..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, July 8, 2011

෴ නොගැලපෙන ජෝඩුව හෙවත් Love and Marriage෴


“ඒකත් හරි “

සියල්ල උනා දමා අවසානයේ , ඇය දුහිල් රාත්‍රී ඇඳුමකින් සැරසුනාය.දීර්ඝ සුසුමක් හෙළු ඇය , ඔහු දෙස නෙත් විදහා බලා සිටින්නට විය. ඇගේ කාන්තිමත් සෘජු දෙනෙත් අද්දර, ඔහුගේ දෙනෙත පරාජය වුව ද, ඔහු ඇය වෙත සිහින් සිනාවක් පෑවේ දෙනෙත් පහසේ  සෘජු ගතිය පළවා හැරීමට මෙනි.

ඇය ද සිනා සුන අතර , ඔහුට තවත් ළං වන්නී , සෘජු නෙත් සරය ඔහුගේ ආත්මයමය විනිවිද යවමින් නොවේදැයි සිතුන වහා , ඔහු කලබල විය.

“ අපිට දැන් මොකද වෙන්නේ “

ඇය ඇසුවේ , ඔහු කිසිවිටකවත් නොසිතූ පැනයකි.

“ ඔයාගේ අම්ම මට කීවා “

“ මොනා ද “

“ ඔයා ඉන්නේ කළකිරීමෙන් කියලා , කලින් ගෑණු ළමයා ගැන ......“

“ ඔවු . . . එයාට තවම ආදරෙයි මං “

“ ම් ම් ම් . . . කමක් නැහැ , “

ඒ වචනත් සමඟින් ඔහු පුදුමයෙන් යුතුව ඇගේ වත දෙස බැලුවේය.

“ ඇයි , කමක් නැහැ කියන්නේ , ඔයා දැන් මගෙ වයිෆ් “

“ ඉතින් වෙන මොනව කියන්න ද? මාත් ඔයාට ආදරය නැහැනේ “

“ ආහ් “

“ ඔවු . . . විවාහයයි , ආදරයයි පටල ගන්නේ නොමේරු මිනිස්සු “

“ එතකොට විවාහයට ආදරය වැදගත් නැද්ද “

“ අපොයි ඇයි නැත්තේ, ඒත් නැති දෙයක් බලෙන් ලබා ගන්න බැහැ. “

“ ඉතින් , විවාහයට මොනා ද එහෙනම් වැදගත් “

“ අවබෝධය , තේරුම් ගැනීම , කොටින්ම අපි දෙන්න දැන් දන්නව අපි දෙන්න දෙන්නෙක් කියලා. ආදරය කරල මේ විවාහය වුනා නම් , අපි ඉන්නේ මහා ලොකු රැවටීමක. මොකද අපි හිතනවා අපි දෙන්නම එක්කෙනෙක් කියලා “

“ අපි දෙන්න එක්කෙනෙක් නොවී , විවාහය පවතින එකක් නැහැ . ටික දවසක් ඉඳල දික්කසාද වුනත් , මගෙන් ප්‍රශ්ණයක් නැහැ“

“ විවාහයෙන් පැනල යන්න හදන්න එපා. අපි දරුවන් හදල සතෝසෙන් ඉමු.එකිනෙකා ගැන බලාගමු.වගකීමක් ඇතිව හැසිරෙමු. මේ කිසි දේකට ආදරය ඕනි නැහැ. ඕනි හඳුනා ගැනීම විතරයි. කුඩුම්භයක ගුලි වුනාම කාගේත් පාළුව මැකෙනවා.ඕනවට වඩා දේවල් විවාහයෙන් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඔන්න අද ඉඳල , මමයි ඉස්සෙල්ලම බාත් රූම් එක පාචිච්චි කරන්නේ “

ඔහුගේ වතට එඹී පැවසූ ඔහුගේ සුන්දර අලුත් මනාලිය , නාන කාමරය වෙත පිය මනිනු දුටු ඔහුට , ඇය ගැන සිතේ ඇති වූ හැඟීම තේරුම් ගැනීමට ලොකු මහත්වූ දරුවන් සිටින අද දිනයේ ද නොහැකි වී ඇත.

එහෙත් එක් දෙයක් සක්සුදක් සේ පැහැදිලිය.

ඔහු ඇයට ආලය නොකරයි. නමුත් තිව නොහැකි සොඳුරු හැඟීම් රැසකින් ඇයව ඔහු වෙත බැඳ තබා ගැනීමට හැකි වීම විවාහ දිවියේ අන් ආදර බර සැමියන් නොලදනමුත් ඔහු ලද වාසනාවක් බව අදද ඔහු මෙනෛහි කරන්නේ සතුටිනි.

ආදරයත් , විවාහයත් එකිනෙක මත නොයැපෙන නොගැලපෙන මාර්ගයන් බව අදටත් ඔහු විශ්වාස කරයි.

I have never heard about any perfect marriage. They say perfect marriages are made in heaven. Nobody comes back from there so maybe it is true, but what kind of marriage will those perfect marriages be? There will be no tension, there will be no individuality in the man or in the woman. They will never collide, they will never fight. They will be too sweet to each other. And too much sweetness brings diabetes! (Osho)

20 ප්‍රතිචාර:

ප්‍රාර්ථනා said...

ආදරයක් ඇත්ත ආදරයක් වෙන්න ඒ ආදරේ විවාහයකින් කෙලවර වෙන්නම ඕනේ නෑ වගේම.
විවාහයක් සාර්ථක විවාහයක් වෙන්න ඒ අඹු සැමි යුවල ආදරේ කරන්නම ඕනේ කියලා නම් කියන්න බෑ.
ඒත් දෙන්නෙක් එකට ඉන්නකොට ඒ දෙන්නා අතර ගොඩනැගෙනවා අවබෝධයක් එකිනෙකා ගැන.
ඒ වගේම ගෞරවයක් ඇති වෙනවා. ඉතින් ඒ තුලින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ඒ දෙන්නට පුළුවන්, එතන මූලික වෙන්නේ ආදරේම නෙවෙයි, නෙද වත් අක්කේ ?
ඇත්තම කථාව කියලා තියෙනවා..අඹු සැමියෝ වෙන හැම කෙනෙක්ම ආදරේ කරලා කසාද බැඳපු අය නෙවෙයි. ඒත් එහෙම ආදරේ නොකර කසාද බැන්ඳත් සතුටින්, අවබෝධයෙන් ඉන්න අඹු සැමියෝ කොයි තරම් නම් ඉන්නවද?

මකුළු පැංචි said...

හ්ම්ම්...හරිම අර්ථවත්..කෙටියෙන් කියවුණු දිග කතාවක්..මෙහෙම අවබෝධයෙන් ඇතිවන පවුලක් තමයි සදාකාලිකවම ස්ථීර පදනමක් මත පිහිටන්නෙ... මොන තරම් ආදරය කරලා විවහ වුනත් විස්වාසය ,අවබෝධය හීන වීමෙන් ගෙදරක ආදරේ පස්ස දොරෙන් පැනලා යනවා වගේම...මේ වගේ සොඳුරු බැඳීමක් ඇති තැනකට ආදරය බලෙන්ම වගේ කඩා වැදෙනවා......

nihal gurusinghe said...

මට මතක් උනා කපුගේ සහ නන්දා මාලිනි ගයන " බිරිඳ මගේ නුඹ " ගීය.
ආදරය කරල බඳින අයත් ඉන්නව.. ඒ වගේම බැඳලත් ආදරය කරන්න පුළුවන්. කොහොම කළත් සිද්ද වෙන්නෙ එකම දේ නිසා ඕනවට වඩා හිතන්න නරකයි.

Dinesh said...

කෙටියෙන් උනත් ගොඩාක් ලොකු දෙයක් කිය උන කතාවක්.. ඇත්තටම ආදරය හා විවාහය කියන්නේ නොගැලපෙන ජෝඩුවක්ද??

Observer said...

ආදරේ කරලා බැන්ද අපි දෙන්නත් ටිකක් වයසට යනකොට එහෙම තේරුං ගත්ත දෙයක් තමා, අන්යෝන්‍ය අවභෝධය ඉතාමත් වැදගත් කියල.

Gimhani said...

ඇතමුන්ට විවාහයේදී අවශ්‍ය වන්නේ කැමත්ත පමනයි.
ආදරයක් අවශ්‍ය වන්නේ නෑ. නමුත් සාර්තක පවුල් ජීවිත
ගත කරනවා. ඒත් සමහරුන්ට ආදරේ නැතුව විවාහ වන්ට බැහැ. ආදරේ කරල විවාහ උනත් සාර්තක ජීවිත ගත කරන්නේ නැහැ.

සාතන් said...

වැඩි විස්තර නැතුව කියන්න තියෙන්නෙ නියමෙටම නියමයි කියල තමයි...

Bindi said...

එච්චචරම රළු විදිහට ජිවිතේ ගෙනියන්න මට නම් අමාරුයි . ඇයි වදේ බොරුවට හරි කියන්න ඕන නැද්ද ..ඉස්සර කොච්චර කෙල්ලෝ හිටියත් ඔයා ඒ හැමෝටම වඩා හොඳයි කියල . එතකොට තමයි රසට උයල කන්න දෙන්න වුනත් හිතෙන්නේ . විවාහෙට ආදරය ඕන . අවබෝදයත් ඕන . නිකන්ම ගනුදෙනුවක් වුනොත් හරිම නීරසයි. වැඩිය නොහිතා අනිත් මනුස්සයාගේ හොඳ දේවලට ආදරය කරන්න .මගේ පුද්ගලික මතය ගනුදෙනුවක් වුනත් පොඩ්ඩක් ආදරයක් එක කරන්න .

StArry aNgeL said...

ආදරය, විවාහය... මේවා තේරුමක් නැති වචන ගොඩක් කියලයි මට හිතෙන්නේ. ආදරය කියන්නේ වේදනාවක්. බලහත්කාරයෙන් වේදනාව ලගා කර ගැනීමක්. ඇත්තම කියනවා නම් දැන දැනම අමාරුවේ වැටීමක්. විවාහය කියන්නේ තේරුමක් නැති වගකීම් ගොඩක් ජීවිතේට පටලවා ගන්න එක. මේ දේවල් වලින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොනවද කියල නම් මට තේරෙන්නේ නෑ.

බබා... said...

මොනවා වුනත් ආදරය සහ විවාහය යනු අකුරු 4 ක් ඇති වචන දෙකක් සහ ය අකුරින් අවසන් වන නිසාද සමානත්වයක් ඇති වචන 2ක් ලෙස බැලූ බැල්මට පෙනුනත් බොහෝමයක් වෙනස් අර්ථ ඇති මනාව පිලිබිඹුවන ලෙස විග්‍රහ කලහැකි වචන 2කි...

මධුරංග said...

මට නම් කියන්න තියෙන්නේ පරණ ආදර කතාව අමතක කරන්න බැරි නම් නොබැඳ ඉන්න තිබ්බා. මේකෙන් වෙන්නේ බැදපු කෙල්ලගෙයි මේ කොල්ලගෙයි ජීවිත දෙකම විනාශ වෙලා යන එකයි.

මම පිලිගන්නවා. කලින් තිබ්බ ආදරයක් එකපාරටම අමතක කරන්න බෑ කියලා. එත් අමාරුවෙන් හරි එක කරන්න ඕනා. ඒක බැරි නම් ඇයි බැන්දේ ???

ඔන්න අක්කේ මට හිතිච්ච දේවල් අමු අමුවේ කොටලා දැම්මා. මට ඔයත් එක්ක තරහවක් නෑ. අර කොල්ලා ගැනයි තරහා !!!!! :)

ප.ලි. - කවි නැද්ද කියලා ඇහුවම නෑ කිව්වා. දැන් කතාවක් ලියලා. හරි නේ. කවිනේ නැත්තේ. කතා නෑ කියලා කිව්වේ නෑනේ. :)

ඔජායෙ.... said...

තාමත් සොයනවා.....
පැහැදිලි අරුතක්......
ආදරය කියන.....
අකුරු හතරට....

පැබ්ස් said...

ම්ම්ම්ම්ම්.........වෙනස් අදහසක්. වගේම ලස්සන නිර්මානයක්

deeps said...

Arash ගේ broken angel ව මතක් වුනා

හිස් අහස said...

අනේ අක්කේ බරපතල පෝස්ට් එකක් ! ..මම කෝමද අදහසක් දෙන්නේ ?

Ravi said...

/ ඇය ගැන සිතේ ඇති වූ හැඟීම තේරුම් ගැනීමට ලොකු මහත්වූ දරුවන් සිටින අද දිනයේ ද නොහැකි වී ඇත. /

/ එහෙත් එක් දෙයක් සක්සුදක් සේ පැහැදිලිය. /

/ ඔහු ඇයට ආලය නොකරයි. නමුත් තිව නොහැකි සොඳුරු හැඟීම් රැසකින් ඇයව ඔහු වෙත බැඳ තබා ගැනීමට හැකි වීම විවාහ දිවියේ අන් ආදර බර සැමියන් නොලදනමුත් ඔහු ලද වාසනාවක් බව අදද ඔහු මෙනෛහි කරන්නේ සතුටිනි /

ඉතින් මේ කියන්නෙ ආදරය වෙන්න බැරිද?. කොහොමද ස්ථිරවම කියන්නෙ මේ ආදරය නෙවෙයි කියල? එහෙම ස්ථිරවම කියන්ට මොනවද තියෙන සාධක?

දැන් ඔන්න මේ දවස්වල හැමෝම කතා වෙන උදාහරණයක්ම ගත්තොත් අපිට හාල් සාම්පලයක් නැත්නම් පොහොර සාම්පලයක් දීල කිව්වොත් මේකෙ ආසනික් තියනවද ඒ කුමන ප්‍රතිශතයෙන්ද කියල නිගමනය කරන්න කියල කිසිම ප්‍රශ්නයක් නෑ කාටත් එකඟ වෙන්න පුලුවන් තීරණයකට අපිට එන්න පුලුවන්. මොකද ආසනික් කියන්නෙ මොනවද? ඒවයෙ ගති ගුණ සංයුතිය ගැන ස්ථිර අදහසක් අපි තුල තිබෙන නිසා.

ආදරය ගැන කොහොමද එහෙම තීරණයකට එන්නෙ? ආදරය කියනදේ ගැන කවුරුත් කිසිම දවසක හරියට නිර්වචනයක් කරල නැහැ මේ වෙනකල්. කවුරුත් හරියට ඒ ගැන පැහැදිලි කරලත් නෑ. මම හිතන්නෙ නෑ කිසිම දවසක මනුෂ්‍ය සංහතිය පවතින තාක් කල් කිසිම කෙනෙකුට එහෙම කරන්න පුලුවන් වෙයි කියලත්.

එකිනෙකා කෙරෙහි ගෞරවය, ලැදියාව, බැඳීම......මේ ඔක්කොම අඩු නැතුව තියනව නම් ඒ ආදරය වෙන්න බැරිද? ආදරයක් වෙන්න වෙන මොනවද මෙතන අඩු?

ආදරයට ස්ථිර නිර්වචනයක් නැහැ කියල මමම කලින් කියාපු නිසා මම පිළිගන්නව ආදරය ගැන මගේ අදහසට තව කෙනෙකුගෙ අදහස හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්. ඒක එහෙම වෙන්නම එපාය.....ඒකම තමයි ආදරයේ චමත්කාරය.....

ඒත් මට කියන්න තියෙන්නෙ මගේ අදහස අනුව නම මෙතන තියෙන්නෙ ආදරය තමයි. වෙන කිසිම දෙයක් නෙවෙයි.....

Love would always be whatever you wish it to be. There's no definite characteristics you can pinpoint. It would take the shape of your feelings, your hopes and most importantly...........what you expect from life itself......

Helping To People said...

sithata bayak denena awastawak

Angel without wings said...

කිව නොහැකි සොඳුරු හැගුම් ගෙන දෙන ගැහැණිය ගැන ඔහුගේ සිතේ ඇති වෙන සතුට ආදරේ නෙවෙයි කියල කියන්නෙ කොහොමද අක්කා..????

Sanu said...

"ඉතින් , විවාහයට මොනා ද එහෙනම් වැදගත්"

"අවබෝදය , තේරුම් ගැනීම , .............................................................. ?

නචියා said...

නොකීවට ඒ ආදරම තමයි මම හිතන්නෙ....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...