..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, June 27, 2011

෴ පළමු හාදුව / The Immortal First Kiss ෴

සුදු පැහැති අත් රහිත බ්ලවුසයත් , දණහිස තෙක් දිගැති රතු පසු බිමේ තරමක ලොකු සුදු මල් වැටුන සායත් , ඉසලා ගෙ න එන රතු පැහැති කුඩයට ම ගැලපුනි. ඇය සාරියට වඩා මේ ඇඳුමට කෙතරම් නම් වෙනස් දැයි ඔහුට සිතුනේ , ඇය වැඩි හරියක් දැක ඇත්තේ කාර්යාල වේලාවන් තුල දී නිසාය.

“ ගොඩක් වෙලා ද ඇවිල්ලා “

දුර තියා ම සිනාසෙමින් පැමිණුන ඇය , ඔහුට සමීපවත්ම ඇසුවාය .

“ අනේ නැහැ . .  දැන් ම්ම්ම් විනාඩි දහයක් විතර ඇති “

“ කොහෙද යන්නේ ? “

“ ම් ම් ම් . . . . යමු ද ෆිල්ම් එකක් බලන්න ? “

ඔහු ඇසුවේ දෙගිඩියාව රැඳුණු දෙනෙත් ඇය වෙත යොමු කරන ගමන්ය.

“ ෆිල්ම් , ? මොකක් ද දන්නෙ නැහැ මේ දවස් වල තියෙන්නෙ .ඔයා කැමති ෆිල්ම් එකක් නම් යමු“

ඇයගේ සාමාන්‍ය දැනීම ගැන ඔහුට පුදුම නොසිතුනේ , ඇය මින් පෙර පෙම්වතකු ඇසුරු කර නොතිබීම නිසා ම වන්නට ඇත.සමහර විටක ඇය මේ බව දැන දැනත් , නොදන්නා ලෙස හැසිරෙනවා වන්නට ද බැරි නැතයි ඔහුට සිතුනි.

“ ඔවු , මම කැමති එකක් . යමු ද එහෙනම් “

“ හා  . . . .“

ඇය ඔහු සමඟින් එක මඟ වැටුණි.ඇය  ඉසලා ගත් කුඩය ඔහුගේ හිසේ  විටින් විට අනෙන්නට වූයේ. ඇය ඔහුට වඩා උසින් අඩු නිසාය.

“ මොකක් ද මලිති , පොඩ්ඩක් අවුවෙ ගියා කියල කළු වෙනව ද “ඔහු තරමක කෝපයෙන් ඇසූ විට ඇය කළේ , ඔහුගේ මුහුණ දෙස බලා සිනාසෙමින් කුඩය හකුළා ගැනීමයි.

චිත්‍රපට ශාලාවට පැමිණෙන විට , දර්ශණවාරය ආරම්භ වී තිබුණී. ඔවුන් දෙදෙනා දුටු පමණින්ම පුවේශ පත්‍ර නිකුත් කරන්නා , ඔවුන් දෙස බලමින් ඇසුවේ .

“ බොක්ස් ටිකට් දෙකක් ද ? “

“ නැහැ . ODC දෙන්න “

“ ලාබෙට ලවු කරන්න . ආහ් මෙන්න “

විදුලි පන්දමක් අතින් ගත් මිනිසකු විසින් ඔවුන් දෙදෙනාට මඟ පෙන්වන ලදී. චිත්‍රපට ශාලාවට ඇතුල්වත්ම දොරකඩ පය පැටලි වැටෙන්නට ගිය ඇයව අල්ලා ගත් ඔහු ඇගේ අතින් අල්ලන් , ශාලාවේ ඒ වන විටත් අසුන් ගෙන සිටි ඇය අතිරින් ඇයව පරිස්සමින් රැගෙන ගියේය. අඩ අඳුරින් පිරී ගිය ශාලාව තුල දී නැවත වරක් ඇගේ පය පැටළුනෙන් , විදුලි පන්දම් කරුවා නැවතත් හැරී විදුලි පන්දම් ආලෝකය ඇය දෙසට හරවන විට , ඇය ඒ ආලොකය අතරින් දුටුවේ , උන්හිටිතැන් අමතක වූවන් ලෙස හැසිරෙන පාසල් වියේ පමණ පෙම්වතුන් දෙදෙනෙකි. ඇය , ඔහුගේ අත තදින් ග්‍රහණය කරගන්නා ගමන් ඔහුගේ මුහුණ දෙස බැලුවේ ප්‍රශ්ණාර්ථයක් රැඳි දෑසිනි.

ඇගෙන් දෑස් ඉවතට ගත් ඔහු ගේ සිත, තමා වරදක් කලාක් වැනි හැඟීමකින් පිරී යන්නට විය.

“ මෙතනින් වාඩි වෙන්න “

චිත්‍රපටය පුළුල් තිර මත දිගහැරී ඇත. ඇය එහි නම වත් අඩුම තරමින් නොදනී.

“ මොකක් ද මේකෙ නම “

“ නම ම ම . . . . මට මතක නැහැ මලිති “

“ කමක් නැහැ , යන ගමන් නම බලාගෙන යමු “

ඇගේ දෑස් තිරයෙන් ඉවතට නොයයි, විටෙක සිනා සෙන ඇගෙ මුහුණ , අඩ අඳුරේ ඔහුට පෙනෙයි. අඬ අඳුරේ පෙනෙන ඇඟේ උවනේ සොදුරු බවට මුසු වූ ආසක්ත හැඟීමකින් ඔහුගේ සිත පිරෙන්නට විය.

“ මේ මොක ද මේ , ෆිල්ම් එක යන්නෙ මගෙ මූණෙ නෙමෙයි , අන්න අරහෙ “

ඇය ,ඔහුගේ මුහුණ ඇගේ අතින් අල්ලා , තිරයට දෙසය හරවන්නට සැදූවා පමණි. ඇගේ අත , තම දකුණතින් ගත් ඔහු , එය තම මුවට ළං කර ඉතා මෘදුව , නමුදු ආදරයෙන් හා ආසාවෙන් යුතුව සිප ගද්දී , ඇගේ දිලිසෙන දෑස් වල එළිය අඳුර දුරු කරන් පිපි තරු යුවලක් ලෙස ඔහුට පෙනුනි.

මඳ වේලාවක් විමතියෙන් මෙන් දිලිසෙන ඇස් වලින් ඔහු දෙස බලා සිටි ඇය , ඔහුට තවත් සමීප වී , ඔහුගේ පළල් උරහිසට හිස බර කළාය.

“ කපටියෙක් . . .  මේකට ද ෆිල්ම් බලන්න මාව එක්ක ආවේ “

“ ඔවු . . . . මට ඔයාව අද ඉඹින්න ඕනි “

“ ස්කෝල ළමයි වගේ , මේ කළුවරේ ද ? “

“ ඔවු  . . . .  “

“ හ්ම් . . . .  මේක ලංකාව නේ.මට අමතක වුනා. ආදරය කරන්නවත් නිදහසක් නැති රටක් “

ඇගේ හිසෙන් හමනා සුවඳ , ඔහුගේ සිත ආනන්දයෙන් පිරවීය. ඇගේ ගැහෙන පිරි පුන් පපුවේ සුවය , ඔහුගේ ශරීරයට දැනෙන්නට විය.තම දකුණත සෙමින් ඇගේ ඉණ වටා යැවූ ඔහු , ඇය තව තවත් තමා වෙතටම තුරුල්කර ගත්තේ ,ඊළඟ මොහොතේ දී ඇය ව යම් කෙනෙකුන් පැහැර ගෙන යා දෝයි බියෙන් මෙනි.

ඇය ද තව තවත් ඔහුට තුරුළු වුයේ , හදවත ගැහෙනා වේගයට ඇය බිඳී විසිරී සීසී කඩ යාදෝයි යන හැඟීමටත් ,වඩා නොදැනෙන , නාඳුනන , කෝඩුකාර සිතට දැනුන හැඟීම නැති වී යාමට ඉඩ දිය නොහැකි නිසාය.

දෙදෙනාම , චිත්‍රපට ශාලාවෙන් බොහෝ දුර ඈතක ගොස් වුන් බව දෙදෙනාටම නොදැනුනන ද, නොදන්නා යම් රැහැනකින් වෙළි , බැඳී ඇති බවක් ඔවුන් දෙදෙනාටම දැනුනි.ඇගේ දිලිසෙන ඇස් වල කාන්තිය නවතන්නට ඔහුගේ නෙතු වලට නොහැකි වුව ද, ඇගේ පොපියන දෙතොල උරා බීමේ නොසන්සිදෙන ආශාව ඔහුට මැඩලිය නොහැකි විය. ඇගේ නළලතත් , පිරුණු කොපුල් යුගලත් ඔහු ආදරයෙන් සිප ගද්දී , සෙමින් වැසුන ඇගේ දෙනෙත් , ඔහුට ඉඩ දුන්නේ ,ඇගේ ගුප්ත ලෝකයේ දොරවල් කුළුදුලේම ඔහුට විවර කරමිනි.


පොපියන පිරුණ දෙතොල් වෙත ළං වත්ම , ඇගේ කම්මුල් දිගේ ගලා ආ උණුසුම් කඳුළක ලුණු රස ද සමඟින් ඔහුගේ ජීවිතයේ ලද රසවත්ම දෙතොල් පහස විඳින්නට ඔහුට හැකි විය. දීර්ඝ වූත් , සිත් ගන්නා සුළුවූත් , අතිශය සොඳුරු වූත් හාදුවට පසුව , ඔහුගේ පළල් පපුවේ හිස හොවා ගත් ඇය ඉකිගසමින් හඬන්නට වුයේ මන් දැයි ඔහුවත් ඇයවත් දැන වුන්නේ නැත.

අද ඒ , චිත්‍රපට ශාලාව ඉතාමත් නවීකරණය වී ඇති අතර , වේලාසනම චිත්‍රපට ශාලාවට ඇතුළු වු ඔහු අවට සිසාරා , එදා ඔවුන් සිටි ස්ථානය අනුමානයෙන් මෙන් සොයන්නට වූයේ, ජීවිතයේ ලද පළමු හාදුවේ සැනසුම් සුවය යලිත් ලබන්නට මෙනි.

“ තාත්ති , තාත්ති , ඇයි අපි පිටිපස්සෙම සීට් වලට ආවේ ? සීට් ගොඩාරියක් ඉස්සර තියනව නේ ? ඇයි තාත්ති ඒ? “

ඔහුගේ අතින් අඳිමින් , තිරයට අත් දිගු කරමින් , හුරතල් බස් අසනා , සිඟිත්තියට ඇත්තේ , එදා ඔහු සිප ගත් කෙල්ලගේ දෙනෙත් නොවේ. සිඟිත්තිය ආසන්නයෙන් සිටින රුවති ළඳ , සිපගත් වාර ගනන ඔහුගේ මතකයේ නැතත්. පළමු හාදුව පුද කළ ළදගේ මුවින් නැඟි ,සුසුම් වාර ගණන පවා ඔහුගේ මතකයේ ඇත.

අද ඇය කොහිදැයි , ඔහු නොදනිතත්, ඔහු කොහිදැයි ඇය නොදනිතත් , ප්‍රථම හාදුවේ සොඳුරු උණුසුම , ඔවුන් මියෙනා තුරුම මතකේ සදා රැදෙනු ඇත.

“At the first kiss I felt something melt inside me that hurt in an exquisite way. All my longings, all my dreams and sweet anguish, All the secrets that slept deep within me came awake, Everything was transformed and enchanted, everything made sense.”


චිත්‍රපට ශාලාවේ , අඳුර විනිවි ද, ඔහුත් සමඟ සිටිනා සිඟිත්තිය දෙස බලා සිටන
මම
෴ සොඳුරු සිත ෴

Sunday, June 26, 2011

෴ හීනෙන් හීනෙට / Dream to Dream,෴

කාලයක් තමන්ටම කියල හීනයක් නොතිබුන කෙනෙක් , එක පාරටම හින දකින්න පටන් ගත්තා , දකින්න විතරක් නෙමෙයි , ටික කලකින් ඒ හීන වල ජීවත් වෙන්නත් පටන් ගත්තේ , ඒ හීන ඔක්කොම ඉටු වෙයි කියලා වෙන කවරදාවත් නොතිබුන බලාපොරොත්තුවක් සිතේ ඇති වුන නිසා ම වෙන්න ඇති.

ඒත් දකින සිහින ඔක්කම සැබෑ වෙන්නෙ නැහැ කියලා ආයෙත් වරක් ඇයට එත්තු ගියා.

“ සිහින දකින්නන්ට විතරයි ඒ හින හැබෑ නර ගන්න පුළුවන් , සිහිනයක් නොදකින්නෙක් ට අඩුම තරමින් හීනයක් වත් නැහැ “ කියලා සිතුවත්. ඇය හිතාමතාම හීන වල අතරමං වෙන එක නතර කරා. කොටින්ම හීන දකින එකත් නතර කරා.

ඒත්  . . . . . . . .  නොසිතූ විදිහට දැකපු හීන වැලක් නිසා , අද හිමිදිරියේ ඇහැ අරින්නත් ඇයට ලෝබ හිතුනා. ඒ තරමට ඒ හින ලස්සනයි. කොච්චර ලස්සන වුනත් , එළිවෙලා පැයක් දෙකක් යන කොට , ඇයට හිතුනා , ආයෙත් ඇගේ හින වලට ඇවිත් , ඇගේ හීන පුරා සරන්නෙ නම් හොඳකට නෙමෙයි විත්තිය. දකිනකම් ලස්සනයි.

“ අනේ , මට ඇහැරෙන්නෙම නැත්තම් “ ඇයට සිතුනා. ඇහැරුණාම තමයි මේ විකාර ඔක්කම.

කොහොම  වුනත් ඇගේ සිතට බයයි. කාලෙකට පස්සෙ හීනෙන් දුටුවේ ඇයි ? කරදරයක් ද? අසනීපයක් ද?

“ අනේ  . . . කොහෙ හිටිය ත් සතුටින් , සැනසීමෙන් ඉන්න ඕනි “


ඇය සිය දහස් වාරයක් ප්‍රාර්ථනා කරා. ඒ වගේම ඊටත් වඩා පහත් හඬින් ඇය මෙහෙමත් මිමිණුවා.

“ කරුණාකරල , මගෙ හින වලට ආයෙත් එන්න එපා “

ගීතේ තාලෙට මුමුණන
රස කවි පදයක් වූවට
ඒ කවි පද හදවත තුල
සිරකර ගනු බෑ

රන් හිරු කිරණේ සැඟවී
උණුසුම් සුව ගෙන දුන්නට
ලොවට හොරෙන් වහන් වෙලා
ඉන්නට මට බෑ

යන එන මඟ මල් පාවඩ
අතුරා සුවයක් වූවට
මඩ ගෑවුන පය පැටලෙයි
එන්නට මට බෑ

හීනෙන් හීනෙට එන නුඹ
හරි සැනසීමක් වූවට
ඒ හීනෙන් අවදි නොවී
ඉන්නට මට බෑ


කවි පදයක් සිරගර ගනු නොහැකි වුවත් හදවතේ - නුඹ ලියන්න තව කවි පද වැල් ගයන්න විහඟුන් ලෙසේ

ලොවට හොරෙන් වහන් වෙලා ඉන්නට බැරි මුත් මෙසේ - නුඹ හෙලන්න උණුසුම් රැස් මල් පිපෙන්න හදවතේ
මඩ මිස මල් අයිති නැතත් පා පහසට මේ බිමේ - නුඹ සදන්න මල් පාවඩ සුවඳයි මට මඟ දිගේ

අවදිවන්න බැරි වූවත් හීනෙන් දකිනා රැයේ - නුඹ සිටින්න හැම හීනෙම එළිය කරන් හැම රැයේ


කොහේ , කොතැන , කොයි ලෙසකින් වුන්නත් නුඹ මේ ලොවේ
සැනසුම සුව නිරෝගි සුව නුඹට පතමි මා මෙසේ


නුඹටත් , නුඹ ආදරය කරන සියළු දෙනාටත් , සුබාසිරි පතන
මම
෴ සොඳුරු සිත ෴


“Better never to have met you in my dream than to wake and reach for hands that are not there.”

Saturday, June 25, 2011

෴ ඉරණම්කාරි - විකල්ප අවසානය නොහොත් ලොක්කාගේ කතාව........෴

ලොක්කාට අසාධාරණයක් මයෙ කතාවෙන් සිදු වූවා නම් ,ඒ සියළු අසාධාරණකම් දුරලා , ඔහුගේ දෘශ්ඨි කෝණයෙන් ද , ඔහුගේ කතාව ඇසීමට අප සැමට අයිතියක් ඇති බැව් මගේ හැඟීමයි...... මේ ලොක්කාගේ කතාවයි.......

හැබැයි ලීවේ , මම නෙමෙයි , නිදහස් සිතුවිලි වල සම හවුල්කරුවකු වන රවි අයියා .................


-------------------------------------------------

නිදිවර්ජිතව ගත කල රාත්‍රීන් බොහෝ ගණනකට පසු මම තීරණයකට එළඹියෙමි.

මට බොහෝ අසීරු වූයේ පුතු නඟන පැනයන්ට පිළිතුරු දීමයි.

" තාත්ති අර ආන්ටි ආයෙ එන්නෙම නැද්ද? "

" ආයෙ එන එකක් නෑ පුතා,"

" තාත්ති හරි නරකයි ඒ ආන්ටිව එලවල දැම්ම, මම ඔයා එක්ක තරහම තරහයි,"

" අනේ නෑ, මගෙ රත්තරං, මම එහෙම කලේ නෑ, ඒ ආන්ටිමයි වෙන ඔෆිස් එකකට ගියේ,"

මම එසේ පැවසුවද පුතු මා කියන්න විශ්වාස නොකරන බව ඔහු මා දෙස බලා සිටි බැල්ම උදක්ම පවසයි.

එහෙත් මම කුමක් කරන්නද? ඇත්ත තත්වය පුතුට වටහා දෙන්නේ කෙලෙසද?

අවසන සංජුට කතාකල මම ඇය ගෙදර එන සතිඅන්තයක මා හා පැමිණීමට ඇය කැමති කරවා ගතිමි.

ඒ අනුව සෙනසුරාදාවක ගාල්ලට ගිය මම ඇයත් සමඟ කොළඹ බලා ඒමට පිටත් වීමි. මෝටර් රථයේ අම්බලන්ගොඩට පැමිනෙන තෙක්ම අප අතර කිසිදු කතා බහක් නොවිනි. ලානිල් පැහැති බ්ලව්සයකින් සහ කළු පැහැ දිගු සායකින් සැරසී සිටි ඇය ගෙතූ කොණ්ඩය අතැඟිලි අතර පටලවමින් නිහඬව ඉදිරිය බලා සිටියාය.

අම්බලන්ගොඩ අසල මගේ මිතුරෙකු පවත්වාගෙන යන මුහුද අසබඩ පිහිටි අවන්හලට ආසන්න වන විට මම ඇය ඇමතුවෙමි.

" සංජු, මේ ළඟ මගෙ යාලුවෙක්ගෙ රෙස්ටෝරන්ට් එකක් තියනව. අපි දවල්ට මොනව හරි කාල යමු නේද? "

ඇය එක්වරම මා දෙස හෙලූ බැල්ම වටහා ගැනීමට මට කිසිසේත් අපහසු නොවිනි.

" මොකද ලමයො ඔහොම මා දිහා බලන්නෙ? දවල්ට කන්න විතරයි එතනට යන්නෙ, ඒත් එක්කම මම මෙතනම තෝරගත්තෙ මෙතන හරිම නිස්කලංකයි, මට ඔයාට කියන්ඩ ලොකු කතාවක් තියනව සංජු,"

එවර මඳක් සිනාසුනු ඈ හිස වනා එකඟත්වය පළකලාය.

වම්පස මුහුද දෙසට විහිද ගිය අතුරු පාරෙ මඳක් ගියපසු හමුවන කුඩා හෝටලයට මෝටර් රිය ඇතුලු කල මම පෝටිකෝව යට රිය නතර කොට ඉන් බැස ගතිමි.

" එන්න සංජු, බය වෙන්න එපා,.....එන්න ළමයො,"

ඇය තවමත් රථය තුලම සිටිනු දුටු මම රථයේ වම්පස දොර විවෘත කරමින් පැවසුවෙමි.

ඇගේ අත අල්ලා ඇයට රියෙන් බැසීමට සහය වන්නට මගේ සිතේ එක්වරම ඇතිවූ පෙලඹවීම මම මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි.

එවර මා පසුපස පැමිණි ඇය පොල් රුප්පාවෙන් මනා කොට සෙවණ ලැබ තණ තීරුවේ පනවා තිබූ අසුනක මා අසලින්ම අසුන් ගත්තාය.

මගේ මිතුරා අද මෙහි නොවූමුත් ඔහුගේ උපදෙස් පරිදි සියල්ල සූදානම් කොට තිබිනි.

හෝටලයේ කලමනාකරු අප වෙත පැමිණියේය. " අපිට චිකන් ෆ්‍රයිඩ් රයිස්........... ම්ම්ම්....සංජු මොනාටද ඔයා කැමති? " මම ඈ දෙස හැරී විමසීමි.

" කමක් නෑ, ඒව හොඳයි, " ඈ මද සිනහවක් පාමින් පිළිතුරු දුන්නාය.

" සංජු මම බියර් එකක් බිව්වට කමක් නැහැනෙ," මගේ ඊළඟ පැනයටද ඈ පිළිතුරු දුන්නේ මද සිනහවක් සමඟ හිස වනා එකඟතාවය පළ කිරීමෙනි.

" ලාගර් බෝතලේකුයි................ මේ මිස්ට?....." මම ඇය දැස බැලීමි.

" ලෙමන් ජූස් " ඇය පැවසුවාය.

බියර් පෙණ බුබුලු නිවී යනතෙක් ඒදෙස බලා සිටි මම කටහඬ අවදිකලෙමි.

" මම මේ කතාව කොහෙන් පටන් ගන්ඩද කියල මට මහ ප්‍රශ්නයක් සංජු. අනික් කාරණේ, මටම හිතා ගන්න බැහැ ඇයි මම ඔයා එක්ක මෙව්ව කියන්නෙ කියල. අපි දෙන්න දැක්කෙත් එකම දවසයි. ඒත් මටම හිතාගන්න බැරි මොකක්දෝ දෙයක් මට බල කරනව මේ ඔක්කොම ඔයා එක්ක කියන්න කියල. මම මගෙ ජීවිතේ මුල ඉඳලම පටන් ගන්නම්,......... ඕකේ?, මම විතරයි අපෙ පවුලෙ දරුවෙක් හිටියෙ. ඒ නිසා ජීවිතේ මුල ඉඳලම මම ගත කලේ හුදකලා ජීවිතයක්. මම විවෘත කෙනෙක් නෙවෙයි. ඒ මගේ හැටි. Introvert කියල කියන්නෙ. මම අන්න එහෙම කෙනෙක්. සිංහලෙන් කිව්වොත් සංවෘත. ඇතුලට නැවුණු.හැඟීම් සඟවාගෙන ඉන්න. මම අන්න එහෙම කෙනෙක්. "

" මම විවාහ උනේ ප්‍රේම සම්බන්ධයකින්. මම එයාට ඇත්තටම ආදරේ කලා. එයත් මට ආදරේ කලා කියල මම හිතනව. අඩුම ගනනෙ මුල් දවස් වල විතරක් වත්. මම නවකතා, කෙටි කතා , කවිපොත් කියවන්න පුදුම ආසාවක් තිබ්බෙ. එයා පොතක් පතක් අතින් ඇල්ලුවෙ වත් නෑ. ඒත් අපි දෙන්න සන්තෝසෙන් හිටිය. පුතා ඉපදෙන කල්ම. අඩු ගනනෙ මම එහෙම හිතනව. පස්සෙ වෙච්ච දේවල් වල හැටියට එය සන්තෝසෙන් ඉඳල නැහැ කියන එක තමයි මට කියන්න වෙන්නෙ. ...............මගෙ වැරැද්ද වෙන්න ඇති බොහෝ විට. මම දන්නෙ නෑ.ඒත් එයා කවදාවත් මට ඒ ගැන නිකමටවත් කිව්වෙ නම් නෑ."

" ඔයාට අඩු ගනනෙ හිතාගන්න වත් පුලුවන් වෙයි සංජු එකපාරටම එයා මාවයි පුතාවයි දාල ගියාම මට ඒක කොච්චර ෂොක් එකක වෙන්න ඇතිද කියල,පුතා නැත්නම් මම ඇත්තටම දිවිනහ ගන්නව. ඒත් පුතා නිසා මට එහෙම කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. පුතා වෙනුවෙන් මට ජීවත් වෙන්න උනා."

උස් වීදුරුවේ පිරී තිබූ රන්වන් පැහැති බීර එක හුස්මට පානය කල මම නැවත වරක් වීදුරුව පුරවා ගතිමි.

ඇය ලෙමන් යුෂ වීදුරුවට අතවත් තබා නැත.

" සංජු.......මොකද කරන්නෙ ළමයො.....ඕක බොන්නකො..."

" හරි , හරි සර් මම බොන්නම්, සර් කතාව කියන්නකො " ඇය වීදුරුව සුරතට ගත්තාය.

" ඔය අතර වාරෙ තමයි මදාරා මට කිට්ටු උනේ. ඇත්තටම ඒ අපෙ අම්ම කරපු වැඩක්. එයා තමයින් මදාරා හොයල මට කිට්ටු කලේ. මමත් ඒ කාලෙ පුදුම කලකිරීමකින් හිටියෙ. ඒ නිසා මදාරා මගෙ ජීවිතේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්න කලාය කිව්වොත් හරි.අපි තදින්ම ආදරේ කරපු කෙනෙක් අපිව දාල යන එක ලෝකෙ ඕනම මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. කිසි කෙනෙකුට අපිව ඕන නැහැ කියන හැඟීම කියන්නෙ පුදුම අසරණ හැඟීමක්. මදාරා තමයි මාව ඒ තත්වෙන් මුදාගත්තෙ. ඒකට මම මදාරට සදා ණය ගැතියි. "

" හැබැයි කිසි දවසක මම මදාරට ආදරේ කලේ නෑ. අදත් නෑ. හෙටත්....... මම හිතන්නෙ නෑ. මදාරත් මම හිතන්නෙ ඒක දන්නව. ඒත් ඒක එයාට ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි මම හිතන්නෙ."

" මගෙ බිරිඳ මාව දාල ගියායිම් පස්සෙ මම හිතාගෙන හිටියෙ කිසිම කෙනෙකුට මගෙ හදවත විවෘත කරන්නෙ නැහැයි කියල. ඒ වින්ද වේදනාව ආයෙම විඳින්ඩ මට බැරි බව විතරක් මම දැන ගෙන හිටිය."

" ඔහොම මගෙ පුතයි මදාරයි අතර බොහොම සරළව ගතවෙච්ච මගෙ ජීවිතය එක දවසක උඩු යටිකුරු උනා."

බියර් ස්වල්පයක් පානය කල මම වීදුරුව මේසය මත තබා ඇය දෙස බැලීමි.

ඇය ප්‍රශ්නාර්තයෙන් මදෙස බලා සිටියාය.

" yes, Sanju that was you, one day you entered my life totally unexpectedly and.........do you know this?.........turned it upside down,...yes, you did it,"

" සර්......මම"

" නෑ, නෑ, සංජු කළබල වෙන්න එපා. ඒක ඔයා හිතල කල දෙයක් නෙවෙයි. ඔයාගෙ තුන් හිතකවත් එහෙම අදහසක් නොතිබ්බ බව මම හොඳටම දන්නවා. ඒත් සංජු ඒක තමයි උනේ."

" පහුවදා ඔයා එයි කියල මම කොච්චර වෙලාවක් බලා හිටියද? පස්සෙ ඔයා කෝල් කරල කිව්වම ඔයාට වෙන රස්සාවක් හම්බ උනාය ආයෙ එන්නෙ නැත කියල මම හිතුව ඒකත් උනේ හොඳටය, මට ඔයාව මගෙ හිතෙන් අයින් කරගන්න පුලුවන් වේවිය කියල."

" ඒ උනාට එහෙම උනේ නෑ, සංජු මට ඔයාව අමතක කරන්ඩම බැරි උනා. ඒ පාර තමයි මම ඔයාට කතා කරල කිව්වෙ මම එන්නම් අපි හම්බ වෙලා කතා කරමුය කියල."

" මම ඇත්තටම දන්නෙ නෑ. ඔයාගෙ හිතේ මා ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියල. එක අතකට මම මෙහෙම ඔයාට කියන එකත් වැරදියි. ඔයා මට වඩා බොහොම ලාබාලයි.ඔයාගෙ ජීවිතේ තියෙන්නෙ ඉස්සරහට. මම ජීවිතේ වරද්ද ගත්තු මනුස්සයෙක්.ඒ නිසයි මම කිව්වෙ මම මෙහෙම කියන එක වැරදියි කියල මගෙ හිත මට කියනව කියල. ඒත් මට ඒ ටික නොකියා බෑ සංජු, මම ඔයාට ආදරෙයි.................. ඔයා මට ආදරේ කලත් නොකලත් මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මම දන්නෙ කොන්දේසි විරහිතව මම ඔයාට ආදරෙයි කියන එක විතරයි."

හිරු බැසයමින් පැවතුනි. මම හිස හරවා ඈ දෙස බැලීමි. ඇගේ දෑස කඳුලින් බරවී තිබිණි. සෙමෙන් මා වෙත පැමිණි ඇය මගේ උරහිසට හිසතබා කඳුලු පිරි දෑසින් මදෙස බැලුවාය. මම නැවී ඇඟිලි තුඩගින් ඇගේ කඳුලු පිස දමා අපරිමිත සෙනෙහසින් ඇගේ නලලත සිප හතිමි.

" මගෙ ජීවිතේ හරියට දිය වැළකට අහුවෙලා වගෙ සංජු, ඔයා දන්නවද දියවැළකට අහුවුනාම වෙන දේ............ අපිට කවදාවත් බෑ දියවැලට විරුද්ධව පීනන්ඩ. පුලුවන් එකම දේ තමයි දිය වැලත් එක්ක ඔහේ යන දිහාවකට යන්ඩ ඇරල ජීවිතේ රැකගන්න එක. මටත් දැන් වෙලා තියෙන්නෙ අන්න ඒ විදිහෙ දෙයක් සංජු, මමත් දිය වැලකට අහුවෙල ගහ ගෙන යනව. මට බේරෙන්ඩ බෑ. මට මදාරව බඳින්ඩම වෙනව සංජු.මට වෙන කරන්ඩ දෙයක් ඇත්තෙම නෑ. I am really sorry Sanju, I have no other alternative, I am really really helpless, "

මෙතෙක් මගේ උරහිස මත හිස හොවා සිටි ඈ කෙලින් වී හිඳ ගත්තාය. ඉන්පසු අත්බෑගයෙන් ලේන්සුවක් ගෙන දෙකොපුලේ ගලන කඳුලු පිස දැමුවාය.

" කමක් නෑ, සර්, මගේ හිතේ සර් ගැන තියන හැඟීම මොකක්ද කියල දැන් කියල වැඩක් වෙන්නෙ නෑ කොහෙත්ම. ඒ නිසා ඒක මගෙ හිතේම තිබුනාවෙ. කොහොම උනත් මම සර්ගෙ අනාගතයට හදවතින්ම සුබ පතනව.එහෙම විතරක් හිතාගන්ට සර් ඒ හොඳටම ඇති "'
ඇගේ නිවස අසල මම රිය නැවැත්වීමි. ඇගේ සුරත ගෙන මගේ මුවට ලංකොට සිපගතිමි. ඈ මගේ උරහිසට හිස වාරුකොට මොහොතක් සිටියාය. මම අවසාන වරට ඇගේ දෙකොපුල දෑතින්ගෙන නලලත සිපගත්තෙමි.

" ආයෙ අපි කවදාවත්ම හමුවෙන එකක් නැහැ සංජු එක අතකට ඒක එහෙම වෙන එකත් හොඳයි. නැත්නම් මට ඒක දරාගන්ට බැරිවෙයි."

" මම යන්නම් සර්, හැමදේම වෙන්නෙ හොඳට කියල හිතා ගන්ට. මට වෙන කියන්ට දෙයක් නෑ......යන්නම් "

ඇය සෙමින් සෙමින් පසුපස නොබලාම ඇගේ නිවස වෙත පානඟන අයුරු මම බලා සිටියෙමි. මගේ ජීවිතයෙන්ද සදහටම ඉවතට පානඟන අයුරු මම කඳුලු පිරි දෙනෙතින් බලා සිටියෙමි.


රත් පියුමක්ය පිපුනේ නිල් විල මැද්දේ,
අත දිග මදිය නෙලනට ඒ දිය ගැඹරේ,
අසරණ සිතින් මම ඉන්නෙමි විල ඉවුරේ,
පියුමේ රුව බලා සැනසෙමි මගෙ උරුමේ,

නෙත කඳුලකින් පිරි දා ඔබ හමුවූයේ,
සිත පිරි හැඟුම් කෙලෙසක පවසනු ලඳුනේ,
කිසිදා යලිදු හමුනොවනා මුත් සසරේ,
ඔබ රුව මතක නොමැකෙනු ඇත මගෙ සෙනෙහේ,

කිසිදාක හිමි නොවන,
ඇගේ සෙනෙහස ලබන්නට,
පමණක් පින් කල,
මම
෴ ලොක්කා ෴

Friday, June 24, 2011

෴ ඉරණම්කාරී (අවසන් කොටස ) ෴

සිදු වූ අනපේක්ෂිත සිදුවීමත් සමඟම දෙදෙනා මොහොතකට ගොළු වූ වත් , බොළඳ විය පසු කර සිටිය වුන් නිසා හොඳ සිහි එල්ඹ ගැනීමට තරම් වේලාවක් නොගියේය.


“ සොරි “


“ ඉට් ස් ඕකේ “


“ අපි යමු නේ ද ? “


“ මොනව හරි බීලම යමු ද ? “


“ දැන් බැහැ . “


“ හොඳයි එහෙනම් , යමින් ගමන් මඟ දි කොහෙ හරි  . . . . . . . .  “


“ ඕනි නැහැ . . . . .මට රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනි “



රිය තුල පැතිර ගියේ දැඩි නිහඬතාවයකි. ඔහුගේ ඇස් මාර්ගයෙන් ඉවතට නොගියේ , ප්‍රථමවරට රිය පදවන්නාක් මෙනි. ඇය ද කිසිවිටක ඔහු දෙස නොබැලු වේය. නමුදු ඔහු හා මේ ගමන පැමිණී ම ගැන සිය දහස් වරක් සිතින් තමාටම දොස් කියා ගත්තී , රිය කවුළු දොරින් පිටත බලාගත් වනම සිටියා.


අවසානයේ ගැඹුරු සුසුමක් හෙළු ඔහු , තම කටහඬ අවදි කළේ , මාර්ගයේ පසක වූ තේ පැන් සැලක් අසළට රිය නතර ගරන ගමන්ය.


“ මොනහ හරි බොමු. මට හරි බඩගිනි “


කිසිත් කතාවක් නොකළ ඇය ද ඔහු පසු පසින් වැටුණාය.


“ මොනා ද කන්නේ ? “


“ ම්ම් තේකක් ඇති “


“ සංජු මාත් එක්ක අමනාප වෙන්න එපා. මට ඒක දරාගන්න අමාරුයි.මම අද ආපු ගමන වැරදී කියල මගෙ හිත කීවත්, ආයෙත් මේ වගේ වැරදි නොකෙරෙන්න , ඔයාට දුකක් නොදී ඉන්න , අද මේ දේ මං කියන්නම ඕනි “


“ කියන්න “


“ අනිද්දට , මම ජීවිතේ දෙවෙනි වතාවටත් විවාහ වෙනවා සංජු “


“ හ්ම් . . . .  මදාරා “


“ එවු මදාරා තමයි , මට ඒ විවාහයට පිටු පාන්න බැහැ. ආදරය කියන්නේ විවාහය ම නෙමෙයි “


ඇය සිනා සුනේ ඔලොක්කුවට ද , දුක් මුසු හැඟීමකින් ද එසේත් නැති නම් , කිසිම හැඟීමකින් තොරව දැයි හඳුනා ගැනීමට ඔහුට නොහැකි විය.


“ ඒක හොඳයි. කිසිම මනුස්සයෙක්ට තනියම ජීවත් වෙන්න බැහැ. විශේෂයෙන්ම පුතාට “


“ පුතා . . . . පුතා ගැන මම හිතනව නම් , මම කරන්න ඕනි අවිවාහකව ඉන්න එකයි සංජු. මොක ද කියනනම්, මගේ විවාහයෙන් පස්සෙ පුතා මගෙන් ගොඩක් දුරස් වෙනවා “


“ ඉතින් ඒක දුක් වෙන්න දෙයක් ද , මදාරට පුතා කිට්ටු වෙන එක කොයි තරම් හොඳ ද “


“ හෙහ්  . . .මදාරට කිට්ටුවෙන එකක් ගැන නෙමෙයි මම කියන්නේ , පුතාව දැනටමත් හොස්ටල් එකක නතර කරන්න ඔක්කම සූදානම් කරලත් ඉවරයි “


“ මොන ව “


“ ඔවු . . . . අපිට ඕනි දේවල් , අපි කැමතිම දේවල් , අපේ ළඟ තියා ගන්න බැහැ සංජු , ජීවිතේ ඉදිරිය ගැන හිතලා , අපිට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා “


“ ඔහෙට නම් පිස්සු “


“ ඔවු මට පිස්සු  , මං හිතුවා අඩුම තරමින් ඔයාට වත් මාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියල සංජු, දැන් බැලුවම ඔයත් “


“ මට කවදාවත් පිරිමි තේරුම් ගන්න බැහැ. ඒත් එයා අර පොඩි එකාට කරන අසාධාරණ වැඩේ නම් මට උහුලන්න බැහැ. . . . . . .  එක අතකින් දරුවන් ගැන හිතන්න කලින් තමන් ගැන හිතන එකෙත් වරදක් නැහැ . අපි යමු නේද මට රෑ වෙනවා “


“ ඔයා තවම තේක බීල නැහැ නේ “


“ඒක ඇල් වෙලා , මට එපා නිවුන තේ අපි යමු “


ඇය , ඔහුටත් කලින් අසුනින් නැගිට , රිය වෙත පිය මැන්නේ . කාටත් නොපෙනෙන ලෙස ඉනූ කඳුළු පිසිමිනි.


ඉතාම සෘජු සහ පැහැදිලි මාවතක රිය ධාවනය වූයේ අධීක වේගයෙනි. ජීවිතයත් මේ වාගේ නම් . කිසිවකුටවත් බිය නොවී , තමා සිතු පරිදි තමාගේ ජීවිතය ද මෙසේ ධාවනය කරගෙන යෑමට හැකිය. නමුදු එක් දෙයක් පමණක් වෙනස් වේ. එනම් සෘජු හා පැහැදිලි මාර්ගයේ අධික වේගයෙන් යනවා වෙනුවට , තම සිත් ගත් ඇයත් සමඟ හැකිතාක් සෙමින් දිවිය ගෙන යමි, එයට හේතුව , ඇය හා ගෙවෙන , ගෙවන සෑම මොහොතක් ම ඉතාම වටිනා බැවිනි.මෙසේ සිතූ ඔහු එක්වරම රියේ ධාවන වේගය අඩු කළේය.


ඔහු ඇය දෙස බැලුවේ , ඇය තමා දෙස බලා සිටිනා බවට ඔහුට හැඟුනු බැවිනි.


ඇය තම කටහඩ අවදි කළාය.


“ එයාට බැරි ද , පුතාව හොස්ටල් දාන එක තව අවුරුද්දකට කල් දාන්න “


“ මට කසාද බඳින එක කල් දාන්න බැහැ සංජු “


“ කෙහෙලේ මල් කසාඳයක් ගැන නෙමෙයි මං කියන්නේ “


“ ප්‍රෙහ්ලිකා නොකිය කෙලින් ම කියන්න “


“ පුතාව හොස්ටල් යවන එක තව අවුරුද්දකින් කල් දාන්න පුලුවන් නම් , මට පුළුවන් පුතා වෙනුවෙන් යාට උදවුවක් කරන්න “


“ ඒ කොහොම ද ? “


“ මට තව අවුරුද්දකින් , ට්‍රාන්සර් එකක් ගන්න පුළුවන් , කොළඹ ස්කෝලෙකට, එයා අකමැති නැත්තම් , මට පුලුවන් පුතාව මගෙ ස්කෝලෙට ගන්න. ඒත් ඒක පුතාට කරන අසාධාරණයක් “


“ පුතා ඔයා ළඟ ඉන්නව නම් , ඒක මගේ හිතට ලොකු සහනයක් බව ඇත්ත, ඒත් . . . . . .  ඔයා තවමත් තනිකඩ ගැහැණූ ළමයෙක් “


“ ඒකෙ ප්‍රශ්ණයක් නැහැ “
ඉන් පසු ඔවුනතර පැවතියේ දැඩි නිහඬ බවකි.ඉතාම ආසා කරන දේවල් හි පැවැත්ම , ඒ දේවල් ළඟාකර ගත් වහා පලායන බැඩ් ඇය අහදන සත්‍යයක් නිසා, කිසිවිටක ඇය ආසා කරන දේ ළඟාකර ගැනීමට නොහැකි වූවායැයි ඇය හඬා වැටෙන්නෙ නැති නමුදු තවමත් නොපිපුන පොහොට්ටුවක් වැනි වූ පොඩ්ත්තා ගැන නම් ඇගේ සිතේ උපන්නේ සෝකයකි.


ඇයව නිවසටම ඇරල වූ ඔහුගේ සිත, දුකක් මෙන්ම , කිව නොහැකි , වටහා ගත නොහැකි සැනසිලිදායී හැඟීම් රැසකින් ද වෙලා ගෙන තිබුනි.


ඔහු තම සිත දැඬි කර ගත්තේ . පිරිමිකමටම ලැබී ඇති දැඬි බවේ උපරිම සීමාවත් ඉක්මවා යමිනි. සියල්ල සිදු වන්නේ හොඳට නම් , එයට ඉඩදිය යුතුව ඇත.



ඉන් ටික කලකට පසුව  ඉතා දුර බැහැර පාසලකට ස්ථාන මාරු ලැබ පැමිණියේ ඉතා ම නිහඬ ගුරුමහත්මියකි. ඇය ඉතාම කරුණාවන්ත වූ අතර , සමාජය හා මුහුවීම ඉතාම අඩු විය. ඇගේ පුතා ද ඉතාම හුරුබුහිටි කීකරු දරුවෙකු වූ අතර විටින් විට පැමිණෙන මහත්මයකු මිසක ඔවුන් බැලීමට පැමිණෙන වෙන අයකු නොමැති බව විමසිලි ඇස් ඇති ගැමියෝ පවසන්නට විය.


ජීවිතය නම් නොපැතූ දේ සමඟ නොදන්නා මාර්ගයක යෑමට සිදු වෙන චමත්කාරය පිරි සොඳුරු ගමනක් බව ඒ සුන්දර ගුරුතුමිය නිතර පවසන වදනක්  බැව් ඇයට ආදරය කරන දරුවන් පවසයි.

“Sacrificing your happiness for the happiness of the one you love, is by far, the truest type of love.”

ඇගේ ජීවිතයට සුබාසිරි පතන
මම
෴ සොඳුරු සිත ෴


මෙතෙකේ මා සමඟ රැඳී සිටිමින්  , අදහස් පළ කළ හා නොකළ සියළු දෙනාටම , ඉරණම්කාරියගේ ස්තූතිය මෙයින් පිළිගන්වමි.

Thursday, June 23, 2011

෴ ඉරණම්කාරී 11 ෴

ලොක්කාගේ ලියුම කියවා නිම වන විට ඇයට දැනුනේ  මොහොතකට සිහින ලොවකට ගොඩවැදුනාක් මෙන්ය. අගනගරයේ ඉහල පැලැන්තියට අයිති වූ ඔහුට ,සිංහල ලිපියක් තබා වාක්‍යක් ගලපා ගැනීමට හැකිදැයි තිබූ සැකය පළවා හැරීමට මේ ලිපිය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් විය. පද ගලපා ලියා තිබූ කවිය ද සැමදා දකින කවි වලට වඩා වෙනසක් ගත්තේය.

පිළීතුරු ලිපියක් අවශ්‍ය බව නොකියා තිබුනත් , අසන ලද ප්‍රශ්ණ කිහිපයක් එහි තිබුනි.එදා රාත්‍රියේ සිහින පුරාම , ඇය කළේ ඔහුට පිළිතුරු ලිපි ලිවීමයි.

මෙසේ ඇරඹුන ලිපි ගනු දෙනුව , ඇගේ සිතට ගෙන ආවෙ විශාල අස්වැසිල්ලකි. ලිපි මෙන්ම හුවමාරු වූ පොත් පත් ගනන ද ඔහු , ඇගේ සිතේ ජීවමාන කිරීමට සමත් විය. හමුවී වුවත් කතා බහ කර හුවමාරු නොවන අදහස් රැසක් , ලිවීම නිසා හුවමාරු විය. සිත අභ්‍යන්තරයේ ගුලී වී ඉකි ගසන හැඟීම් රැසක් , එකිනෙකාට පවසන්නට වූ ඒ ලිපි වල තැවරූ තිබුනේ හෘදයාංගම අවංකකමයි.

ඔහුට මදාරා හා විවාහ වීමට සිදු වන බව එකම එක් ලිපියක පවසා තිබුනා මතකයේ රැඳී තිබුන අතර , මා කිසිදිනක එයට හේතුව කිසිවිටක නොවිමසූ අතර , ඔහු ද නැවත කිසිම විටක ඒ බව සඳහන් කළේ ද නැති.

එහෙත් ,  හිරු බසිමින් තිබුන එක් සුන්දර සැදෑවක් , මේ සියලුම සිදු වීම් කණපිට පෙරළිමට සමත් විය.

එදි න සිකුරාදා දිනයක් වූ අතර පසු දා නිවස බලා යෑමට අවශ්‍ය කළමණා පිළියල කිරීමෙහි ඇය නිරත වී සිටන විට , නවාතැනේ හිමිකාරිය ඇගේ නම අමතා කතා කරනු ඇයට ඇසුනි.

“ සංජු ..... දුවේ . . . . . .  මෙන්න කවු ද ඇවිල්ලා “

ඇය හමු වීමට නිතර නිතර පැමිණෙන පාසල් සිසු සිසුවියන් ඇයට අරුමයක් නොවේ. කරමින් සිටි වැඩය අහවර කරම යන්නෙමියි සිතූ ඇය ,

“ හා . . . . . හා නැන්දේ. පොඩ්ඩක් ඉන්න කියන්න. මං එන්නම් “

වචන පිටවී අවසන් වීමටත් පෙර ඇගේ කාමරයේ දොර කඩ තිර රෙද්ද මෑත් කරමින් ගෙහිමි කත පෙනී සිටියේ , අපූරු මනමාල සිහනවකින් සරසා ගත් වතක් ද ඇතිවය. ඒ වත දුටු පමණින් ම, කුමක් හෝ අරුමයක් සිදු වී ඇති බැව් ඇයට වැටහුනි.

“ ඇයි නැන්දා  , ? “ ඇය විශ්මය රැඳි දෙනෙත් වල වූ හැඟීම් වචන බවට පෙරළමින් ඇසුවාය.

“ අන්න අර ළමයා ඇවිත් බලා න ඉන්නවා “

“ ආහ් . . . පොඩ්ඩක් ඉන්න කියන්න. වෙලාවකට හරිම වදේ. පවු . . .  ඉගෙන ගන්න තියෙන ආසාව නෙ “

“ ඉගෙන ගන්න , ඉගෙන ගන්න ආපු බවක් නම් පෙන්නෙ නැහැ ළමයො. උගන්නන්න ආව බවක් තමයි පෙන්න තියෙන්නේ “

එසේ පැවසූ ගෙහිමි කාත්නාව ආපසු යෑමට සැරසුනි.

“ ආහ්  . . . . “

කරමින් සිටි වැඩය නතර කර ඇය , ගෙහිමි කාන්තාව පසු පසින් වැටුනාය.

තවමත් සාලයේ  දොරකඩ මත සිට ගෙන , ගෙතුලට පසු පස හරවා , අවට සිරි නරඹමින් සිටි අමුත්තාව හඳුනා ගැනීමට ඇයට වැඩි වේලාවක් නම් ගත වුනේ නැති.

සිතට දැනුන විශ්මය පාලනය කර ගත නොහී ඇගේ මුවින් පිටවූයේ

“ ඔයා ! ! ! ! !“

විශ්මය රැඳි හඬික් සිහි එළඹ ගත් අමුත්තා ද ,  හිස හරවා ඇය දෙස බැලුවේය.
------------------------------------------------------------------------------------------

ඉන් මද වේලාවකට පසුව ඔවුන් දෙදෙනා දැක ගත හැකි වූයේ  සැඳෑ හිරු රැස් වලින් නැහැ වෙමින් තිබුන  , පුංචි ළමයි ගේ කෑකොස්සන් නාදයෙන්  පිරී තිබුනු , දකුණූ පළාතේ නම ගිය සුන්දර වෙරළ තීරයකය. රැළි පිට රැළි විත් ඇගේ දෙපා තෙමන්නට විය, කළුම කළු පැහැති ඇගේ දිලිසෙන අකීකරු කෙහෙරැළි ලුණු රස මුසු සුළඟට එකතු කළේ අපූරු සුවඳකි. ඇයට අඩි .තුන හතරක් පිටු පසින් සිටි ඔහු , සිත පුරා ,නෙත පුරා අගේ රැවත් , පපුව පිරෙන්නට ඇගේ සුවඳත් වින්දේ සිත රැඳි කාංන්සිය ක්ෂිතජයෙනුත් ඔබ්බට පලවා හරිමිනි. වරින් වර හිස හරවමින් , ඔහු දෙස බලමින් ඇය සිනාසුනාය.

ඇය ළඟට යෑමට . ඇගේ අතින් අල්ලාගෙන, ඇගේ ඇගේ ගෑවෙමින් රැල්ල පෑගීමට , ඇගේ බඳින් අල්ලා , මුහුදට විසි කිරීමට ඔහු වයසින් මුහුකුරා වැඩි බව ඔහුට සිතෙන්නට ඇත. නමුත් සිත කියන දේ නෑසු කය , සෙමෙන් සෙමෙන් ඇය කරා ඔහු මෙහෙය වන්නට විය.
හිස ඔසවා ඔහු දෙස බැලූ ඇය ,

“ අපරාදේ , පුතාවත් එක්කන් එන්නයි තිබ්බේ “ යැයි පැවසුවේ , රැල්ල පාගමින් සෙල්ලම් කරන පොඩිත්තන් දෙස බලමිනි.

“ කොහොම එක්කන් එන්න ද ? අද මං ආවේ මං වත් නොසිතපු ගමනක් කොට “

“ ඒ කීවේ ? “

“ නැහ් . . . .  ඔෆිස් එකේ වැඩකට ගියපු ගමන් . නිකමට හිතිලා ඔයාව බලන්න ආවේ“

එකවර නැඟී ආ මහ රැල්ලක කින්  ඔවුන් දෙදෙනා නැහැ වී ගියේ නොසිතු ලෙසිනි. බිය වූ ඇය , ඔහුගේ අතින් අල්ලා ගත්තීය.


“for whatever we lose (like a you or a me) / it's always ourselves we find in the sea

හෙටක් ගැන නොසිතා , නෙත ක්ෂිතජයේත් , සිත මුහුදු සුවදේත් පා කර හැරි
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, June 22, 2011

෴ නම නැති සෘතුව / The Unknown Season ෴



වසන්ත‍යේ අග දවසක

නටුවෙ අන්තිම අග මල
නෙලා ගත්ත නුඹ ආවා
හිත යට සෙවනට ඉන්නට 


ජීවිතේම වසන්තයක් නොවෙ දෝ මට සිතුනා

ගිම්හානයේ මල් හැලිලා
ආදරයේ ඵල හැදිලා
රස මී ගගුලක ගිලිලා
නුඹ මා තුරුලේ වුන්නා

ආදරයම ජීවිතයක් නොවෙ දෝ මට සිතුනා

අන්තිම ඵලයත් සෙනෙහස
තවරා මිහිරක් දුන් කළ
සෙවන සුවය මදි වෙලා
නුඹ ඈතක ඇදුනා

සරත් සමය නිම වුනා , මා සිත එක්තැන් වුනා


දුක හිතුනම හීතලෙන්ම
මා සිත මෙහි මිඳුනා
අදහගන්න බැරි තරමට
ලොව මා වට එතුනා

ජීවිතයම ශිසිර හිමෙන් වැහිලා මිය ඇදුනා

වසන්තයත් , ගිම්හානය , සරත් , ශිසිර සෘතු ගෙවා
කෙනෙක් ඇතේ ශීතලයෙන් මියෙන හිතක් දෙස බලා
දරා ගන්න බැහැ සීතල මියෙනු යෙහෙකි මා
එපා ඉතින් දාලා යන්න ළඟින් හිඳිමි මා

එවන් අයකු හමුවන තෙක් ශීත සෘතුව නවතලා
මියෙන හිතක් සෙනෙහස ගෙන
ඇතේ තවත් මඟ බලා
මියෙන්න පෙර එන්න ඉතින් සෘතුවක් වී නම නොදන්න
කිසිදිනක දි බැහැ එතකොට අපිව ඉතින් වෙන් කරන්න


“And you would accept the seasons of your heart just as you have always accepted that seasons pass over your fields and you would watch with serenity through the winters of your grief.”


නම නොදන්න සෘතුව එන තෙක් ශිසිරයේ සීතලේ සිටින
මම 
෴සොඳුරු සිත෴

Tuesday, June 21, 2011

෴ ඉරණම්කාරි 10 (අතුරු කතාව ) ෴

ඇය ලිපිය කියවන්නට යත්න දරද්දී , සමාන්තර කාල වකවානුවේ ඊට පෙර දා රාත්‍රියේ දී නිදිවර්ජිත සිතක කතාවයි මේ .

------------------------------------------

ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් ගතවූ සතියක් ඉක්ම ගියේය. ඇයට අවශ්‍ය තරම් කාලය ලබාදෙන්නෙමැයි පැවසුවද අසීමිතව ඉවසීමට මසිත සූදානම් නැති බව මට හොඳින්ම පැහැදිලිය.

පුතුට කවා පොවා නිදිකරවූ ඉක්බිති පසුගිය සතියම අලුයම දෙක පමණ වනතුරු මා ගෙවූයේ නිදන කාමරයෙන්ම පිවිසිය හැකිවූ කුඩා සඳළු තලයේය.පොසොන් පුරා සඳ සඳළු තලය එලි කරද්දී මඳ පමණ මත්වූ සිතින් යුතුව මම මගේ ජීවිතය පිළිබඳ පුනරාවර්ජනයක යෙදුනෙමි.

ජීවිතේ කිසිදාක බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවූ පසු යළි කිසිදිනෙක කිසිවෙකුට හදවත දොරගුළු නොහරින්නෙමැයි සපථ කලේ, මා එක්වරක් විඳි ඒ සිත අකර්මන්‍ය කරවන බලවත් වේදනාව නැවත වරක් විඳීම මට කිසිසේත් කල නොහැකිබව උදක්ම දත් හෙයිනි.

එහෙත් ජීවිතය කිසිසේත්ම අපට සිතැඟි පරිදි හැඩ ගසා ගත නොහැකි බව දෙවන වරටත් පසක් කරමින් ඇය මා හදවතට අනායාසයෙන් පිවිසියාය. පිවිස එහි නවාතැන් ගත්තාය.

හුලවාලි චිත්‍රපටයේ සුනිල් එදිරිසිංහයන් ගයන දුක්බර එහෙත් මගේ ප්‍රියතම ගීයක් සෙමින් මිමිණුනේ මටද නොදැනීමය.

කුඩාගමේ මද්දහනේ අව් රශ්මිය නිවා,
දොලේ කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා,
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා,
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා,

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා,
මල් ගෝමර පිපුණු ළමැඳ වසා ගනින් කියා,
මගේ අතින් දුන් සළුවෙන් ළමැඳ වසා ගෙනා,
රිදී පොටක් පළඳන්නට වරම් නැතිව ගියා,

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී,
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී,
ආලෙ බිඳුනු දා කුමකට කඳුලු හෙලනු සකී,
ආල වඩන යන තේරුම බෝසත්කම සකී,

ගෙමිදුල අඹ ගසේ පොරකමින් සිටි වවුලෝ එක්වරම පැතිරී ගිය එළියකට බියවී හඬ නඟමින් පලා ගියෝය.

උන් බියවීමට හේතුව උල්කාවකි. හන්තාන කන්ද ඉහලින් උල්කාවක් නිමේශයක් හාත්පස එළිය විහිදුවමින් පුපුරා ගියේය.

කුඩා කල මෙවන් රාත්‍රියක උල්කාවක් පිපිරී ගිය වහාම අම්මා හෝ අප්පච්චි පවසන්නක් මගේ මතකයට නැඟිනි.

" උල්කාපාතයක් පිපිරෙනකොට මොකක් හරි ප්‍රාර්තනා කලොත් ඒක ඉෂ්ඨ වෙනවා "

" මට ඕනෙ ඒ උල්කාපාතය ආයෙම දකින්නට " මම කීවෙමි,

" ඒක හරියන්නෙ නෑ පුතා, ඒක ආයෙම කවදාවත් දකින්ට ලැබෙන්නෙ නෑ, ආයෙ කවදාවත්ම, " අම්මා මගේ හිස අතගාමින් පැවසුවාය.

සංජු මගේ ජීවිතයට ඇතුලුවූයේද උල්කාවක් හා සමානව බව මට හදිසියේම සිහිවිය. ඇයද මොහොතක් මගේ ජීවිතය වෙලාගත් ගනඳුර දුරුකොට හාත්පස ඒකාලෝක කරමින් බැබලී නැවත කිසිදාක දක්නට නොලැබෙන ලෙස මගෙන් වෙන්ව ගිය උල්කාවක් නොවේද?

ඇය උල්කාවක් මෙන් මොහොතක් මා දිවිය එලිය කොට නිවී ගියද මගේ ජීවිතය මුලුල්ලේ ඇගේ එළිය මතකයේ පවතින බව මම නිශ්චිතවම දැන සිටිමි.

මා දහසක් දුක් දොම්නස් මැද ගෙවූ ඒ මෑත අතීතයේ මා සිත සනහා ගන්නට බොහෝසේ උපකාරී වූ නවකතාවක් වූ Nicholas Sparkes ගේ Message In The Bottle හදිසියේම මට සිහිවූයේ එහි ගැරට්ගේ ජීවිතය බොහෝසෙයින් මගේ ජීවිතයට සමාන වන නිසා විය හැක.

තම ආදරණීය භාර්යාවගේ වියෝවෙන් දුකින් පිරුනු ජීවිතයක් ගත කරන ගැරට් අනපේක්ෂිතව හමුවන තෙරේසා නිසා ජීවිතය අලුතින් ඇරඹීමට තැත් කරන මුත් ඒ සියලු බලාපොරොත්තු සුන් වී යන්නෙ කොතරම් ඛෙදජනක ලෙසද?

ජීවිතය කෙරෙහි මහත් කලකිරීමෙන් සිටි එකල සමහර මෙවන් රාත්‍රියන් හිදී, Message In A Bottle කතාව කියවා මා වෙනුවෙන් නැඟි ආත්මානුකම්පාවකින්ද, නැතහොත් ගැරට් කෙරෙහි ඇතිවුනු අනුකම්පාවෙන්දැයි අදටද මටම පැහැදිලි නොමැති හැඟීමකින් මම ඉකි බිඳිමින් හැඬුවෙමි.

නිදන කාමරයට පිවිසි මම පුතුගේ පොරවනය යලි සකසා ඇඳ අසල පොත් රාක්කයෙන් Message In A Bottle ද රැගෙන යලි සඳළු තලයේ අසුන් ගතිමි.

ගැරට් සමඟ යලි ඔහුගේ දුකින් පිරුණු ජීවිතයට පිවිසුණු මම කතාවේ අවසාන භාගයේදී තෙරේසා පවසන මේ වදන් ලඟ මොහොතකට නතර වීමි.

" If some lives form a perfect circle, others take shape in ways we cannot predict or always understand. Loss has been a part of my journey. But it has also shown me what is precious. So has a love for which I can only be grateful. "

පොත පසෙක තැබූ මම අසල කනප්පුව මත තිබූ සටහන් පොත රැගෙන සිතෙහි පොදිකන හැඟුම් කුරුටු ගාන්නට වීමි.

සෙනෙහසේ නවාතැන ඔබ සිතයි,
මහද විල පිපි පියුම ඔබ වතයි,
මඟ කියන පහන් තරු නෙතු යුගයි,
පිය ලඳුනි මට වරම් නැති ලෙසයි,

ඔබ සිනහ රැඳුනු වත සිතේ ඇඳි සිතුවමකි,
නිල් නයන කැලුම් නිති නෙතේ රැඳි සිහිනයකි,
නැවත කිසි දිනෙක අප හමු නොවෙන මුත් ළඳුනි,
ඔබ නමින් බැඳි සෙනේ සදා මගෙ මතකයකි,

හතරට නැවූ කොළය පොත තුලට රුවා පොතද රැගෙන නිදන කාමරයට ගිය මම පුතු අසලින් වැතිර ගතිමි.

" හෙට මේක සංජුට පෝස්ට් කරනවා.එතනින් මගෙ ජීවිතේ ඒ පරිච්ඡේදයත් අවසානයි "

සිතන අයුරු සියල්ල පහසු නොවන නිසාම, නින්ද අහලකට වත් නොපැමිණ මම හිමිදිරිය වන තුරුම නිදිවර්ජිතව සිටියෙමි.

ජීවිතයේ පරාජයම උරුම වුවද,
බෝසත්කමට පෙරුම් පුරන,
මම
෴ ලොක්කා ෴


---------------------------------------

ප/ලි: - හිතවත් රවි අයියා .... බුද්ධිමය දේපල පැහැර ගැනීමක් ලෙස නොසිතනු ඇතැයි ද, නොඅසා මෙසේ පළ කිරීම ගැන අමනාප නොවනු ඇතැයි ද සිතමි.

ඔබ මා ලියූ පොස්ටුවට දැමූ අගනා කමෙන්ටුව , කමෙන්ටුවක් පමණක් වී නොපෙනී යනවාට නොකැමැති නිසා ත්, කාගෙත් නෙත් ගැටිය යුතු අගනා ලියවිල්ලක් නිසාත් , මෙසේ පළ කරන බව කරුණාවෙන් සලකනු ඇතැයි සිතමි.

---------------------------------------

Disclaimer :- මෙහි ඇති නම් ගම් සියල්ල ,මන:කල්පිත ඒවා බවත්, ජීවත්ව සිටින හෝ මිය ගිය කිසිවකු හා කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් කාරුණිකව දන්වා සිටිමි.

---------------------------------------

චිත්‍ර - සිළුමිණ පත්තරයෙන් උපුටා ගන්නා ලදී.( කුමුදු )

෴ ඉරණම්කාරී 10 ෴

මා දුර තියාම විදුහල්පති කාමරයදෙස නෙත් යොමාන ආව ද, විදුහල්පතිතුමා දොරකඩ නොවීය. විදුහල්පති කාමරයේ පිටත බිත්තියට වාරු කරන ලද තැපැල් පියන් ගේ ලියුම් මල්ල සහිත පා පැදිය පමණක් දැකිය හැකි විය. සිතේ උපන් බලාපොරොත්තු නොබි දී තබා ගත්තේ ඉතාම අසීරුවෙන් බව නම් නොකියාම බැරිය. විදුහල්පති කාමරයේ කිසිවකු නොවූ අතර , දුරකතනයේ රිසිවරය තිබූ අයුරින් , ඇමතුමක් බලාපොරොත්තුවෙන් කිසිවකු සිටින අයුරක් නොපෙනුනි.


බිඳුනු සිතින් විදුහල්පති කාමරයෙන් පිටත ට බසින විට ම , කොහේ දෝ සිට පැමැණි මත් සුළඟක පුසුඹ මගේ නැහැයට දැනුනි. විදුහල්පතිතුමා උදයේම අනුමත වී දැයි සැක සිතූ මා අවට සුවඳ දිගේ බැලූ විට දුටුවේ , සුසුදු සුදු දත් දෙපළම පෙනෙන සේ සිනහ වෙමින් මා දෙස බලා සිටන තැපැල්  පියුම් මහතාවයි.

“ නෝනේ . . . කොහොමෙයි නෝනෙ ?“

“හොඳින් ඉන්නවා. අපේ ප්‍රින්සිපල් සර්ව දැක්ක ද ? “

“ ආහ් ...නෝනේ ...සර් ගියා වත්තට ගිහින් න්නෙයි කියලා, මං යන්නෙයි නෝනෙ “

“ ආහ් හොඳයි. අද අපට ලියුම් නැද්ද ? “


“ බුදු නෝනෙ . . . . තව ඩිංගිත්තෙන් අමතක වෙනව නෙව. කොහෙ ද , සෝමසිරිය පාන්දරම ගහයටට කැන්දයින් ගියායින්. “

හදිසියේ යමක් සිහිවූවෙකු ලෙස ඔහු තම රාජකාරි පා පැදියේ බැඳ ඇති කාකි මල්ලට අත පොවන්නට විය. එතුලින් ඔහු පිටතට ගත්තේ , හොඳින් ඔතන ලද තරමක් ලොකු පාර්සලයකි.

“ මෙන්න නෝනෙ , මේක නෝනෙට. මේක බාර දෙන්න තමයි විදුහල්පතිතුමා නෝනව හෙවුවෙ. මේන් මේ කඩදහියෙත් අත්සන් කළා නම් “

පාර්සලය අතට ගත් මම කඩදාසියේ මාගේ කෙටි අත්සන යෙදුවේ . පාර්සලයේ ලිපිනය කෙරේ අවධානය යොමු කරමින්ය. අත් අකුරු නම් හුරුපුරුදු ගතියක් නොමැති , නුපුරුදු , නොපැහැදිලි බැඳි ඉංග්‍රීසි අකුරු විය. මා නිවසේ සිටි යුගයේ , නිවසට තැපෑලෙන් ලැබෙන එකම පාර්සලය වූයේ “නවයුගය “ සඟරාවයි.එය ද මෙතරම් විශාල නැත.

“ මං යන්නෙයි නෝනෙ “

“ හොඳයි හොඳයි , ගිහින් එන්න කෝ “

පාර්සලය  ගැන වූ කුතුහලයෙන් යුතුව පන්තියට ගිය ද? පන්තියේ කෙරෙමින් තිබූ ප්‍රායෝගික පරීක්ෂණය හේතුවෙන් , පාර්සලය විවෘත කිරීමේ කටයුත්ත කල් දැමීමට සිදු විය.නොසිතූ ලෙස කාර්ය බහුල වූ එදින,  පාර්සලය විවෘත කිරීමට සිදු වූයේ , රාත්‍රී ආහාරය ද ගෙන , නින්දට ගිය පැයේය.

යහනේ සැප පහසුව වාඩි වූ මා , සීරුවෙන් පාර්සලය දිග හරින්නට වූයෙමි. පාසලේ දී තිබූ කඩිමුඩියේ හැටියට පාර්සලය විවෘත කිරීමට ගියේ නම් , පාර්සලය ඔතා ඇති කවරය තිරු තීරු ඉරි යනවාට සැක නැත. මැනිලා කඩදාසිය ඉවත් කළ පසු වූයේ , රැපින් පේපරයකි.ඉතාම සීරුවෙන් ය ද ඉවත් කළ විට පාර්සලයේ වූ දේ දුටු මා නෙත් අදහා ගත නොහැකි විය.

අලුත්ම අලුත් , පසු ගිය සතියේ ප්‍රකාශයට පත් වූ නව කතා පොත් දෙකක් සහ කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි නව කතා පොතක් ඒ තුල විය. ඉංග්‍රීසි නව කතා පොත අලුත් නොවු අතර , නිතර භාවිතා තර ඇති බවක් පෙනෙන්නට තිබුනි. පොත් එකින් එක ගත් මම , නැහැයට ළං කර ඒවායේ නැවුම් සුවඳ වින්දෙමි.පිටු මුල සිට අගටත් අග සිට මුලටත් පෙරළා බැළුවෙමි. ඉංග්‍රීසි නව කතා පොතෙන් විහිඳුන සුවඳ , එයටම ආවේණික බවක් ඉසිලුවේ , පොත අයිතිකාරයාගේ සුවඳ මේ යැයි පවසන්නාක් මෙනි.



සිංහල නව කතා පොත් දෙකෙහිම , ලොකු අකුරින් වූයේ නව කතාවේ නමයි. නමුදු ඉංග්‍රීසි නව කතා පොතේ ලොකු අකුරින්  මුද්‍රිතව තිබුනේ එහි කතෘගේ නමයි. “ නිකොලස්  ගේ මැසේජ් ඉන් අ බොටල් “ ඒ නව කතාවයි. ඉංග්‍රීසි නව කතා කියවීමෙන් මා බැහැර වී සිටි මුත් , ඉංග්‍රීසි විත්‍රපට නැරඹීම නම් සිත් ගන්නා සුළු කාරණාවක් විය. හුරුබුහිටි පුංචි පොත නැහැයට ළං කර පෙරලා බැලුවේ එයින් විහිදුන සුවඳ නැවතත් විඳ ගැනීමට සිත දැක් වූ කැමැත්ත බර පතල වූ හෙයිනි.පොත තුල වූ යමක් ඇද මතට වැටුනේ ඒ ඇසිල්ලෙනි.

හතරට නමන ලද සුදු කඩදාසියක් වූ එය , දිග හැර බැලීමට ප්‍රථම , කොඳ මල් සුවඳින් පිරි රාත්‍රී මද පවනින් , පෙනහළු පුරවා ගත්තේ , එක හුස්මට ලිපිය කියවා අහවර කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගත යුතු වූ නිසා ය.

To send a letter is a good way to go somewhere without moving anything but your heart.

ඊළඟ කොටසින්  . . . . .

* කවු ද ලියුම එවුවේ ?
* මොනව ද ලියුමෙ තිබ්බේ ?


ප/ලි : - දැන් නම් මේක හෑල්ලක් වගේ වෙලා කියල මට හිතෙනවා.... මොකද කරන්නේ ? දිගටම ලියන්නත් කම්මැලි ? නොලියත් බැහැ. කොටි වලිගෙ අල්ල ගත්ත වගේ ....................

Monday, June 20, 2011

෴ ඉරණම්කාරී 9 ෴

මොහොතක් ගොළු වුන ඇයට , කතා කිරිමට සුදුසු වචන තෝරා ගැනීමට සටනක් දීමට සිදු විය.

“ ම් ම් . . . ඔය කවුද ? “

“ අනේ ,අනේ , මේ ටිකට ගැහැණු ළමයට අපිව අමතක වුනා එහෙනම් “

“ මම මේ ඉස්කෝලෙ පන්තියක උගන්නන ගමන් ආවේ. කරුණාකරල කියන්න පුළුවන් ද තමන් කවුද කියලා “

“ ටීචර් නෝන , නපුරු වෙන්න එපා. මං මේ කතා කළේ ස්තූති කරන්නයි , වැඩියෙත්ම මගේ ඉතිරි සල්ලි ඉල්ල ගන්නයි.. . . .  හෙහ් හෙහ් “

“ ආහ් . . . . .සර් “

“ හිටපු සර් , ළමයො හිටපු සර්.... “

“ අනේ . . . මම නිවාඩුවකට ගෙදර ආපු ගමන් , ඉතිරු සල්ලි ටික ගෙනත් දෙන්නම් “

“ පිස්සු ද ළමයො. ඇත්තටම පොත් දෙක හම්බෙලා ගොඩක් කල් , ඒත් කොහෙ ද , කතා කරන්න ක්‍රමයක් තිබුන්නෙ නැහැ නෙ. පස්සෙ මම, එදා ඔයා මට කතා කරපු නොම්බරය බොහොම අමාරුවෙන් හොයා ගෙන , එහාට කෝල් කරල තමයි විස්තර හොයා ගත්තේ “

“ ආහ් . . .  ඒ අපේ අප්පච්චිගේ යාළුවෙක් “

“ ඉතින් ටීචර් , තවම පඩි ගත්තෙ නැද්ද ? ගන්නකො   හොඳ මොබයිල් ෆොන් එකක් “

“ ගන්න ඕනි. ඒත් වැඩකුත් නැහැ.මෙහාට සිග්නල් නැහැ නේ. ඇරැත් කවුරු කතා කරන්න ද? අප්පච්චිත් කතා කරන්නෙ බෝඩිමේ තියෙන ලෑන්ඩ් ෆෝන් එකට “

“ දැන ගත්ත එක හොඳයි. එහෙනම් සංජු පස්සෙ කතා කරමු. මට දැන් මීටින් එකක් තියනවා.පන්තියේ ළමයිත් බලාන ඇති නේ..... මම මේ ගත්තේ පොත් දෙක එවුවට ස්තූති කරන්න “

“ සර් . . . .  පුතා “

“ ආහ් .... හරි වැඩේ වුනේ. පුතා ඊළඟ දවසෙ ඇවිත් ඔයාව සෙවුවා.මාත් එක්කත් තරහ වුනා. එයා හිතන් ඉන්නේ එදා බත් හැලුන සීන් එකට , මං ඔයාට බැනල එලෙවුව කියල “

“ පවු “

“ එහෙනම් , සංජු . . .  බායි “

“ බායි , බුදු සරණයි සර් “


රිසිවරය නැවත තැබීමේ මහා ලොකු ලෝබකමක් ම,සිතේ ඇති විය. නැවත පන්තිය වෙත ගිය ද , අදාළ පාඩමට අවතීර්ණ වීමට ටික වේලාවක් ගත විය.

“ ටීචර්ගෙ කොල්ල කතා කරල වගේ .....“

පන්තියේ සිටින ඇට්ටර , මුරණ්ඩු කොළුවෙකු වූ ප්‍රසන්නගේ හඬ මා නැවතත් ප්‍රභාසංශ්ලේශණට රැගෙන ආවේය.

ඉන් පසු කිහිප දිනක්ම , “ ටීචර් , පිනා එන්න කීවා ,“ යන පණිවිඩය රැගත් කුඩා දරුවෙකු මා කරා පැමිණේයැයි මා මඟ බලා සිටිය ද , පණිවිඩය රැගත් කිසිවකු හෝ පැමිණියේ නැති.ඉදහිට හැඩවෙන පාසලේ දුරකථනය , මා වෙනුවෙන් නාද වුනේ ද නැති.නැවතත් මා සිත ලා තේ දළු පිරි , පින්න ඉසිනු තේ යායවල් ගානේ සරන්නට විය.

සති අන්තයේ දී ද නිවස බලා යෑම එපා වීමට තරම් කරුණු යෙදුනේ , සෙනසුරා දින උදයේ සිටම ගමනේ යෙදී , රාත්‍රිය වන විට නිවසට ගියත් , නැවතත් ඉරිදා පාන්දරින්ම ආපසු ආ යුතු හෙයිනි. තවමත් පරිවාස කාලය වූ බැවින් නිවාඩු ලබා ගැනීම ද අසූරු විය.රාත්‍රී කාලයේ එහා මෙහා යාම නිසාත්, හිමිදිරි පාන්දරම ආපසු ඒමට සුදානම් වන නිසාත් මා නිසා මගේ දෙමාපියන් ද කරදර විඳින්න වීම ද ,මගේ සති අන්ත ගමනා ගමනය සීමා කිරීමට හේතු විය.

හිමිදිරිය යැයි නොසලකමින් , උදයේම පිබිදෙන අම්මා , මා වෙනුවෙන් ම  බත් මාළු පිනි පිසින්නීය. බොහෝ දින වල දී ,ඒ  කෑම පාර්සලය දිග හරින විට මගේ මතකයට නිතැතින්ම සිහිවන්නේ , ලොක්කා ගේ පොඩි පුතුය. කෙසෙල් කොළයක දවටා , හොඳි හින්දා සාදන මාළු පිනි , හිමිදිරියේ සැකසුන ද හවස් වන තෙක්ම පිළුණූ නොවී පවතින්නේ තවා ගත් කෙසෙල් කොළයේ ඔතන නිසාවත් , හොඳි හින්දා පිසින නිසා වත් නොවේ , මගේ මවගේ අත් ගුණය සහ සෙනෙහස ඔතා සාදන ලද නිසාම බව මගේ හැඟීමයි.

දිනක් . . . . . . . . . . . .

“ ටීචර් . . . . ටීචර් ..... පිනා එන්න කීවා “

හිතේ පිපුන  ඉද්ද මල් යාය පර වීමට කලින් විගසින් , විදුහල්පති කාමරය මම පිය මැන්නෙමි.

I sit here and wonder if you'll ever understand just how much of me belongs to you.

කට හඬ ඇසුමට රිසින්, කල් බලන
මම
෴ සොඳුරු සිත ෴

පින්තූර උපුටා ගත්තේ - සිළුමිණ - ඇඳල තිබ්බේ - කුමුදු තාරක

Saturday, June 18, 2011

෴ ඉරණම්කාරී 8 ෴


 “ හෙලෝ ව්  . . . . . “

රිසිවරයේ එහා අන්තයෙන් නැඟුන කට හඩ නම් ඔහුගේ ම බව ඇය ට දැනෙයි.

“ හෙලෝ කතා කරන්න සංජු , ඇයි අද ආවේ නැත්තේ“

ඔහු තමාව හඳුනා ගත්තේ කෙලෙස දැයි මට නොතේරේ.

“ සර් මං . . “

“ ඔවු ඔවු . . . තමුන් තමයි. මොක ද අද නාවේ . ඊයේ බාර දුන්න වැඩ ටික නම් හොඳට කරල තිබ්බ. “

“ සර් , මට ගුරුපත්වීමක් හම්බුනා, හෙට වැඩ බාර ගන්න තියෙන්නේ , ඉතින් . . .  සර්ට කියන්නවත් වුනේ නැහැ. ගෙදර එන කොට ලියුම ඇවිල්ල “

“ ආහ්  . . . .  . කොහෙ ද ස්කෝලේ ? “

“ නෙළුව “

“ නෙළුව ?  ඒ කොහෙ ද ඒ “


“ ගාල්ලෙ එහා කෙළවර සර් “


“ ඇත්ත ද . . . . . . කමක් නැහැ . මගෙන් සුබ පැතුම්. බායි “



“පොඩ්ඩක් ඉන්න සර් “



ඔහු දුරකථනය විසන්ධි කර හමාරය. තව තවත් විස්තර කියා පලක් නොමැත. අනිත් අතින් , එවැනි දීර්ඝ විස්තරයක් පැවසීමට තරම් , ඔහු හා මා අතර ඇති බැඳීම කුමක් ද ? “



“ පුතේ , අපි යමු ද? බස් එක අල්ල ගන්න බැරි වුනොත් .නිකම් රස්තියාදු වෙනව “


          - - - - - - - - - - - - - - - - - - - - - -- - - - - - -

එය ඉතාම ගම්බද , දුෂ්කර පාසලක් වුව ද, දරුවන් සහ දෙමාපියන් නැති බැරි අය නොවූ හ. ඕනෑම වැඩකට කැප වී ක්‍රියා කරන්නට උපන් හැකියාව සහිත වූ ඔවුන් , සැබැවින්ම පාසලේ දියණුවට දායක වූ අතර උවමනා වූයේ ඉතා හොඳ මඟ පෙන්වීමක් පමණි.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ බලාපොරොත්තු ඉගෙනීමෙන් රැකියාවක් සොයා ගැනීම නොවූයේ, ඕනෑ තරම් ජීවනෝපායන මාර්ගයන් මෙම පළාතේ බහුල වූ නිසා වන්නට ඇත.සෑම අයකුටම පාහේ තේ වගාව සහිත බිම් කඩක් විය. බොහෝ නිවෙස් වල ඉදිරිපස ද සැරසී තිබුනේ , එකම මට්ටමට කපා සකසන ලද තේ පඳුරු වලිනි.

දරුවන් පාසල් නොපැමිණේ නම් , එයට එකම හේතුව , එදින ට ඔවුන්ගේ නිවසේ තේ පඳුරු වල දළු නෙළීමයි.

දළ කිලෝවක් රු.56ක් 60ක් පමණ වන අතර , සෑම සතියකටම වරක් දළු නෙළිම සිදු කරයි.කුඩා දරු දැරියන්ට පවා දළු නෙලිය හැකිය. කුඩාම දළුව සහ අනුයාත දළු දෙකක් සහිතව කැඩෙන අග්‍රස්ථය ... පිටේ හෝ ඉනේ බැද තිබෙන මල්ලට යන්නේ යාන්ත්‍රිකවයි.

ප්‍රදේශයේ බොහෝ අයට යතුරු පැදියක් හෝ තිබුනු බැවින් , පොදු ප්‍රවාහන සේවයේ මහා ලොකු අවශ්‍යතාවයක් ද නොදැනුනි. ඔඔවුන් බොහෝ විට ගිය යන දුරම ගමන ,කඩමණ්ඩිය වන අතර, ගාල්ල හෝ මාතරට යන අය ඉතාම හිඟ විය.

මා සති අන්තයේ නිවස බලා යන්නේ , ගාල්ලට ගොස් ,දුම්රියෙන් ය ,නෙළුව සිට ගාලු යාමට ඇති පොදු හා එකම බසය මඟ හැරුන හොත්, බසය පිටුපස හඹායමින් බසය අල්ලා දීමට ඉදිරිපත් වන ගැමියන් ඕනෑ තරම් ඇත.

ප්‍රභූපැලැන්තියේ යැයි සැලකෙන ඇතැම් අවිවාහක තරුණයන්ගේ සිතේ , මා පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති බව මට හැඟී ගියද . එක මට්ටමකට කැපූ ලා කොළ පාට සිත්තමකින් වට වූ ඒ ගම්මානයේ නැවතීමට මගේ සිතේ කිසිඳු කල්පනාවක් නැති බැව් මා ඔවුන්ට පැහැදිලිව පැවසුවෙමි.

නිසංසලේ තේ වතු අස්සේ නන්නන්තාර වෙමින් ,තිබූ මගේ ජීවිතය වෙනස් වූයේ ඉතා අහම්බයෙන් නමුදු මගේම වාසනාවටයි.

“ දැන් කියන්න බලන්න , පෘථිවියට ශක්තිය ලැබෙන , ප්‍රධානම ක්‍රියාවලිය මොකක් ද කියල ? “

“ ප්‍රශාසංස්ලේශණය“

“ හොඳයි . . . දැන් කියන්න . ප්‍රභාසංස්ලේශණ සිදු වෙන්නෙ කොහෙ ද කියල “

“ ටීචර් ටීචර් . . . . . . . ටීචර්ට පිනා එන්න කීවා “

“ පිනා .. . මොන පිනා  ද? අම්බලමේ පිනා  ද ? “

“ නැහැ ටීචර් . . .  ප්‍රින්සිපල් සර් “

“ ආහ් ඒක මිසක් , දුමිදු . . .  දුමිඳු කෝ ළමයි .“

“ අද දුමිඳුලයෙ දළු දවස ටීචර් “

“ ආහ් එහෙම ද. එහෙනම් මම එනකම් දන්න විදිහට හතරවෙනි අභ්‍යාසයට උත්තර ලියන්න. කෑගහන්න එපා “

මා විදුහල්පති කාමරය වෙත පියමනින විට , විදුහල්පතිකාමරයේ දොරකඩට වී අත් දෙකත් ඉනට තබා ගෙන පෙර මඟ බලා සිටිනා විදුහල්පතිවරයා දැක ගත , පය ඉක්මන් කෙරුවෙමි.

“ විශාකා වගේ එන කොට කෝල් එක කට් වෙලා. ආයෙත් ගනී මයෙ හිතේ. පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න මිස් . මාත් යනවා පොඩ්ඩක් එළියට ගිහින් එන්න.“

“ හොඳයි සර්.“

අද ඔහුගේ වත්තේ  දළු දිනය විය හැකි බැවි මට සිහිවිය. විදුහල්පතිවරයාගේ කීමට තරම් නරකක් නැත. කීමට තරම් හොඳක් ද නැත. ගුරුමණ්ඩලය සමඟ කිසිවිටක අවුල් නොසාදා ගැනීම ඔහුගේ හොඳක් නොව කපටිකමක් ලෙස මා දකිමි.

ඇමතුම ආවේ කාගෙන් ද? අප්පච්චී නම් ස්කෝල වේලාවන් හිදී කතා නොකරයි. නිවසින් හැරෙන්නට , දුරකතන ඇමතුම් එන්නේ ද නැත. කවුද එතකොට මේ. ?

“ ට්‍රිං ට්‍රිං ට්‍රිං  . . . . . . “

දුරකතනය හඩ නඟයි. මා රිසිවරය ග්‍රහණයට ගත් තේ , මේ ඔහු නම් , යැයි දහස් වාරයක් සිතමිණි.

“ ආයුබෝවන් “

“ ආයුබෝවන් , ආයුබෝවන් , . . කොහොම ද මගෙ කෙල්ලේ “

ඒහා අන්තයෙන් පිළිතුරක් ලැබුනේ, පැනයක් ද සමඟිනි.



Love is missing someone whenever you're apart, but some how feeling warm inside because you're close in heart..


තේ දළු යායේ සැඟවුන සිත සොයන
මම
෴ සොඳුරු සිත ෴

Image -  Silumina ,Kumudu Tharaka

Friday, June 17, 2011

෴ ඉරණම්කාරී 7 ෴

පසු දා උදෑසනම පිබිදුනේ , දිගු ගමනක් යාමට ඇති හෙයිනි. අවදිවන සැනින් ම , මගේ නෙත ගැටුනේ , හිස තබන කොට්ටය කෙළවරේ , ඒ වන විට ද මා දෙස බලමින් සිනා සෙමින් සිටි පාර්සලයයි. එය දුටු මගේ වත ටද මද සිනාවක් නැඟිණි.

අප්පච්චි ත් මාත් ලහි ලහියේ ලෑස්ති වූයෙමු.


තරමක විශාල ගමන් මල්ල , සතියකට පමණ සරිලන ඇඳුම් පැලඳුම් වලින් සමන්විත විය. සුදුසු නවාතැන් පලක් ද අදම සොයා ගත යුතු වූයේ , ඉන් පසු දින සිට ම රැකියාවේ වැඩ බාරගත යුතු වූ බැවිනි.අම්මාගේ දුරින්  නෑයෙකු වන මාමා කෙනෙකු, ඒ පළාතේ සිටින බව අප්පච්චිට මතක් කර දුන්නේ අම්මා විසිනි.

“ මේ වගේ වෙලාවට තමයි කවුරු කවුරුත් ඕන වෙන්නෙ මහත්තයෝ. “

අම්මා එසේ කියා සිත සැහල්ලු කර ගත්තේ, ආරක්ෂාකාරී නවාතැනක් සොයා ගැනීමේ අවශ්‍යතාවය ඇයට තදින් ම දැනෙන්නට ඇති බැවිනි.

“ පුතේ . .  මෙහෙ තියන රස්සාවක් කරන් හිටියොත් නරක ද දරුවෝ . ? “

අප්පච්චි කී වරක් ඇසුවාදැයි මට මතක නැත.

“ කමක් නැහැ මහත්තයෝ . . .කෙල්ලගෙ ආසාව නේ.... “

ඒ සෑම විටම , පාහේ අම්මා පැවසුවේ ඇය මගේ සිත යහමින් හඳුනන්නියක බව පසක් කරමිනි.

කොළඹ සිට මාතරට පැමිණි අපි , මාතරින් දහවල් ආහාරය ගත්තේ , අප්පච්චිගේ මිතුරෙකුගේ නිවසෙනි. රතු බත් , අලුත් මාළු ඇඹුල් තියල් සහ තවත් ව්‍යාංජන කිහිපයකින් ම සමන්විත වූ දිවා ආහාර වේල , ලහි ලහියේ පිළියෙළ වුව ද රසින් නම් කිසිම අඩුවක් නොවූයේ , මාතර ඇත්තන් පිසින කෑම කවදත් රස බව
අප්පච්චි නිතර පවසන කතාව යළිත් සනාථ කරමිනි.


අප්පච්චි පවසන අයුරින් නම් , මාතර ඇත්තියන් , කෑම පිසීමට පමණක් නොව , ආදරය ට සහ ලෙංගතුකම් පෑමට ද රුසියෝය.


එවිට මමත් නැගණියන් දෙදෙනාත් සිනා සෙන්නේ . අප්පච්චී ද ඒ රසට රැවටී ඇති බැව් පවසමිනි. අප්පච්චී උඩරට ප්‍රදේ
ශයේ පදිංචිකරුවකු වුව ද , අම්මා මාතර පදිංචිකාරියකි. සිය නිවෙස් වල විරුද්ධත්වය නොතකා , සිය අභිමතය පරිදි විවාහවූ ඔවුන් දෙදෙනාගේ නෑදෑයින් අපි නොහඳුනන්නෙමු.

දිවා ආහාරය ගත් නිවසින් අප සමුගත්තේ නවාතැනකට සුදුසු ස්ථානයක් සඳහා ද කතිකාවක යෙදීමෙනි.

“ මගෙ හොඳ යාළුවෙක්. මිනිහ ඒ පැත්තේ හොඳ සල්ලිකාරයෙක්. දන්නවනෙ ඉතින්, තේ කියන්නෙ ඉතින් ඒ පළාතේ සල්ලි තමයි. ඉන්නකො මම මිනිහට කෝල් එකක් දීල බලන්න “

එතෙක් මා හට අමතක ව තිබූ කාරණා දෙකක් මතකයට නැඟෙන්නට ඒ වචන හේතු විය.

පළමු වැන්න , මගේ හිටපු බොසාට දුරකථන ඇමතුමක් දී මා නැවත සේවය නොඑන බව පැවසීමයි. දෙවෙනි කරුණ , පොත් දෙක සහිත පාර්සලය ඔහුට තැපැල් කිරීමයි. නිවසේ සිට බසයට ගොඩවූ යේ , හිමිදිරි පාන්දර බැවින් , මේ කාරණා දෙකම මට මඟ ඇරුණි.

මා අප්පච්චිගේ සවනට කෙදිරුවේ , තැපැල් කන්තෝරුවකට යෑමට අවශ්‍ය බව කීමටයි.

“ මොන වැයි  දූ කියන්නේ “

“ නැහැ . . . පුතා කලින් වැඩ කරපු තැන ලොක්කට දන්වන්න බැරි වුනා. පොත් වගේකුත් යවන්න තියනවලු . . . . .සුමනෙ මේ හරියෙ තැපැල් කන්තොරුවක් තියෙ ද? “

“ කන්තෝරුවට නම් ටිකක් දුරයි.අනික මේ වෙලාවට පෝලිම. කෝ ? දෝණි, දෙන්න මට ඔය පාර්සලේ , මං තැපැල් කරන්නම්....කෝල් එකක් නම් මෙතනින් ගත්නෑකි“

දුරකතන ඇමතුම කෙසේ වෙතත් , පාර්සලට ඔහුට දීම නම් මගේ සිත නැමුනේ නැති කාරණාවකි. නමුදු කළ හැකි දෙයක් ද නොමැත.

“ ආහ් . . .  අනේ මතක් කරල . . අදම දාන්න පුලුවන් නම්...එක්කොත් මං ම “

“ අයියෝ . . .කරදරයක් නෙමෙයි දුවේ. අවිශ්වාස හිතන්න එපා. ඇඩ්රස් ලියල නේ ද? “

“ ඔවු “

“ අන්න , ඔයා කෝල් එක ගන්න “

අත් බෑගයේ තිබූ කුඩා දින පොත සොයා ගත් මම , ගැහෙන ඇඟිලි වලින් ඔහු ඇමතීමට අංක සෙවුවෙමි .

“ හෙලෝ . . . .ගුඩ් මෝර්නින් . . ම් ම් ම්   . . . . ? “

ලෝකයෙ තියෙන සියළුම වචන , එක සැනින් අතුරුදන් වූ සැටි. . . . . .

“Love is missing someone whenever you're apart, but somehow feeling warm inside because you're close in heart.”


වචන හිඟයෙන් පෙළෙන
මම
෴ සොඳුරු සිත ෴

චිත්‍ර උපුටා ගත්තේ - සිළුමිණි -කුමුදු තාරක

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...