..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, September 22, 2011

෴ තරු මං ඔස්සේ ෴


මාත් නොදන්න නුඹත් නොදන්න , අපි කවුරුවත් නොදන්න ඈත ඈත ඈත ඈත කාලෙක රෑ අහසෙ තරු තිබ්බෙ නැහැ. හඳ තිබ්බෙත් නැහැ. මහා මූසල ඝණ අඳුරකින් මුළු රෑම වැහිලා තියෙනවා. භයානක විසකුරු සතෙක් වත් මහ රෑ එළියට බහින්නෙ නැහැ. ඒ තරමට , කෑලි කපන තරම් අන්ධකාරයක් මුළු අහස වගේම රාත්‍රි පරිසරය වෙලා ගෙන තිබ්බා.


ඔන්න ඒ කාලෙ ජීවත් වෙලා ඉඳල තියෙනවා හරිම සොඳුරු ගැහැණු ගැහුණු ළමයෙක් සහ තරමක් කළු පිරිමි ළමයෙක්. මෙයාල ඔය සුරංගනා කතා වල කියන තරම් ලස්සන අය නම් නෙමෙයි හොඳද. ඉතින් මෙයාල බොහොම හොඳ සාමකාමි යුග දිවියක් ගත කරමින් ලස්සන පුංචි ගෙදරක තමයි ජීවත් වෙලා තියෙන්නේ. මොන ගෙදරත් ඉතින් වැඩි කාලයක් සතුටින් සමගියෙන් ඉන්නෙ නැහැ වගේම , මේ ගෙදරටත් අසංතෝශයේ කළුවර ආවේ , හරියට අර බියකරු මහ රාත්‍රිය වගේ.


ඒ කට ප්‍රධානතම හේතුව උනේ මේ ජෝඩුවට සිඟිති දරු පැටවකුගේ සුරතල් සිනා දකින්නට බැරි වීමයි. ඒ ගැන මහා සෝක සංතානයක් පිරිමි සිතේ තිබ්බෙ නැති උනත් , ගැහැණියට හැම වෙලේම හිතුනෙ , තමන්ගෙ ආදරණිය ස්වාමි පුරුෂයා තමන්ට දරුවකු නැති එක ගැන තැවෙමින් සිටිනවා කියලයි.

තමා දන්න හැම විදිහටම , තමන් ඒ ගැන කිසිවිටක දුක් නොවන බව ඇයට කීවත් , ඇය නෙමෙයි ය සිතට ගත්තේ. ඇය තව තවත් තම ස්වාමියාගෙන් ඈත් වෙන්න මෙය හේතු උනා. ඇත්තටම ඒ දැඩි ආදරය නිසාමයි.

එක දවසක් ඇය තම ගෙදරින් නික්මුනේ , දරුවෙක් තම පවුලට කැන්දා ගෙන ඒනවාමැයි තිර අදිටනකින්. ඒ සඳහා යාග හෝම කරන මහා බලගතු මන්තරකාරියෙක් බොහෝ ම දුර ඈත ඈත ඈත මහා වනයක ජීවත් වෙන බව ඇයට දැන ගන්නට ලැබුනා.

මහා ගිරි දුර්ග ගෙවා ගෙන , කඳු හෙල් නැග ගෙන මහා බලාපොරොත්තු පොදියක් හිසේ තියාගෙන ඇය යනවා යනවා යනවා යනවා . . . . . . . . . ඒ ගමනෙ නිමක් නැහැ. . . . . කෙස් සුදු වෙලා ,හම රැළි වැටිලා , දත් සෙලවෙනකම්ම ඇයට මේ ගමන යන්න උනත් , ඇය ඇගේ හිතේ තියන තිර අදිටන නම් අත්හැියෙ නැහැ.ඇය හඬමින් , දෙවියන්ට කියමින් මේ ගිරි දුර්ගය තවත් තරණය කළා.

ඇගේ නෙතින් වැටෙන කඳුළු බින්දු ,ඇය පසු කරන් ආපු  තණ පලස් , මහා කාන්තාර ගිරි දුර්ග වල බිම වැටිල දිස්න දෙන්න උනා. මහ මූසල ගණ කළුවර රාත්‍රියේ උනත් ඇගේ මේ ගමන නතර උනේ නම් නැහැ. ඇය ගැන දුක සිතිල ද කොහෙද ඇගේ නෙතින් වැටිල ඇය ආ මඟ දිගේ දිලිසුන කඳුළු බින්දු , මහරෑට ඇයට මඟ පෙන්වන්නට අහසට ගිහින් අහස පුරා දිලිසුනා. ඒ පුංචි එළියෙන් පෙනෙන මඟ දිගේ ඇය තම ගමන දිගටම ගියා. ඇය වැහැරෙමින් , කෘශ වෙමින් සිටියත් ඒ  ගමන නවතින පාටක් තිබ්බෙ නැහැ.

ඒත් ඇය නොදැන සිටියත් ඇගේ කඳුළු බින්දු දිගේ ඇය කරා ඇය සොයමින් එන කෙනෙක් සිටියා , ඒ තමයි ඇගේ ආදරණිය ස්වාමියා. ඇගේ නම කියා අඬගසමින් , නවතින්න යැයි යදිමින් ඔහු ඇය කරා පැමිණෙමින් සිටියා. නමුත් ඇයට ඔහුගේ හඬ ඇසුනේ නැහැ. මහ රැයට අහසට වෙලා දිලිසෙමින් , මඟ කියන්නේ ඇගේ කඳුළු බව ඔහු දැන සිටියා. බිම දිගේ වැටී දිලිසෙන කදුළූ බින්දු අහුලමින් ඒවා එක්කාසු කර ගනිමින් ඔඔහු ඇය පසු පසින්ම පැමිණියා.

නමුත් . . . . . . . . .

කාගෙදෝ මුසාවකට රැවටිලා නන්නාඳනනා මන්තරකාරියක් සොයමින් යමින් සිටි ඇගේ සෞඛ්‍ය පිරිහිලා ගියා. දුක ඉවස ගන්න බැරිව ඇය අඩල අඩලම කඳුළු බින්දු ගොඩක් බවට පත්උනා. ඇගේ ආත්මය මේ කඳුළු බින්දු වල දිලිසෙමින් තිබ්බෙ , එහි තියෙන අපූරු කාන්තියට අන්අය වශි කරගන්නා ගමන් මයි. සැමදාම මහ රාත්‍රියේ දී මේ කඳුළු බින්දු අහසට නැගිලා දිලිසෙන්න ගත්තා.

ඇගේ දිලිසෙන කඳුළු බින්දු පසු පසින් ආපු ඇගේ ස්වාමියාට අවසානයේ දී දකින්න ලැබුනේ ගණින්න බැරි තරම් කුඩා කඳුළු බින්ඳු රැසකට කැඩී බිඳී ගොස් දිලිසෙමින් තිබුන ඇගේ ආත්මයයි.

ඔහු සිත දැඩි කර ගත්තා , ඇගේ කඳුළු බින්ඳු එකින් එක හරි පරිස්සමට එකතු කරන්න පටන් ගත්තා.
කඳුළූ බින්දු එකතු කරන්න කරන්න ඔහුගේ වතින් දිස්නයක් පිට උනා. ඔහු මහළු වෙලා කය දිරමින් තියෙද්දිත් ගැහෙන අත් ඇඟිලි වලින් හිම සීරුවට ඇගේ කඳුළු බින්දු එකතු කර මින් සිටියා. ගත වාරු නැතිව යද්දි ඔහු දුක්  උනේ තමන් ගැන නෙමෙයි , ඒ වන විටත් ඔහුට එකතු කර ගන්නට බැරි උන කඳුළු බින්දු සෑහෙන ප්‍රමාණයක් ඔහු වටේට විසිරලා තිබ්බා.

ඒත්  . . . . . . . .

ඔහු කවදාවත් මියගියේ නැහැ , අදටත් ඔහු තම ආදරණීය බිරිඳගේ කඳුළු බින්දු පිරවරා ගෙන දිලිසෙනවා රෑ අහසෙ දකින්න පුළුවන්. ඔහු තමයි සඳ , ඔහු වටේ දිලිසෙමින් තියෙන කඳුළු බින්දු තමයි තරු.

අදටත් අමාවක දින වල දී සඳ පොළවට ඇවිත් , එකතු කර ගන්න බැරි වුන ඇගේ කඳුළූ බින්දු සොයනව ලූ. . . .

පලි- කවුරුවත් නැති නිහඬ මහ රාත්‍රියක , බෙල්ල කැඩෙනකම් රෑ අහස දිහා බලන් හිටපු සොඳුරු සිතක හට ගත්ත ප්‍රබන්ධයකි.

අදටත් පොඩි දරුවන් මේ සඳටයි , තරුවලටයි මේ තරම්
ආදරය කරන්නේ ඇයි කියල දැන් ඔයාලට තේරෙනව නේද ?
අපි ළඟ තියෙන දේට වඩා , අපි ළඟ නැති නොලැබෙන දේටම ආදරය කරන්න අපි පුංචි කාලේ ඉඳන් පෙළඹෙනවා . . . . අන්තිමට අපිත් දිලිසෙන කඳුළු බින්දුවක් වෙලා අර ලස්සන රෑ අහසට එකතු වෙනවා . ඒ මුළු ලෝකයකම ආදරය බලාපොරොත්තුවෙන් නේද ?

සඳට , රැයට තරු වල ආදරයෙන් බැඳුන
මම
෴ සොඳුරු සිත ෴

15 comments:

  1. හ්ම් ....නියමයි අක්කා...කවදාවත් නොහිතපු විදියකට අක්කා හිතල තියනවා...හරිම ලස්සනයි ඒ කතාව ගලාගෙන ගිය ආකාරය.....

    ReplyDelete
  2. හරිම ලස්සන කතාවක් වත්. හරියට සුරංගනා කතාවක් වගේ. ගිය පාර කතාවයි, මේ පාර එකයි බලපුවාම ලොකු අයට වගේම පුංචි අයට කියලා දෙන්ට පුලුවන් පාඩමුත් ඒවායේ තිබුනා.

    පොඩ්ඩි කොච්චර බෙල්ල රිදෙනකල් අහස බලන් හිටියත් මේ වගේ අදහස් ඔලුවට එන්නේ නෑනේ...:)

    ReplyDelete
  3. ඒ කියන්නෙ තරු කියන්නෙ කඳුළු බින්දු....ලස්සන කතාව වත්

    ReplyDelete
  4. කඳුලු බිඳු අතරින් දුවන සුන්දර කතාවක්..සුන්දරයි අක්කා

    ReplyDelete
  5. [[ අපි ළඟ තියෙන දේට වඩා , අපි ළඟ නැති නොලැබෙන දේටම ආදරය කරන්න අපි පුංචි කාලේ ඉඳන් පෙළඹෙනවා ]]

    ඒ වගේමයි අපි ලඟ තියෙන දේවල් වල වටිනාකම තියෙනකම් අපිට තේරෙන්නෙ නෑ. මට්ටකුණ්ඩලී මැරිලා දෙවියෙක් වෙලා ඉරයි හඳයි ඉල්ලුවා මතකද ?
    ===========

    අපිට පේන්නේ මහ අස්වාභාවික අහසක්. ඔය පේන තරු අලෝකය නිකුත් වෙලා තියෙන්නේ සමහර තරු වල අවුරුදු කීපයකට කලි තවත් සමහර ඒවයෙ අවුරුදු සිය ගණනකට කලින් , තවත් සමහර ඒවා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණකට කලින් නිකුත් කරපු එලිය අපිට පේන්නෙ. අහස මහ අච්චාරුවක් :)

    ReplyDelete
  6. අක්කා හිතන විදිහ හරිම සුන්දරයි...

    ReplyDelete
  7. හුඟාක් කාලෙකින් ලස්සන සුරංගනා කතාවක් කියෙව්වා. හරිම ලස්සනයි.

    ReplyDelete
  8. සුරංගනා කතාවක් වගේ හරිම ලස්සණයි.කියවන්න කියවන්න ආසා හිතෙනවා .........

    ReplyDelete
  9. මාර ලස්සන කතාවක් අක්කේ .. පලවෙනි පද කීපය දැක්ක හැටියෙම මට මේ කතාව කියවන්න සහ මුද්‍රනය කරලා තියාගන්න ආසා හිතුණ .. පට්ටයි අක්කේ

    ReplyDelete
  10. බොහෝම අපිට හිතාගන්ට වත් බැරි තරම් ඈත අතීතයක මේ අපේ පොළවෙ මිනිස්සු බොහොම ටික දෙනයි හිටියෙ.....ඒ අය බොහොම සන්තෝසෙන් ජීවත් උනා....බැලූ බැලූ හැමතැනම ගස් වල පලතුරු පිරිල...... අතු බිමට නැවෙන තරමට මල්.....මිනිස්සුන්ට කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ.....කන්න බොන්න ඕන තරම්,

    හැබැයි මේ අතර එක ලස්සන පුංචි කුමාරිකාවක් හිටිය...බොහොම දුකෙන්......එයාගෙ මව්පියො......යාලුවො මේ ගැන ඇහුවම එයා කිව්වෙ......මට අර රෑට පේන හඳ ඕන....එච්චරයි මගෙ එකම බලාපොරොත්තුව කියල

    ආහ්....සමාවෙන්න.....මේ ටික මට කියන්න බැරි උනා නෙව......ඉර හඳ කියන්නෙ අයියයි මල්ලියි.....ඉර දවාලට මිනිසුන්ට එළිය දීල නිදාගන්ට ගිහාම ඉරේ බාල මල්ලි....ඒ කිව්වෙ හඳ තමයි රෑට අහසෙ ඉඳගෙන මිනිස්සුන්ට එළිය දෙන්නෙ....ඒ කාලෙ දැන් වගෙ විදිලි බලය තිබ්බෙ නෑනෙ.....ඒ නිසා මිනිස්සු රෑට හැම දෙයක්ම කලේ හඳේ එළියෙන්.....අනික් කාරණේ හඳ ඒ කාලෙ හැමදාමත් රිදී පළඟානක් වගෙ අහසෙ දිලිසුනා.....අමාවක කියල එකක් තිබ්බෙ නෑ.....මේ හඳ එළිය යට ලස්සන කෙල්ලො මල් කඩල මල් මාලා ගෙතුව.......පෙම්වතුන් අත් අල්ලගෙන ඇවිදින්න ගියා....කවියො හඳ දිහා බලාගෙන කවි ගෙතුව......

    මේ ඔක්කොම වෙනස් උනේ අර පුංචි කුමාරි නිසා.....එයාගෙ කැමැත්ත ඉටුවෙන්නෙ නැතිකොට අනේ .....පව්...ඒ කුමාරි දවසින් දවසම අඬ අඬ ඉඳලම මරණාසන්න උනා....අපොයි.......පව්....ඒත් එහෙම උනේ නෑ.....සඳ කුමරට ආරංචි උනා මේ කුමාරි ගැන.......එයාගෙ හිතේ ඇතිවුනේ පුදුම අනුකම්පාවක්......මම හින්ද මේ තරම් දුක් විඳින මේ කුමාරි බලන්නම ඕනය කියල සඳ කුමරා දවසක් හිටි හැටියෙම අහසෙන් බැහැල අර පුංචි කුමාරි බොහොම දුකින් වැතිරිල ඉන්න කුටියෙ කවුලුවෙන් ආව කුමාරි ළඟට, අප්පේ කුමාරිට නේද......සන්තෝසෙ කියාල නිම කරන්ට බෑ.....සඳ කුමාරය බදාගෙන ඇඬුව....." ඇයි ඔයා මෙච්චර කල් මාව බලන්ට නාවෙ?.....මම කොච්චර කල් ඔයා එනකල් බලාගෙන හිටියද?......" ඔන්න ඔහොම තව නොයෙක් දේවල් කිය කිය ඇඬුව.....සඳ කුමාරය ඉතින් පුංචි කුමාරිව සැනසුව....." හරි හරි මම දැන් ආවනෙ ඔයාව බලන්ට...මම ආයෙම ඔයාව දාල කොහෙවත් යන්නෙ නෑ" ඔන්න ඔහොමයි කිව්වෙ,

    ඉතින් ඔන්න මේ දෙන්න එදායින් පස්සෙ හරිම සන්තෝසෙන් හිටිය.....කුමාරිගෙ සන්තෝසෙ කියාල නිම කරන්ට බෑ...එයාල දෙන්න සිංදු කිව්ව...නැටුව......අත් අල්ලගෙන ඔහේ හිතුනු හිතුනු දිහාවෙ ඇවිදගෙන ගියා.......දෙන්නගෙ සන්තෝසෙ කෙලවරක් නෑ......

    ඉතින් ඔහොම කාලයක් ගත උනා....සඳ කුමරා ආයෙ අහසට ගියෙ නෑ....පුංචි කුමාරිත් එක්ක පොළවෙම පදිංචි උනා.....හැබැයි මේ වැඩේ නිසා මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් ආව.....මොකක්ද?......දැන් හඳ අහසෙ නෑ....හැමදාම කළුවරයි......මිනිස්සු රෑ හඳ එළියෙ කරපු දේවල් මොකවත් දැන් කරන්න බෑ.....ඒ නිසා මිනිස්සු එකතු වෙලා ඉරු දෙයියන්ට මේ දුක කිව්ව......

    ඉරු දෙයියො කල්පනා කලා... මිනිස්සු කියන්නෙ ඇත්ත තමයි......ඒ කරල කතා කලා මලයණ්ඩිට.....කතා කරල ඇහුව" මොකද මේ දැන් අහසෙ ඉඳගෙන එලිය දෙන්නෙ නෑ..... පොලවට වෙලා ඉන්නවයි කියල කියන්නෙ "

    සඳ කුමරා කිව්ව බොහොම දුකෙන් " ඇත්ත අයියණ්ඩි මට දැන් ආදරය කරන කෙනෙක් ඉන්නව.......ඒ නිසා මට එයාව දාල එන්න බෑ.....මම පොළවෙම ඉන්නව" කියල......

    ReplyDelete
  11. ඉරු දෙයියන්ට මුලින් බොහොම තරහ ගියා මේ කතාවට....ඒත් ආයෙම කල්පනා කලා මල්ලි කියන එකෙ ඇත්තකුත් තියනව නේද?.....ආදරය කියන්නෙ ලෝකෙ බලගතුම බැඳීම නේද කියල. ඒ කරල මල්ලිගෙ ඔලුව එහෙම අතගාල මෙහෙම කිව්ව..." ඇත්ත මල්ලි මට ඔයා කියන එක තේරෙනව, ඒත් අපි හැමෝටම බාරවෙච්ච රාජකාරියක් තියනව ඉරණමෙන්ම...ඒක කාටවත් වෙනස් කරන්ට බෑ.....ඔයාගෙ රාජකාරිය රෑට ලෝකෙට එළිය දෙන එක.....ඒකෙන් මග අරින්ට ඔයාට බෑ...ඒත් ඔයාගෙ ආදරය ගැන මට තේරෙනව......අපි මෙහෙම දෙයක් කරමු.....මාසෙකට එක දවසක් ඔයා මුලු රෑම අහසෙ ඉන්න.......ඊට පස්සෙ ඊළඟ රෑ පැයක්....ඊට පස්සෙ පැය දෙකක්....ඔන්න ඔහොම පොළවට ගිහිල්ල ඔයාගෙ පුංචි කුමාරි එක්ක ඉන්න පුළුවන්...දවස් දාහතරකට පස්සෙ මුළු රැයක්ම පොළවෙ ගත කරන්න ඔයාට අවසර තියනව...හැබැයි ඊළඟ දවසෙ ඉඳල කුමාරි එක්ක ගත කරන කාලය අර වගේම පැයෙන් පැය අඩු කරල ආයෙම දවස් දහහතරකට පස්සෙ මුලු රෑම අහසෙ ඉන්න ඕන.....මොකද කියන්නෙ?"

    සඳ කුමාරය ඉතින් මොනව කියන්නද......අයියගෙ තීරණයට එකඟ නොවී කොහොමද?.......එයා පොළවට ඇවිත් පුංචි කුමාරිට මේ විස්තරේ කිව්ව....කුමාරි මේ කතාව අහල බොහොම කණගාටු උනා......ඒත් අන්තිමට කිව්ව..." කමක් නෑ මගේ සඳ කුමාරයෝ.....එහෙම හරි ඔයා මා ළඟ ඉන්නවනෙ ......ඔයා මා ලඟ මුළු රෑම ඉන්න දවසට මම මගෙ ආදරේ මුළු ලෝකෙටම පේන්න අහසෙ ලියනව......ඒක දකින හැමෝම තේරුම් ගනීවි මගේ ආදරේ මොන තරම් විසාලද කියල "

    .---------------------------------------------

    ප.ලි. -

    ඔන්න ඔහොමයි සඳ කුමාරයගෙයි පුංචි කුමාරිගෙයි කතාව........

    අමාවක දවස තමයි සඳ කුමාරය මුළු රෑම පුංචි කුමාරි එක්ක ගත කරන දවස........එදාට තමයි අහසෙ තරු දීප්තිමත්වම බබලන්නෙ.....ඒ ඇයිද කියාල දන්නවද?......ඒ තමයි පුංචි කුමාරිගෙ පණිවිඩය......ඒ තරු දිලිසෙන දිහාවෙ පරිස්සමින් බලා හිටියොත් ඔයාලටත් පෙනේවි පුංචි කුමාරිගෙ පණිවිඩේ " මම ඔයාට ආදරෙයි...." ඒක තමයි ඔය තරු නිවි නිවී අපිට කියන්නෙ.....ආ...තව එකක් කියන්ට ඕන.....පාළොස්වක දවසට පිණිබිඳු වැඩි මොකද කියල ඔයාල කවදාවත් කල්පනා කලාද? එදා තමයි සඳ කුමරා මුලු දවසම අහසෙ ගත කරන දවස......ඔය පිණිබිඳු කියන්නෙ ඇත්තටම සඳ කුමරා හෙලූ කඳුලු බිඳු......පුංචි කුමාරි වෙනුවන් සඳ කුමරා හෙලූ කඳුලු බිඳු.....................

    ප.ප.ලි-

    මේ කතාව නම් අර සොඳුරුගෙ කතාව වගෙ බෙල්ල කැඩෙනකල් හඳ දිහාවෙ බලා ඉන්නකොට හිතිච්ච කතාවක් එහෙම නෙවෙයි.

    සඳ කුමරුට දවසක් දා පුංචි කුමාරි එක්ක ගත කරල, ආපහු අහසට යන්ට කාල වේලා මදි උනා......එදා එයා හිටියෙ මා එක්ක මගේ කාමරේ....රෑ එලිවෙනකල් සඳ කුමාරයම මට කියාපු කතාව තමයි මම මේ ලිව්වෙ.................

    ReplyDelete
  12. ෂා..... හරිම වෙනස් විදියට හිතන සොඳුරු සිතක්... සඳූ පුළුවන් හැම වෙලාවකම එනවා සොඳුරු සිත කියවන්න...

    ReplyDelete
  13. මේක පොඩි දරුවෙකුට උනත් කියල දෙන්න පුළුවන් හොද කතාවක්....

    ReplyDelete
  14. කතාව ලස්සනයි අක්කා.
    වෙනස්ම ආරක වෙනස්ම කතාවක්...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...