..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, November 5, 2011

෴ ලේඛකයාගේ පෙම්වතිය ෴

පැස් යුවල ගලවා අතට ගත් ඔහු,  සති අන්ත පුවත් පතේ වූ ඡායාරූපය වෙත තම පියවි දෙනෙත් යොමු කළේ,  දීර්ඝ සුසුමක් හෙලන්නට විය. වසරේ හොඳම කෘතියට හිමි සම්මානයත් අතැතිව රටේ පළමුවෙනි පුරවැසියා සමඟ එක්ව මේ සිටින්නේ තමාය.එය ද සති අන්ත පුවත් පතක මුල් පිටුවේම ය.

ඡායාරූපයට යටින් පළවු පුංචි විස්තරයෙන් පවසා ඇති පරිදි වැඩි දුර කියවීමට යා යුතු වූයේ පුවත්පතේ විශේෂාංග පිටුවටයි. කිසිදු ලෝබකමක් නොමැතිව , පුවත්පතේ සම්පූර්ණ පිටුවක් තමන් නමට වෙන් වී තිබෙනු දුටු ඔහුට සිනා පහළ වුයේ , මුදල් ගෙවා වත් බොහොම පුංචි දැන්වීමකට පෙර දින තමනට ඉඩක් නොමැති වූයේ මේ පුවත්පතේම බැවි සිහිවීමෙනි.

තමා වෙත ලැබුන සුබ පැතුම් , ගල් මල් මෙන්ම විවේචන ද සම සිතින් බාර ගැනීමට ඔහුට හැකි විය. නමුත් පුවත් පතේ තමා වෙනුවෙන්ම වෙන් වී තිබූ පත්තර පිටුව පුරා ලියවී තිබූ දේ පිළිගැනීමට හෙතෙම මැලි විය. ඒ සියළු වදන් තමා පැවසූ බැව් සැබෑ ය, නමුත් පැවසූ සියල්ල ගල් පැලෙන අමූලික මුසා නොවේ ද?

පුවත්පතත් , උපැස් යුවලත් මිටි කනප්පුව මතින් තැබූ හෙතෙම දෙපා පුටුවේ ඇන් ද මත රදවමින් ද , හිස පිටුපසට ගත් දෑත් මතින් තම බර වූ හිස සතපමින් ද, දෙනෙත් පියා ගත්තේ රිදුම් දෙන සිතට අස්වැසිල්ලක් සලසා දෙනු පිණිසයි.


ලිවීමේ ආරම්භය මෙන්ම ලියූ හා ලියවුන බොහෝ දේ තුල සැගවී සිටි එකමෙක චරිතය ඇයයි. සිතා මතා නොවූවත් ලියවෙන අකුරක් ගානේ අයිතිය ඇය සතු කිරීමට ඔහු කිසිවිටෙකත් දෙවරක් නොසිතයි. තරුණ වියේ දී ගිලිහී ගිය ඇය ගැනත් ඇගේ සොදුරු ගතිගුණ ගැනත් ලොබ බැදන් ඇය හා ජීවත් වීමට තමා තෝරා ගත් මාර්ගයම තමාට මෙතරම් ගෞරවාදරයක් ලබා දේයැයි ඔහු සිහිනෙකින්වත් සිතන්නට නැත.

විටෙක ඔහුගේ විවාහය පවා දෙදරායෑමට මේ ලිවීම හේතු වූ ආකාරයත් , යහළුමිතුරන්ගේ මැදිහත් වීම් මත , විවාහ බැම්ම රැදුන ද පැවැත්මක් නොතිබුනු ආකාරයත් ඔහුගේ මතකයට විත් ගියේය. මුළු රෑ තිස්සේ කාමරයක තනිවී කුරුටු ගෑම
තම බිරිඳගේ නොරිස්සුමට ලක් වූව ද , කල්යත්ම ඇය එයට හුරු වූ ආකාරයත් , පාළු කාමරයට වී මතකයන් සමඟ එක්ව අමුතුම ලොවක් ගොඩනැගූ ආකාරයත් ඔහුට සිහි විය.

සාරගර්භ ලෙස පිටුවක් පුරා තමා පවසා ඇති දේට වඩා සත්‍ය කෙතරම් වෙනස් දැයි සිතූ ඔහු දෑස් ඇරියේ , තම බිරිඳ ගේ කටහඬනි.

“  මෙන්න , මේ තේක බීවනම්, දවල්ට උයල ඇති. බෙදා ගෙන කන්න “

“ ඇයි , ඔයැයි කොහෙ යන්නෙයි “

“ පොඩි දූ එනවැයි කීවා එක්කන් යන්න. දරුව බලාගන්න කෙනෙක් නැතෙයි කීවේ “

“ හ්ම් . . .  අදම එනවැයි “

“ සතියක් විතර ඉන්න වෙයි මයෙ හිතේ “

“ හ්ම් “

ඇගේ පිටවීමත් සමඟම තමන් ද යා යුතුම වූ ගමනක් ඇති බැව් සිහිවූ ඔහු ගේ සිතට ආවේ සතුටකි. පෙන්ෂන් දිනය පැමිණෙන තෙක් සිටිය යුතු නැත. සම්මානයට ලැබුන මුදල් මෙන්ම සම්මානය ද එය හිමිකාරියට ලබා දිය යුතු නොවේ ද? තම බිරිඳ ගේ නෙත් 
පහසක් නොලත්  ඒ පත්තර පිටුව , සීරුවට ගෙන නවාගත් ඔහු, පත්තර පිටුවත් සම්මානයත් , සම්මානය ගැනීමටම ඇද ගෙන යාමට මැසූ ඇදුමත් සීරුවට තැබුවේ, ප්‍රථම වරට , තම පෙම්වතිය බැලීමට යන පෙම්වතකු සේ බලවත් උවමනාවෙනි.


“ එයාට ඊයේ රෑ ටිකක් අමාරු වුනා. අපි හොස්පිටල් එකට අරන් ගියත් වැඩක් වුනේ නැහැ. එයාගේ පුතාලට අපි දන්වලයි තියෙන්නේ. රට ඉන්න නිසා එන්න දවස් දෙක තුනක් වත් යයි කීවා. ඒ නිසා මල් ශාලාවට බාර දීලයි තියෙන්නෙ බොඩි එක. ම් ම් . . .  මේ මහත්තය කවුද  එයා ගේ ? “

“ මම  . . .  හිතවතෙක් “

“ අපිට කාමරය අස්කර ගන්නත් ඕනි.මහත්තයට පුලුවන් නම් ඒ දේවල් ටික එකලාසයක කරන්න ලොකු  උදව්වක් “

“ හොඳයි “

වැඩිහිටි නිවාසයේ පාලිකාවගේ පිටු පසින් වැටුන ඔහු , අවසානයේ නැවතුනේ තම හිතවතියගේ කුඩා කාමරයේ ය. එතුල තිබී හමු වූ ඇගේ වස්තුව අතර වූ ලේඛකයාගේ පොත් කිහිපයත් , සති අන්ත පුවත්පතේ හොඳම නවකතාව වෙනුවෙන් වෙන් වූ ලිපියත් සුරක්ෂිතව තිබෙනු දුටු හෙතෙම , මෙතෙක් කාලයක් සිතේ සඟවා ගෙන සිටි ඇගේ සුන්දර රූපය සේදී යන තෙක් ඉකිගසමින් හඩන්නට විය.




ලියවුනු ලියවෙන හැම පදයක අග
නුඹගේ සෙනෙහස දැනෙන හැටී
ලියවෙන්නෙ නැති සිතුවිලි අතරෙද
නුඹගේ සුවඳම සරන හැටී
නොලැබෙන දහසක් දේ අතරේ නුඹ
සිනහී මා දෙස බල හැටී
අන් සතු නුඹෙ සිත මා සංතක කර
මොහොතක් නොරැදිම ගියපු හැටී


It is too late; now I wish I could live.

9 ප්‍රතිචාර:

ගලයා said...

ඕහ්..!
හරිම දුක්බර කතාවක්...ගොඩක් ලස්සන්යි අක්කේ....
නුඹේ සුවඳ ‍රැඳි
මගේ සිතුම් පිරි
අපේ කාමරේ...
පාලු යාලු වුණු..
මගේ කාමරේ....
මගේ හුස්ම පොද
උදුරා ගනු මැන..
මඳ නළේ,.....

පබලු said...

එක හුස්මට කියවගෙන ගියා පෝස්ට් එක.කවියේ වචන මේ ලිපියේ රස තවත් වැඩිකරනවා.

Ravi said...

බැඳුනි නුඹ වෙත සෙනෙහෙ එදවස,
නොදන්නෙමි ඇයි දෝ කියා,
පිපුණි මල් හද විලෙහි එසැණින,
සුවඳ අද එදිනට වඩා,

හිමිඋනේ නැතිවුවද ළඳ නුඹ,
වේදනාවක් නැත කොහෙත්,
අපට අපවත් හිමිනොවන ලොව,
කෙලෙස හිමි වෙද තව කෙනෙක්,

You were like that whispering wind, you were like that soothing fragrance and you were like that caressing moonlight,

The wind, the fragrance and the moonlight..........I loved them all but never ever they would be mine........nevertheless that didn't prevent me from loving them,

You are the same, my dear, the wind, the fragrance and the moonlight of my life....... I would love you even when you are no more.....I would love you till eternity and still beyond..............

Niroshan said...

ලස්සනයි...දාහක් දේ සිතුනත් වචන උනේ මෙච්චරයි

..ChAnDiKa.. said...

ලස්සනයි හැබැයි දුකයි....

මධුරංග said...

මට පෝස්ට් එකට වඩා කවිය හිතට කා වැදුනා.
සොඳුරු සිත කිව්වම කවි ගැන අහන්නත් දෙයක් නෑ. ඒ නිසාමද කොහෙද :)

Dinesh said...

දුක්බර කතාවක් උනත් හරි ලස්සනට ලියලා තියෙනවා අක්කේ..

Bindi said...

මේ මිහිර ඇත්තේ අහිමි වීම තුල නොවේද ...

සිතුවිලි නිහඬයි said...

හම්.....කතාව දුකයි...ඒත් ලස්සනට ලියලා තියනවා.....අක්කාගේ පද වැල් ආයේ හිතට මාර විදියට වදිනවා....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...