
බොහොම
ලස්සනට පිළිවෙලට පීරපු කොන්ඩයක් ඇයට කවදාවත් තිබුනද කියල ඔහුට මතක නැහැ.
ඔසරිය අදින දවසට නම් බැද ගෙන එන කොණ්ඩ ගෙඩිය නිසා එදාට ඇය හරිම නිවුන
තැනපත් ගතියක් ගත්ත බව නම් අමතක වෙලාත් නැහැ.නමුත් තමා ඇගේ අපිළිවෙල
කොණ්ඩයටත් ආදරය කරපු බව විතරක් ඔහුට හොඳටෝම මතකයි.තමන් ඇයට ආදරය කරන්න පටන්
ගත්ත දවසෙ තිබ්බට වඩා පිළිවලක් ලස්සනක් ඇය ඔහුගේ ආදරය පිළිගත්ත දවසෙ ඇගෙන්
ඔහු වින්දා.
කිසිම අරමුණක් නැතිව ඇරඹි ආදරයට අරමුණක් හොයන්න ඇයට අද
හිතුනෙ ඇයි කියලා ඔහුට වගේම ඇයටත් හිතා ගන්න බැහැ. නමුත් ඇය ගැහැණියක් ,
තමාට වඩා අරමුණ කියන දේ ඇගේ ජීවිතෙට වුවමනා බව ඔහුට පිළිගන්නම වුනා.
මුහුදු
සුළඟට ඔහේ පාවුන, ඇගේ කෙස් වැටියෙන් මිදුන කෙස් ගස් කිහිපය ඇගේ දකුණතින්
ඇඟිලි වලට අහුවෙලා කණ පිටිපස්සට කරනවා ඔහු බලන් හිටියත් , “ අනේ එපා “ කියල
කියන්න ඔහුගේ මුවට ආපු වචන ඔහු ගිල ගත්තා.තමන්ගේ ගෑවි නොගෑවි ඉන්න , ඇයව
තමන්ගේ තුරුලට කර ගන්න හිතුනු සිතුවිලි ත් මැඩගෙනම ඔහු ඇගේ දිගු දෑස් යොමු
වෙච්චි ඉසව්ව දිහා බැලුවා.
අරමුණක් නැති ඒ දෑස තව දුරටත් එහෙම ඉන්න අකැමැති බව දැන ගත්ත වෙලේ ඉදල ඔහු සිටියෙ කනස්සල්ලෙන්.
“ ඉතින් කතා කරන්න “ අවසානයේ නිහඬ බව බින්දෙත් ඇය මයි.
“හ්ම් “
“හ්ම් හ්ම් . . .කියන සීමාව දැන් ඉවර වෙලා , දැන් මට තීරණයක් ගන්න වෙනවා “
“ මම දන්නවා , එපා කියන්නවත් ,නතර කරන්නවත් මට බැහැ“
“ ඕක ඉතින් හැමදාම කියනවනේ “
“ වෙන මොනව කියන්න ද ? ඔයා දන්නවා නෙ මං කවුද කියලා , මම ඔයාට කිසිදෙයක් හැංගුවෙ නැහැ “
හිටිවනම
ඇය ඔහුගෙ දිහා බලපු විදිහ කවදාවත් ඔහුට අමතක වෙන එකක් නැහැ. වෙන කවරදාකවත්
දැකල නැති විදිහෙ දිස්නයක් තිබුන ඇස් කඳුළු වලින් පිරිල තිබ්බා, කඳුළු
පිරුන ඒ ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරෙලි යන්න නොදී ,ඒ තරම් කඳුළු ගොඩක් ඇස් වල
නවත්ත ගත්තෙ කොහොම ද කියලා ඔහුට අදටත් පුදුම ඇති.
වෙන ද වගේ ඇගේ හිස ඔහුගෙ උරහිසට බර වුනේ නැහැ , කම්මුල් දිගේ කඳුළු ගලා ගියෙත් නැහැ.
“ ඔයාට පවුලක් ඉන්නවා , දරුවො ඉන්නවා , ඒත් මට , අඩු ගානේ මට මාවත් නැහැ “
ඇය
බොහොම හැඬුම්බරව නමුත් ඉතාම පැහැදිලිව කියනව ඔහුට ඇසුනේ හීනෙන් වගේ, ඔහුගේ
ඇස් ඉදිරියේ සිටින ඇය බාදාන තුරුල් කරන් “ අනේ අඩන්න එපා කෙල්ලෙ “ කියල
කියන්න ඔහු බය වුනා. ඇගේ වචන තම හදවතට උල් පිහියකින් ඇනල කීතු කීතු කරනව
වගේ ඔහුට දැනුනා.
“ ඔයා හරි , ඇත්තටම මම මුහුද වගේ , කවුරුත් ආදරය
කරත් , අයිතිකාරයෙක් නැති කෙනෙක් . මම ආයෙත් ඔයා හමුවෙන්න එන්නෙ නැහැ.
ඔයාත් උත්සාහ කරන එකක් නැහැ කියල හිතනවා මාව මුණ ගැහෙන්න “
ඇය හදිසියේම වගේ ඉදවුන් තැනින් නැගිට්ටා,
හුස්මක්
පවා නොගෙන ඇය දිහාම බලා හිටපු ඔහුගේ දකුණත , ඇගේ දකුණතින් අල්ලා ගත්ත ඇය ,
ඔහුගේ රළු මහත ඇඟිලි අතරේ ඇගේ සිහින් දිගු ඇඟිලි රදවාගෙන හිටියෙ එක
මොහොතයි , වමතේ තිබ්බ යමක් සැනින් ඔහුගේ දිගැරුන දකුණතේ ඇඟිලි අතරින් තබා
මිට මෙලවු ඇයගේ නෙත් වල බර වුන කඳුළක් නෙතින් බිමට බහිද්දිම ඇය ක්ෂණයෙන්
හැරී යන්නට වුනේ මිනීමරුවෙක් ගෙන් ගැලවී පලා යනවා වගේ .
ඇය යන දිහා ,
ඇය නොපෙනී යනකම් බලා සිටිය ඔහු ට පියිවි සිහියට එන්නට තවත් සෑහෙන වෙලාවක්
යන්න ඇති. අඳුරත් අරන් තම සුපුරුදු නිවහනට යන්නට අකැමැත්තෙන් වුනත් නැගිට්ට
ඔහු තවමත් මිටි වී ගුලී වි තියන දකුණු අතැගිලි දිගෑරල බැලුවා.
තමන්
මේ තාක් කාලයකට ඇයට රැගෙන දුන් එකමෙක සමරුවත් නැවතත් ඔහු අතට පත්වෙලා
ඔහුගේ අතේ ගුලි වී තිබ්බා. පුංචි හීන් රත්තරන් දම්වැලක් , එහි තිබ්බ පුංචි
මුතු කැටයත් දිහා ටිකක් වෙලා බලාන හිටිය ඔහු , හැකි වෙර දාලා ඒ දම්වැල ඊළඟ
සුනංගුවේ විසිකලේ මුහුද දිහාට.
මේ සියල්ල දිහා බලාන හිටපු මම අඳුරත්
එක්කම ආපසු එන්න ආවත් , මම ඒ මුහුද බලන්න යන සමහර හැන්දෑවල් වලට , ඔහු
මුහුදු රැළි අතරේ මුහුදු වෙරලේ නැති වුන යමක් හොයනවා මගේ ඇස් වලට තාමත්
පේනවා.
මුහුදු වෙරළ බලන්න එන ,
රැළි අතරේ ,
සැඟවුන කතාවක් ලීව
මම
෴ සොසී ෴