..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, October 20, 2011

෴ විත්තිය - ආදරයයි ෴

දිනය බදාදා බැවින් ඉතාම කාර්ය බහුල දිනයකි. රජයේ කාර්යාල වල මහජන හමුව ඇත්තේ බදාදා දිනට වීම එයට හේතුවයි. ඇගේ හැපෙන සෙනඟ , ගෝසාව , ප්‍රිය මනාප නොවූව ද, මගේ රැකියාව ශිත කාමරයකට කොටු නොවීම ඇතැම් විට ගෙන එන්නේ සතුටකි.

මගේ රාජකාරියට මහජනයා සෘජුව සම්බන්ධ නොවූ බැවින් , මාද බදාදා දිනට අන් අයට සහය වීම පුරුද්දක් ලෙස ඉටු කරමි.

ඇතැම් ගැමියන්ට , අදාල අංශය සොයා ගැනීමට නොහැකිව ලතවේ. තවත් ඇතැමෙක් වෙනකකු ගෙන් ඒ ගැන ඇසීමට හෝ වෙනකෙකු පවසන දෙයක් පිළිගැනීමට නොකැමැත්ත හඟවයි. පුංචි දරුවන් පමණක් නොව කිරි බොන අත දරුවන් ද වඩා ගත් ගැහැණුන් එහා මෙහා යන්නේ දරුවන් හඬවමින් හෝ නලවමින්ය. දහසකුත් එකක් ප්‍රශ්ණ මැද සිටින මේ මිනිසුන් දකින විට මා කෙතරම් නම් වාසනාවන්තියක් දැයි සිතුනු වාර අපමණය.

මෙයිනුත් බොහෝමයක් ගැමියන් , උගත් නැතත් බුද්ධිමත් බවක් උසුලයි. ඒ බුද්ධිමත් බව රාජකාරියට පහසු වනවාක් මෙන්ම ඇතැම් විට ගෙන එන්නේ කරදරයකි.

“එහෙන නෙමෙයි නෙ , පත්තරේ දාලා තිබ්බේ මේ ටික විතරක් ඇතිය කියලැයි. දැන් මක්කෙයි මේ කියන කතා “

“ පත්තරේ දැම්මට , තවම අපිට චක්‍රෙල්ඛයක් වත්, දැනුම් දීමක් වත් කරල නැහැ නේ “

“ කරල නැහැ. එහෙනම් අහවල් එහෙකට ද අපිව රස්තියාදු කරන්නේ , ඔන්න තියාගන්නව ඔහෙලගෙ  . . . . “

ඇතැම් ගැමියන් සිටිනා තත්ත්වය දකින විට අප තවමත් සිටින්නේ වනන්තරේ නේදැයි හැඟේ. ඉඩම් අංශයේ මහා ඝෝසාවකි. කාර්ය මණ්ඩලයේ කිසි කෙනෙක්ට ඒ ගැන සෙවීමට හෝ වද වීමට වේලාවක් නැත.මෙවැනි ඝෝසා බදාදා දිනට සාමාණ්‍යකරණය වීම එයට හේතුව වන්නට ඇත.

මහ සෙනඟ මැද්දේ ,සිටින මැදිවිය පසු කර සැදෑසමයේ දොරක ඩ සිටින මවක් සහ ඇගේ දියණිය යැයි සිතිය හැකි සුරූපි යෞවනියක් මගේ දෙනෙතට හසු වූයේ අහම්බයෙනි.තරුණියගේ වතේ වූ සොඳුරු බවේ ප්‍රතිබිම්බයන් බොහෝමයක් මවගේ වතේ දැනට ද ශේෂවී ඇති බැවින්, ඔවුන් දෙදෙනා මව සහ දියණිය බවට තහවුරුව ලැබුණි.

“ මොක ද අම්මා , කාව හම්බෙන්න ද ? “

“විශ්‍රාම වැටුප හදා ගන්න කියලා “

මව ගේ දැස් අතරමං වෙද්දී දියණිය වහා කීවාය.

“ එන්න යන්න , මේ පැත්තේ “

ඇය නිසි තැනට යොමු කළ මා මගේ ආසනයේ අසුන් ගත්ත ද, ඇගේ වතින් මා නෙත් ඉවත් කිරීම ඉතා අපහුසු වුයේ මන්දැයි නොදනිමි. අදාල විෂය බාර නෝනාමහත්තයාට ඇය ගෙනා ලියකියවිලි සියල්ල පෙන්වූ අතර , එයින් කිසිම පලක් නැති බව , ඇය පේන මානයේ සිටි මට පැහැදිලි විය. මොහොතකින් ඇය හඬන්නටත් වූයෙන් , ඇගේ රැළි ගැසුන  කම්මුල් රූටමින් ගිය කඳුළු නවතා ගැනීමට ඇයට නොහැකි විය. කියවන්නනි වරදවා නොසිතන්න. මගේ නෙත යොමු වූයේ තරුණියට නොව , ඇගේ මවටයි.

වහා නැගිට ගත් මා ඔවුන් අසළට පිය මැන්නෙමි.

“ මේ දරුව විතරක් නෙමෙයි නෝන , මට තව මීට බාල කෙල්ලො දෙන්නෙක් ම ඉන්නවා. මෑ මේ සැරේ විස්ස විද්දාලෙට තේරුන නිසා , මට තව දුරටත් වියදම් කරන්න බැහැ .ඒක තමයි මේ ගමන ආවේ නෝන “

“ ඉතින් එහෙම කියල බැහැනේ . අදාල ලියකියවිලි නැතිව , අපිටත් මොනවත් කරන්න බැහැ “

“ මෙයැයි ලගේ තාත්තා කලින් ගැහැණු කෙනා අත ඇරල ඇවිත් මාත් එක්ක තමයි හිටියෙ නෝනා , දික්කසාද වෙන්න නඩු දාලා තිබ්බෙ“



“ ඉතින් දික්කසාද සහතිකය යි , ඔය ඇත්තිව කසාද බැදපු සහතිකේයි අරන් එන්න “

“ මාව කසාඳ බඳින්න වුනේ නැහැ නෝනේ , තවමත් මේ ළමයින්ගේ උප්පැන්න සහතිකේ තියෙන්නෙ අපි කසාද බැදල නැහැ කියලා “

“ ඒ මොක ද ඒ “

“ දික්කසාදය හම්බවෙන කොට , එයැයි පෙන්ශන් යන්න ඔන්න මෙන්න “

“ ඉතින් “

“ දික්කසාදය හම්බවෙලා , එයැයි මායි කසාද බදින්න ඉන්න කොට තමයි , එයා හදිසියේ ම පපුවෙ අමාරුවක් හැදිල මැරිල ගියේ “

“ දෙයියනේ. . . ඒ කියන්නේ, කාටවත්ම දැන් පැන්ෂන් එක වත් වැන්දඹු විශ්‍රාම වැටුපවත් හම්බවෙන්නෙ නැහැ.“

“ ඔවු නෝන , මුළු ගමම දන්නව,එයැයිතුයි මායි මේ දැරිවියො ටිකයි හිටියෙ කොහොම ද කියල, දැන් මේ ලොකු කෙල්ල කැම්පස් යවන්න හක්තියක් නාකි මට නැහැ නෝනෙ “

සියල්ල අසාගෙන සිටි සුන්දර තරුණියගේ දෑස් වලින් බේරුන කඳුළු කැට ඇගේ රෝස කම්මුල් දිගේ රූටන විට ඇය තම මවට වහන්වීමට උත්සාහ කළාය.

ඔවුන් මෙන්ම කාර්්‍ය මණ්ඩලය ද අන්ත අසරණ කරමින් , තවත් මොහොතක් තුල ඔවුන් සෙනඟ ගොඩේ සැඟවී නොපෙනී යනු පමණක් මට පෙනුනි.

මිනිසුන් විවාහ වේ . නමුදු විවාහය යන රාමුව තුල තමාගේ ලෝකය ඉදි නොවන විට , එයින් පිට පැන තමාට ගැලපෙන ලෝකයක් සොයා යාමේ වරදක් මා නොදකිමි. නොගැලපීම් මධ්‍යෙය් සිටිමින් විඳවමින්
සිටින ජීවිතයකට වඩා විඳින ජීවිතය සොයා යෑම වරදක් වන්නේ කෙසේ ද ? නමුදු අප සිටින මේ රාමුව තුල “දික්කසාදය “ තරම් අවනම්බු විඳින වදනක් තවත් නැති තරම්මය. එපමණක් නොව , දික්කසාදයක් නිතියෙන් දීමට ගත වන කාලය කෙතරම්ම ද යන්න සිතාගත නොහැකිය.

ඔහුගේ ආදර කැඳැල්ල ඉදි වූයේ , තවත් කැඳැල්ලක කිරිල්ලියක් තනි කරමින් විය හැකිය.  නමුදු පැටවුන් ඒවාට වගකීම යුතු ද?

ගැටගැසී වියවුල් වී ඇති ලෝකය තුල මා තවත් සිහින් පැන්සල් තුඩක් නොවෙදැයි මට සිතුණු නමුත් සිතේ දුක තුරන් කිරීමට මෙසේ ලියා තබමි.

වරද කාගේ  ද?

වරදකරු - ආදරයම නොවේ ද?

විත්ති කූඩුවට නැංවීමට , ආදරය සොයන
මම
෴ සොඳුරු සිත෴

15 comments:

  1. අහ්! මම තමා පලවෙනි කොමෙන්‍ටුව ඔබන්නේ...මරු මරු..හ්ම්ම් මාරම කතාවක්..ඇත්ත ආදරය කියන හැඟීමට ඔච්චරටම වාල් වුනොත් නම් ඒ නිසා උපදින ප්‍රථිපල වලට ඒ ආදරයට වෛර කරන එක විතරයි ඉතුරු වෙන්නේ....අර නාකි උන්දෑ මොනා කරගත්තද දන්නෙ නෑ කෙලීගේ විස්සවිජ්ජාල ගමනට..ඉතින් ඔය ඔපීසියේ නෝනලාට තිබුනා නොවේද පිහිට වන්නට...ඒ කෙලීට...

    ReplyDelete
  2. ඔය වගේ ගැටලු හරිම සංකීර්ණයි අක්කෙ.. සමහර වෙලාවට හිතා ගන්න බැරි වෙනවා මොකක්ද කියන්නෙ මොකක්ද කරන්නෙ කියලා. පිටිසර පලාත් වල විතරක්ම නෙවෙයි කොලඹට ලඟ පලාත් වලත් ඉඳහිටලා හම්බ වෙනවා. ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්නෙ මතුවෙනවා දේපල බෙදන්නෙ නැතුව දෙමව්පියෝ මිය ගියාට පස්සෙ දේපල බෙදා ගන්න එන දරුවන්ට..

    ReplyDelete
  3. ආදරේ අන්දයි...ඔය කොළ කෑලිවල ලියවුනේ නැතිඋනාට ඒ දෙන්න ආදරෙන් ඉන්න ඇති.....

    ReplyDelete
  4. කොල කෑලි වල ලිය නොවුනත් ආදරේ කරන අය කොයිතරම් ඉන්නවද??

    ReplyDelete
  5. අතිශය සංකීර්ණ ප්‍රශ්ණයක්.... කොහොම විසඳන්ද ? මේක තාම ඉවරත් නැහැ...ආදරේ ඔය හැම දේකටම විසඳුම් දෙන්නේ නැහැ... ඒකයි ඇත්ත...අනේ මන්දා....වෙන මොනවා කියන්නද.... ආදරේ කරන්න .... හැබැයි හැඟීම් වගේම බුද්ධියත් පාවිච්චිකරන්න...

    ReplyDelete
  6. ගොඩක් ප්‍රශ්ණ වල විත්තිකරු ආදරය තමයි. විත්ති කූඩුවට නැංවුවොත් අනිවාර්‍යයෙන්ම වැරදිකරු වෙලා එල්ලුම් ගස් යනවා...ඒත් හිමිකාරයන්ගෙ හිත්වලින් ඒ ආදරය මිය ගිය දාට..මොනවද ඉතුරු වෙන්නෙ ?

    ReplyDelete
  7. හ්ම්ම් තවත් හැඟීම්බර ලිපියක් සො.සී ගෙන් .. අනෙ අර කෙල්ල මොනා කරගත්තද දන්නෙ නෑ .

    ReplyDelete
  8. මෙතන දෙපැත්තක් තියෙනවා.. වත් අක්කෙ.. නීතිය සිදු කිරීමේ ගන්න අනවශ්‍ය පමාව.. හා නීතිය පිළිබඳව බහුතරයකගේ නොදැනුවත් කම...දරුවන් තිදෙනෙක්ම මේ කාන්තාව බිහි කළේ අවාවාහකව..දරුවො ලොකුවන වග එදා ඔවුන් හිතුවෙ නැහැ.. අනික දික්කසාදය දෙන්න මෙතරම් පමා වීමත් වරදක්...මේ වගේ දරුවො හිටියා නම්. එක්කො මොහු බහු විවාහ හෝ,වංචා යටතේ සිරගත වෙන්න හරි ඕනේ... මේ තරම් ලොකු දරුවො ඉන්නවා නම්... නැද්ද?

    ReplyDelete
  9. අනේ මන්දා...

    ජය..

    ReplyDelete
  10. ඕක මමත් දන්න සුලබ ප්‍රශ්නයක්. මම නං කියන්නෙ මෙතන දෙපාර්ශවයක් වැරදියි.
    01.ලංකාවෙ නීතියෙ තියන පමාව.මේක හැමදේකටම බලපානවා.
    02.මිණිහෙක් හරි ගෑණියෙක් හරි කසාද බදිනව නං/එකට ඉන්නව නං රෙජිස්ට්‍රාර් ලගට ගිහිං බැදලා ඒ දේවල් කරගත්තම ඉවරයිනේ.(අනෙක ලංකාවෙ නීතියෙ විදියට බදින්නෙ නැතුව එකට ඉන්න බෑ).ඕව මිණිස්සුන්ගෙම වැරදි. ළමය කැම්පස් යන්න තරං වයසක් එනකං දික්කසාදය පරක්කු උනා කියල කියන්න කාටහරි කියන්න පුළුවන්ද? ඒ කියන්නෙ දික්කසාද වෙන්න තිරණය කරද්දිත් ළමයි හදාගෙන ඉවරයි. අපේ මිණිස්සු කරන්න ඕන දේ වෙලාවට කරන්නෙ නෑ කවදාවත්ම.
    මේවගේ දේවල් වලදී නං මගේ හිත පොඩ්ඩක්වත් උණුවෙන්නෙ නෑ. මොකද මංදා.

    ReplyDelete
  11. සොඳුරු සිත වැඩ කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වත් ද ?

    ReplyDelete
  12. මේ ඇත්ත කතාවක්ද? හරී පව්.

    ReplyDelete
  13. මේ වගේ කතා නම් අනන්තවත් ඇති ලංකාව පුරා ම . මේක නීතියේ වැරැද්ද ද නොදැනීම ද කියන්න පුළුවන් කාටද?

    ReplyDelete
  14. හෙහ්...හෙහ්...ආදරය තමයි අන්තිමට විත්ති කූඩුවට නග්ගන්න වෙන්නෙ.....ආදර සුන්දර වරදකී කියන්නෙ නිකමට නෙවෙයි නෙව.

    "උසාවිය නිශ්ශබ්ද වනු "

    "ආදරය....යුෂ්මතාට විරුද්ධව එල්ල වී ඇති චෝදනාව ඉතා බරපතලයි. තමා මීට වැරදිකරුද? නිවැරදිකරුද?"

    "චෝදනාවට වරද පිළිගනිමි ස්වාමීනී "

    "This court finds love guilty as charged...."

    ReplyDelete
  15. දුක හිතෙන කතාවක්.
    ආදරය තමා වැරදි.පවු අර ගෑනු කෙනා. තනියම මේ දේවල් කරගන්න එපැයි

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...