..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, May 31, 2011

෴ වියළුණ කවි දොළ ෴


සීතල පිනි කැට සිත තෙමනා යාමේ

මා නුඹ ගැන කවි පද ගෙතුවා ඊයේ
ඈතට ඈතට නුඹ ගිය අද දින
සීතල වී මා හද ගල් වී ඇත
නැහැ කවි ලියවෙන්නේ
පද නැහැ ගැලපෙන්නේ


කඳුළක උණුසුම හද දවනා යාමේ
සපථ වුනා නොසිතීමට නුඹ ගැන
නොපෙනෙ ඉමකට වහන්ව අද දින
පන්හිඳ නැති විලා
කවි පොත හිස් වීලා
පෙම ඇත මියැදීලා
මා සිත තනිවීලා


කවි දොළ වියලෙන මහ වැසි කාලේ
නුඹ ඉන්නව නම් නිල් විල වාගේ
නොපෙනෙන්නට වුන්නත්
සිත සතුටින් ඉන්නම්
නුඹ සිත සතුටින් නම්
කුමකටදෝ පද වැල්

වියළුණ කවි දොළ කඳුළින් පුරවන
මම
෴ සොඳුරු සිත ෴

ප/ලි :-

මේ දින වල කියවන පොතක පුංචි කොටසක් .....................
නොසලකා හරින ලද ළදරුවෙකු මෙන් ඔහු ප්‍රේමය පැතුවේය. ප්‍රේමය යනු රාගය නොව ආත්ම පරිත්‍යාගී ගැඹුරු සංතෘෂ්ඨියක් හා කාව්‍යමය *ප්‍රීණනයක් බව ඔහුට ඒත්තු ගියේ ය. එහෙත් මේ අවබෝධය ඔහු ලබා ගත්තේ ඕනැවට වඩා ප්‍රමාදවය. ඒ වන විට පසුතැවිලි හා හෘදය සාක්ෂියේ දෙස් තැවුල් වල ට ඔහු එල්ල වී අවසාන ය.
*
satisfaction

පොත :- රන් රෝස - ආරියවංශ රණවීර
        
The Golden Rose by Konstantin Paustovsky



Nobody knows what's better: the path of doubt towards insight, or the path that doesn't know any doubt.
- Konstantin Paustovsky -

Friday, May 27, 2011

෴ මුදුව / The Ring ෴ (අවසාන කොටස)

සමූහය ද නංවා ගත් දුම්රිය මහ හඬක් නඟමින් පිටමන් වූයේ ඇය තවත් තනි කරමිනි. දුම්රිය දෙස බලාගත්වන බලා වුන් ඇයට කවුදෝ කතා කරනු ඇසුනෙන් අකමැත්තෙන් මෙන් හිස හරවා බැලූ ඇය දුටුවේ පාරෙන් එහා පසට අත දිගු කරන් ඇයව අමතන මිනිසෙකි. “ මිස් ...මිස්ට අන්න අර ය කතා කරනවා “ ඔහු පෙන්වූ ඉසවුව කරා ගිය ඇගෙ දෙනෙත , මෙතෙක් පුල පුලා බලා සිටි දෙනෙත හා ගැටී මොහොතකට නරත විය. සිසිල් සුවදායි හැඟීමකින් ඇගේ සිත පිරී ඉතිරී යද්දි ඔහුත් ඇයත් එක්ව එක්වර මදසිනා නැඟුවේ එකම හැඟීම දෙසිතක පිළිසිඳ ගත් පරිද්දෙනි.

“ ස්තූතියි “ පණිවිඩය දුන් තැනැත්තාට ස්තූති කළ ඇය , ඇගේ හා ඔහුගේ දෙනෙත් බැදී සෑදුන මාවත දිගේ ඔහු වෙත ගමන් කරනු දැකිය හැකි විය.

“ ගොඩක් වෙලා ද ඇවිත් “

“  ඔවු !!!!“

“ පරක්කු වුනා. . .  ට්‍රැෆික් එක “

“ කමක් නැහැ .දැන් ආවනේ “

“ නඟින්න “ ඔහු කාරයේ වම් පස ඉදිරි දොර පියන හරිමින් ඇයට පැවසීය.

කිසිකතාබහක් නැතිව ඔහේ පාවී ගිය වාහනය නතර වූයේ නිදහස් හා පාළු මාවතක මුහුදු සුළඟ විදිමිනි.

“ ඉතින් “

“ හ්ම්  . . . . “

“ මම දන්නව, අපි දෙන්න හමුවෙන අන්තිම දවස අද, ඒත් ඔයා මට පොරොන්දු වෙන්න වෙන්වීම ගැන කතා කරන්නෙ නැහැ කියලා. ඔයා දන්නවනේ අපි දෙන්නා වෙන ලවර්ස්ල වගේ නෙමෙයි කියල. ඔයාට තව අවුරුදු තුනක් මා වෙනුවෙන් බලා ඉන්න බැරි බව මම දන්නවා. මටත් මේ වෙලාවෙ ඔයාව ළඟට ගන්න බැහැ.“

“ ඇයි ඒ “ කම්මුල් දිගේ ගලන කඳුළක ලුණු රස කටට දැනෙන ඇසිල්ලේ ඇය ඇසීය.

“ හ්ම් . . . . ඉදිරියට මොන දේ වුනත් , ඔයා මා එක්ක මගේ හිත ළඟින්ම ඉන්නව නේද ? “

ඔහු , ඇගේ දෑසට එඹෙමින් ඇසුවේ ඇයගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන්ම නොවූව ද? දෑසේ ගැබ්වූ පිළිතුර කඳුළක දියවී අපතේ යන්නට විය.

“ අපි දෙන්න වෙනස් කියල හැමවෙලේම කියන්නෙ ඇයි ? මම තව ඔයා වෙනුවෙන බලා ඉන්න එපා කියන්නෙ ඇයි? “

ඇයගේ එකදු පැනයකටවත් පිලිතුරු ඔහු සතු නොවීය. ඇගේ වත දෝතින් ගත් ඔහු ඇයගේ තොල් සිඹින්නට වූයේ ඇගේ කඳුළු ලුණු රස  සැමදා මතකයේ තබා ගන්නට මෙනි.

දීර්ඝ හාදුව අවසානයේ ඇය ඔහුගේ පලළ් පපුව මත හිස හොවා ගනිමින් ඉකි ගසමින් හැඬුවාය. ඒ ඇයි දැයි ඔහු විමසුවේ නැති අතර , ඒ ඇයි දැයි ඇයද දැන නොසිටින්නට ඇත.

“ හවස් වෙලා “ ඔහුගේ තුරුලින් මිදෙමින් ඇය පැවසූවේ මුහුදේ ගිලෙන්න ආසන්න ගිනි බෝලය දෙස බලමිනි.

“ තව ටිකක් ඉන්න කෝ “

“ බැහැ. රෑ වෙනව “

“ හ්ම් . . හරි. යමු . මම ඔයාව ගේ ළඟින් බස්සන්නම්.“

“ ගේ ලඟින් ? “

“ ඔවු “

වාහනය සැර දමන්නට විය. නිහඬ හෝරා කිහිපයක් අවසානයේ ගමනේ අවසානයට පැමිණ ඇත. ඇය විවර වූ දොර පියනින් වම් පය පිටතට තබන ඇසිල්ලේම තමාට දකුණින් සිටින ඔහු දෙස නැවත වරක් හැරී බැලුවාය.

“ ගිහින් එන්නම් “

එක් වරම ඇයගේ සුරතින් ඇල්ලු ඔහු , “ පොඩ්ඩක් ඉන්න , මම ඔයාට . . . . කියමින් කාරයේ ඔහු ට ඉදිරිපසින් වූ කුඩා රදවනය විවර කල ඔහු එයින් පිටතට ගත්තේ කුඩා බෑගයකි.
එය ඇය වෙත දිගු කළ ඔහු, කුතුහලය රැදි දෑසින් මද වෙලාවක් ඔහු දෙස බලා සිටි ඇය , ඇගේ වමතින් එය ගත් පසුවයි ඇගේ සුරතේ ග්‍රහණය ඔහු මුදා සිටියේ.

“ ගෙදර ගිහින් බලන්න “

“ මම ආදරෙයි “

දකුණු පයද වාහනයෙන් පිටතට ගෙන කෙලින් වී සිට ගත් ඇය , දොර පියන වැසුවේ හද දොරගුළු ද තදින් වසන්නෙමැයි සිතා ගෙන ද?

නැවත හැරී බලයි දෝ යි චකිත සිතින් ඇය නෙපෙනී යන තෙක්ම පසු පස බලන දර්පණයෙන් ඔහු බලා සිටිය ද , ඇය කිසිවිටක නැවත හැරී නොබැලුවාය. එය ඔහුගේ සිතට දුක මෙන්ම සතුට ද ගෙනාවේ , ඇය ඇගේ සිත හදාගන්නට ඇතැයි යන හැඟීමෙනි. ඇයගේ අවසන් ඡායාවද මැකී ගිය පසු සුක්කානම මත හිස තබා ගත් ඔහු මෙතෙක් වෙලා හිත රැදි තිබූ දුක පහව යන තෙක් හැඩුවේය.

පුංචි කවරය තුල වූයේ හොඳින් දවටන ලද කුඩා ජුවලරි පෙට්ටියකි. එය තුල වූ මුදුව ඇයගේ දිගැටි ඇඟිලි වලට සරිලන ලෙසටම සාදා තිබුනි. මුදුව නැත. ඔහු ද නැත. නොදන්නා , නොහැඟෙනා , හැඟීමක් රැසක් සමඟ වෙනකුත් සමඟ ඇය යහන බෙදා ගනියි.


ඇය චපලය , ඔබ කියනු ඇත. සැබැවින්ම ඇය චපල යැයි මාද කියමි. එහෙත් ඇය වැරදියැයි මා නොකියමි.

නැතිවූ මුදුව යලි කිසිදිනක ඇයට හමු වූයේ නැත. නමුදු ඇය හා ඇගේ සැමියා අතර එතෙක් තිබු හොඳ හිත ද ටිකින් ටික දෙදරා යන්නට විය.අවසානයේ ඇය ඔහුගෙන් වෙන් විය.


වෙන් වී ටික දිනකින් ඇය සොයා , අමුත්තෙක් පැමිණියේය. ලොවටම අමුත්තකු වූ ඔහුත් , ලොව හොඳින් දන්නා ඇයත් එදින සිට එකම නිවස , එකම යහන, එකම ජිවිතය බෙදා ගනිමින් , විටෙක අමනාප වෙමින් , විටෙක යහළු වෙමින් සියල්ල බෙදා ගමින් ඔවුන් ජීවත් වෙයි.

නමුදු ඉන් පසු ඇය කිසිම දිනක මුදුවක් පැළදුවේ නම් නැති.



Nobody has ever measured, even poets, how much a heart can hold.


මුදු නොපළඳින
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, May 25, 2011

෴ මුදුව / The Ring ෴ (1)

“ඔය තරම් වද වෙන්නෙ මොක ද ? ඒක තවත් එක මුද්දක් විතරයි.“
ඔහුගේ  වචන ඇගේ සිත පසාරු කරන ඊතල වැන්න. “ඒ වුනාට මට ඒක ගොඩක් වටිනවා.“

“ඔවු මම දන්නව ,තමුසෙට ඒක වටින්නෙ ඇයි කියල. මඟුල් මුද්ද උකස් තිබ්බත් , මඟුල් මුද්ද නැති වුනත් නැති රුදාවක් , නිකම්ම නිකම් රිදී මුද්දක් නැති වුනාම “

ඇය දුටු දා පටන්ම, ඇයගේ සුරතේ මැද ගිල්ලේ රැඳුන මේ මුද්දට ඇය මෙතරම් විශේෂත්වයක් දක්වන්නෙ ඇයි ද යන්න ඔහුට ගැටළුවක් වූයේ අද ඊයේ නොවේ.ඇය තමා සමඟ අතිනතගෙන පෝරුවේ නැඟි දින ද මේ මුදුව ඇය සුරතේ මැදගිල්ලේ පහස ලබමින් සිටි හැටි ඔහුට සිහිවෙයි.ඇතැම්
දිනක ඇය රැකියාවට යෑමේදී ඔහු පෝරුමස්තකාරූඩව ,ඇය වමතේ වෙදඟිල්ලේ පැලඳූ මුදුව අමතකව ගියද , කිසිම දිනක ඇඟිල්ලෙන් නොඟලවන ලද සිහින් සුදු ගලක් ඔබ්බවන ලද ,රිදී මුදුව නම් ඇයට කිසිදා අමතක නොවේ.

ඔහු ඇතැම් දිනක , මේ මුදුව ගැන ඇගෙන් විමසූ විට ඇය දෙන පිළිතුරු වලින් ඔහු සෑහීමකට පත් වූයා යැයි ඇයි සිතන්නේ නම් එය ඉතාම දෝෂ සහගත නිගමනයකි. මුදුව ගැන ඇගෙන් විමසන විට , ඇගේ දෑස් දීප්තියෙන් බබලනයුරුත් , ඉතාම මෘදු ස්වරයකින් ඇය එයට දෙන පිළිතුරත් ඇගේ මුවින් පිටවන වචන හා කිසිලෙසකත් ගැලපේදැයි ඔහුට සැක සහිතය.


“ මේ මුද්ද හැදුවෙ මගෙ ග්‍රහ අපලෙකට “ ඇය මුලින්ම කී ඒවදන් ඔහු විශ්වාස කළද , අපලය තවමත් ගෙවී නොමැති දැයි ඇගෙන් විමසීමට ඔහුගේ සිත පසුබට වෙයි.


ඇය බොහෝ විට හුදකලා වන අවස්ථාවන් වලදී ,ඇය සුරතේ රැදි මුදුව වමතින් ස්පර්ශ කරන ගමන් සිහින් සිනාවක් ඇගේ සුන්දර වත තව තවත් සුන්දර කරන අපූරුවත් , ඇය හුදකලාව සිටිය ද එවන් අවස්ථාවලදී ඇය වඩ වඩාත් සතුටින් සිටින බවත් දකින ඔහුට ඇයගේ රිදී මුදුව ගැන ඇති වන්නේ තද බල වෛරසිතකි.


තම සිත දරා ගත නොහී දිනක් ඔහු “ තමුසෙගෙ අපලෙ තවම ඉවර නැද්ද? ඔය මුද්ද දැන්වත් ගලවනව “ යැයි පැවසූ අයුරු ද,එයට ඇය ප්‍රතිඋත්තර ලෙස දුන් වදන් තමා තව තවත් අසරණ කළයුරුද ඔහු මතකය.

“ තමුසෙ තමයි ඕයි මගෙ අපලෙ. මේ මුද්ද මට වාසනාව ගෙනාවා “ කිසිදිනක තමන්ට තමුසෙ ,ඕයි යැයි නොඅමතන ඇය, එදින දැඩිලෙස කිපීමට තරම් මේ මුද්දෙ රැදි රහස කුමක් ද?

පුලපුලා බලාසිටි එක් දිනක් නොදැනීම තමා ළඟට පැමිණියේ රහස එළිකර ගැනීමට උදවුවක් ලෙසද, ඇයගෙන් පළිගැනීමට හෝ ඇය රිදවීමට බලාසිටි ඔහුගේ නපුරු සිතට ඉඩ දීමක් ලෙසදැයි සිතීමට ඔහුට වුවමනා නැත.

එදින ඇය මල් පාත්ති අතර රැදි වල් පැල සුද්ද කරමින් සිටියේ තම නිරුවත් දෑතිනි. එක්වරම නැඟුන කෑගැසීමත් සමඟම ඔහු මිදුලට දුව ආයේය. ඇගේ සුරත විෂ සර්පයෙක් දෂ්ඨ කර ඇත.බලා සිටිද්දීම සුරත ඉදිමෙන්නට විය.

“ මුද්ද ගලවන්න දැන්ම , නැත්තම් ඕක කපන්න වෙයි “ඔහු වහා පැවසුවේය. වේදනාවෙන් මුසපත් වී සිටි ඕ ,මුද්ද ගලවා ඇගේ ගවුම් සාක්කුවේ දමා ගනු ඔහුගේ තියුණු ඇසට හසු විය. ඉන් පසු වේදනාවෙන් සිටි ඇය රෝහල් ගත කිරීමට යන අතර මඟදී මුදුව තමා අතට පැමිණියුරුත් , වේදනාව අඩු වූ විගස ඇගේ මතකයට පැමිණි මුදුව සොයමින් ඇය ගේ පෙරලන යුරුත් , ඇගේ දුක්බර දෙනෙතේ රැදි කඳුළු, පිරුණු කම්මුල් දිගේ රූටා විත් , ඇගේ තොල් අතර සැගවීයනයුරුත් ඔහු බලා සිටින්නේ සංසාරආත්ම ගනණක පැතූ පැටුමක් ඉටු කර ගත් පරිද්දෙනි.

ඩමින්, දන්නා සෑම තැනකම මුදුව සෙවූ ඇය. අවසන ඉතා වෙහෙසට පත් වූවාය. කිසිවක් නොදෙඩූ ඇය නානකාමරයට රිංගා ඇතිවන තෙක් හැඩුවාය. අවසන නිදිඇදේ බිත්තියට මුහුණලා සැතපුන ඇය,  මු
දුවේ ආරම්බය සොයනු වස් තම දෑස් පියාගත්තේ වසර තුනක් දුරින් වු තම ජීවිතයේ ලස්සනම දවසකට දැහැන්ගත වෙමිනි.

-------------------------------
ඇය නැවත වරක් දුම්රිය පොළ තුල සිට එළියට පැමිණියාය. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දිගේ නිනවුවක් නොමැතිව ,එහාට මෙහාට දුවන වාහන අතරින් තම දෑස ද සීරුවෙන් එහා මෙහා යැවූ ඇය , තම දුක්බර මුහුණ බිමට නැඹුරු කර ගත්තීය. ඉහළට ගත් හුස්ම පොද වාතලයට මුදා හැරි හඬ ඈ අවට සිටි වුන්ටද ඇසෙන්නට ඇතැයි ඇයට සිතුනේ සුසුමත් සමඟම කිහිපදෙනෙක්ගේ කුතුහලාත්මක නෙත් ඇය වෙත යොමු වෙද්දීය.

ඇය අකැමැත්තෙන් වුවත් තම අත් බෑගය කරා සුරත යවා , පිටතට ගත් ජංගම දුරකතනයේ තනි පැහැ තීරුව වෙත දෙනෙත් හෙළුවා පමණි. තවමත් විවෘත නොවී පවතින කහ පැහැති පුංචි ලියුම් කරවය දුටු ඇගේ දෙනෙතේ නැඟුන දීප්තිය දුටු යමෙකු වේ නම් ඇයට ඔල්මාදය සෑදී යැයි සිතනු නොඅනුමානය.තප්පරයෙන් තප්පරය හැඟීම් වෙනස් වෙන ඇඟේ සුන්දර මුහුණ තවත් එළිය කරමින් ඇගේ පිරිපුන් තොල් යුගල අතරින් මතු වූයේ සිහින් සිනාවකි. කඩිසර ඇගේ සුරතේ ඇඟිලි ජංගමයේ යතුරු පුවරුව හරහා දිව යන්නට විය. වැසුන කවරය විවර විය , එතෙක් දිලිසෙමින් විශාලව තිබූ කළු ඉංගිරියාව , සෝකයෙන් කුඩා වන්නට විය, ආසා වෑහෙන තොල් සඟලේ මතු වූ මන්දස්මිතය වියැකී පරව ගියේය.
“ Dear valued customer "this is a ......... remind your bill . . . .“

සෝ බර පලවී තිබූ මුහුණ එසැනින් කෝපයෙන් පිරී යන්නට විය. කඩිමුඩියේ ජංගම දුරකතනය නැවත අත් බෑගයට දැමීමට සැරසුනා පමණි.

“ ඩින් ඩොන් “

තව ත් විවෘත නොකරන ලද ලිපි කවරයක පැමිණිම සනිටුහන් විය. එවර ඇය ලිපිකරවරය විවෘත කළේ හැඟීම් රහිත මුහුණකිනි.

“ සමාවෙන්න . මම දැන් අම්බලන්ගොඩ.යන්න එපා , එනකම් ඉන්න “

ජංගම දුරකතනය දවාහළුකරන බැල්මක් හෙලු ඇය වට පිට බැලුවේ තමා ඉන්නෙ කොහිදැයි හදිසියේම විපරම් කිරීමට සිත් වූ නිසාය. ඇගේ දෑස හා කෙලින්ම ගැටුන
පාර එහා පැත්තේ උද්‍යානයේ සිටින කළු හැදගත් කොල්ලා ඇයට ඇසක් ගැසීය. ඇගේ ගිනි බැල්ම රැදි දෑස ඔහුව ක්ෂණයෙන් මඟ ඇරිය ද නැවත වරක් තමා අවට බැලූ ඇය දුටුවේ ,තම සංගමයේ අන්තිමයා හෙවත් ප්‍රමාදකාරයා එන තෙක් දුම්රිය ස්ථානයෙන් පිටතට වී සිටින තරුණ පහේ පුංචි සංගමයකි.

ඇගේ දෙපා ටිකින් ටික ඔවුන් වෙත ගොස් නැවතුනි. දැන් ඇය දෙස පිටත සිට බලන්නෙකුට ඇයව පෙනෙන්නේ මේ පුංචි සංගමය මෙහෙයවන තරුණ පහේ ගුරුවරිය ලෙසිනි. මීට පැය බාගයකට පමණ පෙර ඇය සිටියේ දැන් ඇයට ප්‍රතිවිර්ද්ධ දෙසින් පාර එහා පැත්තේ ඇති උද්‍යානයේ සිමෙන්ති බංකුවක වාඩි වී ගෙන වුවද කළු හැදි ඇස් ගසන්නාගෙ ඇස් මායිමෙන් වහන් වීමට ඇය දුම්රිය ස්ථානයට පැමිණියේ ෆ්ලැට් ෆෝම් ටිකටුවක් ද අරගෙනයි.ඇය දැන් පිටතට පැමිණි නිසා , නැවතත් ඇතුලතට යාමට ටිකට් ගන්න වනවාට වඩා වැඩි බියක් ඇගේ සිත අරක් ගත්තේ, දුම්රිය සේවකින් ද තමා ගැන වරදවා සිතමින් ඇස් ගසන්නට පෙළඹෙයි යැයි ඇය සිතු නිසා වන්නට ඇත.


පුංචි සංගමයේ දඟයෙක් ඇයට සිනාවකින් කළ සංග්‍රහය දුර දිග ගියෙන් පුංචි සංගමය කවුද , කොහි යන්නෙ ද පමණක් නොව ප්‍රමාද සඟයා ගැන විස්තර පවා දැන ගන්නා තරමට ඇය සහ ඔවුන් හිතවත් වූයේ ඇගේ වේලාව ගතවීම ඇයට අමතක කරන තරමටයි.ඇගේ සිනහව, කතාව පුංචි සංගමයට සඳ පෑවුවාක් වන්නට ඇත්තේ ඇය සැබැවින්ම අකලට පෑයූ සඳක්ම නිසා වන්නට ඇත.

ඇගේ ලෝකය සංගමය සීමා වෙද්දී නද දුන් ඇගේ ජංගම දුරකතනයේ හඬ පවා ඇයට නෑසීයන්නට විය.

“ අක්කා ඔයාගේ ෆෝන් එක “

“ ආහ් . . . . “

ඇය වහ වහා අත් බෑගයට සුරත යැවූවද කලබලයේ තරමට ජංගමය සොයා ගන්නා අවස්ථාව වන විට පැමිණෙමින් තිබූ දුරකතන පණිවිඩය විසන්දි වූවා පමණි.

“ අපරාදේ . . . . . “

“ ආයෙ එයි .... අක්කා ඕක හෑන්ඩ් ෆෝන් එකක්. හෑන්ඩ් බෑග් ෆෝන් එකක් නෙමෙයි “

නැවතත් ජංගමය අත් බැගය තුලට රුවන්න ඇය ගන්නා වෙහෙස දුටු එක් සංගම් සාමාජිකයෙක් පවසන්නට විය.ඔහු දෙස බලා සිනා සුන ඇය තම අසාර්ථක අත්සාහය අතැර ජංගමය තම සුරතේ රදවා ගත්තී නැවතත් ගාලු කොළඹ ප්‍රධාන පාරේ දිවෙන වාහන පෝළිමට තම ඇස් යොමු කළේ , ඔහුගේ සුවඳ ළඟ ළඟම ඇගේ නැහැයට මෙන්ම හදවතට ද දැනුන නිසාය.

පුංචි සංගමයේ ප්‍රමාදකරු ඈතීන් දිව එනු දුටු සංගම් සාමාජිකයෝ යුහුසුළුව ඇගෙන් සමුගන්නට වූයේ කොළඹ බලා පිටත් වන දුම්රිය ද මහ හඬනඟමින් ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් රැඳී සිටීම නිසාය.

“ ටිකට් ගනිල්ලා, ටිකට් ගනිල්ලා, අන්න ලේටා එනවා , අක්කා අපි එහෙනම් ගිහින් එන්නම්, බුදු සරණයි අක්කා. පරිස්සමින් “

ඔවුහු එකිනෙකා ඇගෙන් සමුගන්නට වූයේ කලක් පටන් හැඳින ගත් දයාබර මිතුරියකගෙන් සමුගන්නා පරිදිය.

ඔවුන් ගිය පසු තමා නැවතත් කළු ඇඳුම් කාරයාගේ ඇස්වහට හසුවිය යුතු ද? ඔවුන්ගේ ලේටා හෙවත් ප්‍රමාදකාරයා ඔවුන් අසලට පැමිණියේ වචනයෙන් පමණක් නොව මුළු ශරීරයෙන්ම ඔවුන්ගෙන් සමාව අයැදිමිනි.

“ පොඩ්ඩක් පරක්කු වුනා බං “

“ හොඳ පොඩ්ඩ, බොට අද පනිෂ්මන්ට් . ගනින් කාටත් උඹ ගානේ ටිකට්. . . . .ඔවුන් මහ හඬින් සිනාසෙන්නට වූ අතර..ඒ සිනා හඬ මැද්දේ සිටි ඇය , ඇගේ ප්‍රමාදකරු සොයනු වස් නැවතත් ගාලු පාරේ වාහන අතරට නෙත් යොමන්නට වූවාය.......

සුවඳ ලඟ ලඟම . . . . . . .

“Love is a promise, love is a souvenir, once given never forgotten, never let it disappear.”



නැති වූ මුදුව සොයමින් ,තවමත් වෙහෙසෙන
මම
෴ සොඳුරු සිත ෴

මුදුව දෙවන හා අවසාන කොටස ට මෙතනින්

Sunday, May 22, 2011

෴ සෑම තැනම නුඹ , නුඹ විතරමයි / Here , There & Everywhere,෴



පොල්කිච්චෙක් පිනි ඉහිච්ච තටු සලනා හැටි දැකලා

මගෙ මතකය නුඹ ගාවම නතර වුනේ ඇයි
නටුවෙන් ගිලිහී වැටෙනා මල් පෙති වල පැහැ දැකලා
මගෙ මතකය නුඹ ගාවම නතර වුනේ ඇයි


ඉර අවුවේ මද්දහනේ දිලිසෙන ඩා බිඳු දැකලා
මගෙ මතකය නුඹ ගාවම නතර වුනේ ඇයි
පාසල් යන පුංචි පැටවු මුව කිරි සිනහා දැකලා
මගෙ මතකය නුඹ ගාවම නතර වුනේ ඇයි


ඉර දිලුනත් , මල් පිපුනත්, කුරුළු කොබෙයි හඬ ඇසුනත්
නුඹ මගෙ මතකෙට එන හැටි නතර වෙන්නෙ නෑ
මිනිස් මහිම , කරුණා ගුණ , ලොව ලස්සන මිටකට ගෙන
ඒ ලස්සන මට පුදාපු නුඹ මා ළඟ නෑ


මේ ලස්සන මට දකින්න , කියා දුන්න නුඹ දකින්න
දිනක් උදා වෙයි ද කියා නුඹත් දන්නෙ නෑ
ළඟ නැති මුත් මුළු ලෝකෙම දකින දකින තැන පීදෙන
නුඹ දුන් සුන්දර මතකය පරව යන්නෙ නැහැ

I See You Everywhere..........................


නැති නුඹ දැක , හිනහෙන
මම
෴ සොඳුරු සිත ෴

Saturday, May 21, 2011

෴ සඳෙන් ඉඩමක් ගත් පෙම්වතාට ෴



අවර දිගින් හිරු බැසගෙන යන
සැන්දෑ හෝරාවේ
හෙන්දිරික්කා මල් පිපිලා සුවඳ
හමන හැන්දෑවේ


වැලි මිදුලේ අඹ ගහ යට මිටි බංකුවෙ එක තුරුලට
වාඩි වෙලා නුඹයි මමයි උන්නා නුඹ හට මතකද

අවර දිගින් හිරු බැසගෙන යන
සැන්දෑ හෝරාවේ
හෙන්දිරික්කා මල් පිපිලා සුවඳ
හමන හැන්දෑවේ


“ආන් බලන් “ නුඹේ ඇඟිලි දිග මා නෙතු රැවටිල්ලට
ලද ඇසිල්ලෙ නුඹ මා වත සිම්ඹේ ඇයි හොර රහසෙම


අවර දිගින් හිරු බැසගෙන යන
සැන්දෑ හෝරාවේ
හෙන්දිරික්කා මල් පිපිලා සුවඳ
හමන හැන්දෑවේ


මිටි බංකුවෙ මං විතරයි හෙන්දිරික්කා මල් යායට
ආරංචියි නුඹ ගිය වග සඳ ළඟ ඉඩමක් අරගෙන


අවර දිගින් හිරු බැසගෙන යන
සැන්දෑ හෝරාවේ
හෙන්දිරික්කා මල් පිපිලා සුවඳ
හමන හැන්දෑවේ


“Flatter me, and I may not believe you. Criticize me, and I may not like you. Ignore me, and I may not forgive you. Encourage me, and I will not forget you. Love me and I may be forced to love you.”


මිටි බංකුවේ තනිවම ඉන්න 
මම 
෴ සොඳුරු සිත ෴

Sunday, May 15, 2011

෴ කවි පොතක් , සහ පාඨමාලා ගාස්තුවක් අතර මම ෴

වත් පොතේ ඉන්න අය අතුරින් , කවියක් නොලීව කෙනෙක් සොයා ගන්නත් බැරි තරම්. ඒ තරමට කවිකාරයෝ , කවිකාරියෝ පිරිලා.

ඒත් එයින් කී දෙනෙක් , කඩෙන් කවි පොතක් අරන් කියවල තියද?පොත් කඩවල් වල කවි පොත් රාක්ක ගානේ වේලෙනවා. සමහර පොත් කඩවල කවි පොත් නැහැ. විකිණිලා ඉවර වෙලා එහෙම නෙමෙයි. විකිණෙන්නෙ නැති නිසා , කවි පොත් ගන්නෙ නැහැ.

ඊයේ පෙරේදා දවසක , රාජකාරි වැඩකට ගාලු යද්දි , මම දැක්කා ගාලු පිට්ටනියට මෙහා තියන වෙළඳ සංකීර්ණයේ පොත් ප්‍රදර්ශණයක්. ඉතින් රාජකාරි වැඩේත් හිතුවටත් කලින් අහවර වුන නිසා , පොත් ප්‍රදර්ශණයට රිංගුවා.සංතකේටම තිබ්බෙ , මම කරන පාඨමාලාවට බඳින්න කියල ගෙනාව මුදල් ටික විතරයි. ඒකත් ගාණට.

පොත් අල්ලල බලනව විතරයි, ගන්නෙ නම් නැහැ කියල හිත හදා ගෙන ප්‍රදර්ශණයට ඇතුල් වුනා. කාලයක් තිස්සේ හොයපු පොත්, එහෙම් පිටින්ම රාක්ක උඩ. සෑහෙන මිලත් අඩුයි. පොඩි පොඩි අවුල් තමයි පොත් වල තිබ්බේ. කවර ඉරිලා. පිටු ඇලවිලා.කොහොමින් කොහොම හරි දන්නෙම නැතිව පොත් හතර පහ හයක්ම අතේ.කුරුණෑගල පැත්තෙ ඉඳල ආපු කට්ටියක් බවයි කතාවෙන් දැන ගත්තේ.

“ ලස්සන වසිලිස්සා “ පොත හොය හොය හිටපු , නමුත් හොයාගන්න බැරි වුන පොත... තව පොත් ගොඩාරික් තිබ්බා.

තෝරල බේරල ගත්ත පොත් ටික , බිල් කඩන තැනට ගෙනල්ල මම කීවා.

“ මල්ලි , බිල ලියන්න කලින් මට ගාණ කියද කියල කියන්න “ කියල.

ගාණෙ හැටියට , පොත් දෙකක් අයින් කරන්න වුනා.

ඉතිරි ටික ගෙදර අරන් ආවේ , හිතේ සතුටකින් වගේම හිතේ තිබ්බ ලොකු බරකින්. මොකද ,කියනවනම් පාඨමාලාවට මුදල් බඳින අන්තිම දවස අද. ඒත් ඒක අද බඳින්න බැරි වෙනවා.මුළු මුදලට තව දෙදාස් ගාණට ආසන්න මුදලක් අඩුයි..

එන විදිහක් බලමු කියල හිත හදා ගත්තෙ , පොත් ටික දිහා දිලිසෙන ඇස් යවන ගමන්.

ඒ අතරෙ තිබ්බ කවි පොතක තිබ්බ කවි පන්තියක් මේ සමඟ ලියන්න මට හිතුනේ කවි පොතක් පල කරපු ඒ රචකයාට උපහාරයක් විදිහටයි.

තිස් පැයේ කණට වැටුනද දහම් නිතී
පංසලේ වෙසෙන බල්ලන් සපා කතී
යහගුණේ සපිරි මිනිසුන් අතර සිටී
නුහු ගුණේ තිබෙන දුදනද එසේ වෙතී


හංසයා දියෙන් කිරි වෙන් කළද සොඳින්
කණ කොකා සමත් වේවිද එයට ඉතින්
නොහැකි මුත් සපන් කම් සෙසු අයට උඩින්
බෝ සිටී හංසයන් වන්නට හදන කොකුන්

කලාලය වියූ මිනිසා එ දුක දනී
කලාලය මතින් යන අය එය නොදනී
බොහෝ දුක් දරා මල් මාලා සැඳුනි
එමල් පැළදි අය දන්නෙ සැප පමණී

පියාසර කරන දහවල් නොයෙක් අත
බොහෝ සියොතුන්ට නිදනට කූඩු ඇත
දෑත දෙපය ඇති සමහර දනන් වෙත
පාර මිසක රෑ නින්දට ගෙයක් නැත

රණින් කෙරුන අපමණ මිණි වොටුනු මත
කැළුම් නගා සැරසුවද තමන් වත
කුළුණු ගුණෙන් තොරවී කුරිරු නම් සිත
රනින් කළ ඳ ඒ හදවත පලක් නැත

කවි පොතේ නම ; හිතෝපදේශය නොකී කවි
වන්ද්‍රසිරි දොඩන්ගොඩ
කවි විතරක් නෙමෙයි , ලස්සන චිත්‍ර පොත පුරාම තිබ්බා
චිත්‍ර ඇඳල තිබ්බේ ; ශානත කේ හේරත්

Saturday, May 14, 2011

෴ කපෝත ජාතකය ( කාක චෞරයන්ගෙන් පරිස්සම් වන්න ) ෴


අහසේ මැතිඳු පිං පාටින් දිලේය
ඒ පින් සඳේ ආලෝකය නැඟේය
බ්ලොගයේ ලිපිය වෙත පුන් සඳ එතේය
ජාතක කතාවක් නුඹ වෙත ගෙනේය


එක් සමයෙක් හි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක් ; එක්තරා ලෝභී වූ භික්ෂූන් වහන්සේ නමක් අරබයා කපෝත ජාතකය වදාළ සේක.

පින්වතුනි ; බ්ලොග් පාඨකයිනි ;

බරණැස් නුවර රජකෙනෙකුන් සිටින්නේ
ඔහුගේ නමින් මුළු භවනම දිලෙන්නේ
නුඹ මා දන්න රජකෙනෙකුයි සිටින්නේ
බඹදත් රජුන් දවසයි මෙය කියන්නේ

අප මහ බෝසතාණන් එහි උපන්නේ
සිටු ගෙයි පරවි කූඩූවකයි වෙසෙන්නේ
කූඩූව නිවසෙ මුළුතැන් ගෙයි තිබෙන්නේ
අරකැමි තුමා සමඟින් යහතින් සිටින්නේ

බෝසත් පරවි කුරුලා උදයෙම යනවා
බට කඩ පුරා රස ආහාර වළදනවා
රෑ කළුවර ගෙවෙද්දී යළි පියඹනවා
පරවිය සිතේ සතුටින් එහි නිදියනවා

දවසක් කපුටු කුරුලෙක් මේ ගෙයට උඩින්
පියඹා යද්දි දැනිලා එහි සුවඳ රැසින්
රස ආහාර ඇතේ මෙහි මට දැනෙන යුරින්
මෙහෙ නවතින්න ඇත්නම් එය පිනකි ඉතින්

මේ ලෙස සිතන කපුටා එහි විමසිල්ලෙන්
සිටු ගෙයි කෑම උයනා සැටි සැරසිල්ලෙන්
බලා සිටින විට කපුටා නැරඹිල්ලෙන්
පරවි කුරුල්ලා එහි රිංගනු දුටියෙන්



හෙට උදයේම පරවියා මුණ ගැසිය යුතූ
ඔහු සමඟින් සංවාදය තිබිය යුතු
ඔහුගේ මඟින් මේ භවනට එඹිය යුතු
මෙහි ඉදෙනා මසේ රස මම බැලිය යුතූ

පසු දා උදෑසන පරවිය ඉගිල යතේ
කපුට ඔහුගෙ පසු පස්සේ හඹා යතේ
ලං වූ විටදි කපුටා දා බසක් මෙසේ
පරවිය සමඟ ඉන්නා සැටි අසයි මෙසේ

පරවි රජෝ නුඹ ගැන පැහැදුනිමි මම
නුඹ හට උපස්ථානය කෙරුමයි මගේ සිත
නුඹ සමඟින් එක් කූඩුවෙ වසන්නට
දෙනු මැන අවසරය මා සිත පිනා යත

පෙනේද කපුටගේ කපටි කම

නුඹ හා මා වෙනස් බව නුඹ නොදන්නෙද
අප දෙදෙනා විසුම එක ගෙයි නොවන්නෙද
ආහාරයත් වෙනසක් නොම පෙනෙන් නෙද
එහෙයින් උපස්ථානය කෙලෙසින් කරන්නෙද

පරවියා එහෙම කපුටගෙන් ඇහුවා

ඒ බව දනිමි , මම කාබී පැමිණෙන්නම්
රෑ කල නුඹත් සමඟින් වාසය ඉන්නම්
අවසර දෙන්න නුඹ සමඟින් මිතු වෙන්නම්
කපුටා කීව වදනට පරවිය ඉඩ දුන්නා

ඉතින් දැන් , කපුටාත් පරවියත් දෙන්නම වාසය කරන්නේ සිටු මැදුරේ තියන අර , අරක්කැමියා හදල දුන්න කූඩුවේ.

දෙන්න උදේම කුඩුවෙන් පිටවෙලා කැම බිම අරන් හවස් යාමේ ආපහු කූඩුවට එනවා.

ඔන්න ඉතින් දවසක්

දවසක් සිටු ගෙදර ලොකු පාටියක් ඇති
මුළුතැන් ගෙයත් රස මසවුළු ගොඩක් ඇති
ඒ අතරෙත් මස් මාළුත් පිරී යතී
මෙය දුටු කපුටාගෙ සිත සතුටින් පිනා යතී

බොරු ලෙඩ අරන් කපුටා දැන් අසනීපෙන්
පරවිය විතරක්ම උදයෙන් පිට යාමෙන්
යන්නට කලින් අවවාදය පරවියගෙන්
කපුටෝ එපා වරදක් හෙම නොම කරපන්



පරවියා ගියා ඉගිලී දවසේ වැඩට
කපුටා ඉන්නවා කූඩුවෙ හොරකමට
අරකැමි මෙහා වෙන සීරුවෙ හොරවැඩට
කපුටා ගන්නවා මස් ඌගේ හොටට

අරකැමි ඇවිත් විමසුම් ඇස් වටේ යනා
හොරකම් කරන කපුටා බව ඉවෙන් දනා
අල්ලා ගන්න හොර කපුටා අතට ඉතින්
අරකැමි සැඟව ඇත විමසුම් රැඳුන ඇසින්

අරකැමි නැතේ කපුටා එනවා ඉගිලී
මස් හොට අරන් යන්නට හදනව ඉගිලී
අරකැමි පැනල අල්ලා ගන්නව එහදී
තෝ හොර කපුටා දෙන්නම් බැට උඹට සරී

කපුටාගේ පිහාටුයි අමුවෙන් ගැලවෙන්නේ
කපුටා වේදනාවෙන් කෑ මොර දෙන්නේ
නිරුවත් සමට අබ මිරිසුයි ඔහු දෙන්නේ
කපුටා ඉන්පසුව කූඩුවටයි යන්නේ

හවස් වන විටදි පරවියා පැමිණෙනවා
කපුටට වෙච්චි දේ දැක ඔහු දුක් වෙනවා
මිතුරේ නුඹෙ ලෝභය දැන් වැටහෙනවා
මම මෙහි නොසිට වෙන තැනකට පියඹනවා




එලෙසයි ජාතකය ලියවී තිබෙන්නේ
පාඩම් ගොඩක් සිතකට නම් ගෙනෙන්නේ
කපුටා පරවියා ලෙස දෝ සිතන්නේ
පරවිය මිසක කපුටෙකු නම් නොවන්න



උගත හැකි පාඩම්  ;
* වෙනස් අරමුණු ඇති පුද්ගලයින්ට ,එක් ව විසීම අපහසු බව.
* තම අරමුණට ළඟා විමට ගන්නා විවිධ ව්‍යාජ හේතු නිසා කොයි කවර වේලාවක හෝ අමාරුවේ වැටෙන්නෙ තමාව බව.

Wednesday, May 11, 2011

෴ පුර සඳෙන් ඇමතුමක් ෴


බොහොම ඈත අතීතයේ දි මිනිසුන්මා දිහා බලපු සොඳුරු ඇස වෙනස් වෙලා නැහැ කියල මම හිතනවා. මොකද ඒ කාලේ වගේම , තවමත් මා ගැන ගොඩක් මිනිසුන් ලියන නිසා , ඈතම ඈත අතීතයේ දී මිනිසුන් මා දිහා බලපු ගුප්ත ස්වරූපය නම් දැන් ගොඩක් දුරට වෙනස් වෙලා. 

මිනිසුන් විතරක් නෙමෙයි සතා සීපාවුනුත් ඒ කාලයේදී ඔවුන්ගේ ජීවිත හැඩ ගසා ගත්තේ මා එන යන විදිහටයි. ඒ විතරක් නෙමෙයි ඇතැම් ජන කොට්ඨාශ මා වෙනුවෙන් පුද පූජා පැවැත් වූවා. ඇතැමෙක් තම දරුවන් නලව ගත්තේ මගේ කැළුම් යට ඉඳන් ,සඳ රැස් නාන ගමන්,  ඉතින් ඒ දරුවන්ගේ සිත් තුලත් මා ගැන ඇති වුනේ සොඳුරු හැඟීමක් විනා අන් කුමක් ද?

කෙනෙක් “ කිරි පැණි පිඟානකට ඉල්ලද්දි “ තවත් අයෙක් මෙහෙම කීවා.......

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුඳු සුළඟින්
අප නැලවෙන්නේ
බැබලෙන සඳ පානේ


ඉඳින් ඉන් පසුව මිනිසුන් සංකීර්ණ වෙන්න වෙන්න , දැනුම හොය යන්න පටන් ගන්න යද්දි, මා දිහා ගුප්ත ඇහින් නෙමෙයි , නිරීක්ෂණාත්මක ඇසින් බලන මිනිසුන් කොටසක් බිහිවුනා. මා ඇකයේ සැතපෙන සා පැටියට එහා ගියපු දේ ඔවුන්ගේ ඇසට අසු වෙන්න වෙන්න , ඔවුන්ට ඕනි වුනා අනෙකා පරයා මා ජය ගන්න, මා දකින්න . කෙතරම් දුරට ඒ උමතුව දිව ගියාද කියනව නම් රටවල් අතර සීතල යුද්ධයක් වගේ , මා මත පය තබන්න ඇති වුන ආසාව තාක්ෂණික දියුණුවටත් ඉවහල් වුනා.

කොහොම නමුත් මම දැන් විසඳුන අභිරහසක්. සරල , සුන්දර ගුප්ත බව නැති වෙලා ගිහින් ,

ඒත් තවමත් මා සිත සුවපත් කරන පහන් හැඟීමක් මට ඇති වන්නේ , මා තුල සුන්දරත්වයක් දකින මිනිසුන් ටික දෙනෙක් හරි ඉතිරි වෙලා ඉන්නව කියල මට දැනෙන හැඟෙන නිසයි.

හැම පුර පෝයකටම අහස පුරා පිපෙන මට මේ පුර පෝයට නම් ලොකු වටිනාකමක් දෙන්න ගොඩක් දෙනා මඟ බලාන ඉන්නවා.

ඒ කොයි තරම් ද කියනව නම් මාත් දැන් “ වානිජකරණය “ වෙලා

“When a finger points to the moon, the imbecile looks at the finger”

“ දිය ගොඩ සැම තැන - සුනිල් ශාන්ත “




හැම පුර පෝයකටම , සඳ හරහා නුඹ දකින්නට එන
මම
෴ සොඳුරු සිත ෴

Sunday, May 8, 2011

෴ සොඳුරු තනිකඩකම - බිඳින්නට ලං නොවනු හිතවත / Is Eternal Solitude My Destiny? ෴

සුරංගනා කතා ලෝකයට වෙලා ඉදල සැහැල්ලු වුන ඇගේ සිතට තත්‍ය ලෝකයට එන්න හිත දුන්නේම නැහැ. ඒත් දිනෙන් දින ආසන්නයටම ඇවිත් තියෙන ඇගේ උපන් දිනය , ඇයට ඇය  දැන් වැඩිහිටියෙක් කියල ඇයට මතක් කරල දෙනවා.

හරියට , හැම පෝයකටම අහස පුරා පායන සඳ , වෙසක් පොහොය දවසට සුපින්වත් සඳ වෙනව වගේ.

තනිකඩ ඇයට දැන් පවුල් වෙන්න කාලය හරි. දෙමාපියන් , සහෝදර සහොදරියන් වගේම , ඥාතීන් හිත මිතුරන් කාටත් ඇයව දැක්කම මතුවෙන ලොකුම ගැටළුව තමයි ඇගේ තනිකඩ ලෝකය. ඇගේ තනිකඩ ලෝකය ඇයට ඇරෙන්න අනිත් කාටත් තියෙන මහ විශාල ගැටළුවක්.

ඒත් . . . .  විවාහකයන් ට තියෙන ගැටළුත් එක්ක බැලුවම ඇය ගෙවන්නේ සරල ජීවිතයක්. හිතේ දුක අඩු , සුන්දර සැහැල්ලු ජීවිතයක්.

බඳිනවා කියන වචනය තුලම සිර වීමක් ඇයට දැනෙන් නේ ඇයි ද මන්ද?

ඇය දකින විදිහට නම් විවාහයක පදනම ආදරය විය යුතුමයි. නමුත් දැඩි සේ ආදරය කරල විවාහයෙන් බැඳුන බොහෝ දෙනාත් ආදරය සොයාන විවාහයෙන් පිටත යන යුගයක දි විවාහයේ පදනම ආදරයයි කියන එක හරිද ?

වැරදි . . .  වර්තමාන යුගයේ දී විවාහයේ පදනම ආදරය නෙමෙයි. මුදල් , වත්කම , බලය, ලස්සන, දේපල සහ සමාජ තත්ත්වය තමයි මූලිකවම විවාහයේ පදනම වෙලා තියෙන්නේ. ඉතින් එහෙවු භෞතිකමය දේවල් පදනම් වුන විවාහකයන්ගේ සිත පසු කාලීනව ආදරය සොයා ඇදෙනවා.

මෙතන දී ආදරය කියල කීවේ , ශාරීරික අවශ්‍යතා නම් නෙමෙයි , සිතට සුවයක් ගෙන දෙන මානසික බැඳීම්.

මෙවැනි සම්බන්ධකම් අද ලෝකයේ විටින් විට ඇය දැකල තියෙනවා. විශේෂයෙන්ම කාර්යාල තුල දී . පවුලක් තුල ඇති වෙන මානසික පීඩනය අඩු කර ගන්නට යැයි සිතා තම දුක සහ තැවුන සිත වෙනකෙකුගේ දෝතට දෙන්නේ සැබැවින්ම අහිතකර සිතුවිල්ලකින් නෙමෙයි. නමුත් සවන් දෙන්නාගේ පුද්ගලික සිතුවිලි මත කියන්නා ඔහුගේ හෝ ඇගේ ගොදුරක් වෙන්නට පුලුවන් .බොහෝ විට වෙන්නේ ඒක. දුක් තැවුල් දුරු කරන , දුක්ගන්නා රාළ මෙන් පෙනී සිටිමින් තවත් අයකු දුකටම ඇද දමමින් ගැටළු රාශියක් මවන්න ඔවුන් සමත් වෙනවා.

ඒත් බොහොම කලාතුරකින් හෝ අයෙක් , බොහොම හොඳ අසන්නෙක් වෙනවා. දුක සතුට බෙදා ගන්න පුලුවන් , ආදරය හඳුනන බොහොම ලෙංගතු හිතවතෙක් වෙනවා. මෙතන දි ඇති වෙන බැඳීම , ඒ වගේ බැඳීමකින් බැඳුන කෙනෙක්ට හැර ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න අපහසුයි.

මොකද වැඩි හරියක් අපි දකින්නේ රාගය හා බැඳුන අනියම් සම්බන්ධකම් නිසා.


ඉතින් , ඇය දැක ඇති බොහෝ විවාහ එක්කො ඇද ගෙන යන ඒවා, නැත්තම් බැඳපු පලියට ඉන්න ඒව, එහෙමත් නැත්තම් සිත දුකින් පිරුණ එකිනෙකා ගැන ද්වේශයෙන් සැකයෙන් බලන ඒවා ඉතින් එහෙම ලෝකයක් ඇයටත් ලැබුනොත් ඇයට එය දරා ගන්න අමාරුයි . මොකද කියනව නම් ඇය හැමදාමත් “ අහස කඩන් වැටුන හාවා වගේ“ පුංචි දේටත් කලබල වෙන කෙනෙක් නිසා.

සමාජයේ තවත් එක් සමාජිකාවක් වන ඇය සමාජ චාරිත්‍ර හා සමාජ වගකීම් ඉටු කරන්නට ම  විවාහ විය යුතු ද?

 නිසල විල පිපි නෙළුම මම වෙමි
නොඑනු රොන් ගනු පිණිස බඹරුනි
අවැසි නම් මා සිතට සම වැදි
සුවඳ පමණක් බලන්නට හිමි

අහස පතුරා දිලෙන සඳ වෙමි
පෙම් කරන්නට එපා කුමරුණි
අවැසි නම් සඳ එළිය පමණක්
රැගෙන නුඹ සිත එකළු කරමිනි

වෙරළ වෙත එන රැල්ල මම වෙමි
වෙරළ සිඹිමින් සැනසුමක් වෙමි

නුඹේ පා යුග දෝවනය මිස
සිතට වැද රැලි නඟන්නට බැරි

සිහිනයෙන් සිහිනයට පැමිණෙන
කඳුළු පිසිනා කුමරි මම වෙමි
සයනයේ උනුසුම විඳින්නට
එපා සිතුමට රාගයක් නිති


"You do not need to be loved, not at the cost of yourself. The single relationship that is truly central and crucial in a life is the relationship to the self. Of all the people you will know in a lifetime, you are the only one you will never lose."

මට මා හිමි වෙන ජිවිතයක
මා හඳුනා ගන්නට වෙර ගන්නා
මම
෴ සොඳුරු සිත ෴

Saturday, May 7, 2011

෴ ලස්සන වසිලිසා / Vasilisa The Beautiful ෴ 4


සිදුවෙන්නට යන දේ වසිලිස්සා
බෝණික්කා හට පවසනවා
බෝණික්කගෙ උපදෙස් පිට ඇය දැන්
මෙහෙකාරිය හමුවට යනවා

අනේ මගේ හොඳ සුදු නැන්දේ
මෙහින් යන්න මට පිහිට වෙයන්
මා හිස බැඳි මේ ලස්සන ලෙන්සුව
නුඹටයි එය නුඹ අර ගන්නේ


වසිලිස්සාගේ තඹවන් ලස්සන දිග කොණ්ඩය ගැට ගහල තිබ්බ සේද ලේන්සුව , බබායාගා යකිණියගේ මෙහෙකාරියට දෙන්නයි මේ වසිලිස්සා හදන්නේ. මෙහෙකාරිය තම ජිවීතේම කැප කරල තියෙන්නෙ යකීණයට කෑම උයල දෙන්න වුනත් , යකිනිය නූලක දෙයක් මේ මෙහෙකාරියට අරන් දීල නැහැ. මෙහෙකාරියගේ ඇස් වලට කඳුළු උනනවා. ඇය මෙහෙම කියනවා.


මගෙ ජීවිතයම කඹුරල කඹුරල
නූල් පොටක් නැහැ මට ලැබුනේ
වසිලිස්සෝ නුඹ පැනලා පලයන්
මම නැහැ නේ නුඹ නවතන්නේ



ඉතින් වසිලිස්සා එතනින් පැනල ආවත් , අර කළු පුසට අහු වෙනවා. ඇය , ඇය ලග සගවා ගෙන තිබුන පාන් කෑලක් කළු පූසටත් බල්ලාටත් දෙනවා. මේ සත්තුන්ටත් කන්න දෙන්න තරම් කරුණාවක් යකිනියට තිබිල නැහැ. 


වසිලිසාගේ කරුණාවත් , ඇය දුන්න කෑමත් කන පුසත් බල්ලාත් ඇයට යන්න ඉඩ දෙනවා.

ඔක්කෝගෙන්ම බේරිලා ,මිදුලට ආව වසිලිසාව අල්ල ගන්න අර බාච් ගහේ අතු පාත් වෙනවා. වසිලිසාගේ ලස්සන දිග කොණ්ඩේ අග්ගිස්ස ගැට ගහල තිබ්බ රිබන් එකෙන් , වසිලිස්සා ඒ ගසේ අතු ටික ලස්සනට ගැට ගහනවා.

තමන්ගේ අතු ටික ලස්සනට සරසපු වසිලිසාට බාච් ගස යන්න දෙනවා. ඊළඟට ගේට්ටුව. ගේට්ටු පියන් "ක්රාස්," ගාලා වැහෙනවා. වසිලිස්සා ගේට්ටු වේ ඇණ මුරිච්චි වලට තෙල් සහ ග්‍රීස් දානව. ගේට්ටුවට හරි සතුටුයි. ගේට්ටුව වසිලිසාට යන්න ඉඩ දෙනවා.

ඉතින් ඒ වෙලාවෙම ආයෙත් අර කළු අසරුවා එතනින් යනවා. ඒ කියන්නේ කළුවර වෙනවා. වසිලිසා , යකිනියගේ වැටෙන් අර දිලිසෙන මිනි හිස් කබලක් ගලවා ගන්නවා. එහි ඇස් වලින් විහිදෙන එළිය නිසා , දහවල වගේ රාත්‍රියෙ කළාවර පලා යනවා.

ඉතින් මෙහෙම වසිලිසා ගෙදර එනවා. මුළු ගේම පාළුයි කළුවරයි. කුඩම්මා වසිලිසාව දැකල කෑගහනවා. මොකද වසිලිසා මැරිල කියලයි කුඩම්ම හිතුවෙ.


එළිය අරන් එන වෙලාව මේකද
ඇයි මෙතරම් ප්‍රමාද වුනේ
නුඹහට නොපෙනෙද ගෙයි ඇති කළුවර
නුඹ වයි ගින්නට බිලි දෙන්නේ


මෙහෙම කිව විතරයි , අර වසිලිස්සා ගෙනාපු හිස් කබලෙ තියෙන ඇස් වලින් විහිදෙන එළියෙ රස්නය ,කුඩම්මාවත් ඇගේ දියණියන් දෙදෙනාත් පසු පස පන්නන් ගිහින් ඔවුන් තිදෙනාව අඟුරු  බවට පත් කරනවා.

වසිලිසා විතරයි ඉතිරි වෙන්නේ. වසිලිස්සා හිමිදිරිය ආවම , අර නිවිල යන හිස් කබල අරන් එකේ ලස්සන රෝස පැලයක් පැල කරනවා.දැන් ඇයට කාත් කවුරුවත් නැහැ.තාත්තත් දුර ගිහින්...වසිලිසා පිලිසරණක් හොයාන නගරයට යනවා.


ඒ මේ අත ඇවිදින වසිලිස්සට
මහළු ගැහැණියක් හමු වෙනවා
ඇගේ නිවස ඇය තනියෙන් කියලා
වසිලිස්සව එක්කන් යනවා

වසිලිස්සා දැන් තවත් ලස්සනයි
සිත කරදරයක් නැතිව සිටියි
දවසක් වසිලිස්සා අර මවු වෙත
ඉල්ලීමක් මෙලෙසින් ඉල්ලයි

අත්තම්මෙ මට මෙහෙම නිකම් සිට
කන්නට බොන්නට තවත් බැරී
හණ කොළ මිටියත් ගෙනත් දියන් මට
ඉන් රෙදි වියුමට මටත් හැකී

ඉතින් නගරයේ වෙළඳ පොළට යන අර මවු , වසිලිසා ඉල්ලපු දේ ගෙනත් දෙනවා.


වසිලිස්සා ඉන් නූල් කටිනවා
එහෙම නූල් ලොව කොහෙත් නැතී
සිහින් සේද මෙන් ලස්සන නූලෙන්
ඇය වියනා සේලයත් ගතී

 


ඇය වියපු ලස්සන සේලය , ඇය මහලු මවුට දෙනවා දීල මෙහෙම කියනවා


අත්තම්මේ මේ ලස්සන සේලය
නගරෙට ගොස් විකුණා ගන්නේ
ඉන් ලැබෙනා පොඩි මුදලින් නුඹහට
අඩු වැඩියත් ඉන් අර ගන්නේ


සේදවැනි සේලය දකින මැහැලිය පුදුම වෙනවා.


මේ වැනි ලස්සන සේල වියන්නට
මේ ලොව නම් කවුරුත් අසමත්
මෙය නම් හරියන්නේ රජ මැදුරට
මම මෙය එහිවත් ගෙන යන්නම්




සේලය අරන් රජ මාලිගයට යන අත්තම්මා, කුමාරයාට ඒක පෙන්වනවා. කුමාරයාට හරිම පුදුමයි. ඔහු එය අරන් මෙහෙම කියනවා.


මේ වැනි ලස්සන සේල ය කිසි දින
මා නම් මේ ලොව දැකල නැති
ඉල්ලන ගානක් දෙන්නම් නුමහට
මෙය මා වෙතටම දීලා යන්නේ


අත්තම්මා , මුදල් ගන්නෙ නැහැ කුමාරයාගෙන්. කුමාරයාට එය තෑගි විදිහට දීල යනවා. ( මොකද , කුමාරය කඩවසම් වගේම තනිකඩයි )


කුමාරයා ඊට පස්සෙ මේ සේලයෙන් රජුට ඇඳුමක් මහගන්න හැදුවත්, කිසි කෙනෙක් එයට ඉදිරිපත් වෙන්නෙ නැහැ. මොකද , ඒ රෙද්දෙන් ඒ තැම්ම වටිනා ඇඳුමක් මහන්න කාටත් බයයි.
 

කුමාරයා අර අත්තම්මට පණිවිඩයක් යවනවා. අත්තම්මට මෙහෙම කියනවා.


නුඹ මට පිරුනැමු ලස්සන සේලය
කපා මසන්නට මට ඇඳුමක්
කොයි කවුරුත් නැහැ එයටම සරිලන
නුඹටම හැකි දෝ එය කර දෙන්නට

අත්තම්ම මෙහෙම කියනවා


ලස්සන මගෙ සුදු වසිලිස්සා
තමයි සේලෙ වියුවේ
ඇයටම හැකි වෙයි ඇඳුමක් මැසුමට
ඇය මෙහි කැදවා ගෙන එන්නේ

ඊට පස්සෙ කුමාරයා , ඇයව ගෙන්න ගන්නවා රජ වාසලට. ඇය දුටු ව දුටු ගමන්, කුමාරයගේ සිත ඇයට ඇදිල යනවා.


වසිලිසාත් දන්න වැඩ කෑලි ටික ඔක්කම දාලා , කුමාරයට ලස්සන ඇඳුමක් මහල දෙනවා ( වසිලිසා කුමාරයව අන්දනව හි හි හි හි .. . )


වසිලිසාගේ රුවත් , නුවනත්, ඇගේ වැඩත් ගැන පැහැදෙන කුමාරයා වසිලිසාව තමන්ගේ බිරිඳ බවට පත් කර ගන්නවා. වසිලිසාගේ තාත්තාත් මේ අතරේ වසිලිසාව හොයා ගෙන එනවා. ඊට පස්සෙ වසිලිසාත්, කුාරයාත්, මහළු අත්තම්මාත් , වසිලිසාගේ පියාත් සතුටින් රජමාලිගාවෙම ජීවත් වෙනවා.


හැබැයි ඉතින් , වසිලිසාට මේ තරම් දුරක් එන්න උදවු කරපු බෝණික්කට මොනා වුනාද කියල මම නම් දන්නෙ නැහැ.

No words were wasted after that.

වසිලිසාට අමතක වූ ලී බෝණික්කා
මම
෴ සොඳුරු සිත ෴

ප/ලි
අර යකිනිය , ඊට පස්සේ රුසියන් සුරංගනා කතා ගොඩක හිටිය මම නම් දැක්කා. හැබැයි ඒ එක කතාවකවත් යකිනය වසිලිසා ගැන ඇගේ අදහස් දක්වලා තිබ්බෙ නැහැ.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...