..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, March 31, 2011

෴ මගේ සඳ හෙවත් ආගන්තුකයාගේ ආදරය ( I ) ෴

ඔයාල කවුරු කවුරුත් විභාග වලට , සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීලා ලකුණු අරන් ඇති. සමහර ඒවයින් තේරිලත් ඇති. ඒත් ඒ සමහර තැන් වලදි ලකුණු දීපු ක්‍රමය වැරදී කියල ඔයාලට හිතිලත් ඇති. මොකද සමහරු ලකුණු දෙන්නේ මූණ බලල.

මමත් මගේ ජීවිතකාලයට ම එහෙම ලකුණු දුන්න අවස්ථා එකම එකක් තියනවා. ඔයාලම කියවල බලල , මට කියන්න .මම ලකුණු දුන්න ක්‍රමය හරි ද වැර දි ද කියල.

ඔන්න එහෙනම් ඒ කතාව ,

එදා හරිම ලස්සන දවසක්. ඊට කලින් දවසෙ මට නින්ද ගියෙත් නැහැ හරියට. ඇහැ පියවෙන කොට කවුදෝ කෙනෙක් මගේ හීන වලට බලෙන්ම ඇවිත් එඹිකම් කරනවා.

ඒ මුහුණ පැහැදිලි නැහැ , බොඳ වුන චිත්‍රයක් වගේ. සුවඳ දැනෙන බොඳ වුන මුහුණක්. හීනෙන් හීනෙට ඇවිත් එදා මුළු රෑම ඒ බොද මුහුණ මාත් එක්ක හැන්ගි හොරා සෙල්ලම් කරා.

ඉතින් අද , මම මේ මඟ බලන් ඉන්නේ ඒ බොඳ වුන මුහුණට පාට ගලපල සැබෑ මුහුණක් මවා ගන්නයි. කාලය ගත වුනේ හරිම හිමින් වුනත් ඒ සුන්දර මොහොත උදා වුනා.

ඔහු ඇවිත් , මගේ ඉදිරියෙන් සිටගෙන සිටිනවා. ඔහුගේත් මගේත් මුවගට එක වගේම සිනහ මලක් පිපුනා.

“ කොහොම ද මාව අඳුර ගත්තේ “ ඒ ඔහු.

“ ඊයේ මුළු රෑම . . මගෙ හීන වල හිටිය “

“ මේ ඔයාට “ අත රැඳිල තිබ්බ පාර්සලය ඔහු මට දුන්නා.

“ තැන්ක් යූ , මේක ඔයාට. බිඳෙයි බලාගෙන “ මම ඔහුට දුන්නේ කාලයක් තිස්සේ මගෙ බාලාපොරොත්තු අමුණල මම මැහුව සිත්තමක්. ලස්සන කුරුළු ජෝඩුවක්. ස්ට්‍රේට් ස්ට්රිජ් වලින් ඒක මහන්න ගොඩාක් කල් ගියා. ඔහු මාව බලන්න එනකම් කාලය ගත කරද්දි... මගේ හිත තුල තිබ්බ හැම බාලාපොරොත්තුවක්ම එකතු කරලයි මම ඒ පින්තූරය අතින්ම ගෙත්තම් කරේ.

ගෙත්තම් රූපය රාමු කරන්න අරන් ගියේ ඔහු එන්නෙ හෙට කියල තියෙද්දි අද වගේ දවසක. 

“රාමු කරල දෙන්න අද නම් බැහැ නෝන “ කියල හාඩ්වෙයාර් සාප්පුවෙ මුදලාලි කියද්දී මට හිතුනේ ඒ රාමුව අරන් මුදලාලිව රාමු කරන්නයි. මගේ වාසනාවට ඒ කඩේ හිටපු මගෙ පරණ ගෝලයෙක් ඒ අවස්ථා වෙදි පිහිටට ආවා. දැන් කුරුළු ජෝඩුව රාමුවෙ හිර වෙලා.

එතනම වාඩි වූ ඔහු , එවෙලේම එය දිග ඇරල බැලුව.

“ ඔයා ද මැහුවේ ? ලස්සනයි. මම කැමති මේ වගේ තෑගි වලට තමයි , ඔයාට ගොඩක් ස්තූතියි “ මද වෙලාවක් මගේ මුහුණ දෙස හිනා වෙලා බලන් හිටපු ඔහු , ඔහු ළගම ඔහුට දකුණු පසින් ඔහු වාඩි වී සිටි දිගු සිමෙන්තු බංකුවට ඔහුගේ දකුණු අතින් තට්ටු කරන ගමන් ,

“ වාඩිවෙන්න “ 

මඳක් පැකිලුන මා , සිතට දෙගිඩියාවක් එන්න කලින් ම , ඔහු ලගින් වාඩි වුනා. මොහොතකට , එක මොහොතකට , මගේ හුස්ම නැවතුනා.ඔහු ළඟින් හමා ආව පිරිමි සුවඳ , මගේ නාස් පුඬු වලින් ඇතුළු වෙලා හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වුනා.

ඒ සුවඳ අමතක වෙයි දෝ කියල බයක් , මගේ හිතට ඇතුළු වුන නිසා , ආයෙත් මම මම ඇස් වහගෙන ඒ පිරිමි සුවඳ හදවත පුරා විඳ ගත්තා.

“ ඇයි , ඔයා බය වෙලා ද“ මගේ ගැහෙන පපුව දිහා එක් වරම බලපු ඔහු ක්ෂණයෙන් ඉන් දෑස් මුදා හරින ගමන් ඇහුවා.

ලැජ්ජාව පිරුණ මුහුණත් එක්ක බිම බලපු මම ඔහුට හොරෙන්, සුළඟට අකීකරු වූ සාරි පොට  නිසා විවර වෙලා තිබ්බ පිරුණ ලැම වහගත්තේ සුළගටත් හිනා වෙවී. සාරි පොට හදපු මගෙ අත , ඊළඟට ගියේ මගේ බෙල්ල වටේ තිබ්බ දිගු අගස්ති මාලයට.ඒ සුළඟට සැරි සරන තුනී සාරි පොටට බරක් තියන්න ඕනි නිසයි.

“ සාරිය ලස්සනයි “

“ හ් ම් ම් ම් . . . . “

“ ඔයාට , රත්තරන් මාලයක් නැද්ද ? “
 
පුදුම වුන මම. ඔහුගෙ මුහුණ දිහා බැලුවෙ එක එල්ලයේ.

“ ඊ ලඟ සැරේ එනකොට , මම ඔයාට රත්තරන් මාලයක් ගෙනත් දෙන්නම් “

ඔහු කීවා.

“ එපා “

“ හෙහ් හෙහ් හේ හේ. . . . මම දන්නව ඔහොම කියන විත්තිය. මගෙ ආඩම්බර කෙල්ල , කෝ දෙන්න මම ගෙනාපු පාර්සලේ. මට ආපහු අරන් යන්න “

“ ආහ් . . . . .  මෙන්න “

ඔහු එය පරිස්සමින් අතට අරන් , ඒ තුල තිබ්බ දේ එකින් එක ඉවතට ගත්තා.

“ මේ බලන්න, මේව හරි රහයි. ගෙදර ගිහින් අම්මට නංගිලාටත් දීල කන්න. මේක අරින්නෙ මෙන්න මෙහෙම “

ඒ ලස්සන චොකලට් පෙට්ටියක්. ඒක ඇතුලෙ එක එක හැඩයේ චොකලට් පුංචි වලවල් වහල බහා තිබ්බ , එකකට එකක් වෙනස් හැඩ, සමාන හැඩ තියන චොකලට් බෝල සොයා ගන්න බැහැ.

“ හා “ මම කීවා.

“ මේ තියෙන්නෙත් චොකලට් “ මම ගෙනාපු දේවල් ගොඩක් ඉවර වුනා. ඔයාව බලන්න එන්න කල්යන්න යන්න . ඔයාට ගෙනාපු දේවල් එක එකා අරන් යන්න ගියා “

ඔහු මගේ මුහුණ බලාන කීවේ , හරියට සමාව ඉල්ලන්න වගේ.

“ කමක් නැහැ “

ඉන් පසුව , පැය වලින් ද විනාඩි වලින් ද මන්ද ගොඩාක් නිහඬ වරු ගාණක් දවස් ගාණක් ගෙවිල ගියා කියලයි මට හිතුනේ.

“ ඔයා බය වෙලා “ හිටිවනම ඔහු පැවසුවේ නෝක්කාඩුවක් වගේ.

“ නැහ් , නැහ් “

“ ඇයි එහෙනම් කතා නැත්තේ “

ඒ මුහුණෙ කිසිම හැඟීමක් හරියාකාරව තේරුම් ගන්න මට බැරිව ගියා. දුක , සතුට, ආදරය,රාගය , තරහව කිසි දෙයක් ඒ මූණෙ නැහැ. හීනි හිනාවක් තිබ්බ මගේ මුහුණ මැලවිලා යන්න ඇති.

ඔහු ආයෙත් , පාර්ක් එකේ තියෙන කොට බැම්මෙන් එහා පේන කොටු පවුර දිහා බලාන ඉන්න වුනා.

මේ හොඳම වෙලාව . මට හිතුනා. මගෙන් ඉවත බලන් ඉන්න ඔහුගේ මුහුණෙ දකුණු පැත්ත මට හොඳට පෙනුනා. මම තව තවත් ඒ මුහුණට ළං වුනා , පිරිමි සුවඳත් එක්ක මුහුවෙලා ඒ මුහුණ මගේ හිතේ කොහෙදෝ හැන්ඟිලා තිබ්බ සෙනෙහසක් ආයෙත් ඉහලට අරන් ආවා.

තව තවත් , තව තවත් ඒ මුහුණට ළං වුන මට , උදෑසනම රේසර් කරපු මුහුණෙ හීනියට පැන නැඟිල තියන රැවුල් කොට පවා දකින්න පුලුවන් වුනා.

පිරිමි මූනක් මේ තරම් ළඟට. ! ! ! !

නොහිතපු වෙලාවක , ඔහු ආපසු මා දිහාවට හැරුණ. මගේ ඇස් අනපේක්ෂිත විශ්මයෙන් විශාල වෙද්දි . ඒ මුහුණෙ සියළු හැඟීම් මගේ මුහුණ පුරා ගලා යන්න වුනේ වැටෙන්න තිබ්බ අන්තිම සුසුමත් නතර කරල.
මගේ සඳ
සරා සඳ
අරා හිස් අහස් කුස
දමා මා පොළෝ ගැබ
ගියේ ඇයි වරා හද


සඳ ගෙ සඳ
මම
 ෴ සොඳුරු සිත ෴

෴ ජීවිතය විදිමි ....Feel The Life ෴



ඔහේ සුන්දරව ගලා ගෙන ගියපු ඟගක් එක පාරට රුදුරු සැඩ පහරක් වුනා වගේ මගේ ජීවිතයත් පසු ගිය කාලේ තිබ්බේ කැරකි කැරකි එකම තැනක. ඒත් කාලයත් එක්ක සැඩ පහරින් මිදිල දැන් ආයෙත් සුන්දර තැනිතලාවක ඒ ඟග ගලනවා. 

ඟගට වැටුන මී පැණි පොදක් වගේ ආදරයක් තමයි සැඩ සුළියක් වගේ මුළු ඟගම කැළඹුවේ.

කවුරුත් හිතනව වගේ ආදරය හරිම සුන්දරයි තමයි. ඒත් ආදරය ජීවිතයට කරදරයක් වුනාම මුළු ජීවිතේම එපා වෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන්නේ වටින ජීවිතය ,කරදරයට ඇදල දැම්ම ආදරය ජීවිතයෙන් අයින් කරන්න.

“ ඒක අමාරු වැඩක්“ ඔබ කියාවි එහෙම. ඒත් මැක්කෙක් වගේ ජීවිතයට එල්ලිලා එහි සාරය උරා බොන ආදරයක් ඉවත් කරාම ගතට සිතට දැනෙන සැහැල්ලුව අද මම විදිනවා. හැබැයි ඉතින් ඒකට ඔයාලට ඕනි කරනවා ආරම්භක ශක්තියක්. මොකට ද? වේදනාව විඳගෙන මැක්කව අයින් කරන්න. හිත පතුලටම ඒ වේදනාව දැනේවි. ඒත් ඒක සුළු මොහොතයි. ඊට පසුව දැනෙන සැහැල්ලුව , හැම දෙයම හොඳ බවට හරවනවා සිකුරුයි.

“ තනිකඩ ජීවිතය . . . . පාලුයි , තනියි . . . . “

කවුද එහෙම කියන්නේ. තනිකඩ ජීවිතය සුන්දරයි , සරලයි. ජීවිතය විඳින්න, විවාහ වෙන්නම ඕනි ද? අපේ තිස්ස අයිය වගේ අය නම් එක හෙලා කියාවි “ විවාහ ජීවිතය සුන්දරයි “ ඔවු වෙන්න පුලුවන් . ඒත් භාර්යාවට , දරුවන්ට තියන ආදරය විතරම ද ආදරය ?


දමා ගිය
හිමි නොවන ආලය
කඳුළ කුමකට දෝ

දුකින් සිත හකුලනා
දුක් ගිනි
සිතේ කුමකට දෝ

නටුවෙ පිපි මල
මිසක කටු රැඳි
නටුව කුමකට දෝ
 
මොහොත මෙය නම්
විඳිනු එය
එහි උපත කුමකට දෝ


“One day at a time--this is enough. Do not look back and grieve over the past for it is gone; and do not be troubled about the future, for it has not yet come. Live in the present, and make it so beautiful it will be worth remembering.”


මේ මොහොත විඳින
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, March 29, 2011

෴ මගේ අර්ධය / My Fiance - Turning a Totally New leaf in The Book of My Life ෴


දිලිසෙන නෙතු අග්ගිස්සෙන්
වෑහෙන සෙනෙහස විඳින්න
කතා නොකර කතා කරන 
මුහුණ දිහා බලන් ඉන්න
දිග පැනයට කෙටි පිළිතුරු
“ඔවු“ “නැහැ“ “බැහැ“ අහන් ඉන්න
ඔය ලස්සන හිතත් අරන් විගහින්
මා ළඟට එන්න

දුක හිතුනම හිත රිදුනම
වාරුව උරහිසට දෙන්න
ආදරයෙන් සිත පිරුණම
නුඹෙ පපුවට තුරුල් වෙන්න
බය හිතුනම නුඹ පසු පස
ලොවට හොරෙන් වහන් වෙන්න
ගිය තැනකින් ඉක්මනින් ම
එන්න ඇවිත් ළඟින් ඉන්න

“We fit together so well...it's like pieces of a puzzle, the way your hand fits the curve of my hip and the way my head rests on your shoulder, the way our hands just melt into one, and the way I feel complete when I'm with you...like the picture's finally completed and I'll never have to wonder what I'm missing.”

 

ජීවිතය අලුතින් පටන් ගත්
මම
෴ සොඳුරු සිත ෴

Monday, March 14, 2011

෴ මගේ පෑන , මගේ වචන , මගේ හිත සහ මගේ සමුගැනීම / My Pen , My words ,My Heart & My Departure ෴

මිනිස්සු වුන අපිට හැම දෙයක් ම කලකදි එපා වෙනවා.අහල ඇතිනේ. . . . .


ගලකදි මොණරු ගලකදි රග දෙනවාලු
මලකදි බමරු මලකදි පොර කනවාලු
රැලකදි මාලු රැලකදි තනි වෙනවාලු
කලකදි රසලු කලකදි වහ වෙනවාලු

 
සොඳුරු සිත ලියන්න පටන් ගත්තේ


ලියන්න මුලික හේතුව වුනේ ගොඩක් දෙනා බ්ලොග් ලියන්න පටන් ගන්න හේතුවම තමයි “ විරහව“ ඒත් නොසිතූ , නොපැතූ විදිහට බ්ලොග් එක ටික ටික කියවන්නන් අතරට ගියා.  නම ගහපු සම්මාන හම්බ නුනත් , කියවන්නන් හරිම ලෙංගතු වුනා. පුද්ගලිකව පවා කියවන්නන් අඳුර ගන්න ලැබුනා. ආදරය ලැබුනා. විරහව නිසා තනිව ඉන්න ගියපු සොඳුරු සිතට යහළු , යෙහෙළියන් ගොඩක් එකතු වුනා.

ලියන එක හරිම රසවත් අත්දැකීමක් වුනා. මුල් කවි , මුල් ලිපි වලට වඩා පහු පහු වෙන්න ලියවෙන දේ ලස්සන වුනා.විරහව සේදිලා යද්දි , හිත රසවත් කරන පැය කිහිපයක් උදා වුනා.

බොහොම ලස්සන සුන්දර කාලයක් මටත් ආවා. සමහර දවසට බ්ලොග් ලිපි තුන හතර ලීවා , පස්සෙන් පහු දවසට  එකක් වත් ලීවා , ඒ අතර බ්ලොගය වසා දමන්නත් සිද්ධ වුනා. අන්තිමට දවසකට දෙසැරයකට වතාවක් ලියන්න පුරුදු වුනා. සමහර වෙලාවට ලියන්නන් වාලේ ලීවා.

ඒත් දැන් නම් හොඳටෝම ඇති.

ඉස්සර බ්ලොගයට ගොඩ වෙන්නේ , කවුද අද ලිපි ලියල තියෙන්නේ , කවුද අද කමෙන්ට් කරල තියෙන්නේ කියල බලන්න තියෙන නොඉවසිල්ලෙන්. කමෙන්ට් මොඩරේශන් කියල දෙයක් තියේද කියලවත් ඒ දවස් වල සොයල බලන්න වුවමනාවක් කාටවත් තිබ්බෙ නැහැ. බ්ලොග් ලෝකයට ගොඩ වෙන එක ඒ තරම්ම ප්‍රීතිමත් පැය ගානක් වුනා.

ඒත් දැන්  . . . . . 

බ්ලොගයට ලොග් වෙන්නේ කවුරුවත් අහල පහලක පෙන්න නැති නම් තමයි. මොන කුනුහරුපයක් ලියල ද කියල කවුද දන්නේ. මොන මඩක් වැදිල ද කියල කවුද දන්නේ. කාගේ බ්ලොග් එක හැක් කරල ද කියල කවුද දන්නේ. එකම ජරා වලක් . මිනිස්සු නැහැ. සත්තුන්ගෙන් පිරිලා. හරිම අසහනයක් බ්ලොග් ලෝකය වෙලා ගෙන.


අනික , ඇත්තම කියනව නම් , දැන් මට ලියන්න දෙයක් ඇත්තෙම නැහැ. වචන ඔක්කම ඉවර වෙලා. පෑනෙ තීන්ත , කොළ ඉවර වෙලා. මට දැන් යන්න කාලය හරි. මම ආවේ විරහව නිසා. යන්නෙ කලකිරිම නිසා. ලියන්න දෙයක් නැති නිසා.

සොඳුරු සිත එක පාරක් වැහුව.... තව පාරක් යනව කියල ගිහින් ටික දිනකින් ආපහු ආවා ( රයිටර්ස් බ්ලොක් ) ඒත් මේ සැරේ කාරණාව දරුණුයි. ( හැක් කිරීම වත් , වෙන මොන බලපෑමක් වත් නෙමෙයි . කලකිරීම )

පහුගිය දවස් වල මම ලියපු දේවල් වලට , ප්‍රතිචාර දක්වපු අයට මම අඩු ගානේ ස්තූථියි කියලවයි නැහැ. යාලුවනේ . . .ඒ සැම දෙනාටම ගොඩක් ස්තූතියි...... 

දැන් ඉතින් වෙලාව හරි. 


විරහ කඳුළු පිරි නුඹ දුන් පෑනේ තීන්ත ඉවරයි මගෙ යාළු
ලියන්න දුන් හිස් කොළ මිටියේ ඇත්තේ එක කොළයයි යාළු
හදවත ගොළු වී සන්සුන් වුන දා ලියන්න දේ නැහැ මගෙ යාළු
ආ මග දුර වැඩි යායුතු ආපසු යන්න අවසරයි මගෙ යාළු




ප/ලි :- මට කියල කෙල්ලට කවි ලියව ගන්න යාලුවේ , මම ඔයාට දිගටම කවි ලියල දෙන්නම්.






මෙතෙක් මා සමඟ රැඳී සිටි නුඹලා සැම දෙනාටම 
ස්තූතියි

“I hope the departue is joyful and I hope never to return.”

Saturday, March 12, 2011

෴ සදාදරණීය පරණ පෙම්වතා / Old Flame That Never Went Out Totally, ෴

උදේ ඉඳන්ම වැටෙන මහ වරුෂාව ද නොතකා තකහනියේම රැකියාවට යැමට සැරසුන ‍ සුදත් , පොඩිවී ගිය කමිසය අතින් රැලි  ඉවත් කර ඇඳ ගත්තේය.  තමන්ට හැකි අයුරින් සකසා ගත් බත් පාර්සල් දෙකද රැගෙන ,  කඩිනම් ගමනින් බස් නැවතුමට ගිය හේ බස් නැවතුමට වි නොඉවසිල්ලෙන් බලා සිටින්නට වූයේ විටින් විට අහසට ද රවමිනි. 

නිල් අහස මෙන් පිළිවලට තිබූ තම ජීවිතයද , මහ වරුෂාවකට වටවී හේදී ගිය සෙයකි ඔහුට දැනුනේ. බස් නැවතුමේ සිටියේ ඔහුත් , තවත් පාසල් ශිෂ්‍යෙයක් සහ හිඟන්නෙක් පමණි. 

“ චැහ් , බස් වැස්සට දිය වෙලා ද මන් ද? “ 

වැහි බිඳු වලින් සෑඳුන තිමිර පටල අතරින් මහ පාරේ ඈත කෙළවර බලමින් ඔහු සිතුවේය. බස් නැවතුම පසු කරමින් දෙපසට දිවයන වෙනත් වාහන අතරින් සුදු පැහැති කාරයක් වේගය බාල කර පසුකර ගිය බස් නැවතුම වෙත නැවතත් රිවස් කරන්නට විය.

බස් නැවතුම කෙලවරක සීතලෙන් ගුලි වි සිටි හිගන්නා ආසන්නයටම රිවස් වූ කාරයේ ඉදිරි වම් පස වීදුරුව ක්‍රමයෙන් පහත හෙලුන අතර ඉන් එලියට පැමිණියේ පාර්සලයක් සහිත වලලු දැමූ අතකි. පාර්සලය හිඟන්නා වෙත දික්කෙරුනේ කහ පැහැති සල්ලි කොළයක් ද සමඟිනි. වහා ඉදිරිපත් වූ සිඟන්නා පාර්සලය තම දෑතින්ම ගත්තේ නිවට නියාලු ලෙස තම කහට බැඳි දත් පෙල දක්වා සිනා සෙමිනි.

“තිස්තුන් කෝටියත් දෙවිය .........“

“ නැහැ නැහැ ඒව අවශ්‍ය නැහැ “ ගැහැණු හඬක් පැවසූ අතර. ඒ වන විට තුරන් වෙමින් තිබු වරුෂාවේ ප්‍රමාණය මනින්නට මෙන් ගැහැණු අත වැටෙන වැහි බිඳු කිහිපයක් අල්ලා ගත්තේය. ඒ සැනින්ම වාගේ කාරයේ වීදුරු ජනේලය අතරින් එළියට ආ ගැහැණු මුහුණ බස් නැවතුමේ සිටි පුද්ගලයන් වෙත යොමු විය.

“ සුදත් “

කාරයේ ඉදිරිපස දොර පලුව ඇරුන අතර ඉන් බැස ආවේ සොඳුරු පෙනුමැති තිස්වියේ පමණ වයසැති තරුණියකි. මඳ වරුෂාව අතරින් බස් නැවතුමට ගොඩ වූ ඇය.

“ සුදත් , ඔයාට මාව අඳුරන්න බැරිද ? මම . . . .මම මහේෂි “

“ මහේෂී “

“ ඔවු .හරි හරි ඔයා කොහෙද යන්නේ . මම මේ කොළඹ යන ගමන්. “

“ ගාලු යන්න “ 

“ හරි යන් එහෙනම් මාත් එක්ක “ තරමක් වට පිට බැලූ මහේෂී “ පුතා කොහාට ද යන්නේ “

“ පඹුරන ස්කොලෙ ට “

“ හරි එහෙනම් දෙන්නම යන් ,සුදත් ඔයා නඟින්න ඉස්සරහින් “

ශිෂ්‍යයා පාසල අසලින් බස්සන තෙක්ම ඔවුන් අතර කතාවක් නොවුනි. ඔහු බැස ගිය පසු කටහඩ අවදි කල ඇය.

“ ඇත්තටම සුදත් , ඔයාට මාව මතක නැද්ද ? “

“ ඇයි නැත්තේ. ඒත් ඔයා ගොඩක් වෙනස් වෙලා.“

“ රූපෙද නැත්තම් “

“ රූපය තමයි “

“ එහෙමද ? එහෙනම් ඉතින් මට ආයෙත් ඔයාට ඇප්ලිකේශන් එකක් දෙන්න බැරි වෙයි නේද ? “

“ ඇයි ? “

“ අපි දෙන්න වෙන් වුනේ ඔයාට මාව ගැලපෙන්නෙ නැහැ කියලනේ “

“ ම්ම් . . . මට සමාවෙන්න මාෂි “

“ සමාව මොකටද , හරි හරි දැන් කියන්න ඔයා කසාද බැදල ? “

“ ඔවු “

“ අප්පා . . . බබාලත් ඉන්නව ද ? “

“ නැහැ තවම “

“ සතුටින් “

“ ම්ම් ඔවු සතුටින් , ඔයා ? “

“සතුටින් “

“ ඔයා දැන් කොහෙද ඉන්නේ “

“ ම්ම්...... ඔයා මාව දාලා ගියාට පස්සෙ , ඔයා ඒ ඔෆීස් එකෙනුත් අයින් වුනා නේ. ඉතිං මටත් තව දුරටත් එතන වැඩ කරන්න බැරි වුනා.ඊට පස්සෙ මම එතනින් අයින් වුනා. ඔයත් එක්ක වැඩ කරපු සමීර තමයි මට අලුත් රස්සාවක් හොයල දුන්නේ “

“ සමීර , ! ! “

“ ඔවු. . .  ඔයා මාව දාලා ගියපු අමානුෂික විදිහ නිසා. මම සෑහෙන අසරණ වෙලයි හිටියෙ සුදත් “

“ සමීර ! ! වෙන්න බැහැ “

“ ඇයි ! ! “

“ සමීර තමයි . ඔයා ගැන මට . . .සමීර තමයි අපි දෙන්නගේ සම්බන්ධය කඩන්න මුලික වුනේ “

“ එහෙම වෙන්නෙ කොහොම ද? සමීර ඔයා ගැන හරි දුකින් හිටියෙ. කොහෙද යන මෝඩයෙක් ගෙ බොරු වලට අහු වෙලා කියල “

ඒ වන විට ගාලු කොටු පවුර පෙනෙන දුරට වාහනය පැමිණ තිබුනි.
“ ඔයා කොහෙන් ද බහින්නේ “

“ හිරගෙදර ලඟින් “

“ දැන් හිරේ ද වැඩ කරන් නේ “

“ ඔවු , මට කියන්න මාෂී , දැන් ඔයා කසාද බැදල ද? “

“ ඔවු “

“ සමිර ව ද? “ 

“ නැහ් “

සුදත් දිග සුසුමක් හෙලා තම ලය සැහැල්ලු කර ගත් ආකාරය දුටු මහේෂි . සිදුවි ඇති සියල්ල ඒ සුසුමේ දිග පලලින් වටහා ගන්නට තරම් බුද්ධිමත් වුවාය.

ගාල්ල කොටු පවුර දෙස ද මහේෂි දෙස ද මාරුවෙන් මාරුවට බැලූ සුදත් ඇයට සමුදී කාරයෙන් බැස නොපෙනී යන තෙක් බලා සිට නෙතට නැඟුන කඳුළ ඔහේ ගලා යාමට ඉඩ හැරියාය.

- - - - - - - --- - - - - - - - - - - - - - - - - - - -

මහේෂී කාරය උණවටුන මානසික රෝහලේ රෝහල් ගේට්ටුව ගාව අවේලාවේ නවතා රෝහල් ගේට්ටුව අරුනතුරු සිටියේ තම ස්වාමියා තමන්ගේ පැමිණිම අපේක්ෂාවෙන් සිටින නිසා ය. . හෙට සිට දින තුනක් ඔහුට මෙන්ම ඇයටද මද නිවාඩුවක් ලැබෙන බැවින් දෙදෙනා සමඟ කොළඹ පිහිටි තම  නිවහනට ගොස් සැනසිල්ලේ කාලය ගත කිරීමට ඔවුන් තිරණය කර තිබුණි.

වෝඩ් රවුන්ඩ් ගිය රෝහන එන තෙක් රෝහලේ රැඳී සිටි ඇයගේ සිතට වරින් වර පැමිණි සුදත් පසුගිය මතක දැඩිව අවුස්සන්නට විය. වැඩිය කතාබහක් නොමැති රෝහන පිස්සන්ට ඉතා කාරුණික වෛද්‍යවරයෙකි. එසේම මාෂිට හොඳ ස්වාමි පුරුෂයෙකි. සියල්ල සිදුවන්නේ හොදට නොවේ ද?

“ මාෂි . සොරි මාෂි. ගොඩක් වෙලා පිස්සන් කොටුවෙ කොටු කරල තිබ්බට ඔයාව. කමොන් මාෂී ලෙස්ට් ගෝ. දැන් ලෙඩ්ඩු බලන වෙලාව ලගයි. මිනිස්සු පිරෙන්න කලින් අපි යමු . අද ඉදල දවස් තුනක් අපි දෙන්නට අපේම ලෝකෙට වෙලා ඉන්න පුලුවන් “

“ මාෂි . . . මොකද මේ . අද ඔයාගේ මුහුණ බැලුවම මට පේන්නෙ පිස්සියක්ව නෙ . හේ හේ පිස්සියක්ට වාහනයක් අරන් යන්න දෙන්න බැහැ .කෝ කෝ දෙන්න මට යතුර “

වාහනයට ගොඩ වු ඔවුන් දෙදෙනා ද සමඟින් සෙමින් ගමන් ඇරඹු කාරය , රෝහල් ගෙට්ටුව සමීපයේදී මදක් නතර වුයේ රෝහනගේ පණිවිඩයක් මුරකරුට පැවසිමට තිබු හෙයිනි .

“ සම්පත් , අද ඉදල දවස් තුනක් මම නැහැ.ක්වාටස් එක පැත්ත පොඩ්ඩක් බලන්න “

ඔහු පණිවිඩය පවසන අතර තුර , රෝහල ඉදිරියේ නතර වූ බසයෙන් බැස ගත් මිනිසුන් එකා දෙන්නා කඩිමුඩියේ රෝහල තුලට රිංගනු මාෂි බලා සිටින්නට වුයේ අරමුණකින් තොරවය. ඒ අතර තුර මේ. “ සුදත් “

“ කවුද මාෂි “

“ නැහ් . . . ඉස්සර මගේ ස්කෝල යාලුවෙක් “

“ ආහ් අර කොල්ල ද ? පවු, ඒ මනුස්සයගේ නෝන ත් මෙහෙම තමයි ඉන්නේ. ලැබුන දරුවා මාස තුනකින් නැති වෙලා. එදා ඉඳල ඒ ගෑණු මනුස්සයට මොළය හොඳ නැහැ. හරි හරි අපි යමු. මෙතන හිටියොත් මගේ නෝනගෙත් මොළය නරක් වෙයි “

බසයෙන් බැස පාර පැන විත් අප සිටි කාරය ද පසු කරමින් බත් පාර්සලයක් ද අතේ ගුලි කර ගෙන තම ලෙංගතු දෑස හමුවන්නට යන ඒ මිනිසාට කලක් මාද පිස්සියක මෙන් පෙම් කළ බව ත් ඔහු අන්අයකුගේ මුසා බසට රැවටී මා හැර දමා ගිය පසු ඒ පෙම් සිත සුවපත් කළේ අද දින පිස්සන්ගේ දොස්තර වන නුඹ බවත් මට පවසන්නට ඇත්නම්.

“There is always some madness in love. But there is also always some reason in madness.”


 උන්මාද ආදරයෙන් සිත සුව පත් කර ගත්
මම
සොඳුරු සිත

Friday, March 11, 2011

෴ බෝතලයේ රැඳි පණිවිඩය / " Message in a Bottle " ෴

" My derest Catherine ,  

I miss you my darling , as I always do, but today is particularly hard because the ocean has been singing to me , and the song is that of our life together. I can almost feel you beside ma as I write this letter , and I can smell the scent of wildflowers that always reminds me of you.but at this moment , these  things give me no pleasure.your visits have been coming less often , and I feel sometimes as if the greatest part of who I am is slowly slipping away. . . ."


ඉහතින් මා ලියල තියෙන්නේ Nicholas Sparks ගේ  " Message in a Bottle " කියන නව කතාවේ පුංචිම පුංචි කොටසක්.. .... පුද්ගලයකුගේ ජිවිතය වෙනස් වෙන්න එක පුංචි අහඹූ සිදුවීමක් කොච්චර බලපානව ද කියල කියන්න හොදම නිදසුනක් තමයි ඒ.

 Nicholas Sparks සහ " Message in a Bottle " හදිසියේම මතක් වෙන්නත් පුංචි පහේ කාරණාවක් හේතු වුනා කීවොත් නිවරදියි. සයිබර් අවකාශයේ දී හඳුනා ගත්ත මගේ හිතවතෙක් ගොඩක් දුර ඉදල මට Nicholas Sparks ගේ ප්‍රියතම පොත් තුනක් සහ Jodi Picoult ගේ ලස්සන හැබැයි ටිකක් ලොකු පොතක් වෙන " Nineteen Minutes " කියන පොතත් එවල තිබ්බා.


ඇත්තටම , සිංහල නවකතා කියවන්න කප්පිත්තෙක් වුනත් ඉංග්‍රීසි නවකතා මට තාමත් ආගන්තුකයි කියල නොකියාම බැහැ. ඒත් නොදන්න වචන කිහිපයක් අතරේ තියෙන දන්න කියන වචන ටික ගැට ගහල ගත්තම කියවල තේරුම් ගන්න පුලුවන් ලස්සන පොත් ටික.


ඉතින් අයියා . . . ඔයාට ගොඩක් ස්තූථියි. ගොඩක් සුවඳ , ගොඩක් ලස්සන පොත් ටිකක් මට එවුවට.. . . . .( හප්පා ..මේ කීවෙනි පාරද කියල නම් කියන්න එපා )

ඔන්න හොඳේ , මේ කොටස නම් අයිති වෙන කෙනෙකුට. . . .


This is not a good-bye , my darling ,this is a thank you. Thank you for coming into my life and giving me joy,thank you for loving me and receiving my love in return. Thank you for the memories I will cherish forever. But most of all ,thank you for showing me that there will come a time when I can eventually let you go.

- - - - - - - - - - --  - - - -- - - - - - - - - - - - - - - - -- - - - - - - - - - -- -  - - - - - - - -- - - - - -

සියළු මිතුරන් මා හැර දමා යන මොහොතක සෙවනැල්ලක් සේ මා ළඟින් සැමදාම ඉන්නැයි ඉල්ලන
මම
෴ සොඳුරු සිත ෴

- - - - - - - - - - - - - - -  - - - - -

ප.ලි  :- බෝතලය කියල දැකපු ගමන්..... වෙන වෙන දේවල් මතක් වුන අයට නම් ඉතින් යන්න වෙන්නෙ හිස් අතින් තමයි .

Thursday, March 10, 2011

පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Pre-determined Farewell As An Appreciation of Some One Who Dared to Question what we all thought to be Unquestionable



පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Pre-determined Farewell, මගේ නමින් මුලින්ම බ්ලොගයක පල කල නිර්මානය මවිසින් හඳුන්වනු ලැබූයේ මෙසේය.

අද මවිසින් ලියන මේ සටහනට ද සුදුසුම මාතෘකාව එයම වීම දෛවයේ සරදමක්ම විය යුතුය.


මගේ ඒ මුල්ම නිර්මාණය පලවූයේ 2010 ඔක්තෝබර් 27 වන දින ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේය.ඊට පලමු මාස මාස නවයකට ආසන්න කාලයක් මම බ්ලොග් කියවීමෙහි සහ අදහසක් පලකල යුතුයැයි හැඟුනු විටෙක කමෙන්ට්ස් දැමීමෙන් පමණක් සෑහීමට පත්වූයෙමි.


ඒ අතර මගේම අත්දැකීමක් ආශ්‍රයෙන් ලියැවුනු ඉහත කී කථාව මම ලියා අවසන් කොට තිබිණි.ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ, පාඨකයකු විසින් එවන ලදැයි සඳහන් වූ නිර්මාණයක් පළවී තිබෙනු දිනක් මම දුටිමි. ඒ සමග ටැබූ සබ්ජෙක්ට්ස් වලට අදාල, පාඨක නිර්මාණ වලට තම බ්ලොගය විවෘත බව ද ටැබූ පවසා තිබිණි.


වහාම මම මගේ නිර්මාණය ටැබූ වෙත යැවූ අතර, දින කිහිපයකින් ඔහු එය තම බ්ලොගයේ පළ කලේය.


ඊට ලැබුනු සිත දිරිගන්වන සුලු ප්‍රතිචාර බොහෝ වූ අතර දිගටම මසිතේ නැඟෙන සිතුවිලි අකුරු කිරීමට ඒ බොහෝසෙයින්ම දිරිගන්වන සුලු මූලාරම්භයක් වීය.


එසේම බ්ලොග් ලිවීම යනුවෙන් යමක් පවතින බව මම දැන ගත්තේද ටැබූට ස්තූති වන්නටය.ඒ සිද්ධියට ටැබූ සම්බන්ධ වන්නේ ඉතාම අහඹු සහ අභව්‍ය ආකාරයට වුවද සැකයකින් තොරව ඔහු එහි ප්‍රධාන භූමිකාවක් රඟපෑවේය.


එම කථාව කෙදිනක හෝ ලිවිය යුතුයැයි මම සිතා සිටියද මෙතරම් හදිසියේ ලියන්නට සිදුවේයයි සිහිනෙනුදු නොසිතුවෙමි.


කුඩා කාලයේ සිටම මම සම්මතයට විරුද්ධව යාමට ඇලුම් කලෙමි.වයස හයක් හෝ හතක පසුවෙද්දී මුල් වරට ඇසළ පෙරහැර නැරඹීමට ගිය මගේ මතකයේ නොමැකෙන ලෙස තැන්පත් වූයේ ගාම්භීර ලෙස බර අඩි තබමින් ඇවිද යන නිලමේ වරුන් නොව විදුලි බුබුලුවලින් සමලංකෘතවූ අලි ඇතුන්ගේ දෙපා බැඳ දමා තිබූ බරැති විලංගු වලින් නැගි අමිහිරි නාදයයි. විලක්කු එලියෙන් බැබලෙන කරඬුව නොව කරණම් ගසමින් නටන නැට්ටුවන්ගේ විඩාබර දෑසයි.

""අනේ අම්මෙ, අර අලියො පව්" කියා පෙරහැර නරඹා ආපසු එන විට අම්මා සමඟ පැවසූ බව මට තවම මතකය.


වයස දහයක් හෝ දොලහක් වෙද්දී සිදුවුවක් ද මගේ මතකයේ ඇත. ඒ දිනවල විශේෂ දළඳා ප්‍රදර්ශනයක් පැවැත්වූ වකවානුවක් විය. අපේ ඥාතීන් කිහිපදෙනෙකු ද ලොකු අම්මා ද සමග අම්මා දළඳාවේ අනුහස් පිලිබඳව කල කතා බහකට මමද ඒ අසල බංකුවක හෝ කුඩා පුටුවක වාඩිවී ඇහුම් කන් දීගෙන සිටියෙමි.

" දන්නවද ලොකු නංගී, මේ පාරත් දළඳා හාමුදුරුවො ඇතුල් මාලෙන් වඩම්මන කොට අහස කලු කරල වැස්සනෙ මහ වැස්සක්" අම්මා දෙසට හැරුනු ලොකු අම්මා පැවසූයේ ගෞරව සම්ප්‍රයුක්ත හඬකිනි.
" ඇත්තද අක්කෙ? හැම සැරේම ඉතින් ඕක වෙනවමනෙ " අම්මා ද පිළිතුරු දුන්නාය.

" මම මේ කල්පනා කලේ ලොකු අම්මෙ" හිස උස්සා, ලොකු අම්මා දෙස බැලූ මම පැවසුවෙමි. " ඔය මහ නියං කාල වල බැරිද, ඔය දළඳාව එලියට වඩම්මල වැහි වහින්ඩ වැඩ කරන්ඩ? "

" මොනවද පුතා මේ කියන්නෙ?" අම්මා මට සැරවුවද, ලොකු අම්මා සිනාසුනා පමණක් බව මට තාමත් මතකය. 

දැනුම් තේරුම් ඇතිවූ පසු, කිසිම දිනක මම බෝ ගස් හෝ පන්සල් පසුකරද්දී බසයේ ආසනයෙන් නැඟී සිටීමේ පුරුද්ද අනුගමනය නොකලෙමි. බුදුන් වහන්සේගේ ධර්මයට ගරුකලයුත්තේ හැකිතරම් දුරට ඒ අනුව දිවි ගෙවීමෙන් විනා, බෝ ගසක් පන්සලක් දුටු වහා හිඳිනා ආසනයෙන් පස්ස ඉස්සීමෙන් නොවන බව මගේ අදහස විය.

විවාහ වූ පසු බිරිඳ සමඟ බසයෙන් යද්දී, දළඳා මාළිගය අසල ඇය අසුනෙන් නැඟි සිටිද්දී, මම සුපුරුදු ලෙස නොනැගිට සිටියෙමි.දෙතුන් වරක් මෙසේ වූ ඉක්බිති ඇය මේ පිළිබඳව මගෙන් විමසුවාය.

"ඔතන තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ දතක්ය කියල අපි දන්නෙ කොහොමද?, අනික ඒක එහෙමම උනත්, තමන්ගෙ ශරීර අවයව වලට ගරු කරන්නෙයි කියල බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ කොතනද? වැදගත්ම කාරණේ බුදු හාමුදුරුවො එහෙම කිව්ව උනත්, අපි ඒක එක පාරටම පිළිපදින්න ඕනද? අමතක කරන්න එපා,එතුමාම කියල තියෙනව කිසිම දෙයක් එකපාරට පිළිගන්න එපා,තමන්ගෙ විචාර බුද්ධියෙන් කල්පනා කරල බලල පිළිගත හැකියයි හිතෙනව නම් පමණක්,පිළිගන්න කියලා,ඉතින් මම කරන්නෙ එතුමාගෙම උපදෙස් පිළිපදින එක " මම පිළිතුරු දුන්නෙ එහෙමයි.

සාවධානව මගේ පැහැදිළි කිරීම අහගෙන හිටියට, එයා නම් දිගටම නැඟිටින එක කර ගෙන ගියා. ඒක මට ප්‍රශ්නයක් උනේ නැහැ. මගේ අදහස පිළිගන්න බැරිනම්, තමන් කැමති තීරණයක් අරගෙන ඒ අනුව ක්‍රියාකරන්න ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් ඇයට ඇති පරම අයිතිය, විවාහ ලියාපදිංචි පොතේ තිත් ඉර උඩ අත්සන් කල වහාම අහෝසි වෙන්න විදියක් කොහෙත්ම නැහැනෙ. 

මම හිතන්නෙ අනික් හැමෝම හිතන විදිහට නෙවෙයි, වෙන කවුරුවත්ම මම හිතන විදිහට හිතන්නෙ නැහැ කියල මට හොඳටම තේරුණේ උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ සංවර්ධන ව්‍යාපෘතියක රැකියාවට ගියාට පස්සෙයි. ඒ ජන වාර්ගික ගැටලුව උග්‍රවී යුද්ධය ඒ ප්‍රදෙශයේ ජන ජීවිතය උඩු යටිකුරු කොට තිබූ යුගයක්. 

දෙමළ ජනයාට ස්වයං නිර්ණන අයිතිය ලබා දිය යුතුය කියන ස්ථාවරයෙ තමයි මම එදා ඉඳලම හිටියෙ.සාමාන්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති පරිණත ඒ වගේම මහ පොළවෙ පය ගහල ජීවත්වෙන ඉතාම ප්‍රායෝගික මිනිසුන් ජාතිය සහ ආගම සම්බන්ධ කාරණා වලදි කොපමණ පක්ෂග්‍රාහී වෙනවද කියන එක මට පසක් උනේ ඔන්න ඔය දවස්වල.



හැමදාම මේ ගැන තර්ක විතර්ක කරල, මගෙ එක බත් පිඟාන බෙදාගෙන කන යාලුවො තරහ කරගන්නෙ මොකටද කියල, පස්සෙ පස්සෙ මම මගේ අදහස් ප්‍රකාශ කිරීම අත ඇරලම දැම්මා.මට තේරුම් ගන්නම බැරි උනේ මගෙ ඒ යාලුවො මගේ අදහස් වලට හාත්පසින්ම වෙනස් අදහස් දැරීම නෙවෙයි. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අයටත් තමන්ගෙම අදහස් දැරීමේ අයිතිය තියෙනවනෙ. මට තේරුම් ගන්නම බැරි උනේ, මගේ විරුද්ධ අදහස් දැරීමේ අයිතියට අභියෝග කරන්නට ඒ අයට අයිතියක් ලැබුනෙ කොහොමද කියල. මේ ගැන එයාලට පැහැදිලි කරල දෙන්න, මට එහෙන් සමුගෙන එනකනුත් බැරි උනා.

ඉතින් ඔන්න ඔහොම ඉන්දැද්දි, අවුරුද්දකට වගෙ උඩදි තමයි අහම්බෙන් මට ටැබූව අඳුනාගන්න ලැබුනෙ,

මම මේ රස්සාවට ඇවිල්ල අලුත ගියා පොඩි සාදයකට. එහෙදි දැන හඳුනාගන්න ලැබුනා උගත්, ඒ කියන්නෙ පශ්චාත් උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලබපු මහත්මයෙක්. කොහොම හරි මේ මහත්මයා ඉතාම හොඳ පෙරාපු රත්තරන් වගෙ සිංහල බෞද්ධයෙක් බව කතාවෙන් බහෙන් තේරුන නිසා, මම ඔය කියන එව්වට හූමිටි තිබ්බ මිස, වැඩි දිග දුර කථා බහකට ගියේ නැහැ. මොකද මම දන්නව මේ ආකල්ප තියෙන අය එක්ක කථාබහ කරන එක හරිම අසීරුයි කියල,

කොහොම හරි කථාව ඇදිල ආව දළඳාව පැත්තට. දැන් මේ මහත්මය කියනව දළඳාවෙ හාස්කම් ගැන ඇස් දෙකත් උඩ තියාගෙන. මම කිසිම දෙයක් නොකියම හිටියා. අන්තිමට එතුමාම කිව්ව " ආ, ඔයා නුවර කිව්ව නේද? ඔයා ඉතින් හොඳටම දන්නව ඇතිනෙ මේ දෙවල් ගැන, කියන්නකො ඔයා හිතන්නෙ මොනවද මේ ගැන " කියලා

ඉතින් මොකද කරන්නෙ, මගෙන්ම අහන එකේ නොකියා කොහොමද?

" මම ඔය ගැන ඇත්තටම කථා කරන්න නම් කැමති නැහැ, ඒත් අහන නිසා කියන්නම්, දළඳාවෙ හාස්කම් ගැන කියනව නම් මතකයිනෙ අර 1998 දළඳා මාළිගාවට කොටි බෝම්බ ගැහුවා "

" ඔව්, ඔව්, මොකෝ මතක නැත්තෙ? හාස්කමකින්ම තමයි ඒ වෙලාවෙ දළඳාව බේරුනෙ, ඒකෙ ආයෙ කිසිම සැකයක් නැහැ "

" නැහැ, මම කියන්න ආවෙ නම් ඒක නෙවෙයි, මම නම් පිළිගන්නෙ නැහැ එතන හාස්කමක් උනාය කියල, දැන් එතන වැඳ පුදාගන්න ආව අහිංසක මිනිස්සු බරගානක් මැරුන නේද? දළඳාවට හාස් කම් තියෙනවනම් වෙන්න ඕනෙ ඒ අහිංසකයො එක්කෙනෙක් වත් නොමැරි අර බෝම්බ ගෙනාපු කොටි බෝම්බත් එක්කම විනාශ වෙන එක නේද? ඒ නැතුව වඳින්න ආපු මිනිස්සු බල්ලො බලල්ලු වගෙ මැරිල, දළඳාව විතරක් බේරෙන එක හාස්කමක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නැහැ "

හැමදාම වෙන දේම එදා එතනත් උනා, දැඩි විවේචන සහ බැණ වැදීම් මැද මටත් මාව එතනට කැඳවාගෙන ගිය මගෙ මිතුරාටත් ආපසු එන්න සිදු උනා,

අපි එද්දි අර මහත්මයා මෙහෙම කියනව මට ඇහුනා, " දැන් බෝවෙලා ඉන්නවා මෙහෙම ජාතියක් ආගමක් නැති නරුමයො රැලක්, ඔය ටැබූ කියල බ්ලොග් ලියන්නෙත් මේ වගේම අදහස් තියෙන එකෙක්නෙ "

මේ කතාව ඇහුනම මට ලොකු ඕනකමක් ආසාවක් ඇතිඋනා කවුද මේ ටැබූ කියන්නෙ කියල දැන ගන්න, ඒ නිසා මම මගෙ යාලුවා මාර්ගයෙන් පහුවදා විස්තර හොයාගත්තා, එතනින් තමයි මම දැන ගත්තෙ බ්ලොග් ලියනවය කියල දෙයක් තියනවය, ඒවගෙ තමන්ගෙ අවංක අදහස් උදහස් වාරණයකින් තොරව ( මේ මම එතකොට හිතාගෙන හිටපු හැටි ) පළකරන්න පුලුවන්ය, ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නෙ සාමාන්‍යයෙන් අපි කතා කරන්න පැකිලෙන මාතෘකා ගැන කතා කරන බ්ලොග් එකක්ය කියල,

මට ටැබූ හඳුනාගන්නට සහ ඒ මාර්ගයෙන් බ්ලොග් කියවීමට සහ ඉන්පසුව බ්ලොග් ලිවීමට, අවස්ථාව ලැබුනෙ ඉතාම අහඹු සහ අනපේක්ෂිත ආකාරයකටය කියල මම කලින් කිව්වෙ මෙන්න මේ නිසා.

මේ ටික මම ලිව්වෙ ඇත්තටම අද ටැබූ බ්ලොග් අවකාශයේ නැහැ, ආයෙත් ලියයිද නැද්ද කියන එකත්, කාලයට සහ වෙනස් වන තත්ව අනුව තීරණය වෙන දෙයක්. 

ආයෙ ටැබූ ලිව්වත් නැතත් මට කියන්න තියෙන්නෙ, ටැබූ ඔබට ස්තූතියි, අප ඇත්ත වශයෙන්ම අවශ්‍යයෙන්ම සිතිය යුතු එහෙත් අප විසින්ම අප කෙරෙහි ස්වයං වාරණයන් පනවාගෙන ඇති තහනම් මාවත් ඔස්සේ අපේ චින්තනය යොමුකරවීමට ඔබ ගත් උත්සාහයට මගේ ගෞරව පූර්වක ස්තූතිය!


තවත් සොඳුරු සහෘදයකු වෙනුවෙන් සොඳුරු සිත ඉඩ ගත් 
මම
රවී

පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Pre-determined Farewell As An Appreciation of Some One Who Dared to Question what we all thought to be Unquestionable

පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Pre-determined Farewell,  මගේ නමින් මුලින්ම බ්ලොගයක පල කල නිර්මානය මවිසින් හඳුන්වනු ලැබූයේ මෙසේය.

අද මවිසින් ලියන මේ සටහනට ද සුදුසුම මාතෘකාව එයම වීම දෛවයේ සරදමක්ම විය යුතුය.

මගේ ඒ මුල්ම  නිර්මාණය පලවූයේ 2010 ඔක්තෝබර් 27 වන දින ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේය.ඊට පලමු මාස මාස නවයකට ආසන්න කාලයක් මම බ්ලොග් කියවීමෙහි සහ අදහසක් පලකල යුතුයැයි හැඟුනු විටෙක කමෙන්ට්ස් දැමීමෙන්  පමණක් සෑහීමට පත්වූයෙමි.

ඒ අතර මගේම අත්දැකීමක් ආශ්‍රයෙන් ලියැවුනු ඉහත කී කථාව මම ලියා අවසන් කොට තිබිණි.ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ, පාඨකයකු විසින් එවන ලදැයි සඳහන් වූ නිර්මාණයක් පළවී තිබෙනු දිනක් මම දුටිමි. ඒ සමග ටැබූ සබ්ජෙක්ට්ස් වලට අදාල, පාඨක නිර්මාණ වලට තම බ්ලොගය විවෘත බව ද ටැබූ පවසා  තිබිණි.

වහාම මම මගේ නිර්මාණය  ටැබූ වෙත යැවූ අතර, දින කිහිපයකින් ඔහු එය තම බ්ලොගයේ පළ කලේය.

ඊට ලැබුනු සිත දිරිගන්වන සුලු ප්‍රතිචාර බොහෝ වූ අතර දිගටම මසිතේ නැඟෙන සිතුවිලි අකුරු කිරීමට ඒ බොහෝසෙයින්ම දිරිගන්වන සුලු මූලාරම්භයක් වීය.

එසේම බ්ලොග් ලිවීම යනුවෙන් යමක් පවතින බව මම දැන ගත්තේද ටැබූට ස්තූති වන්නටය. ඒ සිද්ධියට ටැබූ සම්බන්ධ වන්නේ ඉතාම අහඹු සහ අභව්‍ය ආකාරයට වුවද සැකයකින් තොරව ඔහු එහි ප්‍රධාන භූමිකාවක් රඟපෑවේය.

එම කථාව කෙදිනක හෝ ලිවිය යුතුයැයි මම සිතා සිටියද මෙතරම් හදිසියේ ලියන්නට සිදුවේයයි සිහිනෙනුදු නොසිතුවෙමි.

කුඩා කාලයේ සිටම මම සම්මතයට විරුද්ධව යාමට ඇලුම් කලෙමි.වයස හයක් හෝ හතක පසුවෙද්දී මුල් වරට ඇසළ පෙරහැර නැරඹීමට ගිය මගේ මතකයේ නොමැකෙන ලෙස තැන්පත් වූයේ ගාම්භීර ලෙස බර අඩි තබමින් ඇවිද යන නිලමේ වරුන්  නොව විදුලි බුබුලුවලින් සමලංකෘතවූ අලි ඇතුන්ගේ දෙපා බැඳ දමා තිබූ බරැති විලංගු වලින් නැගි අමිහිරි නාදයයි. විලක්කු එලියෙන් බැබලෙන කරඬුව  නොව කරණම් ගසමින් නටන නැට්ටුවන්ගේ විඩාබර දෑසයි.

"අනේ අම්මෙ, අර අලියො පව්" කියා පෙරහැර නරඹා ආපසු එන විට අම්මා සමඟ පැවසූ බව මට තවම මතකය.

වයස දහයක් හෝ දොලහක් වෙද්දී සිදුවුවක් ද මගේ මතකයේ ඇත. ඒ දිනවල විශේෂ දළඳා ප්‍රදර්ශනයක් පැවැත්වූ වකවානුවක් විය. අපේ ඥාතීන් කිහිපදෙනෙකු ද ලොකු අම්මා ද සමග අම්මා දළඳාවේ අනුහස් පිලිබඳව කල කතා බහකට මමද ඒ අසල බංකුවක හෝ කුඩා පුටුවක වාඩිවී ඇහුම් කන් දීගෙන සිටියෙමි.

" දන්නවද ලොකු නංගී, මේ පාරත් දළඳා හාමුදුරුවො ඇතුල් මාලෙන් වඩම්මන කොට අහස කලු කරල වැස්සනෙ මහ වැස්සක්" අම්මා දෙසට හැරුනු ලොකු අම්මා පැවසූයේ ගෞරව සම්ප්‍රයුක්ත හඬකිනි.

" ඇත්තද අක්කෙ? හැම සැරේම ඉතින් ඕක වෙනවමනෙ " අම්මා ද පිළිතුරු දුන්නාය.

" මම මේ කල්පනා කලේ ලොකු අම්මෙ" හිස උස්සා, ලොකු අම්මා දෙස බැලූ මම පැවසුවෙමි. " ඔය මහ නියං කාල වල බැරිද, ඔය දළඳාව එලියට වඩම්මල වැහි වහින්ඩ වැඩ කරන්ඩ? "

" මොනවද පුතා මේ කියන්නෙ?" අම්මා මට සැරවුවද, ලොකු අම්මා සිනාසුනා පමණක් බව මට තාමත් මතකය.

දැනුම් තේරුම් ඇතිවූ පසු, කිසිම දිනක මම බෝ ගස් හෝ පන්සල් පසුකරද්දී බසයේ ආසනයෙන් නැඟී සිටීමේ පුරුද්ද අනුගමනය නොකලෙමි. බුදුන් වහන්සේගේ ධර්මයට ගරුකලයුත්තේ හැකිතරම් දුරට ඒ අනුව දිවි ගෙවීමෙන් විනා, බෝ ගසක් පන්සලක් දුටු වහා හිඳිනා ආසනයෙන් පස්ස ඉස්සීමෙන් නොවන බව මගේ අදහස විය.

විවාහ වූ පසු බිරිඳ සමඟ බසයෙන් යද්දී, දළඳා මාළිගය අසල ඇය අසුනෙන් නැඟි සිටිද්දී, මම සුපුරුදු ලෙස නොනැගිට සිටියෙමි.දෙතුන් වරක් මෙසේ වූ ඉක්බිති ඇය මේ පිළිබඳව මගෙන් විමසුවාය.

"ඔතන තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ දතක්ය කියල අපි දන්නෙ කොහොමද?, අනික ඒක එහෙමම උනත්, තමන්ගෙ ශරීර අවයව වලට ගරු කරන්නෙයි කියල බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ කොතනද? වැදගත්ම කාරණේ බුදු හාමුදුරුවො එහෙම කිව්ව උනත්, අපි ඒක එක පාරටම පිළිපදින්න ඕනද? අමතක කරන්න එපා, එතුමාම කියල තියෙනව කිසිම දෙයක් එකපාරට පිළිගන්න එපා, තමන්ගෙ විචාර බුද්ධියෙන් කල්පනා කරල බලල පිළිගත හැකියයි හිතෙනව නම් පමණක්, පිළිගන්න කියලා,ඉතින් මම කරන්නෙ  එතුමාගෙම උපදෙස් පිළිපදින එක " මම පිළිතුරු දුන්නෙ එහෙමයි.

සාවධානව මගේ පැහැදිළි කිරීම අහගෙන හිටියට, එයා නම් දිගටම නැඟිටින එක කර ගෙන ගියා. ඒක මට ප්‍රශ්නයක් උනේ නැහැ. මගේ අදහස පිළිගන්න බැරිනම්, තමන් කැමති තීරණයක් අරගෙන ඒ අනුව ක්‍රියාකරන්න ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් ඇයට ඇති පරම අයිතිය, විවාහ ලියාපදිංචි පොතේ තිත් ඉර උඩ අත්සන් කල වහාම අහෝසි වෙන්න විදියක් කොහෙත්ම නැහැනෙ.


මම හිතන්නෙ අනික් හැමෝම හිතන විදිහට නෙවෙයි, වෙන කවුරුවත්ම මම හිතන විදිහට හිතන්නෙ නැහැ කියල මට හොඳටම තේරුණේ උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ සංවර්ධන ව්‍යාපෘතියක රැකියාවට ගියාට පස්සෙයි. ඒ ජන වාර්ගික ගැටලුව උග්‍රවී යුද්ධය ඒ ප්‍රදෙශයේ ජන ජීවිතය උඩු යටිකුරුකොට තිබූ යුගයක්.



දෙමළ ජනයාට ස්වයං නිර්ණන අයිතිය ලබා දිය යුතුය කියන ස්ථාවරයෙ තමයි මම එදා ඉඳලම හිටියෙ.සාමාන්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති පරිණත ඒ වගේම මහ පොළවෙ පය ගහල ජීවත්වෙන ඉතාම ප්‍රායෝගික මිනිසුන් ජාතිය සහ ආගම සම්බන්ධ කාරණා වලදි කොපමණ පක්ෂග්‍රාහී වෙනවද කියන එක මට පසක් උනේ ඔන්න ඔය දවස්වල.

හැමදාම මේ ගැන තර්ක විතර්ක කරල, මගෙ  එක බත් පිඟාන බෙදාගෙන කන යාලුවො තරහකරගන්නෙ මොකටද කියල, පස්සෙ පස්සෙ මම මගේ අදහස් ප්‍රකාශ කිරීම අත ඇරලම දැම්මා.මටතේරුම් ගන්නම බැරි උනේ මගෙ ඒ යාලුවො මගේ අදහස් වලට හාත්පසින්ම වෙනස් අදහස් දැරීමනෙවෙයි. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අයටත් තමන්ගෙම අදහස් දැරීමේ අයිතිය තියෙනවනෙ. මට තේරුම් ගන්නම බැරි උනේ, මගේ විරුද්ධ අදහස් දැරීමේ අයිතියට  අභියෝග කරන්නට ඒ අයට අයිතියක් ලැබුනෙ කොහොමද කියල. මේ ගැන එයාලට පැහැදිලි කරල දෙන්න, මට එහෙන් සමුගෙන එනකනුත් බැරි උනා.

ඉතින් ඔන්න ඔහොම ඉන්දැද්දි, අවුරුද්දකට වගෙ උඩදි තමයි අහම්බෙන් මට ටැබූව අඳුනාගන්න ලැබුනෙ,

මම මේ රස්සාවට ඇවිල්ල අලුත ගියා පොඩි සාදයකට. එහෙදි දැන හඳුනාගන්න ලැබුනා උගත්, ඒ කියන්නෙ පශ්චාත් උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලබපු මහත්මයෙක්. කොහොම හරි මේ මහත්මයා ඉතාම හොඳ පෙරාපු රත්තරන් වගෙ සිංහල බෞද්ධයෙක් බව කතාවෙන් බහෙන් තේරුන නිසා, මම ඔය කියන එව්වට හූමිටි තිබ්බ මිස, වැඩි දිග දුර කථා බහකට ගියේ නැහැ. මොකද මම දන්නව මේ ආකල්ප තියෙන අය එක්ක කථාබහ කරන එක හරිම අසීරුයි කියල,



කොහොම හරි කථාව ඇදිල ආව දළඳාව පැත්තට. දැන් මේ මහත්මය කියනව දළඳාවෙ හාස්කම් ගැන ඇස් දෙකත් උඩ තියාගෙන. මම කිසිම දෙයක් නොකියම හිටියා. අන්තිමට එතුමාම කිව්ව " , ඔයා නුවර කිව්ව නේද? ඔයා ඉතින් හොඳටම දන්නව ඇතිනෙ මේ දෙවල් ගැන, කියන්නකො ඔයා හිතන්නෙ මොනවද මේ ගැන " කියලා

ඉතින් මොකද කරන්නෙ, මගෙන්ම අහන එකේ නොකියා කොහොමද?

" මම ඔය ගැන ඇත්තටම කථා කරන්න නම් කැමති නැහැ, ඒත් අහන නිසා කියන්නම්, දළඳාවෙ හාස්කම් ගැන කියනව නම් මතකයිනෙ අර 1998 දළඳා මාළිගාවට කොටි බෝම්බ ගැහුවා "

" ඔව්, ඔව්, මොකෝ මතක නැත්තෙ? හාස්කමකින්ම තමයි ඒ වෙලාවෙ දළඳාව බේරුනෙ, ඒකෙ ආයෙ කිසිම සැකයක් නැහැ "

" නැහැ, මම කියන්න ආවෙ නම් ඒක නෙවෙයි, මම නම් පිළිගන්නෙ නැහැ එතන හාස්කමක් උනාය කියල, දැන් එතන වැඳ පුදාගන්න ආව අහිංසක මිනිස්සු බරගානක් මැරුන නේද? දළඳාවට හාස් කම් තියෙනවනම් වෙන්න ඕනෙ ඒ අහිංසකයො එක්කෙනෙක් වත් නොමැරි අර බෝම්බ ගෙනාපු කොටි බෝම්බත් එක්කම විනාශ වෙන එක නේද? ඒ නැතුව වඳින්න ආපු මිනිස්සු බල්ලො බලල්ලු වගෙ මැරිල, දළඳාව විතරක් බේරෙන එක හාස්කමක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නැහැ "

හැමදාම වෙන දේම එදා එතනත් උනා, දැඩි විවේචන සහ බැණ වැදීම් මැද මටත් මාව එතනට කැඳවාගෙන ගිය මගෙ මිතුරාටත් ආපසු එන්න සිදු උනා,

අපි එද්දි අර මහත්මයා මෙහෙම කියනව මට ඇහුනා, " දැන් බෝවෙලා ඉන්නවා මෙහෙම ජාතියක් ආගමක් නැති නරුමයො රැලක්, ඔය ටැබූ කියල බ්ලොග් ලියන්නෙත් මේ වගේම අදහස් තියෙන එකෙක්නෙ "

මේ කතාව ඇහුනම මට ලොකු ඕනකමක් ආසාවක් ඇතිඋනා කවුද මේ ටැබූ කියන්නෙ කියල දැන ගන්න, ඒ නිසා මම මගෙ යාලුවා මාර්ගයෙන් පහුවදා විස්තර හොයාගත්තා, එතනින් තමයි මම දැන ගත්තෙ බ්ලොග් ලියනවය කියල දෙයක් තියනවය, ඒවගෙ තමන්ගෙ අවංක අදහස් උදහස් වාරණයකින් තොරව ( මේ මම එතකොට හිතාගෙන හිටපු හැටි ) පළකරන්න පුලුවන්ය, ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නෙ සාමාන්‍යයෙන් අපි කතා කරන්න පැකිලෙන මාතෘකා ගැන කතා කරන බ්ලොග් එකක්ය කියල,

මට ටැබූ හඳුනාගන්නට සහ ඒ මාර්ගයෙන් බ්ලොග් කියවීමට සහ ඉන්පසුව බ්ලොග් ලිවීමට, අවස්ථාව ලැබුනෙ ඉතාම අහඹු සහ අනපේක්ෂිත ආකාරයකටය කියල මම කලින් කිව්වෙ මෙන්න මේ නිසා.

මේ ටික මම ලිව්වෙ ඇත්තටම අද ටැබූ බ්ලොග් අවකාශයේ නැහැ, ආයෙත් ලියයිද නැද්ද කියන එකත්, කාලයට සහ වෙනස් වන තත්ව අනුව තීරණය වෙන දෙයක්.

ආයෙ ටැබූ ලිව්වත් නැතත් මට කියන්න තියෙන්නෙ, ටැබූ ඔබට ස්තූතියි, අප ඇත්ත වශයෙන්ම අවශ්‍යයෙන්ම සිතිය යුතු එහෙත් අප විසින්ම අප කෙරෙහි ස්වයං වාරණයන් පනවාගෙන ඇති තහනම් මාවත් ඔස්සේ අපේ චින්තනය යොමුකරවීමට ඔබ ගත් උත්සාහයට මගේ ගෞරව පූර්වක ස්තූතිය!

තවත් සොඳුරු සහෘදයකු වෙනුවෙන් සොඳුරු සිත ඉඩ ගත්
මම
රවී

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...