..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, October 28, 2011

කළු සපත්තු


 
“ පුතාට හොඳටම උණ සුමනේ , විනාකිරි වලට අහන්නෙ නැහැ , දැන් කීපපාරක්ම  දෙඩෙවුවත් එක්ක , අනේ සුමනෙ “

හතර කොනෙන් දාඩිය මුගුරු හෙලා ගෙන , නිවසට පා තැබු සැනින් දෙසවන වැකුණු බිරිඳගේ හඩ ඔහුට ගෙන ආවේ තරහක් මුසු කලකිරීමකි. නමුදු ඒ හැඟීම පහ වෙන්නට එතරම් වෙලාවක් නොගියේ , පුතු වැතිරී සිටන අසරණ ඉරියවුව දකින තෙක් පමණි.

පුතු ළඟට ගොස් විනාකිරි පෙඟවු පාංකඩයට උඩින් නලලතට තම දකුණත තිබූ ඔහුගේ සිත ගිනි ගැනුනි. ඔහුගේ අත ගැටුන වියළි ගිය විනාකිරි පාංකඩය රූටා ගොස් බිම වැටුණි.

“ ලේස්ති වෙන්න , මං හන්දියට ගොහින් මංජුගේ ත්‍රීවීල් එක අරන් එන්නම් “

“ මේ ඔයා තේකක් වත් බීල යන්නෙ නැද්ද මෙයා “

බිරිඳගේ හඬට වඩා ඔහුගේ පය ඉක්මන් විය. එ සැනින් , මංජුගේ ත්‍රී විලය නිවස අසලම. මංජු යනු සුමනෙ ගේ වයසින් අඩක් වුව ද ඔහුගේ ඉතා හිතවත් මිතුරෙකි. මංජුට ත්‍රීවිලය ගැනීමට අවශය ඇපකරුවෙකු නොමැතිව අසරණව වුන් වේලාවේ සුමනේ සහයට පැමිණියේ බිරිඳගේ ද අවවාද බස් නොඅසාය. ඒ ගුණය සිහි ඇති මංජු , කිසිවිටකත් සුමනෙ යන හයර් එකකින් මුදල් අය කරේ නැතත් , සුමනේ බලෙන්ම වාගේ මංජුගේ කමිස සාකුවට යම් මුදලක් එඹිමට පුරුදුව සිටියේය.


ඩිස්පෙන්සරියේ දෝස්තර මහතා පැවසූ පරිදි වහාම පුතුව රෝහල් ගත කළ යුතු විය. උණ සන්නිපාතය වඩාත් දරුණු අතට හැරී තිබු අතර බෙහෙත් ගෙන ඒමට ප්‍රමාද වීම ගැන දෝස්තරමහතාගේ දැඩි අවවා ද සුමනේ අසා සිටියේ බිම ට යොමා ගත් දෙනෙතිනි.

පුතුත් බිරිඳත් රෝහලේ නතර කෙරූ සුමනේ , මංජුගේ ත්‍රීවිලයේම නැඟී නිවස බලා ආවේ , පුතුගේ සහ බිරිඳගේ අඩුපාඩු රෝහලට ගෙනත් දිය යුතු බවට ද සිහි තබා ගනිමිනි. බිරිඳ රෝහලට ඇදන් ගිය ඇඳුම ඔහු ඇයට අවසන් වතාවට ගෙනවිත් දුන් ඇය සතු හොඳම ඇඳුම බව ඔහුට සිහි වේ.එය ද නූල් ඇදී තැනින් තැන පළුදු වී ඇති බව තමා නුදුටුවා සේ සිටියේ ඇයි දැයි විමසා බැලූ ඔහු හෙළූවේ දීර්ඝ සුසුමකි.

“ මංජු , මචන් ආයේ ඉස්පිරිතාලෙට යන්න ඕනි උඹට පුලුවන් ද ? මං එනකම් “

“ අයියෝ සුමනෙ අයියේ ඕක මොකක් ද , මේ වෙලාවට නැති රෝද තුනෙක් ඇති වැඩක් නැහැ අයියා “

අතට අසු වූ ඇදුම් කෑලි කිහිපයක් සහ කොට්ටයක් , උණු වතුර බෝතලයක් ගත් ඔහු මංජුගේ ත්‍රී විලයට ගොඩ වූයේ තම කාර්යාල බෑගයද ප්‍රවේශමට තමා ළඟටම ගන්නා ගමන්ය.
 
---- - ---- -- --- --- -- ----- - ---- - - ----- -- -- -- -----


“ වාඩි වෙන්න සුමනසේකර , මම මහත්තයට එන්න කියන්නම් “

ටයිල් ඇල්ලූ බිම දෙස සුමනේ නෙත් හෙළුවේ තම කිලිටි දෙපා වල දුහුවිල්ල වැදී ඒවා කිලිටි වී ඇද්දැයි බැලීමට මෙනි. දකුණතේ එල්ලී තිබුන කිරි මුට්ටි කිහිපයත් , පැණි බෝතල් දෙකත් වමතට මාරු කරන ගමන් නිවස සිසාරා හෙළු බැල්ම නැවතුනේ තමාගේම පුතුගේම වයසේ දරුවකු සෙල්ලම් කරන පරිගණකය වෙතයි. දරුවාගේ සිත තදින්ම පරිගණක සෙල්ලම වෙත යොමු වී තිබූ බැවින් නිවසට පැමිණි අමුත්තා ගැන වගේ වගක් දරුවාට නොවිනි.

“ ආහ් සුමනෙ , මොක ද මේ අතින් කටින් උස්සන් වාඩි වෙන්න වාඩි වෙන්න “

ලැබුන අනුමැතියට යටත්ව ඔහු ගෙනා කිරි පැණි සහ අනිකුත් අඩුවැඩිය ටයිල් පොළවේ සුව විදින්නට විය.

“ මං මේ ආවේ , මගේ පුතාගේ ස්කෝලෙ වැඩේ “

“ ආහ් . . . වෙරි සොරි සුමනේ , ඇයි තමුසෙ මෙච්චර ප්‍රමාද උනේ... එක වේකන්සියය් නෙව තිබ්බෙ , සුමනෙ ප්‍රමාද නිසා මම හිතුව සුමනෙ වෙන ස්කෝලයක් හොයන් කියලා. ඉතින් පුරප්පාඩු තියෙන එකත් අමාත්‍යාංශයෙන් හරියට වද දෙන ප්‍රශ්ණයක් නිසා මම ඒකට මිස්ටර් පෙරේරාගේ පුතාව ගත්තා “

“ ඒත් මම . . .  “

“ කමක් නැහැ සුමනෙ , අපි ලබන අවුරුද්දෙ වත් බලමු . මට පොඩි වැඩකුත් තියෙනවා සුමනෙ , එහෙනම් තේකක් හෙම බීලම යන්න කෝ “

“ මැණිකේ , සුමනෙට තේකක් ලෑස්ති කරන්න “ යැයි පැවසූ ඔහු , නිවස තුලට වැදී නොපෙනී යන තෙක් බලන් වුන් සුමනේ ගේ දෑස් නැවතත් නැවතුනේ කුඩා දරුවා සෙල්ලම් කරන ක්‍රීඩාව දෙසටයි. ඔහු දරුවා ළඟට ගොස් දරුවාගේ හිස අත ගෑවේ දුක සහ සෙනෙහස මුසු වූ හැඟීමකිනි.

“ අයියෝ අන්කල් මොකක් ද කළේ , ඔයා ගේම කෑවනේ , පෙරේරා අංකල් ගෙ පුතාටත් නැහැ කීවා මේ වගේ ගේම් එකක් , “

“ කොහෙන් ද පුතේ මේ කම්පියුටරය “

“ පෙරේරා අංකල් තෑගි දුන්නා මට “

“ හැබෑ ද ? “

පරිගණකයක් රැගෙන දීමට , තමා ණය වී ගත් මුදල් සියල්ල වැය වූයේ පුතුගේ අසනීපයට අවශ්‍ය බෙහෙත් මිල දී ගැනීමට ය. පුතු අසනීප වූයේ නැති නම් , අද මෙතන ඇත්තේ තමා මිලට ගෙන දුන් පරිගණකය නොවේ ද ? එසේ නම් තම පුතු , මේ දැන් මෙතන මෙලොවක් නැතිව සෙල්ලම් කරනා දරුවාගේම පන්තියේ , ඒ දරුවාගේම ප්‍රසිද්ධ පාසලේ එක ළඟින් වාඩි වි ශිල්ප උගන්නේ තමන්ගේ පුතු නොවේ දැයි සිහිවී සුමනේටත් නොදැනිම සුසුමක් පිටවිය.

එහා මෙහා ගිය තම සිතත් කැන්දන් නිවසින් පිට පැන් ඔහුගේ මතකයට නැඟුනේ , පුතු උණ විකාරයෙන් දෙඩ වූ සුරතල් වදන්ය .

“ අප්පච්චි , රහල් එක්කල මම ඒ ස්කොලෙට ගියාම කළු සපත්තු දාන්න ඕනි. අප්පච්චිට සල්ලි හම්බෙනකම් මං සුදු සපත්තු කළු කරල දාන්නම් “

---- - ---- -- --- --- -- ----- - ---- - - ----- -- -- -- -----




පන්තියෙ ළමයි නැති දුෂ්කර පාසල් ගුරුතුමී
මම
෴ සොඳුරු සිත ෴

14 comments:

  1. මේ කළු වෙමින් පවතින සමාජය ආර්ථික අතින් පහල පවුල් වල පොඩි උන් කොහොම දරා ගන්නද මන්දා ?

    ReplyDelete
  2. පවත්න ගැටළු කිපයක් බොහොම අපුරැවට සිතුවම් කරලා තියනවා මනසේ ... අපි කොයිතරම් "කයිය" ගැහැව්වත් මේ වගේ සංවේදී ප්‍රශ්ණ වලදී අසරණයි..හැම දෙමව්පියෙක්ම බලන්නේ තමන්ගේ දරැවාව හොඳ යැයි සම්මත එහෙමත් නැත්නම් "ජනප්‍රිය" පාසැලකට දාගන්න...පාලකයෝ කියන්නේ ජනප්‍රිය පාසැල් සංස්කෘතිය අයින් තල යුතුයි කියලා... ඒත් කොහොමද කියන එකේ පැහැදිලි අදහසක් නැහැ... හැමදාමත් අසරන "සුමනෙලා" තමන්ගේ දරැවා වෙනුවෙන් මේ දුක විඳියි....

    ReplyDelete
  3. අනේ දෙයියනේ මේ ජනප්‍රිය පාසල් පිස්සුව කවදා ඉවර වෙයිද???

    ReplyDelete
  4. සංවේදි කතවක් අක්කේ.. ලස්සනට ලියලා තියෙනවා..

    ReplyDelete
  5. දුප්පත් කම තමා අක්කේ ඔක්කෝටම හෙනේට හිටින්නේ.

    ReplyDelete
  6. ඕක ඉතින් අපිම නිර්මාණය කරගෙන, අපිම බැන බැන, අපිම පවත්වාගෙන යන කිසිදා නිම නොවෙන ප්‍රශ්ණයක් කියලයි මට නම් හිතෙන්නෙ
    henryblogwalker the Dude

    ReplyDelete
  7. ම්ම් හිතන්න යමක තියෙනවා..

    ජය...

    ReplyDelete
  8. තරඟකාරි ලොවක දුවන දෙමාපියන් හා තරඟය කුඩා මොළ තුලට බලෙන් කීඳා බැස්සවිමත් සමග දොලනයවන පුංචී මල්.....තරඟය..තරඟය..නිම් නැති තරඟය....සමග පගාවත්....?

    ReplyDelete
  9. දුප්පත්කමට හුරු වුනාම දරුවො වුනත් තමන්ගෙ නැතිබැරිකම් තේරුම් ගන්නවා.

    ReplyDelete
  10. මංජුවගේ මිනිසුන් ලෝකේ ඉන්න එක ලොකු දෙයක්!!!

    ReplyDelete
  11. කතාව ලස්සනයි... හුග කාලෙකින් මේ පැත්තේ ආවේ

    ReplyDelete
  12. පොඩි කාලේ මතක් උනා...මටත් උණ හැදුනම අම්මා විනකිරි දානවා රෙදි පටියකට දාලා ...

    ReplyDelete
  13. දවස් දෙකක් කතාව තුන්පාරක්ම කියෙව්වා.. හරිම සංවේදී කතාවක්...

    ReplyDelete
  14. දරුවන්ගේ සුන්දර හීන ලෝකේට ..මේ වැදගම්මකට නැති දේශපාලනෙයි..කෙහෙම්මල් ආර්ථිකෙයි...ජනප්‍රිය මේනියාවයි හොට දාන එක නම් බොහෝම දුක්බරයි...වෙලාවට අපිට ඔය ප්‍රශ්න පොඩි කාලෙ තිබිලා නැත්තෙ..අපි ගමේ ඉස්කෝල වලට ගිහින් ඔය ඉගෙන ගත්තේ....අපරාදේ පොඩි එකාගේ ජීවිතේ,..
    කොහොම වුනත් අක්කේ මේක ලස්සනට සමාජයේ වැරදි කොනිති ගහලා තියෙනවා.බොහෝම ලස්සන්යි..මම ඔයා ලියන කතා වලට කොහොමත් ආසයි..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...