..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, July 25, 2011

෴ පිළිකුල 4෴

මෙසේ ගෙවී ගිය මගේ ජීවිතය එක් දිනක් හිමිදිරියේ දී හදිසියේ ම වාගේ වෙනස් විය. මුඵු වලව්වම එකළු කරමින් සාර සොබාවට පිපි පින්න මලේ සුවඳ මුළු ගමම සුවඳවත් කරන්නට විය. එදින මගේ තාත්තාත් අම්මාත් බාල සහෝදර සහෝදරියන් සියළු දෙනාමත් වලව්වට කැදවන් එන ලදී. මගේ දුප්පත් තාත්තා වෙත මා වෙත ලබා දිමට කිසිත් නොමැති නිසාදෝ ඔහුමා දෙස බැලුවේ, අන්සතු උයනක පිපී දිලෙන රුවති මලක් දෙස බලනු නියාවෙනි.

ඔහු මට දුන් පැහැයත් , ඔහුගේ මුරණ්ඩු සහ සෘජු ගතිගුණත් අන් සැම මට දුන් රන් රිදී ආභාරණ තෑගී බෝග වලට වඩා වටිනා බව මම ඔහුට කෙසේ පවසන්න ද? කොටින්ම , මා සහ මාමා අතර පවතින සමීපබව මා සහ පියා අතර නොතිබුනි. සැබෑවටම මම මගේම පවුලේ උදවියට ආගන්තුක එකියක වූයෙමි.

අදටත් මා දෙකනේ දිලෙන්නේ , මාමා එදින මට පැලැන්ද වූ තරු අරුංගල් ජෝඩුවයි.ගෙල බැඳි මාලයත් ඔහු එදින මට ලබා දුන්න ද, එය අද මා සතු නොවන්නේ ඔහු හා බැඳි පිළිකුළ නිසාවෙන් මා එවා ගලවා විසිකල නිසාවෙනි. වාසනාවට හෝ අවාසනාවට කණ්පැළඳි තරු අරුංගල් එදින අමතක වූ නිසාවෙන් අද ඔහු සිහිවීමට එය මා සතු වී පවතී.

හම පැහැ වැටී ළමැද උස් වී , උකුල පළල් වී වෙනදා නොමැති ලතාවක් මා සිරුර අරක් ගත් දී , කල්පට මා සිප ගැනීමට සිතීම අරුමයක් නොවන්නට ඇත. නමුදු මා පෙර ලිපියක සඳහන් කළ පරිදි මගේ ඝෝෂාවට බිය වූ ඔහු වෙනදා මෙන් මා හා දොඩමළු නොවෙයි. මුහුණ බලා කතා නොකරයි. මා කුඩා කල සිටම මට සිටි එකම මිතුරා ද මට අහිමි විය.

ශරීරයෙන් පමණක් නොව සිතුම් පැතුම් වලින් ද මා බලා සිටිද්දීම වෙනස් වන බැව් මටම දැනෙන්නට වූයේ මේ අවදියේ දීය. වෙනදා නැන්දා කෑගසා ළඟට ගෙන හිස පීරනකම් හිස නොපීරන මම , දවසට දෙතුන් වර හිස පීරා හැඩ බලන්නට වූයෙමි. නැන්දා මාගේ කොණ්ඩය පීරන හැටි මගේ සිත් නොගත්තේය.කණ්ණාඩියේ පෙනෙන මාගේ අපූරු රූපය වසිලිස්සාටත් වඩා ලස්සන නොවේදැයි මට සිතුනි.

සුරංගනා කතා පොත් වලින් නොදැනිම වෙන් වූ මා , මාමා නැති අල්ලපනල්ලේ  , ඔහුගේ අඳුරු කුටියට රිංගා ලෝකයේ රහස් සෙවීමට වෙහෙසුනෙමි. ඔහුගේ අගනා ලී පොත් අල්මාරිය කිසිදු විටක අඟුලු නොදමා තිබුන ද, එහි පොත් තිබූ පිළිවල නොවෙනස්ව පවත්වා ගැනිමට මා වෙහෙසුනෙමි. ඔහුට හොරා ඔහුගේ පොත් අල්මාරියට අත පෙවීමට මා වෙහෙසුනේ ඇයි දැයි මට නොතේරේ. මේ කතාවට පිළිකුළ යැයි නම් තැබීමට හේතුව ද එයම වන්නට ඇත. මා මාමාගෙන් අසා , ඔහු සතු පොත් කියවිමට ගියේ නම්, මට ලැබෙන්නේ ඔහු කැමැති පොත මිස , මා කැමැති පොත් නොවන වග මම ඇදහූ නිසා , මෙසේ හොරාට පොත් කියවීම ආරම්භ වන්නට ඇත.


එතකුදු නොව, ඉරු බසින සැන්දෑයාමයක , වත්ත පහළ නිස්කලංක මායිමේ දි ,අහඹු හා හදිසි ලෙස කල්ප මා සිප ගැනීමත් සමඟම , මා සිතට දැනුන නොතේරෙන හැඟුමන් සමඟ මගෙන් වසන්වී පවතින රහස් රැසක් සෙවීමට මා තෝරාගත්තේ වැඩිහිටි ලෝකයා කියවන පොත පතයි.

ගුරු ගීතයෙන් ඇරඹි ඒ ගමන නිමා වූයේ මේ කතාවට මඟ කීවූ පිළිකුලෙනි.ගුරු ගීතය කියවා අල්තිනායි හා වෛරයෙන් බැඳුනෙමි. මළ ගිය ඇත්තෝ කියවා දෙවොන්දරා සං සමඟ උරණ වුනෙමි. එහෙත්. . . .  පොත් අතර වූ චරිත තුල ට සීමා වූ වෛරය , එයින් පිට පැන , ගෙදරම වුන් සදාදරණිය චරිතයක් වෙත එල්ල වේයැයි මා සිහිනයෙන් වත් නොසිතූ වෙමි.

ලොවහි රහස් සෙවීමට ගොස් නිවස තුල සිටින සදාදරණියන්ගේ රහස් එලිවන බැව් මා දැන සිටියා නම් , අඳුරු රහස් පිරි ඒ පොත් ගුලට මා කිසිදිනක නොයන්නෙමි.

ලොවෙන් වසන් වී , ලොවෙහි රහස් සොයන
මම
෴ සොඳුරු සිත෴

10 ප්‍රතිචාර:

Podi Kumarihami said...

හපොයි ඔන්න දැන් නම් කතාව කොහාටද යන්නේ කියලා දැනෙන්ට පටන් ගත්තා...:)

කිඩෝ said...

ඔක්කෝම කියවලා කමෙන්ට් කරන්නං

Observer said...

මේ ටිකේ මේ පැත්තෙ එන්න බැරි වුනානේ, අනිත් කොටස් ටිකත් කියෝලම කොමෙන්ට් කරන්නම්

ඔබ්සර්වර්

හසී said...

ම්ම්ම්... මොකෝ වෙන්න යන්නේ?

ගල්මල්-Coral said...

/ඔහු මට දුන් පැහැයත් , ඔහුගේ මුරණ්ඩු සහ සෘජු ගතිගුණත් අන් සැම මට දුන් රන් රිදී ආභාරණ තෑගී බෝග වලට වඩා වටිනා බව මම ඔහුට කෙසේ පවසන්න ද?.../

ගොඩාක් සංවේදී කියමනක්. තවත් හරබර කොටසක්

Niroshan said...

හ්ම..ඉතිරි කොටස නං තේරෙනව වගේ..බලමුකෝ කොකා මොකාටද එන්නේ කියලා..

සිතුවිලි නිහඬයි said...

ඉක්මනට ඉතිරියත් දාන්න අක්කා...

hansakinkini said...

ඇයි අක්කෙ... ඇට මැස්ස කියවල ජෙම්ම ගැන ඇති වෙච්ච වෛරය???
මට නං කවමදාවත් අමතක වෙන්නෙ නෑ....

රොෂාන් said...

ඉතිරි කොටස් තුත් ඉක්මණට දාන්න බලන්න.අක්කා ලියන රටාව නම් හරිම ලස්සනයි.

- නිල් අහස - said...

පහුගිය ටිකේ මේ පැත්තේ එන්න උනේ නෑ.

ඒ සේරටම හරි යන්න අද කමෙනට් එකක් දාන්නම්කෝ.
ආසාවෙන් සේරම ටික කියෙව්වා.
වෙනදා වගේම රසවත් දෙයක් බලාපොරොත්තුවෙනවා...වත්.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...