..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, July 29, 2011

෴ නිල් අහස යට මම ෴ (සහෘද සිතුවිල්ලකට ඉඩක්)


මේ මගේ පෝස්ටුවකට (෴෴නිහඬයි෴ ) ලැබුන ලස්සන කමෙන්ටුවක් . . .
ලීවේ කවුද කියල කවිය කියවල ඉවර වෙලාම බලන්න කෝ.

නිසල මහ කන්ද මම.
කඳු නිම්නයෙන් ගලා බසිනා,
පුංචි දොළ පාර නුඹ.
මෙවන් මහ කන්දකින් දිය ලබන බව වත් නොදත්,
දොළ පාර නුඹ.
දුර ඈත ඉසව්වේ ගලා බසිනා,
ගඟ සොයා යන දොළ පාර නුඹ.
නුඹ ගඟ කරා යන බවත්,
කිසිම දින පෙරලා නොපැමිනෙන බවත්,
සක් සුදක් සේ දත් නමුදු,
මුනිවතම රකින නිති,
නුඹේ දඟකාර කෙලි කවටකම් බලාසිට,
නිහඬවම මඳ සිනා නඟනා,
මහ කන්ද මම,

අනන්ත වූ නිල් අහස මම.
තුඩග රැඳි ගීතයෙන් නිරතුරු අහස යට සරනා,
කුරවි කෙවිලිය නුඹ.
නුඹ සරනුයේ නිල් අහස යට වග පවා නොදත්.,
කෙවිලිය නුඹ.
කැදැලි තනනු වස් කොවුලකු සොයා,
පියා විදහා සරන කෙවිලිය නුඹ.
නුඹ හිමිවනුයේ කෙදිනක හෝ,
කොවුලකුටම බව සක් සුදක් සේ දත් නමුදු,
නුඹෙ මියුරු ගී රාව අසා සැනසෙන පමණ,
මුනිවතම රකිනා නිතින,
අනන්තවූ නිල් අහස මම,

සහෘදයා
නිදහස් සිතුවිලි වල සිතුවිලි අමුණන
රවී අයියා. . .

Thursday, July 28, 2011

෴ නිහඬයි ෴



හමන මද නල නැවතිලා
ගහ කොළද ඇත අවනත වෙලා
විහඟ ගී අමතක වෙලා
සමණළ රෑන තටු නොම සලා

විල දිය ද රැළි නොම නඟයි
තණකොළ පවා නොසැලී හිදියි
කුහුඹු මැසි මදුරුවන් මේ සැම
වුන් තැනම ගොළු වී හිදියි

ගසින් වැටෙනා කොළ පවා
ඇත නැවතිලා නොවැටී දරා
ළපටි දරුවකු හඬන්නට ගොස්
ඇතේ තාමත් මුව අයා

නිහඬ නිසසල බව දරන්
මොහොතකට මුළු ලොව සිල් අරන්
නමුදු ගවු බොහො දුර ඉදන්
නුඹෙ නිහඬ  හඬ ඇසුමට සවන්

නිහඬ බව බිදිනට එපා
මේ මොහොත නැති කරනට එපා
නිහඬ බව තුල නිබඳ සැඟවුන
ආදරය පවසනු එපා


Silence is medication for sorrow





නුඹේ නිහඬ හඬ අසන
මම
෴ සොසි෴

Wednesday, July 27, 2011

.෴ පිළිකුල අවසන් දිගහැරුම ෴


මුත්තා පැමිණ තිබුනේ , අත්සනක් සහතික කරවා ගෙන යෑමට ය . මාමා ගමේ නම ගිය සාමදාන විනිසරුවරයෙකි.

“ පොඩ්ඩී , තීන්න බෝතලේ අරන් එන්න හොඳ ළමයා වගේ. මගේ පොත් මෙසේ උඩ ඇති.ස්විච් එක දාගෙන යන්න. නැත්තම් හොයා ගන්න බැරි වෙයි “

ඉබ්බ දියේ දාන්න ඇහුවම ඇන්න ආවේ කීවලු. අඳුරු කාමරයේ විදුලි බල්බය දැල් වූ මා ප්‍රථමයෙන්ම සෙවුවේ , කිහිලි ගසා ගෙන සිට බිම වැටුන පොතයි. එය පොත් අල්මාරියේ යටට විසි වී තිබුනි. පොත ගැනීමට බිම දණ ගසා ගත් මට ,සීරී තුවාල වී ගිය දණිස් වල වේදනාව දැනෙන්නට විය. පොත අල්මාරියේ එහා බිත්තියේ මුල්ලටම විසි වි ගොස් තිබුන නිසා අත දිග මදි වූයෙන් වේදනාව අමතක කර තව තවත් අතැඟිලි දික්කළෙමි. අවසානයේ පොතේ දාරය අතේ ගැටෙන්නට විය. දහිරිය දමා පොත එළියට ගන්නවාත් සමඟම.

“ පොඩ්ඩියේ , හොයා ගන්න බැරි වුනා ද දරුවෝයි “ පවසමින් ම මාමා වාඩි වී වුන් පුටුවෙන් නැගිටිනු මට ඇසුණි. ජංජාලයයි.

“ හරි හරි මාමේ , මේ ගේනවෝ , ගේනවෝ “

මේසය උඩ තිබූ තීන්න බෝතලය අතට ගත් කුලප්පුවට බිම නොවැටී , නොබිඳී බේරුනේ අනූනමයෙනි. පොත සඟවා ගත් මම , තීන්ත බෝතල මාමා වුන් පුටු ඇන්දේ තබා , ක්ෂණයෙන් ආපසු හැරුනේ , යළිත් යමක් පවසන්නට හෝ අසන්නට පෙර ,අන්තරස්දාන වන අදහසිනි. පසුපසින් පැමිණී නැන්දාව මා ඒ මොහොතේ නොදුටු අතර , තේ බන්දේසියක් ද රැගෙන පැමිණී ඇගේ ඇඟේ මා හැපුනේ නොසිතූ ලෙසිනි. සලාං සද්දයත් සමඟම ඇයත් මාත් තේ වලින් නැහැවෙන්නට ගොස් මගේ වාසනාවට බේරුණ නමුදු , නැන්දා මට දොස් පවසන්නට වූවාය.

“ මෙහෙමත් කඩි කුලප්පුවක් හැබෑට, දැන් පොඩි කෙල්ලෙක් නෙමෙයි ළමිස්සියෙක් නේද ? “ ඇය තවත් මොනවාද පවසන්නට ගියත් , මාමා මැදිහත් වන්නට ඇත.

“ මෙයැයි තමයි ඒ ළමයව හුරතල් කරල නරක් කරන්නේ “ මුළුතැන් ගේ දෙසට යන ඇගේ හඬ මට යන්තමින් ඇසුණී.

පුටුවෙන් වැටෙද්දී  නලලත වැදෙන්නට ඇත. කණ්නාඩියෙන් පෙනෙන මාගේ ප්‍රතිබිම්බයේ නලලත නිල් වී තඩිස්සි වී තිබුනි. දණිස් හම ගොස් දැනෙන දැවිල්ල සමනය වූයේ අත් අකුරින් ලියූ මාමාගේ ස්වයං චරිතාපදානය කියවීමේ දී සිතට දැනුන දැවිල්ල ඊට බොහෝ වැඩි වූ බැවිනි.

පොතේ පිටුවක් පිටුවක් පාසා කියවීමේ දී මා සිත තුල මහා ප්‍රතිරූපයක් මෙන් නොසැලී වුන් මහා පුරුෂයා ක්‍රමයෙන් දියවෙමින් යන්නට විය. පොත කියවා අවසන් වන විට , මාමා වෙනුවෙන් ම‘සිතේ ඉදිවී තිබූ වේදිකාව ද ගිනි ගෙන පිළිස්සෙමින් තිබුණි.

එහි වූයේ ඔහුගේ අනියම් පෙම ගැනයි. ඇගේ රූපය , ඔහුගේ සිතේ සදානුස්මරණිය ලෙස තැන්පත්ව ඇති බැව් පුල පුලා ලියා තිබුණි. ඇය හමුවීමට ඔහු තවමත් යන බවට සාධක රැසක් එහි අඩංගු විය. ඇය කුසේ ඔහුට දාව දරුවෙක් ද පිළිසිද ගෙන තිබුනි. තව තවත් බොහෝ ආදර කන්නලවු එහි අඩංගු විය.

ඔහු වෙනත් පෙමක පැටලීමේ කිසිදු වරදක් , අද වැඩිහිටි වියේ සිටින මා නොදකිමි. නමුදු , ඔහුට තම පණ දෙවෙනි කර ගෙන ආදර සෙනෙහස පුදන ගැහැණියක රැවටීම කෙතරම් නම් පවක් දැයි අදට වුව මට සිතේ. වරද එය නොව , ඔහු පිළිබඳව මා සිතේ මවා ගත් ආකාරය සහ ඔහුගෙන් මා පළීගත් වැරදි ආකාරයයි.

ඔහුගේ පොත් අල්මාරියෙන් ගත් සෑම පොතක්ම පාහේ , මම නැවත ගත් තැනින්ම තැබූව ද , ඔහුගේම අකුරින් ලියන ලද මේ පොත පමණක් මා සන්තකයේ තවම ඇත.

එදින සිට මා වෙනස්ම ආකාරයක කෙල්ලක වූයෙමි. දඟකාර කඩිකුලප්පුව අදුරුදන් විය. මාමා සමඟ ගිරවියකසේ දෙඩූ දෙඩවිල්ල නතර විය. එය ඔහුගේ සිතට තද බල වේදනාවක් ගෙන දුන් වග මා දනිමි. ඔහු වේදනාවට පත්වනවා දකින මා සිත ඔහුගේ සෝකයෙන් උදම් වෙයි. ඔහුට තව තවත් රිදවනු වස් ඔහු එපා කියන දේ කිරීමටත් මුරණ්ඩු ගති ගුණ වැඩි දියිණු කර ගැනීමටත් පියවර ගත්තෙමි.

“ මැණිකේ , පොඩ්ඩි වෙනස් වෙලා. “

“ඔහෙට පිස්සු , දැන් ඒකී පොඩි දැරියක් නෙවෙයි නෙව, ඔහෙ ළඟට වෙලා හුරතල් වෙන්න බැහැ දැන් , තව ටික දොහකින් පොඩ්ඩි දීගෙක ගියාම , ඔහෙයි මායි කොහොමත් තනිවෙනවා “

ඉන් පසු මට ඇසුනේ , ඔහු කුඩා දරුවකු මෙන් ඉකිබිඳිමින් හඬන හඬයි. මගේ හදවත ද ඉකිලන හඬ මට ඇසුණූ නමුත් , ඔහු කෙරේ ශෝකයක් නූපදිනු වස් , ඔහු කෙරේ වූ ක්‍රෝධ සිත තව තවත් දැඩිකර ගතිමි.

එහෙවු යක්ෂණියක වූ මා අද විදවන තරම දන්නේ නම්. . . . . . .

අවසන ,මගේ මාමා අකාලයේම මියැදිනි. ඔහුගේ අවසන් මොහොතේ දී ද ඔහුට උවමනා වූයේ මාගේ මේ වෙනසට හේතුව දැන ගැනීමටයි. ඔහුගේ සිත සනසනු වස් එක වචනයක් හෝ දෙඩීමට මා අසමත් වූ සැටි.

ඔහු , ඔහු සතු සියල්ල , මා නමට ලියා පිළිවලක් කර තිබ්බේ නැන්දා ට ප්‍රාණ භූක්තිය සරි කරමිනි. එහෙත් මා සිත තුල ඔහු කෙරේ අබ ඇටයක තරමින් වත් අනුකම්පාවක් ඉපදුනේ නැති හැටි.

ඔහුගේ මුදලින් , ඔහුගේ ශ්‍රමයෙන් , කොටින්ම ඔහුගේ පිහිටෙන් මා දැන් සමාජය පිළිගන්නා තනතුරක් හොබවමි. එක් දිනක්. . . . . . . . මා සොයා කාර්යාලයට පැමිණීයේ , ඔහු හා සම වයසේ යැයි සිතිය හැකි මහතෙකි.ඔහු මා සිත සී සි කඩ කඩා දැම්මේය. බිම හැපී හැපී වැළපෙන්නටත් මාමා සොයා ගොස් සමාව අයදින්නටත් නොහැකිව , මා ගැනම උපන් පිළීකුළෙන් අද මා පසුවන්නේ ඒ අමුත්තා පැමිණි ගිය පසුවයි.

“ මිස් ද අපේ කළු මහත්තයගේ පොඩ්ඩී, ? කළුමහත්තයගේ ගෙදර ගිහින් මං ආවේ. හිතට හරිම කණගාටුයි. .තව කාලයක් ඉන්න තිබ්බ රත්තරන් මනුස්සයෙක් , පේන විදිහට මොකක් හරි හිතේ අමාරුවකින් ඉදල තියෙන්නේ. අකාලයේ මැරෙන්න ඕනි මං වගේ අය ඉන්දැද්දි , ඒ වගේ මිනිස්සු ලෝකෙන් නැති වෙන එක හිතට වේදනාවයි.“ ඇසේ නැඟුන කඳුළු බිදක් පිසලන ගමන් , මදකට කතාව නැතර කළ ඔහු , දීර්ඝ සුසුමක් හෙලා යළිත් කතාවට අවතීර්ණය විය.

“ මගේ වටිනා යමක් , මම කළු මහත්තයට දීල තිබ්බ පරිස්සමි කරන්න, මායි කළු මහත්තයගේ හාමිනේයි ,පොත් අල්මාරිය පුරාම හෙවුව සොයා ගන්න බැරි වුනා. කළු මහත්තය ළඟ ඇති මගේ චිත්‍ර පොතක්, තව . . . . කළු මහත්තය කීව මගේ ජීවිත කතාව ලියනව , කියවල බලල හොඳ නම් පබ්ලිෂ් කරමු කියල. කළූ මහත්තය හොඳ විශ්වාසවන්ත යාළුවා. මං දන්න තරමින් , මගේ චිත්‍ර පොත පෙරලලවත් බලන්නෙ නැතිව ඇති. ඒ පොරොන්දුව පිටයි මම ඒ පොත කළු මහත්තයට දීල ගියේ. ජීවිත කතාවත් ලියල ඉවර බව තමයි කීවේ.කළු මහත්තයට හොඳට  ලියන්න පුලුවන් . . . .  . . හිතේ ආසාවක් තිබ්බ ඒ පොත පළ කරන්න . . . . .

ඔහු තව තවත් දේ දොඩවයි. . . .  මා වටා මුළු ලෝකයම භ්‍රමණය වන්නට විය. යක්ෂ කෙල්ල උඹ නම් මහ නපුරු යක්ෂණියක් . බාබාගයා යකිණිය පවා මා හට සාප කරන හඬ මට ඇසුනි.




ඉතින් . . .  
මම තවමත් සොඳුරු බව ඔබ සිතනවා ද? 
මම 
෴ සොසී෴

I completed my 666 post today
'' Thank You ''


ලැබෙන ඉසිඹුවක , සොඳුරු සිතට ගොඩ වදින , ඔබට මාගේ ස්තූතිය . . . . .

Tuesday, July 26, 2011

෴ පිළිකුල 5 කොටස ෴

                                           තෙවන දිගහැරුම

ජනේලයක් වත් නොඅරින ඒ අඳුරු කාමරයේ පොත් අල්මාරියෙන් මා පොත් සොයා ගන්නේ දොර පියන් දෙකට සාදා ඇති කාමරයේ දොරේ, එක පලුවක් පමණක්  ඇරී ඇති දොර අතරින් වැටෙන මද ආලෝකය උපකාරී කර ගෙනයි. විදුලි බල්බය වත් නොදල්වන්නේ මෙහි ඇති ගුප්ත ස්වරූපයට මා ආසා කරන නිසා වන්නට ඇත. ආරම්භයේ  දී මෙය ඉතාම අපහසු කර්තව්‍යයක් වුව ද ටික දිනක් ගත වීමෙන් පසුව හිතේ මිම්මෙන් පොත් තෝරා ගන්නටත් , කළින් තෝරා ගත් පොත් නිසි තැන තබන්නටත් මම හුරුවීමි.

විශාල ලී පොත් අල්මාරිය , නැදුන් හෝ කළුවර ලීයෙන් සාදා , කළුපැහැය ගල්වා තිබී යැයි මට සිතේ , බිම සිට අඩි දෙකක් පමණ ලීයෙන්ම වැසුන කුඩා දොර දෙකේ ලාච්චු දෙකක් වූ අතර , විවෘත කළ නොහැකි ලෙස අඟුළු දමා තිබුනි. ඉන් පසුව තිබුනේ වීදුරු යොදා පියන් දෙකට සාදන ලද දොරවල් සහිත පොත් රාක්කයයි. රාක්ක කිහිපයක් පැවතිය අතර මා සැමවිටම කියවීමට ගත්තේ මගේ ඇස් මානයේ වූ රාක්කයේ පොත් පමණි.


ඉන් ඉහල රාක්ක වල තිබූ පොත් කෙරේ මගේ අවධානය මෙතෙක් යොමු නොවූයේ , තවමත් කියවිය හැකි රසබර පොත් ඇස් මට්ටමේ විරල නොවූ හෙයිනි. නමුත් , එදින මේ පාළු නිවස යකුන් නටන සොහොන් පිට්ටනියක් මෙන් පාළුවට ගොස් තිබුනේ , මාමාත් නැන්දාත් මොකක් හෝ වැදගත් රාජකාරියකට නිවසින් පිට ගොස් තිබු නිසාය. මගේ තනියට කිසිවකු හෝ නවතා යමු යැයි මාමා යෝජනා කළ විට දී ,

“ ඒ යක්ෂ කෙල්ලට , මේ පළාතේ යක්කුත් බයයි “ යැයි නැන්දා පවසනු මගේ සවනට වැටුනි.එහෙයින් නිවසේ වුයේ කුමාරියක් මෙන් ලස්සන , යක්ෂණියක් මෙන් නපුරු මම පමණි.

ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගතයුතු යැයි මගේ යක්ෂ මොළයට වහා සිහිවිය. මාමාගේ ලියන මේසයට යා කර තිබූ පුරාණ ලී පුටුව , පොත් කැබිනට් එක සමීපයට ගත් මා එයට නැග්ගෙමි. පොත් රාක්කයේ ඉහලම තට්ටුවට ළඟා වූයෙමි. මාමා කඩවසම් උස මහත දේහයක් ඇති පුද්ගලයෙකි. ඔහු මෙන් උස යෑමේ ආසාව ද මා කුඩා කළ සිට ම‘සිත පුරා පැවති එක් සිහිනයක් විය.

“ කෙල්ලො උස ගියහම මඟල් හොයන්න අමාරුයි. පුලුවන් තරම් මිටි වුනාට කාරී නැහැ. මා උස ගැන වද වීමේ දී නැන්දා බොහෝ විට පැවසූ හැටි ක්ෂණයෙන් මගේ මතකයට විත් ගියේය.
පොත් අල්මාරියේ ඉහලම රාක්කයේ වූයේ ඉතාම සීමිත පොත් ප්‍රමාණයකි. පොත් රාක්කය උස වූ හෙයින් , කාමරයේ ඇර තිබූ එක් දොර පලුවකින් පමණක් පෙරී එන ආලෝකයෙ පොත් තුල වූ දේ පැහැදිලිව දැකීමට ප්‍රමාණවත් නොවීය.

නැඟී සිටි පුටුවෙන් බට මා කාමරයේ විදුලි ආලෝක ස්විචය සොයා එය දැල්වූයෙමි. “ අපෝ කාමරයක හැටි “ ප්‍රථම වරට ඒ අඳුරු ගුහාවේ සිරි අසිරි විද විද සිටිමට මට වේලාවක් නොවූයේ , පිටතට ගිය වුන් කොයි මොහොතක හෝ පැමිණිය හැකි නිසාය.

නැවතත් පොත් අල්මාරියේ ඉහලම රාක්කයට මා උස් වූයෙමි. අතින් ලියූ කවි පොත් රැසක් ඒ රාක්කය මත විය. සටහන් පොත් දෙක තුනක් ද , විචාරයන් වැනි වූ පොත් දෙකක්  ද , විශාල කොළ සහිත බදින ලද චිත්‍ර පොතක් ද ඒ තුල තිබුනි.

එක් සටහන් පොතක් තුල වූයේ අත් අකුරින් ලියන ලද නවකතාවකි. එය ගෙන කිහිලිගන්නා ගත් මා අනිත් අතින් චිත්‍ර පොත පෙරලන්නට වූයේ සිරුරේ සමබරතාවය රැක ගැනීමට ද වෙර ගන්නා ගමන්ය.

“ අපොයි දෙයියනේ , මෙහෙමත් ච්ත්‍ර “

පිටුවෙන් පිටුව පෙරලන් යද්දී , සිරුර සීතලෙන් ගල් වන්නට විය. ඒ සෑම පිටුවකම පාහේ වූයේ ,අතිශය රූමත් කාන්තාවන්ගේ නිරුවත් පින්තූරයි. ඒ සියල්ලම පාහේ අතින් ඇඳ තිබු අතර , චිත්‍ර කොළයේ කෙලවරක ඉතාම කුඩාවට දිනය සමඟ අත්සනක් යොදා තිබුනි.

ඉතාම ලස්සන කාන්තාවන් කිහිපදෙනෙකු නොව , ඒ ඉතාම ලස්සන එකම කාන්තාවකගේ පින්තූර රැසක් බව දෙවන වරට ද චිත්‍ර පොත නිරීක්ෂණයේ දී මට හඳුනා ගත හැකි විය.


පිටතින් ඇසුනි කටහඩක් නිසා කලබල වූ මා වුන්තැන්ද අමතක ව ගොස් බිම ඇදන් වැටුනේ නොසිතූ ලෙසිනි. පිටත කටහඩ ළං ලංව ඇසේ , බිම ඇනුන දණිස් දෙස බැලීමට වේලාවක් නැත. වේදනාව පසක තබා , දණිපණි ගා නැඟිට ගත් මම , පුටුව ඇද මේසය ලගින් තබා , පොත් අල්මාරියේ ලි දොර තදින් වසා , විදුලි ස්විජය ක්‍රියාවිරහිත කොට කාමරයෙන් එළියට පැන ගත්තෙමි.

“ කළු මහත්තයා , කළුමහත්තයා “

යන්තම් ඇති , ඒ මාමා හෝ නැන්දා නොව , මාමා දැකීමට පැමිණි මාමාගේ යාළුවෙක් හෝ අසල්වැසියෙකි. ඔහු සමඟින් කතා කර ඔහු පිටත් කර යවා , ඔහු නොපෙනී යන තෙක් මා බලා වුන්නේ , අත පය වූ තුවාල වල වේදනාව හිත පුරා විඳිමින් කෙදිරි ගාමින් හැඬිමට අවස්ථාවක් උදාකර ගැනීමටයි.

අහෝ කරුමෙක මහත , මා ගෙතුලට යන්නට සූදානම් වුවා පමණි. යළිත් කටහඬවල් කිහිපයක් දුර සිට ළං ළංව මා ලුහු බැද එන හඬ ඇසී මා හැරී බැලිමි.

මීට මොහොතකට පෙර ආ ආගන්තුකයා සමඟින් නිවස දෙසට පැමිණෙන්නේ මාමා සහ නැන්දාය. තුවාල ඇදුම් දෙන වේදනාව පරයා මා සිතට වේදනා දැනෙන්නට වූයේ , මා කිහිලි ගන්නා ගෙන සිටි පොත , මා ඇද වැටීමේදි කාමරයේ බිම වැටුන බැව් සිහිවීමෙනි.

ඉතින් , මහා පිළිකුල් දායක හැඟුම් රැසක් ම‘සිත ගෙන එන කතාන්දරයක් රහසේ සඟවා ගෙන ඒ පොත , අර අඳුරු කාමරයේ කොහේ හෝ මුල්ලක තිබුනි.
ඒ කතාවත් සමඟින් මී ළඟ කොටසින් ඔබ සොයා එන්නටත් , ලබන කොටසින් මේ පිළිකුල අවසන් කිරීමටත් සිතා, තැවුන රිදුන තුවාල සහ වේදනා දෙන සිත සඟවා ඔබෙන් සමුගන්නා.
මම
෴ සො.සී ෴

Monday, July 25, 2011

෴ පිළිකුල 4෴

මෙසේ ගෙවී ගිය මගේ ජීවිතය එක් දිනක් හිමිදිරියේ දී හදිසියේ ම වාගේ වෙනස් විය. මුඵු වලව්වම එකළු කරමින් සාර සොබාවට පිපි පින්න මලේ සුවඳ මුළු ගමම සුවඳවත් කරන්නට විය. එදින මගේ තාත්තාත් අම්මාත් බාල සහෝදර සහෝදරියන් සියළු දෙනාමත් වලව්වට කැදවන් එන ලදී. මගේ දුප්පත් තාත්තා වෙත මා වෙත ලබා දිමට කිසිත් නොමැති නිසාදෝ ඔහුමා දෙස බැලුවේ, අන්සතු උයනක පිපී දිලෙන රුවති මලක් දෙස බලනු නියාවෙනි.

ඔහු මට දුන් පැහැයත් , ඔහුගේ මුරණ්ඩු සහ සෘජු ගතිගුණත් අන් සැම මට දුන් රන් රිදී ආභාරණ තෑගී බෝග වලට වඩා වටිනා බව මම ඔහුට කෙසේ පවසන්න ද? කොටින්ම , මා සහ මාමා අතර පවතින සමීපබව මා සහ පියා අතර නොතිබුනි. සැබෑවටම මම මගේම පවුලේ උදවියට ආගන්තුක එකියක වූයෙමි.

අදටත් මා දෙකනේ දිලෙන්නේ , මාමා එදින මට පැලැන්ද වූ තරු අරුංගල් ජෝඩුවයි.ගෙල බැඳි මාලයත් ඔහු එදින මට ලබා දුන්න ද, එය අද මා සතු නොවන්නේ ඔහු හා බැඳි පිළිකුළ නිසාවෙන් මා එවා ගලවා විසිකල නිසාවෙනි. වාසනාවට හෝ අවාසනාවට කණ්පැළඳි තරු අරුංගල් එදින අමතක වූ නිසාවෙන් අද ඔහු සිහිවීමට එය මා සතු වී පවතී.

හම පැහැ වැටී ළමැද උස් වී , උකුල පළල් වී වෙනදා නොමැති ලතාවක් මා සිරුර අරක් ගත් දී , කල්පට මා සිප ගැනීමට සිතීම අරුමයක් නොවන්නට ඇත. නමුදු මා පෙර ලිපියක සඳහන් කළ පරිදි මගේ ඝෝෂාවට බිය වූ ඔහු වෙනදා මෙන් මා හා දොඩමළු නොවෙයි. මුහුණ බලා කතා නොකරයි. මා කුඩා කල සිටම මට සිටි එකම මිතුරා ද මට අහිමි විය.

ශරීරයෙන් පමණක් නොව සිතුම් පැතුම් වලින් ද මා බලා සිටිද්දීම වෙනස් වන බැව් මටම දැනෙන්නට වූයේ මේ අවදියේ දීය. වෙනදා නැන්දා කෑගසා ළඟට ගෙන හිස පීරනකම් හිස නොපීරන මම , දවසට දෙතුන් වර හිස පීරා හැඩ බලන්නට වූයෙමි. නැන්දා මාගේ කොණ්ඩය පීරන හැටි මගේ සිත් නොගත්තේය.කණ්ණාඩියේ පෙනෙන මාගේ අපූරු රූපය වසිලිස්සාටත් වඩා ලස්සන නොවේදැයි මට සිතුනි.

සුරංගනා කතා පොත් වලින් නොදැනිම වෙන් වූ මා , මාමා නැති අල්ලපනල්ලේ  , ඔහුගේ අඳුරු කුටියට රිංගා ලෝකයේ රහස් සෙවීමට වෙහෙසුනෙමි. ඔහුගේ අගනා ලී පොත් අල්මාරිය කිසිදු විටක අඟුලු නොදමා තිබුන ද, එහි පොත් තිබූ පිළිවල නොවෙනස්ව පවත්වා ගැනිමට මා වෙහෙසුනෙමි. ඔහුට හොරා ඔහුගේ පොත් අල්මාරියට අත පෙවීමට මා වෙහෙසුනේ ඇයි දැයි මට නොතේරේ. මේ කතාවට පිළිකුළ යැයි නම් තැබීමට හේතුව ද එයම වන්නට ඇත. මා මාමාගෙන් අසා , ඔහු සතු පොත් කියවිමට ගියේ නම්, මට ලැබෙන්නේ ඔහු කැමැති පොත මිස , මා කැමැති පොත් නොවන වග මම ඇදහූ නිසා , මෙසේ හොරාට පොත් කියවීම ආරම්භ වන්නට ඇත.


එතකුදු නොව, ඉරු බසින සැන්දෑයාමයක , වත්ත පහළ නිස්කලංක මායිමේ දි ,අහඹු හා හදිසි ලෙස කල්ප මා සිප ගැනීමත් සමඟම , මා සිතට දැනුන නොතේරෙන හැඟුමන් සමඟ මගෙන් වසන්වී පවතින රහස් රැසක් සෙවීමට මා තෝරාගත්තේ වැඩිහිටි ලෝකයා කියවන පොත පතයි.

ගුරු ගීතයෙන් ඇරඹි ඒ ගමන නිමා වූයේ මේ කතාවට මඟ කීවූ පිළිකුලෙනි.ගුරු ගීතය කියවා අල්තිනායි හා වෛරයෙන් බැඳුනෙමි. මළ ගිය ඇත්තෝ කියවා දෙවොන්දරා සං සමඟ උරණ වුනෙමි. එහෙත්. . . .  පොත් අතර වූ චරිත තුල ට සීමා වූ වෛරය , එයින් පිට පැන , ගෙදරම වුන් සදාදරණිය චරිතයක් වෙත එල්ල වේයැයි මා සිහිනයෙන් වත් නොසිතූ වෙමි.

ලොවහි රහස් සෙවීමට ගොස් නිවස තුල සිටින සදාදරණියන්ගේ රහස් එලිවන බැව් මා දැන සිටියා නම් , අඳුරු රහස් පිරි ඒ පොත් ගුලට මා කිසිදිනක නොයන්නෙමි.

ලොවෙන් වසන් වී , ලොවෙහි රහස් සොයන
මම
෴ සොඳුරු සිත෴

Sunday, July 24, 2011

෴ පිළිකුළ 3 ෴

පිළිකුල පළමු කොටසට මෙතනින්
පිළිකුළ 2ට මෙතනින්

නැන්දාගේ තරහ පිරි මුහුණ දුටු මා උන් තැනම ගල් ගැසිනි. මාමා ද මා පසුපසින්ම පැමිණ තිබුන බව මට වැටහුනේ උණුසුම් අතකින් මා හිස පිරි මදිනු දැනුන විටයි.මා හිස ඔසවා ඔහු දෙස බැලුවිට දුටුවේ පිට වීමට ඔන්න මෙන්න තිබූ සිනහව ආයාසයෙන් තද කරන් සිටින මාමාගේ රුවයි.

එයාට නම් හිනා , දැන් මං එපෑය මේවට උත්තර බඳින්න. මා දස අතේ පිළිතුරක් කල්පනා කළ ද සුදුසු යමක් ගලපා ගත නොහැකි විය. ඔන්න ඔහේ ඇත්තම කියනවා. අවසානයේ මා සිත සදා ගන්නවාත් සමඟම ඇසුනු නැන්දාගේ හඬින් මා නැවත කරළියට පිවිසෙයමි.

“ මොනා ද ළමයෝ මේ කරන වැඩ. මම ඔය ළමයට රෙදි කෑලි දීල තියෙනව නේද සෙල්ලම් කරන්න ගෝනියක්ම“

ඇය ඇඳුම් මසා ඉතිරිවන රෙදි කැබැලි එකතු කර සාදා ඇති පුංචි පොහොර ගෝනියට අත දික්කරමින් පැවසුවාය.

“ ඒත් නැන්දා , එයාට කොහොම ද පරණ රෙදි කෑලි වලින් ඇඳුම් මහල දෙන්නෙ. අනික ඔය රෙද්ද හරිම ලස්සන නිසා මං ඒකෙන් කෑල්ලක් කපා ගත්තෙ.ඔක්කම ගත්තෙ නැහැනේ. ඕකට ඉතින් ඔය හැටි කෑගන්න ඕනි යෑ “

“ එයා . . . කවුද එයා ? “

නැන්දාත් මාමාත් එකවරම මගෙන් විමසුවෝය.

“ මගෙ ලී බෝණික්කා “

 “ මොකක් කීව ළමයෝ “


“ ඔවු , අර වසිලිස්සට හිටිය වගේ ලී බෝණික්කෙක් , මම කල්පට කියල හදා ගත්තා. එයාට ගවුමක් මහන්නයි මම ඕක කැපුවේ “

“ වසිලිස්සා , ඒ කවුද ඒ, එහා ගෙදර ගෑණු ළමයා ද? “

“ ඔය ඉතින් නැන්ද දන්න තරම තමයි “ පවසමින් මා මාමා දෙස බැලූවෙමි.

“ හරි හරි මොනා වුනත් අයිනකින් කෑල්ලක් කපා ගන්න තිබ්බ නේද ? කිසිවැඩකට ගන්න බැරි විදිහට රෙද්ද මැදින්ම කපල දාලා “

“ හරි මැණිකේ , මං හෙට අලුත් රෙදි කෑල්ලක් ගෙනත් දෙන්නම් කෝ “

“ ඔවු ඉතින් , ඔයැයි මහ ඒජන්තනෙව“

වෙන්නට ගිය මහා කාලගෝට්ටියක් එතකින් නිමා වුවාද , රාත්‍රී ජාමයේ නැන්දා , මාමාගෙන් වසිලිස්සා ගැන විමසනු මට ඇසුනි. එය ඇසී මට සිතුනේ කාමරයේ බිම පුරා පෙරළි පෙරළි සිනා සීමටයි.

“ ආහ් මෙයා... කවුද වසිලිසා කියන්නේ , පොඩ්ඩිගේ යාළුවෙක් ද? “

“ හෙහ් හෙහ් , පොඩ්ඩි කීවා වගේ , ඔයා දන්න තරම තමයි. වසිලිස්සා කියන්නේ , මං පොඩ්ඩිට ගෙනත් දුන්න කතා පොතක ඉන්න චරිතයක් . ඒ කතාවේ හැටියට වසිලිස්සාට ඉන්නව කතා කරන ලී බෝණික්කෙක් “

“ අනේ මන් දන්නෙ නැහැ ඔයැයිට නම් විකාර. පොත් කියවල කියවල ඔහෙගෙ ඔළුව විකාරකර ගත්ත මදිවට අර පොඩි එකීගෙත් ඔළුව විකාර කරල තමයි ඔහෙ නවතින්නේ .ඔන්න මං නොකීවයි කියන්න එපා “

“ අමුතුවෙන් විකාර කරන්න දෙයක් නැහැ මැණිකෙ.ඒකිගෙ ඔළුව දැනටමත් විකාර වෙලා . . .හෙහ් හෙහ් . . .මැණිකේ කෝ මුණ බලන්න මයෙ මැණිකෙගෙ පොඩ්ඩක් “
ඉන් පසු මුළු නිවසම අන්ධාරය සහ නිස්කලංකබව වැළද ගත්තේ ය.

නැන්දා , මාමාත් එක්ක අමනාප වී වාගේය. හෙට ඉඩ ලැබුන හොත් නැන්දාට ඇසෙන්නට “ ලස්සන වසිලිස්සා “ කියවමියි මම සිතා ගත්තෙමි. ඒවා මගෙන් විය යුතු යුතුකම් නොවේදැයි මට හැඟුනි. කල්ප සාදා දුන් ලී බෝණික්කාට හාදුවක් දුන් මම , ඇය ව ද තුරුල් කරන් නිදා ගත්තේ , අද රාත්‍රියේ දීවත් ලී බෝණික්කිය මා සමඟ කතා කරනු ඇතැයි යන විශ්වාසය සිතෙහි දරා ගෙනය. එදින රාත්‍රිය පුරාම වසිලිස්සා සහ බාබායාගා යකිනය සමඟ මම ඔට්ටු ඇල්ලුවෙමි. ලී බෝණික්කිය ද සිහින පුරා මා සමඟ කතා කළ ද , හිමිදිරිය උදාවත්ම නිහඬ වත රකින්නේ ඇයි දැයි මම නොදනිමි. සමහර විට මා “වසිලිස්සා “ තරම් ලස්සන කෙල්ලක නොවන නිසා වන්නට ඇතැයි සිතා මම සිත සනසා ගන්නට වෑයම් කළෙමි.



ලී බෝණික්කාට තුරුළුව සිහින දකින
මම
෴ සොඳුරු සිත ෴

෴ පිළිකුළ 2 ෴



පිළිකුල - පළමු කොටසට මෙතනින් ...

මාමා සහ නැන්දා සමඟ මහා පාළු වලව්වේ ගෙවෙන ජීවීතය , පිටත මිනිසුන්ට පෙනෙන තරම් නීරස දෙයක් නොවීය. මා හට අවශ්‍ය සියළුම සැප සම්පත් ඒ වලව්ව තුල ඕනෑවටත් වඩා පැවැතීම මා සිත සතුටින් පුරවා ලන්නට සමත් විය. බාල සහෝදර සහෝදරියන්ගේ රණ්ඩු සරුවල් වලින් මිදී නිසංසලේ ගෙවෙන ජීවිතයට මා ඇළුම් කළෙමි.

මුළුතැන් ගෙයි වැඩපල වලට මා සහභාගී කර ගැනීමට නැන්දාට අවශ්‍ය වුව ද ,මාමා එය රිස්සුවේ නැත.

“ මැණිකේ , මම ඔය පොඩි එකීව ඇන්න ආවේ කුස්සියෙ වැඩපල කරව ගන්න නෙමෙයි ,ඒක මතක තියා ගත්තොත් හොඳයි “

දිනක් මා මුළුතැන් ගෙයි පොල් ගාමින් සිටිය දී එහි පැමිණි මාමා පැවසීය. පොල් ගැමට මා අකැමැති නමුදු , මුළුතැන් ගෙයි වැඩට සහය විමට කිසිදු අකමැත්තක් නැත්තෙමි. මගේ මව පවසන්නේ , යන තැනකට ණය නොවී කන බොන ලෙසයි.

“ පොඩ්ඩි , ඕව ඔහොම තියල මෙන්න මෙහේ එනෝ “
නැන්දාගේ මුහුණේ කිසිදු හැඟීමක් නැත. ම ඇය දෙසත් මාමා දෙසත් බලා පොල් බැය එතනම තබා නැගිට ආවෙමි. එදිනට පසුව යලිදු කිසි දිනක මා මුළුතැන් ගෙය දෙසට නොගියෙමි.නමුදු ඒ වෙනුවට මා ආසාවෙන්ම තෝරාගත් විකල්පයක් විය. එනම් ගෙය සහ මිදුල අස්පස් කර අතුගෑමයි. එය මට විනෝදය ගෙන දෙන්නක් විය.මහ විශාල වලව්වේ ඇතැම් කාමර නම් අතුගාන්නට දෙයක් නැති තරම් නිසා , ඒවා අතුගාන්නේ සතියකට හෝ දෙකකට සැරයකි.නමුත් මිදුල අතුගෑම නම් සිතට ගෙන එන්නේ සතුටකි. මල්ගස් , පලතුරු ගස් පීරමින් , කොළෙන් කොළේට අතුගෑමට සෑහෙන වේලාවක් ගත වෙයි.ඒ අතර තුර ඉන්නා සමණළයන්, කුරුල්ලන්, ලේනුන් ,කුරුමිණියන් එකිනෙකා වෙන්කර හඳුනා ගැනීමට තරම් හැකියාවක් ටික දිනක දීම හැකිවිය.

නමුත්, ඒ අතුගෑම ටද තිති තබන්නට සිදු වූයේ සිතුවාට වඩා කාලයක් ඒ සඳහා වෙන්වන නිසාය.

“ පොඩ්ඩී, මුළු මිදුලම අතුගාන්න ඕනි නැහැ. ඉස්සරහ එන පාර ටික විතරක් අතුගාහන් ,ඒ මදෑ “

මාමා , මගේ අතුගෑමට සීමා පැනවූයේ එලෙසිනි.

මා මෙහි පැමිණි ටික දිනකට පසුව මාමා මා එක්කාසු කරාන ගියේ මා කවරදාකවත් දැක නැති තරමේ පොත් ගොඩක් තිබූ සාප්පුවකටය. නානාප්‍රකාර පොත් අතර මගේ විශ්මය දවනව දෙනෙත් දුවන අතරේ , ඒ විස්මය තවත් වැඩි වුනේ මාමා පැවසූ දෙයිනි.

“ පොඩ්ඩී , කැමැති පොත් තෝර ගන්න “

ඇස් ගෙඩි දෙක , දොඹ ගෙඩි තරම් වී නලලත් වැසී යද්දී මාමා කළේ සිනාසෙමින් මගේ පිටට තට්ටු කිරීමයි.එදා මා තෝරා ගත් පොත් සියල්ල රැගෙන දීමට තරම් මාමා කාරුණික විය. එතරම් පොත් ගොඩක් රැගෙන බිල ගෙවිමට යාමේදී මා මාමා ගේ මුහුණ දෙස සීරුවෙන් බලා සිටියෙමි. එහි මද සිනාවක් මිසක , කිසිදු විටක කරදරකාරී හැඟීමක සේයාවක් වත් නොවීය.

පොත් ගෙදර ගෙනා පසු , ඒ එකින් එක ඔහු පෙරළා බලා ඉතා සතුටට පත්විය.

“ ආහ් පොඩ්ඩියේ , මල් හතයි නෙව තෝරන් තියන පොත් ටික “ ඔහු ඉතා සතුටින් එසේ පැවසීම මගේ හදතුල බුර බුරා නැඟි කම්පාව සංසිඳවීය.

එදින සිට දින කිහිපයක් යන තෙක් මිදුල අතුගෑම , හවසට මල් කැඩීම වැනි මගේ දෛනික රාජකාරි ඇණ හිටිය බව නම් නොකියාම බැරිය. පළමු වටය කියවා අහවර වූ වහා මම යලිත් පරණ පුරුදු රාජකාරී වලට අවතීරණ වුව ද දෙවෙනි හා තෙවන වටය ට ද කියවීම නොකඩවා කරගෙන ගියෙමි.

නමුත් නැන්දා දිනක් නොසිතූ ලෙස පරළ විය.

ඇය ඇඳුම් මැසීමට ඉතා හපනියක වූවාය. නිතර නිතර පාහේ නොයෙකුත් මාදිලියේ ඇඳුම් මැසීම ඇගේ විනෝදාංශය විය. ඇයගේ මෝස්තර නිරූපිකාව වූයේ මාය.එය මට වාසියක් මිසක කිසිදු විටක අවාසියක් නොවූයේ , ඇය මසන ඇඳුම් නිතරම නිරූපිකාව වූ මා හටම උරුම වීමයි.

“ පොඩ්ඩී , පොඩ්ඩී , පොඩ්ඩියේ මෙහෙ වර කෙල්ලේ “

දිනක් නැන්දා කෑගසු මට ඇසුනේ ආලින්දයේ බිම දිඟාවී වසිලිස්සා කියවමින් සිටින අතර තුරේය. මාමා , හාන්සි පුටුවේ දිගෑදී පත්තරය කියවමින් සිටියේය , මා ඔහුගේ පය පාමුල බිම ට වී වසිලිස්සා කියවූයෙමි.

ඇගේ ස්වරයේ වූ භයානක ගතිය ඉවෙන් මෙන් හඳුනා ගත් මාත් මාමාත් එකිනෙකාගේ මුහුණ බැලූවේ , වරද කරේ කවුරුන්ද යන්නට හඳුනා ගැනීමට මෙනි.

දෙවන වරටත් උච්ච ස්වරයෙන් හඬ තලන නැන්දා කෙරේ මා දිව ගියෙමි.

“ එනව නැන්දා , මේ එනවා “

මා ඇගේ කාමරය වෙත යද්දී ඇය සිටියේ මහන මැෂිමේ පුටුවේ වාඩී විය. ඇගේ ඉහලට එසවුන දෑතට මැදී වී තිබුනේ මාමා ඇයට අලුතින්ම ගෙනැවිත් දී තිබුන ලා නිල් පසුබිමේ පුංචි තද නිල්  මල් වැටුන චීත්ත රෙද්දයි. ඇය එම චීත්තය වමතින් හා දකුණතින් දෙපසට ඇද ඉහලට ඔසවා ගෙන සිටි අතර රෙද්දේ මැද හරියේ වු විශාල හිඩැසක් අතරින් තරහින් පිරී රතු වී ගිය ඇගේ සුදු මුහුණ මම දුටිමි.

විශාල පරාසයක් කපා දැමූ චීත්තය තුලින් පෙනෙන ,
නැන්දාගේ සුදු  මුහුණ දෙස ,බලා සිටින .......








මම
෴ සොඳුරු සිත ෴

මෙන්න තුන්වන කොටසට යන්න පාර

Saturday, July 23, 2011

෴ පිළිකුළ ෴

සුතැවීම තරම් මිනිසාට ලැබී ඇති වෙනත් දඬුවමක් නොමැති විත්තිය , පසුතැවීම උරුමකරගත් එකියක ලෙස අද මා අත්දකින සත්‍යයකි. නොපහන් බවත් , නොපනත් කමත් , දැඩි පිළිකුළත් තමා විසින්ම තමා වෙතම එල්ල වෙද්දී , ජීවත් වීම තරම් විදවීමක් ද නැත්තේය.තමා අකැමැතිම , පිළිකුල්දායකම යමක් , තමා සමඟ යන යන තැන රැගෙන යැමට සිදු වීමත්, ශරිරය ඉතාම කුඩාම අංශුව තෙක් විශ්ලේශණය කළද , එම පිළිකුල් සහගත ඉඳුරන් සොයා ගත් නොහැකි විමත් දඬුවම තව තවත් දැඩි කරයි.

මගේ කුඩා කල ගෙවී ගියේ තමුන්ගේ අය අතර නොවූව ද, තමුන්ගේ අයටත් වඩා සුන්දර මිනිසුන් අතර යැයි මා සිතා වුන්නෙමි. කලකදී එම සිහිනය බොඳ වූවද , තවත් කලක දී ඒ සිතුවිල්ල සැබැවක්ම බව පසක් වන විට , මා මටම පිළුකුල් වි හමාර විම කෙතරම් සරදමක් ද?

ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත් වූ පසුව , මා තමන්ගේ අයගෙන් දුරස් වූයෙමි. නමුදු ඒ දුරස් විම , මසිතට රැගෙන ආවේ සතුටුදායි හැඟීමකි.ගමෙන් මෙන්ම ඒ පළාතෙන් ද සමුගත් මා නතර වූයේ ලොකු මාමාගේ නිවසේය.වලව්වක් වන් වූ ඒ සුවිසල් නිවස තුළ පිරී පැවැති මූසල බවට මා ආදරයෙන් බැඳුනෙමි. නිතරම ජනේල වසා දමා ඇති ලොකු මාමාගේ කන්තෝරුකාමරය මා සිත් ගත් කළුවර ගුහාව විය. නැන්දා සුන්දර නිහඬ බිරිඳක් වූව ද, ඇය සොඳුරු මවක් කිරිමට තරම් දෛවය කාරුණික නොවීය. එහි එක් ප්‍රතිපලයක් ලෙස සිදු වූයේ මාමාගේ බාල සහෝදරියගේ වැඩිමහළු දක්ෂ දියණිය වූ මා ගේ පැමිණිමයි.

විශාල වත්තක් මධ්‍යයේ පිහිටි විශාල නිවස , සියළු අතින් මටම ගැලපෙන පරිසරයක් ගෙන හැර පෑවේය. පාසල් නිවාඩුවට සිරියාවෙන් පිරුණ මාගේ සැබැ කුඩා නිවස වෙත ගිය විට මගේ අම්මා නිතර අසන්නේ එකම එක පැනයකි.

“ ආහ් ලොකු ළමයෝ , ඔය ළමය අර මූසල වලව්වේ ඉන්නේ කොහොම ද? “

ඇයට සිනාවකින් සංග්‍රහ කරන මට , ඇගේ වත බදා ඇගේ පිරුණ කම්මුල් සිඹිමට ඇති ආසාව යටපත් කර ගන්නට වෙන්නේ , ඇය වටා නිතරම රොක් වි සිටින , මගේ බාල සහෝදර සහෝදරියන් නිසාය.

ක්‍රමක්‍රමයෙන් මා වැඩිවිය පත්වීමත් සමඟම , පාසල් නිවාඩුවට  බාල සහෝදර සහෝදරටින් වට කර ගෙන සිටින මගේ මවගේ‍ ,නිවස බලා යැමද නවතින්න විය. ලොකු මාමාගේ සිතට එය ගෙන දුන්නේ සතුටකි.ම‘සිතට ගෙන ආවේ සහනයකි.

නැන්දා මා සමඟ මේ වසර ගණනාවටම කතා කළ වචන ගනන පිටු හතලිහේ පොතක ලිවීමට ද මදි තරම්ය. මාමා ද එසේම වුවත් , ඔහු මා සමඟ කතා කළේ වචන වලින් නොවීම විශේෂත්වයකි. 


දිනපතා පාහේම ඔහු රැගෙන එන පත්තර සහ නොයෙක් සඟරා විශාල ආලින්දයේ බිම එළා ගනිමින් මා කියවමි. මාමා ද ඔහුට පමණක් ම අයත් හාන්සි පුටුවේ වාඩි වී පිටු එකින් එක කියවන්නේ අප දෙදෙනාම එක ලොවක දොඩමළු කරවමින් යැයි මට සිතේ.

මේ පුරුද්ද කෙතරම් නම් දුර දිග ගියා ද කිව හොත් , පත්තර සහ සඟරා කෑම මේසයට ගෙන යෑමේ පුරුද්ද ආරම්භ කිරීමට මට සිදු විය.

“ ළමයෝ , කෑම කන වෙලාවට පොත් පත්තර ගේන්න එපා මේසෙට, ආයෙ මම කියන්නෙ නැහැ.“

කැම මේසයේ හිමිකාරිත්වය දරන නැන්දා ගේ වචන ගණන් නොගෙන සිටිය ද, දිනක් රාත්‍රී කැම මේසයේ දී ,මේ කතාව බොහෝ දුර දිග ගියෙන් , එදා රාත්‍රියේ මා නිරාහාරව පසු වූයෙමි. රාත්‍රිය පමණක් නොව , පසු දින උදයේ ද නිරාහාරව සිටියෙමි. එදින රාත්‍රියේ දී කියවන යමක් ඇතැතිව කැම මේසයේ මා යලිදු දැකිය හැකි වු අතර ඉන් පසු කිසිදිනක කිසිවකු වත් මාගේ කෑම ගැන හෝ පොත් කියවීම ගැන වද වූයේ නැති.


යහළු මිතුරු ඇසුර ඉතාම සීමිත වු අතර මා සමඟ පාඩම් කිරිමට හෝ පැමිණෙන කිසිම යෙහෙළියක දිනකට දෙකකට වඩා පැමිණෙන්නෙ නැති වග තේරුම් ගත් මා ඒ ගැන සිතා දුක් නොවූයෙමි.

හවසට හවසට වත්තේ ගහක් ගහක් ගානේ යන ගමනට නම් නැන්දාගේ ඥාති  පුත්‍රයකු වන කල්ප නොවරදවා හවුල් වන්නේ , ඔහුද මේ සමිපයේම ජිවත් වන නිසා ය.


මල් , හිඹුටු , දම් ,ඇඹුල් පේර කොතරම් කැඩූවද හිඟයක් නොවේ. නමුත් කල්පගේ ගමන ද නතර විමට ඒ හැටි කාලයක් ගත නොවූයේ මා ඔහුව තර්ජනය කර බිය කළ නිසාය. තර්ජනය නම් සුළු පටු එකක් නොවන්නට ඇතැයි මට සිතුනේ , ඒ තර්ජනයෙන් පසු ඔහු මාමාගේ නිවස යැම් ඒම් සීමා කළ නිසාය.කලක් නොපැමිණම සිටිය ද , නැන්දාගේ සෙවීම් බැලීම් නිසා විටින් විට ඔහු නැවත යන්න එන්නට වුව ද, ඔහු මා හට හෝ මාමා හට කෙලින් මුහුණ දි කතා කළේ නැත. ඔහුගේ නොපැමිණිමට මුල මාගේ නොහොබිනාකමක් වන්නට හැකි බැව් නැන්දා ,මාමා සමඟ පවසනු මාගේ කණට වැටුණි. නැන්දාට හොඳ කල්පය. මා මුරණ්ඩු අකීකරු කෙල්ලක වූයෙමි.

තර්ජනයට හේතුව වූයේ, දිනක් වත්තේ ගස්ගානේ යමින් සිටි අප දෙදෙනාගේ ක්‍රියාකලාපය වෙනස් කිරිමට ඔහු පියවර ගැනීමයි. එදින ඔහු වෙනස් බැව් මට තේරුම් ගිය ද , හදිසියේම ඔහු මා සිපගැනීමත් සමඟම සියල්ල උඩුයටිකුරු විය.

මාමාට මේ බැව් කියන බවත් , මනමාල පිස්සුව හිසට ගසා ඇත්නම් විවාහයක් කර ගන්නා ලෙසත් , නැවතත් මෙවැනි වැඩ කිරිමට හෝ මා සමඟ ගමන් බිමන් යැමට නොපැමිණෙන ලෙසත් පවසමින් “වලත්තයා“ යැයි මහ හඬින් මා ඔහුට බනින්නට වූයෙමි. ඔහු බිය ගත් අතර ගස් කොළ අතරේ ගී ගයමින් සිටි කුරුළු කොබෙයියන් මගේ හඬට බියපත්ව පලා යන්නට විය. සරම් ඔඩොක්කුවේ බහා තිබුණු දම්, හිඹුටු , සහ නොයෙක් මල් වර්ග රැසක් එතනම බිම හලා පාගා දැමූ ඔහු කිසිවක්ම නෙදොඩා පසු නොබලා දුවන්නට විය.

ඉන්පසු ඔහු නොපැමිණි අතර , නමුදු මා තනිවම දම් පඳුරු ගානේ ගැටීම නතර කලේ නම් නැති, එහෙත් , කුරුළු කොබෙයියන් මා දුටු විට පලා යන බව මට හැගෙන්නට විය, වෙනදා තරම් දම් හිඹුටු ,මල් හට නොගන්නා බව මට පෙනෙන්නට විය. ඔහුගේ පුංචි හාදුව , මහාලොකු වලත්තකමක් ලෙස දැකීම ගැන මා කම්පා වුනෙමි.

කෙසේ වුවත් කතාව ඔහු ගැන නොවේ , .......... මා හට මලකට මෙන් සැලකූ මාමා ගැනය, සුන්දර මිනිසකු ගැනය'.
තවත් කොටසක් සමඟින් ලබන සතියේ හමුවෙමු.

කවුරුත් සොඳුරුයි සිතන නමුත් , සොඳුරු නොවන
මම
෴ සොඳුරු සිත ෴

පිළිකුළ - දෙවෙන කොටසට මෙතනින්

Wednesday, July 20, 2011

෴ ප්‍රාර්ථනා ෴


නිල් කඳුකර මැදින් ගලනා දිය සිසිල
නොකලැල් මුව ඇසින් වෑහෙන මෘදු සිසිල
පා නොතැබූ බිමක කුළුදුල් පිනි සිසිල
පැතුවේ ඇයි ද මා නුඹ ගේ සිත සිසිල

බෝ මළුවේ සිසිල පහනින් නොනිමෙන්න
ගං දිය සිසිල සැඩ පහරින් නොසැලෙන්න
තණපත් සිසිල හිරු කිරණින් නොමැකෙන්න
මා හද සිසිල නුඹටම සිසිලක් වෙන්න

ගිනි ගත් සිසිල මෙන් දිවි මඟ නොපෙනෙන්න
යන මඟ දාහ නිම වී සිසිලක් වෙන්න
ගිනිගත් සසර කෙළවරකදි හමුවෙන්න
හද සිසිලසින් නැහැවී සුවපත් වෙන්න

නෙත නැගෙනා කඳුළු කෙළවර සිසිල අරන්
හද පාරන මතකයේ දොර කවුළු ඇරන්
සිසිලක් අරන් සුළඟක් එන අයුරු බලන්
මා නුඹ මතකයෙන් ඈතට දුරස් කරන්


සිසිල සොයා මිරිඟු දියේ

මඟ කෙළවර කොහි ද ප්‍රියේ

සසර කෙළවර ඉම සොයන
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, July 19, 2011

෴ හදිසි විවාහය ෴



වළාකුළක් අරන් ඇවිත් සෙවනට මට තියා
මගෙන් හොගක් දුරක් ගිහින් , ටික දිනකට කියා
අයෙත් ඇවිත් බලනු දිනක , මා නුඹෙමද සොයා
නුඹෙ මල් කල්ඹත් අරගෙන මා දීගෙක ගියා


දීගෙක ගිය
මම
෴ සොඳුරු සිත ෴
"You can explore the universe looking for somebody who is more deserving of your love and affection than you are yourself, and you will not find that person anywhere."

I miss you . . .

Saturday, July 16, 2011

෴ සක්වල ප්‍රේමය ෴(විද්‍යා ප්‍රබන්ධයකි)

ඔහු තම ළපටි ග්‍රාහක එහා මෙහා කරමින් ,සම වයසේම ළපටියන් සමඟ සෙල්ලමින් පසුවෙන සැටි මා බලන් උන්නෙමි. විටින් විට ඔහු මදෙස බලනා වග මට දැනෙයි. ඒ බව මට නොපෙනෙන්නේ , මට දෑස් ඇති නමුදු ,ඔහුට දෑස් නොමැති බැවිනි. ඔහු ඔහුගේ පියාගේම ස්වරූපය ඉසිලූවත්, මා මෙන් හැඟීම්බර බව ඔහුගේ පියා පවසයි.සීයක් ඇස් වලින් මා දෙස බලන ඔහුත් , ඔහුගේ පියාත් හැර මට මේ ලොව කිසිත් නොමැත. මා ඉපදුන ලොව ද ,අද මා සලකන්නේ තම උපන් ලෝකයටම ද්‍රෝහි වූ ගැහැණියක ලෙසින් බැව් මා දනිමි.

මා දැන් සිටිනා අඩවියට මගේ ලෝකය නොපෙනේ, එයට හේතුව පෘථිවියට කෙදිනකවත් සඳේ අඳුරු කලාපය නොපෙනීමයි.සඳට පෙම්බදින මිනිසුන් සිටි , නමුත් දැන් සඳට මා නිසාම වෛර කරන මිනිසුන් සිටින පෘථිවිය , මා උපන් ලොවයි. බොහෝම දුර ඈත අතීතයේ , ආදරය නිසාම තම නිජබිමට ද්‍රොහි වූ කුවේණියගේ රට , මා උපන් රටයි.

පුතු ගේ සිහින් සංගීත රාවයක් වැනි සිනහව අතරින් , මා සිත මින් වසර හතකට පමණ පෙර අතීතයට දිව ගියේය.


“ බීෆ් බීෆ් බීෆ් බීෆ් . . . . . . . . . . . “

“ සඳ යාන ගමන ට තව විනාඩි තිහයි. ඔබගේ ආසනය ඔබව බලාපොරොත්තු වෙයි. තවත් මඟීන් ද බලාපොරොත්තුව සිටින බැවින්, විනාඩි දහයක් තුලදී නොපැමිණේ නම් , සඳ යානයේ නුඹේ ආසනය අන්සතු වනු ඇත. සුබ දවසක් “

ගමනට ලක ලෑස්ති වී සිටිය ද, මා සිත දෙගිඩියාවෙන් සැලෙයි. පෘථිවියේ කිසිවකුටත් , විවාහ නොවී තනිකඩව සිටිය නොහැකි විය. ඒය තීත්‍යානුකූල නොවූ අතර , නිතරම පාහේ ඒ සදහාම යොදවා තිබූ සෝදිසි කණ්ඩායම් , තම නිරීක්ෂණ වල පසුවිය.. කෙසේ හෝ නීතියේ රැහැනින් බේරී අවිවාහකව සිටින අයකු අසූ වුව හොත් , ඔහු ට හෝ ඇයට  තෝරාගැනීමට ඇත්තේ තේරීම් දෙකකි.පළමු තේරීම විෂම හෝ සම ලිංගිකයෙකු සමඟ විවාහ වීමයි. (දරුවන් සෑදීමේ ගැටළු පැන නොනගින බැවින් සමලිංගික විවාහ ද අවසර ලත් නීත්‍යාණුකූල විවාහ බවට පත්ව තිබුනි) .දෙවන තේරීම වූයේ පෘථිවියේ අපාය යැයි සැලකූ ප්‍රදේශයේ පතලක , ජීවිතාන්තය දක්වා කම්කරුවකු ලෙස සේවය කිරීමට සිදු වීමයි.පතලට ගිය කිසිවකු , කිසිදිනක නැවත දැකීමට නොහැකි විය.අනියම් සම්බන්ධකම් වලට ලැබුන දඩුවමට තේරීම් නොවූ අතර , එකම දඬුවම වූයේ පතලේ කම්කරු වකු වීම පමණි.

අවිවාහකව නිදහසේ සිටීමේ නිදහස නැති වූ මාගේ ,නීත්‍යානුකූල ස්වාමියා
රෝහිත යි . ඔහු රැකියාව කරන්නේ , පෘථිවියේ මිනිසුන්ගෙන් ජනාවාස වූ සඳ මඩලේය.වෙනදා පුර පෝයට පමණක් දිලෙන පුර සඳේ චන්ද්‍ර මණ්ඩලයට අළුතින්ම පැහැයන් කිහිපයක්ම එක් කිරීමට ද සඳ මංඩල බලධාරීන් විසින් පියවර ගෙන තිබුනේ , අලංකාරය වැඩි කිරීමට බැව් පවසමිනි.

රෝහිත පෘථිවියේ ජීවත් වීමට කැමැති නැත. ඔහුගේ ස්ථිර නවාතැන ද සඳේ ඉදිවී ඇත. එය , ඔහු සඳ ජයගැනීම වෙනුවෙන් කළ මෙහෙයට ලැබුන සම්මානයකි. දරුවකු සාදන කාලය ද එළඹ ඇතැයි ඔහු සිතන බැවින් , මගේ සඳ ගමන මේ අවස්ථාවේ දී අතිශය තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබුනි.

සඳ යානයේ , නියමිත අසුනේ අසුන් ගත් මා හට තව දුරටත් සිතුවිලි වල සරන්නට ඉඩක් නුවූයේ , මා අසලම අසුන් ගෙන සිටි අපූරු යුවලගේ කටකාර බිරිඳගේ සංවාදයට  මට ද හවුල් වීමට සිදු වූ බැවිනි.

“ ඔයා තනියම “

“ ඔවු “ මගේ පිළිතුර ඉතාම කෙටි විය.

“ රස්සාවකටද යන්නේ “

“ රස්සාවක් කරන්නත් එක්ක තමයි “

“ ආහ් ඒ කියන්නේ , ඔයා එනකම් කවුරු හරි එහෙ බලන් ඉන්නව ද ? “

“ ඔවු මගෙ මහත්තයා ඉන්නවා “

“ අනේ ස්වීට්. මේ ඉන්නෙ මගේ මහත්තයා. අපි දැන් සතුටින්ම ඉන්න කාලේ නිසා , දරුවෙක් හදන්න තීරණය කරා. ඒකට අපි මේ හඳට යන ගමන් “

“ මගෙ මහත්තයා වැඩ කරන්නේ එතන “

“ අනේ හැබෑ ද , සංතෝශයි දැන ගත්ත එක. වේටින් ලිස්ට් එක දිග ද දන්නෙ නැහැ “

“ ඔවු.... මේ දවස් වල පෘථිවියේ මිනිස්සු ,ගොඩක් දෙනා සතුටින් ඉන්න නිසා , ගොඩක් දෙනා දරුවන් හදන්න බාර දීලා කීවා තියෙන්නෙ “


“ අනේ . .  අපිටත් ගොඩක් කල් ඉන්න වෙයි ද දන්නෙ නැහැ “

“ දරුවෙක් වෙනුවෙන් ඉස්සර මිනිස්සු ඔයිට වඩා දුක් ඉහිලුවා. “ ඇය වෙත රුදුරු බැල්මක් හෙලන ගමන් මම පැවසුවෙමි.

පිළිකුල් සහගතව මා දෙස බැලූ ඇය ඉන්පසු එකඳු වදනකින් හෝ මා සමඟ දොඩමළු වීමට නොපැමිණිම ,මා සිතට ගෙන දුන්නේ විශාල සහනයකි.

ඔවු.මගේ සැමියා රැකියාව කළේ , සඳ මංඩලයේ දරුසම්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන ජෛව විද්‍යා ඉංජිනේරුවරයා ලෙසිනි. දරු සම්පත් නොමැති අයට සහනයක් සැලසීමේ මුවාවෙන් ඇරඹී මෙය , අද දින පැමිණ ඇති දුර සුළුපුටු නොවේ.

මෙකල වන විට විවාහයේ පරම සැපත දරු සම්පත නොවීය. සංසර්ගය අවශ්‍ය වූයේ ගතේ සිතේ සතුටට මිස ,දරුවන් ලැබීමට නොවේ. විවාහක යුවලක් සතුටින්ම සිටින කාලයේ දී , ඔවුන්ගේ ඩිම්බයක් සහ  ශුකානු කිහිපයක් සඳ මඩලේ දරු සම්පත් මධ්‍යස්ථානයට ලබා දීමෙන් පමණක්ම ඔවුන් දෙමාපියන් බවට පත් වීමට පළමු අඩුතාලම වැටෙයි.ඉන් පසු දරු සම්පත් මධ්‍යස්ථානයේ දිනෙන් දින වැඩෙන යුක්තාණුව , කළලයක් බවට පත්වී මනුෂ්‍ය ළදරුවෙකු වෙනු තම දෑසීන්ම නැඹීමේ හැකියාව ද මධ්‍යස්ථානය වෙතින් නොමිලේම සපයයි.


විවිධාකාර ප්‍රවේනික රෝග, ආබාධ සහ පිළිකාමය තත්ත්වයන් කළළ අවදියේ දීම හඳුනා ගැනීමට පරීක්ෂණ රැසක් සිදු කරන අතර , එහිදී අසුවන රෝගී කළළ ලක්ෂ ගණන් විනාශ කෙරේ. එයට මුල දී බොහෝ සංගම් තම විරෝධය පල කර ද , රෝගි ජනයා වෙනුවෙන් යෙදීමට සිදුවන පිරිවැය කපා හරින බැවූ නීති ගත කිරීමෙන්ම , එම සංගම් සියල්ල ට මුනිවත රකින්නට සිදු විය.

මගේ සැමියා පවසන පරිදි , රෝගි දරුවකු බිහි වීමට වඩා විනාශ කිරීම යුක්තිසහගත දැහැමි ක්‍රියාවකි.

මා දන්නා එක් යුවලක් ලබා දුන් ඩිම්බ සහ ශ්‍රක්‍රාණු වලින් රෝපිත වූ සෑම කළලයකම හදුනා ගත නොහැකි රෝගි තත්ත්වයේ පසු වූ කළලයන් විය. නැවත නැවතත් රෝපණය කළ ද ප්‍රතිඵලය එයම වූයෙන්, අවසාන යේ ඔවුනට සිදු වූයේ දික්කසාද විමටයි. දරුවන් නොමැති ජෝඩු පැවතිය නොහැකි විය. ඔහුට හා ඇයට වෙනත් සහකරුවන් සොයා දෙන ලදී. නමුදු ඔවුන් දෙදෙනා දැඩි ආදරයෙන් පසුවූ යෙන් වෙන් වීමට අකැමැති වූවෝ වුහ. දෙදෙනාට වෙනත් විකල්පයන් නොමැති වූ අතර සඳේ අඳුර කලාපයට ඔවුන් දෙදෙනා පැන යන ලදී.

දරු සම්පත් මධ්‍යස්ථානයෙන් සිදු කරන සෑම නාල ගත සංසේචනකයමට ගෙවීම් කිරීමට සිදු වන අතර , පළමු සංසේචනයට රක්ෂණ ආවරණයෙන් පහසුකම් සපයයි. දෙවෙනි හා තෙවන සංසේචනයන්ට ගෙවීම් කිරීම වැඩි අතර , ඉන් පසුව සිදුවන සෑම සංසේචන වාරයකටම ගෙවීම් දෙගුණ වේ. උපරිම සංසේචන වාර ගණණ පහකි. ඉන් එහා කිසිදු සංසේචනයක් ඒ දෙපලගෙන් බාර නොගන්නා අතර , දික්කසාදයත් , සහකරුවන් සොයා දීමත් අනුග්‍රාත්මක ලෙස සිදුවේ.

සඳ මඩලේ යානය ගැටුන සියුම් කම්පනයෙන් සහ සිත මෘදු කරන ආලෝකයෙන් , මා සඳ මඩලට පැමිණි ඇති බව පසක් විය.

සඳ මඩලට පා තැබූ
මම
෴ සොඳුරු සිත ෴

පලි/ සදොස් ඇතොත් පෙන්වා දෙන්නේ නම් අතිශය කෘතඤ වෙමි.

Thursday, July 14, 2011

෴ සින්ඩරෙල්ලා / Cinderella ෴


එකෝමත් එක දවසක
හරි අහඹු විදිහට
නුඹෙ සුරතෙ මැද්දට
පපුවෙ උණුසුම් රස්නෙට
මැදි වෙලා රැඟුවා
නුඹ හාදු පිදුවා
එකම එක බැල්මෙන්
හදවතම පිදුවා

කාලය ගෙවෙන අතරේ
ආලය ඔහේ ගැලුවා
වෙස් මුහුණ ගැලවෙන
වෙලාවත් ළඟ ආවා
සෙරෙප්පුව පඩියේ
නැතේ ඒ මගෙ හිතයි ඇතුලේ

මගේ හිත අරගෙන
හැකි සෑම තැනකම
නුඹ මාව සෙවුවා
මුණ ගැහෙන අය අතරේ
හදවතේ රාමුව (සෙරෙප්පුව)
ගලප ගලපා බැලූවා


හරි ආදරෙන් රැක්කා
වීදුරුයි හදවත
බිදෙන්නට දිය යුතු නැත
වටිනාම සේද පිලි මත
ආරක්ෂිතව තිබ්බා

මමත් නුඹ දැක්කා
නමුත් නොදැකපු ලෙසින් උන්නා
මා සොයන් එන තුරු
අනිත් හදවත රැක්කා
හරි ආදරෙන් මම
මඟ බලන් උන්නා


එහෙත් එක දවසක
ඉර හඳ පෑයු දවසක
තරු අතර ගැවසුන
හරිම ලස්සන සුරගන
අතක් අරගෙන නුඹ
යන්නෙ රජ කුමරකු ලෙස
ඇයට දී මගෙ හිත
නුඹ අරන් ඇගෙ අත
මහරජුන් විලසට
මගේ පාරෙන් අරන් යයි ඇය

හැමතැනම සෙවුවා
මගෙ වෙස් මුහුණ හංඟා
තිබු තැනින් ගත් ඒ
හෙර ඇය ද මන්දා

ඇගෙ අතින් අල්ලන්
මට ඔරව ඔරවන්
නුඹ යනෙන අන්දම්

මද සිනා දල්වන්
පුදුම නෙත් දෙක ඉන්දන්
මෙතන මා ඉන්නම්
මගේ නම ගම ඇයට දෙන්නම්

නුඹට පෙම් කරපු
තුරුල් වී හිඳ රඟපු

තවම නාඳුනන අයුරූ
මමයි එදවස
නුඹේ සොඳුරූ

මම
෴ සින්ඩරෙල්ලා ෴

P.S : - අච්චර හොඳට කකුළට ගැලපෙන වීදුරු සපත්තුවක් , සින්ඩරෙල්ලගේ කකුළින් ගැලවුනා කියල ඔයාල තවමත් හිතනව ද?


If Cinderella's glass slipper fits so perfectly, I wonder why it fell off along the way? I can't help but think that it was on purpose, to attract the prince's affections. No matter what I do, I'll still have the fate of a girl who just keeps getting hurt

Sunday, July 10, 2011

෴ සර්පයා ෴

ඉර හරියටම හිස කෙළින්ම පායල තිබ්බ. අත් බෑගය ඇතුළෙ කුඩයක් තිබ්බත් , මැරෙන්න යන ඇයට මොන කුඩ ද කියල හිතුනා.

පුංචි එකී දිහා බලපු ඇගේ හිත හෝස් ගාලා ගියත්, ආපහු හැරෙන්න ඇගේ හිත ඉඩ දුන්නෙ නැහැ.අත් ඔරලෝසුව දිහා බලපු ඇය පය ඉක්මන් කළා.සමහර විට අද වේලාවට කෝච්චිය එන්න පුලුවන්.මැරෙන්නත් තියෙන අමාරුවක්.

ක්‍රම කිහිපයක්ම සොයා බලල , අවසානයේ දී ඇය තෝර ගත්තෙ කෝච්චිය.අවසාන මොහොතෙ දි ඇය එක තීරණයක් විතරක් වෙනස් කළා.

වට පිට බලපු ඇය , දරුවව රේල් පීලිවලට එහා වදුල අද්දර වාඩි කෙරෙවුවා.ඈතින් කෝච්චිය එන සද්දෙ ළඟ ළඟම ඇහුනා.ඇය කෝච්චිය ඉස්සරහට යන්නත් හදල, නෙතේ සටහන් වෙන අවසාන රූපය දරුපැටිය කර ගන්න හිතේ තියෙන කැමැත්තෙන් නිසා එතනම හාන්සි වු ඇය ගිනිගහන අවුවට රත්වෙලා තිබ්බ පීලිවලට බෙල්ල තිබ්බා.පීලී දිගේ බේරිලා එන කෝච්චියේ සද්දය ඇගේ හදවත පතුලටම දැනුනා.

තණ කොළ බිස්සෙ ඉන්න දරුවා , තණ කොළ මල් වලට වහපු සමණළයෙක් අල්ලන්න හදනව දැකපු ඇගේ මුවේ සිනාවක් රැඳුනා.කෝච්චියේ සද්දය රේල් පීලි දිගේ එනවා..... දරුවගේ ඉන්න පැත්තටත් මොකෙක් ද ඇදෙනවා ඇය අහම්ඹෙන් වගේ දැක්කා.සෙවල පාට මහත දිගැටි සර්පයෙක්....සර්පයා දරුව පැත්තට ඇදෙනවා, කෝච්චිය අම්ම ළඟට ඇදෙනවා.

කෝච්චිය , නයා, කෝච්චිය , නයා.

මට මැරෙන්නම ඕනි... නයා ..කෝච්චිය , නයා කෝච්චිය.

කෝච්චියේ හූ හඬ ඇයට ඇහුනේ හරියට ඇයට ඔච්චම් කරනව වගේ...

කෝච්චිය ඇගේ ඉදිරියේ .

“ අනේ මගෙ දරුවා “

කෝච්චිය , ඇය පහුකර ගෙන ගියා.කෝච්චියේ හිටිය මඟීන් පුදුම වුන ඇස් වලින් ඇය දිහා බැලුවා.

පිස්සියක්....

ඔවු , ඇය පිස්සියක් වගේ ලොකු කළු ගලක් උස්සන් සර්පයාට තලනවා.

පොඩි එකා අත්පොඩි තලනවා.

“ ගෑණියේ , උඹට පිස්සු ද? ගැරඬි මරල පවු පුරව ගන්න එපා “

කෝච්චි නිසා එහා පැත්තට යන්න බැරිව හිටපු මනුස්සයෙක් කියනවා ඇයට ඇහුනා. .....

Friday, July 8, 2011

෴ නොගැලපෙන ජෝඩුව හෙවත් Love and Marriage෴


“ඒකත් හරි “

සියල්ල උනා දමා අවසානයේ , ඇය දුහිල් රාත්‍රී ඇඳුමකින් සැරසුනාය.දීර්ඝ සුසුමක් හෙළු ඇය , ඔහු දෙස නෙත් විදහා බලා සිටින්නට විය. ඇගේ කාන්තිමත් සෘජු දෙනෙත් අද්දර, ඔහුගේ දෙනෙත පරාජය වුව ද, ඔහු ඇය වෙත සිහින් සිනාවක් පෑවේ දෙනෙත් පහසේ  සෘජු ගතිය පළවා හැරීමට මෙනි.

ඇය ද සිනා සුන අතර , ඔහුට තවත් ළං වන්නී , සෘජු නෙත් සරය ඔහුගේ ආත්මයමය විනිවිද යවමින් නොවේදැයි සිතුන වහා , ඔහු කලබල විය.

“ අපිට දැන් මොකද වෙන්නේ “

ඇය ඇසුවේ , ඔහු කිසිවිටකවත් නොසිතූ පැනයකි.

“ ඔයාගේ අම්ම මට කීවා “

“ මොනා ද “

“ ඔයා ඉන්නේ කළකිරීමෙන් කියලා , කලින් ගෑණු ළමයා ගැන ......“

“ ඔවු . . . එයාට තවම ආදරෙයි මං “

“ ම් ම් ම් . . . කමක් නැහැ , “

ඒ වචනත් සමඟින් ඔහු පුදුමයෙන් යුතුව ඇගේ වත දෙස බැලුවේය.

“ ඇයි , කමක් නැහැ කියන්නේ , ඔයා දැන් මගෙ වයිෆ් “

“ ඉතින් වෙන මොනව කියන්න ද? මාත් ඔයාට ආදරය නැහැනේ “

“ ආහ් “

“ ඔවු . . . විවාහයයි , ආදරයයි පටල ගන්නේ නොමේරු මිනිස්සු “

“ එතකොට විවාහයට ආදරය වැදගත් නැද්ද “

“ අපොයි ඇයි නැත්තේ, ඒත් නැති දෙයක් බලෙන් ලබා ගන්න බැහැ. “

“ ඉතින් , විවාහයට මොනා ද එහෙනම් වැදගත් “

“ අවබෝධය , තේරුම් ගැනීම , කොටින්ම අපි දෙන්න දැන් දන්නව අපි දෙන්න දෙන්නෙක් කියලා. ආදරය කරල මේ විවාහය වුනා නම් , අපි ඉන්නේ මහා ලොකු රැවටීමක. මොකද අපි හිතනවා අපි දෙන්නම එක්කෙනෙක් කියලා “

“ අපි දෙන්න එක්කෙනෙක් නොවී , විවාහය පවතින එකක් නැහැ . ටික දවසක් ඉඳල දික්කසාද වුනත් , මගෙන් ප්‍රශ්ණයක් නැහැ“

“ විවාහයෙන් පැනල යන්න හදන්න එපා. අපි දරුවන් හදල සතෝසෙන් ඉමු.එකිනෙකා ගැන බලාගමු.වගකීමක් ඇතිව හැසිරෙමු. මේ කිසි දේකට ආදරය ඕනි නැහැ. ඕනි හඳුනා ගැනීම විතරයි. කුඩුම්භයක ගුලි වුනාම කාගේත් පාළුව මැකෙනවා.ඕනවට වඩා දේවල් විවාහයෙන් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඔන්න අද ඉඳල , මමයි ඉස්සෙල්ලම බාත් රූම් එක පාචිච්චි කරන්නේ “

ඔහුගේ වතට එඹී පැවසූ ඔහුගේ සුන්දර අලුත් මනාලිය , නාන කාමරය වෙත පිය මනිනු දුටු ඔහුට , ඇය ගැන සිතේ ඇති වූ හැඟීම තේරුම් ගැනීමට ලොකු මහත්වූ දරුවන් සිටින අද දිනයේ ද නොහැකි වී ඇත.

එහෙත් එක් දෙයක් සක්සුදක් සේ පැහැදිලිය.

ඔහු ඇයට ආලය නොකරයි. නමුත් තිව නොහැකි සොඳුරු හැඟීම් රැසකින් ඇයව ඔහු වෙත බැඳ තබා ගැනීමට හැකි වීම විවාහ දිවියේ අන් ආදර බර සැමියන් නොලදනමුත් ඔහු ලද වාසනාවක් බව අදද ඔහු මෙනෛහි කරන්නේ සතුටිනි.

ආදරයත් , විවාහයත් එකිනෙක මත නොයැපෙන නොගැලපෙන මාර්ගයන් බව අදටත් ඔහු විශ්වාස කරයි.

I have never heard about any perfect marriage. They say perfect marriages are made in heaven. Nobody comes back from there so maybe it is true, but what kind of marriage will those perfect marriages be? There will be no tension, there will be no individuality in the man or in the woman. They will never collide, they will never fight. They will be too sweet to each other. And too much sweetness brings diabetes! (Osho)

Wednesday, July 6, 2011

෴ ආදරයේ භූතාත්මය ෴

සඳ තරු මල් ගැන කවි ලීවා ඇති 
කණාමැදිරි එළි පානෙන්

ලොව ලස්සන නැහැ සිතනා තරමට 
නුඹ අඳ වෙයි ඒ එළියෙන්

ලොව නැති දේ ගැන ,මේ තරමට
මම සිතුවේ ඇයි දුක සෝකෙන්

නැති දේ නැති ලෙස දැක ගන්නට 
සිත , මුදවා ගමි මේ මෝහෙන්
“Truth may sometimes hurt but delusion harms.”

බෝතලයේ භූතයා , මුහුදට දැමූ
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, July 5, 2011

෴ නොපවතින ආදරය ෴


කේන්ද්‍රය සිතක්
ගැහැණු සිත ඒ වටා 
කරයි පැදකුණු නිතිපතා
බැඳෙයි ගත සිත නිතින්
නිවෙයි සිසිලස ලද ලෙසින්

නොපතින යමක්
සිතින් මැන බලන්
සිටීය ද දිනක්
දැන ගනී ඇය
වෙයි කියා මිරිඟුවක්
කේනද්‍රය බිඳුනු දින
ගුරුත්වෙන් මිඳුන දින
ඇය යන්නෙ නොදන්නා
මාවත් දිගේ

ආදරය කියා
දෙයක් නැති බවත්
පිරිමි සිත ඉගිලෙනා
කුරුල්ලෙකු බවත්

අයෙත් නොම බැඳෙම්
නොපවතින දෙයක්
ලොවම රවටනා
තරම දැන දැනන්
දැන ගත්ත දින වුනා
හිතේ පිපිරුමක්


Does love exist? Can you prove it?




 ආදරය කියල දෙයක් ලොකේ නැහැ .. . . . . . ඒක මායාවක් .....

පලි - ඇත්ත හඳුනා ගන්න ගොඩක් කල් යනවා. ආදරය කියල දෙයක් ගැහැණු අයගේ සිතේ මවල ඇති කරල තියෙන්නෙ ඇයි ?


වෙනස් වුන
මම
෴ සොඳුරු සිත ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...