ඇය තම ප්රාථමික වර්ගයේ ජංගම දුරකතනය අතට ගෙන වේලාව බැලුවා. හ්ම් . . . . දැන් පැයකටත් වඩා පරක්කුයි.තව ටික වෙලාවක් බලමු. ඇය තමන්ටම කියා ගත්ත. කඩල ගොටු දෙකකටම මේ වන විට ඇය වග කියල ඉවරයි. අයිස් ක්රීම් දැන්ම කන්න බැහැ. ඇයට හිතුන.
එහා මෙහා දුවපු ඇස් දැක්කෙ පුංචි වුන් රොත්තක් සරුංගල් අරින හැටි. ඒ පැත්තට යන එක මෙතන තනියෙන් කාලය කනවය වඩා හොඳ බව ඇයට සිතුනෙ පිරිමින් කිහිපදෙනෙකුගෙම ගිජු නෙත් ඇය වෙත යොමු වන බව ඇයට දැනුන නිසා.
ඉඳහල්ලකො. . . හැබැටමයි . ..පැය 25ක් තිබ්බත් එයාට නම් මදි. මම නම් ආයෙ එන්නෙ නැහැ නැහැමයි. ඇය මෙසේ සපථ කර ගත්තෙ කීවෙනි පාරට ද කියල ඇයටම මතක නැහැ.
ඇය කොහොම හරි හරි ඉක්මනින්ම පුංචිවුන් රැනත් එක්ක යාලු වුනා. ඇයට කොහොමත් පොඩි දරුවන් එක්ක යාලුවෙන්න ඒ හැටි වෙලාවක් යන්නෙ නැහැ. සරුංගල් අතරින් නූල කඩන් ගියපු සරුංගලේම ඉල්ල අඩ අඩ හිටපු පොඩි එකෙක්ව හේ කර ගන්න අතරේ කවුද ඇවිත් ඇයට කතා කළා.
“ එහෙනම් මම යන්නද නෝන, මම නැතිවුනාට නොනට පාලුවක් නැහැ වගේ “
“ මෙන්න මෙයා ඇවිල්ල. කොයි වෙලේද ආවේ “
“ අපි ආපු වෙලාවල් දකින්නෙ කොහොම ද? “
“ ඇයි එහෙම කියන්නේ .මම ඇවිත් කොච්චර වෙලාද දැන් පැය දෙකකටත් කිට්ටු “
“ මම ඇවිත් පැය කාලක් විතර ඇති , ඉතින් දැන්වත් එනව ද මොන්ටිසොරියෙන් “
ඔහු ඇයට දුන්න චොකලට් එක තාමත් ගිරිය පුප්පගෙන අඩන පොඩි එකාට දුන්න ඇය , ඇඩුම නතර කරපු පොඩි එකා දිහා සිනාවෙන් බලා හිටපු මූණින්ම ඇය ඔහු දිහාට හැරුන. ඔහුගෙ මුහුණ නොක්කඩු ගොඩකින් පිරිල.
පොඩි එකාට ටටා බායි කියපු ඇය ඔහුගෙ අතින් අල්ලන් වෙරල දිගේ ඈතට ගියා.
“ මොකද අනේ මේ. හරිනම් මමයි මුණ ලොකු කරන් ඉන්න ඕනි.“
“ ම්ම් “
“ චොකලට් කන්න හොඳ නැහැනෙ . මම තව මහත් වේවි “
“ ම්ම්“
“ අපි කඩල කමුද ? ඇඟටත් හොඳයි .පෝෂණයයි “
“ ම්ම් “
“ මොකද අනේ . . . බකමූණෙක් වගේ “
“ ම්ම් “
ඒ වෙන කොට දෙන්නම ඇවිත් තිබ්බෙ වැටකෙයිය ගාලක් ලඟට. කවුරුවත් පේන තෙක් මානෙක ඇත්තෙත් නැහැ. ම්ම්ම් .. . . . . .
“ කපටි කෙල්ල. ඕව තමයි කෙල්ලන්ගෙ 64 මායම් “
“ ආහ් එහෙම ද? , එහෙනම් මම ආයෙ මායම් නොදා ඉන්නම් කෝ ‘
“ ඒව කොහෙද මට තව මායමක් ඕනි“
ඔහුගේ තුරුලින් මිදුන ඇය ඔහුගෙන් ඈතට දිව ගියේ , හරිම ආදරණීය බැල්මක් ඔහු වෙත හෙලන ගමන්.
ආදරය කොයි තරම් සුන්දර ද? ඒත් ඒ හැමදාම මුණ ගැහෙන කතා බහ කරන ආදරය විතරයි. විවාහ වෙලා ළමයි එකා දෙන්න එකතු වුනාම ඇත්තටම ඒ ආදරේට මොකද වෙන්නේ.
මට එහෙම හිතුනේ සරත් විජේසූරිය මහත්තයගේ “ සිතක වෙහෙස “ පොත තුන් වෙනි සැරේටත් කියෙවුවට පස්සෙ.
සරත් විජේසූරියගෙ
ආදරය දැනෙන්න ජිවත් වෙන්න
ජීවිතයට ගරු කරන්න
කියන පොත් දෙකට පස්සෙ කියෙවුව පොත තමයි සිතක වෙහෙස.
ඒ පොත කියෙවුවම හිතෙනවා මිනිස්සු ඉන්නෙ මොන තරම් මානසික පිඩාවන් වලින් තෙරපිලා ද කියල. හැමදේම තිබ්බත් නැති එකම දේ ආදරය.
ඩෙස්මන් මොරිස් ගෙ පොතේ හැටියට නම් ඒකාකාරි ජීවිතය ට අකමැති වෙන්න හේතු තියෙනවා තමයි. ඒත් අපි පවුලක් වෙන්නෙ තනිකම නැති කරල දාලා උණුසුම් ආදරය විඳින්න . ඒ පවුල ඇතුලෙම හුදකලාවෙන මිනිස්සු දැක්කම මේ තනිකඩ ජීවිතය කොයි තරම් හොඳද කියල මට හිතෙනවා.
කොහොම නමුත් දැන් මට ඒ පොත් ගෙදරට ගෙන ඒම සම්පූර්ණ තහනම්. ඒ පොත් බලන්න ඕනි තනිකඩ අය නෙමෙයි කියන්නේ. ඒ පොත් බලන්න ඕනි විවාහක මිනිස්සුලු. නැත්තම් තනිකඩ අය ඒ ගැන පරතෙරටම හිතල විවාහ වෙන්නෙ නැතිව ඉන්නවලු. හරියට මේ ලියන කෙනා වගේ....
ඒ පොතේ අන්තිමට තිබ්බ මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ කවියක් තමයි මේ.
සඳ වතුර මහ පොළව සිප වැළඳ සැඳෑවක
ඔබෙ ඇසට එබී මම සෙවුයෙමි ය මගේ රුව
ඔබෙ දැස තුළ ම මා රුවා ගෙන ගියෙන් ඔබ
එදා රැය පහන් විය පා වෙමින සිහිනයක
ඒ මොහොතෙහි ලොවෙහි පෙම් සිරි අසිරි කියන්නට
පසක් විය එකද පෙම් කවක් හෝ නොමැති වග
*******************************
ජිවිතය දොම්නසින් වෙළුණ මැදි වියේ අද
මගේ ඇස විසිව ඇත ඔබෙ නෙතින් බෝ ඈත
අපේ රූ සොයා ඔබ පිහිනාය මි විතක
මම වැතිර හිඳින්නෙමි සිහින නැති දිගු රැයක
ලොවෙහි පෙම් සිරි කියූ කව් ගීත නළු සියල්
පසක් වෙයි පෙමට වැඩියෙන් බොහෝ මහරු වග
ඒත් මේ පහත ගීතයේ කියවෙනව වගේ ආදරයක් මටත් හිමිනම් කියල මම හිතපු වාර ගනන නම් අනන්තයි.
අහල බලන්න . . . . මම මේ ගීතය ඉස්සෙල්ලම ඇහුවේ. මම ගොඩක් කැමති කෙනෙක්ගේ රිං ටෝන් එක විදිහට ......
Love is holding hands in the street. Marriage is holding arguments in the street.
ජීවිතය නුඹෙන් දැන , නුඹට ආදරය කරන
මම
෴ සොඳුරු සිත ෴










