..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, July 20, 2011

෴ ප්‍රාර්ථනා ෴


නිල් කඳුකර මැදින් ගලනා දිය සිසිල
නොකලැල් මුව ඇසින් වෑහෙන මෘදු සිසිල
පා නොතැබූ බිමක කුළුදුල් පිනි සිසිල
පැතුවේ ඇයි ද මා නුඹ ගේ සිත සිසිල

බෝ මළුවේ සිසිල පහනින් නොනිමෙන්න
ගං දිය සිසිල සැඩ පහරින් නොසැලෙන්න
තණපත් සිසිල හිරු කිරණින් නොමැකෙන්න
මා හද සිසිල නුඹටම සිසිලක් වෙන්න

ගිනි ගත් සිසිල මෙන් දිවි මඟ නොපෙනෙන්න
යන මඟ දාහ නිම වී සිසිලක් වෙන්න
ගිනිගත් සසර කෙළවරකදි හමුවෙන්න
හද සිසිලසින් නැහැවී සුවපත් වෙන්න

නෙත නැගෙනා කඳුළු කෙළවර සිසිල අරන්
හද පාරන මතකයේ දොර කවුළු ඇරන්
සිසිලක් අරන් සුළඟක් එන අයුරු බලන්
මා නුඹ මතකයෙන් ඈතට දුරස් කරන්


සිසිල සොයා මිරිඟු දියේ

මඟ කෙළවර කොහි ද ප්‍රියේ

සසර කෙළවර ඉම සොයන
මම
෴ සොඳුරු සිත ෴

8 ප්‍රතිචාර:

arunishapiro said...

සිසිල නැති පද තුන ගැන දුක හිතුණ!!!

හිස් අහස said...

පින්තූරෙයි කවියයි බලලා ඉවර වුණාම හිත කූල් වුණා ..

කවි පද ලස්සනයි අක්කන්ඩි ..

මධුරංග said...

ආදරනීය හැඟීමක් තේරුම් ගන්න ඒකටම හරියන හිතක් තියෙන්න ඕනේ. ඒක හැමෝටම බෑ අක්කේ !!!!!!
ලස්සනයි කවි පද ටික. මේ කවි අනිත් ඒවා වලට වඩා වෙනස්. මට මේ ටික කියවගෙන යනකොට පන්සලක ඉන්නවා වගේ පින්බර ගතියක් දැනුනා !!!!

- නිල් අහස - said...

කලකදි පණ වගේ ආදරෙන් ඉදලා, එක් කෙනෙක් ඒ ආදරය, දැන් ඇතියි කියලා හිතලා ..අනිත් කෙනාව දාලා ගියායින් පස්සේ, තව දුරටත් ඒ ආදරේ වෙනුවෙන් දුක්වෙලා වැඩක් නෑ.
මොකද... දාලා ගිය කෙනාට කවදාවත්ම, කලින් වගේ... අනිත් කෙනාට දෙන්න ආදරයක්, නැති හන්දා...වැඩිම උනොත් අනුකම්පාවක් ඇතිවේවි....එච්ච්රයි..

මේකයි..යථාර්තය.

mahima said...

http://harsha814.blogspot.com/2011/07/blog-post.html

akke meka copy karala

Ravi said...

රාගයෙ වියරු ගින්නෙන් නොදැවෙනා සිත,
මෙත් දිය සිසිලසින් සැනහී නිවුනු සඳ,
දාහය නිවන පවනකි ඔබ ගත සිඹින,
සෙනෙහස මෙතෙකයැයි පවසන්නේ කෝම,

එදවස පිදු සෙනෙහස ගඟ නොසිඳේවා!
බෝ පත් සැලෙන ලෙස සිත සුවපත් වේවා!
මතකය බරකි දුරු කරනට හැකිවේවා!
සසරේ ගමන කෙටි වී සිත් සැනසේවා!

රජිත් said...

අක්කේ, මෙන්න කොපි-පේස්ට් බුවෙක්ට ඔයාගේ නිසදැසට හිතගිහින් ඔක්කොම කොපි කරගන ගිහින් (නම ඇරෙන්න)

http://harsha814.blogspot.com/2011/07/blog-post.html

JHOTHISHALANKA said...

ඔයා මේක අරූගෙන් කොපි කරලා ලිව්වා නේද?බොරුනම් බලන්න එයා ලියල තියෙන්නේ ජූලි 18 ,ඔයා ජූලි 20 (විහිළුවක් කලේ අරූ කොපි කරන්න ඕනම හින්ද බ්ලොග් එකේ දිනෙත් කලින් දිනයකට ෆෝමැට් කරලා.තිරිසනෙක්.)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...