..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, October 14, 2011

෴ සරා සඳ ට ෴

අන්ධකාරයටම හුරු වූ ඇගේ දෑස , කෑලි කැපිය හැකි ඝන අඳුර විනිවිද යවන්නට වූවාය. නිවසේ විදුලි පහන් නිවා දමා , කළුවරේම දොරකඩ පඩිපෙළේ , උඩම පඩියේ වාඩි වී සිටින ඇය , රිදුම් දෙන දණහිස් වලට අත තබා කකුල් දිගු කරේ සිහින් සුසුමක් ද පිට කරමිනි.එයටම තාල අල්ලන්ට මෙන් “ටකස්“ හඬින් බිදී ගිය දණිස් ඇටය , දහවල් කාලය පුරාම ඇය කළ වැඩ ගොන්නේ තරම කියා පෑවේය.

ඇය විදුලි පහන් නිවා දමා මෙසේ අදුරේ සිටින්නේ , එහා ගෙදර ගෘහණිය වන කාන්ති අක්කා හෙට උදෑසන අසන්නට ලැහැස්ති වන ප්‍රශ්ණ බොහෝමයකින් ගැලවීම සඳහාය.

“ මොකද නංගි , මහත්තය එන්න පරක්කු උනාද ? ඊයෙත් මම දැක්කා මහ රෑවෙනකම් ලයිට් පත්තු වෙනවා“

“ ඔවු“ කියා ගැලවීමක් නම් නැත. ඉන්පසු එක පිට එක උනන ප්‍රශ්ණ වලින් හැඟෙන්නේ , තමා පමණක් නොව ඇය ද නිදිනැතිව ඔහු එන තෙක් බලාහිද ඇති බවයි.

බල්ලෙක්ගේ බිරුම් හඩත් සමඟම නැවතත් ඇය අඳුරේ නෙත් දල්වන්නට වූවාය. ඒ නෙත් අඳුර දිගේම ගොස් අහස දෙසට යොමු වූයේ , පෙරමඟ බලන ඔහු ගැන විස්තරයක් සඳෙන් වත් අසා දැන ගැනීමට මෙනි. අහස පුරා සඳ වෙනුවට පායා තිබුනේ තරු කැට රාශියක් පමණි. හරියට අහස තැනින් තැන හිල් කර පුංචි පහන් රැසක් එල්වා ඇතිවාක් මෙනි.


නිවි නිවි පත්තු වෙන පුංචිම පුංචි කණාමැදිරි එළි , ඇයට  දිස්වුයේ අහසින්  තරු කැට වැටෙන්නාක් මෙනි. හුන් තැනින් නැගිට ගත් ඇය , කළුවරේම මදක් ඉදිරියට ගියාය. දැනුන සීතලෙන් මිදෙන්නට පපුව හරහා කිටිකිටියේ බැඳ ගත් දෑත් ප්‍රමාණවත් නොවූයෙන් , උරහිස් මදක් ගුලිකර ගත් ඇය , තමාටම ගුලි වූවාය.

බයික්කෙක තිබ්බ නම් මෙලහට ඇවිත් , ඇය තනිවම සිතුවාය. එක්කොත් ඒක විකුණපු එකත් හොඳයි. රෑ ජාමේ බයික්වල ගමන් හොඳ නැහැ. ඇය යළිත් සිතුවාය.
කෑම ආයෙත් රත් කරන්න වෙයි ද දන්නෙ නැහැ...... සිහින්ව නැඟුන කුසගිනි අස්සේ ඇයට සිහිවිය.

දැන්ම රත් කරල තිබ්බොත් , නැවතත් හැරී නිවස දෙසට යෑමට පිය ඔසවද්දීම ඇයට ඇසුනේ ළඟ ළඟම ඇසෙන අඩි සද්දයයි. සිනා පිපුන වත සමඟින් ඇය ආපසු
හැරෙත්ම , මෙතුවක් වේලා දකින්නට බලා සිටි ඒ රුව අඳුර අතරින් මතු වුයේ සඳ මිදුලට වැඩි සිරි උසුලමිනි.

“ අදත් ඇහැරන් මො කද  ? මං කියල තියෙනව නේ කාලා නිදා ගන්න කියල ,මම එන්න රෑ වෙනව කියල කීව නේ ද ? “
වදනින් එලෙස පැවසුව ද , මුහුණේ ලියවී තිබුනේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක් බැව් ඇයට කියවිය හැකිය.

ඇය ගැන උපන් සෙනෙහසින් මෙන්ම , රාත්‍රී නිදිමරන් මඟ බලාන් සිටීම පිළිබඳව කෘතගුණ දැක්වීමක් ද , ඒ බවට ඔහු සිත සතුට ද , ඒ මුහුණින් සඟවා දෑම්මට නොහැකි විය.

ඔහු අත රැඳි බෑගය ඇගේ අතටත් , ඔහුගේ අත , ඇගේ බඳ වටාත් එතෙද් දී , නිවස වෙතට පිය මනින දෙදෙනා අඳුරේම දැක ගත් , සැගවී සිටි සඳට දුක හිතුනේ , සඳ එළිය උතුරන දින වල ඇය මඟ නොබලා ඉන්න නිසා වන්නට ඇත.





මගෙ සරා සඳ හද අරා
ඇයි ද නුඹ තාමත් පමා
නෙතු පාරමින් මඟ බලා
හිඳිමි ඇයි දෝ නුඹ පමා

හද කැළුම් මඟ එළි කරන්
නොයා වෙනතක නුඹ පතන්
සිනා අනුරා එක් කරන්
එමි සොඳුර මා නුඹ සොයන්

සරා සඳ
මම
නුඹෙ
෴ සොඳුරු සිත ෴

7 comments:

  1. සරා සඳ එනතුරු බලා ඉන්න සොඳුරු සිත ගැන ලස්සනට කියලා.:)

    ReplyDelete
  2. වාව් අක්කා....හරිම ලස්සනයි....

    ReplyDelete
  3. සරා සද එනතුරා
    පාළු අහස දෙස
    බලාගෙන හිදිම් මා...

    ReplyDelete
  4. සරා සඳ මෙන් සොදුරුවූ සෙනෙහසක මහිම විඳ බලා ඉන්නා බව. හරිම සුන්දරයි.

    ReplyDelete
  5. ලස්සනයි අක්කේ!

    ReplyDelete
  6. අද හොඳටම අසනීප වෙලා ඉන්නේ කාගේවත් බ්ලොග් වලට යන්න වුනේ නෑ ඒත් මේක දැකලා ඔන්න ඔයාගේ බ්ලොගේ කමෙන්ට් එකක් දාන්න ආවා ..

    ලසනයි අයියෝ !! මාර ලස්සනයි ..සුන්දරයි ..!

    ReplyDelete
  7. / ඉන්පසු එක පිට එක උනන ප්‍රශ්ණ වලින් හැඟෙන්නේ , තමා පමණක් නොව ඇය ද නිදිනැතිව ඔහු එන තෙක් බලාහිද ඇති බවයි. /

    මේ කොටස නියමයි....වත්....

    මුලු දවස මුලුල්ලේ,
    දැවෙන සිත රත් ලවැල්ලේ,
    ඔබ සිනහ දුටු ඇසිල්ලේ,
    නිවී යයි සිසිලස සඳැල්ලේ,

    නෙත පුරා ඔබෙ රූ දකින්නට,
    ගත නිවන පෙම් බස් අසන්නට,
    වත එකලු හසරැල් බලන්නට,
    සිත පුරා සෙනෙහස විඳින්නට,
    තව්තිසා වට එන්නෙ සවසට,

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...