..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, August 8, 2011

෴ කේන්දරය / The Horoscope (01)෴

“ අප්පච්චිට කීවට තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි අම්මේ ? මේ කාලේ මොන කේන්දර ද ? අමිලා මට කැමති නම් මම අමිල ට කැමැති නම් එච්චර නේද ? අනික කේන්දර ගැලපිලා කසාද බැදපු වුන් වෙන් වෙලා නැද්ද ? “

“ ඔවු ලොක්කො , මට තේරෙනවා. ඒත් අප්පච්චිට ? “

“ අම්මා කියල බලන්නකො අම්මා. මට නම් වෙන කෙල්ලො හොයන්න තියා ගන්න එපා කියල අප්පච්චිට කියන්න “

අප්පච්චි සහ ලොකු පුතා දැන් ටික දවසක සිට විරසක වී සිටිති. ලොකු පුතා පෙමින් වෙලි සිටින ගැහැණු ළමයාගේත් , ලොකු පුතාගේත් කේන්දර නොගැලපීම මෙයට මූලික හේතුව වී ඇත. මගේ ස්වාමි පුරුෂයා කේන්දර ඉතා තදින් විශ්වාස කරන්නෙකු වීම ගැටළුව තව තවත් බරපත කර ඇත.

ඔහු හා මා විවාහ වූ පසුව , ඔහුගේ සිත තුල වූ කේන්දර සම්බන්ධ විශ්වාසය තව තවත් වැඩි දියුණු වී ඔහුගේ සිතේ මුල් බැස ගත්තේ නුග ගසක් පොළව බදා වැළඳ ගන්නා තරමේ ශක්තියකිනි. එය උදුරා දැමීම කිසිසේත්ම පහසුවෙන් කළ හැකි කටයුත්තක් නොවීය.

ඔහු හා මා විවාහ වුනේ ,මනා ලෙස ගැලපුන කේන්දර සමඟිනි. ඉතාම වාසනාවන්ත වූ ඒ කේන්දර ගැලපීම , සසර පුරා පතාන එන යසෝදරා සහ සිදුහත් කුමාරයාගේ කේන්දර පෑහීම මෙන් වූ බව ජ්‍යෝතිශ්‍යෙව්දීන් කිහිපපොළක්ම පවසා ඇත්තේ , මගේ ස්වාමි පුරුෂයා ප්‍රසිද්ධ ජ්‍යෝතිශ්‍යෙව්දීන් කිහිපපොළක් ළඟටම මේ කේන්දර උස්සන් යෑම නිසාය. ජ්‍යෝතිශ්‍යෙව්දීන් කේන්දර දෙක ගලපා කරන අතිශෝක්ති කතාවන් අසා සිටීමට ඔහු ඉතා ප්‍රිය කරයි.ඔහුහට උඩ ගෙඩි දීමට ඔහු වටා සිටි සියල්ලන්ම සැදී පැහැදී සිටීම ඔහුගේ ඔදවැඩි සිත තව තවත් ඔසවා තබන්නට සමත් විය.

“ පොඩි මහත්තයා , මේ මැණිකෙ කැන්දන් ආවත් හරි පොඩි මහත්තයට බලාන ඉන්දිදි හරි ගියේ “

“ පහතරැටි ගෑණු එහෙම තමයි. ආපු ගෙදරකට වරදින්නෙ නැහැ. උත්සාහවන්තී. “

“ මැණිකෙ ආවට පස්සෙ පොඩි මහත්තයාගේ වතු පිටි වල පැල ඉනි බලන් ඉද්දි විශාල වුනා. ගෑණිගේ වාසනාව “

මා කැන්දන් ආ පසු ගම්මුන්ගේ මුවින් මුව පැතිරී ගිය මෙවැනි කතා , කණින් කොණින් මගේ ස්වාමියාගේ සවන් වැකීමත් , කේන්දර පෑහීමත් , කිරි පැණි සේ දිවි ගෙවීමත් ඔහුගේ සිත අමන්නානන්දයෙන් පිරවීය.

“ මයෙ මැණිකෙ තමයි මට වාසනාව ගෙනාවේ. මයෙ මැණිකෙයි මායි සංසාරෙ පුරා පතාන එන්න ඇති මැණික “

ඔහු ඉතා ආදරයෙන් මාහට පැවසූ වාර ගණන මෙතෙකැයි කිව නොහැක. ඔහු මා හට පෑ ආදරය ද ඉතාමත් ගෞරවණිය ආදරයක් ම විය. කිසිවක් කිසිවිටක මාගෙන් නොවිමසා ඔහු කළේ නැත. මට එය විටෙක ඉතා වෙහෙසකර , සිතට වදයක් සහ අනවශ්‍ය බර පැටවීමක් විය.

සෑම දෙයකටම පාහේ මාගේ අදහස් විමසා කටයුතු කල ඔහු , ඔහුගේත් මගේත් ලෙයින් උපන් ලොකු පුතාගේ විවාහයේ දී මාගේ වදන් ඇසීමට පමණක් නොව , ඒ ගැන කතා කිරීම ද ප්‍රතික්ශේප කරයි.

“ මැණිකේ , ඒ ළමයගේ කේන්දරේ කණවැන්දුම් යෝගයක් තියේ , තව මොකක් ද අර විෂ කන්‍යා යෝගයත් තියේ. මැණිකෙ කියන්නෙ ඒ දේවල් දැන දැනත් මයෙ කොලුව ඒ මරු කටට යවන්න කියල ද ? “

එවදන් අසන මා සිතින් පටන් ගන්නා සීතඅඳුරු කළු වලාවන් , මගේ හිසත් දෙපතුලක් දක්වා දිව ගොස් මුළු ශරීරයම ක්ෂණයෙන් සීත කර හකුලුවා දමයි. නමුදු මා තවමත් සිටින්නේ ම‘පුතු ගේ මතයේමය . එයට හේතු කාරණා රැසක් මා සතුවී පවතී. . . . . .කතාව අවසන් නැත. ඇරඹුනා පමණි. . .විෂ කන්‍යා යෝගය සහිත ලේලියක ගෙට ගෙන්වා ගැනීමට මා මෙතරම් කැමැති කුමක් නිසා දැයි යන්න කතාව අවසානයේ නුඹලා දැන ගනු ඇත.
 
කේන්දර විශ්වාස නොකරන
මම
෴ සොඳුරු සිත ෴

19 ප්‍රතිචාර:

Anonymous said...

මගේ කතාවමයි..කාට හරි මගේ දුක දැනෙනවද
මන්දා..
කාට දැනුනත් අපේ තාත්තට දැනෙන්නෙ නැත්තම්
මොකටද?
ඔයාගේ කතාවෙ ඉන්න පුතායි එයා යාලු දුවයි හිතාගෙන
හිටියේ කවදා හරි දෙන්නාගෙම දෙමාපියන්ගේ
ආශිර්වාදය ලැබෙයි නම් විතරයි කසාද බදින්නෙ
කියලා..
ඒත් අන්තිමේදි දෙමාව්පියන් අකමැති වෙලා..
ඒත් අවුරුදු 6කට වැඩි විහිලුවකටවත්
තරහ නොවුනු දෙන්නෙක්ට
දැනෙන දුක හිතා ගන්න පුලුවන්ද?
ඔයා එයා නම් මොනා කරයිද?
(පැනලා යන්න නොකියා වෙන දෙයක්
යෝජනා කරන්න පුලුවන්ද?)

Nisupa said...

හපොයි....මාත් පොඩ්ඩක්වත් කැමති නෑ කේන්දර ඔලුව උඩ තියාගෙන ඉන්නවාට...:((

Gimhani said...

හපොයි කේන්දරයක් නිසා මෙච්චරකල් කල ආදරේ නවත්තන්න පුලුවන්ද සො.සී???

Anonymous said...

මේක විහිලුවක් හැටියට පේන්න පුලුවන්..
ඒත් මට නම් වුනෙ අන්තිමට කේන්දරෙ විස්වාස නොකලාට ජිවිතයෙන්ම වන්දි ගෙවන්නයි

කේන්දරෙ කිව්ව දේවල් මන් 100%ම බෑහෑර කලා.
ඒත් නංගී මල්ලී දෛවඥයො කියූ සිදුවීම එහෙමම වුනා...

එයාල කියුව දේ හිතට බලපෑවා වෙන්න බෑ. මොකද මාත් ඔහුත් 100% කේන්දර බෑහෑර කලා. අපෙ මතයට තීරණ ගත්තා... කේන්දර උස්සන් නොගිය තෑනක් නෑ ඒ මගුල අනුමත කරව ගන්නට...

කොටින්ම විවාහ නකැත් හැදීම පවා ප්‍රත්ක්ශේප කලා කේන්දර බෑලු අය විසින්. ඒ තරම්...

ඒත් දන්නවද.. අපි තනි තීරන ගත්තා...

අද....
ඔව්.. අද.. ඒ කිව්ව දේවල් හැම එකම ඇත්ත වෙලා...
විශේෂෙන්ම මේ අපෙ වයසෙම සහෝදර සහෝදරියන්ටයි කියන්නෙ.

ඔය ග්‍රහ පිහිටීම් හරිම විද්‍යනුකූල චරිත නිර්ණයක්... දන්නවද? ඒත් නූගත් දෛවඥයකු interpret කරන විදිය නම් වෙනස් සහ අන්තවාදියි..

කරුණාකර... කේන්දර සුලුවෙන් අවඥාවෙන් තකන්න එපා...

අකූ said...

කේන්දරේ හැදුවට කමක් නෑ,ඒත් ඉතින් ඒක මත්තෙම නැහෙන එක තමා හොඳ නැත්තෙ

JHOTHISHALANKA said...

අනිත් අවස්ථාවලට වඩා තමා වඩාත් ආදරය කරන කෙනා සම්බන්ධයෙන් කේන්දරේ බඩ බැදගෙන ඉදීම නරකයි.පොරොන්දම් නොගැලපුනත් එන ඕන කරදරයක් විදින්න බලාගෙන කසාද බදින්න ආදරය කරන අය ලෑස්ති වෙලා ඉන්න ඕන.කරදර තියෙන්නේ විදින්න.ඇහැට නොපෙනෙන නරකට බය වෙලා ඇහැට පේන්න තියෙන සතුට නැති කරගන්න එපා.හැබැයි පොරොන්දම් නොගැලපෙන දෙදෙනෙක්ගේ විවාහයේ මොනා හරි කරදර එනවාමයි.වළං පොඩි කරගන්න එක ගෑනි තරහ වෙලා ගෙදර යන එක වගේ දේවල් විහින් ඇති කර ගන්න කරදරනේ.විවාහයක් සාර්ථක වීමට සමගිය සාමයම විතරක් තිබිල මදි.දරුඵල ප්‍රමාද වීම,දරුඵල නැතිවීම,ධනය දියුණුව අඩුවීම,තුවාල අනතුරු,දරුණු අසනීප,අකල් කරදර විපත් වගේ නොහිතපු එන්න පුළුවන්.පොරොන්දම් පරීක්‍ෂාවෙදි ඒවත් බලනවා.

සුදු හංසි said...

ඔහ් !! කේන්දර ?? මම කේන්දරේ ග්‍රහ මාරුවක අනාවැකියක් අහලා පහු ගිය දවසක නනෑවා නෑමනාවක්.. ඒ නිසා මතක් කරන්න එපා කේන්දරේ.. ඒ උනාට වත් අක්කියෝ කතාව අහන්න එනෝ...:)

deeps said...

හ්ම්ම් ඉතුරු ටිකත් ලියමුකො බලන්න

Anonymous said...

හුගක් අය කේන්දර විස්වාස නොකරන්නේ තමන්ගේ කේන්දරේ නරක් උනහම කියන එකනං ටක්කෙටම කිව්වෑකි

පිස්සු පුසා said...

මගේ යාලුවෙක්ටත් ඔහොම දෙයක් උනා මේ ලගදී..

JHOTHISHALANKA said...

කේන්දර පැත්තක තියමු මේ කතාව අහන්න මාත් ඉන්නවා.

පොඩි මෑන් said...

රෙද්ද තමයි ඔය කේන්දරේ... ජෝති‍ෂ්‍ය කියන්න හොද සාත්තරයක්... මම ඒක පිලිගන්නව.. ඒත් කිසිම ජීවිතයක් ඔය කෙහෙල්මල් ග්‍රහයොන්ගෙ ගමන්කිරීමකට ගැති වෙලා නෑ... ලෝක ජනග්‍රහනයෙන් කීයෙන් කී දෙනාද ඔය ජෝති‍ෂ්‍ය විස්වාස කරන්නෙ.. ?? ලංකාව ඉන්දියාව ඇතුලු තව සුලු කොට්ටාසයක් විතරයි...

ඔය කේන්දරේ ගැලපිලා කිරි පැනි වගේ ඉන්න අය වගේම ඒ විදියටම කේන්දරේ ගැලපිල නයයි මුගටියි වගේ ඉන්න අයත් දැකල තියෙනවා... කේන්දරේ ගැලපෙන්නෙ නැතුව ඒව විස්වාස කරන්නෙ නැතුව බැදල පවුල් ජීවිත අපායක් වෙච්ච අයත් ඉන්නව හොදටම හොදට ඉන්න අයත් ඉන්නව.. මොන දේ උනත් වෙන්නෙ න්දෙකෙන් එකයිනෙ... සම්භාවිතාව 50% ඉතිං කේන්දර කාරයො කියන විදියට උනාම කියනව ඒකනෙ එයාල කිවුවනෙ දැන් බඩු හරිනෙ කියල...

ජෝති‍ෂ්‍ය කියන්නෙ සම්පූරණයෙන් අහක දාන්න ඔනෙ දෙයක් නෙවෙයි.. නමුත් ඔය කේන්දරේටවත් කිසිම දේකටවත් තම්න්ගෙ උත්සහය ආත්ම විස්වාසය තියෙනවනම් මුකුත් කරන්න බෑ....

mahima said...

kendara kiyanne thawath eka kunugodak vitharai eke gathauththak nee

හසී said...

බලමු ලේලිව ගෙන්න ගන්න නැන්දම්මාට තියෙන වුවමනාව මොකක්ද කියලා.........

හිස් අහස said...

මගේ කේන්දරේ තියනවා මට අවුරුදු 23 පස්සේ රාජ යෝගයක් තියනවා කියලා . ඒක හරිගියොත් මම ඔයාට උත්තරයක් දෙන්නම් .. එතකම් මම කේන්දර ට්‍රස්ට් කරමි ..

Podi Kumarihami said...

ෂෝක් කේන්දරේ.....:D

nawammawatha said...

කේන්දරේ හරිද වැරදිද කියන්න තරම් පූර්ණ අවබෝධයක් නැති නිසා ඒ ගැන මම මුකුත් නොකියා ඉන්නම්. හැබැයි මම හිතන්න නැන්දම්ම ඇයි මෙහෙම කැමැත්තෙන් ඉන්නෙ කියල මටනම් යාන්තම් හිතෙනව. ඒත් ඒක මෙහම කියල කතාව කඩාකප්පල් කරන්නෙ මොකටද. [සො.සී දෙබරෙකට ගල් ගහන්න නේද අර අඳින්නෙ?]

මධුරංග said...

මම නම් කේන්දර වලට ආසම නැත.
දෙන්නට දෙන්නගේ අදහස් ගැලපෙනවනම් කේන්දර අවශ්‍ය නැත !!!!

නද්යා නෙරංජි සුලක්ඛනා said...

හම්...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...