..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, July 23, 2011

෴ පිළිකුළ ෴

සුතැවීම තරම් මිනිසාට ලැබී ඇති වෙනත් දඬුවමක් නොමැති විත්තිය , පසුතැවීම උරුමකරගත් එකියක ලෙස අද මා අත්දකින සත්‍යයකි. නොපහන් බවත් , නොපනත් කමත් , දැඩි පිළිකුළත් තමා විසින්ම තමා වෙතම එල්ල වෙද්දී , ජීවත් වීම තරම් විදවීමක් ද නැත්තේය.තමා අකැමැතිම , පිළිකුල්දායකම යමක් , තමා සමඟ යන යන තැන රැගෙන යැමට සිදු වීමත්, ශරිරය ඉතාම කුඩාම අංශුව තෙක් විශ්ලේශණය කළද , එම පිළිකුල් සහගත ඉඳුරන් සොයා ගත් නොහැකි විමත් දඬුවම තව තවත් දැඩි කරයි.

මගේ කුඩා කල ගෙවී ගියේ තමුන්ගේ අය අතර නොවූව ද, තමුන්ගේ අයටත් වඩා සුන්දර මිනිසුන් අතර යැයි මා සිතා වුන්නෙමි. කලකදී එම සිහිනය බොඳ වූවද , තවත් කලක දී ඒ සිතුවිල්ල සැබැවක්ම බව පසක් වන විට , මා මටම පිළුකුල් වි හමාර විම කෙතරම් සරදමක් ද?

ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත් වූ පසුව , මා තමන්ගේ අයගෙන් දුරස් වූයෙමි. නමුදු ඒ දුරස් විම , මසිතට රැගෙන ආවේ සතුටුදායි හැඟීමකි.ගමෙන් මෙන්ම ඒ පළාතෙන් ද සමුගත් මා නතර වූයේ ලොකු මාමාගේ නිවසේය.වලව්වක් වන් වූ ඒ සුවිසල් නිවස තුළ පිරී පැවැති මූසල බවට මා ආදරයෙන් බැඳුනෙමි. නිතරම ජනේල වසා දමා ඇති ලොකු මාමාගේ කන්තෝරුකාමරය මා සිත් ගත් කළුවර ගුහාව විය. නැන්දා සුන්දර නිහඬ බිරිඳක් වූව ද, ඇය සොඳුරු මවක් කිරිමට තරම් දෛවය කාරුණික නොවීය. එහි එක් ප්‍රතිපලයක් ලෙස සිදු වූයේ මාමාගේ බාල සහෝදරියගේ වැඩිමහළු දක්ෂ දියණිය වූ මා ගේ පැමිණිමයි.

විශාල වත්තක් මධ්‍යයේ පිහිටි විශාල නිවස , සියළු අතින් මටම ගැලපෙන පරිසරයක් ගෙන හැර පෑවේය. පාසල් නිවාඩුවට සිරියාවෙන් පිරුණ මාගේ සැබැ කුඩා නිවස වෙත ගිය විට මගේ අම්මා නිතර අසන්නේ එකම එක පැනයකි.

“ ආහ් ලොකු ළමයෝ , ඔය ළමය අර මූසල වලව්වේ ඉන්නේ කොහොම ද? “

ඇයට සිනාවකින් සංග්‍රහ කරන මට , ඇගේ වත බදා ඇගේ පිරුණ කම්මුල් සිඹිමට ඇති ආසාව යටපත් කර ගන්නට වෙන්නේ , ඇය වටා නිතරම රොක් වි සිටින , මගේ බාල සහෝදර සහෝදරියන් නිසාය.

ක්‍රමක්‍රමයෙන් මා වැඩිවිය පත්වීමත් සමඟම , පාසල් නිවාඩුවට  බාල සහෝදර සහෝදරටින් වට කර ගෙන සිටින මගේ මවගේ‍ ,නිවස බලා යැමද නවතින්න විය. ලොකු මාමාගේ සිතට එය ගෙන දුන්නේ සතුටකි.ම‘සිතට ගෙන ආවේ සහනයකි.

නැන්දා මා සමඟ මේ වසර ගණනාවටම කතා කළ වචන ගනන පිටු හතලිහේ පොතක ලිවීමට ද මදි තරම්ය. මාමා ද එසේම වුවත් , ඔහු මා සමඟ කතා කළේ වචන වලින් නොවීම විශේෂත්වයකි. 


දිනපතා පාහේම ඔහු රැගෙන එන පත්තර සහ නොයෙක් සඟරා විශාල ආලින්දයේ බිම එළා ගනිමින් මා කියවමි. මාමා ද ඔහුට පමණක් ම අයත් හාන්සි පුටුවේ වාඩි වී පිටු එකින් එක කියවන්නේ අප දෙදෙනාම එක ලොවක දොඩමළු කරවමින් යැයි මට සිතේ.

මේ පුරුද්ද කෙතරම් නම් දුර දිග ගියා ද කිව හොත් , පත්තර සහ සඟරා කෑම මේසයට ගෙන යෑමේ පුරුද්ද ආරම්භ කිරීමට මට සිදු විය.

“ ළමයෝ , කෑම කන වෙලාවට පොත් පත්තර ගේන්න එපා මේසෙට, ආයෙ මම කියන්නෙ නැහැ.“

කැම මේසයේ හිමිකාරිත්වය දරන නැන්දා ගේ වචන ගණන් නොගෙන සිටිය ද, දිනක් රාත්‍රී කැම මේසයේ දී ,මේ කතාව බොහෝ දුර දිග ගියෙන් , එදා රාත්‍රියේ මා නිරාහාරව පසු වූයෙමි. රාත්‍රිය පමණක් නොව , පසු දින උදයේ ද නිරාහාරව සිටියෙමි. එදින රාත්‍රියේ දී කියවන යමක් ඇතැතිව කැම මේසයේ මා යලිදු දැකිය හැකි වු අතර ඉන් පසු කිසිදිනක කිසිවකු වත් මාගේ කෑම ගැන හෝ පොත් කියවීම ගැන වද වූයේ නැති.


යහළු මිතුරු ඇසුර ඉතාම සීමිත වු අතර මා සමඟ පාඩම් කිරිමට හෝ පැමිණෙන කිසිම යෙහෙළියක දිනකට දෙකකට වඩා පැමිණෙන්නෙ නැති වග තේරුම් ගත් මා ඒ ගැන සිතා දුක් නොවූයෙමි.

හවසට හවසට වත්තේ ගහක් ගහක් ගානේ යන ගමනට නම් නැන්දාගේ ඥාති  පුත්‍රයකු වන කල්ප නොවරදවා හවුල් වන්නේ , ඔහුද මේ සමිපයේම ජිවත් වන නිසා ය.


මල් , හිඹුටු , දම් ,ඇඹුල් පේර කොතරම් කැඩූවද හිඟයක් නොවේ. නමුත් කල්පගේ ගමන ද නතර විමට ඒ හැටි කාලයක් ගත නොවූයේ මා ඔහුව තර්ජනය කර බිය කළ නිසාය. තර්ජනය නම් සුළු පටු එකක් නොවන්නට ඇතැයි මට සිතුනේ , ඒ තර්ජනයෙන් පසු ඔහු මාමාගේ නිවස යැම් ඒම් සීමා කළ නිසාය.කලක් නොපැමිණම සිටිය ද , නැන්දාගේ සෙවීම් බැලීම් නිසා විටින් විට ඔහු නැවත යන්න එන්නට වුව ද, ඔහු මා හට හෝ මාමා හට කෙලින් මුහුණ දි කතා කළේ නැත. ඔහුගේ නොපැමිණිමට මුල මාගේ නොහොබිනාකමක් වන්නට හැකි බැව් නැන්දා ,මාමා සමඟ පවසනු මාගේ කණට වැටුණි. නැන්දාට හොඳ කල්පය. මා මුරණ්ඩු අකීකරු කෙල්ලක වූයෙමි.

තර්ජනයට හේතුව වූයේ, දිනක් වත්තේ ගස්ගානේ යමින් සිටි අප දෙදෙනාගේ ක්‍රියාකලාපය වෙනස් කිරිමට ඔහු පියවර ගැනීමයි. එදින ඔහු වෙනස් බැව් මට තේරුම් ගිය ද , හදිසියේම ඔහු මා සිපගැනීමත් සමඟම සියල්ල උඩුයටිකුරු විය.

මාමාට මේ බැව් කියන බවත් , මනමාල පිස්සුව හිසට ගසා ඇත්නම් විවාහයක් කර ගන්නා ලෙසත් , නැවතත් මෙවැනි වැඩ කිරිමට හෝ මා සමඟ ගමන් බිමන් යැමට නොපැමිණෙන ලෙසත් පවසමින් “වලත්තයා“ යැයි මහ හඬින් මා ඔහුට බනින්නට වූයෙමි. ඔහු බිය ගත් අතර ගස් කොළ අතරේ ගී ගයමින් සිටි කුරුළු කොබෙයියන් මගේ හඬට බියපත්ව පලා යන්නට විය. සරම් ඔඩොක්කුවේ බහා තිබුණු දම්, හිඹුටු , සහ නොයෙක් මල් වර්ග රැසක් එතනම බිම හලා පාගා දැමූ ඔහු කිසිවක්ම නෙදොඩා පසු නොබලා දුවන්නට විය.

ඉන්පසු ඔහු නොපැමිණි අතර , නමුදු මා තනිවම දම් පඳුරු ගානේ ගැටීම නතර කලේ නම් නැති, එහෙත් , කුරුළු කොබෙයියන් මා දුටු විට පලා යන බව මට හැගෙන්නට විය, වෙනදා තරම් දම් හිඹුටු ,මල් හට නොගන්නා බව මට පෙනෙන්නට විය. ඔහුගේ පුංචි හාදුව , මහාලොකු වලත්තකමක් ලෙස දැකීම ගැන මා කම්පා වුනෙමි.

කෙසේ වුවත් කතාව ඔහු ගැන නොවේ , .......... මා හට මලකට මෙන් සැලකූ මාමා ගැනය, සුන්දර මිනිසකු ගැනය'.
තවත් කොටසක් සමඟින් ලබන සතියේ හමුවෙමු.

කවුරුත් සොඳුරුයි සිතන නමුත් , සොඳුරු නොවන
මම
෴ සොඳුරු සිත ෴

පිළිකුළ - දෙවෙන කොටසට මෙතනින්

8 ප්‍රතිචාර:

වේලාව ලගයි said...

හොද කතාවක් එදායින් පස්සේ අර ලමයා මුන වත් බලන්නේ නැතුව ඇති නේද? මේකේ ඉතුරු කොටසක් දාන්න මම නම් තවමත් බොලොග් කලාවට අලුත් මේ ලිපිය තමයි කියවපු එකම ලිපිය ඔයාගේ බොලොගයේ එහේනම් මම ආයේ දවසක ඉතුරු ලිපි කියවන්නට එන්නම්

මකුළුවා..... said...

මං හිතන්නේ අක්කා ගත්තු පියවර හොඳයි ඒ කොල්ලා හමුවේ...

බලමු ඊළඟ කොටස කොයි වගේද කියලා

Gimhani said...

හරි සුන්දර කතාවක්.
මේ කියන ආකාරයේ ගෙවල් තියනවා තමා .බොහෝ දුරට ගම්වල.

ඉතින් දැන් දුක්වෙනවද කල්පට බැන්න එකට??

Niroshan said...

දැන්ම කොමෙන්ට් කොරලා පසුතැවෙන්නේ මොකටද? ටෙලිය බලලාම කොමෙන්ට් එකක් දෙන්නම්

ගල්මල්-Coral said...

කාලෙකට පස්සේ මේ පැත්තට ගොඩවුනේ මේ දවස්වල ඇති කාලය පිලිබඳව ප්‍රශ්ණය නිසා. ඒත් කතාවේ අනික් කොටස ගැන බලා ඉන්නවා.

kumaraya said...

meka nam honndha kathaavak veyi vagea ...
api balamuko ...

මධුරංග said...

වෙනස්ම ආරක රචනා ශෛලියක්. මට හිතෙන විදිහට මෙහෙම ලිපියක් කියවපු පලවෙනි අවස්ථාවද කොහෙද.
ලස්සනයි ලිපිය.
නැන්දට දරුවෙක් හිටියේ නැති නම් දුකක්. එයා කොච්චර නම් මානසිකව වැටෙන්න ඇත්ද ? ඒ වගේම කවදහරි ඒ ගේ පාලුවට යයි.

කිඩෝ said...

තවත් මෙගාවක් මරු මරු

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...