..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, October 30, 2011

෴ අතීතාවලෝකනය / Flash Back ෴


2009 සැප්තැම්බර් මාසෙ දවසක් , හරියටම කියනව නම් 18 වෙනිදා පළමු ගුරුවරයා   කියන ලිපිය පේළී එකොළහ ලියද්දි , පළවෙද්දි බ්ලොග් ලෝකයට මම සහමුලින්ම අමුත්තියත්. ඒ ලිපියට කමෙන්ටුවක් වැටෙන්නෙ ඊටත් මාස හතරකට පස්සේ. ඒ සිතූ ගෙන්.


ඒත් පළවෙනි කමෙන්ටුව වැටුනේ ප්‍රාර්තන ප්‍රනාන්දු ගෙන් , ඒ
10/2/09.

මේ කිසිම දෙයක් කියවන ඔයාලට වැදගත් නැතිව ඇති. ඒත් මේ ලියන මට , මගේ බ්ලොගයෙ තියෙන වැදගත්ම ලිපිය තමයි මේ ලියන්නේ.

බ්ලොග් පටන් ගන්න පාර කීව නුවන්
ඒ පාරට බ්ලොගය තල්ලු කර ගන්න උදවු කරපු
රොයිලි වගේම  වාසල  
බ්ලොගය පාරේ නැවතුනාම , අලුත් වැඩියා කරන්න උදවු කරපු සාකුන්තල
මාත් එක්කම වගේ  බ්ලොග් පාරට දාපු මාරයා , රවා
ටිකක් දුර යද්දි අපිට එකතු වුන හද ගී පොත ලියන තිස්ස අයියා
බ්ලොග් පාරෙදි හමුවුන සදාකාලික  ඉලන්දාරියා
කවි ලියන්න , කවි ලියන හැටි මෙහෙමයි කියල පෙන්නල දුන්න , අද අප අතර නැති විහඟ ගීතය
සිංහල බ්ලොග් අවකාශයම කළඹපු ටැබූ ( ලින්ක් එකක් වත් ඉතිරි නොකර ගිය හාදයා )

මේ සියළු දෙනාම , මට කවදාවත් අමතක නොවන චරිත උනා. මේ වැඩි හරියක් අද මාත් එක්ක කතා බහ නැති උනත්, එදා ලෙංගතුකම හිතේ තාමත් රැඳිල තියෙනවා.

අද මා වටේ ඉන්නෙ අලුත් යාළුවෝ අලුත් යෙහෙළියෝ . . . . රවී අයියා , රන් , වැප් , ප්‍රියා, අභීත , මරණෙ, බීටල්, පොඩ්ඩි, වෙනී, මධුරංග ( මේකා නම් බ්ලොග් වල පදිංචි වෙලා ) මෙකී නොකී නම් කියක් ද ?

ඒ වගේම එදත් අදත් එකසේ ඉන්න කතන්දර මිත්‍රයා. දුමී අයියා.

සතියට සැරයක් වත් “ අක්කෙ මේ අකුර හරි ද? “ අහන හිස් අහස . (සිංහල අහ ගන්න ,සිංහල හරියට නොදන්න මමම අහුවුන හැටි)
හැමදාම කියෙවුවත් තවමත් නාඳුනන W3 , gadyfly , ආකාස හීන. වගේ අය.

බ්ලොග් ලෝකයට පහන් ටැඹක් වගේ ඉන්න (ඒත් නිතර නිතර නොලියන එක නම් හොඳ නැහැ) චාමි සෑම් , මාලන් ,චමිල වගේ අය.

මා දුටු එඩිතර කාන්තාව වෙන සහ සොඳුරු හදවත් හිමි පෙරළිකාර අරුණි අක්කා වගේ අය.


හිම හංසි, පොඩ්ඩා, බනී , ගලයා වගේ තවමත් දඟකාර හිරිමල් වයසෙ ඉන්න අලුත්ම අලුත් පරම්පරාව වගේම මුල්ම බ්ලොග්කරුවෙකු වෙන සුපුන් සුදාරක.

මට ලියන අය , ඊමේල් කරන අය වගේම, මමත් නොදැනම ඇවිත් කියවල යන , ගල්මල් ලියන අපේ ඩීන් අයියා , ඒ වගේම තවමත් හරිහැටි නාදුනන ඉන්දික උපශාන්ත සැහැල්ලුව) වගේ කමෙන්ට් කරුවො. ඇයි දෙයියනේ ගීත් මලයා.

ම්ම්ම් .. තව මොනා ද අමතක වුනේ. . . .

ආහ් . . මෑතකදි හඳුනා ගත්ත ජීවිතය විදින්න ලියන අපේ බස්සා.

තව ගොඩාක් අය ඉන්නවා. මම මෙතන නොලීව. කොටින්ම මතක් කරපු අයට වඩා මතක් නොකරපු අය වැඩී.

එතකොට , ඉඳල හිටල බ්ලොග් ලිපියක් පළ කරන ඩෝසන් ප්‍රීති අයියගෙ ටැක්සිය  , මගේ කතාව ලියන ඉන්ද්‍රනාත තේනුවර වගේ අය


අර කතන්දර කීවත් වගේ බ්ලොග් අවකාශයත් සාමාන්‍ය සමාජයේම පැතිකඩක් තමයි කියල මේ වෙලාවෙ හිතෙනවා.

ඉතින් , දැන් 500යි , 500ක් නෙමෙයි දාස් ගාණක් ලීවත් වැඩක් නැහැ කිසිම පණිවිඩයක් දෙන්න බැරි නම් , කිසිම වැඩකට නැති මනෝ විකාර නම් , මම ලියල තියෙන බහුතරය ඒ වගේ මනෝ විකාර කියල පිළිගන්න මට පුළුවන්.


ඉදිරියටවත්  හරවත් යමක් ලියන්න මම උත්සාහ කරනවා.


500ක දුර ගමනක් යන්න මාත් එක්ක ආපු නොආපු සියළු දෙනාටම මගේ ස්තූතිය පිරිනමනවා. කවුරු හරි අමතක වුනා සමාවෙන්න කියල ඉල්ලන ගමන් , හිත නෝක්කඩු නොකර ගන්නා ලෙසත් ඉල්ලනවා.




නම් කිව් නොකිවු සැම ටම ආදර තුතිය
පිරි නමනවා මෙලෙසින් හද බැතිබරව
පෙර දින එදා සිටි ලෙස මට ලෙංගතුව
ඉදිරියටත් නුඹෙ සිත ඇත ඒ ලෙසම


ඇවිදින් කියෙවු නොකියූ කාටත් තොසිනි
තුති පිරි නමමි දෙන්නට  මල් මිට බරැති
දිරි දී නිබඳ ගමනට දුන් ආවැඩිලි
අමතක නැතේ මා සිත තුල නිති තිබිනි


ලියු දේ නොලිවු  දේ සිත තුල තබා ගෙන
ලෙංගතුකමින් හිත පුරවා බෙදා ගෙන
මල් උයනෙත් ඇතේ කටු ගස් සැදී බිම
ඒ දැන අපිත් ගමනක් යමු එකා මෙන


ස්තූතියි
මම
෴ සොඳුරු සිත හෙවත් වත්  ෴

පලි- මේ හැරුණම නිතරම ලිපි සඳහා උදවු කරන , සුදේශ් අයියා වත්, නිතරම ලිවීමට මා දිරිගන්න සියළු දෙනාවත් නම් කියනවාට අකැමැති සියළු දෙනාටත් ස්තූති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

Saturday, October 29, 2011

෴ කැඳැල්ල ෴




ලස්සන කුරුළු ජෝඩුව ඇයි උරණ වෙලා
මූණක් නොබල ඇයි මේ දෙපසකට වෙලා
පැටියෙක් බලන්නට මැණිකෙට ඕනි වෙලා
බිත්තරයක් ගෙනත් දෙන්නලු කූඩු වෙලා

පින්තූරයක් මේ ලෙස පදයකට අනා
ලියු මම
෴ සොඳුරු සිත ෴




පින්තූර වචන කරන්න කැමැති ද? එවන්න නුඹේ පින්තූරයත් පහත ඊමේලයට. . . . නමත් සමඟ පළ කරනවට කැමැති නම් ඒ බවත් දන්වා එවන්න.
sondurusitha@gmail.com

Friday, October 28, 2011

කළු සපත්තු


 
“ පුතාට හොඳටම උණ සුමනේ , විනාකිරි වලට අහන්නෙ නැහැ , දැන් කීපපාරක්ම  දෙඩෙවුවත් එක්ක , අනේ සුමනෙ “

හතර කොනෙන් දාඩිය මුගුරු හෙලා ගෙන , නිවසට පා තැබු සැනින් දෙසවන වැකුණු බිරිඳගේ හඩ ඔහුට ගෙන ආවේ තරහක් මුසු කලකිරීමකි. නමුදු ඒ හැඟීම පහ වෙන්නට එතරම් වෙලාවක් නොගියේ , පුතු වැතිරී සිටන අසරණ ඉරියවුව දකින තෙක් පමණි.

පුතු ළඟට ගොස් විනාකිරි පෙඟවු පාංකඩයට උඩින් නලලතට තම දකුණත තිබූ ඔහුගේ සිත ගිනි ගැනුනි. ඔහුගේ අත ගැටුන වියළි ගිය විනාකිරි පාංකඩය රූටා ගොස් බිම වැටුණි.

“ ලේස්ති වෙන්න , මං හන්දියට ගොහින් මංජුගේ ත්‍රීවීල් එක අරන් එන්නම් “

“ මේ ඔයා තේකක් වත් බීල යන්නෙ නැද්ද මෙයා “

බිරිඳගේ හඬට වඩා ඔහුගේ පය ඉක්මන් විය. එ සැනින් , මංජුගේ ත්‍රී විලය නිවස අසලම. මංජු යනු සුමනෙ ගේ වයසින් අඩක් වුව ද ඔහුගේ ඉතා හිතවත් මිතුරෙකි. මංජුට ත්‍රීවිලය ගැනීමට අවශය ඇපකරුවෙකු නොමැතිව අසරණව වුන් වේලාවේ සුමනේ සහයට පැමිණියේ බිරිඳගේ ද අවවාද බස් නොඅසාය. ඒ ගුණය සිහි ඇති මංජු , කිසිවිටකත් සුමනෙ යන හයර් එකකින් මුදල් අය කරේ නැතත් , සුමනේ බලෙන්ම වාගේ මංජුගේ කමිස සාකුවට යම් මුදලක් එඹිමට පුරුදුව සිටියේය.


ඩිස්පෙන්සරියේ දෝස්තර මහතා පැවසූ පරිදි වහාම පුතුව රෝහල් ගත කළ යුතු විය. උණ සන්නිපාතය වඩාත් දරුණු අතට හැරී තිබු අතර බෙහෙත් ගෙන ඒමට ප්‍රමාද වීම ගැන දෝස්තරමහතාගේ දැඩි අවවා ද සුමනේ අසා සිටියේ බිම ට යොමා ගත් දෙනෙතිනි.

පුතුත් බිරිඳත් රෝහලේ නතර කෙරූ සුමනේ , මංජුගේ ත්‍රීවිලයේම නැඟී නිවස බලා ආවේ , පුතුගේ සහ බිරිඳගේ අඩුපාඩු රෝහලට ගෙනත් දිය යුතු බවට ද සිහි තබා ගනිමිනි. බිරිඳ රෝහලට ඇදන් ගිය ඇඳුම ඔහු ඇයට අවසන් වතාවට ගෙනවිත් දුන් ඇය සතු හොඳම ඇඳුම බව ඔහුට සිහි වේ.එය ද නූල් ඇදී තැනින් තැන පළුදු වී ඇති බව තමා නුදුටුවා සේ සිටියේ ඇයි දැයි විමසා බැලූ ඔහු හෙළූවේ දීර්ඝ සුසුමකි.

“ මංජු , මචන් ආයේ ඉස්පිරිතාලෙට යන්න ඕනි උඹට පුලුවන් ද ? මං එනකම් “

“ අයියෝ සුමනෙ අයියේ ඕක මොකක් ද , මේ වෙලාවට නැති රෝද තුනෙක් ඇති වැඩක් නැහැ අයියා “

අතට අසු වූ ඇදුම් කෑලි කිහිපයක් සහ කොට්ටයක් , උණු වතුර බෝතලයක් ගත් ඔහු මංජුගේ ත්‍රී විලයට ගොඩ වූයේ තම කාර්යාල බෑගයද ප්‍රවේශමට තමා ළඟටම ගන්නා ගමන්ය.
 
---- - ---- -- --- --- -- ----- - ---- - - ----- -- -- -- -----


“ වාඩි වෙන්න සුමනසේකර , මම මහත්තයට එන්න කියන්නම් “

ටයිල් ඇල්ලූ බිම දෙස සුමනේ නෙත් හෙළුවේ තම කිලිටි දෙපා වල දුහුවිල්ල වැදී ඒවා කිලිටි වී ඇද්දැයි බැලීමට මෙනි. දකුණතේ එල්ලී තිබුන කිරි මුට්ටි කිහිපයත් , පැණි බෝතල් දෙකත් වමතට මාරු කරන ගමන් නිවස සිසාරා හෙළු බැල්ම නැවතුනේ තමාගේම පුතුගේම වයසේ දරුවකු සෙල්ලම් කරන පරිගණකය වෙතයි. දරුවාගේ සිත තදින්ම පරිගණක සෙල්ලම වෙත යොමු වී තිබූ බැවින් නිවසට පැමිණි අමුත්තා ගැන වගේ වගක් දරුවාට නොවිනි.

“ ආහ් සුමනෙ , මොක ද මේ අතින් කටින් උස්සන් වාඩි වෙන්න වාඩි වෙන්න “

ලැබුන අනුමැතියට යටත්ව ඔහු ගෙනා කිරි පැණි සහ අනිකුත් අඩුවැඩිය ටයිල් පොළවේ සුව විදින්නට විය.

“ මං මේ ආවේ , මගේ පුතාගේ ස්කෝලෙ වැඩේ “

“ ආහ් . . . වෙරි සොරි සුමනේ , ඇයි තමුසෙ මෙච්චර ප්‍රමාද උනේ... එක වේකන්සියය් නෙව තිබ්බෙ , සුමනෙ ප්‍රමාද නිසා මම හිතුව සුමනෙ වෙන ස්කෝලයක් හොයන් කියලා. ඉතින් පුරප්පාඩු තියෙන එකත් අමාත්‍යාංශයෙන් හරියට වද දෙන ප්‍රශ්ණයක් නිසා මම ඒකට මිස්ටර් පෙරේරාගේ පුතාව ගත්තා “

“ ඒත් මම . . .  “

“ කමක් නැහැ සුමනෙ , අපි ලබන අවුරුද්දෙ වත් බලමු . මට පොඩි වැඩකුත් තියෙනවා සුමනෙ , එහෙනම් තේකක් හෙම බීලම යන්න කෝ “

“ මැණිකේ , සුමනෙට තේකක් ලෑස්ති කරන්න “ යැයි පැවසූ ඔහු , නිවස තුලට වැදී නොපෙනී යන තෙක් බලන් වුන් සුමනේ ගේ දෑස් නැවතත් නැවතුනේ කුඩා දරුවා සෙල්ලම් කරන ක්‍රීඩාව දෙසටයි. ඔහු දරුවා ළඟට ගොස් දරුවාගේ හිස අත ගෑවේ දුක සහ සෙනෙහස මුසු වූ හැඟීමකිනි.

“ අයියෝ අන්කල් මොකක් ද කළේ , ඔයා ගේම කෑවනේ , පෙරේරා අංකල් ගෙ පුතාටත් නැහැ කීවා මේ වගේ ගේම් එකක් , “

“ කොහෙන් ද පුතේ මේ කම්පියුටරය “

“ පෙරේරා අංකල් තෑගි දුන්නා මට “

“ හැබෑ ද ? “

පරිගණකයක් රැගෙන දීමට , තමා ණය වී ගත් මුදල් සියල්ල වැය වූයේ පුතුගේ අසනීපයට අවශ්‍ය බෙහෙත් මිල දී ගැනීමට ය. පුතු අසනීප වූයේ නැති නම් , අද මෙතන ඇත්තේ තමා මිලට ගෙන දුන් පරිගණකය නොවේ ද ? එසේ නම් තම පුතු , මේ දැන් මෙතන මෙලොවක් නැතිව සෙල්ලම් කරනා දරුවාගේම පන්තියේ , ඒ දරුවාගේම ප්‍රසිද්ධ පාසලේ එක ළඟින් වාඩි වි ශිල්ප උගන්නේ තමන්ගේ පුතු නොවේ දැයි සිහිවී සුමනේටත් නොදැනිම සුසුමක් පිටවිය.

එහා මෙහා ගිය තම සිතත් කැන්දන් නිවසින් පිට පැන් ඔහුගේ මතකයට නැඟුනේ , පුතු උණ විකාරයෙන් දෙඩ වූ සුරතල් වදන්ය .

“ අප්පච්චි , රහල් එක්කල මම ඒ ස්කොලෙට ගියාම කළු සපත්තු දාන්න ඕනි. අප්පච්චිට සල්ලි හම්බෙනකම් මං සුදු සපත්තු කළු කරල දාන්නම් “

---- - ---- -- --- --- -- ----- - ---- - - ----- -- -- -- -----




පන්තියෙ ළමයි නැති දුෂ්කර පාසල් ගුරුතුමී
මම
෴ සොඳුරු සිත ෴

Thursday, October 27, 2011

෴ සරා සඳ පැන ගොසින් අහසින් ෴



සරා සඳ , ඇත වසා ගෙන ලැම

දුහුල් තිර සළු වළා පෙළ ගෙන
බිමින් ඉඳ ඔබ දෙනෙත් නොගෙනම
බලයි සඳ දෙස වළා පෙළ දෙස

සරා සඳ නුඹෙ යහන වෙත ගෙන
උනා සළු පිළි රස සොයනු මැන
සඳේ හිස් තැන මොහොතකට ගෙන
අරා අහසම වැජබෙමිය මම

සඳේ තනියට පුංචි තරුවක්
සිටී බව අමතක වෙලා අද
සරා සඳ පැන ගොසින් අහසින්
නුරා රස සොය සොයා රහසින්

සරාසඳ  රස උරා ගත් සද
එපා යයැ විසි කරයි අහසට
සඳේ නුඹෙ ඒ දවස එන තෙක්
අරා අහසෙම සිටිමි මං
එපා වුන කළ නුඹට මගෙ සඳ

මගේ අහසට විසි කරන්



සඳ අහසට එනකම් , බලන් ඉන්න ,තනි තරුව
මම
෴ සොසී ෴

Monday, October 24, 2011

෴ කවි පොතක මතකය ෴


නිදන්න ගත්ත වෙලාවේ ඉඳල , සිහින දකින එක සොසී ගේ උප්පත්ති උරුමයක්. ඇහැපිය වෙන වෙලාවේ ඉදලම , හිමිදිරියේ ඇස් අරින කොටත් හීනවල බාගයක් ඇස් පියන් වල තැවරිලා තියෙනවා. ඒ නමුත් බිමට පය ගහපු වෙලාවේ ඉදල ඒ දැකපු කිසිම කිසි හීනයක් මේ සොසී ට මතක නැහැ. සොසීට නම් ඒකේ කිසි ගැටළුවක් නැත්තේ , අනිත් දවසෙ රාත්‍රියෙත් පෙරදා වාගේම හීන ගොන්නක් සොසීගේ ලෝකය අරක් ගන්න නිසා වෙන්න ඇති.

ඒත් මහ පුදුමාකාර විදිහට , ඊයේ රාත්තිරියේ දැකපු හීනයක් සොසීට හොඳට මතකයි. හීනෙ පැහැදිලව පේළියට මතක නැතත් , කවුදෝ මෙහෙම කියනව සොසීට මතකයි.

“ සොසී , සොසී , බ්ලොග් නැති වෙන්නයි යන්නේ , සොසී ලියපු කවි , කතා , මනෝ විකාර ඔක්කම සොසීට නැති වෙයි “

කවුරු නමුත් කියපු කතාව ඇත්ත. සොසී ලියපුව ඔක්කම තියෙන්නේ , කිසිම සංවේදනයක් නැති වර්චුවල් අවකාශයේ.ඔන්න එහෙම හිතුවම තමයි , සොසීට සොසීගේ පරණ කවි පොත මතක් වුනේ.
මේ තියෙන්නේ ඒ පොත තමයි


තකහනියක්ම පොත් ගොඩ අවුස්සල , දුවිලි බැඳිල තිබ්බ කවි පොත පිහදාල , ආයෙත් පොතේ ලියන්නයි මේ ලෑස්තිය.


සිතට දැනෙන සොම්නස දුක
තුල පන්හිඳ කවා
කිසිවකුටත් නොදැනෙන ලෙස
සිතුවිල්ලක බහා
පිටුම පිරුණ පුංචි පොතක
තරු ලකුණක් දමා
මා ලියු කවි කියවන්නට
නුඹ ඇයි දෝ පමා



වෙලාවට තව පිටු ගොඩක් ඉතිරි. ඒත් කවදහරි මේ පොත ඉවර වෙනකම් කවි ලියන්න මට අවස්ථාවක් නොලැබේවා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.

හේතුව මෙන්න මේකයි.

අන්තිම පිටුවේ කවියක්
ලියවෙන්නට පෙර
නුඹ ආවොත් හොඳයි අදම
පොත නැති වෙයි හෙට

අන්තිම පිටුවේ කවි නොලියන
මම
෴ සොඳුරු සිත ෴




පලි- ඔය සොසීය කියල , සොසී හිතාන ඉන්න විදිහෙ ( සොසී දන්නව , සොසී ඒ තරම් ලස්සන නැහැ කියල ) ලස්සන පින්තූරයක් තියෙනව නේද, ඒක ඇන්දෙ නම් සොසී නෙමෙයි, ඒ පින්තූරයේ අයිතිය යන්නේ , තවත් සිංහල බ්ලොගර් කෙනෙක් වනේ අපේ JD මලයට තමයි ඕං. . . .

Sunday, October 23, 2011

෴ රුවල් ඔරුව ෴

අතීත දවසක මතක එකතු කර
හදා එයින් ඔරුවක්
රුවල් ලෙසට ගැට ගසා මගේ සිත
පිඹමි සුසුම් ලතැවුල්
එන්න එපා ආයෙත් මේ ඉවුරට
දෙවියන් හට මතුරා
යැවූ රුවල් ඔරු ගොඩට ගසා ඇත
කුමක් කරමිදෝ මා
රුවල් ඔරුවල ත් කප්පිත්තන් ඉන්න ව ද?

කප්පිත්තෙක් සොයන
මම
෴ සොඳුරු සිත ෴

Saturday, October 22, 2011

෴ අන්තිම කැමැත්ත ෴

දිනක හිරු නැඟ එන පැයේ හෝ
සඳ හිමින් බැස යන වෙලේ
එසෙත් නැතිනම් සඳ හොරාගත්
තරු පිපුන රෑ යාමයේ

නිදයි නම් මා නැවත ඇහැරින
බවක් නොපෙනන සේ තදින්
නොසොල්වා මා දෑත් එකපිට
තියන් සංසුන් ලෙස ඉතින්

තදින් පිය වුන නෙත් කොනේ
කඳුළු බිඳු තිබුනොත් මගේ
පිසන්නට නම් එපා මිතුරනි
දිලිසෙනා හදවත මගේ

දෑත් දෑගිලි පාද මාපට
ඇඟිලි එක්කර බැඳ දමන්
බටහිරට හිස හරවලා මගෙ
පහන් දැල්ලක් දල්වලා
නොනිමෙනා ලෙස වගබලා ගනු
ඔහු පැමිණෙනා තුරු ඉතින්

නිවුන විට , මා මුවේ රැදවුන
සිනහ දැක ගන්නේ කෙසේ
පන්සලේ පොඩි හාමුදුරුවන්
බොරු කියා නුඹ සනසවයි
අයෙක් තනිකඩ සිටියොතින්
අඩන්නට අය කොයි කියා
අසල්වැසියන් මුමුණා හඬ
විටින් විට මා හට ඇසෙයි

තදින් මිටි වෙන නුඹේ සුරතේ
මගේ මතකය ගුලි කරන්

කාටවත් නොපෙනෙනා විලසින්
මගේ තොල් අග තවරපන්

මතක වස්තර අරන් එනු මැන
මතකයන් එකිනෙක ඔතා
සීරුවට වියු මා එදා


උතුරනා කල පැන් වඩා
නාඩනා නුඹෙ කඳුළු බිඳුවක්
එක්කරන් අවසන් ලෙසින්
නුඹේ සිත තුල උපන් සෙනෙහස
දිය කරන් ඒ කඳුළ බිඳ තුල

දෙණ අරන් ගොස් මා පියා
වැලලු තැනින් මා වලලලා
දෙනෙත් පිස ගනු
සිනා තවරනු
දැන් ඉතින් නිම වූ කතාවක
සතුට නුඹ ගාවයි



මතක බණ කියන දවසට
නුඹ එනකම් බලන් ඉන්න
මම
෴ සොඳුරු සිත ෴

කියවලා මට දොස් කියන්න ඔට්ටු නැහැ ඕං ....

Friday, October 21, 2011

෴ කවිකාරි ෴




 
එදා

මා ලියු කවි කියවා එදා
සිනහා වෙලා නුඹ කීවා
මගේ සුන්දර කවිකාරී යේ
“මගෙ සිත නුඹටයි ආදරේ“

මෙදා

මා ලියන කවි කියවා
එහි පදෙන් පද ගලපා
වදන් අතරේ සැගව ගත්
රහස් සොයනට සිතුවා
කා ගැන ද මේ ? ඇසුවා
නොසිතු පැනයට නුඹේ
නිරුත්තර වී උන්නා


කවි ලියන එක නවතා
කවි පොත ද ගෙන සඟවා
සිටින විට නුඹ ළඟට වී මම
රහස් එළි වෙයි කියලා,
කවි ලියුම ඇත නවතා
නුඹ මගේ සිත රිදවා
සිනාහඬ නුඹ නැඟුවා
 
මගේ සිත ඉකි බින්ඳා
එදා නුඹ කෝ අද මගේ ළඟ
රෑ පුරා මම සෙවුවා

කලාකාරයන්ගේ ජීවිත බොහෝ දුරට අවුල් වෙලා. ඒකට හේතුව ඇත්තටම මොකක් ද ?

ඔන්න හොඳේ , මම නම් කලාකාරියක් නෙමෙයි.
සැඟ වූ කවි පොත
මම
෴ සොඳුරු සිත ෴

Thursday, October 20, 2011

෴ විත්තිය - ආදරයයි ෴

දිනය බදාදා බැවින් ඉතාම කාර්ය බහුල දිනයකි. රජයේ කාර්යාල වල මහජන හමුව ඇත්තේ බදාදා දිනට වීම එයට හේතුවයි. ඇගේ හැපෙන සෙනඟ , ගෝසාව , ප්‍රිය මනාප නොවූව ද, මගේ රැකියාව ශිත කාමරයකට කොටු නොවීම ඇතැම් විට ගෙන එන්නේ සතුටකි.

මගේ රාජකාරියට මහජනයා සෘජුව සම්බන්ධ නොවූ බැවින් , මාද බදාදා දිනට අන් අයට සහය වීම පුරුද්දක් ලෙස ඉටු කරමි.

ඇතැම් ගැමියන්ට , අදාල අංශය සොයා ගැනීමට නොහැකිව ලතවේ. තවත් ඇතැමෙක් වෙනකකු ගෙන් ඒ ගැන ඇසීමට හෝ වෙනකෙකු පවසන දෙයක් පිළිගැනීමට නොකැමැත්ත හඟවයි. පුංචි දරුවන් පමණක් නොව කිරි බොන අත දරුවන් ද වඩා ගත් ගැහැණුන් එහා මෙහා යන්නේ දරුවන් හඬවමින් හෝ නලවමින්ය. දහසකුත් එකක් ප්‍රශ්ණ මැද සිටින මේ මිනිසුන් දකින විට මා කෙතරම් නම් වාසනාවන්තියක් දැයි සිතුනු වාර අපමණය.

මෙයිනුත් බොහෝමයක් ගැමියන් , උගත් නැතත් බුද්ධිමත් බවක් උසුලයි. ඒ බුද්ධිමත් බව රාජකාරියට පහසු වනවාක් මෙන්ම ඇතැම් විට ගෙන එන්නේ කරදරයකි.

“එහෙන නෙමෙයි නෙ , පත්තරේ දාලා තිබ්බේ මේ ටික විතරක් ඇතිය කියලැයි. දැන් මක්කෙයි මේ කියන කතා “

“ පත්තරේ දැම්මට , තවම අපිට චක්‍රෙල්ඛයක් වත්, දැනුම් දීමක් වත් කරල නැහැ නේ “

“ කරල නැහැ. එහෙනම් අහවල් එහෙකට ද අපිව රස්තියාදු කරන්නේ , ඔන්න තියාගන්නව ඔහෙලගෙ  . . . . “

ඇතැම් ගැමියන් සිටිනා තත්ත්වය දකින විට අප තවමත් සිටින්නේ වනන්තරේ නේදැයි හැඟේ. ඉඩම් අංශයේ මහා ඝෝසාවකි. කාර්ය මණ්ඩලයේ කිසි කෙනෙක්ට ඒ ගැන සෙවීමට හෝ වද වීමට වේලාවක් නැත.මෙවැනි ඝෝසා බදාදා දිනට සාමාණ්‍යකරණය වීම එයට හේතුව වන්නට ඇත.

මහ සෙනඟ මැද්දේ ,සිටින මැදිවිය පසු කර සැදෑසමයේ දොරක ඩ සිටින මවක් සහ ඇගේ දියණිය යැයි සිතිය හැකි සුරූපි යෞවනියක් මගේ දෙනෙතට හසු වූයේ අහම්බයෙනි.තරුණියගේ වතේ වූ සොඳුරු බවේ ප්‍රතිබිම්බයන් බොහෝමයක් මවගේ වතේ දැනට ද ශේෂවී ඇති බැවින්, ඔවුන් දෙදෙනා මව සහ දියණිය බවට තහවුරුව ලැබුණි.

“ මොක ද අම්මා , කාව හම්බෙන්න ද ? “

“විශ්‍රාම වැටුප හදා ගන්න කියලා “

මව ගේ දැස් අතරමං වෙද්දී දියණිය වහා කීවාය.

“ එන්න යන්න , මේ පැත්තේ “

ඇය නිසි තැනට යොමු කළ මා මගේ ආසනයේ අසුන් ගත්ත ද, ඇගේ වතින් මා නෙත් ඉවත් කිරීම ඉතා අපහුසු වුයේ මන්දැයි නොදනිමි. අදාල විෂය බාර නෝනාමහත්තයාට ඇය ගෙනා ලියකියවිලි සියල්ල පෙන්වූ අතර , එයින් කිසිම පලක් නැති බව , ඇය පේන මානයේ සිටි මට පැහැදිලි විය. මොහොතකින් ඇය හඬන්නටත් වූයෙන් , ඇගේ රැළි ගැසුන  කම්මුල් රූටමින් ගිය කඳුළු නවතා ගැනීමට ඇයට නොහැකි විය. කියවන්නනි වරදවා නොසිතන්න. මගේ නෙත යොමු වූයේ තරුණියට නොව , ඇගේ මවටයි.

වහා නැගිට ගත් මා ඔවුන් අසළට පිය මැන්නෙමි.

“ මේ දරුව විතරක් නෙමෙයි නෝන , මට තව මීට බාල කෙල්ලො දෙන්නෙක් ම ඉන්නවා. මෑ මේ සැරේ විස්ස විද්දාලෙට තේරුන නිසා , මට තව දුරටත් වියදම් කරන්න බැහැ .ඒක තමයි මේ ගමන ආවේ නෝන “

“ ඉතින් එහෙම කියල බැහැනේ . අදාල ලියකියවිලි නැතිව , අපිටත් මොනවත් කරන්න බැහැ “

“ මෙයැයි ලගේ තාත්තා කලින් ගැහැණු කෙනා අත ඇරල ඇවිත් මාත් එක්ක තමයි හිටියෙ නෝනා , දික්කසාද වෙන්න නඩු දාලා තිබ්බෙ“



“ ඉතින් දික්කසාද සහතිකය යි , ඔය ඇත්තිව කසාද බැදපු සහතිකේයි අරන් එන්න “

“ මාව කසාඳ බඳින්න වුනේ නැහැ නෝනේ , තවමත් මේ ළමයින්ගේ උප්පැන්න සහතිකේ තියෙන්නෙ අපි කසාද බැදල නැහැ කියලා “

“ ඒ මොක ද ඒ “

“ දික්කසාදය හම්බවෙන කොට , එයැයි පෙන්ශන් යන්න ඔන්න මෙන්න “

“ ඉතින් “

“ දික්කසාදය හම්බවෙලා , එයැයි මායි කසාද බදින්න ඉන්න කොට තමයි , එයා හදිසියේ ම පපුවෙ අමාරුවක් හැදිල මැරිල ගියේ “

“ දෙයියනේ. . . ඒ කියන්නේ, කාටවත්ම දැන් පැන්ෂන් එක වත් වැන්දඹු විශ්‍රාම වැටුපවත් හම්බවෙන්නෙ නැහැ.“

“ ඔවු නෝන , මුළු ගමම දන්නව,එයැයිතුයි මායි මේ දැරිවියො ටිකයි හිටියෙ කොහොම ද කියල, දැන් මේ ලොකු කෙල්ල කැම්පස් යවන්න හක්තියක් නාකි මට නැහැ නෝනෙ “

සියල්ල අසාගෙන සිටි සුන්දර තරුණියගේ දෑස් වලින් බේරුන කඳුළු කැට ඇගේ රෝස කම්මුල් දිගේ රූටන විට ඇය තම මවට වහන්වීමට උත්සාහ කළාය.

ඔවුන් මෙන්ම කාර්්‍ය මණ්ඩලය ද අන්ත අසරණ කරමින් , තවත් මොහොතක් තුල ඔවුන් සෙනඟ ගොඩේ සැඟවී නොපෙනී යනු පමණක් මට පෙනුනි.

මිනිසුන් විවාහ වේ . නමුදු විවාහය යන රාමුව තුල තමාගේ ලෝකය ඉදි නොවන විට , එයින් පිට පැන තමාට ගැලපෙන ලෝකයක් සොයා යාමේ වරදක් මා නොදකිමි. නොගැලපීම් මධ්‍යෙය් සිටිමින් විඳවමින්
සිටින ජීවිතයකට වඩා විඳින ජීවිතය සොයා යෑම වරදක් වන්නේ කෙසේ ද ? නමුදු අප සිටින මේ රාමුව තුල “දික්කසාදය “ තරම් අවනම්බු විඳින වදනක් තවත් නැති තරම්මය. එපමණක් නොව , දික්කසාදයක් නිතියෙන් දීමට ගත වන කාලය කෙතරම්ම ද යන්න සිතාගත නොහැකිය.

ඔහුගේ ආදර කැඳැල්ල ඉදි වූයේ , තවත් කැඳැල්ලක කිරිල්ලියක් තනි කරමින් විය හැකිය.  නමුදු පැටවුන් ඒවාට වගකීම යුතු ද?

ගැටගැසී වියවුල් වී ඇති ලෝකය තුල මා තවත් සිහින් පැන්සල් තුඩක් නොවෙදැයි මට සිතුණු නමුත් සිතේ දුක තුරන් කිරීමට මෙසේ ලියා තබමි.

වරද කාගේ  ද?

වරදකරු - ආදරයම නොවේ ද?

විත්ති කූඩුවට නැංවීමට , ආදරය සොයන
මම
෴ සොඳුරු සිත෴

෴ මාලය / The Necklace ෴ දෙවන කොටස

෴ මාලය / The Necklace ෴ පළමු කොටසට

බොහෝ දෙනා මේ කතාවේ ඊළඟ කොටස විමසල තිබ්බා. ඉතින් ඔයාලට මතක ඇති නේ , මම කීවා , කැමැති කෙනෙක් ඉන්නව නම් දෙවෙනි කොටසක් ලියන්න. මම ලියුව කතාව එතකින් ඉවරයි කියලා. හිතාගන්න බැරි විදිහෙ සංවේදි අවසානයක් එක්ක මේ කොටස අපේ නිදහස් සිතුවිලි ලියන රවි අයියගෙන් , බලන්න කියවලා.


ඊට කලින් පළමු කොටසට යන්න ඕනි නම් මෙන්න ලින්ක් එක.


" ඒයි මචං.....ඔන්න ඔය ඉස්සරහට එන කෙල්ල ගාව නතර කරහං...මතකනෙ උඹ ඇඩ්‍රස් එක අහපං ....මම ගානට වැඩේ දෙන්නම්...."

" හරි,.............."

අප සිතූ ලෙසම කාර්යය ඉටුවිය...මම ඇගේ ගෙල බැඳි මාලය එක් වරම ඇද කඩා ගතිමි. ඇගේ ගෙල මවිසින් මාලය කඩා ගත් විට තුවාල විනිද යන්න මගේ සිතට බොහෝ වේලා වද දුන්නේය.

" උඹට මාලෙ කඩා ගත්තු එක ගැන දුක නෑ...ඒකිගෙ බෙල්ල හීරිච්ච එකටයි දුක...අනෙ අම්මප මට තේරෙන්නෙ නෑ බං උඹෙ මනස්ගාත...."

මට ද ඒ තේරුම් ගත නොහැකිවූ බැවින් මම උත්තර බැඳීමට නොගියෙමි.

" එව්ව වැඩක් නෑ...යමං මේක දීල කීයක් හරි ගන්ට......"

" හපෝ, මේක මේ රත්තරං ගාපු ඉමිටේෂන් මාලයක්නෙ මල්ලි...මේකට ඔන්නම් රුපියල් පන්සීයක් දෙන්නම්,"

"ඒකිගෙ............"

" හෙහ්...හෙහ්..හෙහ්....."......
මට නිතැනින්ම සිනහ ගියේ මන්දැයි මම ද නොදන්නෙමි.

" මොකද දැන් මේකට කරන්නෙ?...."

" කෝ මට දීපං.........ඕක මම හවස ඕකි හොයාගෙන ගිහිල්ල ආපහු ඕක දෙන්නම්,"

" උඹට නම් පිස්සු.....නිකම් විකාර කරන්නෙ නැතුව හිටපං,"

දින කිහිපයකට පෙර අප මෙලෙසම පැහැරගත් මේ හාත්පසින්ම සමාන රත්තරන් මාලයක් මගේ මේස ලාච්චුවේ විය.

එදින සවස ඇගේ කාර්යාලයට රාජකාරි අවසන් වන හෝරාව ආසන්නයේ ගිය මම සුදු කඩදාසියක එතූ රත්තරන් මාලය ඇගේ කවුන්ටරය මත තබා ඇගේ දෑස් වෙත යොමු වූ මගේ දෑස ඉතා අසීරුවෙන් මුදවාගෙන ඉන් පිටවීමි.

මා එසේ කලේ ඇයිදැයි මගෙන් නාසන්න,

පිලිගත හැකි පිළිතුරක් නොමැති පැනයක් විමසීම ඔබගේ මෙන්ම මගේ ද කාලය එකසේ අපතේ යැවීමකි.

ලීවේ - නිදහස් සිතුවිලි වල සමහවුල් කරු රවි අයියා.

Wednesday, October 19, 2011

෴ පවුල ෴


සට ප්‍රිය ඝණ කළුවර වරින් වර සෝදා හරිමින්  මෝරා එන  සඳ කිරණ, වළාකුළක් හා මෙහා වෙන සීරුවෙන් විත් ගස් බෙනයට වැටෙයි. ප්‍රියංබිකාවගේ හීන් කෙඳිරියත් සමඟම ගස් බෙනයෙන් එළියට බට ඔහු , ඝණ කළුවර සිසාරා තම ලොකු දෑස් යැවුවේය. මේ හරි අපූරුතැනකයි ඔහුට නැවතත් සිතෙන්නට වුයේ හාත්පස සිසාරා නෙත් යොමද්දීය.

මේ ගස් බෙනය සොයා ගැනීමට තමා කෙතරම් දවසක් මිඩංගු කරද එය අපතේ ගොස් නැති බැව් සිහි වීමෙන් ඔහුගේ සිතට ආවේ සතුටකි.


ඔහුට ඇය මුණ ගැසුන දින සිට , මේ ගස් බෙනය මාළිගාවක සිරි ගත්තේ ය. තව ටික දිනකින් ගස් බෙනයේ ඉතිරි ඉඩකඩ ද පිරී යන බැව් සිහි වී ඔහුගේ සිත ඔඳවැඩුණි.
ඔහුටත් නොදැනීම “හුම් හ්ම් හ්ම් හ්ම් . . . . . . . . . .,“ හඬ පිටවූයේ සිතේ සතුට වැඩිවීම නිසාය.

“අම්මා අම්මා  . . .  කවුද හ්ම් හ්ම් කියනවා. මල්ලිව අරන් යන්න ආපු හොරෙක් ද දන්නෙ නැහැ “

“ නැහැ පුතා. ඒ හොරෙක් නෙමෙයි “

“ එහෙනම් කවුද අම්මා ? අපේ මැරුණ සීය ද? “

“ අනේ පුතේ කවුද ඔය විකාර කීවේ “

“ ලහිරු කීවේ. අපේ සීය රෑට රෑට ඇවිත් මේ වත්ත රකිනවලු “

හ්ම් හ්ම් හඬ නැවතු ඔහු , සුරතල් පොඩි පුතුගේ කතාවට සවන් යොමු කළේය.

“ අනේ පුතේ , විකාර කතා , සීය දැන් හොඳ තැනක ඉපදිලා ඇති. ඔය හ්ම් හම් කියන්නේ බස්සෙක් “

“ බස්සෙක් ? “

“ ඔවු . . . ගේ ලඟ මේ කාමරයට එහා පැත්තේ තියන ලොකු කොස් ගහේ බෙනයක ඉන්න බස්සෙක් “

“ ඉතින් අම්මා , මම එයැයිව කවදාකවත් දැකල නැහැයි නේ “

“ බස්සා එළියට බහින්නේ රෑට නෙ පුතේ. ඌ නිශාචර සතෙක් “

බස්සාගේ බකුසු මුහුණ එළිය කරමින් සිහින් සිනාවක් විසිරෙන්නට ඇත. නමුත් ඒ සුන්දර මොහොත තවත් විඳ ගැනීමට අසූරු වූයේ කොහේ දෝ සිට පැමිණි මහ වැස්සක් ඇද හැළුණ නියාස. තම ප්‍රියංබිකාව ළඟට තුරු වී සිටමීමට මේ කාලය ද නොවේ. ඇයට තව තවත් ශක්තිය අවශ්‍ය කාලයයි. ඝණ අඳුරේ වැස්සෙ තෙමෙමින්ම බස්සා නොපෙනී ගියේය.



-- -- -- -- -- -- -- -- -- -- 

එන්න එන්න වැස්ස මහා වර්ෂාවකට පරිවර්තනය වූ අයුරුත් , මඟ සොයා ගත නොහැකිව හෙවනට මුවා වී සිටීම නිසාත් බස්සා ගස් බෙනයට ලගා වුයේ හිමිදිරියේය. හෙමින් හෙමින් වැටෙන සූර්යා ලෝකය බස්සාගේ දෑස්ට වේදනාව ගෙන දුන්න ද, ඒ තරමට සිය දහස් ගුණයක් වැඩි වේදනාවකින් බස්සාගේ දෑස් අන්ධ වී යන්නට ඇත.

“ කාටවත් වරදක් කරළ නැති නිසා, මායි මයෙ දරුවො දෙන්නයි බේරුණා. නැත්තම් මං මේ කිරිපස්සයයි , මේ කොළුවයි අරන් කොහෙ දුවන්න ද ? “

“ අත්තක් වැටිල බේරුනා ඇති “

“ මං ඒ වෙලාවේ , පුංචි එකාට කිරි දි දී හිටයේ , ලොකු කොළුව බස්සෙක් ගැන අහ අහ හිටියෙ, මෙයැයි මටත් හොරෙන් වරුසාවේ කළුවරේ බස්සා බලන්න ගිහින් , කෑගහගෙන ආවේ නෑතැ. අම්මේ අම්මේ ගහ කඩන් වැටෙනවෝ කියල “

“බය බිරාන්තු වූ තරමට පොඩි එකත් උසසන් එළියට දිවුවා. එසැනින්ම වගේ තමයි කාමරයට කොස් අත්ත කඩාන වැටුනේ “
 

“ ගහ කපා දමන්න එපෑය නංගියේ,පොඩි වුන් දෙන්න ඉන්න එකේ , අඩු ගානේ අතු ටිකවත් පාහල දාන්න තිබ්බ නේද ? “



“ කොහෙ ද මම මෙයැයිට කොච්චර කීව ද අක්කේ , දැන් තමයි තදියම් වෙලා ඔය උදේම ගිහින් ගහ කපන්න මැෂින් එකක් හොයාන ආවේ “

කන්බිහිරි කරවන සද්දයක් සමඟම ප්‍රෙට්රල් ගඳ අවට වාතයේ පැතීරි යන්නට විය. එකවර ඇති වුන සිහින් දුමාරය අතරින් ලොකු දරුවා දුටුවේ බිරාන්තව ගොස් ගස වටේ පිස්සුවෙන් මෙන් ඔහේ සරන බස්සාවයි.

“ අම්මා අර . . . . . බස්සා , “

දරුවා මවගේ ගවුමෙන් අඳිමින් පැවසුව ද , ලොකු වුන්ගේ පවුල රැකීම ගැන කතා නොනැවතී ඉදිරියටම යමින් තිබුණි.

බස්සාට පිහිට වීමට නොහැකි වූ පොඩ්ඩා 
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, October 18, 2011

෴ චේ අයියා ෴

ශිෂ්‍යත්ව පන්තිය වැසීමට තවත් කාල වේලාව තියෙද්දී එහි පැමිණි අම්මා , මාව ද කුදලාගෙන ලහි ලහියේ පියමනින්නට විය. ඇගේ පයේ ලා තිබූ රබර් සෙරෙප්පු සඟලත් , නොපීරු ඇගේ ලස්සන කෙස්කළඹත් , ඇගේ ඇඳුනුත් කියා පෑවේ . ඇය පැමිණ ඇත්තේ ඉතාම හදිසියෙන් බවයි.

"අම්මා අපි කොයි යන්නේ ,?“

සුපුරුදු මාවත වෙනුවට ඇය වෙනත් මගක් තෝරා ගැනීමේ දී මට නොඅසා බැරි විය.

“ එනව ළමයො කට පියාන “

ඇගේ හඬේ වූයේ බියපත් බවකි. අප ගිය නිවස දුරින් නෑවෙන අයකුගේ නිවසකි.පුදුමයට මෙන් ඒ නිවසේ දැකිය හැකි වූයේ අපේ නිවසේ වූ  ගෘහ භාණ්ඩ යි. මේස පුටු සියල්ල අපිළිවෙලට ගොඩ ගසා තිබුනද , අනන්‍යයය තාවය අනුව ඒවා අපේමය.

“ඉක්මන් කොරා නම් නංගි, හය හත වෙන කොට මිනිස් පුළුටක් පාරේ නැහැ “

නිවසට ගෘහ භාණ්ඩ ප්‍රවාහනය කරා යැයි සැලකිය හැකි ලොරි බාගයේ පිටු පසට ගොඩ වූ මාත් අම්මාත් , යළිත් එයින් එළියට  බැස්සේ තාත්තා වැඩ කරන ස්ථානයෙනි.

“මයෙ පුතේ “

තාත්තා මා අසලට පැමිණ වෙන  කවරදාටත් වඩා ආදරයකින් මා බදා ගත් දී , මෙතන මොකක් හෝ මහා ලොකු කුමන්ත්‍රණයක් සිදු වන බැව් පහේ පන්තියේ මගේ මොළයට වැටහුනි.

එදා සිට වසරකට ආසන්න කාලයක් මාත් අම්මාත් ගෙවූයේ අහිගුන්ටික දිවියක් බැව් නොකියාම බැරිය. තාත්තා දැකිය හැකි වූයේ බොහොමත්ම කලාතුරකින් වූ අතර අම්මා නිතරම සිටියේ බියපත් වූ ලේනියක සේය. ඇය නිතරම අහස බලමින් හූල්ලයි. මා බදාන ,ඇගේ පිරුණ උණුසුම් ලයට මා තුරුලු කර ගනිමින්  සිප ගන්නේ අවසන් වතාවට මා සිප ගන්නා පරිද්දෙනි.එවිට ඇගේ හදවත ගැහෙනා හඬ පවා මට ඇසේ

ඇගෙන් අමාරුවෙන් මුහුණ ගලවා ගන්නා මම “ අම්මා මොකො මේ ? “ යැයි ඇසුව ද ,එයට පිළීතුරු ලෙස ලැබෙන්නේ දුක පිරි සිනාවක් සමඟින් යලිත් උණුසුම් තුරුලු කර ගැනීමකි.

මෙසේ ගෙවෙමින් තිබුන ජීවිතයට වෙනසක් සිදු වුයේ අහම්ඹයෙනි. ඒ වන විට භාවිතයට ගත නොහැකි මට්ටමේ පොලිස් නිල නිවාසයක් පිළිසකර කර එහි නැවතීමට ලැබීම හිතට සහනයක් විය.පොලිස් නිලනිවාස සියල්ල පිරී ගොස් තිබුනේ අපි වැනිම ආරක්ෂක සේවයේ නිලධාරීන්ගේ අඹුදරුවන් ගෙනි.

එකී නිවසට දිනක් පැමිණි චේ අයියා , එතෙක් එහි පැවැති තත්ත්වය සහමුලින්ම වෙනස් කිරීමට  ඉවහල් විය.

දිනක් සවස සෙල්ලම් කර අවසානයේ නවාතැනට ගොඩ වදින විට , චේ අයියා , චේ අයියාගේ මව යැයි සිතිය හැති කාන්තාවක් සමඟ පැමිණ සිටි අතර.ඒ අවස්ථාවේ දී ඔවුන් සමුගන්නවා පෙනුනි. චේ අයියා තම මවගේ දෙපා වදිද්දී , ඇගේ ඇසින් වැටුණු කඳුළු චේ අයියාගේ හැඳ සිටි සුදු කමිසය ලහි ලහියේ උරා ගත්තේ , කිසිවකුත් ඒ කඳුළු දකීදැයි සැකෙන් මෙනි.

“ අනේ බුදු මහත්තයෝ , මහත්තයට පිං සිද්ධ වෙනව මයෙ කොල්ල බේරල දෙන්න“

ආපහු යෑමට ගොස් තාත්තා කරා ආ ඒ කාන්තාව , දෑත් එක්කර වදිමින් පවසන්නට වූවාය.

“ හරි හරි හාමිනා යන්න කෝ, මෙහාට එන්නෙ නැහැ ඔය මිනිස්සු . බය වෙන්න කාරි නැහැ හාමිනා “

අඩමින් දොඩමින් , තවත් මොන මොනවාදෝ පවසමින් ඇය යන්නට විය.

නිල නිවාසයේ , වසා දමා තිබු එළිය කාමරය ඔහුට විවෘත විය. ඔහු ඉතා ප්‍රසන්න පෙනුමැති අපූරු ඉලන්දාරියෙකි. තළෙලු පැහැයත්, සුදුම සුදු දසන් පෙළත් , උස මහත දේහයත් , අපූරු කතා විලාශයත් මාගේ සිත් ගත්තේය. මේ සියල්ලටම වඩා ඔහු දන්නා කතන්දර හරි අපූරු ඒවා වූයේ , නිතර අසන කතන්දර වුවත් ඒ සෑම කතාවකම අවසානය වෙනස් ලෙස නිමවා තිබීමයි.

“ මොන පොතේ ය අයියේ ඔය කතාව තිබ්බෙ ? මම කියෙවුව පොතේ නම් හාවා තමයි දින්නේ “

ඔහු සිනා සී අහස දෙස බලා සුසුමක් හෙලයි.

“පොඩ්ඩියේ , හැම කතාවම තියෙන විදිහට නෙමෙයි. වෙනස් විදිහට අවසන් කරන්න බලන්න. ලෝකෙට ගැලපෙන අලුත් විදිහකට “

ඔහේ අහස දෙස බලා සිනාසෙමින් සිටින ඔහුව දිනක් මම අපේ සෙල්ලම් පිට්ටනියට එක්කාසු කරන් ගියෙමි.

“ කවුද සොසී මේ ? “

“ මයෙ අයියා “

“ මෙච්චර දවස් නොහිටිය අයියෙක් කොයිබින් දෑ ? “

“ ඔයැයිට ඒවයින් වැඩක් නැහැනේ. මයෙ අයියා  . . .කැම් ......“

කියන්නට ගිය කොටස ගිලගත්තේ , එය කිසිවකුටත් නොපවසන ලෙස තාත්තා උපදෙස් දී තිබූ නිසාය. ඉගෙන ගන්නට කියා මේ තරම් නලියන එකේ. අයියා කැම්පස් එකේ බැව් කීමට තහනම් කළේ ඇයි දැයි මගේ පහේ පන්තියේ මොළයට වැටහෙන්නට කලක් ගියේය.

අනම් මනම් ප්‍රශ්ණ විචාරීම් කුමක් වුවත් , අයියා සමඟ යහළු වූ කොල්ලන් කුරුට්ටන් අයියාව වට කර ගන්නට වැඩි වේලාවක් ගත නොවීය.

අපරාදේ මං අයියව එක්කරාන ආවේ . . ඉරිසියාවෙන් පිරුණ ම‘සිත කොඳුරන්නට විය. එදා සිට අයියා අහස දෙස බලා සිනා සෙමින් සිටිනු වෙනුවට , සැමදා සවසට මාත් සමඟ අපේ නඩේට එක්කාසු විය. ඔහුගේ අපූරුකතන්දර , අපූරු රඟපෑම් අප සැවොම වෙනත් ලොවක ට රැගෙන ගියා මෙනි.

නමුත් , සැමටම කරුණාව දක්වන මගේ මවට ,ඔහුව නයාට අඳු කොළ මෙන් විය. ඔහු දෙස බැලුවේ පිටසක්වලින් පැමිණි ජීවියෙකු දෙස බලන විලාශයෙනි. කන්නට දුන්නේ අප සැම කෑම කා අවසානයේ ඉතිරි  වු යමකි. මා ඔහු සමඟ දෙඩීමට යාම ගැන ඇය නොකැමැති විය.

“ යන්නෙහෙම නැහැ අයියේ කියාන භජනෙට , චේගුවේරා කාරයෝ , ඕකුන් හින්ද තමයි අපිට මෙහෙම වුනේ “

චේගුවේරා අයියා යන්න දිග වැඩි වූයෙන් අවසානයේ දී බොහොම ආදරණිය “ චේ අයියා “ යන්න අමන්ත්‍රණයට යෙදුනේ එලෙසිනි.

ශිෂ්‍යත්ව විභාගයට පන්ති යෑම නැවතුන හෙයින් එයින් මිදීම මට සැපතක් වුව ද , අම්මාගේ කන්කරච්චලය නිසා , සතර පොත් වල හිස් පිටු පුරවන්නට මට සිදු වීම අභාග්‍යයකි. නමුත් චේ අයියා එහි දීද පිහිට වූයේ ගණිත ගැටළු විසඳන ඉතාම විනෝදජනක පහසු ක්‍රම කියා දෙමිනි. චේ අයියා මෙහි ඒමට ප්‍රථම , ගණිත පන්ති පැවැත් වූ බව මට දැන ගන්නට ලැබුනි. ඒ නොමිලයේ බැවු දැන ගත්තේ ඊටත් පසුවය.

අම්මාද මාගේ ගණිත දැනුම ගැන සතුටට පත්ව ඒ ගැන විමසීමේදී සිදු වුනේ නොසිතූ දෙයකි.

“ චේ අයියැයි කියැල දුන්නේ , චේ අයිය පන්තිත් කරල තියේය කියන්නේ “

“ පන්ති “අම්මා ඇස් ගෙඩි දෙක උඩ යවමින් අසද්දී මගේ මුව ද ඇරිනි.

“ එයැයි දැන් මේ පුංචිඈයොන්ටත් මෙහේ පන්ති පටන් අරන් ය ? “

“ පහේ පන්තිය අම්මේ “ බිය වූ මා එසේ පවසද්දි අම්මා තවත් කෝප විය.

“ පන්ති පහ තමයි., තවත් ඔය එක එකාලැයි පන්ති වලට ගිහින් අහුවුනොත් හමගහනව මම “

එදායින් එදායින් ගණන් ඉගෙනීම නතර වූවා යැයි සිතන්නේ නම් වැරදිය. එවන් ගණිත ගුරුවරයෙකු අදටත් මා දැක නැති බැව් පැවසිය යුතුය.

චේ අයියා දිනක් හඩනවා මා දුටුවෙමි. ඒ ඇයි දැයි විමසූ විට ඔහු කියා සිටියේ “ මට සමාවෙන්න පොඩ්ඩියේ “ යන්න පමණි.එදා දවස ගෙදර කෑමට කිසිවකු.ත් උනන්දුව් ද නොවීය. බඩගින්නේ සිටි මම , ඒ වන විට නිවසට පැමිණි සිටි සෙනඟ අතරින් පීරා ගොස් අම්මා ගේ ගවුමේ එල්ලි සිටියේ මට බඩගිනි බැව් හැඟවිමටයි.

“බලන්න අක්කේ , කොයි තරම් මහන්සිවෙලාද ඔය තරමින් ගේ හදා ගත්තේ, වෙලාවට ගෙයි බඩු ටික ගෙහුන් දැම්මේ . හප්පේ මේවුව සහගහන අපරාද “

“ ඔහෙලට ඕව හොඳ පාඩම්  නංගියේ, ඔත්තු කාරයන් ගෙට දාගෙන කරන්නෙ නම් හොඳ වැඩක් නෙමෙයි. අපිට උනත් යමක් වුනොත් ඔහෙල වග කියන්න ඕනි “ 

ඒ නැන්දා පැවසුවේ චේ අයියා , සිටින කාමරය දෙස ඇස් ලොකු කරමින් බලමිනි.

එතැන් සිට අම්මා මෙන්ම තාත්තා ද යම් තරමකට චේ අයියා මඟ අරින තත්ත්වයට පත් විය. අපේ ගෙට ගිනි තිබ්බේ චේ අයියා ද? ඒත් ඒ ඇයි. මුල මැද අග ගැට ගසා නොගත හැකි ගැටළු රැසකට කිසිවකුත් පිළීතුරු නොදුන් අතර. චේ අයියා හවස් කරේ අපි සමඟ සෙල්ලමට ඒමද නතර විය.

දිනක් රාත්‍රී යේ ගෙදර එකම කාල ගෝට්ටියකි.

“ ඔයැයි තමයි මේවට වග කියන්න ඕනි “

“ මම , මං මොනා කරන්න ද හාමිනේ “

“ ඔයැයි තමයි මේ අහක යන වුන් ගෙන්න ගෙන ගෙයි අස්සෙ දාගෙන. අර පොඩි එකාවත් මට හදා ගන්න බැරි වෙනවා “

“ විලාප තියන්න එපා හාමිනේ “

“ විලාප , විලාප නෙමෙයි , කාට කාටත් ඇහෙන්න තමා මේව කියන්නේ. දුක් මහන්සියෙන් හම්බකරපුවා. මේව දෙයියන්ට පේන්න ඕනි. නයි පැටවුන්ට කිරි දෙන්න ඔහෙටත් ලැජ්ජ නැති හැටි“

පසු දිනට පහන් විය , උදයේම කිරි කෝප්පයත් රැගෙන චේ අයියා ගේ දොරට තට්ටු කරන මට කිසිම හා හෝවක් ඇසුනේ නැත.දොර ලොක් කරලා ද නැත. තල්ලු කල දොරින් ඇතුලට ගිය මට දැකිය හැකි වූයේ හිස් කාමරයත් පසෙක හේත්තු කර තිබූ පැඳුරත් පමණි.

“ අම්මා ,අම්මා  චේ අයිය නැහැ නේ “

“ ලොකු දෙයක් “

කාමරයට එඹී බැලු අම්මා සැනසුම් සුසුම් හෙළුවේය.

මා ශිෂ්‍යත්වය ඉහලින්ම සමත් වූ යෙමි.

චේ අයියාගේ මව අකාලයේ මිය ගියේ දැවෙන ටයර් සෑයක් දැක සිහිසුන් වී බැව් දැන ගත් මා අලුත් පන්තියේ ඩෙස්කුවේ හිස ගසා ගෙන ඉකිබිඳිමින් හැඩුවෙමි.

Monday, October 17, 2011

෴ තකහනියට ඉසිඹුවක් ෴

හැමදාම මම ලියන දේකට එකතු කළේ, අන්තර් ජාලයෙන් සොයා ගත්ත අනුන්ගෙ පින්තූර . 
ඒත් මේ පින්තූරය මම අද හවස ගත්ත එකක්.


ට පාළු නැතිව , ඕන තරම් වෙලාවක් බලන් ඉන්න පුලුවන් තැනක් තමයි මුහුදු වෙරළ කියන්නේ. මිනිස්සු අඩු තරමට වෙරළ හරිම ලස්සනයි. අද හවස වැඩ ඉවර වෙලා, ගෙදර එන්න බස් එක ගන්න දුවන ගමන් ,මම දැක්කේ සෙනඟ අඩු වෙච්චි මේ මුහුදු මායිමයි. වෙනදට මේ වෙලාවටත් හරිම සෙනඟ. නානාප්‍රකාර මිනිස්සු පිරිලා. පුංචි ළමයි, පෙම්වතුන් , අයාලේ ගොදුර සොයා යන අය වගේම , කිසිම පැහැදිලි අරමුණක් නැතිව සරණ බොහෝ දෙනෙක් මෙතන පිරිලා ඉන්නවා. ඒත් අද , හිස් . . . . . .


ගෙදර යන ගමන පැත්තක දාලා , මොහොතක් නතර වෙන්න මට හිතුනේ ඉඹේමයි. ඒ නැවතුමත් එක්කම සිතට පුංචි දුකකුත් ආවේ නැතිව ම නෙමෙයි. ඒ දුක නැති කර ගන්නත් , මේ ලස්සන ගෙදර අරන් එන්නත් මට උවමනා වුනා.අත් බෑගයේ නිතරම තියෙන ඩිජිටල් කැමරාව දෙතුන් පාරක් වට පිට බැලුවෙ මාත් එක්කමයි.

 ගෙදර යන ගමන නතර කරල ,ඔහේ අතරමං වෙලා ඉන්න තිබුන නම් . . . . . . .
 
නීල සේද වළා යහන
අහසෙ අතුරලා
සුදු පෙණ කැටි පොකුරු පොකුරු
පොළවෙ අමුණළා
පේන ඈත ඉම කෙළවර
පෙමින් හමුවෙලා
ලොවක් මතක නැති කරලා
ඉමුද සැනසිලා

අහස මේ තරම් නිල් පාට වෙන්නත් , මුහුද මේ තරම් අහසට ගැලපෙන්නත් ඉන්නෙ කොහොම ද කියල දැන ගත්ත දවසට ,ගොඩක් දුරින් වුන්නත් ආදරයෙන් ඉන්නෙ කොහොම ද කියල මින්ස්සු දැන ගනීවි.

මගේ ගමට යන අන්තිම බස් එක මේ ලස්සන පින්තූරය මැදට ඇවිත් මාව පියවි සිහියට අරන් ආවා.


මුහුදු වෙරළෙ ඇවිද්දන යන්න , ජීවිතයට ඉසිඹුවක් ගන්න , නුඹ එනකම් බලන් ඉන්න
මම
සොඳුරු සිත ෴

Sunday, October 16, 2011

෴සේරි වාණිජට සින්න වූ සිත ෴

සමහර වෙලාවට , සමහර අයට ,සමහරුන්ව මඟ ඇරෙනවා . කිසිසේත්ම නොසිතූ විදිහට නොගැලපෙන තැනක නතර වෙනවා.. ...මඟ ඇරුන සමහර දේවල් වල වටිනකම වගේම, ඒ දේවල් ඇයි මට මඟ ඇරුනේ කියල හිතද්දි ඒවට උත්තරත් අපි ළඟ නැහැ..

හැමදාමත් රන් තලිය , දුම් මැස්සෙ තියෙන්නෙ නැහැ වගේ ම, හැමදාමත් රන් තලිය
කච්ඡපුටලාටම අයිති වෙන්නෙත් නැහැ. . .




සේරි වාණිජ ළඟ උකස් කළ
ලංසු නැති එක හදවතක්
දිනෙන් දින මෝරා වැඩෙයි එහි
සෝක සැක සංකා ගොඩක්

රන් තලිය වී වටිනකම් නැති
අඳුරෙ ගුලි වී ලා ඉදන්
දුටු දිනේදිම බැන්දෙ ඇයි පෙම
සේරි වාණිජ ටම ඉතින්

නුඹගෙ හැඩ රුව වටිනකම දැන
නුඹට ලං වන්නට ඉතින්
දහස් දන පෙළ ගැසුන තැන මම
අන්තිමය වු එක පවින්

කච්ඡපුට වී මා එනතුරා
නුඹට ඉන්නට බැරි උනෙන්
නුඹ ට ගෙන ආ වලලු කඳ මං
විසි කළා සැමටම හොරෙන්



What you deserve & what you get in life are two entirely different things.


මේ අමතක වෙච්චි අයට

*කච්
පුට - හොඳ වෙළෙන්දා

*සේරි වාණිජ - කපටි වෙළෙන්දා


ජාතක කතාවේ නම් , නිසි දේ නිසි කෙනාට ලැබෙනවා.ඒත් ඉතින් ඒ ජාතක කතා.


වලලු ගේනකම් බලන් ඉන්න
මම
෴ සොඳුරු සිත ෴

Saturday, October 15, 2011

෴ මාලය / The Necklace ෴

“ හරි වැඩේ නේ, පොලිසියට ගියේ නැද්ද කෙල්ලෙ “

සීරී, ලේ එන බෙල්ල , අතගාමින් සිටි මගෙන් එකිනෙකා විමසයි. මාලය නෙමෙයි , බෙල්ලත් ගාලෝන ගියා නම් හොඳයි කියා සිතෙන්නේ මේ වේලාවටය.

“ යමු සොසී , කෝකටත් පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාන එක හොඳයි “

මගේ මිතුරිය , මා අතින් අදිමින් පවසයි. උදෑසනම නිසා ,මගේ කවුන්ටරය අසළ පෙළ ගැසී සිටින මිනිසුන් දෙස මා බැලුවේ ,ඔවුන් දමා යන්නේ කෙලෙස දැයි සිතමිනි. සඳුදා දිනයක් වූ බැවින් පෝළිම බෙහෙවින් දිගු විය. මුදල් සම්බන්ධයෙන් කෙරෙන රාජකාරී කටයුත්තක් බැවින් වෙන සඟයෙකුට බාර දී යාමට ද නොහැක්කේ , ඔවුන් මේ කවුටරයේ වැඩ කිරීමට වැඩි මනාපයක් නොදක්වන බැවිනි.

“ සොසී  . . . . කීවම යං කෙල්ලේ “

යළිත් මා වෙත පැමිණි මිතුරිය මා සවනට කර කියන්නට වූවාය. යළිත් මිනිස් හිස් පෝළිම දෙස නෙත් හෙළු මට දැකිය හැකි වූයේ , නොඉවසිලි බව රැඳි ඔවුන්ගේ මුහුණුයි.සිනා රැදි මුහුණක් දෙකක් දැකිය හැකි වුව ද ඒවා ප්‍රසන්න සිතින් නැඟි අවංක සිනා නොවූ අතර සිනා නොවී සිටිමට නොහැකි නිසා සිනා සෙන්නාක් බදුය.

“ හරි හරි යමු. පේනවනෙ පෝළිම , මේ ටික ටක් ගාල ඉවර කරල යමු “

“උඹට ඕනි එකක් , මයෙ යැ , උඹෙ මාලෙ “

කවුනටරයේ කැරකෙන පුටුවට බර දුන් මා දවසේ රාජකාරී ඇරඹිමට පටන් ගත්තෙමි. නමුදු විටින් විට , යතුරු පැදියකින් පැමිණුන තරුණයන් දෙදෙනකු , මා ගෙල බැඳි රන් මාලය අඳුරා ගෙන යනු මැවී පෙනෙන්ට විය. කෙතරම් මතක් කළ ද ඔවුන්ගේ හැඩ රුව සිහියට නඟා ගැනීමට මට නොහැකි විය.

විශාල කළු පැහැති යතුරු පැදියේ පැමිණි ඔවුන් දෙදෙනා , කළු පැහැති හෙල්මට් පළදා තිබුනේ මුහුණ ද වැසෙන පරිදිය.කළු පැහැති ජැකට් දෙකක් හැඳි ඔවුන් දෙදෙනා මැදිවයසේ හෝ තරුණ වයසේ වන්නට ඇත

පාසල් ද නිවාඩු කාලය වූ බැවින් , පටු මාවතේ පේන තෙක් මානයේ සිටියේ මා පමණක් බව සිහිවන්නේ දැන්ය. මාස ගණනක පඩියෙන් ක්‍රම ක්‍රමයෙන් එක්කාසු කර ගත් මුදලින් ඒ රන් චේන් පට මිල දී ගත්තේ මීට මාස දෙකකට හෝ තුනකට උඩිනි......

“ මොනා ද මිස් මෙතන රු.100ක් අඩුයි. මම දුන්නේ 500“

ගනු දෙනු කරුවකුගේ නොඉවසිලි ගෝරණාඩුවකින් , පටු මාවතේ වැටී තිබු මයෙ සිත , නැවතත් කවුන්ටරයට රැගෙන ඒමට සිදු විය.

“ ආහ් මෙන්න “

ඔහුගේ ඉතිරි මුදල් දෙන ගමන් මා පෝළිම දෙස බැලුවෙමි. සෙනඟ මදක් අඩු වී තිබු අතර , එය ම.සිතට ගෙන දුන්නේ සහනයකි.

“ යමන් යමන් , මේනකා කවුන්ටරේ බලා ගනීවි යමන් ඉතින් දැන් වත් “

යෙහෙළිය පැමිණ තිබුනේ කවුන්ටරේ රාජකාරී බාර දීමට ද කෙනෙක් සොයා ගෙනය.

“ මං ලොක්කට කීවා. යං “

ප්‍රධානියාගේ වීදුරු කාමරය දෙස නෙත් යොමත්ම ඇය කීවාය.

“ මොන ජාතියේ බයික් එකක්  ද මිස් “

“ ම් ම් ම් කළුයි ලොකුයි , වේගෙන් යන එකක් “

“ දැන් කාලේ තියෙන ඔක්කම මෝටර් බයික් ඒවගෙ තමයි මිස් “ සමච්චලයට මෙන් සිනාසුන පොලිස් කොස්තාපල් මහතා ඇසක් ඉඟි මරමින් කීවේය.

“වර්ගය දන්නෙ නැද්ද වර්ගය, අංකය දැක්ක ද? කොහොම ද මාලෙ කඩා ගත්තේ ? “

ප්‍රශ්ණ වැලකි. මම මා දන්නා ආකාරයට යතුරු පැදියේ හැඩරුව කීවෙමි.

“ ආහ් බන් , ඔය කියන විදිහට ඒක
honda CBR එකක් වගේ “


පැමිණිලි බාර ගන්නා මේසයට එහායින් සිටි නමුත් , අපේ කතාවට සවන් දී ගෙන සිටි තවත් පොලිස් සඟයෙක් පවසන්නට විය.




“ හොඳයි එහෙනම් කියමු බලන්න මාලෙ කඩා ගත්ත හැටි “

“බයික් එක ඇවිත් මා ළඟ නැවැත්තුවා. “

‘ ආහ් . . . එහෙනම් අහල බලල කඩා ගෙන තියෙන්නේ “
අශීලාචාර ලෙස සිනා සුන ඔහු පවසන්නට විය.

“ නැහැ , ඇඩ්රස් එකක් අහගන්නයි නැවත්තුවේ , ඒක කියවන අතරේ මාලේ කඩන් පැන්නා. බයික් එක තිබ්බේ ස්ටාට් කරපු ගමන් “

තරමක තාරතාවය වැඩි ස්වරයෙන් මගේ මුවින් නික්මුණි.


“ හොඳයි මිස් , අපි බලන්නම්, ටෙලිෆෝන් නම්බරයක් හෙම තියනම් දීල යන්න. මේ වගේ පැමිණිල් නම් කොච්චර එනව ද? ඒ වගේ හොරෙක් කොටු උනාම අපි කෝල් කරල කියන්නම් “


“ආහ් බන් මෝඩියේ , උඹට නිකමටවත් හිතුනෙ නැද්ද මාලෙ කඩා ගනි කියල“

පොලිසියේ සිට පිටව එද්දී අවසන් පඩිය බසින විටම මිතුරියගේ මුවින් නිකුත් විය.

“ කාටද බන් එහෙම හිතෙන්නේ , හරි ඩීසන්ට් ලුක් එකක් තිබුනෙ. ඉස්සරහ හිටපු කොල්ල තමයි කොල කෑල්ල පෙන්නුවේ....ඒත් මට පිටි පස්සෙ හිටපු එකා නම් ටිකක් දැකල පුරුදු වගෙයි “

“උඹටත් කොහෙද ඉතින් , ලස්සන කොල්ලෙක් දැක්කම අහන පාරවල් නෙමෙයි , නාහන පාරවලුත් පෙන්නාවි “

“ අනෙ පලයන් බන් යන්න “

දින සති මාස ගණන් ගෙවුන ද , මාලය හෝ කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. යලිත් සුපුරුදු පරිදි මාලයක් සාදා ගැනීම සඳහා කීය කීය හෝ එකතු කරන්නට යෙදුනේ වලල්ලක් සාදා ගැනීම පසෙකට දමාය. කාර්යාලයේ සාරියට පෙනෙන හිස් ගෙල , බොහොමයක් අය ගේ කතා බහට ලක් වීම ද වදයක්ම විය.

මගේ සිත දුකින් තැවුනේ නැති වූ මාලයටත් වඩා , ඇතැමෙකු පැවසූ නොපරුස් වදන් නිසාය.

නියමිත වේලාව ද පසු වී , සියළු ගනු දෙනු නිමා කර , කවුන්ටරය වැසීමට සූදානම් වන අවස්ථාවේ ම රු.100ක් පොඩි කාසි වලින් මාරු කර ගැනීමට පැමැණි , කාර්යාලයේ දෙවන මහලේ වැඩ කරන මංගලිකාට , පොඩි කාසි නැති බව කී විට ඇය පැවසුවේ.

“ ඔහොම තමයි නංගි , එක එකා මහන්සියෙන් හම්බ කරන සල්ලි වංචාවෙන් අර ගන්න මිනිස්සුන්ට යාදෙන්නෙ නැහැ. හොරු අරන් ගියාට දුක් වෙන්න දෙයක් නැහැ ,ආයෙත් ඉතින් මාසෙකින් දෙකකින් අලුත් එකක් හාදා ගන්න බැරියෑ “

සිත පිරි සොවින් කවුන්ටරය වසන්නට සූදානම් වූ අවස්ථාවේ ම , තකහනියක් කවුන්ටරය දෙසට ඇදෙන තරුණයෙකු මගේ නෙතු ගැටුනේ , අයියෝ තවත් කරදරයක් යැයි යන සිතුවිල්ලෙනි. උස ට සරිලන මහතින් යුතු වු ඔහු කඩවසම් පෙනුමෙන් යුක්ත විය.

“ කකුල් දෙකටම කලිසන් ඇදපු එකෙක් ආවොත් උඹේ කවුන්ටරේ ඉතින් අවේලාවෙත් වැඩ “ කට කැඩුන කතා කියන කාර්යාල යෙහෙළියකගේ වදන් මා මතකය විත් සිහින් සිනාවක් මුවඟ ඉතිරි කරත්ම , කලිසම් නෙමෙයි , සූට් බූට් ගහන් ආවත් දැන් නම් මහත්තයෝ කවුටරේ වහලා යන සිතුවිල්ලෙන් යුක්තව , Close බෝඩ් ලෑල්ල හරවත්ම , ඉතා තද ලෙස මා අත ග්‍රහණය කර ගනූ දැනි හිස ඔසවා එදෙස බලන මා දුටුවේ. පැමිණි තරුණයා මා අත තදින් ග්‍රහණය කර , මා නෙතු දෙස දෙස විමසිල්ලෙන් බලා සිටින බවකි.

අවු කණ්ණාඩි වලට මුවා වී තිබූ ඒ ඇස් දැක ගැනීමේ නොනිම් ආසාවක් මෙන්ම , අවේලාවේ වද දීමට පැමිණි මේ අපූරු තරුණයා ගැන හට ගත්තේ අප්‍රමාණ කේන්තියකි.

“ සමාවෙන්න සර් , කවුන්ටරේ ව . .. . . . . .“

ඔහුගේ ග්‍රහණය ලක් වූ මගේ දෑත , තව තවත් දැඩි වන බව පමණක් මට දැනුනි. Close පුවරුව කවුන්ටරයෙන් ඉවත් කරන ගමන්ය ක්ෂණයෙන් යමක් කවුන්ටරය මත පතිත කළ ඔහු , ආපසු හැරුන වේගයෙන්ම , කාර්යාලයෙන් පිටවී යනු පෙනුනේ , තත්පරයකවත් පමාවක් නොතබමිනි.

“ මූ යකෙක් දැක්ක වගේ දුවන්නේ , මොකෝ මිස් මක්කැයි කීවේ “

කාර්යාල දොරකඩ සිටි පැමිණි කාකාස මහතා ඇසුවේ පුදුමයෙන් විස්මිත දෑස් ඔහු ගිය මඟම තබා ගනිමිනි.

“ මෙතනට ආපු බව කොහොම ද විජේසිංහ දන්නේ ? “

“මයෙන් ඇහුව දඩ කොළේ ගෙවන්නෙ කොතනට ද කියලා. මම කීවා සල්ලි ගෙවන වෙලාව නම් පහු වෙලා , නමුත් ගිහින් බලන්න කියලා“

“ ඒක මිසක් “

කවුන්ටරයේ මා සිටිනා පස මේසය මත වූ සුදු පැහැති ගුලිය මා දුටුවේ එවිටයි. වට පිට බැලූ මා , ආසනයේ වාඩි වූයේ කුතුහලය රැඳි ගැහෙන සිතිනි.


මදක් දුර්වර්ණව තිබූ කුණු ගැහුන සුදු පාට ලේන්සුවක ඔතා තිබ්බේ එක්තරා දවසක මගේ ගෙල ද සුරා උදුරගෙන ගිය මාලයයි .............

නමුත්  ............. ඒ ඇයි  ?


Friday, October 14, 2011

෴ සරා සඳ ට ෴

අන්ධකාරයටම හුරු වූ ඇගේ දෑස , කෑලි කැපිය හැකි ඝන අඳුර විනිවිද යවන්නට වූවාය. නිවසේ විදුලි පහන් නිවා දමා , කළුවරේම දොරකඩ පඩිපෙළේ , උඩම පඩියේ වාඩි වී සිටින ඇය , රිදුම් දෙන දණහිස් වලට අත තබා කකුල් දිගු කරේ සිහින් සුසුමක් ද පිට කරමිනි.එයටම තාල අල්ලන්ට මෙන් “ටකස්“ හඬින් බිදී ගිය දණිස් ඇටය , දහවල් කාලය පුරාම ඇය කළ වැඩ ගොන්නේ තරම කියා පෑවේය.

ඇය විදුලි පහන් නිවා දමා මෙසේ අදුරේ සිටින්නේ , එහා ගෙදර ගෘහණිය වන කාන්ති අක්කා හෙට උදෑසන අසන්නට ලැහැස්ති වන ප්‍රශ්ණ බොහෝමයකින් ගැලවීම සඳහාය.

“ මොකද නංගි , මහත්තය එන්න පරක්කු උනාද ? ඊයෙත් මම දැක්කා මහ රෑවෙනකම් ලයිට් පත්තු වෙනවා“

“ ඔවු“ කියා ගැලවීමක් නම් නැත. ඉන්පසු එක පිට එක උනන ප්‍රශ්ණ වලින් හැඟෙන්නේ , තමා පමණක් නොව ඇය ද නිදිනැතිව ඔහු එන තෙක් බලාහිද ඇති බවයි.

බල්ලෙක්ගේ බිරුම් හඩත් සමඟම නැවතත් ඇය අඳුරේ නෙත් දල්වන්නට වූවාය. ඒ නෙත් අඳුර දිගේම ගොස් අහස දෙසට යොමු වූයේ , පෙරමඟ බලන ඔහු ගැන විස්තරයක් සඳෙන් වත් අසා දැන ගැනීමට මෙනි. අහස පුරා සඳ වෙනුවට පායා තිබුනේ තරු කැට රාශියක් පමණි. හරියට අහස තැනින් තැන හිල් කර පුංචි පහන් රැසක් එල්වා ඇතිවාක් මෙනි.


නිවි නිවි පත්තු වෙන පුංචිම පුංචි කණාමැදිරි එළි , ඇයට  දිස්වුයේ අහසින්  තරු කැට වැටෙන්නාක් මෙනි. හුන් තැනින් නැගිට ගත් ඇය , කළුවරේම මදක් ඉදිරියට ගියාය. දැනුන සීතලෙන් මිදෙන්නට පපුව හරහා කිටිකිටියේ බැඳ ගත් දෑත් ප්‍රමාණවත් නොවූයෙන් , උරහිස් මදක් ගුලිකර ගත් ඇය , තමාටම ගුලි වූවාය.

බයික්කෙක තිබ්බ නම් මෙලහට ඇවිත් , ඇය තනිවම සිතුවාය. එක්කොත් ඒක විකුණපු එකත් හොඳයි. රෑ ජාමේ බයික්වල ගමන් හොඳ නැහැ. ඇය යළිත් සිතුවාය.
කෑම ආයෙත් රත් කරන්න වෙයි ද දන්නෙ නැහැ...... සිහින්ව නැඟුන කුසගිනි අස්සේ ඇයට සිහිවිය.

දැන්ම රත් කරල තිබ්බොත් , නැවතත් හැරී නිවස දෙසට යෑමට පිය ඔසවද්දීම ඇයට ඇසුනේ ළඟ ළඟම ඇසෙන අඩි සද්දයයි. සිනා පිපුන වත සමඟින් ඇය ආපසු
හැරෙත්ම , මෙතුවක් වේලා දකින්නට බලා සිටි ඒ රුව අඳුර අතරින් මතු වුයේ සඳ මිදුලට වැඩි සිරි උසුලමිනි.

“ අදත් ඇහැරන් මො කද  ? මං කියල තියෙනව නේ කාලා නිදා ගන්න කියල ,මම එන්න රෑ වෙනව කියල කීව නේ ද ? “
වදනින් එලෙස පැවසුව ද , මුහුණේ ලියවී තිබුනේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක් බැව් ඇයට කියවිය හැකිය.

ඇය ගැන උපන් සෙනෙහසින් මෙන්ම , රාත්‍රී නිදිමරන් මඟ බලාන් සිටීම පිළිබඳව කෘතගුණ දැක්වීමක් ද , ඒ බවට ඔහු සිත සතුට ද , ඒ මුහුණින් සඟවා දෑම්මට නොහැකි විය.

ඔහු අත රැඳි බෑගය ඇගේ අතටත් , ඔහුගේ අත , ඇගේ බඳ වටාත් එතෙද් දී , නිවස වෙතට පිය මනින දෙදෙනා අඳුරේම දැක ගත් , සැගවී සිටි සඳට දුක හිතුනේ , සඳ එළිය උතුරන දින වල ඇය මඟ නොබලා ඉන්න නිසා වන්නට ඇත.





මගෙ සරා සඳ හද අරා
ඇයි ද නුඹ තාමත් පමා
නෙතු පාරමින් මඟ බලා
හිඳිමි ඇයි දෝ නුඹ පමා

හද කැළුම් මඟ එළි කරන්
නොයා වෙනතක නුඹ පතන්
සිනා අනුරා එක් කරන්
එමි සොඳුර මා නුඹ සොයන්

සරා සඳ
මම
නුඹෙ
෴ සොඳුරු සිත ෴

Thursday, October 13, 2011

෴ ඉකි බිඳින අඹ ගස ෴



අඹ ගහ යට හිඟන ගැහැණිය
තම දුක ගැන ගතු කිය කිය
නෝනා රුපියලක්
මහත්තයා රුපියලක්

දුන්නත් සිනා සෙන්නී
දොහොත් මුදුන් දී වදින්නී
නොදුනනත් රුපියලක්
නැතේ ඔරවන්නී
සිතේ දුක හටගන්නී

එක් දිනක් හිමිදිරි උදයක
හිඟන ගැහැණිය ඇත ගහයට
අලුත් සළූපිළි ලැබිලා ඇත
නමුත් ඇය වත වසලා ඇත

ඊයේ මහ රෑ
මුරුගසන් වරුසාවට
ගස් වැටෙන මහ සුළඟට
උසුලනා නොහැකි සීත පවනට
ගල් ගැසී ඇගේ හදවත
අනේ ඇය මිය ගොස් ඇත

සිහින් සරින් හඬනා
අඹ ගසේ දුක් ගීතය
අසා සිටි
මම
෴ සොඳුරු සිත ෴


Wednesday, October 12, 2011

෴මල් යායට අමුත්තෙක් /A Visitor To The Flower Garden.. . . . . . ෴



ඔහු බොහොම දයාබර විදිහට කතා කරා. හරිම කරුණාවන්තයි. හරියට යායට පිපුන මල් කැළේකට හීන් සිරි පොද වැස්සක් වැටෙනව වගේ. මල් යායම තාලෙට සුළඟට සැලුනේ හරියට සිතුටින් හිනා වෙනව වගේ.

හිටිගමන් ඇය දර්ශණයෙන් ඉවත් උනේ , සිතුවමේ තිබ්බ මල් යාය හදිසියේම අතුරුදන් කරමින්. සිරි පොද වැස්ස අන්දමන්ද වුනා. මල් යාය කෝ. . . . . .  නිරුවත් පොළවට වහින එක කිසිම රසයක් නොදැනෙන දෙයක්. පිපාසයෙන් ඔහේ වතුර පොළවට බඳනව විතරයි. රසයක් නැහැ. වහින්න හිතෙන්නේ නැහැ.

හීනයට වැටුන සිරි පොද වැස්ස නැවතුනා.

හිත දුකින් බර වෙලා මහ හයියෙන් වහී ද?

මෙන්න ආයෙත් සිත්තමේ මල් යාය මතු වෙලා.

කොහෙද ගියේ ?

දරාගන්න බැරි උනා , මහ වැසි මිසක් , හිරි පොද වැස්ස. . . . ,

මල් පෙති වලට රිදවමින් . පුංචි මල් ගස් පොළවට අලවමින් , වැටෙන මහ වැසි මිසක් , සිරි පොද වැස්සක් ඒ මල් යායටම මීට කලින් වැටිල තිබ්බෙ නැහැ.

වැස්ස ට උඩින් හිමින් හිමින් හිරු රැස් වැටිල තිබ්බ. වැස්සට යටින් මල් යාය හිනා වෙද්දි , ඒ සතුටෙ පාට අරන් දේදුන්නක් පායල තිබ්බා.

තව කී දවසකට . . . . . . . . . ද ?

“ දෙයියො තමයි දන්නේ ,

මල් යාය අතඇරල ගියත් මල් යාය දිහා හොරෙන් බලන් ඉන්න බඹරු රංචුවක් කට ඇද කරල , විෂ තුඩ කරකවල , ඇස් ලොකු කරන් එහෙම කීවා.


-- - - - - - - - - - - - - - -

මල් යායේ හිමිකාරිය
මම
෴ සොඳුරු සිත෴

෴ සුබ උදෑසනක් / Good Morning ෴

මට නැඟෙන හිරු හිරු කිරණ
නුඹට පායන බව ද
කොහේ හෝ දුරක සිට
දිනය අරඹන බවද
උදෑසන ඇවිත් මට පසක් කර දෙද්දී
සිනා වත පිපෙයි
මගෙ කඳුළ සැඟවෙද්දී

පයට පෑඟෙන සිසිල්
පිනි කඳුළු වෙන්නම්
උදෑසන ගත සිඹින
හිරු කිරණ වෙන්නම්
විහඟ ගීයක මිහිර
අරන් මම එන්නම්
උදෑසන සිරි අසිරි
නුඹට ගෙන දෙන්නම්

නුඹට සුබ උදෑසනක් පතන
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, October 11, 2011

෴ පෝදා සක්මන - A Walk With The Moon ෴


පෝදා සඳ කැන්ඳාගෙන
අතකින් ඇය අල්වා ගෙන
පෙම්බරයෝ නුඹ කොහේ ද
ඈ ගෙනයන්නේ

අහසින් සඳ ඉල්ලා ගෙන
නෙතකින් සිරි බී මත්වෙන
මගේ ලොවේ තනිවෙන්නයි
ඇය ගෙනියන්නේ

සඳ නැති දා රෑ අහසම
ඇය සොයමින් වල්මත් වෙන
බව නොදැන ද පෙම්බරයෝ
ඇය ගෙන යන්නේ

මා ලොව කළුවර දුර ලන
ඇය පුර සඳ නම ලැබුවද
ඇය ට මුවා වී මා ඇත
කවුදෝ දන්නේ


ඔහුගේ පුර සඳ
මම
෴ සොඳුරු සිත ෴

Lady Moon, Lady Moon, where are you roving?
Over the sea.
Lady Moon, Lady Moon, whom are you loving?
All that love me.
-Richard Monckton Milnes -


Blogroll

Related Posts Plugin for WordPress, Blogger...