..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, August 11, 2011

෴ කේන්දරය / The Horoscope(අවසාන කොටස ) ෴

කේන්දරය එක කොටසට
කේන්දරය දෙක කොටසට

සිත හදා ගත් මා බොහෝ වීරිය ගෙන කතාවට මූලාරම්භයක් සොයනු වස් , අපේ අතීතයේ මඟ දමා ආ සලකුණු ඔස්සේ මං සොයා ගත්තෙමි.


“ ඔහෙට මතකෙයි , ඔහෙයි මායි මූණ ගැහුන ඉස්සොරෝම දවස ? “

ප්‍රශ්ණය අසා , ලැබෙන පිළිතුරු ඇසීමට මෙන්ම දැකීමට ද රිසි වූ මම , පපුවේ හිස තියාගත් වනම , දෑස් පමණක් ඔසවා ඔහු දෙස බෑලුවෙමි. වදනින් නොදෙඩූ දහසක් සිත්තම් රැසක් , ඔහුගේ දෙනෙත් වල බොර පැහැය පහ කර දිස්නය රැගෙන එන ගමන්ම , හීනී තෝල් සඟල විකසිත කරමින් පිපෙන්නට විය.

“ මට මොකදෑ අමතක ? හෙහ් හෙහ් “

ඔහු හඬ නඟා සිනාසෙන විට රිද්මයට සැලෙනා පපුවට වී මාද සිනා සුනෙමි. හැබැහින්ම ඒ හමුවීම ඒතරම්ම මිහිරි හාස්‍යෙයන් පිරුණ මතකයක්ම විය.

“ එදා මයෙ මැණිකෙ , තව ඩිංගිත්තෙන් , කෝච්චි පෙට්ටියේ හිටපු  සෙනඟ දම්මල, මට ගස්සවල තමයි නවතින්නේ “

අහඹු ලෙස සිදු වූ පුංචි පැටලැවිල්ලක් දුර දිග ගොස් ඇරඹි ,ඔහුගේත් මගේත් පෙම් කතාව , කෝචිච් ගමන තව තවත් රසවත් කළේය.කෝච්චියේ නම ගිය දඩබ්බරියක වූ මගේ , අහිංසක සොඳුරු පෙම්වතා වූයේ ඔහුයි.

“හරි පුදුමයි මයෙ මැණිකෙ. . .  “

“ ඇයි ? “

“ මැණිකෙ වගේ දඩබ්බර , මුරණ්ඩු , ආඩම්බර කෙල්ලකට මම කැමැති වුනේ ඇයි කියල ,අදටත් මට හිතා ගන්න බැහැ. මගේ සිහින කුමාරිය වෙලා හිටියෙ අහිංසක කෙල්ලක් . . .  “

“ ඇයි මං හොඳ නැද්ද ? “

මා ඇසුවේ , ඔහුගේ පපුවේ වූ දිගම රෝම ගස ඇඟිලි තුඩඟ දවටා ඔහුට රිදෙන්නට පපුවෙන් ගැලවීමට උත්සාහ දරමිනි. මා ඒ මොහොතේ පසු වූයේ දීග ගෙන දරුවකු සිටි මේරු අම්මා කෙනෙක් ගේ භූමිකාවෙන් බොහෝ දුරස්ව , ඔහුගේ පෙම්වතිය බවට පත්වෙමිනි.

“ හෙහ් හෙහ් , මැණිකෙ මාව කසාද බැන්ඳට පස්සෙ , ඩිංගිත්තක් සංසුන් වුනාට, පේන විදිහට තවමත් ලොකු වෙනසක් වෙලා නැහැ වගේ , එහෙම තමයි මැණිකෙ , සංසාරේ පතාන එන දේවල් , දැන් බලන්න , මගේ හිතේ මැණිකෙ ගැන තිබ්බ දෙගිඩියාව අයින් කරල ,මැණිකෙ මගේම කර ගන්න මට පුළුවන් වුනේ , කේන්දර බැලුවට පස්සෙ නෙව. කමකට නැති මුරණ්ඩු එකියක් කියල, මැණිකෙව මම අයින් කළා නම් හෙම , අද මේ ගමට ම රජා වගේ ඉන්න පොඩි මහත්තයෙක් නැහැ “
ඔහුගේ ඒ වදන්  වලින් මා ඔහුට පැවසීමට යන විශාල රහස හෙළිකළ යුතු බව නැවතත් මට මතක් කර දුන්නේය.විගසින් ඔහු ගේ හෘද සාක්ෂියේ උණුසුමින් මෑත් වූ මා , ඔහුගේ දෙනෙත් දෙස සෘජුවම බලා සිටියෙමි.

“ මොක ද මේ ? “

ක්ෂණික ප්‍රතිචාරයෙන් පුදුම වූ ඔහු මවිතයට පත්විය.

“ මහත්තයා , ඔහේ ඔය මහ ලොකුවට හිතාන ඉන්න , යසෝදරා දේවිගෙ වගේ කේන්දරය ,  . . . . .  . .  ඒක බොරු එකක් “

“ මොනව  ! ! ! නිකම් විහිළු . . .“

“ නැහැ  . . විහිළු නෙමේ “

ඔහුගේ දෑස් කාන්තරයක අතරමං වූ මඟියෙකු මෙන් , පාර අසමින් මගේ දෑස් වල කිමිදෙනු මට දැනුනි. ඔහුගේ දෑසින් , මගේ දෑස් ඉවතට නොගත් මා , කතාවේ ඉතිරි කොටස ද හැකි ඉක්මනින් දොඩා අවසන් කිරිමට සැරසුනෙමි.

“ ඔයා හරි අමුතු කෙනෙක් , ඔයාට මම ආදරය කරපු තරමට , මට ඕනි වුනේ නැහැ ඔහේව නැති කර ගන්න. ඒත් ඔහෙ දන්නෙ නැහැ.මගෙ කේන්දරයට සීහෙන කේන්දර හොයන්න ගිහින් මයෙ අම්මල වැටිල හිටියෙ ලොකු අමාරුවක. අනිත් අතට , උඩරැටියෙක් වුන ඔයා, සෑහෙන කේන්දර විස්වාස කරාන හිටියා. මම ඔහෙගෙ කේන්දරයත් අරන් කාටත් රහසින් මගේ කේන්දරයත් එක්ක පොරොන්දම් ගලපන්න අරන් ගියා. ඒ මනුස්සය කේන්දර දෙක අතට ගත්ත ගමන්ම කීව දෙයින් මගෙ හිත හිරිවැටිල ගියා “

ඔහුගේ ශරීරයේ ගිනි රස්නය දරා ගත නොහැකි වූ මා, කතාව මදකට නවතා , ඔහු සමීපයෙන් නැගී වුන්නෙමි. දැන් ඔහු සයනයේ පා පහතට හෙලා වාඩි වී සිටි , චූදිතයා වූ මම ඔහු ඉදිරියේ සිට ගෙන ය. නමුත් නෙත් රැහැන නොබිදී පවති.

“ ඒ මෝඩ , උද්දච්ච නාකි මනුස්සය , මගේ ජීවිතේම ගිනි තිබ්බ වචන ටික කීවේ , හරියට මම උපන්න කොට මගේ ඉරණම ලියල උන්දැට බාර දීල තිබ්බ වගේ. බුදු නෝනෙ , මේ කේන්දර පාහන්න තියා , හිතන්නවත් එපා. එක්කො උන්දෑ නෝනෙව දාලා යනවා. නැත්තම් නෝනෙගෙ ජීවිතෙ නැති වෙනවා. දරු පල ගැන නම් හිතන්නවත් බැහැ .කියලා උන්දෑ මට කීවා “

“ මයෙ මැණිකෙ මොනව ද මේ  “

“ ඔවු. . . . . . . ඉතිරි ටිකත් අහගන්න. මට ඔහෙව නැති කර ගන්න ඕනි වුනේ නැහැ. මැරුණත් මැරෙන්නෙ මං , දරුවෙක් නම් අරන් හරි හදාගන්න පුලුවන් , ඔහෙ මාව දාලා ගියත් , දවසක් හරි ඔහෙගෙ සෙවනට වෙලා ඉන්න මට ඕනි වුනා. . .  ඊට පස්සෙ  . . . . “


“ ඔවු ඊට පස්සෙ මොක ද වුනේ ? “

“ ඊට පස්සෙ මං , ඔහෙගෙ කේන්දරේට හොඳ හැටි පෑහෙන අලුත්ම කේන්දරයක් මා වෙනුවෙන් හදව ගත්තා. . . . මම මගේ ඉරණම , ඒ කොටු දොළහෙ මගේම අතින් ලීවා “


කතාව අවසානයේ මා ඔහුව මගේ නෙත් රැහැනින් මිදෙව්වෙමි. විසල් යුගල් සයනය දෙසට යොමු කළ මා දෙනෙත් එයින් මුදවා ගත් මා , කාමරයේ ජනේලය ට පිටතින් පෙනෙන ඉද්ද මල් ගස දෙස බලා සිටියෙමි.වහා යමක් සිහි වූ මා මට පිටුපසින් සිටින ඔහු දෙස හැරී බැලුවෙමි.

“ පුතා  . . . . . පුතා . . . . . අනේ පුතේ “

මගේ ආදරණිය සැමියා , විසල් යුගල් සයනයේ , දිගා වී සිටියේ ,  මින් ස්වල්ප වේලාකට පෙර මා සුවය ලැබූ ඒ උණුසුම් පපුවේ වම් පසට තබා ගත් ඔහුගේ දකූණතත් , වේදනාවෙන් මිරිකෙන මුහුණත් , මා දෙසට ම යොමු වූ කඳුළින් දිලිසෙන දෙනෙතත් සමඟිනි. . . . . .
ගිලන් රථයේ , ඔහුගේ ළඟින්ම සිටින
මම
෴ සොඳුරු සිත ෴

සමහර කාරණා තියෙනවා, කවදාවත් හෙළි නොකළ යුතු. . . . . එහෙම හිතෙනව ද ඔයාලටත්. . . . .?
"Truth is beautiful, without doubt; but so are lies."

13 ප්‍රතිචාර:

Beetle said...

කේන්දර බොරු නෙමෙයි කියන්නේ ඒක තමයි... එක්කෝ උන්දැ නෝනව දාලා යනවා කියන එක ඔය හරියාගෙන එන්නේ... :)

වෙද ගෙදර මහ වෙදනා said...

කථා දෙකක් නැහැ, නියමයි. මගේ පලමු මතය හරි බව මට දැනුත් හිතෙනවා. නලිනී කියන්නේ වෙනම ටැලන්ට් එකක් තියන කෙනෙක්. ඔබගේ දක්ෂතාවය වෙනස්. හැබැයි ඔබ දෙදෙනාම ඉතාම දක්ෂයි. භාෂාව ගැන ප්‍රශ්නේ ඒක එහෙම වෙන්න එපායැ. හොඳ නිර්මාණශීලී අයෙක්ට තමන්ගේ භාෂා දුර්වලතා කියන්නේ සුළු දෙයක්. ඔබ පොතක් ලියන දවසට මම දෙන්නම් හොඳ භාෂා විශාරදයෙක් වැරදි හදාගන්න. ඒව ටෙක්නිකල් ප්‍රශ්නනේ. නමුත් නිර්මාණශීලීතාවය තමයි අගය කල යුතු. ඔබ දන්නවද එඩ්වඩ් මල්ලවාඅරච්චි හොඳ ලේඛකයෙක්. ලියන්නේ වෙනස් විදියකට. මාර්ටින් වික්‍රමසිංහ වෙනස්, කුමාරණතුංග වෙනස්. හැබැයි මේ ඔක්කොම අති දක්ෂයො. ඔබ දෙදෙනත් එහෙමයි. මම මේ හැමෝටම කැමතියි.

JHOTHISHALANKA said...

කතාව තාත්ත්විකයි.මේ විදියට කේන්ද්‍ර සාදා රැවටීම් සිදු කරන අවස්ථා එමට ඇත.ඒවාට උදවු කරන නරක ජ්‍යොතිෂවේදීන් පවා මේ රටේ සිටිත්.නමුත් එසේ කිරීම විශාල ශාස්ත්‍රීය අගෞරවයක්.ගැලපෙන ලෙස කේනද්‍ර සාදා විවාහ වීමෙන් රැවටෙන්නේ කරදරයට පත්වෙන්නේ විවාහ වන දෙදෙනාමයි.මුදලට හෝ හිතවත් කමට හෝ මෙලෙස කේන්ද්‍ර සාදා දීමට උදවු කිරීම ජ්‍යොතිෂවේදීයාට නොවටී.කේන්ද්‍ර සාදන හැටි උගෙන තමාම කේන්ද්‍රය සාදා වැරැද්ද කිරීමද තමාවම රවටා ගැනීමකි.මිතුරකුගේ මෙවැනි ප්‍රශ්නයකදී මානුෂික හේතූන් සලකා ඉතා ලාබාල වියේදී මා විසින් මේ ආසන්න ක්‍රියාවකට උදවු කළ නමුත් එය එසේ නොකළානම් හොද යැයි මා දැනටත් පසුතැවිලිවේ.

RoshanHerath said...

ඇත්ත. සමහර දේවල් තියෙනවා කවදාවත්ම හෙළි නොකළ යුතු. ඒ වුනත් සමහරවිට ඒ දේ හෙළිකරන්න ලැබුනු අවස්ථා කීපයක්ම මඟ හැරීගිහින් තියෙන්න පුලුවනි. වැරදි අවස්ථා වලදි හෙළි නොකළයුතු දේ හෙළිනොකළ යතුමයි..

හසී said...

හෆොයි................ :/

ඔජායෙ.... said...

සහතික ඇත්ත.... හැම කෙනෙක් ලඟම තියෙනව තමන්ගෙම රහස්....... මට ඒක හොඳට දැනිල තියෙනව.....

නියමයි......

Anonymous said...

සොසී ඔයා හොද මානසික වෛද්‍යවරයෙක් හම්බඋනොත් හොදයි ලගදිම. මං මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයා දන්නවානේ.හැම දේම දෙපාරක් කියනකල් ඉන්න හදන්න එපා.
කේන්දරෙත් එක්ක තියෙන අවුල මට හිතාගත්තැකි.ඒත් අනිත් දේවල්???

Gimhani said...

රහස එලි කරන්න කලින් 64 මායම දැම්ම නේද??
බොහොම හොදයි එහෙම තමා ඉන්න ඕන.
කොහොම උනත් මේ ප්‍රශ්නෙ මේ ආකාරයෙන් විසදුන එක හොදයි.

සරලව හරිම ලස්සනට ගලාගන ගියා කතාවනම්...

හා පැටික්කි (MS) said...

ඉතිරිය අපිට භාරයිද අක්කා??????? ‍
කේන්දර අ‍නේ මංදා තමා.........

Podi Kumarihami said...

හිත, හිත හිටපු දේ හරි ගියා ඔන්න...!!!

පැණි දොඩම් - [නුවන් කුමාරනායක] said...

නොකියම හිටියනම් හරි තමා. හැබැයි එහෙම හිතෙන්නේ වැඩේ වුණාට පස්සෙයි...

Ravi said...

මැණිකේගේ රහස පිළිබඳව මගේ අනුමානය නිවැරදිය.

අමිලාට විෂ කන්‍යා යෝගයක් ඇති බව මුලින් සඳහන් වූ නිසා නිසා මැණිකේගේද ඇත්තම කේන්දරේ විෂ කන්‍යා යෝගයක් පිහිටා තිබුනි නම් වඩාත් අපූරු බව මගේ අදහසයි.

සිදුහත් යසෝදරා කේන්දර ඉතා හොඳින් ගැලපෙන කේන්දර සඳහා උදාහරණයක් ලෙස දැක්වීම කොතරම් සුදුසුද යන්න ද මට ගැටලුවකි,

සිද්ධාර්ථ කුමාරයා වයස 29 දි ගිහි ගෙය අත ඇරල ගියා. ඒ කියන්නෙ යසෝධරා කුමරිය වයස 29 දි අස්වාමික උනා හා සමානයි නොවේද?

කතාව ලස්සනයි නංගි......වෙනද වගේම,

ප.ලි. - කේන්දර ගැන මගෙත් තියනව මටම තේරුම් ගත නොහැකි අත්දැකීමක්. මම කේන්දර කොහෙත්ම විශ්වාස කරන්නෙ නෑ. ඒත් මගේ විවාහයේදි වැඩිහිටියන්ගේ දැඩි අවශ්‍යතාවය මතම පොරොන්දම් බලන්නට සිද්ධ උනා. එහිදි කියපු සමහර කරුණු ඇත්තටම ඇත්ත උනා. මට තවම හිතා ගන්ට බෑ එහෙම උනේ කොහොමද කියල........හෙහ්, හෙහ්,

ඒත් එහෙමෙයි කියල මම අදටත් කේන්දර විශ්වාස කරන්නෙ නම් නෑ. මම ඔය පෙර කී සිද්ධිය අහඹු සිද්ධියක් පමණක්ය කියලයි මගේ විශ්වාසය.

කේන්දර ගැනත් අනික් හැම දෙයක් ගැන වගේම මම ඉන්නෙ විවෘත මනසකින්. අපි නොදන්න විද්‍යාවට වටහාගත නොහැකි අනන්ත කරුණු කාරණා මේ විශ්වය ඇතුලෙ තියෙන්න පුලුවන්........ඒ වගේම අනිවාර්යයෙන් තියෙනවා,.........ඒත් සත්‍යයක් හැටියට පිළිගන්නට ස්ථිරසාර සාධක පෙනෙන තුරු කේන්දර අසත්‍ය හැටියටයි මම පිළිගන්නෙ.

The Universe is not only stranger than you think, it's a whole lot stranger than you can imagine - Sir Arthur C. Clarke

Sir Clarke is one of the heroes of my world and there's only a handful of them. Thus who am I to dispute what he says?..........heh, heh,

nawammawatha said...

මම හැමදාම හැම තැනම කියන දෙයක් තමා කේන්දර බොරු කියල ප්‍රතික්ෂේප කරන්නවත් හැබෑවක්මයි කියල පිළිගන්නවත් ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති නිසා ඒවාට ඒවායෙ පාඩුවේ ඉන්න හරිනවා කියල [මේක මගේම අදහසක් නෙමෙයි. මේ හා සමාන මතයක් තමයි අධිකාරම් මහත්තය දෙවියන් ගැන දැරුවෙ. මං ඩිංගක් ඕල්ටර් කරල ගත්ත විතරයි] හැබැයි කවදාහරි වැටහුනොත් හැබෑවක් කියල, ඒක පිළිගන්නත් බැරි කෙනෙක් නෙවෙයි මං.

මේ කතාවෙත් කේන්දරේ බොරුවක් කියල තර්ක කරන්නයි, කේන්දරේ හැබෑවක් කියල තර්ක කරන්නයි ඕනෙ තරම් පොටවල් තියනව හොඳට හොයල බැළුවොත්.

මහත්තය ඉස්පිරිතාලෙදි මළොත් ඔන්න කණවැන්දුම් වෙලා කේන්දරේ හැබෑ උනා වෙනව.

ළමය ගැනත් එහෙම්මම තර්ක කරන්න පුළුවන්.

ගොඩක් දේවල් රඳාපවතින්නෙ හිතේ ඇති විස්වාසෙ නිසා. එහෙම නැත්නම් අර මනුස්සයට හදිස්සියෙම පපුවෙ අමාරුවක් එන්න හේතුවක් මට හොයාගන්න බෑ.

අන්තිමට අහපු ප්‍රශ්ණට නම් කියන තියෙන්නෙ,

එක ඇත්තක් නිසා ජීවිත කාලෙම විස්වාස කරාපු දේවල් බොරුවක් වෙනවනම් හැමදාටම බොරුව බොරුවක්ම විදියට තියන එක හොඳයි විස්වාස බිඳ දාල මිනිස්සු අසරණ කරනවට වැඩිය.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...