..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, October 9, 2011

෴ අවසන් රචනාව ෴



රචනාව ලියා නිම කිරීමට මා හට වැඩි වේලාවක් ගත වූයේ නැත. මෙතෙක් දින තිබියදීත් , අවසාන දිනයේ තක්කෙට වැඩ කරන්න මා පුරුදු වූයේ කවදා කොහේ දී දැයි මට මතක නැතත්. තක්කෙට කරන ලද බොහෝ වැඩ කටයුතු කල්තියා සිදු කරන ලද ඒවාට වඩා සාර්ථක ප්‍රතිපල නෙලා ගෙන ඇති බැවින් , කිසිදිනක වේලාපහ වැඩක නිතර වීමේ දැඩි උවමනාවක් මා වෙත නොවීය.

ලියූ රචනාව මුල සිට අගට කියවූ මා වතේ සිහින් සිනාවක් ඇඳුනේ , සිතුවාටත් වඩා හොඳින් එය ලියවී ඇති නිසාය.

නව වසරේ පාසලේ මුල් වාරයේ , නව පන්තියේ නව ගුරුතුමී , ඇය කොච්චි මිස් . . . .  පන්තියේ ළමයින් ඇයට දී තිබූ නම මොනතරම් නම් ගැලපේ දැයි මට නැවතත් සිතුනේ ශරීරයෙන්ද කුඩා ඇයගේ කටේ සද්දයත් , රචනා නොගෙනා ළමයින්ට බනිනා ආකාරයත් ඇගේ කඩිසරකමත් දුටු විටයි.. .... ඇගේ ඇඟේ දැවටී ඇති ලස්සන ලොකු මල් සාරිය ද පොඩ්ඩක් වත් එහා මෙහා නොවන්නේ ද ඇයට ඇති බියටයැයි මට සිතේ.

දින සති ගෙවී , එක් උදෑසනක සිසු හමු රැස්වීමේ දී විදුහල්පතිනිය  දැනුම් දුන්නේ , ඉතාමත් සතුටුදායක පුවතක් දැන්වීමට ඇති බවත්
මෙවන් ගෞරවයක් ලබා දිම ගැන 10සී පන්තිය ට තම ස්තූතිය පිරිනමන බවත් , සිසුන්ට මඟ  පෙන්වු කොච්චි මිස්ට ස්තූතිය පුද කරන බවත්ය.

කුමාරතුංග මුනිදාස ශූරින් අනුස්මරණ රචනා තරඟයේ පළමු හා තෙවන ස්ථාන පිළිවලින් අප පාසලට ලැබී ඇති බවත් , ඉදිරිපත් වූ අනිත් සියළුම දෙනාට ද සම්මාන සහතික ලැබී ඇති බවත් පැවසූ ඇය, නම් කියවන විට වේදිකාවට පැමිණ සහතික ලබා ගන්න යැයි පවසනාවත් සමඟම නැඟුනේ තාලයට නැඟුන අත්පොළසන් හඩකි.

සමස්ථ තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලැබී තිබුනේ ටෙක්ලාටයි. ඇය එකළ මගේ හොඳම හා සැබෑ මිතුරිය යි.

ප්‍රථම ස්ථානය මා නොවේ, තෙවන ්ථානය ද මා නොවේ , නමුත් මා වෙනුවෙන් සම්මාන සහතිකයක් ඇත. සම්මාන සහතික ද එකින් එක බෙදෙන්නට  විය. ඒ සහතික අතර ද මගේ සැනසීමට කාරණාව නොවීය. විදුහල්පතිනය රැස්වීම අහවර කළ ද , කොයි මොහොතක හෝ මගේ නම කියවෙනු ඇතැයි මා සවන් දී ගෙනම සිටියෙමි.

“ වත් , ආහ් කෙල්ලේ ඔයැයිතුත් රචනාවක් දැම්ම නේ ද? ‘

පන්තියට ඒමට සෑදුන පෝළිම පැන මයෙ ළඟට ආ මගේ හොඳම මිතුරිය හෙවත් තරඟාවලියේ ප්‍රථම ස්ථානය ගත්තී මගෙන් ඇසුවේ ඇගේ සහතිකය ලයට තුරුලු කරගන්නා ගමන්ය.

“ ඔවු. . .  ඒ උනාට ඒක එච්චරම හොඳ නැතිව ඇති මයෙ හිතේ “

ඇගේ මුහුණ බැලු මා යන්තමින් සිනා සී පැවසුවෙමි.

එදා පන්තියේ ඉගැන්වූ කිසිදෙයක් මතකයේ නොරුදුනත් , කොච්චි මිස් මා වෙත පැමිණ මට පැවසූ දේ වචනයක් නෑර අද වුව ද මතකයේ රැඳී ඇත.

ඇය මා වෙත පැමිණි බැව් මා නොදැන සිටි අතර , ඩෙස්කුවට බරවී තිබු මයෙ මූණ , ඇය වෙත හැරුණේ ළඟ සිටි යෙහෙළිය මගේ ඉනට එල්ල කල වැලමියි පහරිනි.

“ මේ ලෝකේ නෙමෙයි නේද ඉන්නේ , නැගිටිනව නැගිටිනවා.“

පුටුව සෙමින් පසෙකට කළ මම නැගිට්ටෙමි. රැස්වීමේ දී මට පිරිනැමීමට අමතක වූ සැනසිලි සහතිකය ඇගේ අතේ . . . .

“ පේනව ද තමුන්ට මේ මොකක් ද කියලා “

ඇය අත වු සහතිකය මා වෙත දිගු කරත්ම මම එය ගැනිමට අත් පැව ද ඇය එය මගෙන් දුරස් කර මගේ දෑස් මට්ටමට මට පෙනෙන සේ දිග හැරියාය.

“ මයෙ රචනාව මිස් “

“මයෙ රචනාව. ලැජ්ජ නැතිව කියන හැටි මයෙ රචනාව “

ඇය කිහිපවිටක් එය උච්චාරණය කළාය. “මයෙ රචනාව“

“ ලැජ්ජ නැද්ද ළමයො කොපි කරන්න. තියා ගන්නව මහ ලොකු රචනාව.ඔය රචනාව තරඟෙට යැවුව නම් ස්කොලෙ නමත්
කැත වෙනවා , වෙලාවට මම කියවල බැලුවේ “

සැනසිලි සහතික ,මයෙ රචනාව, මම ,
රචනාව . . .මයෙ ලස්සන අකුරු වලින් පිරුණ පුස්කැෆ් කොළය... මම ..... ඔවු මම . . . . ඉන් පසු මම කිසිදිනක රචනා නොලීවෙමි. සා.පෙළ විභාගයේ  දීද  රචනාව උවමනාවෙන්ම අත්හලෙමි.

මා සා/පෙළ සමත් වුයේ විශිෂ්ඨ සම්මාන(ඩී) 7ක් සහ සාමාන්‍ය සම්මානයක් (සී) සමඟිනි.ඉන් පසු විද්‍යාව උගත් මා යන්තමින් විශ්ව විද්‍යාලයට ගොස් විද්‍යා උපාධිදාරිනියක වූයෙමි.

නමුත් අදටත් මා සිත මේ රචනාව හොල්මන් කරන්නේ ඇයි දැයි මට නොතේරේ.මා ඇයට හෝ මට සමාව දිය යුතුය. සැබැවින්ම මා සිත නිදහස් කර ගත යුතුය.ඒ සඳහා මා මගේ මතකය රචනාව බාර දීමට තිබූ අවසන් දිනයේ උදෑසනට රැගෙන යන්නම්. . . . . .

--------------------------------------------

“ වත් , ඔහෙ රචනාව ලීවැයි , පිටු කීයක් විතර ලීවැයි “

“ පුලස්කැෆ් කොළ යක දෙපැත්තයි තව බාගෙකුයි ලීවා “

“ මට ලියා ගන්න බැරි උනා , ඊයේ හිච්චි මල්ලිට අසනීප වෙලා , දවසෙම එයැයි ව බලා ගන්න උනා. බාගෙට ලීවේ , අද දෙන්නත් ඕනි කියල කොච්චි මිස් කීව නේද ? මට පොඩ්ඩක් දෙනවැයි  ඔයැයි ගෙ රචනාව බලන්න ? “

මද වේලාවක් ඇය දෙස බලා සිටි මම , පොත් බෑගෙයේ සුරක්ෂිතව බහා තිබූ රචනා කොළය ගෙන ඇය වෙත පෑවෙමි. ඇය එය ගත්තා නොව උදුරා ගත්තා සේ මට දැනුනි.

“ ඔයැයි ලියපු එකම මම ලියැන්නෙ නැහැ. කියවල බලල අදහස අරන් ලියන්නේ“

හිස දෙපසට සෙලවූ මා හට නැවතත් මගේ රචනාව අතට ලැබුනේ කොච්චි මිස් විත් රචනා එක්කාසු කරනා විටයි.

-----------------------------------------

ප/ලි-

වයසින් මුහුකුරායත්ම මිනිසුන් සමාජය ගැන ඇති අවබෝධය පුලුල් වේ . නමුත් ළමා වියේ සිතුවිලි බර ගැන්වී හදපතුලේම තැන්පත් වේ.

මා ගුරුවරිය වීමට ආසා කරමි. ඒ කොච්චි මිස් අතින් මට සිදු වු බරපතල අසාධාරණය නිවරදි කිරීමට විය හැක.

පිරිමි මිතුරන් මිසක ගැහැණු මිතුරියන් ප්‍රතික්ෂේප කරමි. ඒ යෙහෙළියක නිසා මට සිදු වූ අසාධාරණය නැවත සිදු වීම වලක්වා ගැනිමට විය හැක.

නමුත් මා නැවතත් ලිවීමට පෙම් බඳිමි. මා ලිවීමට දක්ෂ නැත. නමුත් මම ලියමි. ඒ මගේ සිතේ තැනක ඇති බරපතල තුවාලය සුව කර ගැනීම සඳහා විය හැක.

18 ප්‍රතිචාර:

The Lion said...

සමහර ගුරුවරුන් ඔහොම තමා .......

හංසි said...

කියෙව්වාම දුකක් දැනුණා.. කොච්චර දුකක් දැනෙන්න ඇත්ද මේ වෙලාවෙදි.. ඒත් ඇයි මිස් ඒක සහතික දෙන දවස වෙනකම් තියන් හිටියෙ? ඊට කලින් අහන්න තිබුනානේ කොපි කරාද කියලා. ගුරුවරුත් හරි පුදුමාකාරයි. එයාලා හිතන දේ විතරමයි හරි කියලා හිතන්නෙ.. එයාලාගෙ අතින් වරදක් උනත් ඒක පිළිගන්න ලෑස්තිත් නෑනෙ.

Podi Kumarihami said...

//පිරිමි මිතුරන් මිසක ගැහැණු මිතුරියන් ප්‍රතික්ෂේප කරමි. ඒ යෙහෙළියක නිසා මට සිදු වූ අසාධාරණය නැවත සිදු වීම වලක්වා ගැනිමට විය හැක.//

අපොයි මේක නම් ඉතින් හරිම අසාධාරණ වැඩක්නේ...:D

ඔයවගේ දෙයක් උනාම එහෙම හිතුනත්, මිතුරියනුත් ආශය කරලා බලන්ට. ඕනෑ තරම් හොඳ අය ඉන්නවා...:)

Weni said...

ඔබ මේ කාරණයේදී කොහොමවත් වැරදි නැහැ සොයුරිය, නමුත් අවශ්‍ය අවස්ථාවේ ඔබ කථා නොකල නිසාම ඔබ ඒ අවස්ථාවේ ඔබේ නිවැරදිතාවය ඔප්පු කර ගන්න බැරි උනා..නමුත් ඔබ අසාර්ථක වුනේ නැහැ..ඒ වෙනුවට හැරිලා බලන්න ඔබගේ රචනා ගොන්න බ්ලොග් එකේ.. එදා ඒ හිටවපු පුංචි බීජය අද අතු පතර විදහා ගිය මහා ගහක් වෙලා ..බලන්න විඩා නිවන මිනිස්සු (ගැහැණු සහ පිරිමි ) දිහා ඒ ගහ යටට වෙලා ! මම වැරදි නම් සමාවෙන්න.. මම හරියටම තෙරුම් අරගෙන නැහැ ඔබගේ මේ ලිපියෙ අරුත !

ක්සැන්ඩර් | Xander said...

මේක නිකම් කනට ගැහුවා වගේ.. සමහර ගුරුවරු, ගුරුවරු උනත් තමුන් කරන වැඩ වලින් ළමයින්ගේ ජීවිත වලට වන බලපෑම හිතන්නේ නෑ. මේ එකට හොඳම උදහරණයක්. කරුණු කාරණා හොයබලන්නේ නැතිව ගන්න අදුරදර්ශී තීරණ නිසා වෙලා තියන බලපෑමක්. ඇත්තටම කොපි කරපු එකී සම්මාන ලබද්දී එකේ නියම සුදුස්සා පල් වෙන්නේ ගුරුවරියගේ තියන අදූරදර්ශි තීරණය හා තර්කනය නිසා නෙවෙයිද? මේක ඇත්තම සිදුවීමක් නම් එකේ මානසික බලපෑම එතරම් වෙලා නෑ. නමුත් මේ නිර්මාණශීලිත්වය වැලලුනානම්?

කතන්දර Kathandara said...

මේ ඇත්තද?

නන්දු said...

ගොඩක් දුක හිතුණා.. මට මං ගැන මතක් වුණා.. මගෙ පාසැලෙත් හිටියා කොච්චි මිස් නමින් හැඳින්වූ ගුරුතුමියක්... අවාසනාවට ඇය මගේ පුංචි නැන්දා.. පන්තියට ආවොත් ප්‍රශ්න පත්‍රයම දිග ඇරෙන්නෙ මගෙ නමට... අන්තිමට පාසැලෙන් මාව අස්කරන් වෙනත් පාසැලකට මාව ඇතුලත් කරන්න මගේ පියාට සිද්ධවුණා.. ඔබේ රචනා ශෛලය හැමදෙනාටම පෙන්වා හමාරයි සොයුරියණි... මනුෂ්‍යයෝ විවිධයි... ඒ මතකයට සමාවදෙන්න.. :)

නෙරංජි | Neranji said...

ලස්සන ලිපියක් අක්කෙ... මමත් රසවින්දා

ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර said...

මෙවැනි සිදුවීම් විරලයි කියලා මම කියන්නේ නෑ ඒත් ඇත්තටම ප්‍රායෝගික ලෝකේ වෙන මෙවැනි අත්හල යුතු සිදුවීම් නිසා ළමයි කීදෙනෙක්නම් තමන්ගේ සොඳුරු අනාගතේදි අතීත මතක අමතක කරනවද..

වර්ෂා.. said...

මටත් ඕවගෙ දෙයක් වෙලා තියෙනවා..ඇයි දෙය්යනේ යාළුවො මෙහෙම දේවල් කරන්නෙ.

නිසුපා said...

අක්කට එදා සෑහෙන්න දුක හිතෙන්න ඇති.ජයග්‍රහනයක් නොලැබුන එකට වඩා හොදම මිතුරියගෙන් වුන විස්වාසය කඩ කිරීම නිසා.පිරිමි මිතුරන් අතරත් ඔහොම අය ඉන්න පුලුවන්. ඒ නිසා පරිස්සමින්.

ඔජායෙ.... said...

පිස්සුනේ ....
මම වැඩිය පොත් කියවල නෑ....

එත් ඔබ ලියන දේවල් තරම් ලස්සනට ලියපුව දැකලත් නෑ අක්කේ....

හිස් අහස said...

හප්පේ මටත් වුනේ මෙන්න මේ වගේ දෙයක් !!

හිස් අහස said...

ඔයා ලියන කවි සහ අනෙකුත් සටහන් වල අමුතුම ලස්සනක් තියනවා .

මේක ඇත්ත කතාවක් නේද ?

Gimhani said...

මගේම සාරිය අගේට ඇඳගෙන ඇගේ වගේ යනවා ....

හරී - පිණිපළස said...

වත්,, මේ ඇත්ත කථාවක් වගෙයි දැනෙන්නෙ,, මගේ තාත්තා මම ඉගෙන ගත්තු පාසලේම උගන්නපු ජෙශ්ඨ ගුරුවරයෙක්. ඔය වගේ සිද්ධියක් මගෙ මතකේ හැමදාමත් තියෙනවා. වරක් මම භාශා දින තරඟෙකට ලිව්වා කෙටි කථාවක්. බොහොම ආසාවෙන් , මහන්සිවෙලා. මේක හරි නැහැ. ලැබුණෙ ඒ වගේ පැසසුමක්. මට පස්සෙ වෙන යාළුවෙක් ලියාපු කථාව තමයි ඇය තෝරලා තිබුණෙ, ජයග්‍රහණයම අවශ්‍ය නැහැ. නමුත් ඇගයීමක් ඕනා නේද? ( උසස් පෙළට කලාව තෝර ගන්න මම බය උනේ මෙතනින්. ගණිතය කරා. අද ඒකත් නැතුව මම ආයෙත් මේ කවි, සිංදු ළඟ නැවතිලා.) හේතුව තාත්තා විසින් ඇගේ පාඩම් අධීක්ශණය කිරීම. අදටත් යමක් ලියන්න ගත්තම මගේ මතකෙට එන්නෙ මේ සිද්ධිය. මේක හරි නැති වෙයිද? මේවගේ සිද්ධි අපේ ජීවිත වලට බලපානවා පුදුම විදිහට, ඒත් මේවා හැමදාමත් කෙරෙනවා,

සිතුවිලි නිහඬයි said...

ඔය වගේ ගුරුවරුත් ඉන්නවා...ළමයිනුත් ඉන්නවා.....හම්....
ඒත් අක්කා ඒ රචනාව නැති වුණාට අද වෙනකොට ඔයා මේ බ්ලොග් අවකාශේ ඉන්න ලිවීමේ හැකියාවෙන් පිරිපුන් කොනක්....ඒ ගැන හිතලා සතුටු වෙන්න....!!

Chandi said...

නංගි, මෙහෙම දේවල් හැමෝටම වෙලා තියෙනවා. ඒක දැන් අමතක කරන්න කාලය ඇවිත්. ඔබ අද ඉතාම සාර්ථක කතා කාරියක් වෙලානෙ. ඒ පසුබෑම ඔබව මෙපමණ දුරක් ගෙනාවා වෙන්නට පුලුවන්. ඔබට සෙනෙහසින් ජයම පතනවා.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...