
" සලාං . . . . . . . . .! ! ! !."
මෙතෙක් ප්‍රීතියෙන් පිනායමින් සිටි පුංචි සිත් , එක මොහොතකින් කළු වළාවකින් වසා දැමීමට ඒ විශාල මිහිරි සද්දයට හැකි විය.
පොඩිවුන් එකිනෙකා ,එකිනෙකාගේ මුහුණු බලන්නට වූයේ , නපුරු සිහිනයකින් සිහි එළවා ගන්නට මෙනි. නඩයේ සිටි ශරීරයෙන් තරමක් විශාල නමුත් වයසින් නොමේරු එකෙකු හඬමින් දුවන්නට වත්ම , අනිකුන්ගේ සිත් ද දුවන්නට ම අර අදින්නට විය.
“ එකෙක් දුවන්නෙ නැහැ ! ! ! ! “
හඩ නැගුවේ නඩේම එකෙකි.
“ යකෝ මේක හරි වැඩක් නෙව. තොපි එකෙක් වත් මයෙ බොලෙ අරන් නොදි මෙතනින් හෙම යනව නෙමෙයි ඕං හරිය “
නඩයට අලුතින් එකතු වූ , ගමට අලුතින් ආ අමුතු පවුලේ කට සැර කොළුවාගේ හඬින් පුංචිවුන් තව තවත් අසරණ වන්නට විය.
“ අපි යමු අයියේ . . . . මට බයයි. “
පුංචි සමීර අයියාගේ කමීසයෙන් අදිමින් පවසන්නට වූයේ අඩන්නට ඔන්න මෙන්න වූ ඇස් . . . චන්ඩියාගෙන් ඉවතට නොගනිමිනි.
“මොකො බොල කුටු කුටු ගාන්නේ ? “
සමීර දෙස රවා බැලු චන්ඩි කොල්ලා. ඔවුන් දෙදෙනා වෙත ලං වත්ම, බියෙන් ඇලලි ගිය සමීර , අයියට මුවා වෙන්නට විය. ඒ සුනංගුවෙන් ලත් අවසරයෙන් , අනිත් කොළු කුරුට්ටන් , දිව යන්නට විය.
“ කොහෙ ද බොල තොපි දුවන්නේ , හොඳයි බලාගනිව්, තොපි එනව හෙම නෙමෙයි මේ පිට්ටනියේ ආයෙ සෙල්ලම් කරන්න “
ප්‍රමාණාවත්තරම් ඈතට දිව ගිය කොළුරැල “හූ “ හඬ නඟන්නට විය.
“ හූ . . . . ! ! ! , හූ . . . ! ! ! හූ . . . . . . . . . . .! ! ! “
“ යකෝ . . .ව් . . . . තොපි වරෙව් කෝ ආයේ . . . “
කෑගසන උන් කෙරේ තම කෝපය පල කළ ද , ඔවුන් පසුපස නොදිවු චණ්ඩි කොල්ලා , තවමත් තමන් ළඟ සිටින අහිංසකයන් දෙස බැලූවේ , ඔවුන් දවා හළු කරන නෙතිනි.
“ අයියා . . . . . “
පුංචි සමීර තව තවත් අයියාට තුරුළුවන්නට විය.
“ තොපි දෙන්න හෙල්ලෙන්නෙ නැහැ. වරෙව් යන්න මාත් එක්ක “
“ කො කො . . . කොහෙ යන්න ද ? “
වියළි ගිය තොල කටට නඟාගත් ප්‍රාණයෙන් සමීරගේ අයියා අසන්නට විය.
“ වෙන කොහෙ ද , මයෙ බෝලෙ ගන්න. බොලවු දන්නව ද ,මම ඔය බෝලෙ ගන්න කොච්චර නම් ආප්ප ඇද්දද කඩේට. ඕක අරන් මිසක් , අද මම ගෙදර යන්නෙ නැහැ.මම විතරක් නෙමයි, තොපි දෙන්නත් යන්නෙ නැහැ . හරිය “
“ මල්ලිට යන්න දෙන්න .“
තමන්ගේ කමිසයෙ එල්ලී බියෙන් සැලෙන පුංචි සමීර දෙස බැලු අයියා පවසන්නට විය.
“ ඒව කොහොද ? මාව තම්බන්න හිතුව මදි බොලා, මල්ලි ගිහින් ගෙදෙට්ට කීවම ඔක්කොම ඉවරයි. යමු ඉස්සර වෙලා තොපි දෙන්නා “
“ අපි අලුත් බෝලයක් අරන් දෙන්නම්. “
“ අනේ මේ . . . තොපි මෙච්චර කල් සෙල්ලම් කරේ රබර් බෝලෙන්, බොලාගේ ටෙනිස් බෝල, අනේ නිකම් පලයව් “
කතාව ඇත්ත බැව් පුංචි සමිරගේ පුංචි හිතට ද වැටහෙයි. අම්මා තාත්තාට කොතරම් සල්ලි තිබුන ද, අයියා කොතෙකුත් ඉල්ලූව ද, ඔවුන්ට ක්‍රිකට් ගැසීමට ටෙනිස් බෝලයක් ලබා දීමට තරම් සමීරගේ දෙමාපියන් කාරුණික වූයේ නැත. නමුත් චණ්ඩි අයියා ගේ ආගමනයත් සමඟම එතෙක් රබර් බෝලයෙන් සෙල්ලම් කළ කොළු රැලට උදාවුයේ වාසනාවන්ත කාලයකි.
චන්ඩි අයියාගේ නියම නම සමීර නොදනි, ගමේ අනිත්වුන් ද නොදන්නා බව සහතිකය. හේතුව නම් ඔහුගේ නම කියා ඇමතීමට පෙරම , ඔහුගේ අනන්‍යතාව හෙලි වී නම් පට බැඳීම නිසාය.ගමට උන්හිටි ගමන් පාත් වූ චන්ඩිගේ අම්මා සහ චන්ඩි ගමේ අතැර දමා තිබු මැටි ගෙදරක හදිසියේම පැල පැදියම් විය.
“ඕකුන් එක්ක සෙල්ලමට හෙම යනව නෙමෙයි හරි ද? “
“ ඇයි අම්මා ඒ . . . ඒ අයියා කතා කරනව අමුතු වුනාට හරි හොඳයිනෙ අම්මා “
“ ඒ ඩිංගිත්තට කතාවටත් ගියා ද? මොන ගුබ්බෑයමක ඉදන් පාත් වුනාද කවුද දන්නේ ? මහමන්ඩිගේ කතාවත් හරියට මුඩුක්කුවක ඉදන් ආවා වගේ “
“ ඒ අයිය හරි හොඳයි. සෙල්ලම් කරන්න ටෙනිස් බෝ . . . “
සමීරට ඉතිරි ටික සම්පූර්ණ කිරීමට නොඳුන් සමීරගේ අයියා , සමීරගේ කට තද කර වසමින් ඔහුව ඉවතට ඇද ගෙන යන්නට වූයේ ,
“ මෝඩයා . . . ඔක්කම කියනවා. එන්නෙපා මාත් එක්ක සෙල්ලම් කරන්න යන්න අනිත් දවසෙ “
“ යමවු යමවු පොඩ්ඩක් කකුල ඉක්මන් කරල “ චන්ඩි අයියාගේ ගෝරනාඩුවෙන් පුංචි සමීර නැවතත් සෙල්ලම් පිට්ටනියේ කෙළවර වෙත පැමිණ තිබුනි.
“ඔයා ඉස්සර වෙන්න, අපි දෙන්න පස්සෙන් එන්නම් “
“ හහ් . . . තොපිනම් යකෝ, අහිංසක කමට හිටියට කට්ටම නැහැ නේද ? මාව ඉස්සර කරල පැනල යන්න ද “
“නැහැ. . .අපිට බයයි “
“ බය ගුල්ලෝ . . . .! ! ! “
ඒසේ පැවසුව ද , සෙල්ලම් පිට්ටනියේ අඳුරු කෙළවරට පැමිණ සිටි ඔවුන් තිදෙනාගේම මුහුණු වල තිබුනේ , මහා රැදුරු රාක්ෂයෙක්ගේ භවනකට ඇතුලු වන පුංචි දරුවන්ගේ මුහුණු වල වූ හැඟීම් වලට නොදෙවෙනි හැඟීම් රැසකි.
ගොම්මන් කළුවර සෙල්ලම් පිට්ටනියත් යට කරගෙන ඇතිරෙන වේලාවේ , ඒ අඳුරට මුසුවෙන පුංචි ඡායා තුනක, පුංචි ඇස් හයක් ගමේ වුන් කෙදිනකවත් ඇතුලු නොවූ , රාත්‍රියට මහ හඬ නඟා කෑ ගසන ඒ භුත ගුහාව වෙත යොමු වී තිබුණි.
මම
෴ සොඳුරු ෴


12 ප්‍රතිචාර:
ඔන්න සොසී අපිවත් බය කරන්නයි යන්නෙ !!!
ah..oya lama kathavak liyana eka hondai.mokada math pasal yana lamayek! hebei hemadama oyage lama novana postvalata comment karala yanava.
digatama liyannko akki,kiyavannam..
සොඳුරැ හොඳම වැඩකට අතගහලා... ලියන්න...ලියන්න... අපිවත් ගෙනියන්න අපේ ළමා කාලෙට....
මමත් පොඩි කොල්ලනේ.. ආසයි මේව කියවන්න
ආ නියමයි නියමයි :)
ඔය තියෙන්නේ.. එල නේ.!!
මාත් තාම පොඩි ළමයානේ අක්කේ.. ඔන්න මමත් ආවා කියවන්න..
මේ කතාව TEENAGE වර්ගයට අයත් වන ළමා කතාවක්. ඒ කියන්නෙ වයස 13 - 19 අතර අයට,මේ වයසෙ ළමුන්ට කියවන්න පොතපත පවා ලියැවෙන්නෙ හරිම අඩුවෙන්. මෙවැනි බ්ලොග් වලින් හෝ ළමුන්ගේ කියවීමේ රුචිකත්වය ඇති කිරීම හරිම වැදගත්.
කාලෙකට පෙර කුලසේන පොන්සේකා මහතා ලීයූ කල්ලන් දූවේ මුතු කොල්ලය, තුන් යහලු වික්‍රමය, සෝමපුර වීරයෝ වගේ කතා කීපයක්ම මෙ කතාව කියෙව්වාම මතකයට නැගුණා.
මටත් මේ දවස්වල අලුත්ම ලේඛිකාවකගේ පළමු අත්පිටපතක් කියවන්න ලැබිලා තියනවා මේ වගේම " සිනාසෙන ඡායාව" කියලා. ඒ කතාවත් මේ වගේමයි.
මෙවැනි කතා කොටස් වශයෙන් ටිකක් දිගට ලියන්න.හැකියාව දියුණු කරගන්න.හැකියාව ගැන සතුටුයි.
ඊයේ රෑ 'භූත බංගලාව' කියලා දැක්කාම බයේ කියෙව්වේ නැහැ. හොල්මන් තාම ඇවිත් නැති බව දැනගත්තේ අද උදේ…:D:D
මේක කියන කොට මට මතක් උනේ (Darsheel Safary) කියන ළමා නලුවා රඟපාන, Zokkomon කියන හින්දි ෆිල්ම් එක.
හොඳ ළමා කතාවක්. ඔයා ලියන්ට. අපි කියවන්නම්.
ලස්සනයි කතාව.... දිගටම ලියමු
මමත් කියෙව්වා ෂෝයි.
ෂා... ලස්සනයි....
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.