..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, July 16, 2011

෴ සක්වල ප්‍රේමය ෴(විද්‍යා ප්‍රබන්ධයකි)

ඔහු තම ළපටි ග්‍රාහක එහා මෙහා කරමින් ,සම වයසේම ළපටියන් සමඟ සෙල්ලමින් පසුවෙන සැටි මා බලන් උන්නෙමි. විටින් විට ඔහු මදෙස බලනා වග මට දැනෙයි. ඒ බව මට නොපෙනෙන්නේ , මට දෑස් ඇති නමුදු ,ඔහුට දෑස් නොමැති බැවිනි. ඔහු ඔහුගේ පියාගේම ස්වරූපය ඉසිලූවත්, මා මෙන් හැඟීම්බර බව ඔහුගේ පියා පවසයි.සීයක් ඇස් වලින් මා දෙස බලන ඔහුත් , ඔහුගේ පියාත් හැර මට මේ ලොව කිසිත් නොමැත. මා ඉපදුන ලොව ද ,අද මා සලකන්නේ තම උපන් ලෝකයටම ද්‍රෝහි වූ ගැහැණියක ලෙසින් බැව් මා දනිමි.

මා දැන් සිටිනා අඩවියට මගේ ලෝකය නොපෙනේ, එයට හේතුව පෘථිවියට කෙදිනකවත් සඳේ අඳුරු කලාපය නොපෙනීමයි.සඳට පෙම්බදින මිනිසුන් සිටි , නමුත් දැන් සඳට මා නිසාම වෛර කරන මිනිසුන් සිටින පෘථිවිය , මා උපන් ලොවයි. බොහෝම දුර ඈත අතීතයේ , ආදරය නිසාම තම නිජබිමට ද්‍රොහි වූ කුවේණියගේ රට , මා උපන් රටයි.

පුතු ගේ සිහින් සංගීත රාවයක් වැනි සිනහව අතරින් , මා සිත මින් වසර හතකට පමණ පෙර අතීතයට දිව ගියේය.


“ බීෆ් බීෆ් බීෆ් බීෆ් . . . . . . . . . . . “

“ සඳ යාන ගමන ට තව විනාඩි තිහයි. ඔබගේ ආසනය ඔබව බලාපොරොත්තු වෙයි. තවත් මඟීන් ද බලාපොරොත්තුව සිටින බැවින්, විනාඩි දහයක් තුලදී නොපැමිණේ නම් , සඳ යානයේ නුඹේ ආසනය අන්සතු වනු ඇත. සුබ දවසක් “

ගමනට ලක ලෑස්ති වී සිටිය ද, මා සිත දෙගිඩියාවෙන් සැලෙයි. පෘථිවියේ කිසිවකුටත් , විවාහ නොවී තනිකඩව සිටිය නොහැකි විය. ඒය තීත්‍යානුකූල නොවූ අතර , නිතරම පාහේ ඒ සදහාම යොදවා තිබූ සෝදිසි කණ්ඩායම් , තම නිරීක්ෂණ වල පසුවිය.. කෙසේ හෝ නීතියේ රැහැනින් බේරී අවිවාහකව සිටින අයකු අසූ වුව හොත් , ඔහු ට හෝ ඇයට  තෝරාගැනීමට ඇත්තේ තේරීම් දෙකකි.පළමු තේරීම විෂම හෝ සම ලිංගිකයෙකු සමඟ විවාහ වීමයි. (දරුවන් සෑදීමේ ගැටළු පැන නොනගින බැවින් සමලිංගික විවාහ ද අවසර ලත් නීත්‍යාණුකූල විවාහ බවට පත්ව තිබුනි) .දෙවන තේරීම වූයේ පෘථිවියේ අපාය යැයි සැලකූ ප්‍රදේශයේ පතලක , ජීවිතාන්තය දක්වා කම්කරුවකු ලෙස සේවය කිරීමට සිදු වීමයි.පතලට ගිය කිසිවකු , කිසිදිනක නැවත දැකීමට නොහැකි විය.අනියම් සම්බන්ධකම් වලට ලැබුන දඩුවමට තේරීම් නොවූ අතර , එකම දඬුවම වූයේ පතලේ කම්කරු වකු වීම පමණි.

අවිවාහකව නිදහසේ සිටීමේ නිදහස නැති වූ මාගේ ,නීත්‍යානුකූල ස්වාමියා
රෝහිත යි . ඔහු රැකියාව කරන්නේ , පෘථිවියේ මිනිසුන්ගෙන් ජනාවාස වූ සඳ මඩලේය.වෙනදා පුර පෝයට පමණක් දිලෙන පුර සඳේ චන්ද්‍ර මණ්ඩලයට අළුතින්ම පැහැයන් කිහිපයක්ම එක් කිරීමට ද සඳ මංඩල බලධාරීන් විසින් පියවර ගෙන තිබුනේ , අලංකාරය වැඩි කිරීමට බැව් පවසමිනි.

රෝහිත පෘථිවියේ ජීවත් වීමට කැමැති නැත. ඔහුගේ ස්ථිර නවාතැන ද සඳේ ඉදිවී ඇත. එය , ඔහු සඳ ජයගැනීම වෙනුවෙන් කළ මෙහෙයට ලැබුන සම්මානයකි. දරුවකු සාදන කාලය ද එළඹ ඇතැයි ඔහු සිතන බැවින් , මගේ සඳ ගමන මේ අවස්ථාවේ දී අතිශය තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබුනි.

සඳ යානයේ , නියමිත අසුනේ අසුන් ගත් මා හට තව දුරටත් සිතුවිලි වල සරන්නට ඉඩක් නුවූයේ , මා අසලම අසුන් ගෙන සිටි අපූරු යුවලගේ කටකාර බිරිඳගේ සංවාදයට  මට ද හවුල් වීමට සිදු වූ බැවිනි.

“ ඔයා තනියම “

“ ඔවු “ මගේ පිළිතුර ඉතාම කෙටි විය.

“ රස්සාවකටද යන්නේ “

“ රස්සාවක් කරන්නත් එක්ක තමයි “

“ ආහ් ඒ කියන්නේ , ඔයා එනකම් කවුරු හරි එහෙ බලන් ඉන්නව ද ? “

“ ඔවු මගෙ මහත්තයා ඉන්නවා “

“ අනේ ස්වීට්. මේ ඉන්නෙ මගේ මහත්තයා. අපි දැන් සතුටින්ම ඉන්න කාලේ නිසා , දරුවෙක් හදන්න තීරණය කරා. ඒකට අපි මේ හඳට යන ගමන් “

“ මගෙ මහත්තයා වැඩ කරන්නේ එතන “

“ අනේ හැබෑ ද , සංතෝශයි දැන ගත්ත එක. වේටින් ලිස්ට් එක දිග ද දන්නෙ නැහැ “

“ ඔවු.... මේ දවස් වල පෘථිවියේ මිනිස්සු ,ගොඩක් දෙනා සතුටින් ඉන්න නිසා , ගොඩක් දෙනා දරුවන් හදන්න බාර දීලා කීවා තියෙන්නෙ “


“ අනේ . .  අපිටත් ගොඩක් කල් ඉන්න වෙයි ද දන්නෙ නැහැ “

“ දරුවෙක් වෙනුවෙන් ඉස්සර මිනිස්සු ඔයිට වඩා දුක් ඉහිලුවා. “ ඇය වෙත රුදුරු බැල්මක් හෙලන ගමන් මම පැවසුවෙමි.

පිළිකුල් සහගතව මා දෙස බැලූ ඇය ඉන්පසු එකඳු වදනකින් හෝ මා සමඟ දොඩමළු වීමට නොපැමිණිම ,මා සිතට ගෙන දුන්නේ විශාල සහනයකි.

ඔවු.මගේ සැමියා රැකියාව කළේ , සඳ මංඩලයේ දරුසම්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන ජෛව විද්‍යා ඉංජිනේරුවරයා ලෙසිනි. දරු සම්පත් නොමැති අයට සහනයක් සැලසීමේ මුවාවෙන් ඇරඹී මෙය , අද දින පැමිණ ඇති දුර සුළුපුටු නොවේ.

මෙකල වන විට විවාහයේ පරම සැපත දරු සම්පත නොවීය. සංසර්ගය අවශ්‍ය වූයේ ගතේ සිතේ සතුටට මිස ,දරුවන් ලැබීමට නොවේ. විවාහක යුවලක් සතුටින්ම සිටින කාලයේ දී , ඔවුන්ගේ ඩිම්බයක් සහ  ශුකානු කිහිපයක් සඳ මඩලේ දරු සම්පත් මධ්‍යස්ථානයට ලබා දීමෙන් පමණක්ම ඔවුන් දෙමාපියන් බවට පත් වීමට පළමු අඩුතාලම වැටෙයි.ඉන් පසු දරු සම්පත් මධ්‍යස්ථානයේ දිනෙන් දින වැඩෙන යුක්තාණුව , කළලයක් බවට පත්වී මනුෂ්‍ය ළදරුවෙකු වෙනු තම දෑසීන්ම නැඹීමේ හැකියාව ද මධ්‍යස්ථානය වෙතින් නොමිලේම සපයයි.


විවිධාකාර ප්‍රවේනික රෝග, ආබාධ සහ පිළිකාමය තත්ත්වයන් කළළ අවදියේ දීම හඳුනා ගැනීමට පරීක්ෂණ රැසක් සිදු කරන අතර , එහිදී අසුවන රෝගී කළළ ලක්ෂ ගණන් විනාශ කෙරේ. එයට මුල දී බොහෝ සංගම් තම විරෝධය පල කර ද , රෝගි ජනයා වෙනුවෙන් යෙදීමට සිදුවන පිරිවැය කපා හරින බැවූ නීති ගත කිරීමෙන්ම , එම සංගම් සියල්ල ට මුනිවත රකින්නට සිදු විය.

මගේ සැමියා පවසන පරිදි , රෝගි දරුවකු බිහි වීමට වඩා විනාශ කිරීම යුක්තිසහගත දැහැමි ක්‍රියාවකි.

මා දන්නා එක් යුවලක් ලබා දුන් ඩිම්බ සහ ශ්‍රක්‍රාණු වලින් රෝපිත වූ සෑම කළලයකම හදුනා ගත නොහැකි රෝගි තත්ත්වයේ පසු වූ කළලයන් විය. නැවත නැවතත් රෝපණය කළ ද ප්‍රතිඵලය එයම වූයෙන්, අවසාන යේ ඔවුනට සිදු වූයේ දික්කසාද විමටයි. දරුවන් නොමැති ජෝඩු පැවතිය නොහැකි විය. ඔහුට හා ඇයට වෙනත් සහකරුවන් සොයා දෙන ලදී. නමුදු ඔවුන් දෙදෙනා දැඩි ආදරයෙන් පසුවූ යෙන් වෙන් වීමට අකැමැති වූවෝ වුහ. දෙදෙනාට වෙනත් විකල්පයන් නොමැති වූ අතර සඳේ අඳුර කලාපයට ඔවුන් දෙදෙනා පැන යන ලදී.

දරු සම්පත් මධ්‍යස්ථානයෙන් සිදු කරන සෑම නාල ගත සංසේචනකයමට ගෙවීම් කිරීමට සිදු වන අතර , පළමු සංසේචනයට රක්ෂණ ආවරණයෙන් පහසුකම් සපයයි. දෙවෙනි හා තෙවන සංසේචනයන්ට ගෙවීම් කිරීම වැඩි අතර , ඉන් පසුව සිදුවන සෑම සංසේචන වාරයකටම ගෙවීම් දෙගුණ වේ. උපරිම සංසේචන වාර ගණණ පහකි. ඉන් එහා කිසිදු සංසේචනයක් ඒ දෙපලගෙන් බාර නොගන්නා අතර , දික්කසාදයත් , සහකරුවන් සොයා දීමත් අනුග්‍රාත්මක ලෙස සිදුවේ.

සඳ මඩලේ යානය ගැටුන සියුම් කම්පනයෙන් සහ සිත මෘදු කරන ආලෝකයෙන් , මා සඳ මඩලට පැමිණි ඇති බව පසක් විය.

සඳ මඩලට පා තැබූ
මම
෴ සොඳුරු සිත ෴

පලි/ සදොස් ඇතොත් පෙන්වා දෙන්නේ නම් අතිශය කෘතඤ වෙමි.

14 comments:

  1. දොසක් කියලා නම් දෙයක් මට පෙනුනේ නෑ. අක්කට ලස්සනට විද්‍යා ප්‍රබන්ධත් ලියන්න පුලුවන් නේ. නියමයි

    ReplyDelete
  2. ග්‍රේට්... ගලාගෙන යන ගතිය අඩු උනත්.. අළුත් දෙයක් නිසා ග්‍රේට්....

    ReplyDelete
  3. ගුණ අගුණ කියන්න තාම කල් වැඩියි. එකක් කියන්නම්, සිහින මවන්නෝ ලොව වෙනස් කරන්නෝය.

    ReplyDelete
  4. කොච්චර වෙලා ගියාද හදට යන්න. අපේ කොල්ලන්ටනම් විනාඩි 5ක් ඇති මම හිතන්නේ.

    ReplyDelete
  5. ඇත්තටම අනාගතය වෙනස් කරන්න විද්‍යා ප්‍රබන්ධකයන් ඉදිරිපත් කරපු ඇතැම් සංකල්ප වැදගත් වෙලා තියෙනවා. ලස්සන කතාව. ජය වේවා!

    ReplyDelete
  6. හුම් අවුලක් නෑ ඉතුරු ටිකත් දාන්නකෝ ඔක්කොම කියවලම කමෙන්ට් කරන්න

    ReplyDelete
  7. මේ වගේ ග්‍රහලෝක සක්වල ජිවින් ගැන කතාවල මොන අඩුපාඩුද? කතා සීයක් කියෙව්වත් මටනං මදි. තව ලියන්නකො මේ වගේ කතා.
    __________________________

    සොදුරු අක්කා.
    නැවතීමේ තිතයි කොමාවයි වගේ ඒවා තියද්දි ස්පේස් තියන්නෙ නැ නේද‍‍?

    ReplyDelete
  8. හ්ම් ඒක අමුතුම තාලේ කතාවක් වේවි . බලමු ලවු ස්ටෝරි 2050ෆිල්ම් එක වගේ වේවිද කියලා..

    සදොස් නැත !

    ReplyDelete
  9. අමුතුයි.. ඒත් නියමයි XD

    ReplyDelete
  10. ඉස්සෙල්ල ලියපු විදියට වඩා වෙනසක් දැනෙනව.....ඒත් මේ තේමාව හොඳයි....දිගටම ලියන්න.......

    ReplyDelete
  11. කතාව නම් අපූරුයි වත් අක්කේ...

    කතාවේ අන්තර්ගතයේ එන ඇතැම් දේ ගැන මගේ අදහස් නම් ඔයාගේ අදහස් වලට හාත්පසින් ම වෙනස්....

    පොඩි උදාහරණයක් දෙන්නම්කො...
    අපි අද ජීවත්වන ලෝකයේ ජනගහණය බිලියන 7 ක් විතර වෙනවා.. ඒ වගේම අපි ජීවත් වෙන්නේ ස්වභාවික සම්පත් සීඝ්‍රෙයන් අඩු වී ගෙන යන යුගයක... එහෙම තත්වයක් යටතේ ගත්තහම අනාගතයේදි ජනගහණ පාලනයක් මිසක් වර්ධනයක් සිදුවන ආකාරයේ දැඩී තීන්දු තීරණවලට ලෝකයේ ආණ්ඩු එළඹෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ...
    ඔබේ කතාවේ එන පුද්ගලයන්ට විවාහ නොවී ඉන්නටත් එසේම දරුවන් නොහදා සිටින්නට ඉඩ නොදීමත් එවැනි දැඩි තීන්දු දෙකක්....
    මං හිතන්නේ අනාගත ආණ්ඩු පුද්ගලයන් විවාහ නොවී, දරුවන් නොහදා සිටිනවා නම් වඩා කැමති වේවි...

    ඔයා හිතන විදියෙ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා... අනාගතයේදි කිසියම් දරුණු විනාශයක් සිද්ධවෙලා (උදා. උල්කා ගැටුමක් නිසා) මිනිස් වර්ගයා වඳ වී යන තත්වයකට පත් වුණොත් නම් අනිවාර්යෙන්ම ඔවැනි තීරණ ක්‍රියාත්මක වීම වළක්වන්නට බැහැ...

    කෙසේ වෙතත් ඒ මගේ අදහස පමණයි...

    ඔබට සුබපැතුම් !!!

    ReplyDelete
  12. අමුතුම අදහසක්! හැබැයි මටනම් ටිකක් විකාරයි වගේ.....

    ReplyDelete
  13. විද්යා ප්‍රබන්ධ වලට පිවිසුමක්, ඉතාමත් කැමතියි!!!

    සදොස්: පොඩ්ඩක් ඉස්පිලි පාපිලි, කොමා සහ නැවතීම් සහ අක්ෂර වින්‍යාස ගැන විපරම් වීම කියවන්නාට පහසුයි. හැබැයි සඳ මඬලේ ඕවා ගැටළු නොවෙන්නැති!!!

    ඊ ළඟ ප්‍රබන්ධයකින් ස‍ඳේ අඳුරු කලාපයේ ඉන්න අය ගැන තව වැඩියෙන් කියාවි ද?

    ReplyDelete
  14. ඔක්කොම බැලුවම ගුණාගුණ කියන්නම්.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...