..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, October 18, 2011

෴ චේ අයියා ෴

ශිෂ්‍යත්ව පන්තිය වැසීමට තවත් කාල වේලාව තියෙද්දී එහි පැමිණි අම්මා , මාව ද කුදලාගෙන ලහි ලහියේ පියමනින්නට විය. ඇගේ පයේ ලා තිබූ රබර් සෙරෙප්පු සඟලත් , නොපීරු ඇගේ ලස්සන කෙස්කළඹත් , ඇගේ ඇඳුනුත් කියා පෑවේ . ඇය පැමිණ ඇත්තේ ඉතාම හදිසියෙන් බවයි.

"අම්මා අපි කොයි යන්නේ ,?“

සුපුරුදු මාවත වෙනුවට ඇය වෙනත් මගක් තෝරා ගැනීමේ දී මට නොඅසා බැරි විය.

“ එනව ළමයො කට පියාන “

ඇගේ හඬේ වූයේ බියපත් බවකි. අප ගිය නිවස දුරින් නෑවෙන අයකුගේ නිවසකි.පුදුමයට මෙන් ඒ නිවසේ දැකිය හැකි වූයේ අපේ නිවසේ වූ  ගෘහ භාණ්ඩ යි. මේස පුටු සියල්ල අපිළිවෙලට ගොඩ ගසා තිබුනද , අනන්‍යයය තාවය අනුව ඒවා අපේමය.

“ඉක්මන් කොරා නම් නංගි, හය හත වෙන කොට මිනිස් පුළුටක් පාරේ නැහැ “

නිවසට ගෘහ භාණ්ඩ ප්‍රවාහනය කරා යැයි සැලකිය හැකි ලොරි බාගයේ පිටු පසට ගොඩ වූ මාත් අම්මාත් , යළිත් එයින් එළියට  බැස්සේ තාත්තා වැඩ කරන ස්ථානයෙනි.

“මයෙ පුතේ “

තාත්තා මා අසලට පැමිණ වෙන  කවරදාටත් වඩා ආදරයකින් මා බදා ගත් දී , මෙතන මොකක් හෝ මහා ලොකු කුමන්ත්‍රණයක් සිදු වන බැව් පහේ පන්තියේ මගේ මොළයට වැටහුනි.

එදා සිට වසරකට ආසන්න කාලයක් මාත් අම්මාත් ගෙවූයේ අහිගුන්ටික දිවියක් බැව් නොකියාම බැරිය. තාත්තා දැකිය හැකි වූයේ බොහොමත්ම කලාතුරකින් වූ අතර අම්මා නිතරම සිටියේ බියපත් වූ ලේනියක සේය. ඇය නිතරම අහස බලමින් හූල්ලයි. මා බදාන ,ඇගේ පිරුණ උණුසුම් ලයට මා තුරුලු කර ගනිමින්  සිප ගන්නේ අවසන් වතාවට මා සිප ගන්නා පරිද්දෙනි.එවිට ඇගේ හදවත ගැහෙනා හඬ පවා මට ඇසේ

ඇගෙන් අමාරුවෙන් මුහුණ ගලවා ගන්නා මම “ අම්මා මොකො මේ ? “ යැයි ඇසුව ද ,එයට පිළීතුරු ලෙස ලැබෙන්නේ දුක පිරි සිනාවක් සමඟින් යලිත් උණුසුම් තුරුලු කර ගැනීමකි.

මෙසේ ගෙවෙමින් තිබුන ජීවිතයට වෙනසක් සිදු වුයේ අහම්ඹයෙනි. ඒ වන විට භාවිතයට ගත නොහැකි මට්ටමේ පොලිස් නිල නිවාසයක් පිළිසකර කර එහි නැවතීමට ලැබීම හිතට සහනයක් විය.පොලිස් නිලනිවාස සියල්ල පිරී ගොස් තිබුනේ අපි වැනිම ආරක්ෂක සේවයේ නිලධාරීන්ගේ අඹුදරුවන් ගෙනි.

එකී නිවසට දිනක් පැමිණි චේ අයියා , එතෙක් එහි පැවැති තත්ත්වය සහමුලින්ම වෙනස් කිරීමට  ඉවහල් විය.

දිනක් සවස සෙල්ලම් කර අවසානයේ නවාතැනට ගොඩ වදින විට , චේ අයියා , චේ අයියාගේ මව යැයි සිතිය හැති කාන්තාවක් සමඟ පැමිණ සිටි අතර.ඒ අවස්ථාවේ දී ඔවුන් සමුගන්නවා පෙනුනි. චේ අයියා තම මවගේ දෙපා වදිද්දී , ඇගේ ඇසින් වැටුණු කඳුළු චේ අයියාගේ හැඳ සිටි සුදු කමිසය ලහි ලහියේ උරා ගත්තේ , කිසිවකුත් ඒ කඳුළු දකීදැයි සැකෙන් මෙනි.

“ අනේ බුදු මහත්තයෝ , මහත්තයට පිං සිද්ධ වෙනව මයෙ කොල්ල බේරල දෙන්න“

ආපහු යෑමට ගොස් තාත්තා කරා ආ ඒ කාන්තාව , දෑත් එක්කර වදිමින් පවසන්නට වූවාය.

“ හරි හරි හාමිනා යන්න කෝ, මෙහාට එන්නෙ නැහැ ඔය මිනිස්සු . බය වෙන්න කාරි නැහැ හාමිනා “

අඩමින් දොඩමින් , තවත් මොන මොනවාදෝ පවසමින් ඇය යන්නට විය.

නිල නිවාසයේ , වසා දමා තිබු එළිය කාමරය ඔහුට විවෘත විය. ඔහු ඉතා ප්‍රසන්න පෙනුමැති අපූරු ඉලන්දාරියෙකි. තළෙලු පැහැයත්, සුදුම සුදු දසන් පෙළත් , උස මහත දේහයත් , අපූරු කතා විලාශයත් මාගේ සිත් ගත්තේය. මේ සියල්ලටම වඩා ඔහු දන්නා කතන්දර හරි අපූරු ඒවා වූයේ , නිතර අසන කතන්දර වුවත් ඒ සෑම කතාවකම අවසානය වෙනස් ලෙස නිමවා තිබීමයි.

“ මොන පොතේ ය අයියේ ඔය කතාව තිබ්බෙ ? මම කියෙවුව පොතේ නම් හාවා තමයි දින්නේ “

ඔහු සිනා සී අහස දෙස බලා සුසුමක් හෙලයි.

“පොඩ්ඩියේ , හැම කතාවම තියෙන විදිහට නෙමෙයි. වෙනස් විදිහට අවසන් කරන්න බලන්න. ලෝකෙට ගැලපෙන අලුත් විදිහකට “

ඔහේ අහස දෙස බලා සිනාසෙමින් සිටින ඔහුව දිනක් මම අපේ සෙල්ලම් පිට්ටනියට එක්කාසු කරන් ගියෙමි.

“ කවුද සොසී මේ ? “

“ මයෙ අයියා “

“ මෙච්චර දවස් නොහිටිය අයියෙක් කොයිබින් දෑ ? “

“ ඔයැයිට ඒවයින් වැඩක් නැහැනේ. මයෙ අයියා  . . .කැම් ......“

කියන්නට ගිය කොටස ගිලගත්තේ , එය කිසිවකුටත් නොපවසන ලෙස තාත්තා උපදෙස් දී තිබූ නිසාය. ඉගෙන ගන්නට කියා මේ තරම් නලියන එකේ. අයියා කැම්පස් එකේ බැව් කීමට තහනම් කළේ ඇයි දැයි මගේ පහේ පන්තියේ මොළයට වැටහෙන්නට කලක් ගියේය.

අනම් මනම් ප්‍රශ්ණ විචාරීම් කුමක් වුවත් , අයියා සමඟ යහළු වූ කොල්ලන් කුරුට්ටන් අයියාව වට කර ගන්නට වැඩි වේලාවක් ගත නොවීය.

අපරාදේ මං අයියව එක්කරාන ආවේ . . ඉරිසියාවෙන් පිරුණ ම‘සිත කොඳුරන්නට විය. එදා සිට අයියා අහස දෙස බලා සිනා සෙමින් සිටිනු වෙනුවට , සැමදා සවසට මාත් සමඟ අපේ නඩේට එක්කාසු විය. ඔහුගේ අපූරුකතන්දර , අපූරු රඟපෑම් අප සැවොම වෙනත් ලොවක ට රැගෙන ගියා මෙනි.

නමුත් , සැමටම කරුණාව දක්වන මගේ මවට ,ඔහුව නයාට අඳු කොළ මෙන් විය. ඔහු දෙස බැලුවේ පිටසක්වලින් පැමිණි ජීවියෙකු දෙස බලන විලාශයෙනි. කන්නට දුන්නේ අප සැම කෑම කා අවසානයේ ඉතිරි  වු යමකි. මා ඔහු සමඟ දෙඩීමට යාම ගැන ඇය නොකැමැති විය.

“ යන්නෙහෙම නැහැ අයියේ කියාන භජනෙට , චේගුවේරා කාරයෝ , ඕකුන් හින්ද තමයි අපිට මෙහෙම වුනේ “

චේගුවේරා අයියා යන්න දිග වැඩි වූයෙන් අවසානයේ දී බොහොම ආදරණිය “ චේ අයියා “ යන්න අමන්ත්‍රණයට යෙදුනේ එලෙසිනි.

ශිෂ්‍යත්ව විභාගයට පන්ති යෑම නැවතුන හෙයින් එයින් මිදීම මට සැපතක් වුව ද , අම්මාගේ කන්කරච්චලය නිසා , සතර පොත් වල හිස් පිටු පුරවන්නට මට සිදු වීම අභාග්‍යයකි. නමුත් චේ අයියා එහි දීද පිහිට වූයේ ගණිත ගැටළු විසඳන ඉතාම විනෝදජනක පහසු ක්‍රම කියා දෙමිනි. චේ අයියා මෙහි ඒමට ප්‍රථම , ගණිත පන්ති පැවැත් වූ බව මට දැන ගන්නට ලැබුනි. ඒ නොමිලයේ බැවු දැන ගත්තේ ඊටත් පසුවය.

අම්මාද මාගේ ගණිත දැනුම ගැන සතුටට පත්ව ඒ ගැන විමසීමේදී සිදු වුනේ නොසිතූ දෙයකි.

“ චේ අයියැයි කියැල දුන්නේ , චේ අයිය පන්තිත් කරල තියේය කියන්නේ “

“ පන්ති “අම්මා ඇස් ගෙඩි දෙක උඩ යවමින් අසද්දී මගේ මුව ද ඇරිනි.

“ එයැයි දැන් මේ පුංචිඈයොන්ටත් මෙහේ පන්ති පටන් අරන් ය ? “

“ පහේ පන්තිය අම්මේ “ බිය වූ මා එසේ පවසද්දි අම්මා තවත් කෝප විය.

“ පන්ති පහ තමයි., තවත් ඔය එක එකාලැයි පන්ති වලට ගිහින් අහුවුනොත් හමගහනව මම “

එදායින් එදායින් ගණන් ඉගෙනීම නතර වූවා යැයි සිතන්නේ නම් වැරදිය. එවන් ගණිත ගුරුවරයෙකු අදටත් මා දැක නැති බැව් පැවසිය යුතුය.

චේ අයියා දිනක් හඩනවා මා දුටුවෙමි. ඒ ඇයි දැයි විමසූ විට ඔහු කියා සිටියේ “ මට සමාවෙන්න පොඩ්ඩියේ “ යන්න පමණි.එදා දවස ගෙදර කෑමට කිසිවකු.ත් උනන්දුව් ද නොවීය. බඩගින්නේ සිටි මම , ඒ වන විට නිවසට පැමිණි සිටි සෙනඟ අතරින් පීරා ගොස් අම්මා ගේ ගවුමේ එල්ලි සිටියේ මට බඩගිනි බැව් හැඟවිමටයි.

“බලන්න අක්කේ , කොයි තරම් මහන්සිවෙලාද ඔය තරමින් ගේ හදා ගත්තේ, වෙලාවට ගෙයි බඩු ටික ගෙහුන් දැම්මේ . හප්පේ මේවුව සහගහන අපරාද “

“ ඔහෙලට ඕව හොඳ පාඩම්  නංගියේ, ඔත්තු කාරයන් ගෙට දාගෙන කරන්නෙ නම් හොඳ වැඩක් නෙමෙයි. අපිට උනත් යමක් වුනොත් ඔහෙල වග කියන්න ඕනි “ 

ඒ නැන්දා පැවසුවේ චේ අයියා , සිටින කාමරය දෙස ඇස් ලොකු කරමින් බලමිනි.

එතැන් සිට අම්මා මෙන්ම තාත්තා ද යම් තරමකට චේ අයියා මඟ අරින තත්ත්වයට පත් විය. අපේ ගෙට ගිනි තිබ්බේ චේ අයියා ද? ඒත් ඒ ඇයි. මුල මැද අග ගැට ගසා නොගත හැකි ගැටළු රැසකට කිසිවකුත් පිළීතුරු නොදුන් අතර. චේ අයියා හවස් කරේ අපි සමඟ සෙල්ලමට ඒමද නතර විය.

දිනක් රාත්‍රී යේ ගෙදර එකම කාල ගෝට්ටියකි.

“ ඔයැයි තමයි මේවට වග කියන්න ඕනි “

“ මම , මං මොනා කරන්න ද හාමිනේ “

“ ඔයැයි තමයි මේ අහක යන වුන් ගෙන්න ගෙන ගෙයි අස්සෙ දාගෙන. අර පොඩි එකාවත් මට හදා ගන්න බැරි වෙනවා “

“ විලාප තියන්න එපා හාමිනේ “

“ විලාප , විලාප නෙමෙයි , කාට කාටත් ඇහෙන්න තමා මේව කියන්නේ. දුක් මහන්සියෙන් හම්බකරපුවා. මේව දෙයියන්ට පේන්න ඕනි. නයි පැටවුන්ට කිරි දෙන්න ඔහෙටත් ලැජ්ජ නැති හැටි“

පසු දිනට පහන් විය , උදයේම කිරි කෝප්පයත් රැගෙන චේ අයියා ගේ දොරට තට්ටු කරන මට කිසිම හා හෝවක් ඇසුනේ නැත.දොර ලොක් කරලා ද නැත. තල්ලු කල දොරින් ඇතුලට ගිය මට දැකිය හැකි වූයේ හිස් කාමරයත් පසෙක හේත්තු කර තිබූ පැඳුරත් පමණි.

“ අම්මා ,අම්මා  චේ අයිය නැහැ නේ “

“ ලොකු දෙයක් “

කාමරයට එඹී බැලු අම්මා සැනසුම් සුසුම් හෙළුවේය.

මා ශිෂ්‍යත්වය ඉහලින්ම සමත් වූ යෙමි.

චේ අයියාගේ මව අකාලයේ මිය ගියේ දැවෙන ටයර් සෑයක් දැක සිහිසුන් වී බැව් දැන ගත් මා අලුත් පන්තියේ ඩෙස්කුවේ හිස ගසා ගෙන ඉකිබිඳිමින් හැඩුවෙමි.

20 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. විප්ලවකාරී යුගය ජීවමානව අත්විද ගැනීමට සැලැස්සුවාට බොහොම ස්තූතියි.තාරුණ්‍යය බිලී බා ගැනීම හා මනුෂ්‍යත්වය දරුවෙකුගේ ඇසින් දකින ආකාරය හරි අපූරුවට ගළපලා තියෙනවා.
    හරි ලස්සනයි අක්කියෝ

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්... දැවෙන ටයර් සෑයවල් මමද පොඩි කාලේ දැක ඇත්තෙමි... වෙන දේවල් ගැන ලොකු තේරුමක් නැති වුනත්, නොදන්නා කෙනෙක්ට උනත් ඒ අත් වුනු ඉරණම ගැන බොහෝ සේ කම්පිත වුයෙමි... එසේ වුයේ මන්දැයි බොහෝ කාලයක් කල්පනා කලෙමි...

    අතීතයේ සිදුවූ දේවල් ගැන යමක් තේරුම් ගත හැකි වයසට පැමිණි දා සිට, තවමත් මා කල්පනා කරන්නේ වරද කාගෙද කියා පමණි...

    කෙසේ නමුත් ඒ අඳුරු අතීතය අපේ දරුවන්ට කිසිම දිනක දක්නට නොලැබේවා කියා ප්‍රාර්ථනා කරමි...

    සංවේදී මාතෘකාවක් අක්කේ...

    ReplyDelete
  4. චේ නං හරිම handsome හැබැයි... :D

    ReplyDelete
  5. සොඳුරු සිතිවිල්ලක් කියවන්න ආපු මාව අරන් ගියේ 88-89 කාලයට. ගමේම උ.පෙළ කරන 3න් දෙනාගෙන් එකෙක් වෙච්ච, ගමේම අනිත් අය ඇස් ලොකු කරලා අමුතු විදියට අපි දිහා බලද්දි, ගම ළඟම තිරිසන් කඳවුරක් තුලින් රෑ තිස්සෙ අදෝනා ඇහෙද්දි, රෑ තිස්සෙ තේ වතුවලයි, රබර් වතුවලයි නිදියද්දි ගත කරපු කාලයටයි !මොනවා හරි වාසනාවක් තිබිලා අපි බේරුනා ! දෙමව්පියෝ දුක් ගින්දරෙන් පිච්චුන කාලයක්.. හැමදාම පතන්නෙ අපි විඳපු දුක නම් ආයි කාටවත් විඳින්න වෙන්න එපා කියලයි !

    ReplyDelete
  6. අයියෝ එකම එක දෙපාරක් වැදිලනේ. I'm extremely sorry. මොනවා වුනත් චේ අන්තිම මොහොතෙත් තමන්ගෙ විප්ලවය අත්හැරියේ නැති විශිෂ්ටයෙක්.

    ReplyDelete
  7. සංවේදී කථාවක්...මමත් 89 ඔය කට්ට කෑවා..මාස ගානක් හිටියේ එක එක්කෙනාගෙ ගෙවල් වල..අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ නිසා..හරිම කරදර තිබ්බා..එතකොට අපි හිටියේ මාතර .....

    ReplyDelete
  8. නියමයි අක්කේ!

    ReplyDelete
  9. ඇඟේ හිරිගඩුත් පිපුනා. දුප්පත් චේ අය්යා....:(

    ReplyDelete
  10. ලස්සන කතාවක් අක්කේ !!!

    ReplyDelete
  11. ආයිමත් එහෙම කලක් එන්න නම් එපා කියල තමයි පතන්නේ . කැළණි ගඟ බඩ හිටි ළමයෙක් හැටියට කියන්න තියෙන දේවල් ලියන්න මෙතන ඉඩ මදි

    ReplyDelete
  12. මන් ඉපදුන අළුත වගේ.....ඔය කාලේ ගැන කියවලා තිබුණට අත්දැකිමක් මෙහෙම කියවලා නැ.....අප්පේ....අම්මලා තාත්තලා කොච්චර බයේ ඉන්න ඇත්ද?

    ReplyDelete
  13. මේ කාලේ මාත් දැකපු දේවල් තියනවා ඒත් දැන් ඒව වැඩක් නෑ .
    …හරි සංවේදී කතාවක් සො .සී .

    ReplyDelete
  14. සංවීදී කතාවක් අක්කේ.... මමත් පොඩි කාලේ දැක්ක ටයර් සෑයක්... ඒ අහපු දැකපු කතා ඇහෙද්දි මතක් වෙද්දි තාමත් හී ගඩු පිපෙනවා

    ReplyDelete
  15. මුලු රටම එකතු වෙලා කරපු ලොකු පවක් පඩිසන් ඩීපු කාලයක් එක....ඔය වගේ තරුණ, වටින, උගත් ජීවිත් කීයක් නම් අකාලයේ විනාස වෙන්න ඇත්ද.....?වගකියන්න ඕන කවුද කියලනම් දන්නෑ....හැබැයි මේ රටට අවශ්‍ය කරන ජීවිත හුඟක් නැතිවුනා කියල විතරයි මටනම හිතෙන්නෙ.

    ReplyDelete
  16. තරුණ ජීවිත ගොඩක් අකාලේ අයාලේ විනාස උන කාලයක් ඔය.. මගෙත් නෑදැයෝ සැහෙන්න මරාදාපු කාලයක්. ඒ දේශපාලනයක් කරපු අය නෙවෙයි. හැමදාම උදේට දකින ටයර් සෑ. බාගෙට පිච්චුනා මළමිනී. ගේට්ටු කණුවල එල්ලපු අත් කකුල් නැති ඔළු.. එහෙමත් කාලයක්..

    ReplyDelete
  17. දැකල නැති අහල ඇති ඒ නපුරු අතීතය...ආයෙත් හිත කොනිත්තපු සංවේදී කතාවක්..කතාව දුක්බර වුනත් බොහොම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා..සුබ පැතුම් අක්කී..

    ReplyDelete
  18. @ ගලයා

    මේ මම ඔයාගේ බ්ලොග් එකේ ලියපු කමෙන්ට් එක...ඒක පබ්ලිෂ් කරන්න බැහැ වර්ඩ් වෙරිෆිකේෂන් එනවා... ඒ ආවාම පේන්නේ නැහැ... පුලුවන් නම් ඒක හදන්න මල්ලි...
    //හරි අමුතු බ්ලෝග් එකක්...මම බැලුව කවුද මගේ බ්ලොග් එකට ඇවිත් පරණ පොස්ටුත් බල බල කම්මැලි නැතිව කමෙන්ට් කරන්නෙ කියලා.ඒ දිගේ අවිත් තමයි මෙතනට ආවේ..... වෙනස්....//

    ReplyDelete
  19. නිවහල් වු නිදහස්වු,
    සමාන වු ලෝකයක්,
    සැමට එක් යුක්තියක්,
    සැමට සම නිදහසක්,
    පතා යුද වැදි ඔබය,
    සොයුර මා නිති පැතූ,
    පරම වූ මිනිසත් බවය,

    හඬන අහසට නැඟුනු,
    පුලුටු ගඳ දුම් රොටුව,
    නිහඬවම කියූ බස,
    එදා නොවැටහුනු නමුදු,
    අද පසක්වේය මට,
    මිය නොගිය බව සබඳ,
    ඔබ,
    දුක් සුසුම් මෙලොව පවතින තුරා,

    " පිළිම නෙලා නැති විරුවන් පිරිසක්, සැමරුම් දින නැති විරුවන් පිරිසක්, සැතපෙන බව පස් කඳු යට රහසේ මිහිකත කම්පාවී ගුගුරා දෙස් දේවී ''

    ReplyDelete
  20. Ravi
    ගලයා
    Angel without wings
    Weni
    mithuru
    ඔබ නොදු‍ටු ලොවක්.....
    පූසා
    Podi Kumarihami
    මධුරංග
    Bindi
    සිතුවිලි නිහඬයි
    Gimhani
    පිස්සා පලාමල්ල
    ලොකු අයියා
    ක්සැන්ඩර් | Xander

    සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි..........

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...