..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Saturday, April 30, 2011

෴ කතරක් මැද කොතැනක හෝ.. කෙම් බිම් යලි හමුවෙනවා. ෴

 නැති දේ , නොලැබෙනා දේ ගැනම තැවෙන අය වැඩියි කියල මට හිතෙනවා. අනික මම ලියන දේ වුනත් එයාලට දෙන්නෙ ඒ දුක් හැඟුමම වර්ධන වෙලා , ඒ දුකම විඳ විඳ ඉ න්න අඩු වැඩිය කියලයි මට හිතුනේ. ඉතින් දුකට පත් කෙනෙක් ව තව තවත් දුකට දාන්න මම නොදැනුවත්ම හරි හවුල් වෙනව නම්, ඒක හොඳ දෙයක් විදිහට මම දකින්නෙ නැහැ.

“ දුක “ හැම හිතකම තියෙන විදින , දැනෙන දෙයක්. ඒත් “දුක“ දුකින්ම නැතිව දුක සතුටින් විඳින්න අපිට බැරිද , 

ආදරය කරන අය නොලැබීමේ දුක , ආදරය කරපු අය අපිව දමා යෑමේ දුක . ඒ දුක් තමයි ගොඩක් දෙනාට තියෙන දුක. ඒ දුක තුල ඇත්තටම සිතට දැනෙන්නෙ සතුටක් නිසා තමයි ගොඩක් දෙනා ඒ දුක තුල ගිලිල කිමිදිලා මිය යන්න හදන්නෙ.හරියට මී මැස්සෙක් ඇන්නම වගේ. වේදනාවක් එක්ක ඇඟ පුරාම දුවන සියුම් පිබිදීමක් ඒ තුල තියෙනවා.

ඒත් දමා ගිය අය හෝ නොලැබී ගිය අය තම තමන්ගේ ලෝක වල ඒ ඒ විදිහට සතුටින් ජීවත් වෙනව. අපි ඔහේ කාලකණ්නි වෙනව. ඉතින් ඒ ආදරය ද? ආදරය තියෙන්නෙ ජීවිත සතුටු කරන්න. ජීවිත ලේසි කරන්න. ජීවිතය බෙදා ගන්න. කොටින්ම ජිවිතය ජිවත් කරවන්න මිසක ජීවිතය විදවන්න නෙමෙයි.

තමන්ට ලැබුන හොඳම කෙනා, ලෝකෙ හිටපු නියම කෙනා තමන්ව දාලා ගියා කියල ඔයාල දුක් වෙන්නෙ කොහොමද ? අනිත් අය දිහා හැරිල බලන්න, කතා කරන්න හඳුනා ගන්න, සමහර විට හොඳම කෙනා තමන්ගෙ ළඟම ඉන්නව වෙන්න පුලුවන්.

ඉතින් මේ අතරේ හිතේ කිසිම තෙතක් නැති කිසිම සංවේදීතාවයක් නැති ගල් හිතුත් නැතිවම නෙමෙයි. ගොඩක් දුරට ඒ හිත් ගල් වෙලා තියෙන්නෙ ආදරය නොදැකපු , නොදැනුන නිසා වෙන්න පුලුවන්. සංවේදි මෘදු සිතකට , ගලක් වුනත් උණු කරන්න පුලුවන්.

ඉතින් යාලු වනේ ගොඩක් දෙනා මගෙන් අහනව “ ඇයි අක්කා ඔයා දුකින් ඉන්නෙ කියල “

මම දුකින් නෙමෙයි. හිත උතුරා ගිය සතුටිනුත් නෙමෙයි . ඒත් හිතට දරා ගන්න බැරි දේවල් මම අකුරු වලට බර තියලා , මගේ හිතින් පිටුවහල් කරන්න වෙර දරනවා. ඒ නිසා මම වත් නොදැන මගේ හිතේ අහු මුළු වල තියෙන “ දුක“ වචන වලට එනව ඇති. ඒ ඇරෙන්න , විශේෂ දුකක් හෝ සතුටක් නම් මට නැහැ.

පොතක් පල කිරීම ගැන නම් මේ දවස් වල වෙහෙසෙමින් ඉන්නව. නොදැකපු , නමුත් ගොඩ දෙනෙක් මට ඒකට උදවු කරනවා. ඒ හැමදෙනාටම ගොඩක් ස්තූතියි.


මා වටේ ඉන්න , හිත් වල දුක පුරෝ ගත්ත යාළුවන් , සතුටින් ඉන්නව දකින්නයි මම කැමති. දුක ආහාරයක් කර ගන්න එක නතර කරන්න . . . . ජිවිතේ ලස්සනයි. නුඹේ ජිවිතය නුඹේමයි. වෙන කෙනෙක්ට ඒ ජීවිතේ නැති කරන්න දෙන්න එපා. පුලුවන් නම් , තමන්ගෙ ජීවිතෙන් තමන් ආදරය කරන අයගේ ලෝකය එළිය කරන්න බලන්න. ඒකට එයාල ළඟට යන්නම ඕනි කියල එකක් නැහැනෙ. 

එහෙම නේද ?
මේ මම කළකින් අහපු ගීතයක්. කැමැති නම් ගීතයත් අහලම යන්න.

මල් හසරැල් සැළෙන ලොවක්..
දුල් රසුදැල් අසිරි සලක්..
සොඳුරු ඉසව්වක්..
තිත් කතරක නෙත් දනවන..
සිහින දනව්වක්..

කතරක් මැද කොතැනක හෝ..
කෙම් බිම් යලි හමුවෙනවා.
දුක්බර ගෙනයන ගමනේ..
හසරැල්ලක් මුසුවෙනවා..
කඳුලින් සරු වූ උයනේ..
මිනිසත්කම් දළුලනවා..

සිත තෙත් ගතිනැති දා ලෝ..
කොතැනක් කතරක් වෙනවා..
හදවත් පිවිතුරු වූ දා..
නව කෙම් බිම් බිහිවෙනවා..
දෙසිතක් මුසු වූ දැහැනේ..
දහසක් මල් පිබිදෙනවා.




 


සඳ මා හැර ගියැයි කියා  - සඳ එළියත් එක්ක තරහ නොවී
සඳ එළියේ සුව විඳින
මම
෴ සොඳුරු සිත ෴

Thursday, April 28, 2011

෴ ආදරය විදින්න / Feel the Love ෴




අද මම මේ ලියන්නෙ , මගේ දෙයක් නෙමෙයි, අමු අමුවේ කොපි කරපු කවි පන්ති දෙකක්. මේ කවි හොයා ගන්න හේතුව වුනේ , අපේ “ මරණෙ “ සහෝදරයා. ඒ නිසා ඒ සහෝදරයට ඉස්සෙල්ලම ස්තූතියි කියන්න ඕනි.

ඉතින් ඔන්න මම හොයා ගත්ත කවි දෙක. මේ ගැන වැඩි විස්තර දන්න අය ඉන්නව නම් සටහනක් තියල යන එක ලොකු උපකාරයක් වේවි කියල හිතනවා.




Rubaiyat of Omar Khayyam


Edward FitzGerald's Translation.

     11

 Here with a Loaf of Bread beneath the Bough,
 A Flask of Wine, a Book of Verse---and Thou
 Beside me singing in the Wilderness---
 And Wilderness is Paradise enow.



මේ ගැන මහගම සේකර මහත්තයා ලියල තියෙන්නෙ මෙහෙමයි කියලයි කියන්නේ...................




තුරු වදුලේ 
 
රුක්‌ සෙවණේ පූපයක්‌ අතින් ගෙන
සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ ඔබ ගී ගයනා විට 
මේ වන රොද පාරාදීසයකි මට

ඒ පද ගීතයක් වුනේ මෙහෙම කියලයි දැන ගත්තේ


සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවණැල්ලේ
ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ
මේ වන රොද මට ස්‌වර්ග රාජ්‍යයයි
සුරංගනා වියනේ



ඉතින් , මේ කවි වල තියනව වගේම ආදරය විඳින්න පුලුවන් නම් . . . .
ඇත්තටම මේ දේවල් ඇයි කවි වලටම සීමා වෙලා තියෙන්නේ....
අනේ මන් ද? මගෙ පුංචි හීනයක් තිබ්බ ,





කවියක පදයක් වෙන්න කැමති
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, April 27, 2011

෴ බැස ගිය මධු සඳ ෴


සඳ වතුර ගේ මිදුල තණ පියස අතුරා
කුමුදු මල් පියළි ගෙන තැනින් තැන සරසා
පිනි බින්දු එකින් එක වරලසේ අමුණා
නුඹ සමඟ ගෙවූන ඒ රැයේ මධු හංඟා

තොලට තොල රස හැඟුම් ගංගාව නංවා
නෙතට නෙතු එඹී සිටි ශෘංගාර සගවා
නෙතු පියන් පියවිලා , පියවි ලොව හංගා
නෙතු අතර ගලා ඇයි කඳුළු බිදු ගංගා

නෙතට නෙත , ගතට ගත ලයට ලය තෙරපා
ගතට පමණක්ම ඇයි සුවේ රස ශෘංගා
සිතට සිත , සඳට රැය ලෙසට නොම රිංගා
සඳට දුක ඇයට ඔහු නොලැබුනම හින්දා

"There must be a stronger foundation than mere friendship or sexual attraction. Unconditional love, agape love, will not be swayed by time or circumstances. "

යථාර්ථය සොයා සිහින පාරක ඇවිදින
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, April 26, 2011

෴ තනි කවි 1 ෴

සඳත් ඇවිත් කතා කරා රෑ අහසට යන්න
කුමුදු මලක් කතා කරා කුමුදු විලට යන්න
රැහැයියෙකුත් කතා කරා ගී ගයන්න යන්න
ඒත් අනේ නුඹ නැහැ මේ කිසිවක් පවසන්න
No matter what may occur, you will always be the Man that protected me…

Poem Source: http://www.loveislonely.com
No matter what may occur, you will always be the Man that protected me… and I know that no matter what, you can feel it, and you can see! The only good man I have known, until I got married… and even though, I will always cherish you so, for your memories I will always carry!!

Poem Source: http://www.loveislonely.com

පළමු තනි කවිය
මම
෴ සොඳුරු සිත ෴

Monday, April 25, 2011

෴ ආත්මීය හුදකලාව / Solitude



පාර පුරා පිපි පාට පාට මල්
සුවඳින් මාවත සැරසෙන්නේ
මල් මත සරණා සමණළ බිඟු රැළ
උදයෙම ගීතය අරබන්නේ

යන එන , නවතින අය ඒ අතරේ
සුබ පැතුමක් එක් කර යන්නේ
මේ හැම අතරේ නැතිවුන දේ ගැන
සිතමින් මං ඇයි වද වෙන්නේ

සියයක් සෙනඟක , හැමදෙන අඳුරන
මගෙ නෙත සිත ඇයි කකියන්නේ
මා හදවත යමෙකකු ගලවන් බව
නිතරම ඇයි මට සිහිවන්නේ

මල් මාවත , ගුමු ගීතය , පැතුමන්
මා වට අත්වැල් සයපයනවා
ඒ තාලෙට නැලවෙන මගෙ ගත සිත
ඈතට නොදනිම පා වෙනවා
“Loneliness and the feeling of being unwanted is the most terrible poverty.”

හැඟුමට - උණුසුම
සිතකට - සැනසුම

වගේම

මතකෙට නුඹ නැතිව

හුදකලා වූ
මම
෴ සොඳුරු සිත ෴

Saturday, April 23, 2011

෴ හද බිඳි සර / Betrayed Trust & the Eternally Weeping Heart (3 )෴

 ෴ හද බිඳි සර / Betrayed Trust & the Eternally Weeping Heart (1)෴මෙතනින්

෴ හද බිඳි සර / Betrayed Trust & the Eternally Weeping Heart (2 )෴මෙතනින්


රෝෂිත ද පසු වූයේ ඔහුගේ සිතුවිලි වල ගොදුරක් වෙමිනි. මෙතෙක් කලක් ඇය තමාව රැවටුවා නොවේදැයි ඔහුගේ සිත ඔහුටම දෙස් දෙවොල් තබන අතරේ ම , තමා ද ඇයව රැවටූ අවස්ථා තිබූ බවද සිතක කොණක සිට මතුවන හැඟීමක් සිත කොණිති ගහන්නට විය. නමුත් කොණිති ගහන සිතුවිල්ල යටපත් කරමින් නැඟී එන්නට වූයේ ඇය සහ ඇය ගේ අතීත මතක පොදයි.

ඇය ඔහුට හමුවන්නට පෙර , ඇයට වඩා බෙහෙවින් රූමත් , හුරුබුහුටි තරුණියන් කිහිපදෙනකුගේම ඉතා සමීප ඇසුර ඔහුට තිබුනි. එහෙත් විවාහය දක්වා රැගෙන යෑමට තරම් ඒ එක් සබඳකමක් වත් තමාව පෙළඹුවේ නැති බව ඔහු දනී. දිනක් අහබුහමුවීමක් වූ “සුලා“ එතරම් රූමත් ද නොවන , දඟකාර හුරුබුහිටි ද නොවන නමුත් තමාගේ සිත ඇද ගන්නා , කිවනොහැකි හැඟීමක් හා බැඳුනු හැටි ඔහුට සිහිවෙයි.

ඇයගේ අවංක කතාව, සරල සොඳුරු බව මෙන්ම භාවිතා කරන වචන වල ඇති සුඟම බව ඔහුගේ හදවතට දැනෙන්නට විය. ඇය කවිකාරියක බව ඔහු දැන ගත්තේ පසුවයි. ඇය ලියන කවියට ද පෙම් බඳින්නට ද , කෙදිනකතවත් කවියක් නොකියවා තිබූ ඔහුට හැකි විය. ඇය හා විවාහ වීමට ඔහු තුල මතුවූ අදහස , ඇයට පැවසූ විට ඇය වඩ වඩාත් පුදුමයට පත් වූ බව ඇඟේ අව්‍යාජ වත මනාවට කියා පෑවේය.

විවාහ ගිවිසගෑනීමට පෙර ඔවුන් අතර සිදුවූ අතිශය පුද්ගලික සංවාද වලදී ඇය මින් පෙර ආදරයක පැටලුණු බවත් දුර දිග නොගිය එම සම්බන්දය ඉතාම සංයමයකින් කෙවර වු බවත් ඇය කීවේ තවත් කාරණා ඇවසි නම් පැවසීමට ද කැමැත්තෙනි. නමුත් ඇගේ අතීත ආවර්ජනය දෙස එවේලේහි බැලුම් හෙලීමට ඔහු නොකැමැති වූයේ , ඔහුගේ අතීත ආවර්ජනය ද හෙලි කරන්නට වේ යැයි බියෙන් මිසක ,ඇගේ අතීතය දැන ගැනීමේ කුතුහලයක් සිත තුල නැති නිසාම නොවේය.

ඇය හා විවාහ වී ගෙවී ගිය කාලය ඉතාම සුන්දර විය. ඇය මනාව තමාව තේරුම් ගත් යහපත් ගෘහණියක් විය. ජීවිතය හිතුවාට වඩා සුන්දර නොවේදැයි ඔහුට සිතුනි. පෙර මල් වල සුවඳ සොයා තම සිත ඇදී යැතැයි ඔහු පෙරදී සිතා සිටි සිතුවිල්ල වෙනස් කරමින් , ඇය තම සිත , ගත පුරවා ලූයේ කිසිදු හිඩැසක් නොතිබමිනි. සැබැවින්ම ඇය ගේ අභ්‍යන්තරය , ඇයගේ බාහිරය මත ලියවී තිබු නිසාම ඇය ඉතා සරල සහ සුන්දර විය.

නමුත් . . . .

ඇය ලියනා සෑම කවි පදයකම , ගොතනා සෑම සිතුවිල්ලකම එකම හිමිකරුවා තමා නොවන බව දැන් දැන් ඔහුට සිතේ. සුරේ ඇයට එවා තිබූ  ඊ- මේල්  තුල  කිසිදු ආලවන්ත හැඟීමක් නොලිය වී තිබුන බවද ඔහු දැක්කේය. නමුදු “ ආදරණිය ආමන්ත්‍රණයත් “ ඇය එම ඊ-මේල් කියවීමත්, සෑම පුංචි පුංචි වෙනස් කමක්ම , සිදුවූ සෑම දෙයක්ම තමාට කිය ඇය, මෙය ඔහුට නොපැවසීමත් ඔහුගේ සිත කෝපයෙන් මෙන්ම , තමා ගැනම උපන් අනුකම්පාවෙන් ද, සුරේ ගැන උපන් ද්වේශයෙන් ද, ඇය ගැන උපන් තණ්හාවෙන් ද පිරී යන්නට විය.

තමාගේ දකුණු උරහිසට උඩින් මදක් හිස හරවා බැලූ ඔහුට පෙනුනේ , අනික් පස හැරී සිටින ඇය ගේ සිරුර විටින් විට සලිත වන බවයි. ඇය හඬයි.

ඇය දෙසට හැරී , ඇය තමාගේ පලල් පපුවේ හොවා ගනිමින් , ඇගේ හිස රැඳි සුමුදු සුවඳැති  කෙහෙරැලි අතරින් තම ඇඟිලි තුඩු යවමින් , ඇයට නාඩන ලෙසත්, ඇගේ කතාව තමාට පවසන ලෙසත්, විටින් විට ඇගේ නලල සිඹින ගමන් ඇගේ කතාව අසා සිටීමටත් ඔහුට වුවමනා වුවද , සාම්ප්‍රදායික පුරුෂයෙකු වූ ඔහුගේ මොළය වැඩ කළේ ඉන් හාත්පසින්ම වෙනස් ආකාරයකටය. නැවත අනික් පසට හැරුණු ඔහුගේ දෑස් නිදිදෙවු දුව විසින් සතපවන ලද්දේ බොහෝ පමා වීය.

සොඳුරු ගුණැති ළඳුනේ
නුඹ ඇයිද මගෙන් මිඳුනේ
මටම අයිති ලොව
වෙන කෙනෙකුන් හට
ඉඩක් කොහිද ලැබුනේ

සුමුදු සුවඳ රැදුනේ
නුඹෙ ගත සිසිලස ලැබුනේ
එයට වඩා මට
අගෙයි නුඹේ සිත
මටම ද එය ළඳුනේ

කවි පදයක රැඳුණු
නුඹෙ අතීත දුක් කඳුළු
මට ද  සිනා පොද
කඳුළක උණුසුම
මට ද ගෙනෙනු ළඳුනේ

" A wife is the joy of a man's heart "


පිරිමි අයට , 
ගැහැණියගේ සිතුවිල්ලක තියෙන පිවිතුරු බව හැමදේකටම වඩා වටිනව කියල හිතන
මම
෴ සොඳුරු සිත ෴

Friday, April 22, 2011

෴ හද බිඳි සර / Betrayed Trust & the Eternally Weeping Heart (2 )෴


" සලාං"  හඩින් තේ කෝප්පය බිදී යද්දී , ඔහු යක්ෂාවේශයෙන් ඇය වෙත කඩා පැන්නේය.

“ කවුද ! කවුද සුරේ කියන්නේ “

“ සුරේ . . . . “

“ ඔවු ඔවු. . .  ඌ තමයි. . .  හහ්  . . “

“ ආහ් . . .හ්  . . .සුරේ , ඒ මගේ යාළුවෙක් “

“ මං දන්නෙ නැති යාළුවෙක් “

“ ඔවු ඔයා දන්නෙ නැහැ තමයි. එයා ගොඩක් පරණ යාළුවෙක් “

“ හහ්  . . . පරණ සම්බන්ධකම් අලුත් වෙලා ද ගෑණියේ “

“ නැහ් . . . “

“ ආදරණිය සුලා ...කියල ඔහේට පෙම් හසුන් ලියන්න තරම් , උගෙයි , උගෙයි තියෙන සම්බන්ධය මොකක් ද? “

ඔහුගේ ස්වරය එන්න එන්නම රළු පරුෂ වෙයි. වචන දරදඩු වෙයි. ඇය කරබා ගත්තේ ඔහු කියනා සියල්ල සත්‍ය නිසාම නොවේ. මේ වන් වෙලාවක එකට එක කීමෙන් සිදු වන හානිය ගැන සිතාය.

“ මොක ද ? මැටි ගිලල වගේ. ඔළුව පහත් කරන් කඳුළු වැක්කෙරුවට හිතන්න එපා මම රැවටෙයි කියල . . . . . .“

ඔහු තවත් මොන මොනවාදෝ දොඩවමින් තනිවම තරහව පිට කරන අතර තුර , ඇය විසිරී ගිය කෝප්පයේ කැබලි එකින් එක ඇහිදින්නට වූවාය.

රෑ කෑම ,මේසය මතම හීල් වෙයි. තමා ඔහුට කිහිපවාරයක්ම කෑමට කතා කළ නමුදු ,ඔහු නෑසුන කණ් ඇතිව සිටියේය. ඇය ට ද කෑමේ කිසිම පිරියක් නොවූ හෙයින් ද, ඔහු නොමැතිව ආහාර ගත නොහැකි බැවින් ද , ඇය ද කුසගින්නේම නිදන්නට  ආවේ ය. ඇය තම සයනයේ තමාට හිමි අංශයේ ඔහුගේ පැත්තට මුහුණ යොමන් ගත සතැපුව ද , ඔහු වහා අනික් පස හැරුනේ ඇගේ මුහුණවත් බැලීමට අකැමැති බව නොකියා කියමිනි.

ඇය ද සෙමෙන් අනික් පසු හැරි , ඇගේ සිතුවිලි වල සරන්නට වූවාය.

“ සුරේශ් “ , ඇගේ ප්‍රථම ප්‍රේමයයි. ඇයට වඩා වසර කිහිපයකින්ම වැඩිමහළු වූ ඔහු වෙත තමා තදින් බැඳුනේ ඇයි දැයි , ඇය ට අදටද තේරුම් ගත නොහැකි කරුණකි.

පියකු මෙන් ඔහු සැපයූ රැකවරණයටත් , උණුසුම් නොකැලැල් සෙනෙහසටත් , මේ සැමටම වඩා  ඉවසීමේ හැකියාවටත් ඇගේ සිත ඇඳී යන්නට ඇත. ඇගේ පියා ජීවත්ව සිටි අවධියේ දී , ඇය සහ පියා අතර තිබු ප්‍රබල බැඳීම බිදී යාම නිසා ඇති වු සිත් තැවුල ද, ඇයට සුරේශ් හා ළං වන්නට පාර කියන්නට ඇත.

තම සම වයසේ තරුණන් සතු වූ කඩිකුලප්පුවත් , බොළඳ සුරතලයත්, වගකීම් රහිත ආදරයත් හමුවේ , සුරේශ් සතුවූ
පැසුණු බුද්ධිමත්භාවයට ඇඟේ සිත ඇඳී යන්නට ඇත. එහෙත් එය ආදරය දැයි ඇයට විග්‍රහ කිරීමට බෙහෙවින් අපහසුය.


රාගික හැඟීම් මුසු වූ ආදරයකට වඩා ,තම ගත සිත සුවපත් කළ අධ්‍යාත්මික සෙනෙහසක් ඒ තුල වූ බව නම් ඇයට රහසක් නොවීය. එවන් වූ ආදරයක් තේරුම් ගත නොහැකි සමාජයක ජීවත් වූ ඇය , සුරේශ්ගෙන් වෙන් වන්නේ කිසිදු සිත් බිඳවීමකින් වත් , තරහ ක්‍රෝධකින් වත් නොවීම ද , ඒ ආදරයටම හිමි වූ සංයමය නිසා ඇති වූවක් වන්නට ඇත. විරහව එහි තැවරී නොතිබුනේ , ඒ ආදරය කෙදිනකවත් අවසන් නොවන නිසා වන්නට ඇත.


එහෙත් . . . . . .

රෝෂිත . . . නම් කඩවසම් , තාරුණ්‍ය උතුරන තම ස්වාමියා මුණ ගැසීමත් සමඟම ගත සිත කුල්මත් කළ ස්වභාවික ආදරයෙන් ඇගේ සිත වැසී යන්නටත් , ජීවිතය ලස්සන වන්නටත් පටන් ගෙන තිබුණි. රෝෂිත යනු දේදුනු අහසක් නම් , සුරේශ් එහි වළා අතර සැඟවුන මිහිරි සිහිනයක් පමණක් විය. විටින් විට මතකයට ආව ද ඔහු ගැන සොයා බැලිමටවත් ඇයට අවශ්‍ය නොවුනේ මිහිරි ලොවක ඇය තනි නොවු නිසා වන්නට ඇත.

එහෙත් . . . . . .දිනක් . . . අහම්බයෙන් මෙන් .. .... කවි සඟරාවක පල වු තම කවියක තිබූ ඊ- මේල් ලිපිනය හරහා සුරේශ් තමා අමතා තිබුනි. කවදත් මෙන් “ ආදරණිය සුලා  . . . “ ලෙසින් අමතමින් , ඔහු අසා සිටියේ තමා සතුටින් සිටී ද යන්න පමණකි. වෙනත් කිසිදු ආලවන්ත හැඟිමක් එහි නොවීය.

ඔහු එවූ සියළුම ඊ- මේල් ඇය කියවා බැලූ අතර , ඉන් එකකටවත් ඇය පිළිතුරු නොලීවද , ඔහුගෙන් ලැබෙන ඊ-මේලයක් එන තුරු නම් ඇය මඟ නොබැලුවයි කියා කියන්නට බැරිය.

සිදු වූ දෙයක මහත. අඹු සැමි යුවල එකම සයනයේ දෙපසට වීමට තරම් , ඔහුගේ ඊ- මේලය හේතු වි තිබුනි. 

 සිතිවිල්ලක වත් නැති ඔහු ඇවිදින්
මා මුව මදහස නංවනවා
සිතුවිලි අතරෙම ඉන්නා නුඹ ගෙන්
කඳුළු ඟගක සිත කිමිදෙනවා

අද ඔහු මා ළඟ නැති වුවද  නැත
දුක සෝකය සිත උතුරන්නේ
ළඟින් සිටින නුඹ ඇයි මේ තරමට
මා හද විල් තෙර කළඹන්නේ

ආදර හැඟුමන් , අයිතිය සිතටයි
එක් වීමක් නැහැ අයදින්නේ
ඇයි මේ තරමට ළඟින් ඉඳන් මට
නුඹ නැතිදෝ මා හඳුනන් නේ

“Maybe I could have loved you better. Maybe you should have loved me more. Maybe our hearts were just next in line. Maybe everything breaks sometime.”

ඔහු ( සුලා ගේ සැමියා ) ඇඳේ එහා පැත්තෙ ඉදන් කල්පනා කරපු දේවල් අරන්
මී ළඟ කතාවෙන් හමු වෙමු.


ආදරය හැම හිතකම දැවෙන ප්‍රශ්ණයක් නොවී
සොඳුරු හැඟුමක්ම වේවායි , පතන
මම
෴ සොඳුරු සිත ෴

Thursday, April 21, 2011

෴ මයෙ අවුරුද්ද ෴


කුරුටු ගාන්න මෙලොව් මනස්ගාතයක් මයෙ හිත් පොඩ්ඩට එන්නෙ නැතිවා. ඔහේ හොන්දු මාන්දු වෙ වී වුන්නා. ඒ  අස්සෙ අසනීපත් වුනා. දෙයියනේ කියල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලම දොස්තරමහත්තැන්ල මුලිච්චි වෙන්න නොවැ ගියේ.


අවුරුදු සවාරි යන එන නෑදෑසනුහරෙත් අඩුවක් වෙලා නැතුවා. වුන්දැලැ එන කොටම , අර මොකාටද ඇදෙන කබල්ලෑවැ වගේ මගේ ම ගුහාවට වල් වැදෙනවා කියල මයෙ අම්මත් හොඳටෝම මට දෙස් දෙවොල් තියන්න ගත්ත. ගෙයින් එළියට නොබැහැ , අවුරුදු සවාරි නොයා මං ගත කළේ ඔන්න නියම අවුරුද්ද.


ඉතින් ආයිබෝන . . . . . .  එහෙම එකළ , මෙකළ වෙවී ඉන්න කොට , අහපු ගීතයක් තමයි මේ. . . .

අහලම බලන්න කෝ. . .

 


අරයැයි . . .   තේ කෝප්පය බින්ඳ නිසා ....දැන් එයාට තේත් නැහැ.  ඔන්න ඉන්නව ඇටි කෙහෙල් කාපු මොකාද වගේ. එයැයිගෙ කතාවත් අරන් මම ඊළඟ පොස්ට් එකෙන් එන්නම් ආයෙමත් .................

එයාට මම කොච්චර ආදරෙයි ද කියල , ඇත්තටම එයා දන්නෙ නැහැ. නැත්තම් මෙහෙමත් පරල වෙයි යෑ..... 




You'll never know how much I really love you.
You'll never know how much I really care.


 
හැමදාමත් එයැයිට ආදරය කරන
මම
෴ සොඳුරු සිත ෴ 

Monday, April 18, 2011

෴ හද බිඳි සර / Betrayed Trust & the Eternally Weeping Heart (1)෴

විඩාබර ගත දෝවනය කර ගත්  පසු ඔහුගේ ගතට පමණක් නොව සිතට ද දැනුනේ නැවුම් බවකි. ඒ නැවුම් බව ට ආදරණිය උණුසුමක් එක්කරන්නට සමත් වූයේ හිස පිස දමමින් පැමිණෙන ඔහුගේ ඉදිරියට දුම් දමන තේ කෝප්පය ද රැගෙන පැමිණි ඔහුගේ බිරිඳයි.


“ තේ . . . .“


ඇස් වලින් සිනා සෙමින් , හිස පසෙකට ඇල කරන ගමන් ඇය පැවසුවාය. තේ කෝප්පය දකුණතින් අතට ගන්නා ගමන්ම , තමන්ගෙන් ඉවතට යන ඇයගේ සුරතින් ඇද ,ඇය තමා සමීපයට ගන්නට ඔහුගේ වමත යුහුසුළු විය.

“ කොහෙ ද යන්නේ ? මෙහෙ එන්නකො පොඩ්ඩක් “

“ කෝලං නොකර ඉන්න කො අනේ. හොද්ද ලිපේ “

ඔහු ඇයගේ ග්‍රහණය ලිහිල කරේ ඇයගේ කම්මුලක් තදින් සිඹින ගමන්ය.

මිහිරි රසයක් සියොළඟම විහිදී යද්දි ඔහු  විසිත්ත කාමරයට වෙත පියනැගුවේ තේ කෝප්පය ද හිස් කරමිනි.

විසිත්ත කාමරයේ වූ වටරවුම් මේසය මත වූයේ විවෘත කරන ලද ඔහුගේ ජංගම පරිගණකය (Lap Top ) යි. වැඩ අහවර වී නිවසට ගොඩ වදින ඔහුගේ පෙර මඟට පැමිණෙන ඇය , තම සුරතේ වූ අඩු වැඩිය ඇගේ දෑතට ගනී. ඉන්පසු ඔහු ඇඟ පත දොවා ගන්නා තෙක් ඔහුගේ පරිගණකයෙන් බාහිර ලෝකය හා එක් වන ඇය තමා ඇඟ දෙවා පැමිණි විගසම උණුසුම් තේ කෝප්ය තම අතට දෙන්නට තරම් කඩිසරය.

ඇය ගැන සිතමින්ම , තවමත් ක්‍රියාත්මක කර ඇති පරිගණකය වෙත ඔහුගේ දෑස් යොමු විය. විවෘත වී තිබ්බේ ඇගේ ඊමේල් ගිණුමයි. ඇය තම නීත්‍යාණුකූල බිරිඳ වුවත් ඇගේ පුද්ගලික ඊමේල් පරීක්ෂා කිරිම නොහොබිනා බව ඔහු දනී. විවෘත වී ඇති ඊමේල් ගිණුම වසා දැමීම සඳහා ඔහු කර්සරය රැගෙන යන අතර තුර , ඔහු දුටුවේ , තවමත් විවෘත නොකර තිබූ ඊමේලයකි.   
නිසැඟයෙන්ම මිනිසාට ලැබී ඇති කුතුහලාත්මක සිත කර්සරය රැගෙන ගියේ වැසී ඇති ලියුම් කවරය මතටය.

කවරය පමණක් විවෘත කළ කර්සරය , එතැනිදු නොනවැතුනේ , ඊ-මේලයේ යෙදී තිබුන මාතෘකාව නිසාය “ සදාදරණීය සුලා “ . . . . . . . 

තේක මඳින් මද සීතල වෙද්දි ,ඔහුගේ සිත තරහින් උණුසුම් වන්නට විය. කර්සරය ඊමේල් ගිණුම පුරාම වූ ලැබුන ලිපි (in-box)වෙත සරන්නට ගත්තේ ය. එයින් නොනවැතී ඊ-ගිණුම තුල වූ යවන ලද ලපි වෙතද (sent) , යකා නටමින් තිබු සිත , මකා දමන ලද මේල් නතර වන  (Trash) කුණුබක්කිය ද අවුස්සමින් තිබුනේ , පිස්සු බල්ලෙකු පාළු නගරයක සැරසරන්නාක් මෙනි.

 ඊ - මේල් ගිණුම පුරා සැරිසරන අතරතුර ,තෙවෙනි ඇසට ගෝචර වූ යම් හේතුවක් නිසා ඔහු තම පසු පස බැලුවේ ක්ෂණයෙනි.

දෑස් විසල් කරන් , පුදුමයෙන් ඔහු දෙස බලා සිටන තම බිරිඳ දුටු ඔහුගේ නෙතු කෝපයෙන් දිලිසෙන්නට විය. ඔහු ,හුනස්නෙන් ක්ෂණයෙන් නැඟී සිටියේ ,තේ කෝප්පයද බිම වැටී සුනු විසුනු වී යද්දීය.

බිදී විසිරී ගිය තේ කෝප්පය
මම
෴සොඳුරු සිත ෴

 “Trust is like a vase.. once it's broken, though you can fix it the vase will never be same again.”


පින්තූර- http://www.stockphotos.it/image.php?img_id=7146968&img_type=1

Sunday, April 17, 2011

෴ දුරින් තියන දේම මොකද සතුට අරන් එන්නේ / ළඟින් ඉන්න අය ඇයිදෝ තරහ වෙලා යන්නේ ෴



මම ලියනා කවි බලන්න නුඹේ දෙනෙත් නැත්තම්
මම ගයනා ගී අහන්න මගේ ළඟින් නැත්තම්
ජීවිතයම රස විඳින්න ,  නුඹ ඈතක ඇත්නම්
අනේ ඉතින් මා මොකටද සුවඳ පැතුම් රන්දන්

ඉරෙන් සඳෙන් පැතුම්  අරන් නිල් නෙතු වල සඟවා
විහඟ තුඩග ස්වර අරගෙන මුව දිව අග රන්දා
තණ පිස්සෙ රැඳි පිනි වල සිසිල හදේ පතුරා
නුඹ එනතුරු මා වුන්නා සිතින් ගතින් බන්දා

දුරින් පෙනෙන සඳ තරු මල් නෙත රිදවන හන්දා
නුඹේ හඩින් ඇසෙන ගීය  දුක දවටන හන්දා
දුර ඈතක පිපී දිලෙන නුඹ දුරකම රන්දා
ජීවිතයත් තුරුල් කරන් මා මෙතනම වුන්නා

"The best and most beautiful things in the world cannot be seen or even touched. They must be felt with the heart."


 දුරින් ඉන්න
මම
෴ සොඳුරු සිත ෴

Saturday, April 16, 2011

෴ බන්ඩි ෆුල් ෴

“ එපා එපා . . . . මට එපාමයි “

“ අනේ මගෙ රත්තරන් , එහෙම කියල කොහොම ද පුතේ , හොඳ දරුව වගේ මේ කට විතරක් කන්න “

“ එපා . . එපා කීවම තේරෙන්නෙ නැද්ද ? මට එපා “

“ ඔයාට ඔන්න ස්කෝලෙ යන්න බැරි වෙයි එහෙනම්.“

“ ඇයි ඒ “

දිලිසෙන තාරුකා වගේ කළු ඉංගිරියාව ඇහැ පුරාම විහිදුන ඇස් දල්වන් පුතු මා දිහා පුදුම වෙලා බැලුව.  වැඩේ හරි. හැබැයි ඊළඟට මම දෙන පිළිතුර ඔස්සේ බත් කටක් බඩට රිංගන එක රඳා පවතිනවා.

“ හොඳයි , මේ බත් කට කෑවොත් ඒ ඇයි කියල මම කියන්නම් “

කට බෙරි කරන් මොහොතක් සිටි පුංචිත්තා , බාගෙට කට ඇරපු ගමන් අතේ තිබ්බ බත් පිඩ කටට ඔබන්න අත්දැකීම් තියන නිසා මට පුළුවන් වුනා.

කටේ බත් කට දැන් ඉතින් පැය ගාණක් ඇඹරේවි. ඒ අතර තුර මං කල්පනා කළේ ඊළඟ බත් කටත් බඩට යවන්න , දෙන්න පුලුවන් උත්තරය් ගැන.

“ ඉතින් කියන්න , ඇයි බත් කන්නෙ නැති නම් ඉක්කොලෙ යන්න බැරි “

“ ඇයි සත්තරනේ , ඔයා වගේ උසින් අඩු පුංචි ළමයි ස්කෝලෙට ගන්නෙ නැහැ නේ “

“ ඉතින් උස යන්න බත් කන්න ම ඕනි ද? අම්මි බොලුමයි කියන්නේ “

“ ඇයි පුතා ? “

“ අර සුදු අක්කලයෙ ගෙදර ඉන්න චූටි මාමා ,“

“ ඔවු ඉතින් “

“ අපෝ එයා කන බත් එකේ ලොකු. ඒත් චූටි මාමා අර මල් පැළේ තරම් වත් උස නැහැ “

“ මට එපා බත් , අම්මිම කාලා ස්කෝලයන්න “
පුතාට අනපු බත් ගුලි නොදැනිම මගෙ කටට යන අතරේ මට සිහිවුනේ මමත් දැන් ටිකක් තරබාරුයි කියල පුතාලැයෙ තාත්තා කියපු මැසිවිල්ල.

මේ පුංචි දරුවා නැත්තම් පුතාලයෙ තාත්ත වුනත් මයෙ ළඟ ඉන්න එකක් නැහැ කියල සමහර දින වල මට හිතිල තියෙනවා. ජීවිතය මොන තරම් පුදුම ද? කාලයක් දිවෙන් දිව ගාගෙන ආදරයෙන් හිටපු අයම මූණ බලන්නවත් අකමැති වෙලා එක වහලක් යටම ඉන්න දෙන්නෙක් වෙන හැටි.

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..


කවදත් නොවෙනස් වෙන එකම ආදරය “ මවකගෙ ආදරය“ විතරයි කියල මට දැනෙන්න ගත්තෙ පුංචි පුතා මගෙ කුස පිලිසිඳ ගත්ත කියල දැන ගත්ත දවසෙමයි.

ආලය , රාගය, ආසාව ට වැඩි ඉඩක් දෙන ආදරයක් ළඟ දි අධ්‍යාත්මය හෝදා පාළුවෙලා යන්නෙ නොදැනීමයි.
පුතුත් එක්ක පුංචි විනෝද සවාරියක් යන්න , පුතු ළඳරු පාසලේ ප්‍රසංගයට වරද්ද වරද්ද ඉදිරිපත් කරන නැටුම් බලන්න යන්න. පුංචිත්තගෙ සුරතල් වචන පිරුණ කතන්දර අහන්න. පුංචිත්තව තුරුල් කරන් නින්ද යනකම් කතාවක් කියන්න බැරි තාත්ත කෙනෙකුගෙන් ඇත්තටම වැඩක් නැහැ.

“ අලේ , අලේ. . . . තාත්ත ඇවිත් ... ෂෝයි ෂෝයි . . . .“

පුදුම අට ද හීනයක් ද? හැබෑවටම අද ඔහු වේලාසන ගෙදර ඇවිත්. කිමද මේ අරුමේ ....

පුතු අතට දුන්න පාර්සලය පුතුට උසුලා ගන්නවත් බැරි තරම්. පුතුගේ තාත්තා කෙළින්ම ආවේ මා ළගට. . .

“ සුලා . . ලෑස්ති වෙන්න. අපි අද යන් පුතුත් එක්ක බීච් එකට “

“ ෂෝයි ෂෝයි . .  ඔන්චිලි පදිමු අම්මි “

මගේ දෑසෙ තිබුන ප්‍රෙහ්ලිකාව තේරුම් ගත්ත ඔහු. මා ඔහු සමීයට අරන් මගේ නලල ඉම්ඹෙ මේ ලෝකෙ තියන මා විඳින්න කැමතිම උණුසුම මට දැනෙන්න ඉඩ ඇරල.

“ සුලා . . .  සුබ උපන් දිනයක් ඔයාට “

පියවුන දෙනෙත් , විවර වෙද්දි මා දුටුවේ ඔහුගේ දෑස් කඳුළින් දිලිසෙන වා.

“ තාත්ති , අපි දැන්ම යනව ද? “

තාත්තිගේ කලිසම් කකුළින් අඳින ගමන් පුතා අහන කොට මට මතක් වුනේ  පුතුගේ බත් පංගුව.

“ ඔවු ඔවු ....හැබැයි පුතා ඉතිරි බත් ටික ඔක්කම කන්න ඕනි “

“ බන්ඩි ෆුල් වෙන් න ද“ 

“ඔවු පුතා ... අද පුතුගේ බන්ඩිත් ෆුල් , අම්මිගෙ හිතත් ෆුල් “

සිනාසෙමින් තුන් දෙනාම එකට තුරුල් වෙද්දි , මම කවදත් කැමති ඔහුගේ දාඩිය සුවඳ වඩ වඩාත් දැනෙන්නට වුනා.

හ්ම් . . . හැමදාම ඉතිරි වෙන පුතුගෙ බත් පංගුවෙන් බත් ගුලි කන එක නතර කරන්න , ඒ වෙලාවෙම මම සිහියට ගත්තා.




“The love of a family is life's greatest blessing”

තවත් සොඳුරු ගෘහණියකගේ දවසක් සොරා ගත්ත
මම
෴ සොඳුරු සිත ෴

Friday, April 15, 2011

෴ මම , නුඹ සහ මගේ වෙනස෴





මම දැන් ‍වෙනස් ‍වෙලා කියල මට හිතෙන්නෙ ඇයි ද මන් ද? ‍ගොඩක් ‍දේවල් ‍වලින් ‍වෙන් වෙලා ම‍ගේම කියල ජීවිතයක් දැන් මට ති‍යෙනවා. හැම‍දෙයක් දිහාම උ‍පේක්ෂා‍වෙන් බලන්න, ටිකක් හරි දුකක් නැතිව ඉන්න දැන් මම පුරුදු වෙලා.

නුඹ අමතක වෙලා නොවෙයි
මම වෙනතක ගියා නොවෙයි
මම ළඟ නුඹ තියල ගියපු සුවඳ තියනවා
ඒ සුවඳට හිත පුදලා
පෙර මඟ මගෙ නෙත තබලා
මගේ ගමන මම සතුටින් යන්නට යනවා
නුඹ නුඹේ ගමන තුටින් යනෙනු ඇතැයි සිතනවා

නුඹ මට හිමි වෙලා නැතයි
නුඹ මා ළඟ වුන්නෙ නැතෙයි
කිසි තරහක් මසිත නැතේ
දුක් කඳුළක් හෙලනු නැතේ
මා මෙන් නුඹ තුටින් සිටිනු ඇතැයි සිතනවා
දුරින් කොහිද එක ඉර සඳ අපිට දිලෙනවා



මට මා දිහාම ආපහු හැරිල බලන්න හිතුනේ “ හිස් අහස “ ලියන අපේ සඳරු මල්ලි මම ලියපු “මගේ අවුරුද්ද “ කතාවේ අවසානයේ දී ලියපු කමෙන්ට් එක දැකල.






ඇත්තටම ආපහු හැරිල බැලුවම මම ගොඩක් වෙනස් වෙලා කියල මට ම තේරුම් ගියා.

හිස් අහසෙ සඳරු මල්ලි , මේ සිංහල අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම , ඉටු කරන්න බැරි ජාතියේ පොරොන්දුවක් එයාගේ යාළුවො වෙන අපි කාටත් දීල තිබ්බ.ඒක අතුරු කතාවක්.බිලොග් ලියන, කියවන අපි කාටත් , වැඩිම යහළුවන් ප්‍රමාණයක් ඉන්නේ , හොඳම හා හිතවත් යහළුවන් ඉන්නේ මේ වර්චුවල් ලෝකේ බව මේ අලුත් අවුරුද්දත් ඔප්පු කරල පෙන්නුවා.

ඒ වගේම , තමන්ගේ වටිනා කාලයෙන් වැඩි හරියක් මේ සයිබර් ලෝකය එක්ක බෙදා ගන්න බොහෝමයක් යාළුවන් ඉන්නේ හිත දෝරෙ ගලන දුකින්. ඒ කියන්නේ ඉස්සර මම හිටිය වගේ. මම ඒ යාළුවන්ට කියන්න කැමති , නැති දේ ගැන, දාල ගියපු දෙයක් ගැන, නොලැබෙන දෙයක් ගැන හිත හිත දුක් වෙන්න එපා. ඒ මතක අමතක කරන්න බැරි බව මම දන්නවා , ඒත් ඒ මතකය විතරක් හිතේ සුන්දර තැනක තියාගෙන ජීවිතය යන ගමන යන්න. ඇඟට දැනෙන්න , හිතට දැනෙන්න , තමන්ගෙ ගමන යන්න. එතකොට කවදහම හරි දවසක ආපහු හැරිල බැලුවම තමන්ගෙ හිතට දැනෙන්නෙ සතුටක්. මේ ජීවිතය හරිම ටිකයි යාලු. ඒ ජීවිතකාලයෙන් කොච්චර පුංචි ප්රයෝජනයක් ද අපි ගන්නේ.

තමන්ට ආදරය අය තමන් ලඟ නැහැ කියල වත්, තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරය නැහැ කියල වත් දුක් වෙලා පලක් නැහැ. ආදරය කරන අයව අයිතිකර ගන්න ගියාමයි මේ දුක වැඩියෙන් දැනෙන්නේ. දැන් ඔයාල කියාවි “ හහ් කියන්න නම් ලේසි. තුවාලය තියන මිනිහ නෙ වේදනාව දන්නෙ “ ඇත්ත. ඒත් දියවැඩියාව නැත්තම්. දියවැඩියාව තිබුනත් , තමන්ගේ කැප වීමෙන් ඒක පාලනයත් කර ගන්න පුලුවන් නම් , කොහෙවත් යන විෂ බීජ තුවාලයට වදින්න දෙන්නෙ ත් නැත්තම් කාගේ වුනත් තුවාලයක් අනිවාර්යයනේ සනීප වෙනවා. පොඩ්ඩක් පිරිසිදුව ආවරණය කරල තියා ගන්න විතරයි ඕනි.

ඔන්න ඉතින් තුවාලයෙන් හරි හම්බකර ගන්න ඕනිම නම් තුවාලය පාරව පාරව “ හිඟන්නගෙ තුවාලය “ වගේ තියන්න ඉන්න.

පිටතට නොපෙනෙන නමුත් අභ්‍යන්තරයේ තියාන ඉන්න තුවාල නම් අති භයංකාරයි. මොකද තමනුත් නොදැන තියෙන ඒ වගේ තුවාල මරණීය වෙන්න පුලුවන්. නොදැනම තමාව නැති කරල දාන්න පුලුවන්. එහෙම තුවාල තියෙන අය , තමන්ගෙ වේදනාව තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න. ( මම කරා වගේ) බොහොම හිතවත් යාළුවෙක් තරම් කිසිම කෙනෙක් වටින්නෙ නැහැ කියල ඒ වෙලාවට තමන්ට තේරේවි. දුක යනකම් අඩන්න. ශරීර ගැඹුරෙ ගිලිල තියෙන තුවාලය මතුපිටට අර ගන්න ඒක උදවුවක් වේවි. ඊට පස්සෙ අපිට පුලුවන් තුවාලය සනීප කර ගන්න.

මම දන්නව , බොහොම බරපතල තුවාල වල කැලලක් හරි ඉතිරි වෙනවා. ඒත් ඉදල හිටල හරි ඒ කැලල දැක්කම සිතට දැනෙන්න ඕනි සියුම් මිහිරක් මිසක් වේදනාවක් නොවෙයි.
 

 සමහර අවස්ථා වලදි, අපි ජීවිතේ පටල ගන්නව , ඒත් පැටලුම් වුනත් වෙන්න තිබුන සොඳරු පැටලුමක් බව ඔබට යම් දිනක පෙනේවි.

හරි හරි බණ සහ පඩිකතා ඉවරයි. මම ආවේ කවියක් ලියන්න , වුනේ බණක් ලියන්න. ඔන්න බලන්න ඒකෙත් හැටි...........................



“Instead of thinking about what you're missing, try thinking about what you have that everyone else is missing.”

P/s
මම මේ මගේ වගේ  භාවිත කරන පින්තූරය ඇඳල තියෙන්නේ , නොහොත් සැබෑ අයිතිකාරය තමයි ජේ.ඩී ශේඩී . . . මම කලින් වතාවකුත් මේ ගැන කියල තිබුනත් ආයෙත් මේ ගැන මතක් කරන්න හිතුනා. මොකද අපේ ජේ.ඩී දැන් චිත්‍ර අඳින  එක නතර කරලලු.

Thursday, April 14, 2011

෴ මගේ අවුරුද්ද III ෴ (අවසන් කොටස )


‘‘ සුදු මැණිකෙ . . .  මේ අහන්න සුදු මැණිකෙ. අනුන්ගෙ පවුල් ගැන හොයනවට වඩා නරක ද , තමන්ගෙ පවුල ගැන බලාගත්තනම්. මම මේ තරහකට කියනව නෙමෙයි සුදු මැණිකෙ. විමලෙ දැන් දරු දෙන්නෙක් ගෙ අප්පච්චි කෙනෙක්. තව එකෙක් බඩේ. ගිය දේවල් ගැන සොයල හිත නාක් කර ගන්නවට වැඩි ය හොඳ නැද්ද ? තමන්ගෙ පාඩුවෙ වුන්න නම් . මීට වැඩිය දේවල් මගෙන් අහන්න එන්න එපා. “

හුන් පිලෙන් නැගිට ගත් ඔහු දැරිය ද එතනම දමා ගෙතුලට යෑමට ගොස් නැවතත් හැරී මා දෙස බැලුවේ මා ද , පිටුපා යන ඔහු දෙස බලා සිටිය දීම ය.

“ මේ ලබන්න තියෙන අලුත් අවුරුද්දෙවත් ඒක සිහියට අරන් වැඩ කරන්න බලන්න සුදු මැණිකෙ“ 

කුඩා දැරිය ලයට තුරුල් කර ගත් මා ඇගේ හිස සිම්ඹේ පූස් පැටියකු මෙන් ඇය මා තුරුලට තව තවත් තුරුල් වෙද්දීය.

රාත්‍රී කෑම මේසය උත්සව සිරි ගත්තේය. පොඩි වුන් නැගණියගේ බැනුම් ද නොතකා අයිස් ක්‍රීම් , කෑමට ගත්තේ බත් පත දෙස නෙත් කොනකින් වත් නොබලමිනි. මට සිහිවූයේ ගල් පියස්ස ලඟ දිදුටු දරු දෙදෙනායි. ඔවුන් විමලෙගෙ දරුවන් ද ?


පසු දින උදෑසනම මා මහ ගෙදරින් පිට වූයේ සිතෙහි ක්‍රියාත්මක වෙමින් තිබූ අරමුණු කිහිපයක් ඉටු කර ගැනීමේ අභිලාෂයෙනි. නගරයේ කඩවල් කිහිපයකට ගොස් අවශ්‍ය අඩු වැඩිය සියල්ල සිතේ පරිදි මිල දී ගත් මා ,යම් මුදලක් අඩු පාඩු වූ බැවින්   මුදල් හර පතින් මුදලක් ලබා ගැනීමට ගිය විට ,නෙතු ගැටුනු දුරකතන කුටිය නිසා හදිසියේම මට මගේ ස්වාමි පුරුෂයාට කෙසේ දැයි විමසා බැලීමට සිත් විය. නමුත් මා නිවසේ නැති බව දැන ගෙන වත් ඔහු මා වුන්නද මළාදැයි සොයා බැලුවේ නැති. මා කුමකට නම් මගේ කාලය ඔහු වෙනුවෙන් වැය කරන්නේද ? 

මගේ ගමේ පාසලේ මිතුරියක වූ  සඳා හමුවීමට ගිය මට සඳාගෙන් ද ලැබුනේ මස්සිනා මට දුන් පිළිතුරට නොදෙවෙනි පිළිතුරකි. කවදත් මුරණ්ඩු ගති ඇති මාගේ මුරණ්ඩුකමට උත්තේජක වැනි වූ ඒ වදන් නිහඩ මුවින් සහ වැසුනු කණින් අසා වුන් මා ඔවුනට සුබ නව වසරක් පතමින් මගේ මාවතට අවතීර්ණ වූයෙමි.


නිහඬ දින කිහිපයක් ගෙවී ගිය අතර අවුරුදු නැකත් උදා වන කණ් පිපිරෙන රතිඤ්ඤා හඩ ඇසෙන විට ,මා සිටියේ රබර් වත්ත මතින් වැටී තිබුන සුපුරුදු අඩි පාර දිගේ පිය මනිමිනි. දෑත්  හිස් නොවූ අතර ,දෑත් වල වූ බරැති මලු වල වූයේ නගරයෙන් ගෙනා අවුරුද්දයි. දෑත් පිරි තිබුනු අතර මට වුවමනා වූයේ පිරුණු දෑත් ඔවුනට දී හිස් වූ මා සිත පුරවා ගන්නට වන්නට ඇත.

ගල් පියස්ස පසු විය , රබර් වත්තේ එක් මං සලකුණක් වූ පුංචි ළිඳ පසු විය , ඒ කිසිවක් වෙනස් වී නොමැත. හද ගැස්ම වැඩිවෙයි. පය ඉක්මන් වෙයි. දෑස් විඩාබර වෙයි. 


 කෙමෙන් කෙමෙන් හිතේ ඇඳී තිබු ජායාවක් වන් මැටි නිවහන සොයමින් පැමිණි දෑස් නතර වූයේ ගොඩනඟා ගෙන යමින් තිබුනු සිමෙන්ති ගඩොලින් බැඳුනු නිවහනක් වෙතයි. ඔවුන් මෙහි නැද්ද? මා ගමේ නැති වූ සිවු වසරට අවුරුදු හතක දරුවෙක් ඔවුනට සිටින්නෙ කෙසේද ? මස්සිනා බොරු කියා මා රැවටීමට සිතුවාද? සඳා ද මා මඟ හැරියේ ඇයි?

“ අයියා . . . . ඕක මගේ .... දේ දේ දේ   දෙන්න කෝ ........ බලන්න අම්මා ......... “

වයස හතක පිරිමි ළමයා ගේ වටා දුවයි. ඒ පිටුපස යන්නේ හොටු පෙරා ගත් සිඟිත්තියයි. ඒ පිටු පසින් . . . . . .ගැබ්බර ගැහැණියකි. . . ගැහැණියගේ නෙත් අහඹු ලෙස මා නෙත් හා ගැටුණි.

හුන් තැනම ගල් ඇසුණු ඇය . . .
 
මා දෙසම බලා වුන් ඇය නැවතත් කෑගසන්න විය. “ විමලේ විමලේ........ මේ ඇහුන ද විමලේ . . .  පොඩ්ඩක් මෙහාට ආවනම් “

මගේ සිත ගැලවී බිම වැටෙන්නට ආසන්න විය.
තෑගි සියල්ල මෙතනම බිම අතැර ආ මඟ ඔස්සේම ආපසු දිව යෑමට මගේ සිත කියයි.

කැළඹුන ගත සිත සුවපත් කර ගැනීමට මා බිම බලා ගත්තෙමි. හිස ඔසවා බැලීමට තරම් ආත්ම ශක්තියක් මා තුල නොවීය.

අනේ මා වාගේ මෝඩියෙක් . . . . . කුමට මේ ගමන පැමිණුනා  ද?

“ සුදු මැණිකෙ “

ඒ හඬ මා තුලින්ම පැණ නැගුන ද? මා සවන් තුල නිතරම දෝංකාර දෙන ඒ හඬ . . . . .  උනන කඳුළු වලකා ලීමට මා යටි තොල තදින් සපා ගත්තෙමි.

“සුදු මැණිකෙ , මොකද මේ. . .  කොච්චර දෙයක් ද ආපු ඒක. . යන් යන් එන්න යන්න ගෙට “ ඔහු මා දෑතින් ගත් බර සැහැල්ලු කළාක් මෙන්ම මගේ සිත  පිරි ඉතිරී යමින් තිබූ දූක්ක දෝමනස්සයන් ද ඔහුගේ දෑතට ගත් බවක් මට සිතුනි.

ඔහුට සිටියේ සිඟිති දියණියන්ම දෙදෙනෙකි . ඔවුන් දෙදෙනා නිවුන් සහෝදරියන් විය. වැඩිමහළු පිරිමි දරුවා කාගේ කවුරුන් දැයි නිනවුවක් නොවූ නමුදු , ඔහු ගැබ්බර ගැහැණියට අම්මා කියනවාත් විමලෙට මාමා කියනවාත් මට කිහිප වරක්ම ඇසුණි.

මගේ පැමිණීමත් සමඟම ඒ නිවස එකම අවුරුදු උත්සවයක සිරියක් ගත්තේය. සිඟිත්තියට මා ඇඳුම් කිහිපයක්ම ගෙනා අතර සමහරක් ප්‍රමාණයෙන් විශාල බැව් පෙනුනි. ඇය ඒවා හැඳ අප ඉදිරියට ආ විට අවුරුදු කුමරිය සිනා තොටක් රැගෙන ආවාක් මෙන් මුලු නිවසම සිනා හඩින් පිරී යන්නට විය.

රස කැවිලි , ඔවුන් කවරදාකවත් නොටුදු ඇතැම් පැණි රස කෑම වර්ග එකින් එක ඔවුන් අතර බෙදී යන්නට වූයේ ඔවුන් සැකසූ කොකිස් , කැවුම්, අතරස, ආස්මී ද බෙදී යන අතර තුරය.

විමල් ඒ වන විට දරුවන් දෙදෙනකුගේ පියෙක් මෙන්ම කිසිවකු විසින් අතැර ගොස් සිටි ගැහැණියකට ස්වාමියෙක් ද වී සිටියේය.


ප්‍රීතිමත් පැය ගණනක් අවසානයේ දී සමුගෙන යා යුතු හෝරුව එළඹ තිබුනි. කුඩා වුන් බිම පෙරළෙමින් මට වදින නිමේෂයේ මා ඔවුන්ගේ හිස අතගෑවේ කිව නොහැකි හැඟීම් සමාදායක උරුමක්කාරිය වෙමිනි.


විමලෙ මා ඇරලවීමට ගල් පියස්ස තෙක්ම පැමිණියේය. ඔහු ඉතා සතුටින් ජිවත් වන බවත් , මා මෙහි පැමිණිම නිසා සතුටු වන බවත් , ලබන වසරේ ද මා මෙලෙස පැමිණේ යැයි අපේක්ෂා කරන බවත් , සියල්ල සිදුවන්නේ හොඳටම බවත් ඔහු පැවසූවේය.


ගල් පියස්ස අභියස දී මඳකට නතර වූයේ සමුගැනීමේ වේදනාව බෙදා ගැනීමටයි. මඳක් මා වෙත සමීප වූ ඔහු දකුණතින් මා වම් කම්මුල ස්පර්ශ කර පැවසූවේ.


“ ගිහින් එන්න සුදු මැණිකේ. . . හැමදේම අමතක කරල සතුටින් ඉන්න. ඇත්තටම මම දැන් හිතන්නෙ මගේ පවුල ගැන විතරයි. ඒත් . . . . මේ ගල් පියස්ස කඩල බිඳල දාලා ඒ කළු ගල් වලින් මගේ ගේ හදන්න තරම් නපුරු හිතක් මට නැහැ සුදු මැණිකෙ. මේ ගල් පියස්ස මෙතන මේ විදිහට තියනකම්ම මගේ හිතත් ,ඔයා වෙනුවෙන් මේ ගල් පියස්ස යට හැමදාම ඉන්නවා. සුදු මැණිකෙත් , මා වෙනුවෙන් වෙන් වුන හිත මේ ගල් පියස්ස යටින් තියල , අදම කොළඹ යන්න. මේ ගල් පියස්සෙන් එහාට මට අයිති ඒ හිත අරන් යන්න එපා සුදු මැණිකේ.“

ගල්පියස්ස දෙස මොහොතක් බලා සිටි මා ඔහුගෙන් සමු ගෙන හිත ගල් පියස්සේ සඟවා මහ ගෙදරට පිය මැන්නෙමි. . .  දුර තියා ම මා දුටු දෙයින් මා සිත අදහා ගත නොහැකි විය. මා බැලීමට පැමිණි මගේම අවුරුදු කුමරා ආලින්දයේ මා පියාගේ හාන්සි පුටුවේ වාඩි වී මඟ බලමින් සිටියි. මා දුටු විගස පුටුවෙන් නැඟී මා එන පෙර මඟට ආ ඔහු ගේ දෑස් ඔහුට කලින් මාගෙන් සමාව අයදින්නට විය.


“ මට සමාවෙන්න කෙල්ලෙ. . .  ආයෙ එහෙම වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ. මට සමාවෙන්න “


ගල් පියස්ස යට තබා ආ මා සිතට අමතරව ආදරයෙන් පිරුණු තවත් සිතක් මා ළඟ ඇති බැව් මට පසක් කර දුන් මගේ හොඳම අවුරුද්ද මෙය නොවන්නේ ද?

I have memories - but only a fool stores his past in the future.  ~David Gerrold

ඔබ සැමට සුබ නව වසරක් වේවා
මම
෴ සොඳුරු සිත ෴

චිත්‍ර උපුටා ගැනීම - සිළුමිණ සහ දිවයින පුවත්පත් මඟිනි....... 



Wednesday, April 13, 2011

෴ මගේ අවුරුද්ද ෴ II

 ෴ මගේ අවුරුද්ද ෴ පලමු කොටසට

රබර් වත්තේ ඒ මේ අත ඔහේ ඇවිද ගිය මා සිතේ ,දහසක් මතක පිපී දිලෙන්නට විය. ගොම්මන් ඇඳිරියත් එයට සැපයූවේ නොමඳ අත් වැලකි. පාළු රබර් යාය ඔස්සේ වැටී තිබූ අඩි පාරවල් ඔස්සේ ,මා දෙපා ඇදෙන්නට වූයේ පුරුද්දට මෙනි.

රබර් වතු යායේ එක් කොණකට වන්නට තිබූ කළු ගල් පියස්ස , කිසිම වෙනසක් නොදක්වා පෙර පරිදිම තිබෙනු දුටු මා නෙත් දිලිසෙන්නට ඇත. දීර්ඝ කලකින් හමු වූ ,නැතිවු වස්තුවක් දුටුපරිදි එතනට ඇදුන මම , මගේ දකුණතින් ගල් පර්වතය ස්පර්ශ කරත්ම සිහින් තරංගයක් මා ගත පුරාම විහිදී ක්ෂණයෙන් මැකී යන්නට විය. ගල්පර්වතය පා මුල වූයේ ගල ඇතුලට ඛාදනය වීමෙන් සෑදුන පුංචි ගුහාවකි. එයට ගුහාවක් යැයි කිව නොහැක්කේ ගුහාවක් තරමට ඇතුලටම ඛාදනය වී නොතිබුන බැවිනි. නමුදු දෙදෙනෙකුට සිහින් වර්ෂාවකින් බේරි සිටීමට හැකි තරම් ඒ පියස්සෙ ඉඩ කඩ තිබුනි.

හාත්පස සිසාරා බැලූ මා ඇලිස් ගේ විස්මලන්තයට හොරෙන් රිංගන කුඩා දැරියක මෙන් ගල් පියස්ස යටට වී දැස් පියා ගත්තෙමි. මා මගේ ජීවිතයේ විදි පලමු හා එකම රසවත් හාදුව වින්දේ මේ ගල් පියස්ස යට දීය.

ඒ රස මොහොත යළිත් වින්දනය කරමින් සිටි මා සිත ,

“ නැන්දා , නැන්දා මොකද අපේ සෙල්ලම් ගෙදර කරන්නේ . මේක අපේ මායිම “

නාවර හොටු පෙරා ගත් , වයස අවුරුදු 3ක 4ක පමණ වූ දැරියක් සහ වයස අවුරුදු 6ක් 7ක් පමණ වන කොලු පුංචෙක් මා දෙස  බලා සිටියෙ අඟහරු ලොවින් මේ දැන් ගොඩබට පිටසක්වලයෙකු දෙස බලන කුතුහලාත්මක දෑසින් සහ අයාගත් මුවිනි.

කලබල වූ මම ඉතාම ලැජ්ජාවට පත් වූයෙමි. ඒ කලබලයෙන්ම පියස්සෙන් එළියට බසින්නට ගිය මගේ පය වැදී පොල් කටු කිහිපයක් එහා මෙහා විසි වෙන්නට විය. ඒ තුල වූ වැලි ඉසිරී ගිය අතර. එය දුටු කුඩා දැරිය මා දෙස බැලුවේ තරහින් සහ අඬන්නට අයා ගත් වතින් යුතුවය.

ලිලිපුට්ටන්ට හසුවූ ගලිවරියක පරිද්දෙන් ඔවුන් ගෙන් පලා ආ  මා නැවතුනේ වාහනයට ද ගොඩ වූ පසුවයි.


මාගේ පැමිණීම මගේ මවගේ මෙන්ම නිවසේ කාගෙත් සිත් වලට සතුටක් ගෙනා බව නම් නොකියාම බැරිය. මගේ නැගණියගේ කුඩා වුන් ද මගෙ අත දිග මානයටවත් නෑවිත් සැගවි සැගවී දොර පලු ජනෙල් අස්සෙන් එබෙමින් පසු වූයේ ඉතා සුළු මොහොතක් පමණි. 


ඔවුන්ගේ ලොකු අම්මා වන මම ඔවුනට ගෙනා තෑගි සහ රසකැවිලි පාර්සල් එකින් එක ඔවුන් සතු වෙද්දී කුඩා වුන් මා වට කර ගත්තේ ලොකූ ලොකූ කියමිනි.



රාත්‍රී ආහාරය ගජරාමෙට මුළු තැන් ගෙයි පිහෙන අතර තුර සම්පූර්ණයෙන්ම වාගේ මා මගේම මහ ගෙදර තුල ආගන්තුකයෙක් බවට පත් විය. මා මුළු තැන් ගෙට ඇතුල් වන විටම නැගණිය සහ මගේ මව අතර හීන් සීරුවෙ සිදු වන කුසුකුසුව නැවතෙයි. අපහසුවෙන් මවා ගන්නා සිනහව වත පුරා පැතිරෙයි. 

ඔවුන් දොඩන්නේ මොනවාදැයි මා දනිමි. එය ඔවුනට මා සමඟ කෙලින්ම කතා කිරීමට නොහැක්කේ ඇයි. මෙය මෙසේ සිදු වීමට ඔවුන් දැක්වූ දායකත්ව වැඩි නිසා ද? 

මා ගෙට ගොඩ වන විටම, මා පැමිණියේ තනිවම වගත් සැමියාට රාජකාරි බහුල නිසා පැමිණීමට නොහැකි බවත් කීවේ, ඒ සම්බන්ධයෙන් තවත් කතා කිරීමට මා මනාප නැති බව දැක්වීමේ පෙර වදනක් ලෙසිනි. එනිසා මුළු තැන් ගෙයි වටයක් කැරකී දැවෙන සිත නිවනතරම් නැති වුවත් වීදුරුවක් පුරවා ගත් වතුර එක හුස්මට හිස් කර ආලින්දයට ආවේ ඔවුන්ගේ කුසුකුසුවට අකුල් නොහෙලමිනි.
තමන්ගේම තැනක දී ආගන්තුකයෙකු වීම ,පිටතැනකදී සිදුවන ප්‍රතික්ෂේපයටත් වඩා හිත රිදවන සුළුය. මා කුඩා වුන් සමඟ මිතුරු වූයෙමි. ඔවුනට මා ගෙනත් දුන් දෑ ඉතා අගනා බවක් ඔවුන්ගේ දිලිසෙන නෙත් මා වෙත හෙලන කෘතවේ දී බැල්මෙන්ම මා වටහා ගත්තෙමි.

“ අප්පච්චියා . . . . .“

පුංචිම දූ සිඟිත්තිය තම පියා එනම් මගේ නැගණියගේ දයාබර සැමියා එන පෙර මඟට දිව යන්නට විය.

අප්පච්චියා මේ . . . . ලස්සනයි නේද ?

කවුද ගෙනාවේ පැටියෝ

ලොකූ “ ඇය දිලිසෙන දෑස් මා වෙත හෙලන ගමන්ම සුරතල් වදනින් පවසන්නට විය.

“ ආහ් ........ සුදු මැණිකෙට අපිවත් කාලෙකින් මතක් වෙලා එහෙනම්. පුදුමයි මේ පැත්තට එන්න පාර මතක තිබ්බා. “

“ කෝ ඔයාගේ ලොකු මහත්තයා ආවෙ නැතෙයි.“

නැහැ. එයාට කොහෙද  මේවට වෙලාවක්.  මල්ලි ආව ඒක හොඳයි.මට පුලුවන් ද ටිකක් කතා කරන්න

හ්ම් ..... මම දන්නව සුදු මැණිකෙ මගෙන් අහන්න යන්නෙ මොනාද කියල , ඒත් ....

හොඳයි එහෙනම් මල්ලිටත් බැහැ නේද මාත් එක්ක ටිකක් කතා කරන්න

නැහැ සුදු මැණිකෙ ...

එසේ පැවසූ ඔහු ආලින්දයේ පිල් කණ්ඩිය මතින් වාඩි වූයේ පුංචි දියණිය ද උකුලින් වාඩි කර ගනිමිනි. පහලට රූටා ගිය ඇය . ඔන්චිල්ලාවක් සේ සෑදි තිබූ සරමට වැටී එහි පැද්දෙන්ට විය.

ආලින්දයේ පුටුව මතින් නැගි මම ඔහු ආසන්නයට විත් ආලින්ද පඩියෙන් වාඩි වූයේ නිවස තුලට ද එක් වරක් එඹි බලාය.

මට කියන්න මල්ලි. දැන් කොහොමද විමලෙට. ,“

වරක් මා දෙසත් දෙවරක් ගෙතුල දෙසත් බැලූ ඔහු දීර්ඝ සුසුමක් හෙලුවේ මගේ දැවෙන ආත්මය දුහුවිලි අළු බවට පත් කරන තරමට මා කළඹමිනි.
When the world says, "Give up,"
Hope whispers, "Try it one more time."

විමලෙ ගැන  විමසන සිත
මම 
෴සොඳුරු සිත ෴

Tuesday, April 12, 2011

෴ උදවුවක් / Your Assistance Needed Urgently ෴

බොඳ වෙච්ච හීනයකට පණ දීල බලන්න , අභියෝගයකට මුහුණ දීල බලන්න , මේ අලුත් අවුරුද්දේ දී මට පුංචි උදවුවක් කරන්න....................

මේ ලිපිය ලියන්නේ සොඳුරු සිතට පුංචි පහේ උපකාරයක් බලා පොරොත්තුවෙන්..... නැහැ නැහැ.. මුදල් අතමාරුවක් නෙමෙයි. දැනුම ටිකක් , කරුණු කාරණා ටිකක් දැන ගන්න.

මම ලියන දේ කියවන අය අතර පොත් පත් නිතර කියවන අය වගේම. පොත් පත් ලියපු අයත් ඇති කියල මම හිතනවා. ඒ නිසයා එවන් අය දන්නා කරුණු බිඳක් ඉල්ලා ගන්නයි මේ වෑයම.
මෙන්න මේකයි සොඳුරු සිතට උවමනා කරන උදවුව. . .

සොඳුරු සිතේ , හීනියට තිබ්බ අදහසක් තමයි පොතක් පල කරන එක. ඒත් පුංචි පුංචි හේතු ගොඩාරියක් නිසා ඒ හීනය බොඳ වෙලා ගියා. පොත් ලියනව තියා , ඒ ගැන ආයෙ හිතන්නෙවත් නැහැ කියලයි මම හිතුවේ..

ඒත් . . . . . . ඒ හීනයට ආයෙත් පාට ගාන්න මට ආසයි.

ඒත් ඊට කලින් දැන ගන්න තියෙන දේවල් ගොඩයි.

මගේ ගැටළුව . . . . .
  1. අත් පිටපතක් කියෙන්නෙ මොකක් ද?
  2. අත් පිටපතට , පිදුම , පෙර වදන, වගේ දේවලුත් ඇතුලත් වෙන්න ඕනි ද?
  3. අත් පිටපතට වචන ගණන සීමා කර ඇති විට , පිදුම , පටුන වගේ දේවල් වල තියන වචනත් ඒවාට ඇතුලත් වෙනව ද?
  4. අත් පිටපත බාර දෙන කොට කංචුක නිර්මාණයත් ( පොත් පිට කවරය ) ත් සකසා දිය යුතු ද?
  5. වර්ණ පින්තූර භාවිතයෙන් කරන ප්‍රකාශණයන් හි මිල ගණන් වැඩි ද?
  6. කතෘ ප්‍රකාශණයක් කියන්නෙ මොකක් ද?
  7. ISBN අංකයක් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාවලිය කුමක් ද?
  8. කතෘ ප්‍රකාශණයක් නොවන ප්‍රකාශණයක් සහ කතෘ ප්‍රකාශණයක් අතර ඇති වෙනස , වාසි අවාසි මොනා ද?


    මේ ගැටළු ලිහා ගන්න මට උදවු කරන්න පුලුවන් යාළුවන් ඉන්නව නම් පුංචි කමෙන්ට් එකක් සඳහන් කරල යන්න.

    නැති නම් wathsalald@yahoo.com ලිපිනයට ඊමේලයක් යොමු කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි.

    බොඳ වූ සිහින වල පාට තවරන්න මඟ බලන
    මම
    ෴ සොඳුරු සිත෴

Monday, April 11, 2011

෴ කවිකම තෑගි කර දුර ගිය නුඹට ෴



සිත් අහසම හිස් අහසක් ‍වෙලා තිබූ
තනිකම ගීතයක් විලසට යාව තිබූ
යුගයක් නිමා කර දහසක් පැතුම් පැතූ
නුඹ ආවෙ ඇයි ද ‍දේදුන්නක් විලස සිතු


සිතුවිලි සිත්තමට පැහැයන් අරන් එන
නෙතු අද්දර පිපී සිනහව රැගෙන එන
ගෙමිදුල ඉද්ද ගහ වාගේ සුවඳ දෙන
නුඹ පැමිණුනා කවි පදයක් වෙලා මට


සිත පතුලේ තිබු නොකැලැල් පිච්චමල
සුවඳින් ඇහුරුනා නුඹ මට හමුවු දින
සුවඳත් අරන් නුඹ ඈතක ඇදුන දින
කවි පද විතරමයි ඉතිරිය වුනේ මට


නුඹ ගිය තැනක සිනහව සතුටින් බෝවා
නුඹ සිත සදා සුවඳැති මල් පූ දීවා
නුඹ ගැන මගේ මතකය අකුරින් නාවා
ලියනා කවිය නුඹ හට නම් නොපෙනේවා


“I love you not only for what you are, 
but for what I am when I am with you.
I love you not only for what you have made of yourself, 
but for what you are making of me.
I love you for the part of me that you bring out.”


මා කවිකාරියක් කළ නුඹට ස්තූති කරන
මම
෴ සොඳුරු සිත ෴

Sunday, April 10, 2011

෴ මගේ අවුරුද්ද ෴


සිහින් සිරි පොද වැස්ස ද නොතකා , හදිසියේ ම නිවසින් එළියට බට මා වාහනයේ සුක්කානම හැරෙන හැරෙන අතට යාමට ගත්තේ කොයි වේලාවක  සිටදැයි මට මතක නැත. මා ආදරබර ස්වාමියා සමඟ ඇතුවු දීර්ඝ වුත් ,සිත් රිදවන සුළු වූත් ,සැ රපරුෂ වූත් දුරකතන සංවාදය අවසානයේ දී මෙසේ අභිනික්මන් කළ බව පමණක් සිහි ඇතත්.. . . ගමනේ අවසානයක් සිහි නැත.


වාහන තද බදය රහිත , ගහ කොළ වලින් පිරි පටු මාවතේ වාහනය ඒ වන විටත් ධාවනය වෙමින් තිබුණි. . . .  සසල සිත මොහොතකට නිසල බව අරක් ගත්තේ වාහන ඝෝෂාව රහිත සිසිල් පරිසරය නිසාම වන්නට ඇත. මාවතේ අයිනකට වන්නට කාරය නැවතූ මා සුක්කානම මතම හිස බර දී හඬන්නට ගත්තෙමි.


කොතරම් උත්සාහ දැරුව ද හිතේ පැසවමින් වාං දමන එක කඳුළු බිඳක් වත් දෙනෙතට ඉනුවේ නැත. නැවතත් සිත දිව ගියේ සිත පෑරු ඒ සංවාදයටයි. එය වචනයෙන් වචනය මතක් කිරීමට මා නොකමැත්තෙමි.


ඔහු හා මා විවාහ වී මේ ගෙවී යන්නේ සිවු වෙනි වසරයි. පත්තරයේ කහ පිටුවක තිබූ ඔහුගේ ඉල්ලීමකට මගේ මව දැක්වූ දයාබර ප්‍රතිචාරයක් සහ මගේ මවගේ බලවත් වූ බලපෑම මත මා ඔහු හා විවාහ වූයෙමි.


ඔහු පිළිබඳ ව කියන්නට තරම් මහ විශාල වරදක් පිටත කිසිවකුට මෙන්ම මටද නොපෙනුනි. නිසංසල සිතක් , කතා බහ අඩු ජීවිතයක් ගත කරන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගමක විධායක නිලධාරි දුරයක් හොබවයි. රටවල් ගනනාවක සංචාරය කර ඇති ඔහුගේ ඉගෙනීම ද නොනවත්වාම සිදු කෙරෙන්නෙකි. සියල් සපිරි නිවසක් , යාන වාහන සහ ගිහියකු විදිය හැකි සැම සැපතක් ම වාගේ ඔහු ළඟ ඇතත් , මා සොයන ආදරබර හදවත පමණක් ඔහු සතු නොවීය.


චවනයෙන් හෝ මුල් කාලයේ දී ඔහු මා සිත නොරි ද වූයේ ,ඔහු ට මා හා කතා කිරීමට වඩා දහසක් වැඩ රාජකාරි බහුල වූ නිසා වන්නට ඇත. කොතරම් ඔහු කාර්යබහුල ද යත් ,ඔහු හා විවාහ වූ පසුවම මා සිංහල අලුත් අවුරුද්දකට මගේ මහ ගෙවල් බලා ගියේ අප විවාහ වු ආසන්නතම වසරේ දී පමණි. මෙවර ඔහු මා හා ගම්දොර බලා යන්නට පොරොන්දු වී සිටිය ද හදිසියේ යෙදුන විභාග වැඩ කටයුත්තක් නිසා ඔහුට පැමිණිමට නොහැකි බව දන්වන ලද්දේ දුරකතනය ඔස්සේය.

අතට අසු වු දෙයක් රැගෙන හැද සිටි ඇඳුමින්ම නිවසින් පිට වූ මා නිසංසල මාවතක තනි වී ඇත. හදිසියේ ම යමක් සිහි වූ මා පසු පස අසුනේ තිබූ අත් බෑගය ගෙන එය තුල බැලුවෙමි.

“ හ්ම් . . . . මේ ඇති “

ඒ තුල වූ මුදල් ප්‍රමාණය ගම්දොර බලා යෑමට තරම් ප්‍රමාණවත් විය.

වාහනය පණගන්වා ගත් මා අකමැත්තෙන් වුවත් කෙලින්ම ගියේ රෙදි පිළි මන්දිරයක් සොයාය. මිනිසුන් ගැහැණුන් පොඩි දරුවන් බහුලව ගැවසුන ඒ සාප්පු සංකීර්ණය වෙත පිවිසි මා , කිසිම තේරීමක් නොමැතිව අතට හසුවූ ඇදුම් කිහිපයක් මිලට ගත්තෙමි. අම්මා , නංගී , මස්සිනා සහ  ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ගත් ඒ ඇඳුම් ඔවුනට හරියාදැයි මට සැක සහිත වූයේ . දැන් බොහෝ කලකින් මා ඔවුන් දැක නැති බැවිනි.

බිල ගෙවා අවසානයේ දී ,අත තවත් මුදල් ඉතිරි වූ විට මා සිතට ආවේ සුපසන් හැඟීමකි , ඒ හැඟීම ඔස්සේ රිය පැදවු මා මිනිසකු තබා මැස්සෙක් වත් නැති පොත් සාප්පුවක් අභියස යි නතර වුයේ. බොහෝ වේලා රැගෙන දරුවන් ටත් දෙමාපියන්ටත් මගේ දයාබර මවටත් පොත් තෝරන්නට වූයෙමි.

“ ගොළු හදවත “ තවමත් මුද්‍රණය කෙරෙන ඒ පොත දුටු විට හිතට පිවිසි මහා දුක්බර හැඟීම ඔස්සේ නොදන්නා අයවලුන්ට ද දෙන්නෙමියි නිනවුවක් නැතිව තවත් පොත් සහ සඟරා කිහිපයක්ම මිලදී ගත්මා පොත් සාප්පු වෙන් පිට වුයේ සුවපත් වූ සිතිනි.

අගනුවර පදිංචියට විත් සිවු වසරකට පසුව මා ගම් බලා යන දෙවෙනි සිංහල අලුත් අවුරුද්ද මෙයයි.එයින්ද මා විවාහ වූ පසුව තනිවම ගම්දොර බලා යන පලමු අවස්ථාව මෙයයි. සිංහල අලුත් අවුරුද්දට තව දවස් හතරක පමණ පරතරයක් තිබුන ද මෙය මා ගත් ක්ෂණික වූත් නිවරදි වූත් තීරණයකැයි මා සිතමි.

බොහොම දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනක් වන මෙය හිතේ මුරණ්ඩු ගතිය නිසාම තිනිවම පැමිණිය ද . .  නිසංසල සිතින් පැමිණියා නම් බොහොම වෙහෙසකර කටයුත්තක් වනු නොඅනුමානය. වටින් ගොඩින් කළුවර හිස දමන යාමයේ ගම් සීමාවට ඇතුල් වෙන්නට හැකි වීම මා සිතට ගෙන ආවේ නොම ද සැනසීමකි.


බිම් කළුවරින් වැසි යමින් තිබුන රබර් වතු යායට සේන්දු වෙත්ම මගෙන් ගිලිහුන මාගේ ආත්මය රබර් ගස් අතරේ සැරි සරන්නට වූයෙන්, වාහනය මදකට නැවතූ මා ගොම්මන් කළුවර සඟවා ගන්නා රබර් යායේ මා කයට සැරි සරන්නට ඉඩ දුන්නේ මා මෙහි දමා ගිය මා සතු දෙයක් නැවතත් සොයන්නට මා ආත්මයට වුවමනා වූ නිසාවෙනි.

Marriage lets you annoy that one special person for the rest of your life.  

ඒ කතාවත් සමඟ යලිත් දවසක ඔබ හමුවට එන සිතින් සමුගන්න ..

මම

෴ සොඳුරු සිත ෴


පින්තූරය - http://www.inmagine.com/pdgr089/pdgr089259-photo

Friday, April 8, 2011

෴ සඳ අහසෙන් අරන් ඇවිත් ෴

මේ ළඟ දි දවස ක,මට ඇහුන පුංචි පහේ සංවාදයක් තමයි මේ....

ඇය : ඔයා දැන් ළමයින්ට ලකුණු දෙන්නෙ කොහොම ද?


ඔහු : ම් ම්ම් ම් මූණ බලල . . . .

ඇය : අහා . . . .  මූණ බලල ලකුණු දෙන්න එපා. ඒක වැරදි ක්‍රමයක්.

ඔහු :ඔයා එහෙම ලකුණූ දීලම නැද්ද ?

ඇය : ඇයි නැත්තෙ දීල තියෙනවා .. එකම එක මුහුණකට.

ඔහු : කීයක් ලකුණු දුන්න ද?


ඇය : ම් ම් ම් ඔක්කම ලකුණු දුන්නා .

ඔහු : ඒ කීවේ , 100 න් 100 ක් ම දුන්නා?


ඇය : ඔවු ...... ඇයි තහනම් ද?

ඔහු : අපෝ නැහැ. මොන තහනමක් ද? මයෙ මොකෝ ? ඒත් . . .  මට දැන ගන්න ආසයි ලකුණු දුන්න විදිහ ඔයා. කැමති ද කියන්න.


ඇය : ඔවූ. . .  මෙහෙමයි . . . .

මමයි එයයි ළඟින් වාඩි වෙලා හිටිය. එයා මොහොතකට අහක බලන කම් ඉඳල , මම එයාගේ මුහුණ ළඟටම ළං වුනා. හුස්ම පොදක් වත් නොඟෙන. මොකද මගෙ හුස්ම වැදිල එයා හැරිල මා දිහා බැලුවොත් හෙම මට එයාගේ මුහුණ හොඳට බලන්න බැරි වෙනවා.

මම එයාගේ මුහුණ ළඟටම ළං වුනා. 


උදයෙ රේසර් කරපු රැවුල් කොට ආයෙත් වැවෙන්න ඇවිත්. 

හ්ම් . . . හරි සුවඳයි. “ පිරිමි සුවඳ “ මම මොහොතකට ඇස් පියාන ඒ සුවඳ විඳ ගත්තා. හදවතේ ගැඹුරෙම තැන්පත් කර ගත්තා.

ඔහු : ඉතින් ( තරහින් )


ඇය : ඉතින් .  . .  මම ඇස් අරන කොටම , මෙන්න ඒ මුහුණ මයෙ පැත්තට හැරිල , පුදුම වෙලා වගෙ මයෙ දිහා බලන් ඉන්නවා. මගෙත් ඇස් විශාල වුනා. හරියට හොරකමක් කරල අහු වුනා වගේ.විශාල වුන ඇස් පුංචි වෙලා පියවෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

ඔහු : ඒ මොක ද ඒ ?


ඇය : ඒ මූණ මගේ මූණ පුරාම දැනෙන්න ගත්තා. ඒ මුහුණෙ සුව මගෙ මුහුණ පුරා දුවද්දි , රැවුල් කොට ඇනිල මුණ සීරිල දැවෙද්දි , මම ඒ මුහුණට ලකුණු 100 න් 100 ක් දුන්නා......

ඔහු : ( ඉවත බලන් )  ඉතින් ! දැන් කෝ ඒ මූණ . .



ඇය : (කඳුළු පිරි ඇස් ඉවත හරවමින් ) ඒ මුහුණ කවුදෝ මගෙන් ඈතට ඈතට අරන් ගිහින් , අහසෙ එල්ලල හඳ වෙනුවට.


ඔහු :  (  සිනාසෙමින් ඇය දෙස බලමින් ) අම්මප ! ! අර රැවුල් කොටත් එක්කම .


දෙදෙනාම මුහුණු බලමින් සිට සිනා සෙයි. ඔහු හිටිවනම සිනාව නවතා දමා.
ඇය දෙස බලාගත් වනම සිට. එකවරම ඇයගේ මුහුණ තම දෑතට මැදි කර ගන්නේ ,  සියුම් සියුමැලි මලක් අල්ලන්නාක් මෙන් ප්‍රවේශමිණි.

ඇයගේ දිලිසෙන දෑස් වෙත තම දෑස ගිල්ල වූ ඔහු . . . . 


ඔහු : කැමති නැද්ද තව මුහුණ කට ලකුණූ දෙන්න.

තිරය වැසෙයි . . . . . . .. . .. 



“You are my sun,my moon,and all my stars.”


තිරය පිටු පස සිටින
මම
෴ සොඳුරු සිත ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...