..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, July 26, 2011

෴ පිළිකුල 5 කොටස ෴

                                           තෙවන දිගහැරුම

ජනේලයක් වත් නොඅරින ඒ අඳුරු කාමරයේ පොත් අල්මාරියෙන් මා පොත් සොයා ගන්නේ දොර පියන් දෙකට සාදා ඇති කාමරයේ දොරේ, එක පලුවක් පමණක්  ඇරී ඇති දොර අතරින් වැටෙන මද ආලෝකය උපකාරී කර ගෙනයි. විදුලි බල්බය වත් නොදල්වන්නේ මෙහි ඇති ගුප්ත ස්වරූපයට මා ආසා කරන නිසා වන්නට ඇත. ආරම්භයේ  දී මෙය ඉතාම අපහසු කර්තව්‍යයක් වුව ද ටික දිනක් ගත වීමෙන් පසුව හිතේ මිම්මෙන් පොත් තෝරා ගන්නටත් , කළින් තෝරා ගත් පොත් නිසි තැන තබන්නටත් මම හුරුවීමි.

විශාල ලී පොත් අල්මාරිය , නැදුන් හෝ කළුවර ලීයෙන් සාදා , කළුපැහැය ගල්වා තිබී යැයි මට සිතේ , බිම සිට අඩි දෙකක් පමණ ලීයෙන්ම වැසුන කුඩා දොර දෙකේ ලාච්චු දෙකක් වූ අතර , විවෘත කළ නොහැකි ලෙස අඟුළු දමා තිබුනි. ඉන් පසුව තිබුනේ වීදුරු යොදා පියන් දෙකට සාදන ලද දොරවල් සහිත පොත් රාක්කයයි. රාක්ක කිහිපයක් පැවතිය අතර මා සැමවිටම කියවීමට ගත්තේ මගේ ඇස් මානයේ වූ රාක්කයේ පොත් පමණි.


ඉන් ඉහල රාක්ක වල තිබූ පොත් කෙරේ මගේ අවධානය මෙතෙක් යොමු නොවූයේ , තවමත් කියවිය හැකි රසබර පොත් ඇස් මට්ටමේ විරල නොවූ හෙයිනි. නමුත් , එදින මේ පාළු නිවස යකුන් නටන සොහොන් පිට්ටනියක් මෙන් පාළුවට ගොස් තිබුනේ , මාමාත් නැන්දාත් මොකක් හෝ වැදගත් රාජකාරියකට නිවසින් පිට ගොස් තිබු නිසාය. මගේ තනියට කිසිවකු හෝ නවතා යමු යැයි මාමා යෝජනා කළ විට දී ,

“ ඒ යක්ෂ කෙල්ලට , මේ පළාතේ යක්කුත් බයයි “ යැයි නැන්දා පවසනු මගේ සවනට වැටුනි.එහෙයින් නිවසේ වුයේ කුමාරියක් මෙන් ලස්සන , යක්ෂණියක් මෙන් නපුරු මම පමණි.

ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගතයුතු යැයි මගේ යක්ෂ මොළයට වහා සිහිවිය. මාමාගේ ලියන මේසයට යා කර තිබූ පුරාණ ලී පුටුව , පොත් කැබිනට් එක සමීපයට ගත් මා එයට නැග්ගෙමි. පොත් රාක්කයේ ඉහලම තට්ටුවට ළඟා වූයෙමි. මාමා කඩවසම් උස මහත දේහයක් ඇති පුද්ගලයෙකි. ඔහු මෙන් උස යෑමේ ආසාව ද මා කුඩා කළ සිට ම‘සිත පුරා පැවති එක් සිහිනයක් විය.

“ කෙල්ලො උස ගියහම මඟල් හොයන්න අමාරුයි. පුලුවන් තරම් මිටි වුනාට කාරී නැහැ. මා උස ගැන වද වීමේ දී නැන්දා බොහෝ විට පැවසූ හැටි ක්ෂණයෙන් මගේ මතකයට විත් ගියේය.
පොත් අල්මාරියේ ඉහලම රාක්කයේ වූයේ ඉතාම සීමිත පොත් ප්‍රමාණයකි. පොත් රාක්කය උස වූ හෙයින් , කාමරයේ ඇර තිබූ එක් දොර පලුවකින් පමණක් පෙරී එන ආලෝකයෙ පොත් තුල වූ දේ පැහැදිලිව දැකීමට ප්‍රමාණවත් නොවීය.

නැඟී සිටි පුටුවෙන් බට මා කාමරයේ විදුලි ආලෝක ස්විචය සොයා එය දැල්වූයෙමි. “ අපෝ කාමරයක හැටි “ ප්‍රථම වරට ඒ අඳුරු ගුහාවේ සිරි අසිරි විද විද සිටිමට මට වේලාවක් නොවූයේ , පිටතට ගිය වුන් කොයි මොහොතක හෝ පැමිණිය හැකි නිසාය.

නැවතත් පොත් අල්මාරියේ ඉහලම රාක්කයට මා උස් වූයෙමි. අතින් ලියූ කවි පොත් රැසක් ඒ රාක්කය මත විය. සටහන් පොත් දෙක තුනක් ද , විචාරයන් වැනි වූ පොත් දෙකක්  ද , විශාල කොළ සහිත බදින ලද චිත්‍ර පොතක් ද ඒ තුල තිබුනි.

එක් සටහන් පොතක් තුල වූයේ අත් අකුරින් ලියන ලද නවකතාවකි. එය ගෙන කිහිලිගන්නා ගත් මා අනිත් අතින් චිත්‍ර පොත පෙරලන්නට වූයේ සිරුරේ සමබරතාවය රැක ගැනීමට ද වෙර ගන්නා ගමන්ය.

“ අපොයි දෙයියනේ , මෙහෙමත් ච්ත්‍ර “

පිටුවෙන් පිටුව පෙරලන් යද්දී , සිරුර සීතලෙන් ගල් වන්නට විය. ඒ සෑම පිටුවකම පාහේ වූයේ ,අතිශය රූමත් කාන්තාවන්ගේ නිරුවත් පින්තූරයි. ඒ සියල්ලම පාහේ අතින් ඇඳ තිබු අතර , චිත්‍ර කොළයේ කෙලවරක ඉතාම කුඩාවට දිනය සමඟ අත්සනක් යොදා තිබුනි.

ඉතාම ලස්සන කාන්තාවන් කිහිපදෙනෙකු නොව , ඒ ඉතාම ලස්සන එකම කාන්තාවකගේ පින්තූර රැසක් බව දෙවන වරට ද චිත්‍ර පොත නිරීක්ෂණයේ දී මට හඳුනා ගත හැකි විය.


පිටතින් ඇසුනි කටහඩක් නිසා කලබල වූ මා වුන්තැන්ද අමතක ව ගොස් බිම ඇදන් වැටුනේ නොසිතූ ලෙසිනි. පිටත කටහඩ ළං ලංව ඇසේ , බිම ඇනුන දණිස් දෙස බැලීමට වේලාවක් නැත. වේදනාව පසක තබා , දණිපණි ගා නැඟිට ගත් මම , පුටුව ඇද මේසය ලගින් තබා , පොත් අල්මාරියේ ලි දොර තදින් වසා , විදුලි ස්විජය ක්‍රියාවිරහිත කොට කාමරයෙන් එළියට පැන ගත්තෙමි.

“ කළු මහත්තයා , කළුමහත්තයා “

යන්තම් ඇති , ඒ මාමා හෝ නැන්දා නොව , මාමා දැකීමට පැමිණි මාමාගේ යාළුවෙක් හෝ අසල්වැසියෙකි. ඔහු සමඟින් කතා කර ඔහු පිටත් කර යවා , ඔහු නොපෙනී යන තෙක් මා බලා වුන්නේ , අත පය වූ තුවාල වල වේදනාව හිත පුරා විඳිමින් කෙදිරි ගාමින් හැඬිමට අවස්ථාවක් උදාකර ගැනීමටයි.

අහෝ කරුමෙක මහත , මා ගෙතුලට යන්නට සූදානම් වුවා පමණි. යළිත් කටහඬවල් කිහිපයක් දුර සිට ළං ළංව මා ලුහු බැද එන හඬ ඇසී මා හැරී බැලිමි.

මීට මොහොතකට පෙර ආ ආගන්තුකයා සමඟින් නිවස දෙසට පැමිණෙන්නේ මාමා සහ නැන්දාය. තුවාල ඇදුම් දෙන වේදනාව පරයා මා සිතට වේදනා දැනෙන්නට වූයේ , මා කිහිලි ගන්නා ගෙන සිටි පොත , මා ඇද වැටීමේදි කාමරයේ බිම වැටුන බැව් සිහිවීමෙනි.

ඉතින් , මහා පිළිකුල් දායක හැඟුම් රැසක් ම‘සිත ගෙන එන කතාන්දරයක් රහසේ සඟවා ගෙන ඒ පොත , අර අඳුරු කාමරයේ කොහේ හෝ මුල්ලක තිබුනි.
ඒ කතාවත් සමඟින් මී ළඟ කොටසින් ඔබ සොයා එන්නටත් , ලබන කොටසින් මේ පිළිකුල අවසන් කිරීමටත් සිතා, තැවුන රිදුන තුවාල සහ වේදනා දෙන සිත සඟවා ඔබෙන් සමුගන්නා.
මම
෴ සො.සී ෴

10 ප්‍රතිචාර:

ගල්මල්-Coral said...

හරි ලස්සනට කතාවේ මේ කොටස නැවැත් වූවා. අනික් කොටසත් පල කරන තුරු බලා ඉඳිමු.

නිම්ශා said...

ලස්සන කතාව අක්කේ..මේකේ ඉතුරු කොටසත් එනකම් බලන් ඉන්නවා..

ආගන්තුකයා said...

දැන් නම් එන්න එන්නම කතාවේ කුතුහලය වැඩි වේගෙනයි එන්නේ...

මකුළු පැංචි said...

හ්ම්ම්ම්.............හරිම අඳුරු රහසක්...!!!

හසී said...

හ්ම්ම්ම්ම්...........

arunishapiro said...

හෙළි වෙයි ද? කාව ද?!!

Podi Kumarihami said...

කුතුහලය විතරක් නෙමේ පපුවත් 'ඩග්, ඩග්' ගාන සයිස් එකකට ඇවිත් තියෙන්නේ...:)

සිතුවිලි නිහඬයි said...

හ්ම්....ලස්සනයි අක්කා...ඉතිරියත් ඉක්මනට දාන්න

එදිරි said...

කුතුහලය උපරිම කරල නැවැත්තුව නේද?

චමත්කාර said...

කථාව නම් සුපිරියි. ඉතිරි කොටස එනකන් බලන් ඉන්නවෝ...........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...