..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, October 7, 2011

෴ විඩක් කමු ද ? ෴

“ එපා ළමයෝ , මං දැන් කිපාරක් කීව ද ? බුලත් කෑවම අකුරු කියන්න බැරි වෙනවා “

සීයාගේ විඩ බංකුවේ වූ කොටනා ලදුව , හොර රහසේම මයෙ කටට ගිය  විඩ කුඩු කටෙන් විසි කිරිමට මා එළියට දීවේ තකහනියෙනි.

තවමත් හරිහැටි පාට නොගිය , ලස්සන රතු පාට විඩ කොටේ මිදුලේ පැත්තක දිලිසෙන්නට වූව ද , මම මහ හයියෙන් “අ“යන්න “ආ“ යන්න “ඇ“යන්නයි හඬ නඟා පවසා , මව සිටින ඉසව්ව දෙස බැලුවේ , අවුලක් නැති බව පෙන්වීමට
මෙනි. මා දෙස බලා සිටන සුරංගනාවිය වැනි අම්මාත් , කටු පෑදුන නැන්දාත් මහ හඬින් සිනා සෙන්නට වූයෙන්. සිංහල අකුරු හෝඩියේ ඉතිරි අකුරු කිහිපයක් ද හඬ නඟා පැවසීමට මට සිදුවිය.


මා පළමු වරට විඩ කෑමට පුරුදු වුයේ නිවාඩු කාලයේ දී සිදුවන සංක්‍රමණය හේතුවෙනි. උස මහත සද්දන්ත දේහධාරී අපූරු කඩවසම් සීයා , විඩ කොටා  කන්නට පුරුදු වූයේ ඇයි දැයි මම නොදනිමි. සිහින්ව ලියනා ලද පුවක් ගෙඩියක් , බුලත් කොළ හතරක් , හුණු හින්නික් විතර දමා පුංචි ලී වංගෙඩියේ කෙටෙන විඩ අපූරු රසයක් ගෙන දෙන බැව් මා දැන ගත්තේ , විඩ කොටන්නට මට දුන් පලමු දිනයේ මය.


විඩ කොටා අවසන් වූ පසුව ලී වංගෙඩියට ලී පතුරක් දමා විඩ කුඩු ටික ලිහිල් කර තරමක් ලොකු බුලත් කොළයකින් ලී වංගෙඩියේ කට වසා වංගෙඩිය අනිත් පස හරවයි. (උඩුයටිකුරු) ඉන් පසුව වංගෙඩියේ පතුලට සිහින් තට්ටු දෙක තුනක් දුන් පසු රතට රතේ දිලිසෙන මනාව කෙටී ඇති විඩේ යන්නේ හෙප්පුවටයි. ඉන් පසු සීයා විටෙන් විට විඩ කයි , පඩික්කම රතු කෙළ වලින් පුරවයි. විඩේ ටික වෙලාවක් සපන සීයාගේ මුහුණ දෙස බලනා විට විඩක රස කෙතරම්දැයි සිතා ගත හැකිය.

ඒ රස කොයි ආකාරයෙන්දැයි බැලීමට ගොස් සිදු වූයේ කෙටී හෙප්පුවටත් ඉන්පසු සීයාගේ අතටත් යන විඩේ ප්‍රමාණය අඩු වීමයි.

“ ආහ් චූටියේ , මොකැයි මේ විඩේ අඩු වෙලා. “

සීයා එසේ පවසන්නට පටන්ගත් දාට පසු දිනම සිදු වූයේ , සීයා අවශ්‍ය අඩුවැඩිය සපයා ගිය පසු මගේ ගානේ ද බුලත් කොළ දෙකක් වැඩි පුර විඩ වංගෙඩියට එක් වීමයි.

ප්‍රමාණාත්මකව විඩ සෑදුන ද ,එහි ගුණාත්මකභාවය අභාවයට ගොස් තිබුණු බව සියා ඇගෙවුවේ මෙසේය.

“ ආහ් චූටියේ , මක්කයි බොල මේ විඩ , කටේ තියන්න බැහැ නෙව. “

එදිනට පසු විඩ කොටන සෑම විටකම සීයා විසින්ම බුලත් කොළ දෙකක් ද එයටම සරිලන අනිකුත් අඩුවැඩිය ද සපයන්නට යෙදුණි.

එකල තරුණ වයසේ පසු වූ අම්මා , විඩක් කෑවේ ඉදහිටය. එය ද විශේෂයෙන් මළඉලවු ගෙදරක ගොස් පැමිණි විටක
පමණි. ඇය කිසිම විටක විඩට හුණු දුන් කොල එක්කරේ නැත. වැඩි පුරම කළේ නිකම්ම නිකම් බුලත් කෑමයි.නමුත් ඇය යහමින් සපා දෙන විඩ කොටේ ද අමුතුම රසක් ඇත.

බුලත් කොළයේ අගිස්ස සහ නටුව මදක් කඩා දමනා ආතම්මා , බුලත් විඩ කෑවේ හීනියට ලියූ පුවක් සමඟිනි.ඇය කිසිවිටක රට පුවක් නොකෑ අතර පුංචි පුවක් පමණක්ම විඩඩට එක්කර ගන්නීය.

අද සීයා නැත. ආතම්මා ද නැත , බුලත් වංගෙඩියත් , පඩික්කමත් ඔවුන් සමඟම අවසන් ගමන් ගියා මෙනි. ගිරය සහ හෙප්පුවත් , හුණු දැවටු පුංචි බෙලෙක් ඩප්පියත් ඉඳහිට එළියට එන්නේ වයසක කපුමහතා පැමිණෙන දිනට පමණි.

රන් වන් බුලත් හෙප්පුවක් අපේ ගෙදර ඇතත් දැන් එය ද ලස්සනට පමණක් සීමා වී ඇත. පිත්තල පැහැ පඩික්කම් දෙකක් ද නිවසේ ඇතත් , ඒවාට කෙළ ගසන්නට කෙනෙක් නැත. දෑවද්දට ගෙන ගියත් නිරපරාදේ සාලයට වී බලන් සිටිනු ඇත.

රන්වන් හෙප්පුවේ බුලත් කොළ තබා මනමාලයන් බැලුවේ මුල් අවදියේ පමණි. දැන් එය ප්‍රතිස්ථාපනය වී වතුර වීදුරුවත් බන්දේසියත් පැමිණ ඇත්තේ සියල්ල පහසු කරමිනි.

මළගෙදරක දී පන්සලක දී මෙන්ම ඇතැම් විටක කාර්යාලයේ දී විඩ සපන කොල්ලන් මා දැක ඇත. කොල්ලන් විඩ සපන්නේ , කටේ ගඳ යන්නට බැව් කවුදෝ කීවා මතකයේ ඇත.

රෝහලේ , කාර්යාලයේ මෙන්ම බොහෝ ප්‍රසිද්ධ ස්ථාන වල මෙන්නම නවීන නිවෙස් වල සිටින ආතම්මලාට සීයලාට විඩ කෑම තහනම්ය. බසයේ දී විඩ කන්නන් ගෙන දෙන්නේ මහම කරදර ගොන්නකි.

හුණු දුන්කොළ පදමට දමා කන විඩේ මරයා සැඟවී සිටින බව ද රහසක් නොවේ.

සාර විඩ බලන්නට
ආසා හිතෙන කෑ විට කට සුවඳ කරන අපූරු විඩ වර්ගයකි. සාර විඩ විකුණන්නන් දැකීම එවැනිම දුර්ලබ මෙන්නම රසවත් චිත්‍රයකි.බාබුල් යනු විඩ වර්ගයක් දැයි හරිහැටි අදහසක් නොමැති නමුත් , බාබුල් තරුණයන් සහ ගැටවරයන් අතර ප්‍රසිද්ධ බව ප්‍රසිද්ධ රහසකි.

නමුත් ඉදහිට හෝ විඩක් කා මත් වූ විට දැනෙන රස නම් මෙහෙවු රසයකැයි නොකියාම බැරිය.

ප/ලි-
අයෙක් විඩ කියද්දී තවත් අයෙක් විට යැයි පැවසූව ද, මේ නම් දෙකම බුලත් සමඟ අනිකුත් අඩු වැඩියාවට කියන නම් බව සැලකුව මනාය.

අවවාදයයි - නොදන්නා පුවක් සමඟ විඩ කෑමට නොයන්න. මතය වැරදී තොල කට වියළි ගොස් අමුතුම ලොවක තනිවන්නට සිදුවනවා නොඅනුමානය.

24 ප්‍රතිචාර:

මාතලන් said...

විඩ ගැන් ලියැවුනු අපූරූ පනි "විඩ" යකි. විඩ කෑම ගැන වෙද මහත්තයා (වෙද ගෙදර මහ වෙදනා.) අපූරූ කතාවක් ලිව්වේය. පොඩ්ඩක් සෝදිසි කලොත් හොයා ගත හැක ඒ ගැන මගේ "පුංචි පවුල රත්තරන්" ලිපියෙත් සඳහන් කර ඇත.

පූසා said...

විඩ ද විට ද? මං නම් අහලා තියෙන්නේ විට කියලා.

"ඉදහිට හෝ විඩක් කා මත් වූ විට දැනෙන රස නම් මෙහෙවු රසයකැයි නොකියාම බැරිය."

ඒ කතාවනම් සහතික ඇත්ත අක්කේ! මමත් ඉඳ හිටලා විටක් කනවා :)

Podi Kumarihami said...

මාත් මේ ඒකමයි කියන්ට හැදුවේ මට ඒක ඇහෙන්නේ 'විට' කියලා 'විඩ' කියලා නෙමේ. මට හිතුවේ මම වැරදි කියලයි. ඒ කියන්නේ දෙකම පාවිච්චි වෙනවා කියන එක නේද?

බුලත් කෑවාමත් මත් වෙනවද ?

සොඳුරු සිත said...

@ පොඩ්ඩි
අවවාදයයි - නොදන්නා පුවක් සමඟ විඩ කෑමට නොයන්න. මතය වැරදී තොල කට වියළි ගොස් අමුතුම ලොවක තනිවන්නට සිදුවනවා නොඅනුමානය.

ඔවු පොඩ්ඩියේ ..සමහර විට ජාති කෑවම මත් වෙනවා.විශේෂයෙන් සමහර පුවක් ජාති නිසා.

ඔවු..විඩ , විට දෙකම කියනවා....

සොඳුරු සිත said...

@ මාතලන්
විඩ කෑමෙහි ඖෂධිය ගුණයක් ඇති ... මම පොත් වල කියවල තියෙනවා. ගැහැණු ගමනක් යන්න කලින් , හොඳ හැටි විඩක් හපල තොල් රතු කර ගන්නවලු.

අඹු සැමියන් , රෑ නින්දට කලින් හොඳවයින් විඩක් හපල කට සුවඳ කර ගන්නවලු.

මාතලන්ට නිසා මිසක්, වෙන අයට නම් මේව කියන්නේ නැහැ මම්...

සොඳුරු සිත said...

@ පූසා
එහෙනම් මේ කොල්ලන් ඉදහිටල විඩක් හපන්නේ , කට සුවඳ කර ගන්නම විතරක් නෙමෙයි වගේ....

ඔවු මල්ලි , විඩ විට දෙකම හරි....

සිහින said...

මේ ඊයෙ පෙරේද දවසක බුල්ටො දාල තිබ්බ පෝස්ට් එකක් නිසා මාත් තකහනියක්ම හංදියට ගෙහුං විටක් ගෙනත් කෑවා.දැං මේක දැක්කම අදත් කන්න වෙනවා.මම දැනට විට ජාති 3 ක් කාල තියනවා. නිකං විට,සාර විට,බාබුල් විට.අපි කියන්නෙ විට කියල...

Gimhani said...

සො.සී මතක් කල නිසා ඇත්තටම විටක් කන්ට ආස හිතුනා ...

prasanna86k said...

අක්කා අන්තිම අවවාදය දුන්නේ අත්දැකීමෙන්ද?

අපේ ගෙදරත් කලු ගැහිච්ච හෙප්පුවකුයි, ලී වලින් හදපු පොඩි වංගෙඩියකුයි තියෙනවා... ඒත් ආච්චියි සීයයි නැතුවුනාට පස්සේ ඒවා කවුරුවත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ....

රාජ් said...

සොසීත් විඩ කනවැයි?
දකුණු පළාතෙ පාවිච්චි වෙන වචනෙ තමයි "විඩ". "බුලත්විඩ" කියලත් කියනවා. අනෙකුත් ප්‍රදේශවල "බුලත් විට" එහෙම නැත්තං නිකම්ම "විට". බාබුල් නං ජරාවක්. කවදාවත් කන්න එපා.
මාත් ටික ටික විතර විට කනවා. දැනට පැය දෙකකට විතර කලිනුත් විටක් කාලයි ආවෙ. විට කෑ විගස දත් මැදිය යුතුය. නැතිනම් දත්වල බැදුනු කහට ඉවත් කිරීමට හෙනම ගේමක් ‍දීමට සිදුවේ. නියමිත ගණ පිහිටුවා කන විටකින් කන්දෙක යාන්තමින් රත්වේ.
අපේ පැත්තෙ ඉදපු එක්තරා පරිපාලන නිලධාරියෙක් විට කෑමට පුරුදුවෙලා හිටියා. ඒ.සී. කාමරේ ඉදල විටින් විට එලියට එන්න බැරි නිසා එතුමා කරන්නෙ ලාච්චුවෙ වැලිදාපු ටින්එකක් තියාගෙන ලාච්චුව ඇරලා ඒකට කෙලගහනඑක. පිට ඉදල බලං ඉන්න කෙනෙකුට පේන්නෙ ලාච්චුවට කෙල ගහනවා වගේමයි.

නදී said...

මමත් ඉදලා හිටලා විටක් කනව.අපේ ගෙදර බුලත් වැලක් තියනව,පොලෙන් ගේනව කපාපු පුවක්.හුනු දුන්කළ නම් කන්නෙ නෑ.

Chandi said...

පොඩිකාලෙ අත්තම්මට විට කොටලා දෙත්දි ඔන්න විටේ රස බැලුවා. කාලෙකින් කටේ තියලා නෑ. රසවත් සාර විටක් නම් කන්න ආසයි. ඒත් හම්බවෙන්නේ නෑනේ ඒවා. ගෙදර බුලත් වැලක් නම් තියෙනවා, කවුරුත් කන්නෙ නෑ. රසවත් විස්තරයක්. ස්තූතියි.

පැතුම්..... said...

මමත් ළඟදි කෑව හොඳ විටක්.. ඒක කාපු ආතල් එකට ලිව්ව පෝස්ට් එක මෙන්න..

http://biththiya.blogspot.com/2011/09/blog-post.html

Dinesh said...

මාත් මාරම ආසයි සාරවිට නම් කන්න.. ලංකාවට ගිය වෙලේත් ගෝල්ෆේස් එකේදි එකක් අරගෙන කෑවා...

ගල්මල්-Coral said...

පරණ කාළේ බුලත් විඩක සුවඳ වෑහෙන පොස්ට් එක නංගී.

මිල්ටන් පෙරේරා නම් ගැයුවේ සිරි සාර බුලත් විට කියලා, අපේ පලාතේ සොසි කියනවා වගේ වචන දෙකම පාවිච්චි කරනවා තමයි.

සිරි සාර බුලත් විට:
http://www.infolanka.com/miyuru_gee/seventy/s112.ram

/හුණු දැවටු පුංචි බෙලෙක් ඩප්පිය/ බුලත් පසුම්බියේ හුණු ඩිංගිත්තක් අරන් යන ඩප්පිය කිල්ලෝටය කියලත් කියනවා, ඉස්සර කාලේ වටිනා ලෝහ වලින් හදපු කිල්ලෝට පාවිච්චි කරාලු.

බොහෝ දකුණු ආසියාතිකයින් අද බුලත් විට වෙනුවට රසායනික ද්‍රව්‍ය කවලම් කර පුවක් පැකට් අපාවිච්චි කරන්නේ. ඒ වගේම අරාබිකරයේ ඛාත් (Khat)කියන කොළ වගයක් පාවිච්චි කරනවා, එයද බුලත් විට වගේම සැර දෙයක් බවයි කියන්නේ. අබුඩාබියේත් හැම තැනම බුලත් විට මුද්‍රාව දකින්න ඇත. නීතානුකූලව එය දිර්හම් 500ක (රුපියල් 15000 තරම්) දඩකන්න තරම් වරදකි.

ඛාත් (Khat):
http://en.wikipedia.org/wiki/Khat

රවා said...

විඩක් නෙමෙ ලමයො විටක්... මම නම් හොදට විට ගහනවා.. ගෙදර ඉන්න දවස් වලට 5 ක් විතර කනවා . ( අවුරුදු පහක් විතර මම ගෙදරමයි හිටියෙ )

harshana1985 said...

මමත් ඉස්සෙල්ලම විට කන්න පුරුදු වුනේ ආච්චිලට විට කොටල දීල තමයි. ඒත් අද ආච්චිලත් නෑ, විට කොටපු වංගෙඩිය විතරක් තියනවා ගෙදර.

මම නම් වැඩිපුරම විට කන්නෙ මල ගෙවල් වල ගියාම හරි පිරිත් ගෙවල් වල ගියාම හරි තමයි, හුණු ඩිංගක් දාලා දුන්කොලත් යහමින් දාගත්තම කන් දෙකෙන් දුම් පොඩ්ඩක් දාගෙන නිදිමරන්න පුලුවන්.

පාඩම් කරන කොටත් විටක් කටේ දා ගත්තම සිරාවට පාඩම් කරන්න පුලුවන්. ඉස්සර මමයි තව එකෙකුයි හොස්ටල් එකේ විට පෙට්ටියක් හදා ගෙන හිටියා, කරදමුංගු, සාදික්කා එහෙම තියන, හෙන සුවඳයි ඉතිං. කොහොම හරි හොස්ටල් එකේ ඉන්න උන් විට කන්න පුරුදු වෙලා අන්තිමට අපිට මල වදයක් උනේ. විටක් කන්න කියලා ඇවිත් පෙට්ටිය ඇරලා බලන කොට ඒක හිස්, කෙලලා ගිහිල්ල ඔක්කොටොම,බුලත් නැට්ටක් වත් නෑ.

මම නම් කැමතිම සිංහල දුන්කොල හරි පැණි දාපු දුන්කොල වලට හරි තමයි, රට දුන්කොලත් කනවා නැති උනාම. සිංහල දුන්කොල වල පොඩි පැණි රසක් එනවා, ටිකක් සැරයි. ඊට වඩා දෙයක් දන්නෙ නෑ ඒ ගැන, දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

අපි කරන තවත් වැඩක් තමයි හොඳට සැරට ඒදපු විටක් එක්ක සූකිරි ටිකක් හරි පැණි ටිකක් හරි කන එක.. පුදුම රසක් තියෙන්නෙ, කාල බලන්නකො කාපු නැති අය...

අනේ මංදා වත් අක්කත් කරන වැඩ, දැන් ඉතිං හෙට උදේම කාපන්කො විට....

AnithKona said...

බොහෝ අයගේ තොල් කට පිච්චී ගොස් තිබෙනු දැක අපි හැමතිස්සෙම විට කන්න එපා යැයි අවවාද කරන්නෙමු.
දැන් දැන් තරුණ පිරිස අතරේ විට කෑම ප්‍රසිද්ධ වීම දකින්න ලැබෙනවා. දුම් බොන එකත් අඩු වෙලා වගෙයි. ඒත් ඔය මත් වෙන විට ජාති ඇති බව නම් ඇබ්බැහි වී මෙහි ගෙන එන අය නීසා දැන ගන්න ලැබෙනවා.
රක්ත හීනතාවය පරීක්ෂාකරන්න ටෙස්ට් කරන්න කලින් සාමාන්‍යයෙන් දිව යටිඇහි පිල්ලමේ ඇතුලේ පහළ කොටස පරීක්ෂා කරද්දී, ආච්චි අම්මලා සීයලා විතරක් නෙමෙයි සමහර මැදි වයසේ ගැහැණු පිරිමිද බුලත් විට නිසාම දිව රතුම රතු කරගෙන . ඉතින් කොහෙද සූදු මැලි වීම් හොයන්නේ. ලැබ් එකෙන් හිමොග්ලොබින් අගය එනකම්ම ඉන්න වෙනවා.

Observer said...

අපේ සීයා (ඇත්තටම අපි කිව්වෙ, ආතා සහ ආතම්මා කියල) බුලත් විට කෑවම අකුරු බැරි වෙනව නෙමේ කීවේ ඉංග්‍රීසි කතා කන්න බැරි වෙනව කියල.
"සොඳුරු සිත" බලන්න තාම මනමාලයෝ එනවද? මං හිතා හිටියේ දරු මල්ලොත් ඉන්නව කියල.

Weni said...

මට තවමත් මතකයි, එක දවසක් විටක් කාලා මත් උනා මත් වීමක්..පැය ගනනක් යනකන් ඔලුව උස්සන්න බැරි උනා. වමනෙත් දමලා තමයි හරි ගියේ ! ඒකෙ කාපු දුම්කොළ සැර ජාතියක්ලු ! ඊට පස්සෙම දුම්කොල නම් කෑවේම නැහැ

Observer said...

හය්යෝ, ගල් මල් කොරල්ගෙ ලිංක් එක කොපි කරන්න දෙන්නෙ නැහැනෙ, "This is my heart" කියනව.
බැරිද ලිංක් එක ඊමේල් කරල වත් එවන්න, පිං සිද්ධ වෙනව

Naughty's Impression said...

ෂා.. නියම පෝස්ට් එක.
ඕං නෝටි නං විටක් මුලට කැවේ ෆැකල්ටි එකට ආවට පස්සේ. මුකුත් නැ ආයේ කන් දෙකෙන් දුම් පිටවුණා.
පස්සේ ටෙක්නික් එක සෙට් උනා.මල ගෙදරක එහෙම ගියාම නෝටි ෂේප් එකේ විටක් කනවා ෂේප් එකේ.

කතන්දර Kathandara said...

සිරි සාර බුලත් විට කාල මැරෙන්
කට කෙකට පලයි පිලිකාව සදයි

සොඳුරු සිත said...

ස්තූතියි සියිළූ දෙනාටම..ස්තූතියි ස්තූතියි ස්තූතියි...........
බලන් ගියහම , කවුරු කවුරුත් විඩ හෝ විට කාලා තියෙන බව මෙයින් පෙනී යනවා.... හෙහ් හෙහ්.

අර කීවත් වගේ ඉස්පිරිතාල වල නම් බොහොම තදින් විඩ තහනම ක්‍රියාත්මකයි...

කවුද බොලේ මම විවාහ වෙලා නැද්ද කියල අහල තිබ්බේ..ආහ් ඔබ්සර්වර් මහත්තය...
දන්නෝ දනිති ඉතින්.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...