..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, August 10, 2011

෴ කේන්දරය / The Horoscope 02 ෴


කේන්දරය පළමු කොටසට

රාත්‍රී කෑම මේසය අප තිදෙනාගේම සිත් අප්‍රසන්න හැඟීම් රැසකින් පිරවීමට සමත් විය. කෑම මේසයේ දී , පුතා විසින් නැවතත් අමිලා සම්බන්ධව කතාව ඇද ගත් අතර අප්පච්චිත් , පුතුත් විරසකව කෑම මේසයෙන් නැගිට ගියේ ඔවුන් පමණක් නොව මාද කුසගින්නේම තබමිනි.

ඉතා රසට පිළියල වී  උණු උණු වේ මේසයට විත් තිබූ බත් සහ ව්‍යාංජන පසු දින උදයේ පිළුණු වී තිබුනේ පුතුගේත් , අප්පච්චිගේත් සිත් ද පිළිණු කරමින් ය. ඔහුටත් මටත් දාව දරුවන් ඇත්තේ එකකි. එය ද ඉතාම කල් ගොස් පිළිසිඳ ගත් බීජයකි. ඉතාම වටිනා සම්පතක් ලෙස පපුවෙ හොවා හදාවඩා ගත් ඒ අනගි වස්තුවත් , එය උපන් පසු රජෙකු වූ , ඒ බීජයේ හිමිකරුවාත් මෙසේ නාදුනන්නන් මෙන් විරසක වී සිටිනු , ම සිතට දරා ගත නොහැකි වේදනාවකි.කෑම මේසය අස්කරන ගමන් මම දැඩි තීරණකට එළඹීයෙමි.
පුතුගේ ,අප්පච්චීගේ කාමරයට ගිය මම . . . . .
“ මහත්තයා මට ඔයයි පුතයි එක්ක කතා කරන්න ඕනි “
“ මැණිකේ , අමිලා ගැන නොවෙන්න , වෙන ඕනි දෙයක් කතා කරන්න මං ලෑස්ති , . . . . වැඩකට නැති කතා වලට මට වෙලාවක් නැහැ.මම මගේ තීරණය දීලා ඉවරයි. ආයෙ ඒක දෙයියො බුදුන් ඇවිත් කීවත් වෙනස් වෙන්නෙ නැහැ මැණිකේ “
ඔහු කාමරයෙන් එළීයට ගෙන්වා ගැනීම අපහසු බව දැනුන කළ , මම සීරුවෙන් ගොස් ඔහු නිදන ඇදේ පා කෙළවර වාඩි වුනෙමි. මටත් හොරා දීර්ඝ සුසුමක් ම‍ගේ ‍පෙනහළු පුරවා නික්මුණේ , මා කීමට යන කාරණයේ ඇති බරපතලකම ම‍ගේ සිහියට නැඟුන හෙයිනි.
“ මහත්තයා , . . . . .  මම මේ කියන්න යන කාරණාවේ බරපතලකම මට තේරෙනවා.. . . . . . .ඒත් . . . .  ඔහෙල දෙන්න මේ විදිහට දෙපැත්තට වෙලා ඉන්නව මට ඉවසාන ඉන්න බැරිම තැනයි මම මේ කියන්නේ “
“ හ්ම් “
“ ඉස්සෙල්ලම මට සමාවෙන්න මහත්තයා , පුළුවන් නම් මට සමාව දෙන්න “
ඔහු එවර හිස කෙළින් කර ම‘දෙස බැලූවේ , විශ්මය ඇද ගත් දෙනෙතිනි.ම‍ගේ  දෙනෙතේ ගුලි වී තිබූ කඳුළු කැට , දෑසට බර වැඩි වූ‍යේ , ඔහුගේ බැල්මෙන් සලිතව , මගේ කම්මුල්  දිගේ රූටා යන උණුසුම මට දැනුනේත් ,ඔහුගේ වතේ අනුකම්පාවක සේයාවක් ඇඳුනේත් එක්වරමය.
වහා කද කෙලින් කර ඇද විට්ටමට වාරු දී , ඔහු සැරසුනේ මා කීමට යන කතාවේ ගැඹුර දැනගෙන මෙන්ය.

ඔහු ගේ පා පාමුල වුන් මා ඔහු වෙත ඇදී ගොස් , ඔහුගේ පපුවේ හිස හොවා ගත්තෙමි. ඔහුගේ පපුවේ උණුසුම දැනෙත්ම ,ම‘සිත මදකට සංසුන් වුව ද , ඔහුගේ පපුවේ ගැස්ම දැනෙත්ම ම‘සිත වරදකාරී හැඟීමෙන් පිරී ඉතිරී යන්නට විය. මා හිස  සිඹි ඔහු , කුඩා දරුවකු සෙනෙහසින් තුරුළු කර ගන්නාක් මෙන් මා තව තවත් දැඩිව ඔහුගේ පපුවට තුරුළු කර ගත්තේ ‍නව ‍යොවුන් ‍පෙම්ව‍තෙකු තම ‍පෙම්වතිය කුළුදු‍ලේම තම හදවතට තුරුළු කර ගන්නා තරම් ‍සෙ‍නෙහසකිනි.

“ මොකක් ද මැණිකෙ , මුව පැටියෙක් වගේ බයෙන් ගැහෙන්නෙ මොක ද? හරියට මට දැනෙන්නේ මැණීකෙ මගෙ පපුවට තුරුල් කර ගත්ත පල වෙනි දවසෙ වගේමයි. . . . . “

ඒ වචන් ඇසුනු සැනින් මා සිත හඬා වැටෙන්නට වූ අතර, කාරණාව කෙතරම් බරපතල වුව ද , ඔහු හමුවේ සියල්ල වමරා දමා ම‘සිත නිදහස් කර ගැනීමේ උවමනාව , පුතුගේ පෙම් පලහිලවුවට ත් වඩා දැඩි සේ දැනෙන්නට විය.


පපුතුරේ හිස හොවා ,
සිසිල් කඳුළැලි සලා,
සමාදෙනු හිමි මගේ,
වරද මා අත තමා

ඔහු පළල් උර මඩලේ සිටින , මහා වරදකාරිය
මම
෴ සොඳුරු සිත ෴

19 ප්‍රතිචාර:

samadhi said...

මට හිතාගන්න පුලුවන් බොරුව! එයත් ඔය යොගයේම කෙනෙක් වත් ද්?

Nisupa said...

කුතුහලය වැඩි වෙනවා අක්කේ. ඉක්මනට ලියන්න අනික් කොටස

වෙද ගෙදර මහ වෙදනා said...

සිත ඇදී යන අයුරින් ඔබ ලියනවා. මම මුල සිට කියූ දේ නැවතත් කියන්නම්. වෙන අය තරහා වුවත් ඇත්ත දේ කිව යුතුයි. ඔබ සහ නලිනී තරම් ව්‍යක්තව භාෂාව හසුරුවන්නියන් මේ බ්ලොග් අවකාශයේ ඉතාම අඩුයි. ඉක්මනට ඔබගේ පොත පිට කරන්න. පලමු පොත් 10 එකක් මම අනිවාර්‍යයෙන් ගන්නවා.

nawammawatha said...

හම්මේ.. තවත් ඉවසන්න වෙනවනෙ මේ පළහිලව්ව ගැන දැන ගන්නනම්.......

Gimhani said...

මගෙ පපුවත් ඩිං ඩිං ගානවා ඔයා මොනාද මේ කියන්න හදන්නේ කියලා...
අපේම කතාවක් වගේ හැඟෙන්නේ...

JHOTHISHALANKA said...

ඇත්තටම ඔයා මේ කතාව රසවත්ව ලියනවා.ඔයා ලේඛන හැකියාව උපතින්ම ගෙනල්ල තියෙන්නේ.ඔයා පොතක් ලියන්න.(නව කතාවක් වගේ) සමහර විට ඒක මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න පුළුවන්.මට සචිත්(බඩා) ඔයා ගැන කිව්වා.වත් පොතේ ඔයාව දැක්කාම මට මතක් වුනා.කැම්පස් එකේදි මම කීප සැරයක් ඔයාත් එක්ක කතා කරලා තියෙනවා.හැබෑට ඔයාත් කේන්ද්‍ර විශ්වාස කරන්නේ නැද්ද?

ගල්මල්-Coral said...

කතාවේ කොටස් දෙකම එකපාරටම කියෙව්වේ අද.

වඩාත් කැපී පෙනෙන ලස්සන අම්මා කෙනෙකු හැටියට වෙනස් කෝණයකින් කතාව ඉදිරිපත් කිරීමයි.

ලේඛිකාවන් දෙදෙනා ගැන වෙද මහත්මයාගේ කතාව අනුමත කරමි.

සොඳුරු සිත said...

@ JHOTHISHALANKA
සචිත් (බඩා)... මට එහෙම කෙනෙක් මතක නැහැ නෙ අනේ... ඔයාට මතක ද සංජය. එයා කැම්පස් අවුට් වුන ගමන් තංගල්ලෙන් පළාත් සභාවටත් ඉදිරිපත් වුනා..

ඔයා මාව වෙන කෙනෙක්ට පටලවන් ෂුවර්...මම ඔයාගේ අර කතාව ධනුෂ්කට කීවා.ධනුෂ්ක දවසක් අපේ ඔෆිස් එකට ආවා වැඩසටහනකට (දිවි නැඟුම )....

මම තේන්දර විශ්වාස කරන්නෙ නැහැ... මගේ කේත්නදරයේ තියෙන සෑම හොඳ දෙයක් වගේම , හැම නරක දෙයක්ම මට සිඳ්ධ වෙලා නැහැ...ඒත් මේ දවස් වල කේන්දර දැඩි සේ විශ්වාස කරන්නෙක් නිසා දැඩි කනස්සල්ලට පත් වෙලා ඉන්නවා....

ස්තූතියි ...

සොඳුරු සිත said...

ගල්මල්-Coral
පළමුවෙන්ම ස්තූතියි ඩීන් අයියා.

දෙවනුව බැලුවම , ඇත්තටම මට වඩා හොඳට දොස්තර නෝන ලියන වග අවංකවම මම පිළිගන්නවා.මොක ද කියනව නම් , ඇයගේ කතා ශෛලය යථාර්තයට ගොඩක් ළඟයි. මම ලියන දේ වැඩියෙන් බර සිහින ලෝකයකට ....

ස්තූථියි ඩීන් අයියා ...

නදුන් උයන said...

සමහර විටක කතාව කොච්චර නම් ලස්සන වුවත්... මම කියවන එක නවතියි ද දන්නේත් නෑ... ඒ තරම් හිතට සමීපයි...
ඒ වගේම ජෝතිෂයට ගරු කලත් කේන්දරයට මම පොඩ්ඩක් වත් ආදරේ කරන්නේ නෑ.

සොඳුරු සිත said...

@ නදුන් උයන
හ්ම් ..... හිතට දුක දැනෙනවා නම් කියවන එක නතර කරාට කමක් නැහැ.මම ලියන දේ , තව කෙනෙක් ගේ හිතට දුකක් ගේනවට මම කැමැති නැහැ... තරහ වෙන්නෙ නැහැ...
ස්තූථියි

සොඳුරු සිත said...

Gimhani
කියන්න යන දේ ටිකක් නොවේ ගොඩක් භයානකයි...කෙනෙක්ගේ විශ්වාසයක් බිදින එක? හ්ම් ස්තූථියි Gimhani.........

සොඳුරු සිත said...

nawammawatha
හ්ම් ඔවු.... තව කොටසකින් ඉවරයි.....ස්තූථියි නවම්.... විවාහකයෙක් විදිහට, කතාව අවසානයේ ඔයාගේ අදහස් මට වැදගත්...ස්තූථියි ආයෙමත්...

පැණි දොඩම් - [නුවන් කුමාරනායක] said...

වැඩක් නෑ අක්කා කේන්දර ගැන කතා කරල. ඔයා විශ්වාස කරන්නෙ නැති එක හොඳයි.
කතාව සහ ඔයාගේ ලිවිල්ල නම් මාරයි..

සොඳුරු සිත said...

වෙද ගෙදර මහ වෙදනා
මුලින්ම ස්තූතියි.දෙවනුව ඔබ හා එකඟ නොවන්නට අවසරයි... නලිනි වන්දිමා හැබෑටම දක්ෂයි.ඇය ලියන්නෙ පොළවෙ පය ගහලා.මම වගේ අහසෙ පාවෙමින් නොවෙයි.

අනිත් අතට , මගේ සිංහල ගොඩක් වෙලාවට වැරදි, ඒවයෙ වැරදි පෙන්නල දෙන්නෙ , කියවන මගෙ යාළුවො... පුද්ගලිකව කියනවා, වැරදි හදන්න කියලා. ඉතින් ,ලියන දෙයක් හොඳක් තියනම් ඒ මගේ යාළුවන් අතරට බෙදිල යන්න ඕනි ප්‍රසංසාවක්

ස්තූථියි වෙද ගෙදර මහ වෙදනා ...

සොඳුරු සිත said...

Nisupa
හොඳයි...තීන්දුයි ,කැපයි,නිවාරණයි ...ඊළඟ කොටසින් ඉවරයි...ස්තූථියි Nisupa ...

සොඳුරු සිත said...

samadhi
ඒ යෝගයම නෙමෙයි...ඒත්? ස්තූථියි samadhi..

හසී said...

හෆොයි මොනාද මේ වෙන්න යන්නේ?

Ravi said...

මැණිකෙගෙ රහස මට හිතාගත හැකිය. එහෙත් මින් පෙර වරක් කල වරද නැවත නොකිරීමට හිතාගෙන ඉන්නවාය. එබැවින් කිසිවක්ම නොකියමිය.

කතාව නම් ලස්සන බව නොකියාම බැරිය.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...