..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Monday, February 28, 2011

෴ පණිවිඩය / The Message ෴


සඳ යන්න එපා තරුත් එක්ක
ඉන්න ටිකක් මාත් එක්ක
ඔහුට යවන පණිවිඩයක් මටත් තියෙනවා

උස බිල්ඩින් උඩින් පේන
කාන්තාර මැදින් දිවෙන
පුංචි නිවසෙ ඔහු තනියම සිහින දකිනවා

ඒ සිහිනයෙ මාත් ඉන්න
බව නොදැනයි නුඹත් ඔන්න
නිවස ළඟම තනි රකින්න නුඹව යවනවා

කලකින් නැහැ ඔහු දකින්න
දුක සැප විමසලා එන්න
මා මෙහි නිදුකින් ඇති බව ඔහුට කියන්න

කවි පද ලියවිලා තියෙන
 පොත් පිටු නැති වෙලා ඔන්න
අලුතින් සිත හදා ගන්න ඔහුට කියන්න

පන්හිඳ  නැති වෙලා නොයන
මගෙ කඳුලින් පොවා ගන්න
නැවතුන කවි ලියා දෙන්න ඔහුට කියන්න

හෙට දිනයට උදා නොවෙන
මගෙ සෙනෙහස සදා දිලෙන
තරුවක් කර ඔහු  පෙනෙනා තැනක තියන්න

කවියක් කර  ගලා හැලෙන
ඔහුගේ සිත තලා නොයන
 සොඳුරු සිතක් ඈතින් ඇති බව පවසන්න


“I like to think that the moon is there even if I am not looking at it”

සඳ ට  තවරා , නුඹට සිත එවු 
මම
෴ සොඳුරු සිත ෴

Saturday, February 26, 2011

෴ සඳ නැති පුර පෝය ෴


ජීවිතය විඩාබරයි
සඳ නුඹත් බොහෝ දුරයි
නිදි නැතී දෙනෙත් බරයි
නුඹ ගැනම සිතයි දුකයි


ගවු ගනන් දුරින් ඉදන්
සිත් වලින් පෙරුම් පුරන්
වුන් කලත් ප්‍රියංකරයි
මිදී එයින් හිතත් බරයි

පෝය දාට විත් හොරෙන්

එඹී බලා සිනාසුනෙන්
බැන්ඳ පෙම් සිතත් අරන්
ගිහින් නැතේ යලිත් ඇවිත්

තරු සමඟ සිනාසෙමින්
නුඹ ගැනම සිතා සිටිම්
තව දිනක් උදා වුනොත්
නුඹ දකිනු රිසින් හිඳිම්

පෝය දා ඇවිත් යලිත්

සඳ නැතේ ඉඩක් අරන්
සඳ කොහේ ගියත් ඉතින්
ගිය තැනක සැපෙන් ඉදින්


“Shoot for the moon. Even if you miss, you'll land among the stars.."

 I miss the moon. . . ! ! 

සඳ මගහැරුන 
මම
෴ සොඳුරු සිත ෴

Friday, February 25, 2011

෴ නොමැකෙන සුවඳක් - A Lingering Fragrance෴

බලන බලන අත නව යොවුන් පෙම්වතුන්ය. තරුණ විය ඉක්මවන්නට ආසන්නව සිටින හෝ මැදිවියේ පෙම්වතුන් දකින්නට ඇත්නම් ඉතා අහම්ඹෙනි. සිටියත් ඒ “ හොර ලවු “ එකකි.

ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වන තැනම ඇත්තේ ළමා උයනයි. සෙල්ලම් ඔන්චිලි සහ ලිස්සන ලෑලි වල නැඟී සෙල්ලම් කිරිමට පුංචිපැටවුන් ගේ ඇත්තේ පුංචි සණ්ඩුවකි. බොහෝමයක් දරුවන්ගේ අම්මලා සිටින්නේ දරුවන් ගැන ඇස ගසා ගෙන නොව ප්‍රධාන ගේට්ටුවෙන් පොත් මිටියත් තුරුළු කරන් ඇතුළු වන යොවුන් පෙම්වතුන් ගැන ඇස ගසා ගෙනය. බොහෝ විට ඔවුන් දෙස බලා රවති.හඩ නොනඟා ගොරවති. ඇතැම් විටක අසල සිටින කෙනෙකුන් හා එක්ව අද කාලයේ හදන්න බැරි සමාජය ගැන දොඩන්නට පටන් ගනී.

මම ද , ප්‍රධාන ගේට්ටුව පේන තෙක් මානයේ වූ සිමෙන්ති බංකුවකට බර වී ගේට්ටුවෙන් ඇතුල් වන්නන් දෙස දෑස් දල්වන් සිටියෙමි.

එවර ගේට්ටුවෙන් ඇතුල් වූයේ සුදු හීන්දෑරි නමුදු ලස්සන පෙනුමැති යොවුවනයෙකි. ගේට්ටුවෙන් ඇතුලු වි මදක් නැවතී වට පිට විපරම් කර බැලූ ඔහු ගේ දෑස, හාත්පස සිසාරා විත් මා ළඟ නතර විය.ඔහු මා දෙස බලා සිනාසුනේය. මාද සිනාසුනෙමි. ඔහු මට ඉඟියෙන් පැවසූවේ මා ළඟ සිමෙන්ති බංකුවේ අසුන් ගෙන සිටින යොවුවනියට කතා කරන ලෙසයි. 

“ නංගි , ඔයාට කතා කරනවා “

ගේට්ටුව ළග රැදි තරුණයා දුටු වහාම ඇගේ වතේ නොයෙක් වර්ණ මල් රැසක් පිපී දිලෙන්නට විය.



“ තැන්ක්ස් අක්කා. මම යන්නම්“

ගේටුට්ව තෙක් ගොස් ආපසු හැරී මා දෙස බැලූ ඔවුන් දෙදෙනා මටද අතවනා පිටව යන්නට විය.



එවිටම වාගේ ඔහු ගේට්ටුවෙන් ඇතුල් විය.

යොවුන් පෙම්වතුන් දෙදෙනාගේ අත්වැනීම ඔස්සේ බැලු ඔහු මා දැක සිනා සී මා සිටි සිමෙන්තු බංකුව වෙත පැමිණියේය.



“ කවුද ඒ? අඳුරනව ද? “


“ නැහ් . .  මෙතන හිටපු විනාඩියේ හදුන ගැනීම තමයි. වාඩිවෙන්න.“


“ ම් ම් ම් . . . මෙතන !!!!“


“ ඔවු ඇයි හොඳ නැද්ද ? ඔයාට ඕනි කීවේ නිදහසේ පොඩ්ඩක් කතා කරන්න නේද ? “


“ ඒකනම් එහෙම තමයි. ඒත් ඉතින් .... අපි දැන් ඒ වයස පහු කරල. අනික අපි දෙන්න පෙම්වතුන් නෙමෙයි නෙ. යෝජනාවකින් හම්බවෙලා, ගෙවල් වලින් කැමැත්ත ඇතිව , තව ටික දවසකින් එක ගෙදරක ජීවත් වෙන්න යන දෙන්නෙක්“


“ ඉතින් “


“ ඉතින් , කියන්නේ , අපි දෙන්න වෙන තැනකට යමු “


“ වෙන තැනකට ! ! “


“ ඔවු , ඇයි බැරි ද? “


“ වෙන දවසක යමු. අද මෙතන මෙහෙම ඉදන් කතා කරමු.“


එවර ඔහු මා ආසන්නයෙන්ම සිමෙන්ති බංකුවේ වාඩි විය. බොහොම සුපුරුදු සෞම්‍ය සුවඳක් ඔහුගෙන් වහනය විය.


නාස් පුඩු අතරින් රිංගා , මොළයේ නියුරෝන සෛල අතරින් ගිය ඒ සුවඳ , මොළයේ ගබඩා වී තිබූ දහසක් සුවඳවල් අතරින් ගැලපෙන සුවඳ සොයමින් මොළය පීරන්නට විය.


මිහිරි මතක රැසක් සමඟින් පෑහුන සුවඳ මතකයට නැගෙන්නට වැඩි වෙලා ගත නොවීය. ඒ සුවඳ මා ජිවිතයේ ප්‍රථම වරට වින්දේ , මේ උද්‍යානයේම ඈත කෙලවර සිමෙන්ති බංකුව කදීය. ඒ සුවඳ මට දැනුනේ ඔහුගේ රැවුල් කොට සහිත කම්මුලට මගේ දෙතොල් ළං වූ විටයි.එදින සිට ඒ සුවඳ මතකයේ ගැඹුරුම තැනක තැන්පත් විය.

අද ඒ සුවඳම රැඳි , වෙනකෙකු සමඟ ඒ උද්‍යානයේම වෙනත් බංකුවක් මත සිටින බව සිහිවී නැඟුන උණුසුම් සුසුම නවතා ලන්නට මට හැකියාවක් නොවීය.


“මොනාද කල්පනා කරන්නේ.. ඉතින්....“ 

යැයි පැවසූ ඔහු , උකුල මත රදවා ගත් මගේ එක අතක් ඔහුගේ අතින් අල්ලා තදින් මිරිකන්නට විය. ඒ පහසේ වූයේ දැඩි නොඉවසිල්ලක් හා තද ගතියකි. එය මා විඳි සුවඳ හා ඒ හා බැඳි මතකයන් සමඟ කොහෙත්ම ගැලපෙන්නක් නොවීය. වහාම අත මුදවා ගත් මම.


“ මොකද මේ වෙලා තියෙන්නෙ, මෙතන පුංචි ළමයි ඉන්නවා“


“ ඒක තමයි මම කීවේ , වෙන තැනකට යං කියල, කොයි තරම් දේවල් තියෙද  අපි දෙන්නට බෙදා ගන්න “


මට වුවමනා වූයේ නිදහසේ කතාබහ කිරීමටත්, අදහස් හා එකිනෙකාගේ ප්‍රිය ගති ස්වභාවයන් විමසා දැන ගැනීමටත් , අත් වැල් පටලන් උද්‍යානය පුරා ගමන් කරන ගමන් අපේ අනාගතය ගැන ඔහුගේ අදහස් විමසා දැන ගැනීමත් , උද්‍යානයේ තිබෙන පුංචි අවන්හලෙන් උණුසුම් තේකක් බොමින් පවුලට එකතු වන දරුවන් ගණන ගැන උණුසුම් සංවාදයක් පැවැත්වීමත් වැනි පුංචි පුංචි කාරණා රැසකි.


නමුත් , මොහුට තියෙන තකහනිය අනුව , අදම දරුවන් සෑදීමට ද බැරි නැතැයි මට සිතෙන්නට විය.


ඒ ඔක්කෝටමත් වඩා . . . අලුත් වු පැරණි සුවඳ මගේ සිත පාරවන්නට විය. ඒ සුවඳ රැදි සොඳුරු මිනිසා වෙනුවට , ඒ සුවඳම රැගත් තද ගති ඇති අසංවේදි මිනිසකු මා අභියස නොයිවසිල්ලෙන් පසු වීම මගේ සිත දැඩි ලෙස කම්පා කරවන්නට සමත් විය.


සුවඳ විසින් අවුළුවන ලද මගේ සිත, දැඩි ලෙස කියන්නට වූයේ මොහු හා මගේ ජීවිතයේ ඉතිරිය ගත නොකළ යුතු බවයි.


“ ආහ් ලොකු ළමයො. එදා ඔය ළමයා අර ළමයගෙ හිත රිදෙන්න දෙයක් වත් කීව ද? නැත්තම් මේ තරහකාරයෝ මොනවත් කියල ද මන් ද? ඒ කටයුත්තට අකමැති කියල , ඒ පැත්තෙන් දන්වල එවල තියෙන්නේ.“


අම්මා පවසන්නට වූයේ ඇගේ සිත රැඳි දැඩි සෝකයකිනි. මා සිත ද එතරම්ම සෝකවන්නට ඇතැයි ඇය සිතනවා වන්නට ඇත. නමුත් මා සිත රැදි සතුට දන්නේ නුඹත් මමත් පමණි.


මා සිත නිතර සැරිසරන , නුඹ සුවඳ සමඟින් තවත් කලක් මෙසේ ගත වි යනු ඇත.

The best fragrance in the world is that emanating from the person you love,

සුවඳ දිගේ නුඹ සොයන
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, February 22, 2011

෴ ‍නො‍රොක් වීම / Bickering ෴


ඔන්න හොඳේ ... උදේම පුංචි පහේ බහින්බස් වීමක්...

ඇඳුමෙ පුංචි කහට පොදක්
එය දැකලා බැනුම් ගොඩක්
ඇදුමක්වත් හොද දෙන්න 
බැරිද මෝඩියේ

 කොපමණ දේ නුඹට කරත්
නැහැනෙ ඉතින් තුති පිදුමක්
 පොඩ්ඩක් මට බැරි වුනාම  
හඬ වැඩියි නුඹේ


මගේ ඇඳුම මට අගේය
නුඹ නම් මට හරි වදේය
 කෑම බිම මේසෙ උඩම
ගිහින් ඇල් වෙලා 

බඩගින්නෙන් ඔහු සිටී ද
මා කළ දේ වැරදි නේද
බිරිඳ තනිව නිවසට වී
සිතයි දුක් වෙලා

වැඩට ගියත් , නැහැනෙ සිතක්
ඇයට කළේ මා වරදක්
ඇඳුම දෙසත් රවයි ඉතින්
හිත නොරොක් වෙලා

දැම්ම ෂෝට් ලීව් එකක්
ගත්ත ඇයට මල් පොකුරක්
තවත් පුංචි ‍අරුමෝසම්
 ගොඩක් එක් වෙලා

ඔහු කැමතිම දේ හදලා
රසට කෑම මුසු කරලා
ඔහු වෙනුවෙන් සැරසුන ඇය
 සිටියි මඟ බලා

සමාවෙන්න අනේ ඔයා
මගෙන් වරද වුනේ මෙයා
මල් පොකුරත් සමඟ ඉතින්
හාදු පුද කරා

වරද මගෙයි සමාවෙන්න
මා කළ දේ වැරදි නේද
පළල් සුවැති පපුවේ
උණුසුමට ගුලි වුනා 


ආදරයත් එහෙම තමයි
ළඟ ඇති විට අගය අඩුයි
 අලුත් යුවල ලෙස දෙදෙනා
එකට ළං වුනා


In Love, Little Things Mean a Lot .....


රසට කෑම ඉවුව 
මම
෴ සොඳුරු සිත ෴



ප/ලි :- ඊට පස්සෙන්දා සැමියටත්  කලින් ගෙදර ආවේ අලුත්ම අලුත් රෙදි සෝදන යන්ත්‍රයක්. ඒත් ඒ බිරිඳ තවමත් ඔහුගෙ ඇඳුම් සෝදන්නේ තමන්ගෙම දෑතින්.... මොකද රෙදි සෝදන යන්ත්‍රය " සෙනෙහස" අඳුරන්නෙ නැති නිසා.

Monday, February 21, 2011

෴ කෝෂයෙන් පිට ෴




සමණළයෙක් වෙන්න ලොබින්
මාස ගනන් පෙරුම් පුරන්
වසර ගනන් ගෙවී ගොසින්
හිටපු තැනම මං

බිත්තරයෙන් පිටව ඇවිත්
කෝශ ගතව බොහෝ කලක්
සමණළයෙක් වෙන්න බැරිව
දුක් විඳිනව මං

 සොඳුරු සිහින බිදෙන බියෙන්
සමණළ තටු කැඩෙයි , දුකින්
තටු නොලබා දළඹු වෙසින්
අහිංසකයි මං



ජිවිතයක් සිතෙහි මවන්
එයට මුහුණ දෙන්න බියෙන්
 සිහින ටිකත් තුරුළු කරන්
 තවම එතන මං



“How does one become a butterfly?" 

"You must want to fly so much that you are willing to give up being a caterpillar.”


කෝශගතවූ සිහින සමඟ
මම
෴ සොඳුරු සිත ෴

Friday, February 18, 2011

෴ පමා වූ වැලන්ටයින් / Valentine Belated - Better Late Than Never, ෴

ආදරවන්තයින්ගේ දිනය පසු වී ගොසිනි. මගේ වැලන්ටයින් හමුවු අවසන් දිනය කවදාදැයි මතකයට නගා ගැනීම ද ඉතා අසීරුය. නමුත් අද උදෑසන ද මා ඔහුගේ දයාබර මෑණියන් බැලීමට රෝහලට ගියෙමි.

අප දෙදෙනා හමු වූ අපූරුවටත් වඩා ,අපූරු දෙය වන්නේ මෙතරම් කලක් අප ආදරයෙන් සිටීමයි. අවසන් හමු වීමේදී ඔහුගේ හිසෙහි ඔහු සැගවීමට තැත් කරන නමුත් ,සැම පරයා නැඟී සිටීමට වෙර දරන සුදෝ සුදු කෙස් ගසක් මා දුටිමි. එදින මා නිවසට පැමිණි වහා කණ්නාඩියෙන් පෙනෙන මගේ ප්‍රතිබිම්බය දෙස කෙතරම් වේලාවක් බලා සිටියා දැයි මටම මතක නැත. කේඬෑරි ද නොවන ඉතාම මහත ද නොවන දේහය එලෙසම පැවතුන ද , මුහුණේ වැටෙන සියුම් රැල්ලක සේයාව කෙසේ නම් සඟවන්න ද?

වැලන්ටයින්ගේ දිනය ණයට ගත් යොවුන් පෙම්වතුන් අත් දවටන් යන මාවත වුවද අප දෙදෙනාව ප්‍රතික්ෂේප නොකරනු ඇද්ද.

හදිසියේම සිතුවිල්ලට නැගුණු ආදර සිතුවිලි ප්‍රබල වූයෙන් ඔහු දැක ගැනීමේ ආසාව දරුණු වන්නට විය. අද සිකුරාදා දිනයයි. සමහර විට ඔහු අද සවස ගම්බිම් කරා පැමිණීමට ද හැකිය. ජංගමය අතට ගත් මා speed dial අංක එකට යොදා ඇති , නමුදු අඩුවෙන්ම ඩයල් වන ඔහුගේ අංකය ගනිම්දෝ නොගනිම්දෝයි දෙගිඩියාවක පසු වූයේ ඔහු සෑම විටම පාහේ කාර්ය බහුල වන බැවිනි. ජංගමයේ පුංචි තිරයේ එහා මෙහා දුවන හුරුබුහුටි කුඩා ළැදැරියගේ පින්තුරය අතරේ මා දෑස් දිවෙන විට ම

“ සරස වසන්තය ආයෙත් එනවා නම් “ ඒ මගේ රින් ටෝනයයි... ඇමතුම ඔහුගෙනි.

“  ඔයාට ෂෝට් ලීවී තිය ද ? “

“ ඇයි ? “

“ මම අද මේ හාෆ් ඩේ . මට ඔයාව මුණගැහෙන්න ඕනි “

“ හා හොඳයි. මාත් එන්නම්. එහෙනම් පුරුදු තැනට එන්න. පරිස්සමින් “


කෙටි නිවාඩුව ලබා ගැනීමට ගිය විටද ප්‍රශ්ණ වැලකි. එයින් අපහසුවෙන් ගැල වුන මා අත් බෑගය හා කුඩය ද රැගෙන මහ මඟට පීලි පැන්නෙමි.

පාසල් පොත් විකුණන සාප්පුවේ වීදුරු දොර අතරින් පෙනෙනා රතු පැහැති රෝස මල් මට සිහි කරවූයේ , තවමත් පහ නොවී ගිය වැලන්ටයින් උණුසුමයි.

පොත් සාප්පුවට ගොඩ වූ මම. රෝස මලක් ඉල්ලා ගත නොහැකිව ..... ලතවෙමින් සිට ඩයලොග් රී ලෝඩ් කාඩ් පතක් මිලට ගෙන කඩයෙන් පිට පැන්නෙමි.

බොහෝ දිනකින් ඔහු හමුවන අද වැනි දිනක හිස් අතින් යෑම ද කළ නොහැකිය.  නොදැන වුව ද පා එසවුනේ රෙදි පිළි මන්දිරයකටයි. 

ඔහු වෙනුවෙන් ගත් ලා නිල් පැහැති පසුබිමේ සිහින් තද නිල් ඉරි වැටුන වෑන් හුසේන් වර්ගයේ අත් දිග කමිසය මගේ සිත පුරවා ලන්නට සමත් විය. ටයි පටියක් තේරිමට ගිය මා ටයි පටි අතරේ අතරමං ව හිදිද්දි ටයි පටි අතරින් ගිලිහුන නෙත් රෙදි පිලිමන්දිරයේ පහල මාලයේ සාරි සහිත කොටසට දිවුවේ ගෑණු සිත නිසා වන්නට ඇත.

ඒ කොටසේ සාරි ගොඩක් අතරේ අතරමං වී ඇති ඔහු කවුද ? සිහින් සිනාවක් මුවඟට රැදුනි. සෙමින් තරප්පු පෙල බැස ගත් මා ඔහු වෙත ආසන්නවනවාත් සමඟම එක් වරම මා වෙත හැරුණු ඔහු.

“ ඔයා. . . . “ 

“ හ්ම් ... ඔවු මම තමයි. ඔය මහත්තය කාටද සාරි තෝරන්නේ. “

“ ඔය නෝනගෙ අතේ තියන කමිසය බලන්න දෙන්න බැරිද ටිකක් “

“ ආහා . . . ඒක ගත්තෙ මගෙ මහත්තයට “

නැවතත් විශ්ව විද්‍යාල අවධියට ගිය මාත් ඔහුත් පුංචි තේ කඩයකින් උණු උණු පරිප්පු වඩේ කා. දිව පිච්චෙන තේ දෙකක් තරඟයට බීවෙමු.

ඔහුගේ වත වෙහෙසින් බරවී ඇතත්. දිලිසෙන දෙනුවන පවසන්නේ නොසන්සිඳුනු ආදරය නොවේ ද?

සිනා ඟග කුමයෙන් නිවී ගොස්, දොඩමළු වත නිහඬ වු යාමයෙන් පසු එළඹියේ සංවේදි මොහොතයි. ඔහු මා වෙනුවෙනුත් ,මා ඔහු වෙනුවෙනුත් ගත් ත්‍යාග හුවමාරු වීමේදී මගේ නෙතට ඉනූ කඳුළක් රෑටා ගොස් ඔහුගේ ලැප්ටොපය සහිත බෑගයේ පතිත විය.

“ මේ . . .  ඉතින්  බලන්න ළමයො මා දිහා. මේ මම ඔයාට අරන් දෙන අන්තිම තෑග්ග.“ 

“ ආහ් ....“

“ මේ බලන්න. මේ වගේ තව එකක් ගන්න ඔයා හිතන්නවත් එපා තේරුනා ද ? “

බිමට නැඹුරුව තිබූ මගේ දෙනයන සැනකින් එසවුනේ ඔහුගේ මේ තේරුමක් නැති වචන මා සිත සසල කළ නිසා වෙනි.

ඔහුගේ අතේ වූයේ රන් මුදුවක් රැඳවු කුඩා නමුත් හැඩති ජුවලරි බොක්සයකි.

“ මම දන්නවා. ඔයාමා වෙනුවෙන් ගොඩක් ........................................“

“ ඇති අනේ ! “

“ ම්ම් . . . .  අපි කසාඳ බදිමු “

“ දැන් ! , “

“ ඔවු මේ දැන් ! , ඇයි මට කැමති නැද්ද දැන්  ඔයා. මම නාකි වෙලා නම් තමයි දැන්.  “

“ ආහ් ... හැබෑ ද? ඇයි මම කියල වෙනසක් “

“ හෙට උදේම අපි රෙජිස්ටර් කරමු . ඔයාට වෙඩින් එකක් ගන්න ඕනි ද? “

“ මට , ! ! එපා . .  මේ දැන් වුනත් කමක් නැහැ අපි ඔයාලැයි ගෙදර යමු“

“ අපෝ මෙයැයිට තියන හදිස්සියක් . මා ළඟින් ඉන්න ඔච්චර කැමති ද? “

“ හ්ම් .. ඔවු ගොඩක් . . . .“

මට දකුණු පසින් , සුසුම් වදින තරම් ළංව සිටි ඔහුගේ , උරහිසට බරවූ මම, මීට වසර ගණනකට පෙර විදි උණුසුමම රැදි ඔහුගේ පපුවේ කඳුළු පිරි මගේ වත සැගවූවෙමි. ඔහුගේ ආදරණිය ඇඟිලි තුඩු වල බර පහස මගේ හිසට දැනෙද්දී , පිටවු සිහින් ඉකිය වලකා ලීමට මට නොහැකි විය.

when valentine comes there is no such thing as being late ,
you are never ever too late to meet your valentine, ,
- Ravi Aiya-




වසන්තයේ අග සුවඳැති මල
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, February 16, 2011

෴ බලාපොරොත්තුව / Hope ෴


වෙ‍හෙසී කවි පද අකුරින් අකුරට 
ලීවත් හැඩ නැහැ පෙර වාගේ
ඒ තුල වුන් මා හද රැදි මිතුරෙක්
නිහඬව ගොස් වරදින් මාගේ

ලිවු ගී , කවි පද වදනින් වදනට 
සොයමි යමක් හිස් තැන් පිරිලා
හිස් තැන් පුරවන එක පදයක් 
නුඹ සමඟින් ඈතට ගොස් රැඳිලා

ආලය , රාගය , කාමය , ආසා
කිසි පදයක් නැත ගැලපෙන්නේ
සෙනෙහස අරගෙන සිටිනා තැනකින්
සමාව දී ආයෙත් එන්නේ


With you my heart will always stay. 
With you my thoughts will be every day. 
You remain to be the one that I regret letting get away. 
Why didn't I say what I needed to say? 
You are the one I will always use my wishes on. 
You are the one I will always wish was never gone. 
I'll constantly wonder what went wrong. 
I'll forever think of what I could've did that was never done.





හිස්
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, February 15, 2011

෴ සැගවුන උල්පත / The Secret Spring ෴

ඝන කැලෑ රොදින්
වට තුරු තිරයෙන්
වට වී සැඟවී 
තිබුනා

සීතලම ස්වරෙන්
පැහැදිලිම දියෙන්
පිරිසිදු උල්පත 
තිබුනා

නුඹ ඇයි සැඟවී
මේ ලෙසට ලොවෙන්
මදකට සිත
ලොබ බැන්ඳා

සැඟවී මෙලෙසින්
නුඹ පාන සෙනෙහෙ
කා හට දෝ 
මට සිතුනා







 පිරිසිදුම හදක්‍
වෙත බැන්ඳ සෙනේ
ලෝ දහමට පිටු පානා

පිපාසයෙන් ඒ ලොව මැරුණත්
දිය පොදක් දෙන්න බැරි වා

නෙත ඉනු කඳුළින්
නැත උල්පත නැවති
වනවැද සැගවුන පෙමිනා

 සැඟවී  සැනැහී
මුළු ලොවට හොරෙන්
ඔහු වෙනුවෙන්
දුක් වෙමි මා

“A sympathetic heart is like a spring of pure water bursting forth from the mountain side”


 නෙතක කඳුළු සීතල දිය දහර සමඟ
නුඹේ පිපාසයට පුද කරන
මම
෴ සොඳුරු සිත ෴


Thursday, February 10, 2011

෴ තාවකාලික සමුගැනීමක් / Temporary Farewell? ෴


සොඳුරු සිතට Writer's Block . . . . . .





සතියක හෝ දෙකක විරාමයකින් පසුව හමු වෙමු......


මාගේ මේ තීරණය දෙපාර්තමේන්තු ප්‍රධානීන් දෙදෙනකුගේ නොම ද පැසසුමට මෙන්ම. මගේ අධ්‍යාපන කටයුතු වලට ද රුකුලක් වේ යැයි සිතමි.

කවි ලියන්න ගී ගයන්න 
නේක වර්ණ රූ අඳින්න
සිතක තිබුන ආසාවල් නැතිව ගිහිල්ලා

සිහින් සිනහ රැළි නඟන්න
මතක අතර සැරිසරන්න
හිටපු අයත් සොඳුරු සිතින් මැකිල ගිහිල්ලා


ජීවිතයක් ඇදන් යන්න
ආයාසෙන් වෙර යොදන්න
පල නැහැ එය ජීවිතයක් නොවෙයි සිතීලා


මට පොඩ්ඩක් වෙලා දෙන්න
හිත ඩිංගක් හදා ගන්න
නැවුම් සිතින් ඉක්මනින්ම එමිය ගිහිල්ලා 

You will soon break the bow if you keep it always stretched.


විරාමයකට යන 
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, February 8, 2011

෴ මිනිසෙකුට ‍පෙම් කළ සුරඟන / The Angel Who Loved a Man ෴



මට ආසයි දුවල එන්න
ආ‍යෙත් ‍නොම හැරිල යන්න
සේපාලික මලක් ‍වෙලා
නු‍‍ඹෙ පය පාමුල නිදන්න

මට ආසයි නුඹ සිබින්න
හාදු ගඟක් පුද කරන්න
ඟග උතුරා ගලන විටදි
එහි ගිලිලා මිය ඇ‍දෙන්න

මට ආසයි ගී ගයන්න
නුඹ සිත සතුටින් තබන්න
සිත රැදි දුක මිටට අරන්
සක්වල එපිටට ‍හෙලන්න


මට ආසයි දිවි ‍ගෙවන්න
නුඹත් එක්ක පියාඹන්න
නමුත් ඉඩක් ‍‍කොහිද එවන්
පිහාටු නැහැ නුඹට ‍දෙන්න

සමහර වි‍ට  ඇයට ජිවිතය පරදුවට තියල  පිහාටු හලන්න වෙයි. .  නැත්තම් ඔහුටත් පිහාටු සොයල දෙන්න ‍වෙයි. . . 

" wishes are only granted in fairy tales."


පිහාටු නැති සුරංගනාවි
මම
෴ ‍සොඳුරු සිත ෴

Monday, February 7, 2011

෴ බැන්ක් ස්ලිප් - රමණී සහ The Reader ෴

"රමණී " අයියෝ ... වැරදි.
 ඔයාට ‍ගැට ණයන්න ලියන්න බැරි නම් පොඩි නයන්න ලියන්න
"රමනි" මෙන්න මෙහෙම.  

මේ  මගේ නම වස්සලා. ( මා කුඩා අවධියේ ,මගේ නම කොතෙක් කියා දුන්න ද ලීවේ මෙලෙසිනි )

ලියන්න ඉතින් . ඉක්මනට ලියන්න සෙල්ලම් කරන්න යන්න.

සය හැවිදිරි මා ,මට වඩා වසර දෙක තුනක් පමණ වැඩිමහලු නමුත්, තමන්ගේ නමවත් ලියන්නට නොදන්නා  අපේ නිවසේ මගේ පාලුවට, සෙල්ලම් කිරීමට තාත්තා කොහෙන්දෝ ,රැගෙන විත් තිබුන රමණිට , ඇගේ නම ලියා ගන්නට උදවු කළෙමි.

හිටපු ගමන් දිනෙක පැමිණෙන ඇගේ පියාට මගේ මව මුදල් නෝට්ටු කිහිපයක් දෙනු මා දැක ඇත.මා ඒ ඇයි දැයි ඇසු විට ඒ රමණීගේ පඩිය බව මගේ මව පැවසූ අතර ඇය කරන රැකියාවක් නම් මා නොදනිමි. ඇගේ එකම කාර්ය මා පාසල් ගොස් පැමිණෙන තෙක් මඟ බලා හිඳීමත්. රෑ කළුවර ගෙට ගොට වී අම්මා කෑගසන තුරු සෙල්ලම් කිරිමත් පමණි. 


1987 අගභාගය සමයේ ළමා මෙහෙකාර සේවය පිළිබඳ නීති රීති නොතිබෙන්නට ඇත. ඒ‍සේ තිබුනා නම් රමණීව තාත්තා අ‍පේ නිවසට ‍ගෙ‍නෙන්නේ නැත.

අකුරු නොදන්න ඇය නම ලිවීමට ඉගෙන ගත්තා පමණි. දෙවන පාඩමට එලබෙන්නට පෙර මාගේ පියාට ලැබුන ස්ථාන මාරුව නිසා ඒ ගම රට මෙන්ම රමණිවද හැර පියා එන්නට මට සිදු විය.


නමුත් මෑතකදී මා නැරඹුව The Reader සිතුවම් පටයේ ඇතුම් රූප රාමු අතරින් ඇගේ රුව පෙනී නොපෙනී යන්නට විය. 

මෙනුපත කියවා ගත නොහැකිව විටෙක අසරණ වන ඇය තමන්ට ලැබුන උසස් වීමද මඟ හැර යන්නීය. නමුත් අහඹුවෙන් හමුවන පහළොස් වියැති යෞවනයකුගේ ( Michael Berg ) ආකර්ශණයට ලක්වන ඇය ( Hanna Schmitz )මෙතෙක් කියවීමට නොහැකි වූ පොත් තුල වූ ජිවිතය විඳින්නට ගන්නා අතර එම යෞවනයා ඇගෙන් ජීවිතය විදින්නට ගනී. 

මොවුන් දෙදෙනා අතර පවතින බැඳීම “ ආදර බන්ධනයක් “ ලෙස මා නොදකිමි. සැබැවින්ම එය ආදර බන්ධනයක් නම් ඇය සිරගත වී සිටි කාලය නිමා වී නැවත වෙනස්ම සමාජයකට පා තබන දින ,ඔහුගේ සෙවනට ඇයව ලංකර ගැනීමට බිය වූයේ ඇයි. යෞවන අවධියේ දී මෙසේ කී ඔහු මැදිවිය ඉක්මවන විට බොහෝ වෙනස් වී නොමැති ද?
I'm not frightened ,
Im not frightened anything.
The more I suffer , the more I love.
Danger will only increase my love .
It will sharpen it.
It will give it spice .
I'll be the only angel you need.
You will Leave life even more beautiful than you entered it.
Heaven will take you back & look at you & say
"Only one thing can make a soul complete, and that thing is Love.


ආදරය කවදත් එහෙමයි. හරි ඉක්මනින් වෙනස් වෙනව. 


ඒත්  සාක්ෂරතාවය. එහෙම නැති වෙන දෙයක් නෙමෙයි. The Reader හි Hanna Schmitz සහ රමණිලා බොහොමයක් මුණ ගැහෙන අවස්ථාවක් තමයි බැංකුව සහ රජයේ ආයතන .රජයේ ආයතන වල මහජනයාට පිරිවීමට ඇති ආකෘති පත්‍ර සමහරක් සංකීර්ණ වීම ඇත්තටම සාමාන්‍ය ජනයාට කරන අසාධාරණයක්. ඒ හැරුණම තොරතුරු ලබා ගැනීමට ඇති සරල ආකෘති ද පුරවගන්න බැරි අහිංසක නූගත් මිනිසුන් අදටත් ඉන්නව. 


රාජකාරි කටයුතු සඳහා බැංකුවට ගියාම මුහුණ පාන්න වෙන ප්‍රධාන ගැටළු දෙකක් තමයි, අත රැඳි කාබන් පෑන බේර ගැනීම සහ අනුන්ගේ බැංකු ස්ලිප් පුරවන්නට සිදු විම. ( ඔබ සිටින නගරයේ මෙය වෙනස් වෙන්න පුලුවන්. ඒත් මම ජිවත් වෙන පුංචි ගමේ මේ තත්ත්වය බහුලයි ) කාබන් පෑන නම් දුන්නොත් හම්බෙනවා බොරු. ඒත් “අනේ පුතේ කණ්නාඩිය ගේන් බැරි වුනා “ “ අනේ ,මිස් මේක පුරවල දෙනව ද?“ යන ආයාචනාත්මක වදන් වලට කවදාවත් මා පිටු පාන්නෙ නම් නැහැ. ( හැබැයි පෑන නම් දෙන්න බැහැ කියල මම බොහොම කාරුණිකව කියනව. පෑන ආපසු ලැබුනත් ලැබෙන්නේ ක්ලිප් එක නැතිව නැතිව නම් පෑන එයාටම තියා ගන්න කියනව )


The Reader හි Hanna Schmitz සිරගෙයට නියම වන්නද බලපාන්නේ ඇගේ සාක්ෂරතාවය සහ ඇයට ලිවීමට කියවීමට නොහැකි බව පිළිගැනීමට හා හෙළිකිරිමට ඇති නොකමැත්ත නෙමෙයි ද? 


The Reader හි ප්‍රධාන නළු චරිතයට ( Michael Berg) මා ගෞරව කරන අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි (ප්‍රධාන නිළිය /Hanna Schmitz ) සිරගත වී සිටින විට ඇය කැමති , නවකතා හඩපටිවල කවා ඇයට ලැබෙන්නට සැලැස්වීම සහ චිත්‍රපටය අවසානයේ ඔහුගේ දියණියට තම ජීවිත කතාව කියන්න තරම් ඔහු අවංක වන අවස්ථාව.

හඬපට වල උච්චාරනය වන ස්වර හා වචන අනුසාරයෙන් ලිවීමට ඉගෙන ගන්නා Hanna Schmitz න්  Michael Berg ට යවන ඉතාම කෙටි ලිපි වලටවත් පිළිතුරක් යවන්න තරම් Michael Berg ගේ සිත නැමෙන්නෙ නැති හැටි.( ඔහුගේ සිත ඒ අවස්ථාවේ ව්‍යාකූළ වෙනව. පිරිමින් තේරුම් ගන්න ඇයි මේ තරම් අමාරු )

කාර්යාලයේ ද සාක්ෂරතාවය නැත්තවුන් බලපාන ප්‍රශ්ණ දිනෙන් දින සමනය වන අයුරක් නොපෙනෙයි. ඒ පරිගණක සාක්ෂරතාවයයි. දැන් රජයේ කාර්යාල වල යතුරු ලියන්නන් / ලියන්නියන් නැත. ලඝු ලේඛිකාවන් නැත. යතුරු ලියනය සියුමැලි ඇඟිලි පහස නොලබා මුලුගැන්වී ඇත. සැවොම කළමණාකරන සහකාර නම් එකම කැටගරියකට ගොනු කර ඇත. එබැවින් තමන්ගේ ලිපිය හෝ වාර්තාව තමා ම සකසා ගත යුතුය. එහිදී බොහෝ විට අසරණ වන්නේ ජේස්ඨ නිලධාරීන්ය. ඊ-මේලය ඕපන් කර ගත නොහැකිව තැවෙන ඉහල නිලධරුවන් මා දැක ඇත.

මෙයට පිළියමක් ලෙස ICTAD ආයතනයේ මැදිහත්වීමකින් රජයේ සේවකයන්ට නොමිලයේ ඉතා වටිනා පරිගණක පාඨමාලාවක් ලබා දුන් නමුදු එයින් ප්‍රයෝජන ගත්තේ අතලොස්සකි. 


තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

විචාරයක් කියල හිතන්න එපා. කවියෙන් , කතාවෙන් මිඳිල ලෝකය දකින්න මට ඕන වුනා. ඒකයි මේ වෙනස . අඩු පාඩු බොහොමයි. පෙන්වා දෙනවා නම් කැමති.

වෙනස් යමක් ලිවීමට සිතූ
මම
෴ සොඳුරු සිත ෴

Sunday, February 6, 2011

෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( IV කොටස )

අවසානය. . . . ..  .. . . . .
෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( I කොටස )
෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( II කොටස )
෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( III කොටස )

මගේ සැමියාත් සමඟ ශ්‍රී ලංකාවෙන් බැහැර වූ පසුව මගේ හිතාදර යහළුවා  පිළිබඳව කිසිම හෝඩුවාවක් මට ලැබුනේ නැත. ක්‍රමයෙන් ඔහු ගැන මතකය සිහිනයක් මෙන් බොඳ වී යන්නට විය. ඔහු විවාහ වූ බව පසුව මගේ යෙහෙලියක් ඊමේලයක් මගින් දන්වා තිබුනි.

නමුත් එක් දිනක් ඊමේලයක ඇමුණුනු පින්තූර පෙළක් නිසා , එතෙක් හදපතුලේ ඇනී තිබූ කටුවක වේදනාව යලිත් අලුත් වන්නට විය. මගේ හිතවත් මිතුරියගේ පොඩි පුතුගේ උපන් දින සාදයක, කාච සටහන් වූ එහි ,තිබූ ප්‍රතිබ්ම්භ , විසිවයස් තුවාලය නැවත පාරන්නට හේතු වේ යැයි මම සිහිනෙන් වත් නොසිතුවෙමි.

එදා මෙන්ම අදත් ඔහුගේ එක් අතක රැදි ගිටාරය මෙන්ම අනිත් අතක රැඳි උතුරන මධු බඳුන ද ඔහුගේ ජීවිතය පිළීබඳව හෙලි කරන සලකුණු වැන්න. ඒ සියල්ලටම වඩා ඔහුගේ රුව මා හද කම්පා කරවන්නට සමත් විය.

ශේෂ වු රුව තුලින් මේ ඔහු යැයි හදුනා ගත්ත ද ? ඔහු වසර ගනනකින් වැඩිපුර මහලු වී ඇති සෙයකි. ඔහුගේ සෑම ඉරියවුවකම රැඳි දුක වේදනාව මා සිත පාරවන්නට වූයේ මාද එහි හවුල්කාරියක ලෙස හැඟුනි බැවිනි.

දිගින් දිගමට මාගේ යෙහෙලිය සමඟ වූ ඊමේල් ගනු දෙනු මගින් ඔහුගේ ජීවිතය විවරණය කර ගන්නට මට හැකි විය. අසාර්ථක යුග දිවියකින් පසු අයාලේ යන ජීවිතයකට හුරු වූ ඔහු තරුණකාලයේදීටත් වඩා මධුවිතට ලොල් වි ඇත බව දැන ගතිමි. විටින් විට විවිද හේතු නිසා රෝහල් ගතවී ඇති ඔහුගේ ජිවිතය අද නැත්තම් ළඟදිම එන හෙට දිනයේ  අවසන් වන බව දැන ගත්තෙමි.

එදා සිට මට උවමනා වූයේ ඔහුව මොහොතකට හෝ දැක ගැනීමයි. උණ රෝගයෙන් විකාර වූ අයකු සේ ගෙවුනු දින කිහිපයකට පසුව පුංචි දියණියත් සමඟ ලංකාවට පැමිණෙන්නට හැකි විය. රාජකාරි බහුල වූ සැමියා පසුව පැමිණෙන බවට සපථ විය. නමුත් මාගේ හදිසි ලංකාගමනය ඔහුට ද පැනයක් වූ බව පෙනෙන්නට තිබුනි.

හදිසියේ පැමිණියත් , දකින්නට කැමති ඔහු වෙනුවෙන් සියල්ලක්ම මා සූදානම් කර ගතිමි. ඔහුගේ ප්‍රියතම වර්ණය පවා මට මතක තිබුනි. 

බඹා කෙටූ හැටි පොතේ ධම්මි-සුගත් හමුවට වඩා, එක්ටැම් ගෙය චිත්‍රපටියේ මාලනි - රවින්ද්‍ර හමුවට වඩා මේ හමුව වෙනස් වන බව මා කෙසේ කියම් ද?

මා පැමිණෙන විට ඔහු යළිත් වරක් රෝහල් ගත වී තිබුනි. සාත්තුවට හෝ ඔහු බැලීමට පැමිණි කෙනෙක් නම් නැති. මා මගේ කුඩා දියණියද කැටුව ඔහු දැකීමට ගියෙමි.
ඔහුගේ මුහුණෞ මා දැකීමෙන් ඇතිවූ ආලෝකය මා සිත දවා හරින්නට සමත් විය. ඊළඟ දිනයේ මා ඔහු බැලීමට ගියේ තනිවමයි. ඔහුගේ රෝගී සිරුර , රෝගි සයනයේ මදක් උස් කල කොට්ටය මතට වාරු කල මා , ඔහු ළගින්ම සුසුම් වදින තරම් දුරින්ම වාඩි වූයෙමි.

පැවති නිහඬතාවය බිදින්නට මට වුවමනා විය.

“ ඔයාට මේ මොකද වුනේ “

“ වෙන්න තියෙන හැමදේම වුනා “

“ මට ජිවිතේ පෙන්නල , ඒ ජිවිතෙන්ම ඔයා පැනල යන්න හදන්නෙ ඇයි ? “

“ මෙච්චර කල් මාව බලන්න ආවේ නැත්තෙ මොකද ? “

“ මට ඔයාව  . . . . . . .මට ඔයාව අමතක වුනා “

“ මම මගේ ජීවිතේම හොරුන්ට ගෙනියන්න දීල බලන් හිටපු මිනිහෙක්  “

එක් වරම මගේ උරහිස මත හිස තබා ගත් ඔහු පොඩි දරුවෙකු මෙන් ඉකි බිඳිමින් හඬන්නට විය. මට කළ හැකි වූ එකම දෙය නම් හැලී යමින් තිබුන ඔහුගේ හිස කෙස් අතරින් මගේ ඇඟිලි තුඩු මෙහෙය වීම පමණි.

ඇති තරම් හැඬූ ඔහු දැඩි වෙහෙසට පත්ව නිදන්නට විය. එදා මුළු රැයම මා ඔහු වෙනුවෙන් ඔහු ළඟ සිටියෙමි. පසු ගිය වසර විස්සටම හරියන ලෙසින් ඔහුගේ වත බලා ගත්තෙමි. නෙතින් ගැලූ කඳුළැල් උණුසුම් කොට්ටයට වැටී සැඟවි යන්නට ඉඩ දුන්නෙමි.

හෙට අළුයම වන විට මා ඔහු වෙත යා යුතුය. ඔහු මගේ සැමියාය ,එතකොට මොහු. මොහු වෙනුවෙන් මගේ හදවත මෙතරම් වේදනා දෙන්නේ ඇයි?

මම චපල සිතැති ගැහැණියක් ද ?

අළුයම් යාමයේ ඔහුගේ සුවඳ රැඳි උණුසුම් පපුවෙන් හිස එසවූ මා දෙවරක් නොසිතාම රෝගී කාමරයෙන් පිටවූයේ මා දැවෙන හදවත ඔහු හිස රැඳි කොට්ටය පාමුල ඔහුගේ තනියට තබමිනි.



 

උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්


මා චපල ගැහැණියක් ඔබ සිතනු ඇත. 

එහෙත් මා , මා ගැන සිතන්නේ  . . . .

ඔහුගේ මළ ගමට සභාගි නොවන, ඔහුට මෙලොව වඩාත් ආදරය කරන ගැහැණිය
මම
෴ සොඳුරු සිත ෴
 ලෙසිනි .

Saturday, February 5, 2011

෴ මට දැනෙනවා ෴

මට දැනෙනවා. . . ඔව් . . . හිතට හරිම මිහිරි හැඟීමක් දැනෙනවා. මටත් කවුදෝ කෙනෙක් ආදරේ කරනවා කියල මට දැනෙන්න පටන් අරන්. ඒ කවුද කියල මගෙන් අහන්න එපා. මොකද මමවත් දන්නෙ නැහැ ඒ කවුද කියල.. . . ඒත් මට දැනෙනවා.කොහේ දෝ ඉඳන් කවුද මා දිහා බලන් ඉන්නව වගේ. මා ගැන සොයල බලනව වගේ. මා ගැන හිතනව වගේ. කොටින්ම මට ආදරය කරනව  වගේ.


තමන් වෙනුවෙන් ලෝකේ කොහේ හරි තැනක කෙනෙක් ඉන්නව කියල හිතෙන එක කොයි තරම් සොඳුරු හැඟීමක් ද?

ඒත් ඒක හීනයක් නම් කොච්චර භයානක හීනයක් ද?
 
මේ ලෝකේ මොන ජගතෙක්ටවත් තනියෙන් නම් ඉන්න බැහැ. තපස් රකින්න කැළේට ගිය තාපසයෙක්ට වුනත් ඒක ඔට්ටුයි.

ඒකට හේතුව තමයි. අන්යෝන්‍ය බැදීම් කියන දේවල් පණ තියෙන හැමකෙනාටම පොදුයි. ගස්වැල් , සතාසිවුපාවා , මනුස්සය කවුරුත් එහෙමයි.


මිනිස්සු සතාසිවුපාවට වඩා වෙනස් වෙන්නේ බැඳීම් වලදී මානසික බැඳීමක වටිනාකමක අගය දන්න හඳුනන නිසා. නැත්තම් ඉතින් අද හමුවුනා , හෙට වෙන් වුනා දුකක් නැහැනෙ. බලාපොරොත්තුවකුත් නැහැනෙ.


පිනි වැටිලා දළු කොළ අග්ගිස්සේ 
රන්වන් පාටින් දිලිසෙනවා
කිචි බිචි සද්දෙත් අමුතුම තාලය
කණ් පතුලෙන් හද අමතනවා

කෙහෙදෝ සිට විත් කුරුළු ජෝඩුවක්
කුඩු තනන්නට වෙහෙසෙනවා
ලගඳිම දවසක සුබ පණිවිඩයක්
එන බව මඟ සලකුනු දෙනවා

මා ගැන හිතමින් ලොව තනිවෙන්නට
සිතපු සිතුම් වැල් ගිලිහෙනවා
මා වෙනුවෙන් කවුරුද අර ඈතින් 
හිමිහිට මේ පැත්තට එනවා

ජිවිතයට ආ මඟ නොව 
හැර යන මඟ සුන්දර වේ නම්
ආදරයක් එකතුව නෙක පාටින්
පාට කරන්නම් ජීවිතයක්


Nobody wants to be lonely
Nobody wants to cry
Time is precious and it’s slipping away
And I’ve been waiting for you all of my life
Nobody wants to be lonely so why
Why don’t you let me love you

Can you hear my voice
Do you hear my song
It’s a serenade
So your heart can find me
And suddenly your flying down the stairs
Into my arms, baby

Before I start going crazy

Run to me, run to me
Cause I’m dying


අහල බලන්න . . . .

 

මම කවුද කියල අදනම් මම ලියන්නෙ නැහැ. මොකද අද ඉන්නෙ මම නෙමෙයි වෙන කෙනෙක්.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...