..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, December 7, 2011

෴ සතුට සොයා ෴




“ අර ඉන්නේ , අර අර . . . .  නිල් පාට සාරියක් ඇඳල, හිනා වෙවී ඉන්නේ “

“ ඉතින් ! ! ! “

“ ඔයා කීව නේද දවසක්,ලෝකේ සතුටින්ම ඉන්න කෙනා දකින්න ඇත්නම් කියලා“

“ ඔවු . . ! ! ! “

“ ඉතින් ළමයෝ , මම දන්න විදිහට, ලෝකෙ සතුටින්ම ඉන්න ගැහැණිය තමයි එයා “

“ ඔයා කොහොම ද එහෙම කියන්නේ , ? ඇයි එහෙම කියන්නේ. එයා මේ මොහොතෙ හිනා වෙලා ඉන්න නිසා ද ? “

“ නැහැ. එයා මේ මොහොතෙත් ගොඩාක් ප්‍රශ්ණ වලට මැදි වෙලා ඉන්න නිසා “

“ මට තේරෙන්නෙ නැහැ “

“ හ්ම් . . . ඔයා දන්නව ද, එයා ගොඩාක් පෝසත් පවුලක ළමයෙක්. ඒත් එයා ස්කෝලෙ ඕලෙවල් කරන කාලේ වෙනකොට එයාගේ තාත්තා හදිසියේම අන්ත්‍රා වුනා. එයාට හිටිය එකම සහෝදරයා ,මානසික රෝගියෙක් , ටික දවසකින් අම්ම ත් හදිසියේම මැරුනා. දේපල වස්තුව තිබ්බ නිසා නෑයො ලං වුනත් , ඒ ගැහැණු ළමයව රවටන් දේපල ටික නැති වෙනකම් ළඟහිටියො නෑයෝ ඊට පස්සෙ ඒ ළමයව දාලා ගියා. ණයට සින්න වුන මහ ඉඩමකුයි පරණ දිරල ගිය වලව්වකුයි , මානසික රෝගි සහෝදරයෙකුයි එක්ක ඒ කෙල්ල තනි වුනා. හොඳට ඉගෙන ගන්න පුලුවන් දක්ෂ ළමයෙක් වුනත් , අමාරුවෙන් උසස් පෙල කරල කැම්පස් තේරුනත් , ඒ අවස්ථාව මඟ ඇරල සහෝදරයත් බලාන පුංචි පුංචි රස්සාවල් කර කර යන්තම් ජීවිතේ ගැට ගහ ගත්තා “

“ පොඩ්ඩක් ඉන්න , ඔයා කොහොම ද ඔය කෙල්ල ගැන ඔච්චර විස්තර දන්නේ , එයා මේ ගමට , මේ රස්සාවට ආවෙ අලුතින් කියල නෙ මට කියල තියෙන්නේ “

“ හ්ම් . . . . .  ඔවු. . .අලුතින් . . . ඒත් මම එන්න කලින් වුන දේවල් මම නොදැන ඉන්න විදිහක් නැහැ නේද ? “

“ ඒ කියන්නෙ ඔයා එයා ගැන හොයල ? “

“ ඔවු. .  හෙවුව තමයි. මේ තරම් පුංචි රස්සාවක් කරන  එයා ,හිනා වෙලා ඉන්න හැටි දැක්කම මට හිතුනා , එයා තමයි ලෝකෙ ඉන්න සොඳුරුම ගැහැණිය කියලා.“

“ එච්චර ද ? ‘

“ නැහැ . .  තව තියේ. දිගටම අහනව ද? නැත්තම් නවත්තන්න ද ? “

“ අහමු , ඔයා කියන්න “

“ ඉතින් , ඒ කෙල්ලගෙ ජීවිතේටත් ආදරය එඹිල බැලුවා. ගමේ ගොඩක් දුප්පත් පවුලක , හමුදාකරයෙක්, කෙල්ලත් නොදැනම , දෙන්නම අර ණයබරට සින්න වෙන්න ගිය දිරපු ගෙයි කැඳැල්ලක් හැදුවා. ළමයෙක් බඩ ඇවිත් මාස දෙක ඉවර වෙන්නත් කලින්, කොටි බෝම්බයකට අහුවෙලා ඒ කොල්ලත් මැරුනා “

“ ඉතින් , . . .  දැන් එයා වෙන මිනිහෙක්ව බැදල ද? “

“ ගෑණු - මිනිස්සු , ජීවිතේ කියන්නේ කසාඳ බදින එක විතරද ,ඔයාට අහන් ඉන්න බැරි නම් මම නතර කරන්නම් “

“ නැහැ. ඔයා කියන්න “

“ හමුදා පඩිය කෙල්ල අතට ලැබෙන නිසා , අගහිඟයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් උනත් , වටේ පිටේ ඉන්න පිපාසයෙන් පිරුණ පිරිමි , ඇගේ ඇඟ මසට තියෙන අනුකම්පාවෙන් එයා ළඟට කිට්ටු වුනා “

“ ඕකනෙ කියන්නේ , කොයි ගෑනිත් ඔහොම තමයි “

“ හරි එහෙනම් , ගෑණු ගැන මට වඩා ඔයා දන්නවනේ. මම නතර කරන්නම් “

“ අනේ නැහැ මැණික . . .ඔයා කියන්න “

“ මුලදි මුලදි , ආදරය කියල රැවටුනත් , පස්සෙ න් පහු එයා තේරුම් ගත්තා , මිනිහා එන්නෙ මොකාට ද කියලා. ඒ වෙන කොට , මැරුණ මිනහ නිසා හැම මාසෙම හමුබුන පඩියෙන් සැලකිය යුතු ගානක් ඒ එන මිනිස්සු එයාගෙන් උදුරන් ගිහින් තිබ්බා “

“ යකෝ මාර වැඩක් නෙ ඒක. ඇඟ මදිවට සල්ලිත් අරන් ද ? “

“ ඔවු. ඇඟ රාගයටත් , සල්ලි ආදරයටත් සින්න වෙවී තිබ්බා “

“ ඉතින් “

“ ඉතින් දවසක් , එයාට හිටපු එකම ඥාතියා එයාව දාලා ගියා. “

“ කවුද , පිස්සු අයිය ද? “

“ ඔවු . පිස්සු උනත් අයියකෙනෙක් එයාට හිටියා.තමන්ගෙ කියලා. අයිය නිසා ගෙදරට යන එන පාදඩ මිනිස්සුන්ගෙ ගමන යම් තරමකට සීමා වෙලා තිබ්බේ. පිස්සෙක් වුනත් තමන්ගෙ වැන්දඹු නංගිව පරිස්සම් කර ගන්න ඕනි කියල මිනිහට තේරෙන්න ඇති “

“ ඉතින් “

“ අයියත් මළාට පස්සෙ , . . .  පුංචි දූත් ටික ටික ලොකු වෙන නිසා , ගම අතඇරපු ගෑණි , මෙහාට ආවා . මේ රස්සාව බොහොම පුංචි රස්සාවක්. රස්සාවෙන් එයාට ලැබෙන පඩියට වඩා, එයා බලාපොරොත්තු වෙන්නෙ ආරක්ෂාව කියල මම තේරුම් ගත්තේ, එයා ගැන හොයද්දි. “

“ ඒ කීවේ . . “

“ මෙතන රස්සාවට ඇවිත් වැඩි කල් යන්න කලින් , කාගෙත් හිත් දිනා ගත්තා. ලොක්කාගෙ වයසක අම්මව බලා ගන්න කෙනෙක් නැතිව ඉද්දි , මේ ගැහැණියව ලොක්කට පේන්න ඇත්තේ දිව්‍යාංගනාවක් වගේ . දැන් මෙයා ඉන්නෙ ලොක්කගෙ ගෙදර. දවල්ට මෙහෙ වරුවකින් තියෙන ඔක්කම ටොයිලට්ස් , වොෂ් රූම් විතරක් නෙමෙයි , කාණුත් ඔක්කම සුද්ද කරනවා. දවල්ට ගිහින් උයනව. ලොක්කටත් කෑම එකක් අරන් එනවා. ආයෙත් හවස් වරුවෙ කවුරුත් ගියාම , ආයෙත් වටයක් සුද්ද කරනවා. “

“එතකොට එයා රෑට ඉන්නෙත් ............? “

“ ඔවු . . . ලොක්කගෙ ගෙදර “

“ හෙහ් ඔයා හිතනව ද , එයාට ඒ ගෙදර ආරක්ෂාවයි කියලා. “

“ අපොයි ඔවු “

“ ලොක්ක බැදල ද ? බැදල වුනත් අද කාලේ පිරිමි  . . . . “

“ ලොක්ක බැදල නැහැ. ලොක්ක ගෑණුන්ට කැමැති කෙනෙකුත් නෙමෙයි “

“ ආහ්  . . . . “

“ ඔවු ,  . . ! ! ! “

“ මම නම් එයා දකිද්දි හිතුවෙ නැහැ.එයා ක්ලීනින් සර්විස් එකේ වැඩ කරනව කියලා.  “

“ ඒක තමයි කියන්නේ. අද එයාගේ දූගේ ස්කෝලෙ  උත්සවයක්. ඔය ඇඳන් ඉන්නේ , ඔෆිස් එකේ අය එයාගේ උපන් දිනේට අරන් දීපු සාරියක්. එයාට කියල ඉතිරි වෙලා ඉන්නෙ ඒ දූ විතරයි. “

“ හරි පුදුම යි . . . ! ! ! “

“ ඇයි . . . ! ! ! “

“ එයා කෙහොම ද , ඒ තරම් සතුටින් ඉන්නේ “


සතුට සොයා යන ගමනේ
කොතනද ඔබ මා රැඳුනේ
සිත ගත සොයනා සැම දේ
මා ළඟ නොවෙදෝ රැඳුනේ



හැමදාම දුකින් ඉන්න
මම
෴ සොසී ෴

24 ප්‍රතිචාර:

බස්සා said...

දුක වෙනස් වෙනවා අප දුක කියන දේට අරථය එහෙමත් නැත්නම් අපිට දැනෙන විදිය අනුව.... මම හිතන්නේ දුක සාපේක්ෂයි.... උදාහරණයක් විදියට කකුලක් නැති මිනිහට ඒක දුකක්... නමුතු කකුල් තියන අයට සෙරප්පු නැති වීම දුකක්... සෙරප්පු තියන උන්ට සපත්තු නැති වීම දුකක්.. දුක තමන් සතු දේ සහ තමන්ට නැති දේ අතර දෝලනය වෙනවා...

ගල්මල්-Coral said...

කතාව කියවාගෙන පහලට ආවේ යමක් ලියන්න හිතාගෙන, ඒත් ඒ අදහස ඊටත් වඩා ලස්සනට "බස්සා" සහෘදයා ලියලා තියෙනවා.

දුක-සතුට දෙක එකිනෙකට සාපෙක්ෂයි. මේ ඉදිරිපත් කිරීම ගොඩාක් සිත් ගත්තා.

Anonymous said...

බුද්ධ දර්ශනය අනුව මෙක තමයි කර්ම ශක්තිය කියලා හඳුන්වන්නේ.කෙනෙකු පුර්ව ආත්මයන්හිදී කරන ලද අකුසලයන් ඊළඟ ආත්ම භව වලට රැගෙන යනවා. එහිදී එම කර්ම එම භවයේදීම හෝ තවත් ඉදිරි භවයකදී ගෙවීමට සිදු වෙනවා.අපි ග්‍රහ අපල කියලා හදුන්වන්නෙත් මේවා.

පටාචාරාවටත් සිදුවුණේ මේටිකම තමයි ඒත් ඇය අවසානයේ බුදුබණ අසා ජීවිතය අවබෝධ කරගත්තා. මේ කතාවත් ඒ වගේ සමහර විට අවසානයට හමුවූ තැනැත්තා තුළ යම් පුණ්‍ය ශක්තියක් තිබුණා නම් ඇයට එය පිහිටක් සේ දැනෙන්න ඇති.

මේගැන වඩියෙන් දැනගන්න අවශ්‍ය නම් කියවන්න( සංසාර මන්දිර - කන්නිමහර සුමංගල හිමි)

මේ නිර්මාණය සැබෑ හෝ කල්පිත වුවත් නිර්මාණාත්මක ගුණයෙන් ඉහළයි. හොඳම නිර්මාණාත්මක ප්‍රවේශයක්....

දයානන්ද රත්නායක ( අස්වැන්න )

නන්දු said...

දොරවල් දහසකින් පැනලා යන හිනාව.. හදවතට දැනෙනවනම් එක දොරකින් පොඩියක් හරි ලැබෙන බව.. ඒ තුලින් සතුටු වෙනවනම්.. එක දෙයක් වෙනුවෙන් ජීවිත කාලෙම අඬන අයට හැමදාම හිතේ සතුටක් තියේවි..!
ලස්සන අරුත් කතාවක් අක්කී..! :)

Observer said...

කතාව රස වින්දා

Weni said...

කතාව කියවා රස වින්ඳෙමි. බස්සා කියූ කතාව හා එකඟ වෙමි.

Anonymous said...

ohoma hina unata kochchara dukak hithe hangagana innawa adda eya.

නිසුපා said...

හැමදාම දුකෙන් ඉන්න එපා....

RanDil said...

ලස්සන කථාවක් අන්තිමට ලියලා තියෙන එක තමයි එපා වුනේ.

හැමදාම දුකින් ඉන්න සොසී......... කෝ ඉතිං කථාවෙන් දෙන් ආදර්ශේ ඔයා අරං නැහැනේ අක්කේ...... :(

තිස්ස දොඩන්ගොඩ said...

ඒකනම් මරු කථාව!

Dinesh said...

කතාව හදවතින්ම රස වින්දා අක්කේ.. සතුට.. අනේ මන්දා මොනවා කියන්නද කියලා..

සපතේරු උන්නැහේ. said...

දුක සතුට කියන්නෙ අපිට ලැබෙන ජීවිතේ ගැන අපි හිතන විදිහ මිසක් ඇත්තට තියෙන දෙයක් නෙමෙයි...

"හැමදාම දුකෙන් ඉන්න සොසී" කියන්නෙ සොසී ගෙ තෝරාගැනීමක් මිසක් යතාර්ථයක් නෙමෙයි... සොසී ටත් පුළුවන් ලෝකෙ සතුටින්ම ඉන්න කෙනා වෙන්න...

පොලියාන ගෙ සතුට හොයන සෙල්ලම දන්නවද..?

අසේල said...

දුක දන්න අයට තමයි සතුට දැනෙන්නෙ......

වර්ණා said...

හ්ම්ම් අනර්ගයි.. :)))

Miyuru said...

හිතන්න දේවල් ගොඩක් තියෙනවා මේ කතාවෙ.... හරිම අපූරුයි....

Anonymous said...

sandaru gana aranchiyak hoyana gaman goda une.karardara kalata samawenna.

malmi said...

රන්දිල් එක්ක මාත් එකගයි යාලු

uwiniran said...

mmmmm......

Ravi said...

පහන්.....කන්ද......යට.....අ....ඳු....රු...යි

පැණි දොඩම් said...

අන්න නියම ලොක්කෙක්....

මධුරංග said...

කතාව නම් සුපිරි අක්කේ. ආයේ ඉතින් පෙරාපු රත්තටන් ටිකක් වගේ.
අක්කගේ කතා කියවන්න සති අන්තය වෙනකන්ම ඉන්නේ අක්කගේ කතා ගොඩක්ම රසවත් නිවී සැනසිල්ලේ කියවන්න ඕන නිසා.

ඒ ගෑනු කෙනා කඳුලු අතරින් හිනා වෙන කෙනෙක්.

මධුරංග said...

@රවි අයියා :
අයියගේ කමෙන්ට් එකේ තියෙන්නේ වචන කිහිපයක් උනාට ඒකේ හිතන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා.

Roshan Herath said...

සතුට කියන දේ එකිනෙකාට සාපේක්ෂයි නේද..
ඒ නිසා කෙනෙක් දුක්වෙන දේකට තවත් කෙනෙකුට සතුටු වෙන්න පුලුවනි. එහෙම නැත්නම් මැදිහත්ව ඉවසන්න පුලුවන්..

KT ගේ බ්ලොග් අඩවිය said...

අපිටත් ඒ තරම් හිතේ හයියක් තියාගන්න පුළුවන් නම්..............

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...