..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, July 27, 2011

.෴ පිළිකුල අවසන් දිගහැරුම ෴


මුත්තා පැමිණ තිබුනේ , අත්සනක් සහතික කරවා ගෙන යෑමට ය . මාමා ගමේ නම ගිය සාමදාන විනිසරුවරයෙකි.

“ පොඩ්ඩී , තීන්න බෝතලේ අරන් එන්න හොඳ ළමයා වගේ. මගේ පොත් මෙසේ උඩ ඇති.ස්විච් එක දාගෙන යන්න. නැත්තම් හොයා ගන්න බැරි වෙයි “

ඉබ්බ දියේ දාන්න ඇහුවම ඇන්න ආවේ කීවලු. අඳුරු කාමරයේ විදුලි බල්බය දැල් වූ මා ප්‍රථමයෙන්ම සෙවුවේ , කිහිලි ගසා ගෙන සිට බිම වැටුන පොතයි. එය පොත් අල්මාරියේ යටට විසි වී තිබුනි. පොත ගැනීමට බිම දණ ගසා ගත් මට ,සීරී තුවාල වී ගිය දණිස් වල වේදනාව දැනෙන්නට විය. පොත අල්මාරියේ එහා බිත්තියේ මුල්ලටම විසි වි ගොස් තිබුන නිසා අත දිග මදි වූයෙන් වේදනාව අමතක කර තව තවත් අතැඟිලි දික්කළෙමි. අවසානයේ පොතේ දාරය අතේ ගැටෙන්නට විය. දහිරිය දමා පොත එළියට ගන්නවාත් සමඟම.

“ පොඩ්ඩියේ , හොයා ගන්න බැරි වුනා ද දරුවෝයි “ පවසමින් ම මාමා වාඩි වී වුන් පුටුවෙන් නැගිටිනු මට ඇසුණි. ජංජාලයයි.

“ හරි හරි මාමේ , මේ ගේනවෝ , ගේනවෝ “

මේසය උඩ තිබූ තීන්න බෝතලය අතට ගත් කුලප්පුවට බිම නොවැටී , නොබිඳී බේරුනේ අනූනමයෙනි. පොත සඟවා ගත් මම , තීන්ත බෝතල මාමා වුන් පුටු ඇන්දේ තබා , ක්ෂණයෙන් ආපසු හැරුනේ , යළිත් යමක් පවසන්නට හෝ අසන්නට පෙර ,අන්තරස්දාන වන අදහසිනි. පසුපසින් පැමිණී නැන්දාව මා ඒ මොහොතේ නොදුටු අතර , තේ බන්දේසියක් ද රැගෙන පැමිණී ඇගේ ඇඟේ මා හැපුනේ නොසිතූ ලෙසිනි. සලාං සද්දයත් සමඟම ඇයත් මාත් තේ වලින් නැහැවෙන්නට ගොස් මගේ වාසනාවට බේරුණ නමුදු , නැන්දා මට දොස් පවසන්නට වූවාය.

“ මෙහෙමත් කඩි කුලප්පුවක් හැබෑට, දැන් පොඩි කෙල්ලෙක් නෙමෙයි ළමිස්සියෙක් නේද ? “ ඇය තවත් මොනවාද පවසන්නට ගියත් , මාමා මැදිහත් වන්නට ඇත.

“ මෙයැයි තමයි ඒ ළමයව හුරතල් කරල නරක් කරන්නේ “ මුළුතැන් ගේ දෙසට යන ඇගේ හඬ මට යන්තමින් ඇසුණී.

පුටුවෙන් වැටෙද්දී  නලලත වැදෙන්නට ඇත. කණ්නාඩියෙන් පෙනෙන මාගේ ප්‍රතිබිම්බයේ නලලත නිල් වී තඩිස්සි වී තිබුනි. දණිස් හම ගොස් දැනෙන දැවිල්ල සමනය වූයේ අත් අකුරින් ලියූ මාමාගේ ස්වයං චරිතාපදානය කියවීමේ දී සිතට දැනුන දැවිල්ල ඊට බොහෝ වැඩි වූ බැවිනි.

පොතේ පිටුවක් පිටුවක් පාසා කියවීමේ දී මා සිත තුල මහා ප්‍රතිරූපයක් මෙන් නොසැලී වුන් මහා පුරුෂයා ක්‍රමයෙන් දියවෙමින් යන්නට විය. පොත කියවා අවසන් වන විට , මාමා වෙනුවෙන් ම‘සිතේ ඉදිවී තිබූ වේදිකාව ද ගිනි ගෙන පිළිස්සෙමින් තිබුණි.

එහි වූයේ ඔහුගේ අනියම් පෙම ගැනයි. ඇගේ රූපය , ඔහුගේ සිතේ සදානුස්මරණිය ලෙස තැන්පත්ව ඇති බැව් පුල පුලා ලියා තිබුණි. ඇය හමුවීමට ඔහු තවමත් යන බවට සාධක රැසක් එහි අඩංගු විය. ඇය කුසේ ඔහුට දාව දරුවෙක් ද පිළිසිද ගෙන තිබුනි. තව තවත් බොහෝ ආදර කන්නලවු එහි අඩංගු විය.

ඔහු වෙනත් පෙමක පැටලීමේ කිසිදු වරදක් , අද වැඩිහිටි වියේ සිටින මා නොදකිමි. නමුදු , ඔහුට තම පණ දෙවෙනි කර ගෙන ආදර සෙනෙහස පුදන ගැහැණියක රැවටීම කෙතරම් නම් පවක් දැයි අදට වුව මට සිතේ. වරද එය නොව , ඔහු පිළිබඳව මා සිතේ මවා ගත් ආකාරය සහ ඔහුගෙන් මා පළීගත් වැරදි ආකාරයයි.

ඔහුගේ පොත් අල්මාරියෙන් ගත් සෑම පොතක්ම පාහේ , මම නැවත ගත් තැනින්ම තැබූව ද , ඔහුගේම අකුරින් ලියන ලද මේ පොත පමණක් මා සන්තකයේ තවම ඇත.

එදින සිට මා වෙනස්ම ආකාරයක කෙල්ලක වූයෙමි. දඟකාර කඩිකුලප්පුව අදුරුදන් විය. මාමා සමඟ ගිරවියකසේ දෙඩූ දෙඩවිල්ල නතර විය. එය ඔහුගේ සිතට තද බල වේදනාවක් ගෙන දුන් වග මා දනිමි. ඔහු වේදනාවට පත්වනවා දකින මා සිත ඔහුගේ සෝකයෙන් උදම් වෙයි. ඔහුට තව තවත් රිදවනු වස් ඔහු එපා කියන දේ කිරීමටත් මුරණ්ඩු ගති ගුණ වැඩි දියිණු කර ගැනීමටත් පියවර ගත්තෙමි.

“ මැණිකේ , පොඩ්ඩි වෙනස් වෙලා. “

“ඔහෙට පිස්සු , දැන් ඒකී පොඩි දැරියක් නෙවෙයි නෙව, ඔහෙ ළඟට වෙලා හුරතල් වෙන්න බැහැ දැන් , තව ටික දොහකින් පොඩ්ඩි දීගෙක ගියාම , ඔහෙයි මායි කොහොමත් තනිවෙනවා “

ඉන් පසු මට ඇසුනේ , ඔහු කුඩා දරුවකු මෙන් ඉකිබිඳිමින් හඬන හඬයි. මගේ හදවත ද ඉකිලන හඬ මට ඇසුණූ නමුත් , ඔහු කෙරේ ශෝකයක් නූපදිනු වස් , ඔහු කෙරේ වූ ක්‍රෝධ සිත තව තවත් දැඩිකර ගතිමි.

එහෙවු යක්ෂණියක වූ මා අද විදවන තරම දන්නේ නම්. . . . . . .

අවසන ,මගේ මාමා අකාලයේම මියැදිනි. ඔහුගේ අවසන් මොහොතේ දී ද ඔහුට උවමනා වූයේ මාගේ මේ වෙනසට හේතුව දැන ගැනීමටයි. ඔහුගේ සිත සනසනු වස් එක වචනයක් හෝ දෙඩීමට මා අසමත් වූ සැටි.

ඔහු , ඔහු සතු සියල්ල , මා නමට ලියා පිළිවලක් කර තිබ්බේ නැන්දා ට ප්‍රාණ භූක්තිය සරි කරමිනි. එහෙත් මා සිත තුල ඔහු කෙරේ අබ ඇටයක තරමින් වත් අනුකම්පාවක් ඉපදුනේ නැති හැටි.

ඔහුගේ මුදලින් , ඔහුගේ ශ්‍රමයෙන් , කොටින්ම ඔහුගේ පිහිටෙන් මා දැන් සමාජය පිළිගන්නා තනතුරක් හොබවමි. එක් දිනක්. . . . . . . . මා සොයා කාර්යාලයට පැමිණීයේ , ඔහු හා සම වයසේ යැයි සිතිය හැකි මහතෙකි.ඔහු මා සිත සී සි කඩ කඩා දැම්මේය. බිම හැපී හැපී වැළපෙන්නටත් මාමා සොයා ගොස් සමාව අයදින්නටත් නොහැකිව , මා ගැනම උපන් පිළීකුළෙන් අද මා පසුවන්නේ ඒ අමුත්තා පැමිණි ගිය පසුවයි.

“ මිස් ද අපේ කළු මහත්තයගේ පොඩ්ඩී, ? කළුමහත්තයගේ ගෙදර ගිහින් මං ආවේ. හිතට හරිම කණගාටුයි. .තව කාලයක් ඉන්න තිබ්බ රත්තරන් මනුස්සයෙක් , පේන විදිහට මොකක් හරි හිතේ අමාරුවකින් ඉදල තියෙන්නේ. අකාලයේ මැරෙන්න ඕනි මං වගේ අය ඉන්දැද්දි , ඒ වගේ මිනිස්සු ලෝකෙන් නැති වෙන එක හිතට වේදනාවයි.“ ඇසේ නැඟුන කඳුළු බිදක් පිසලන ගමන් , මදකට කතාව නැතර කළ ඔහු , දීර්ඝ සුසුමක් හෙලා යළිත් කතාවට අවතීර්ණය විය.

“ මගේ වටිනා යමක් , මම කළු මහත්තයට දීල තිබ්බ පරිස්සමි කරන්න, මායි කළු මහත්තයගේ හාමිනේයි ,පොත් අල්මාරිය පුරාම හෙවුව සොයා ගන්න බැරි වුනා. කළු මහත්තය ළඟ ඇති මගේ චිත්‍ර පොතක්, තව . . . . කළු මහත්තය කීව මගේ ජීවිත කතාව ලියනව , කියවල බලල හොඳ නම් පබ්ලිෂ් කරමු කියල. කළූ මහත්තය හොඳ විශ්වාසවන්ත යාළුවා. මං දන්න තරමින් , මගේ චිත්‍ර පොත පෙරලලවත් බලන්නෙ නැතිව ඇති. ඒ පොරොන්දුව පිටයි මම ඒ පොත කළු මහත්තයට දීල ගියේ. ජීවිත කතාවත් ලියල ඉවර බව තමයි කීවේ.කළු මහත්තයට හොඳට  ලියන්න පුලුවන් . . . .  . . හිතේ ආසාවක් තිබ්බ ඒ පොත පළ කරන්න . . . . .

ඔහු තව තවත් දේ දොඩවයි. . . .  මා වටා මුළු ලෝකයම භ්‍රමණය වන්නට විය. යක්ෂ කෙල්ල උඹ නම් මහ නපුරු යක්ෂණියක් . බාබාගයා යකිණිය පවා මා හට සාප කරන හඬ මට ඇසුනි.




ඉතින් . . .  
මම තවමත් සොඳුරු බව ඔබ සිතනවා ද? 
මම 
෴ සොසී෴

I completed my 666 post today
'' Thank You ''


ලැබෙන ඉසිඹුවක , සොඳුරු සිතට ගොඩ වදින , ඔබට මාගේ ස්තූතිය . . . . .

25 ප්‍රතිචාර:

චමත්කාර said...

අන්තිම කොටස එනකන් බලන් හිටියට මෙහෙම අවසානයක් ගැන ලොවෙත් හිතුවෙ නෑ. හරිම අපූරු කතාවක්

ගල්මල්-Coral said...

මේ කතා පෙල තුලින් ඉතා දක්ෂ ලියන්නියක් දුටුවෙමි. පොඩ්ඩීට පොත් ගොඩාක් අරන් දුන් මාමාගෙන් පටන්ගෙන ගොඩනැගූ ලෙන්ගතු මනුස්සයාගේ චරිතය, විත්‍රපොතක් හා කතාපොතක හිරකරේ සූරියකාන්ත වගේ ලොකු මලක් ප්‍රෙස්කරන ගතියක් දනවමින්. වියලී කඩාබිඳ වැටෙන ඒ මල නැවත ගොඩනැගූ අන්දම අතිවිශිෂ්ඨයි.

පිළිකුල වෙනස්ම හැරීමක් ගත්තේය. සුපිරි ලිවිල්ලක් වත් නගේ.

පොස්ට් 666ටත් කඩඉමට ලඟාවීම ගැනත් සුබපැතුම්!

Podi Kumarihami said...

අවසානය මෙහෙම කියලා හිතුවට අවසාන උනේ බලාපොරොත්තු නොවුනු විදියට. හිතේ තියන දේවල් කොච්චර හිත රිදුනත් කතා කරනවනාම් එක අතකට මෙහෙම වෙන්නේ නෑනේද?

තව චරිත අතරින් පතර දාලා ගත්තා නම් දිග නවකතාවකටත් හොඳයි. අපූරු කතාවක් වත්. ඔයා නම් කතන්දර කියන්ට හපනියක්.
පොස්ට් 666ටත් කඩඉමට ලඟාවීම ගැන මගෙනුත් සුබ පැතුම්...
ජයවේවා....:D

Buratheno said...

කියවලා ඉවරවුනාම මට මතක් වුනා මේ හා සමාන කෙටි කතාවක්, හරියටම මතක නෑ, මෝපසාන්ගේ වෙන්න ඕන.. ඔයාගෙ ලිවීමෙ හැකියාව නං හැමදාමත් කියනවා වගේ සුපිරි..

666 පෝස්ට් එක නේද.. නපුරු ඉලක්කම සොසි.. :)

mali said...

හරිම ලස්සනයි අක්කෙ හිතපු නැති විදිහෙ අවසානයක්...පොස්ට් 666 න් 500 කට වඩා කියවන්න ඇති......තව තවත් ලියන්න......සුබ පැතුම්.....

සාතන් said...

උඹනම් අක්කෙ මාර විදිහට තමයි කතා ඉවර කරන්නෙ.... අද තමයි කොටස් ටික ඔක්කොම කියෙව්වෙ...

ගෙවල් ඇතුලටම වෙලා ඔහොම හිටියහම යක්කු වෙනව... පේන්නෙ නැද්ද මම...

Niroshan said...

සොසිට ලියා දන්වන වග නම්,

කථාව මරුය රසය අගනේය. අනේ අම්මපා මෙහෙමත් ගැනු කියාද සිතුනේය. සිතුනු තව බොහෝදේ මෙහි ලිවිය නොහැකිය, ඒ පොදු යහපත උදෙසාය. සොසි කීවිට මට මතක් වෙන්නේ සිසිය. සිසි මා කුඩා කල අප ගෙදරදොර වැඩපල වලට සහය වූ අයය. මා දැන් සිසි ගැන ලියනවා වාගේය, ඒ නිසා දැනට නවතිනවාය.

Hiruni said...

Very nice storey Wath... and an unexpected end. Keep writing :)

arunishapiro said...

ගලා ආ ආකරයෙන් උපදන ලද කුතුහලය පිනා යවන අවසානය ඉස්තරම්!

MaRLaN said...

මම නම් ඉතින විචාර දෙන්න දන්නෙ නෑ... මොනා උනත් ලස්සන කතාව....

Anithkona said...

කථාව ඉස්පාසුවක් ඇතිව කියවන්න ලැබුනේ අදයි. ලියවුනු විදිහ නම් උපරිමයි. කොතරම් අපි අනුන් ගැන වැරදි වැටහීම් ඇති කර ගන්නවාද මතුපිටින් පෙනෙන දේ විතරක්ම බලලා... හීතන්නට යමක් තියෙනවා

හපා said...

ලියපු විදිටනම් පට්ට.... හුඟක් ආසාවෙන් කියෙව්වා....

Podi Kumarihami said...

ඔයා තාමත් සොඳුරුයි සොසී......!!!!!!

ඒක කලින් කියන්ට බැරි උනානේ......:D

සිතුවිලි නිහඬයි said...

ලස්සනට අවසන් කරලා තියනවා...අලුත් කතාවකුත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා....

neetha said...

ඔයාගේ පෝස්ට් 666ට මගෙනුත් සුබ පැතුම්!!!!!

ඔයාගේ රචනා ශෛලිය නම් හරිම අපූරුයි, තවත් ලස්සන නිර්මාණයක් ඉක්මනට දෙන්න හොඳේ.

නිම්ශා said...

මරු...එත් හිත නම් සොදුරු නැහැ..මට නම් මාමා ගැන මහා දුකක් හිතුනා..ඔයා ගැන මහා කෙන්තියක් ආවේ..ඔයාට තිබ්බානේ එ ගැන අහන්න... මෙක ඇත්ත කතාවක් නම් ආයේ යම් දෙයක් කරන්න කලින් හිතන්න..අහලා දැනගන්න ..හිතේ මිම්මෙන් දෙයක් කරන්න ගියාම නොදන්න මනුස්සෙක් පිච්චෙන්න ඉඩ තියෙනවා..

- නිල් අහස - said...

තව තව රසවත් හරබර ලිපි ලියන්න වාසනාව ලැබේවා.
මමත් හිතනවා වත්...කතා ලියන්න හරිම දක්ෂයි කියලා.

සුභ පැතුම්..........

හංසි said...

ලස්සනයි කතාව. හැමදාමත් කතා කියවලා නම් යනවා හොරෙන්ම. අදනම් එහෙම යන්න බෑ කියලා හිතුනා. හිතට දැනෙන නිර්මාණයක්.

නචියා said...

අද තමයි මේ පැත්තට එන්න ලැබුනේ. එක දිගටම කියවගෙන ගියා. ලස්සන කතාව අක්කා. ඇත්තටම ඒ කතාවට ඔයා සම්බන්දයිද..

666 ක් ලියලා නේ. සුභ පැතුම් අක්කා. දිගටම ලියන්න.
ජය වේවා...!!!!!

Gimhani said...

අද තමයි ඉතුරු ටික කියෙව්වේ. නොසිතපු අවසානයක්.
අපේ ජීවිත වලත් මේ වගේ දෙවල් වෙනවා. ලස්සනට කතා කරලා විසදගන්න තියන ප්‍රශ්න හිතේ සගවා ගන්න ගියාම අන්තිමට මුලුජීවිතේම විදවනවා.

කිඩෝ said...

මාර අවසානයක්....

ඔජායෙ.... said...

එක දිගට කතා 6 ම බැලුව අක්කා .... කියන්න වචන නෑ.....ගොලු උනා....නියම කතාවක්........

තාරක Dilsh@n said...

අද තමයි කොටස් 6ම කියෙව්වේ...
මේ කතාවෙ අවසානය, අවසානයක්ම තමා!

ගලයා said...

කියවගෙන කියවගෙන ගියා කොටස් ඔක්කොම...නියම සුපිරිම ක්තාව...ඔක්කොම කොමෙන්‍ටුවක් දානවා....මම සුපිරිලියුම්කාරියක් දැක්කා ඔයා තුලින්..මම ඔයාගේ ඔක්කොම(මුලුblog එකම) කියවනවා.මම අයේ කියනවා සුබ පැතුම්...ගජමන් නෝනාගෙ පරම්පරාවේ ඔයාට....මම ගජමන් නෝනා කිව්වේ රුහුනු පුරේ මගෙ ආදරණීය පලාතේ නිසයි...

Anonymous said...

niyamai. aiyo oyage blog 1ta aebbahai vela padam karannwat venne ne :-(

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...