
වාමුවාව මතට වැටෙන සිහින් වැහි බිඳු නිසා අපහැදිලි වන මාර්ගය , තවත් මොහොතකින් පැහැදිලි වන්නේ , තාලයට එහා මෙහා යන පිස්නයට හසුවී වැහි බිඳු අතුරුදන් වන බැවිනි. එසේම මගේ සිත ද වරින් වර අපැහැදි අතීත මතක අතරත් , පැහැදිලව පෙනෙන නමුදු විස්වාස කළ නොහැකි වර්තමානය අතරත් සරන්නේ , ඇගේ වේදනාබර කෙඳිරියක් පිස්නයක් බවට පත් වෙමිනි.
එකඟ කර ගත නොහැකි වූ මා සිත මගින් මෙහෙයවුනු නෙතු , වාහනයේ පසුබැලුම් කණ්නාඩිය වෙත දිව ගියේ , ඩබල් කැබ් රථයේ පසුපස ආසනයේ ඇගේ මවගේ උකුල මත හිස තියාන , මා දෙස නෙතු තියාන සිටින ඇගේ නෙතු හා මොහොතකට ගැටුනි. වේදනාවෙන් සැලෙන ඇගේ සියළුම ශාරීරක අවයව මොහොතකට අමතක කරාක් මෙන් ඇය මාහා සිනාසෙන්නී , ඇස් වල දිලිසෙන කඳුළු පොකුරු මගෙන් මඟ ඇරීමට ඉතාම අසාර්ථක උත්සාහයක නියලුනාය.
ඉදිරි ආසන දෙක අතරින් පසු පස හැරී ඇය දෙස මා හොඳින් බැලුවේ , ඇගේ දිලිසෙන කඳුළු පිරි ඇස් වලින් මේ ඇයමැදැයි සැක හැර දැන ගැනීමට මෙනි. එකළ සුදු රෝස මලක් මෙන් ලෙලෙමින් සිටි , පිරුණු ලස්සන නොකැලැල් ඇඟ පසඟින් හෙබි ඇය අද කොයිබදෝ අතුරුදන් වුනා වැන්න.
වයසට වඩා බොහෝ වයස පෙනුමක් ද , වේදනාව පිරී ඉතිරි ගිය අනෙකෙකුගේ වත්තමක් නොමැතිව යා නොහැකි යන්තමින් ගැහෙන ශරිරයක් ද හිමි හෙණ වැදුන පොල් ගහක් පරිද්දෙන් මගේ කාර්යාල වාහනයේ පසුපස අසුනේ සිටින ඇය , මා පාසල් මිතුරියම බැව් මදකට හෝ සපථ කරන්නේ , ඇගේ දිගු කතා කරන ඇස් දෙක පමණි. මදක් කළුවී පාළු ළිඳක ගිලුන ඒ නිල් ඇස් දෙක ට තවමත් කතා කිරිමට අමතක ව නැත.
අග කෙළවර තෙක්ම තදින් ගොතා දමන ලද ඇගේ දිගු කොණ්ඩ කැරලි දෙකත් , දණහිස තෙක් දිගු වු සිහින් රැළි වැටුනු සුදු ගවුමත් , දිගු කොණ්ඩ කැරලි දෙපසට පද්දමින් යන ඇගේ ගමනත්, තමා ඇතුලු පාසල් සිසුන්ගෙ සිහින කුමාරිය බවට ඇය නිතැතින් පත් කිරිමට සමත් වූ වග ඇය දනී ද?
“ හා හා . . . . . . උඹ එහෙනම් ගොඩ ගියා ආහ් . . . .හූ හූ . . . . . “
“ ඕකා උපාසකයා. අමාරුවේ දාන්න එපා නංගි ඕකව පවු පවු “
පාසල් වියේ එක් දිනෙක ඇය මා හා ප්‍රථම වරට සමීප වු මොහොතට මා සිත දිව ගියේය.
පාසල් ශ්‍රමදාන දිනයක් වූ එදින තේ බෙදන වේලාවයි. ඇය මා ළඟට පැමිණියේ සීනි බෝතලය එක් අතකිනුත් , තේ පෝච්චිය සහ ප්ලාස්ටික් කෝප්ප කිහිපයක් අනිත් අතිනුත් දරාගෙනය. ගැහැණු ළමයින් කිහිපදෙනෙකුම තේ බෙදීමේ නිරත වූව ද, ඇගෙන් තේ උගුරක් බීමට කොල්ලන් අතර වූයේ තරඟයකි.ඇය පසුපසින් ආදරය අයදිමින් ගිය කොල්ලන් සියල්ලම ඇයගේ ප්‍රභාව ඉදිරියේ පසුබැස ගිය ද , මා කෙරෙහි ඇගේ සිතේ වූ යම් කැමැත්තක අංශු මාත්‍රයක් මා දැන උන්න ද, ඇයගෙන් ඒ වග ඇසීමට දහයෙ පන්තියේ කොලුවෙකු වූ මට නොහැකි වීම ගැන අද මා සතුටු වන්නේ දැයි මට සිතේ.
අනිත් කොල්ලන් මඟ හරිමින් , මා වෙත පැමිණි ඇය , ඇගේ වමත මා වෙත දිගු කළේ ය. සිදුවන දේ පැහැදිලිව තේරුම් ගත නොහැකිව සිටි මා , මිතුරන්ගේ උසුළු විසිළු හමුවේත් මා වෙත එල්ල වුනු ඇගේ නෙත් කාන්තිය හමුවේත් , මොහොතකට නිරුත්තර වීමි.
“ගනින් බං . . . . . . . “
මා ළඟසිටි මිතුරාගේ වැළමිටි පහරින් මෙලොවට ආ මම , දිගු කළ ඇගේ අතෙහි වූ එක් ප්ලාස්ටික් කෝප්පයක් ගැනීමට යාමේදී , ඇය අමාරුවෙන් අතේ රදවන් සිටි ප්ලාස්ටික් කෝප්ප වල සමබරතාව බිදී ගොස් බිම පුරා විසිරියත්ම , කොල්ලන්ගෙ කොකන් පෑම ද වැඩිවන්නට විය.
ලැජ්ජාව සහ කියා ගත නොහැකි හැඟීම් රැසක් අතර අතරමං වු මා ඇය දෙස බැලුවේ , සමාව යදින දැසීන් වන්නට ඇත. නමුදු තමා වටා වන කිසිදු දෙයක් කෙරෙහි ඇගේ කිසිම ආකාරයක අවධානයක් නොවිනි. ඇගේ සම්පූර්ණ අවධානයම ඇය මා වෙත යොදවන්නට ඇත. බිම වැටී තිබුන කෝප්ප කෙරෙහි මගේ අවධානය යොමුවත්ම ඇය එය වෙනස් කරන්නට උත්සුක විය.
“ තේ . . . . . ! ! ! ! “
ඇය මා අත වූ කෝප්ය වෙත තේ පෝච්චිය දිගු කළාය. ඉන්පසු එයට සීරුවට තේ වත්කළේ ඉතාම බැතිබර උවැසියක ලෙසිනි. මා ඇගේ සෑම ක්‍රියාවක්ම ආසාවෙන් නැරඹු බවට ඇති හොඳම සාක්ෂිය නම් , වසර ගණනකට පසු අදද බොඳ නොවී ශේෂව පවතින මතකය යි.
බොහොම සංසුන්ව නොඉහිරෙන ලෙස , ගැහෙන මගේ අත රැඳි කෝප්පයට තේ වත්කර ඉවර වූ ඇය , තේ බදුන පසෙකින් තබා , මගේ වමත අල්ලා ගත්තී එහි වූ පස් , රොඩු බොඩු ඇගේ අනිත් අතින් පිසින්නට වූවාය. ඉන්පසු සිදුවූයේ කිසිසේත් නොසිතූ දෙයකි. ඇගේ සුදු ගවොමේ , සුදු ඉනිපටියේ ගැට ගසා තිබූ රෝස පැහැති ලේන්සුව අතට ගත් ඇය, ලේන්සුවෙන් ද මගේ මඩ රැඳි අත පිසින්නට වූවාය. එවිට මා මදක් කැළඹී හුන් නිසා , අත ඉවතට ඇද ගන්නට හදත්ම මා දෙස බැලු ඇය මා අත මුදවා , සීනි බෝතලයෙන් ගත් සීනි පිරවූ තේ හැන්ද මාවෙත දිගු කළාය.
සීනි ගැනීමට දිගු කළ මා අත්ලට කටින් කිහිපවරක් පිඹි ඇය අල්ල පුරවා සීනි හැන්දක් දැමු ඉක්මිති , ඒහා සමාන මිහිරි සිනාවක් මා වෙත පා , මගෙන් ඉවතට නික්මෙත්ම මෙතෙක් කොහේ දෝ සඟවන් සිටි සුසුමක් ඇගේ තනියට ඇගේ පසු පසින් යැවුවෙමි.
“ අම්මේ හ් හ් හ් . . . . . . . . ! ! ! “
පසුපස අසුනින් නැඟුන වේදනාත්මක අදෝනාව දහයෙ පන්තියේ කොල්ලෙකුගේ මිහිරි මතක වලින් මා මුදාගැනීමට සමත් විය.
“ඉක්මන් කරමු කරුණෙ. ටිකක් පාගල යන්න බැරි ද ? “
මට දකුණු පසින් සිටි රියදුරු කරුණෙට මා එසේ පැවසුවේ වැස්ස ද නොතකමිනි. මේ මා රාජකාරි කරනා තැන රාජකාරි කැබ්රථයයි. විශ්ව විද්‍යාල අවසන් වසරේ සිසුවෙකු වූ මා අහම්ඹෙන් ලද මේ රැකියාවේ ද නිරත වන්නේ , අප්පච්චීට සහ අම්මාට ඉන් ලැබෙන සහනයටත් වඩා මේ පළාතේ රාජකාරි කිරිමට දැක්වු කැමැත්ත නිසාමය. මගේ ළමා වියත් , යොවින් වියෙන් අඩකුත් ගතවූ මේ පළාතට මා සිතින් බැදී සිටියෙමි. තරුණ වයසේ පසු වීමත් , පවරන ඕනෑම රාජකාරියක් නෑ බෑ නොකියා ඉටු කිරීමත් නිසා මම ප්‍රධානියාගේ අවධානය නිරන්තරයෙන් ලක්විය. මෙය ද එවැනිම හදිසි රාජකාරි ගමනක් වුව ද, ඒ ගමන අතරතුර මුණ ගැසුන මැය , සියල්ල වෙනස් කිරීමට සමත් වූවා ය.
නගරයෙන් සෑහෙන දුර පළාතක , පටු අතුරු පාරක් ඔස්සේ ,මද වර්ෂාව අතරින් සෙමින් ධාවනය වූ කැබ් රථයට අපැහැදිලි වැසි යටින් දැකිය හැකි වූයේ කුඩයක් ඉසලා ගත් ගැහැණුන් දෙදෙනකු දැඩි අපහසුවෙන් මුත් කැබ් රථයට අත පොවනා සැටියි.
රථයට ඉදිරියට යත්ම ,එක් ගැහැණියක අනෙකා වත්තන් කරගෙන සිටින අයුරක් පෙනුන අතර. ඔවුන් සිටියේ අප යන දිසාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යන්නට බැව් පැහැදිලි විය.
ඔවුන් ළං වත්ම කරුණේ මගේ මුහුණ දෙස බැලුවේ, වාහනය නොනවත්වා යන්නේ කෙසේ දැයි අසන්නට මෙනි.
“ පොඩ්ඩක් ස්ලෝව් කරල බලමු කරුණෙ ! ! ! ! “
කරුණේ ගේ වත පුරා පැතිරුණ සිනාවෙන් මා හරි තීරණයක් ගත් බැව් අගැවිනි.
“ අනේ මහත්තයෝ , කෙල්ලට අමාරුයි. බුදු බව අත්වෙයි මහත්තයෝ , අපිව ඉස්පිරිතාලෙට ගිහින් දාන්න “
සිහින් පොද වැස්ස නිසා , මදක් පහත් කළ ජනෙල් වීදුරුව තුලින් වාහනය තුලට එඹුන ගැහැණිය පවසන්නට වූවා ය.
ඒ මුහුණේ වූ යම් හුරුපුරුදු බවක් නෙතින් ඇතුළු වී මතකය කරා ඇදී යන්නට විය. පාසල් වියේ නිතරම කරක් ගැසූ ගෙවල් අතර මැගේ නිවස ද විය. ඇය පිළියළකරල රස ආහාර කෙතරම් නම් අප කුසගිනි නිවා ඇද්ද.
මගේ තීක්ෂන ඇස් ඊළගට යොමු වූයේ අසනීපකාරිය වෙතයි.මව යැයි සිතිය හැකි තැනැත්තියට වත්තම් වී සිටි ඇයව නම් කිසිසේත් මට ඒ අවස්ථාවේ මතකයට නාව මුත් , ඇගේ මව් ගේ මතකය ඔස්සේ , මැය කවුදැයි හඳුනා ගත්තෙමි. ඈ වෙනකෙකු නොව. පාසල් අවධියේ මා සිතින් පෙම් කළ යුවතියයි. නව යොවුන් වියේ සිතට කුළුඳුලේ ආල හැඟුම් ගෙනා ඒ සුන්දර යුවතියයි.
කටු ඉපලක් වන් වු ,ඇය දැන් පසු පස අසුනේ සිට වේදනාවෙන් මිරිකෙයි. නමුත් මා වෙත සිනාසෙන්නට ඇය අමතක නොකරයි.
අප්පච්චී රජයේ සේවයේ නිරත වූවෙකි නිසා , ඔහුගේ ස්ථාන මාරුවත් සමඟම , ඒ පාසලත් , ඇගේ සුන්දර මතකයත් එහි දමා ඒමට මට සිදු වූව ද, ඇය ට මසිතේ උපන් හැඟීම එලෙසින්ම තබා ගැනීමට මම පරිස්සම් වූයෙමි. විශ්ව විද්‍යාලයේ දී කෙතරම් තරුණියන් මුණ ගැසුන ද , මා නිතැතින්ම ඔවුන්හා සැසඳීමට සම්මතය ලෙස යොදා ගත්තේ මැයවයි.නමුත් අද ඇයට සිදු වී ඇත්තේ කුමක් ද ?
රාජකාරි ගමන අතර මඟ නවතා ඇයව රෝහලට ගෙන ඒම කරුණේගේ සිතට වඩා මා සිතට ගෙන ආවේ සහනයකි. නමුත් සිදු වූයේ කිසිසේත් නොසිතූ දෙයකි.
දින තුනකට පසුව ඇය මිය ගිය අතර , එයට හේතුව වූයේ නීතිවිරෝධී ගබ්සාවකි. එය ඇගේ ප්‍රථම ගබ්සාව නොවූව ද , අවසන් ගබ්සාවයි.
කරුණෙට හා මට පොලිසි ගානේ කට උත්තර දීමට රස්තියාදු වීමට ද සිදු වූ අතර , ආයතන ප්‍රධානියා , අප නිසා ආයතනය සිදු වූ අලාභය හෝ අපකීර්තිය ගැන කිසිදු වදනක් නොපැවසුවේ ඔහු හදවතින්ම කමියුනිස්කාරයෙකු නිසා බැව් කරුණේ නිතර ම පවසන්නට විය.පොලිසියේ දී හමු වූ මගේ පැරණි පාසල් මිතුරකු පැවසූ පරිදි , ඇගේ අතීතය සහ වර්තමානය ගලපා ගන්නට මම සමත් වූයෙමි.
“ මොනා ද මචන් උඹ මේ කර ගන්නේ , ? අපිටත් උදවු කරන්න බැහැ නෙ බං “
“ මොනා වෙන්න ද? ඒකි අමාරුවෙන් ඉන්න වෙලාවෙ , මට අහක බලන් යන්න ද උම කියන්නේ “
“ උඹ ඒකි ගැන දන්නෙ නැහැ බං “
“ මං ඒකි දන්නෙ ස්කොලේ කාලෙ ඉදල “
“ හෙහ් හෙහ් . . . ඒත් උඹ ඒකිව ස්කොලෙන් පස්සෙ දන්නෙ නැහැනෙ බං , ඒකි තමයි මේ පළාතම රන් කරේ “
“ මොන ව ? “
“ ඔවු බං . . . ඒකි ගණිකාවක් “
“ හ්ම් . . . .! ! ! ! “
“ උඹ ස්කෝලෙන් අයින් වුනාට පස්සෙ. ඒකි හිටියෙ හරි දුකින්. ඒත් පස්සෙ ඒක මඟ ඇරෙන්න ඇති. හැබැයි ඒකී ස්කොලෙ කිසි එකෙක් එක්ක යාළු වුනේ නැහැ “
හදිසියේ ගත් තීරණයක් අනුව රැකියාවෙන් ඉවත් වූ මම , ඒ පළාත ද මතක සියල්ල ද , ආණ්ඩුවෙන් වැළලු ඇගේ මිනීවල තුල බහා ආවෙ මි.
පලි:-
වාමුවාව - windscreen
පිස්නය - wiperපසුබැලුම් කණ්නාඩිය - rear view mirror



26 ප්‍රතිචාර:
පව්කාරයා.....අවසානයේ මම මටම කියා ගත්තා....
ඒක හරිම අමාරු දෙයක්,එත් මම කතුවරයා හිටිය තැන හිටියනම් ඒ කෙල්ලට යන්න දෙන්නේ නැහැ,(ගන්න අමාරු තීරණයක්.එත් එතැනදී මගේ තීරණය....)මොකටද මම මේකේ ලියන්නේ ..හේ හේ..
ජීවිතේ හරිම පුදුමයි....
අමුතු හැඟීමක් ඇති උනා ඉස්කෝලේ කාලේ මතක් වෙලා...
ඇය ගැන කීමට යමක් සිත තුලින් අහුල ගන්න බැරි උනා...
සන්සුන් නොවන සිත ...මට එහෙම හිතුනා..
මෙහෙම මිනිස්සු මරාදාන්න, ගණිකාවන් කරන්න ඔයාට තියන අයිතිය මොකද්ද?
අඩුගණනේ තව ටිකකාලයක් වත් මියගිය ප්‍රේමය වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්න දෙන්න තිබ්බා...
දෙන්නටම හිත් හදාගන්න පොඩි හරි ඉඩක් දීලා..
කාගෙන්ද මේ පලි ගන්නේ?
අමනාපයි හොඳටෝම :-(
කියවල ඉවර උනාම, මට දිගු සුසුමක් පිට උනා. :(
සොඳුරු සිත පිරිමි ඇහැකින් ලියපු ලිපියක් කියෙව්වෙ පළමු වතාවට මම. හොඳ නිර්මාණයක්.
පුදුමකාර ජීවිතයක් !!!
කාගේ හරි වරදකින් වෙන්න ඇති ඒ කෙල්ලට ඒ වගේ දෙයක් වෙන්න ඇත්තේ. සමහර විට එයාගෙම වරදින් වෙන්නත් පුලුවන්.
හ්ම්ම්ම්!
වළලපු මතක හැමදාම වැළලිලා ම හිටියොත් හොඳයි, හදිස්සියෙන්වත් මරණයෙන් නැගිටලා පහු කාලෙක හොල්මන් කරන්න ගත්තොත් තොවිලයක් නටන්නත් වේවි.
වත්, මේ කතාව දීර්ග ලිවීමකටත් සුදුසු යි. ඒ වගේම ලස්සන චිත්‍ර දෙකක්.
wath akke,venada vagema papuvatama denuna.oyage bhasha ratawa hitha purama lassanata endeegena yanava.
මේක අසාධාරණයි! හෙනම... හෙන අසාධාරණයි!!
අනේ මන්දා...
හරිම වෙනස් හැගීමක්
සොදුරු සිත මගේ හිත නොසන්සුං කලා මේ ලිපියෙන්.. අනේ මන්දා.. අමුතු හැගීමක් දැනෙන්නේ මේ ලිපිය කියෙවුවට පස්සේ...
හොඳ උත්සහයක්.කතාව තවත් විචිත්‍ර කරන්න, කථා පරිසරය අලංකාර කරන්න හොඳටම අවස්ථාව තිබුණා.. මේ කෙටි කථවේ අන්තිමට තථා නායිකාව "ගණිකාවක්" ය යන්න සෘජු ප්‍රකාශනයක් ලෙස නොකියා ඒ බව ව්‍යංගාර්ථයෙන් ඉදිරිපත් කර කියවන්නාට දැනෙන්නට සැළැස්සුවා නම් හරි අගෙයි. මෙකද කතාවේ අවසානය කියවන්නාට මනෝ ලෝකය තුළ මවා ගැනීමට ඉඩ හැරිය යුතුයි. එතකොටයි කථාව රසවත් වෙන්නේ. හරියටම " නො හැඟවූ ආදරය" වගේ
දයානන්ද රත්නායක -( අස්වැන්න )
එයාට එහෙම දෙයක් කරන්න සිද්ද වුනේ ඇයි දන්නෙ නෑ.මං කිව්වෙ ගණිකාවක් වෙන්න.
මාරයි. මට මේ සොඳුරු සිතට හොරෙන් ආදරේ කරන්න හිතනව. :-)
ආදරය කියන දේවතා රූපයේ...වියරු මුහුණතක් ඇතිදැයි යන්න මම නිතරම හිතන දෙයක්..මගේ ජීවන අත්දැකීම් එක්ක ඇවිලෙමින් ආපු හැඟීමක් එය.... සොසීගෙ කතාවෙන් ඒකට පිදුරු වැටුණා වගෙයි දැනුනේ....
අපූරුයි!!!!
පව්... අන්තිමට ජීවිතේ නතර වෙච්චි තැන...
වෙන්ස්ම වෙනස් කතාවක් අද ඔයා අතින් ලියවිලා . මීට සමානම සිද්දීයකට මගේ නෑදෑයෙක් මුහුන් දුන් හැටි මගේ මතකෙට ආවා
මේ කතාව නම් උපරිමයි අක්කේ ..පුදුම ආසාවකින් කියෙවුවේ .. අකුරක් නෑරම
වෙනස් සිතුවිල්ලක්...සමහර වෙලාවට අපේ ආදරයම අපිව ගොඩක් අසරණ කරනවා..
patteta kiya gena evith.eeth avasanaya vegavath vediyda manda..
අතීතයේ වේදනාබර මතක සටහන්.......අමතක කලයුතු එහෙත් කිසිදිනෙක අමතකව නොයන ළයෙහි ඇනුනු කටුවක් සේ විටින් විට වේදනා ගෙන දෙන දුක්බර මතක සටහන්......
ස්තූතියි සියළු දෙනාටම...
කතාවේ අඩු පාඩු පෙන්වපු , දයා අයියටත්,ඇනෝනිමස් යාළූවටත් ගොඩාක් ස්තූතියි. කතාව අවසානයේ ඒ කීව විදිහට ව්‍යාංගර්ථයෙන් ලීවනම් හොඳයි කියලා මාත් පිලිගන්නව දයා අයියේ.
ඇනෝනිමස් යාළුවා කීව වගේ කතාවේ අවසානය වේගවත් වැඩියි.ඒ නම් මයෙ කම්මැලි කම නිසා. මම ඒක පිලිගන්නවා.
ආයෙත් ස්තූතියි කාටත්.
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.