව්වකුයි , මානසික රෝගි සහෝදරයෙකුයි එක්ක ඒ කෙල්ල තනි වුනා. හොඳට ඉගෙන ගන්න පුලුවන් දක්ෂ ළමයෙක් වුනත් , අමාරුවෙන් උසස් පෙල කරල කැම්පස් තේරුනත් , ඒ අවස්ථාව මඟ ඇරල සහෝදරයත් බලාන පුංචි පුංචි රස්සාවල් කර කර යන්තම් ජීවිතේ ගැට ගහ ගත්තා “

“ පොඩ්ඩක් ඉන්න , ඔයා කොහොම ද ඔය කෙල්ල ගැන ඔච්චර විස්තර දන්නේ , එයා මේ ගමට , මේ රස්සාවට ආවෙ අලුතින් කියල නෙ මට කියල තියෙන්නේ “

“ හ්ම් . . . . .  ඔවු. . .අලුතින් . . . ඒත් මම එන්න කලින් වුන දේවල් මම නොදැන ඉන්න විදිහක් නැහැ නේද ? “

“ ඒ කියන්නෙ ඔයා එයා ගැන හොයල ? “

“ ඔවු. .  හෙවුව තමයි. මේ තරම් පුංචි රස්සාවක් කරන  එයා ,හිනා වෙලා ඉන්න හැටි දැක්කම මට හිතුනා , එයා තමයි ලෝකෙ ඉන්න සොඳුරුම ගැහැණිය කියලා.“

“ එච්චර ද ? ‘

“ නැහැ . .  තව තියේ. දිගටම අහනව ද? නැත්තම් නවත්තන්න ද ? “

“ අහමු , ඔයා කියන්න “

“ ඉතින් , ඒ කෙල්ලගෙ ජීවිතේටත් ආදරය එඹිල බැලුවා. ගමේ ගොඩක් දුප්පත් පවුලක , හමුදාකරයෙක්, කෙල්ලත් නොදැනම , දෙන්නම අර ණයබරට සින්න වෙන්න ගිය දිරපු ගෙයි කැඳැල්ලක් හැදුවා. ළමයෙක් බඩ ඇවිත් මාස දෙක ඉවර වෙන්නත් කලින්, කොටි බෝම්බයකට අහුවෙලා ඒ කොල්ලත් මැරුනා “

“ ඉතින් , . . .  දැන් එයා වෙන මිනිහෙක්ව බැදල ද? “

“ ගෑණු - මිනිස්සු , ජීවිතේ කියන්නේ කසාඳ බදින එක විතරද ,ඔයාට අහන් ඉන්න බැරි නම් මම නතර කරන්නම් “

“ නැහැ. ඔයා කියන්න “

“ හමුදා පඩිය කෙල්ල අතට ලැබෙන නිසා , අගහිඟයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් උනත් , වටේ පිටේ ඉන්න පිපාසයෙන් පිරුණ පිරිමි , ඇගේ ඇඟ මසට තියෙන අනුකම්පාවෙන් එයා ළඟට කිට්ටු වුනා “

“ ඕකනෙ කියන්නේ , කොයි ගෑනිත් ඔහොම තමයි “

“ හරි එහෙනම් , ගෑණු ගැන මට වඩා ඔයා දන්නවනේ. මම නතර කරන්නම් “

“ අනේ නැහැ මැණික . . .ඔයා කියන්න “

“ මුලදි මුලදි , ආදරය කියල රැවටුනත් , පස්සෙ න් පහු එයා තේරුම් ගත්තා , මිනිහා එන්නෙ මොකාට ද කියලා. ඒ වෙන කොට , මැරුණ මිනහ නිසා හැම මාසෙම හමුබුන පඩියෙන් සැලකිය යුතු ගානක් ඒ එන මිනිස්සු එයාගෙන් උදුරන් ගිහින් තිබ්බා “

“ යකෝ මාර වැඩක් නෙ ඒක. ඇඟ මදිවට සල්ලිත් අරන් ද ? “

“ ඔවු. ඇඟ රාගයටත් , සල්ලි ආදරයටත් සින්න වෙවී තිබ්බා “

“ ඉතින් “

“ ඉතින් දවසක් , එයාට හිටපු එකම ඥාතියා එයාව දාලා ගියා. “

“ කවුද , පිස්සු අයිය ද? “

“ ඔවු . පිස්සු උනත් අයියකෙනෙක් එයාට හිටියා.තමන්ගෙ කියලා. අයිය නිසා ගෙදරට යන එන පාදඩ මිනිස්සුන්ගෙ ගමන යම් තරමකට සීමා වෙලා තිබ්බේ. පිස්සෙක් වුනත් තමන්ගෙ වැන්දඹු නංගිව පරිස්සම් කර ගන්න ඕනි කියල මිනිහට තේරෙන්න ඇති “

“ ඉතින් “

“ අයියත් මළාට පස්සෙ , . . .  පුංචි දූත් ටික ටික ලොකු වෙන නිසා , ගම අතඇරපු ගෑණි , මෙහාට ආවා . මේ රස්සාව බොහොම පුංචි රස්සාවක්. රස්සාවෙන් එයාට ලැබෙන පඩියට වඩා, එයා බලාපොරොත්තු වෙන්නෙ ආරක්ෂාව කියල මම තේරුම් ගත්තේ, එයා ගැන හොයද්දි. “

“ ඒ කීවේ . . “

“ මෙතන රස්සාවට ඇවිත් වැඩි කල් යන්න කලින් , කාගෙත් හිත් දිනා ගත්තා. ලොක්කාගෙ වයසක අම්මව බලා ගන්න කෙනෙක් නැතිව ඉද්දි , මේ ගැහැණියව ලොක්කට පේන්න ඇත්තේ දිව්‍යාංගනාවක් වගේ . දැන් මෙයා ඉන්නෙ ලොක්කගෙ ගෙදර. දවල්ට මෙහෙ වරුවකින් තියෙන ඔක්කම ටොයිලට්ස් , වොෂ් රූම් විතරක් නෙමෙයි , කාණුත් ඔක්කම සුද්ද කරනවා. දවල්ට ගිහින් උයනව. ලොක්කටත් කෑම එකක් අරන් එනවා. ආයෙත් හවස් වරුවෙ කවුරුත් ගියාම , ආයෙත් වටයක් සුද්ද කරනවා. “

“එතකොට එයා රෑට ඉන්නෙත් ............? “

“ ඔවු . . . ලොක්කගෙ ගෙදර “

“ හෙහ් ඔයා හිතනව ද , එයාට ඒ ගෙදර ආරක්ෂාවයි කියලා. “

“ අපොයි ඔවු “

“ ලොක්ක බැදල ද ? බැදල වුනත් අද කාලේ පිරිමි  . . . . “

“ ලොක්ක බැදල නැහැ. ලොක්ක ගෑණුන්ට කැමැති කෙනෙකුත් නෙමෙයි “

“ ආහ්  . . . . “

“ ඔවු ,  . . ! ! ! “

“ මම නම් එයා දකිද්දි හිතුවෙ නැහැ.එයා ක්ලීනින් සර්විස් එකේ වැඩ කරනව කියලා.  “

“ ඒක තමයි කියන්නේ. අද එයාගේ දූගේ ස්කෝලෙ  උත්සවයක්. ඔය ඇඳන් ඉන්නේ , ඔෆිස් එකේ අය එයාගේ උපන් දිනේට අරන් දීපු සාරියක්. එයාට කියල ඉතිරි වෙලා ඉන්නෙ ඒ දූ විතරයි. “

“ හරි පුදුම යි . . . ! ! ! “

“ ඇයි . . . ! ! ! “

“ එයා කෙහොම ද , ඒ තරම් සතුටින් ඉන්නේ “


සතුට සොයා යන ගමනේ
කොතනද ඔබ මා රැඳුනේ
සිත ගත සොයනා සැම දේ
මා ළඟ නොවෙදෝ රැඳුනේ



හැමදාම දුකින් ඉන්න
මම
෴ සොසී ෴

Monday, December 5, 2011

෴ හිත නැති මම෴

අපුල්ල අපුල්ල මඩේ දාන මයෙ හිත
දැන් හොඳටෝම රිදිලා
දරුණුවට කා වැදුන මතක මකන්න හිතාන
දාපු සැර බේත් වලට
හිත හිල් වෙලා
ලස්සන පාට සේදිලා
හරිම අවර්ණ
ඉරි තැලුණ
හිතක්

මොකටද ලග තියාන
විසිකරමු අර නොපෙනෙන ඈතටම
අනන්තයටම

ඉන් පස්සෙ ඉමු සතුටින් නැතත් දුක නැතිව
ඉස්සර වගේ හැමදාමත්

෴ මට පේන්න බැරි , මයෙ හොඳම යාළුවා.෴



මේ ඊයේ පෙරේදා  දවසක
පුංචි හවස් වරුවක
ගබඩා කාමරයේ මුල්ලක
තිබිල හමුවුනා

මං පුංචි දවස් වල ඉස්සර
මයෙ ළඟ මයෙ හිස අද්දර
නිතරම සිටි මේ මිතුරා
ඇයි ද ගොළුවෙලා

දුවිලි පිසදා අරගෙන
මලකඩ කෑ තැන් පිසගෙන
ගබඩා කාමරයෙන් ඉවතට
අරන් පිට වුනා

මයෙ ස්කෝලෙ දවසක
මයෙ ළඟින්ම මොහු ඉදගෙන
මර හඬ දී ගෙන දුන් වද
මට අයෙත් සිහි වුනා


ට්‍රීං ට්‍රීං ගාගෙන
මයෙ සිහින බිඳන් ඇහැරෙන
අල්ලා මිටිකර ඈතට
විසිකරා සිහිවුනා

ආයෙත් අහුලන් අරගෙන
මයෙ ළඟින්ම හිදවා ගෙන
පොතත් එක්ක පාඩම් කර
අයුරු සිහි වුනා

පන්තිය පන්තියට ඉහළට
ආ හැටි සිහිවී ආයෙම
නුඹ කොතනදි මඟ ඇරුනි ද
මම යළිත් සිහිකළා

ගේ දොර අතහැර ආවිට
බෝඩිමෙ නැහැ ඉඩ නුඹහට
මම අලුත් එකක් ගත්තම
නුඹ අමතකම වුනා මට


වයින් හිර වෙලාව ද
නැතිනම් මා නැති දුකට ද
නුඹ ගොළුව ගිහින් හොඳටම
ගබඩාවේ සිරවුනා

මට මුල මතකයි හොඳටම
ආයෙත් එනු මා ළඟටම
නුඹ මගෙ හදවත වාගෙම
ඉදපන් ගොළු වී මා ළඟ


පසු කතාව :- මේ ළඟදි දවසක , මොකක් හරි හදිස්සියකට , ගබඩා කාමරයට ගියාම ඒකේ මුල්ලක තිබිල මට මයේ පරණ හිතවතෙක් මුණ ගැහුනා. මට පේන්න බැරි , මයෙ හොඳම යාළුවා.

මේ තියෙන්නේ මං ගත්ත පින්තූරය. අර උඩින් තියෙන්නේ ජීවිතය දකින්න.. විඳවන්න නොව.. විඳගන්න..  ලියන බස්සා විසින් සංස්කරණය කරපු පින්තූරය.......



යාළුව අමතක කරපු
මම
෴ සොසී෴

Friday, December 2, 2011

෴ මිලින මල ෴


වාමුවාව මතට වැටෙන සිහින් වැහි බිඳු නිසා අපහැදිලි වන මාර්ගය , තවත් මොහොතකින් පැහැදිලි වන්නේ , තාලයට එහා මෙහා යන පිස්නයට හසුවී වැහි බිඳු අතුරුදන් වන බැවිනි. එසේම මගේ සිත ද වරින් වර අපැහැදි අතීත මතක අතරත් , පැහැදිලව පෙනෙන නමුදු විස්වාස කළ නොහැකි වර්තමානය අතරත් සරන්නේ , ඇගේ වේදනාබර කෙඳිරියක් පිස්නයක් බවට පත් වෙමිනි.

එකඟ කර ගත නොහැකි වූ මා සිත මගින් මෙහෙයවුනු නෙතු , වාහනයේ පසුබැලුම් කණ්නාඩිය වෙත දිව ගියේ , ඩබල් කැබ් රථයේ පසුපස ආසනයේ ඇගේ මවගේ උකුල මත හිස තියාන , මා දෙස නෙතු තියාන සිටින ඇගේ නෙතු හා මොහොතකට ගැටුනි. වේදනාවෙන් සැලෙන ඇගේ සියළුම ශාරීරක අවයව මොහොතකට අමතක කරාක් මෙන් ඇය මාහා සිනාසෙන්නී , ඇස් වල දිලිසෙන කඳුළු පොකුරු මගෙන් මඟ ඇරීමට ඉතාම අසාර්ථක උත්සාහයක නියලුනාය.


ඉදිරි ආසන දෙක අතරින් පසු පස හැරී ඇය දෙස මා හොඳින් බැලුවේ , ඇගේ දිලිසෙන කඳුළු පිරි ඇස් වලින් මේ ඇයමැදැයි සැක හැර දැන ගැනීමට මෙනි. එකළ සුදු රෝස මලක් මෙන් ලෙලෙමින් සිටි , පිරුණු ලස්සන නොකැලැල් ඇඟ පසඟින් හෙබි ඇය අද කොයිබදෝ අතුරුදන් වුනා වැන්න.

වයසට වඩා බොහෝ වයස පෙනුමක් ද , වේදනාව පිරී ඉතිරි ගිය අනෙකෙකුගේ වත්තමක් නොමැතිව යා නොහැකි  යන්තමින් ගැහෙන ශරිරයක් ද හිමි හෙණ වැදුන පොල් ගහක් පරිද්දෙන් මගේ කාර්යාල වාහනයේ පසුපස අසුනේ සිටින ඇය , මා පාසල් මිතුරියම බැව් මදකට හෝ සපථ කරන්නේ , ඇගේ දිගු කතා කරන ඇස් දෙක පමණි. මදක් කළුවී පාළු ළිඳක ගිලුන ඒ නිල් ඇස් දෙක ට තවමත් කතා කිරිමට අමතක ව නැත.

අග කෙළවර තෙක්ම තදින් ගොතා දමන ලද ඇගේ දිගු කොණ්ඩ කැරලි දෙකත් , දණහිස තෙක් දිගු වු සිහින් රැළි වැටුනු සුදු ගවුමත් , දිගු කොණ්ඩ කැරලි දෙපසට පද්දමින් යන ඇගේ ගමනත්, තමා ඇතුලු පාසල් සිසුන්ගෙ සිහින කුමාරිය බවට ඇය නිතැතින් පත් කිරිමට සමත් වූ වග ඇය දනී ද?

“ හා හා  . . . . . . උඹ එහෙනම් ගොඩ ගියා ආහ් . . . .හූ හූ . . . . . “

“ ඕකා උපාසකයා. අමාරුවේ දාන්න එපා නංගි ඕකව පවු පවු “

පාසල් වියේ එක් දිනෙක ඇය මා හා ප්‍රථම වරට සමීප වු මොහොතට මා සිත දිව ගියේය.

පාසල් ශ්‍රමදාන දිනයක් වූ එදින තේ බෙදන වේලාවයි. ඇය මා ළඟට පැමිණියේ සීනි බෝතලය එක් අතකිනුත් , තේ පෝච්චිය සහ ප්ලාස්ටික් කෝප්ප කිහිපයක් අනිත් අතිනුත් දරාගෙනය. ගැහැණු ළමයින් කිහිපදෙනෙකුම තේ බෙදීමේ නිරත වූව ද, ඇගෙන් තේ උගුරක් බීමට කොල්ලන් අතර වූයේ තරඟයකි.ඇය පසුපසින් ආදරය අයදිමින් ගිය කොල්ලන් සියල්ලම ඇයගේ ප්‍රභාව ඉදිරියේ පසුබැස ගිය ද , මා කෙරෙහි ඇගේ සිතේ වූ යම් කැමැත්තක අංශු මාත්‍රයක් මා දැන උන්න ද, ඇයගෙන් ඒ වග ඇසීමට දහයෙ පන්තියේ කොලුවෙකු වූ මට නොහැකි වීම ගැන අද මා සතුටු වන්නේ දැයි මට සිතේ.

අනිත් කොල්ලන් මඟ හරිමින් , මා වෙත පැමිණි ඇය , ඇගේ වමත මා වෙත දිගු කළේ ය. සිදුවන දේ පැහැදිලිව තේරුම් ගත නොහැකිව සිටි මා , මිතුරන්ගේ උසුළු විසිළු හමුවේත් මා වෙත එල්ල වුනු ඇගේ නෙත් කාන්තිය හමුවේත් , මොහොතකට නිරුත්තර වීමි.

“ගනින් බං  . . . . . . . “

මා ළඟසිටි මිතුරාගේ වැළමිටි පහරින් මෙලොවට ආ මම , දිගු කළ ඇගේ අතෙහි වූ එක් ප්ලාස්ටික් කෝප්පයක් ගැනීමට යාමේදී , ඇය අමාරුවෙන් අතේ රදවන් සිටි ප්ලාස්ටික් කෝප්ප වල සමබරතාව බිදී ගොස් බිම පුරා විසිරියත්ම , කොල්ලන්ගෙ කොකන් පෑම ද වැඩිවන්නට විය.

ලැජ්ජාව සහ කියා ගත නොහැකි හැඟීම් රැසක් අතර අතරමං වු මා ඇය දෙස බැලුවේ , සමාව යදින දැසීන් වන්නට ඇත. නමුදු තමා වටා වන කිසිදු දෙයක් කෙරෙහි ඇගේ කිසිම ආකාරයක අවධානයක් නොවිනි. ඇගේ සම්පූර්ණ අවධානයම ඇය මා වෙත යොදවන්නට ඇත. බිම වැටී තිබුන කෝප්ප කෙරෙහි මගේ අවධානය යොමුවත්ම ඇය එය වෙනස් කරන්නට උත්සුක විය.

“ තේ . . . . . ! ! ! ! “

ඇය මා අත වූ කෝප්ය වෙත තේ පෝච්චිය දිගු කළාය. ඉන්පසු එයට සීරුවට තේ වත්කළේ ඉතාම බැතිබර උවැසියක ලෙසිනි. මා ඇගේ සෑම ක්‍රියාවක්ම ආසාවෙන් නැරඹු බවට ඇති හොඳම සාක්ෂිය නම් , වසර ගණනකට පසු අදද බොඳ නොවී ශේෂව පවතින මතකය යි.

බොහොම සංසුන්ව නොඉහිරෙන ලෙස , ගැහෙන මගේ අත රැඳි කෝප්පයට තේ වත්කර ඉවර වූ ඇය , තේ බදුන පසෙකින් තබා , මගේ වමත අල්ලා ගත්තී එහි වූ පස් , රොඩු බොඩු ඇගේ අනිත් අතින් පිසින්නට වූවාය. ඉන්පසු සිදුවූයේ කිසිසේත් නොසිතූ දෙයකි. ඇගේ සුදු ගවොමේ , සුදු ඉනිපටියේ ගැට ගසා තිබූ රෝස පැහැති ලේන්සුව අතට ගත් ඇය, ලේන්සුවෙන් ද මගේ මඩ රැඳි අත පිසින්නට වූවාය. එවිට මා මදක් කැළඹී හුන් නිසා , අත ඉවතට ඇද ගන්නට හදත්ම මා දෙස බැලු ඇය මා අත මුදවා , සීනි බෝතලයෙන් ගත් සීනි පිරවූ තේ හැන්ද මාවෙත දිගු කළාය.

සීනි ගැනීමට දිගු කළ මා අත්ලට කටින් කිහිපවරක් පිඹි ඇය අල්ල පුරවා සීනි හැන්දක් දැමු ඉක්මිති , ඒහා සමාන මිහිරි සිනාවක් මා වෙත පා , මගෙන් ඉවතට නික්මෙත්ම මෙතෙක් කොහේ දෝ සඟවන් සිටි සුසුමක් ඇගේ තනියට ඇගේ පසු පසින් යැවුවෙමි.

“ අම්මේ හ් හ් හ්  . . . . . . . . ! ! ! “

පසුපස අසුනින් නැඟුන වේදනාත්මක අදෝනාව දහයෙ පන්තියේ කොල්ලෙකුගේ මිහිරි මතක වලින් මා මුදාගැනීමට සමත් විය.

“ඉක්මන් කරමු කරුණෙ. ටිකක් පාගල යන්න බැරි ද ? “

මට දකුණු පසින් සිටි රියදුරු කරුණෙට මා එසේ පැවසුවේ වැස්ස ද නොතකමිනි. මේ මා රාජකාරි කරනා තැන රාජකාරි කැබ්රථයයි. විශ්ව විද්‍යාල අවසන් වසරේ සිසුවෙකු වූ මා අහම්ඹෙන් ලද මේ රැකියාවේ ද නිරත වන්නේ , අප්පච්චීට සහ අම්මාට ඉන් ලැබෙන සහනයටත් වඩා මේ පළාතේ  රාජකාරි කිරිමට දැක්වු කැමැත්ත නිසාමය. මගේ ළමා වියත් , යොවින් වියෙන් අඩකුත් ගතවූ මේ පළාතට මා සිතින් බැදී සිටියෙමි. තරුණ වයසේ පසු වීමත් , පවරන ඕනෑම රාජකාරියක් නෑ බෑ නොකියා ඉටු කිරීමත් නිසා මම ප්‍රධානියාගේ අවධානය නිරන්තරයෙන් ලක්විය. මෙය ද එවැනිම හදිසි රාජකාරි ගමනක් වුව ද, ඒ ගමන අතරතුර මුණ ගැසුන මැය , සියල්ල වෙනස් කිරීමට සමත් වූවා ය.

නගරයෙන් සෑහෙන දුර පළාතක , පටු අතුරු පාරක් ඔස්සේ ,මද වර්ෂාව අතරින් සෙමින් ධාවනය වූ කැබ් රථයට අපැහැදිලි  වැසි යටින් දැකිය හැකි වූයේ කුඩයක් ඉසලා ගත් ගැහැණුන් දෙදෙනකු දැඩි අපහසුවෙන් මුත් කැබ් රථයට අත පොවනා සැටියි.

රථයට ඉදිරියට යත්ම ,එක් ගැහැණියක අනෙකා වත්තන් කරගෙන සිටින අයුරක් පෙනුන අතර. ඔවුන් සිටියේ අප යන දිසාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යන්නට බැව් පැහැදිලි විය.

ඔවුන් ළං වත්ම කරුණේ මගේ මුහුණ දෙස බැලුවේ, වාහනය නොනවත්වා යන්නේ කෙසේ දැයි අසන්නට මෙනි.

“ පොඩ්ඩක් ස්ලෝව් කරල බලමු කරුණෙ ! ! ! ! “

කරුණේ ගේ වත පුරා පැතිරුණ සිනාවෙන් මා හරි තීරණයක් ගත් බැව් අගැවිනි.

“ අනේ මහත්තයෝ , කෙල්ලට අමාරුයි. බුදු බව අත්වෙයි මහත්තයෝ , අපිව ඉස්පිරිතාලෙට ගිහින් දාන්න “

සිහින් පොද වැස්ස නිසා , මදක් පහත් කළ ජනෙල් වීදුරුව තුලින් වාහනය තුලට එඹුන ගැහැණිය පවසන්නට වූවා ය.

ඒ මුහුණේ වූ යම් හුරුපුරුදු බවක් නෙතින් ඇතුළු වී මතකය කරා ඇදී යන්නට විය. පාසල් වියේ නිතරම කරක් ගැසූ ගෙවල් අතර මැගේ නිවස ද විය. ඇය පිළියළකරල රස ආහාර කෙතරම් නම් අප කුසගිනි නිවා ඇද්ද.

මගේ තීක්ෂන ඇස් ඊළගට යොමු වූයේ අසනීපකාරිය වෙතයි.මව යැයි සිතිය හැකි තැනැත්තියට වත්තම් වී සිටි ඇයව නම් කිසිසේත් මට ඒ අවස්ථාවේ මතකයට නාව මුත් , ඇගේ මව් ගේ මතකය ඔස්සේ , මැය කවුදැයි හඳුනා ගත්තෙමි. ඈ වෙනකෙකු නොව. පාසල් අවධියේ මා සිතින් පෙම් කළ යුවතියයි. නව යොවුන් වියේ සිතට කුළුඳුලේ ආල හැඟුම් ගෙනා ඒ සුන්දර යුවතියයි.

කටු ඉපලක් වන් වු ,ඇය දැන් පසු පස අසුනේ සිට වේදනාවෙන් මිරිකෙයි. නමුත් මා වෙත සිනාසෙන්නට ඇය අමතක නොකරයි.

අප්පච්චී රජයේ සේවයේ නිරත වූවෙකි නිසා , ඔහුගේ ස්ථාන මාරුවත් සමඟම , ඒ පාසලත් , ඇගේ සුන්දර මතකයත් එහි දමා ඒමට මට සිදු වූව ද, ඇය ට මසිතේ උපන් හැඟීම එලෙසින්ම තබා ගැනීමට මම පරිස්සම් වූයෙමි. විශ්ව විද්‍යාලයේ දී කෙතරම් තරුණියන් මුණ ගැසුන ද , මා නිතැතින්ම ඔවුන්හා සැසඳීමට සම්මතය ලෙස යොදා ගත්තේ මැයවයි.නමුත් අද ඇයට සිදු වී ඇත්තේ කුමක් ද ?

රාජකාරි ගමන අතර මඟ නවතා ඇයව රෝහලට ගෙන ඒම කරුණේගේ සිතට වඩා මා සිතට ගෙන ආවේ සහනයකි. නමුත් සිදු වූයේ කිසිසේත් නොසිතූ දෙයකි.

දින තුනකට පසුව ඇය මිය ගිය අතර , එයට හේතුව වූයේ නීතිවිරෝධී  ගබ්සාවකි. එය ඇගේ ප්‍රථම ගබ්සාව නොවූව ද , අවසන් ගබ්සාවයි.

කරුණෙට හා මට පොලිසි ගානේ කට උත්තර දීමට රස්තියාදු වීමට ද සිදු වූ අතර , ආයතන ප්‍රධානියා , අප නිසා ආයතනය සිදු වූ අලාභය හෝ අපකීර්තිය ගැන කිසිදු වදනක් නොපැවසුවේ ඔහු හදවතින්ම කමියුනිස්කාරයෙකු නිසා බැව් කරුණේ නිතර ම පවසන්නට විය.
පොලිසියේ දී හමු වූ මගේ පැරණි පාසල් මිතුරකු පැවසූ පරිදි , ඇගේ අතීතය සහ වර්තමානය ගලපා ගන්නට මම සමත් වූයෙමි.

“ මොනා ද මචන් උඹ මේ කර ගන්නේ , ? අපිටත් උදවු කරන්න බැහැ නෙ බං “

“ මොනා වෙන්න ද? ඒකි අමාරුවෙන් ඉන්න වෙලාවෙ , මට අහක බලන් යන්න ද උම කියන්නේ “

“ උඹ ඒකි ගැන දන්නෙ නැහැ බං “


“ මං ඒකි දන්නෙ ස්කොලේ කාලෙ ඉදල “

“ හෙහ් හෙහ් . . . ඒත් උඹ ඒකිව ස්කොලෙන් පස්සෙ දන්නෙ නැහැනෙ බං , ඒකි තමයි මේ පළාතම රන් කරේ “

“ මොන ව ? “

“ ඔවු බං . . .  ඒකි ගණිකාවක් “

“ හ්ම් . . . .! ! ! ! “

“ උඹ ස්කෝලෙන් අයින් වුනාට පස්සෙ. ඒකි හිටියෙ හරි දුකින්. ඒත් පස්සෙ ඒක මඟ ඇරෙන්න ඇති. හැබැයි ඒකී ස්කොලෙ කිසි එකෙක් එක්ක යාළු වුනේ නැහැ “

හදිසියේ ගත් තීරණයක් අනුව රැකියාවෙන් ඉවත් වූ මම , ඒ පළාත ද මතක සියල්ල ද , ආණ්ඩුවෙන් වැළලු ඇගේ මිනීවල තුල බහා ආවෙ මි.


පලි:-

වාමුවාව -
windscreen
පිස්නය - wiperපසුබැලුම් කණ්නාඩිය - rear view mirror

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...