..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, November 24, 2011

෴ අසම්භාවී ෴

ඉපදී ම , අධ්‍යාපනය ලැබීම , වැඩිහිටි වීම , රැකියාව, විවාහය, දරුවන් හැදීම , මහළුව මිය යෑම බහුතර මිනිසුන්ගේ ජීවිත කතාවයි. මින් අපගමනය වන ඇතැමෙකු සාමාන්‍ය මිනිසුන් විසින් හදුන්වන්නේ “පිස්සන්“ හෝ  “ ලිංගික බෙලහීනයන්“ ලෙසිනි. බහුතරයක්  මිනිසුන්ගේ ජීවිත කතාව ඒකාකාරීබවක් ඉසිලුව ද , ඇතැම් ජීවන සබඳතා සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවිලි වලින් ඔබ්බට ගිය අවස්ථා අත් දැකීමේ දී , මෙලොව එවැනි සබඳකම් පවතිනවාදැයි යන්න සිතා ගැනීමට පවා නොහැකි වේ.

ඇත්තෙන්ම ඒවා “හිතළුවක්“ ම පමණක් වන්නේ ද , සැබෑ ලෝකෙයේ නොපවතී ද යන්න සොයා වෙහෙසනවාට වඩා, එවැනි සබඳතාවයක සුන්දරත්ව ය විඳගන්නට හැකි නම් බහුතරයක් අතර සුළුතරයකට හිමිවීමේ වාසනාව ලැබෙනු ඇතැයි මට සිතේ.

මෙවැනි කතාන්දර මා සිනමාවේ දී දැක ඇතත් , සැබෑ ලෝකයේ දී එවැනි සබදකම් නැතැයි සිතා වුන්නේ , ජීවිතය සිනමාවක් නොවේ යැයි මා සිතා වුන් නිසා වන්නට ඇත. නමුදු මා හිතවත් මිතුරකුගේ සැබෑ ජීවිත කතාවත් මේහා සමාන්තර එකක් වත්ම , මෙවැනි මිනිස් සබඳතා අප අතරද පවතින වග තේරුම් ගත්තෙමි.


පෑනේ මිතුරන් මිතුරියන් තීරුවක් දැන් කලකට ඉහත දී ඇතැම් පුවත් පත්වල නැතිවම බැරි අගංයක් වූ බවට මගේ වයසේ සට ඊට වැඩිමහළු ඔබට මතක ඇතැයි සිතමි.හයවන වසරේ දී මා එසේ හඳුනා ගත් පෑනේ මිතුයක් නිසා පාසල් පන්තිභාර ගුරුතුමියගේ අකාරුණික බැල්මට ලක් වූ අයුරුත් , ඉන් පසුව ලිපි ලිවීම මඟ හැරීම නිසා ඇගේ මිතුදම අහිමි වූ අයුරුත් මා සිහිකරන්නේ ඉතාම කණගාටුවෙනි.ඉන්පසු ඇතැම් විටක ඇය මට මඟ මඟ දී කොතෙක් නම් හමුවන්නට ඇතැයි ද සිතෙන්නේ , ඇගේ ගම් ප්‍රෙද්ශයට සිදු වූ මගේ සංක්‍රමනය හේතුවෙනි.

The Japanese Wife එවැනි පෑනේ මිතුදමක් නිසා ඇති වූ සුන්දර බැඳීමක් ගැන ලියවුන සුන්දරම කතාන්දරයකි. පැයයි විනාඩි හතලික් පුරා විහිදෙන සුන්දර සිනමා සිත්තම ඇයත් ඔහුත් හරහා සිදුවන සුන්දර ලිපි ගනු දෙනු සහ ඒ හරහා සිදු වෙන සිත් බැඳීම ගැනත් , එතකුදු නොව ලිපි හරහා ම සිදු වන විවාහය ගැනත් දිග හැරුණ ද, නෙතට කඳුළක් ගෙන එන අවසානය සංවේදි මිනිස් සිත ගොළු කිරීමට සමත් වෙයි.

ඇය ජපන් ජාතික යුවතියකි. ඔහු ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශයක වෙසෙන තරුණ ගුරුවරයෙකි, මොවුන්ගේ පෑනේ මිතුරුකම ආදර සම්බන්ධයකට ද ඉන් නොනැවතී විවාහයක් දක්වාද ඇදී ගියත්, ඔවුන් කිසිදිනෙක හමු වී නැත. ඔවුන්නතර හුවමාරු වන ලිපිගනු දෙනු දිගේ මැවෙන එකිනෙකා හඳුනා ගැනීම සැබෑ බැදීමකට මංපෙත් විවර කරයි. ඒ අතර තුර මවත් ඔහුත් පමණක් සිටින ඔහුගේ නිවසට කුඩා පිරිමි දරුවකු ද සමඟ පැමිණෙන තරුණ වැන්දඹු කාන්තාව කෙරේ ද තේරුම් ගත නොහැකි ආකර්ශයක් ඔහු සිතේ ඇති වන නමුදු  එය ආදරයක් දක්වා දුර දිග නොයන්නේ ඔහුගේ සිත නොදුටු ජපන් තරුණිය කෙරේම බැඳී පවතින නිසාය.

ඔහු තරුණ වැන්දඹුව ගැන ද ජපන් තරුණියට ලියා යවයි. ඉන්දියන් වැන්දඹුවන් සුදු සාරියකින් සැරෙන බව කියා යැවීමට ද ඔහු අමතක නොකරයි. නමුදු  හිටිවනම ජපන් යුවතිය අසනීප වන අතර , ඇගේ අසනීපය සුව කිරීමට ඇගේ සැමියා හෙවත් තරුණ ඉන්දියන් ගුරුවරයා ඉතා වෙහෙසෙයි.ඔහු  විටින් විට ඇය වෙත යවන දේශිය ඔසු , ඇගේ රෝගය සුවපත් කරයි ද ? රෝගියා නොමැතිව වුව ද ඇගේ අසනීපයට දේශිය ප්‍රතිකාර සොයා කුණාටු වැසි සහිත දිනක ඔහු නිවසින් පිටවී යන්නේ , ඇගේ ජීවිතය බේරා ගැනීමට ගෙවෙන හැම තප්පරයක්ම වටිනා බැව් දන්නා නිසාය.
නමුදු ඔහුගේ ආපසු පැමිණීමේ දී සැඬවන කුණාටුවටත් දැඩි වරුෂාවටත් අසුවන ඔහු නිවසට ගොඩවන්නේ නිවුමෝනියා තත්ත්වයෙන් පෙළෙමිනි.ක්‍රමයෙන් දැවි වන කුණාටු සහ වර්ෂාව මධ්‍යෙය් අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඔහුගේ අසනීපයට අවශ්‍ය ප්‍රතිජීවක ගෙන ඒමට නැගරයට යෑමට කිසිවකුටත් නොහැකි වන අතර , ඔහු මිය යයි.

ටික දිනකට පසුව ඔහුගේ නිවසට පැමිණෙන්නේ අමුත්තියකි.හිස මුඩු කර සුදු සාරියකින් සැරසී තම නුදුටු ස්වාමියා සොයා ස්වාමියාගේ මියගිය නිවසට පැමිණෙන්නේ “මියාගි“ හෙවත් ඔහු නොදුටු ඔහුගේ ජපන් බිරිඳයි.

හඳුනා ගත නොහැකි මිනිස් බැඳීම් සඳහා තේරුම් සෙවීමට නොවෙහෙසී එය විඳගැනීමට මිනිසුන් වන අපට නොහැකි මන් ද යන්න මා සිතේ අවසානයට නැඟුන පැනයට , පිළිතුරක් දීමට නුඹටත් හැකි  ද ?

කැමැති නම් බලන්න . . . . වැඩි වේලාවක් යන්නෙ නැහැ.

පිදුම :- ජීවිතය දකින්න . . . විඳවන්න නොව . . . විඳගන්න ලියන බස්සාට. ( ස්තූතියි මේ ගැන පැවසුවාට )

"It's an improbable and hauntingly beautiful love story, almose surreal in it's innocence."- Aparna Sen

වැඩිදුර - http://en.wikipedia.org/wiki/The_Japanese_Wife

13 comments:

  1. බලන්න වටින චිත්‍රපටයක් . . . .
    මෙ විස්තරේ කියවද්දි මට මතක් උනා අවුරුදු 20කට විතර කලින් මම කියවපු කතාවක් . . . කතාවෙ නම, ලිවුවෙ කවුද කියල මතක නෑ . .
    ඒ කතාව ගෙතෙන්නෙ පිට රටක පුහුනුවක් සඳහා යන වයස අවුරුදු 50ක් - 60ක් වැනි වයසේ පුරුෂයෙක් සහ ඔහුට එම රටේදී (ඉන්දියාව විය යුතුයි) මුනගැසෙන වයස අවුරුදු තිස් ගනනක් වන ඉන්දියානු ජාතික කාන්තාවක් (නම සාවිත්‍රි විය යුතුයි) වටා.
    විවාහකයන් වූ ඔවුන් දෙදෙනා අතර හොඩනැගෙන ආදරයකුත් නොවන මිත්‍රත්වයෙන් එහාට ගිය ලස්සන කතාවක් . . . .

    ReplyDelete
  2. ලස්සන කතාවක් වගේ. හොයලා බලන්න ඕනා!

    ReplyDelete
  3. මමත් ෆිල්ම් එක බැලුවා. කලින් පෝස්ට් එකක මේ කතාව ගැන සඳහනුත් කලා. මම කැමතිම වගේ ආදරවන්තයෙක්. ඔය වගේ පිරිමි ඉතින් මේ ලෝකේ නම් පහල වෙන්නේ නෑ.

    ReplyDelete
  4. මේ චිත්‍රපටය බලන්න ඕනි, නිවී හැනහිල්ලෙ බලලා ඉවර වෙලාම කමෙන්ට් කරන්නම්.. සොසී ම ඉන්න ඕනි ඉතින් මේ වගේ සංවේදී චිත්‍රපට අපිට හොයලා දෙන්න..

    ReplyDelete
  5. මම මේක බැලුවා. චිත්පටියක් නෙමෙයි කවියක්, ඒකයි සොසීට වැදිලා තියෙන්නේ. අනිත් අය දැනුවත් කලාට පින්..

    ReplyDelete
  6. ලස්සනයි වාගේ සිත්තරපටිය

    සොඳුරු සිතටත් පුලුවන් නෙව මේ වාගේ කථා ලියන්ට කඳුලු වෑස්සෙන්ටම
    ලියමුකො ඔය වාගේ සුන්දර අපගමනයන් ගැන කථා...

    ReplyDelete
  7. ලක්ෂ ගණනින් මිනිස්සුන්ට හිංසා කරන අය වගේම එක ජීවිතයක් බේර ගන්න තමන්ගෙ ජීවිතේ කැප කරන්න පසුබට නොවෙන අයත් ඉන්න මිනිස්සු කියන්නෙ පුදුමාකාර සත්ත්ව විශේෂයක් කියල හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
  8. වහා බා බැලියි යුතුය. කීපදෙනෙක්ම කිව්වත් පෝස්ට් එක නිසාම බලන්න ඕනෙ කියල හිතුනෙ දැන්

    ReplyDelete
  9. මම මේක බැලුවා අක්කේ.. මේක ඉන්දියාවේ උනත් ඒ තරම් ජනප්‍රිය නොවුන ෆිල්ම් එකක්.. ඒත් මේකේ කතාව අමුතු ලස්සනක් තියෙනවා.. කෙනෙකුටනම් මේක හෙන බෝරින් ෆිල්ම් එකක් වෙන්න පුලුවන්.. ඒත් ඕනෑකමින් බැලුවොත් හිතට වදින ෆිල්ම් එකක්...

    ReplyDelete
  10. අපූරු කතාවක්.... ලස්සනට ලියලා තියෙනවා ඒ ගැන!

    ReplyDelete
  11. ඉපදී ම , අධ්‍යාපනය ලැබීම , වැඩිහිටි වීම , රැකියාව, විවාහය, දරුවන් හැදීම , මහළුව මිය යෑම බහුතර මිනිසුන්ගේ ජීවිත කතාවයි. මින් අපගමනය වන ඇතැමෙකු සාමාන්‍ය මිනිසුන් විසින් හදුන්වන්නේ “පිස්සන්“ හෝ “ ලිංගික බෙලහීනයන්“ ලෙසිනි.

    සම්පූර්ණ ඇත්ත අක්කේ,ඕක මට අනන්තවත් හිතිලා තියෙනවා..

    ReplyDelete
  12. හ්ම්ම් මට මතක උනා මටත් හිටියා පෑනේ මිතුරෙක්, හැබැයි ඔච්චර දුර දිග ගියේ නම නැහැ. මිතුරෙක් පමණයි. අවුරුදු ක් මම එයාට ලියන්නෙම නැතුව හිටියා. මගේ අද්යාපන කටයුතු නිසා, මගේ පියාත් අකමැති උනා ඔහුට ලියනවට මම, මට බලපෑමක් වෙයි කියන බයට.. කොහොමහරි, අවරුදු 4 කට පස්සේ ඒ කෙනා මට ලියුමක් එවලා තිබුනා..

    ReplyDelete
  13. හෙහ්, මම කියවපු ලස්සනම කතාවක් ....චිත්‍රපටය නම් බැලුවෙ මේ ඊයෙ පෙරේද....සම්ප්‍රදාය විරෝධී කතා වලට මගේ ලොකුම ඇල්මක් තියෙන නිසා මේක මගෙ හිතට වැදුන එක ඇසිල්ලකින්...ස්තූතියි වත්...ආයෙම බලන්න ඕන....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...