..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, July 24, 2011

෴ පිළිකුළ 2 ෴



පිළිකුල - පළමු කොටසට මෙතනින් ...

මාමා සහ නැන්දා සමඟ මහා පාළු වලව්වේ ගෙවෙන ජීවීතය , පිටත මිනිසුන්ට පෙනෙන තරම් නීරස දෙයක් නොවීය. මා හට අවශ්‍ය සියළුම සැප සම්පත් ඒ වලව්ව තුල ඕනෑවටත් වඩා පැවැතීම මා සිත සතුටින් පුරවා ලන්නට සමත් විය. බාල සහෝදර සහෝදරියන්ගේ රණ්ඩු සරුවල් වලින් මිදී නිසංසලේ ගෙවෙන ජීවිතයට මා ඇළුම් කළෙමි.

මුළුතැන් ගෙයි වැඩපල වලට මා සහභාගී කර ගැනීමට නැන්දාට අවශ්‍ය වුව ද ,මාමා එය රිස්සුවේ නැත.

“ මැණිකේ , මම ඔය පොඩි එකීව ඇන්න ආවේ කුස්සියෙ වැඩපල කරව ගන්න නෙමෙයි ,ඒක මතක තියා ගත්තොත් හොඳයි “

දිනක් මා මුළුතැන් ගෙයි පොල් ගාමින් සිටිය දී එහි පැමිණි මාමා පැවසීය. පොල් ගැමට මා අකැමැති නමුදු , මුළුතැන් ගෙයි වැඩට සහය විමට කිසිදු අකමැත්තක් නැත්තෙමි. මගේ මව පවසන්නේ , යන තැනකට ණය නොවී කන බොන ලෙසයි.

“ පොඩ්ඩි , ඕව ඔහොම තියල මෙන්න මෙහේ එනෝ “
නැන්දාගේ මුහුණේ කිසිදු හැඟීමක් නැත. ම ඇය දෙසත් මාමා දෙසත් බලා පොල් බැය එතනම තබා නැගිට ආවෙමි. එදිනට පසුව යලිදු කිසි දිනක මා මුළුතැන් ගෙය දෙසට නොගියෙමි.නමුදු ඒ වෙනුවට මා ආසාවෙන්ම තෝරාගත් විකල්පයක් විය. එනම් ගෙය සහ මිදුල අස්පස් කර අතුගෑමයි. එය මට විනෝදය ගෙන දෙන්නක් විය.මහ විශාල වලව්වේ ඇතැම් කාමර නම් අතුගාන්නට දෙයක් නැති තරම් නිසා , ඒවා අතුගාන්නේ සතියකට හෝ දෙකකට සැරයකි.නමුත් මිදුල අතුගෑම නම් සිතට ගෙන එන්නේ සතුටකි. මල්ගස් , පලතුරු ගස් පීරමින් , කොළෙන් කොළේට අතුගෑමට සෑහෙන වේලාවක් ගත වෙයි.ඒ අතර තුර ඉන්නා සමණළයන්, කුරුල්ලන්, ලේනුන් ,කුරුමිණියන් එකිනෙකා වෙන්කර හඳුනා ගැනීමට තරම් හැකියාවක් ටික දිනක දීම හැකිවිය.

නමුත්, ඒ අතුගෑම ටද තිති තබන්නට සිදු වූයේ සිතුවාට වඩා කාලයක් ඒ සඳහා වෙන්වන නිසාය.

“ පොඩ්ඩී, මුළු මිදුලම අතුගාන්න ඕනි නැහැ. ඉස්සරහ එන පාර ටික විතරක් අතුගාහන් ,ඒ මදෑ “

මාමා , මගේ අතුගෑමට සීමා පැනවූයේ එලෙසිනි.

මා මෙහි පැමිණි ටික දිනකට පසුව මාමා මා එක්කාසු කරාන ගියේ මා කවරදාකවත් දැක නැති තරමේ පොත් ගොඩක් තිබූ සාප්පුවකටය. නානාප්‍රකාර පොත් අතර මගේ විශ්මය දවනව දෙනෙත් දුවන අතරේ , ඒ විස්මය තවත් වැඩි වුනේ මාමා පැවසූ දෙයිනි.

“ පොඩ්ඩී , කැමැති පොත් තෝර ගන්න “

ඇස් ගෙඩි දෙක , දොඹ ගෙඩි තරම් වී නලලත් වැසී යද්දී මාමා කළේ සිනාසෙමින් මගේ පිටට තට්ටු කිරීමයි.එදා මා තෝරා ගත් පොත් සියල්ල රැගෙන දීමට තරම් මාමා කාරුණික විය. එතරම් පොත් ගොඩක් රැගෙන බිල ගෙවිමට යාමේදී මා මාමා ගේ මුහුණ දෙස සීරුවෙන් බලා සිටියෙමි. එහි මද සිනාවක් මිසක , කිසිදු විටක කරදරකාරී හැඟීමක සේයාවක් වත් නොවීය.

පොත් ගෙදර ගෙනා පසු , ඒ එකින් එක ඔහු පෙරළා බලා ඉතා සතුටට පත්විය.

“ ආහ් පොඩ්ඩියේ , මල් හතයි නෙව තෝරන් තියන පොත් ටික “ ඔහු ඉතා සතුටින් එසේ පැවසීම මගේ හදතුල බුර බුරා නැඟි කම්පාව සංසිඳවීය.

එදින සිට දින කිහිපයක් යන තෙක් මිදුල අතුගෑම , හවසට මල් කැඩීම වැනි මගේ දෛනික රාජකාරි ඇණ හිටිය බව නම් නොකියාම බැරිය. පළමු වටය කියවා අහවර වූ වහා මම යලිත් පරණ පුරුදු රාජකාරී වලට අවතීරණ වුව ද දෙවෙනි හා තෙවන වටය ට ද කියවීම නොකඩවා කරගෙන ගියෙමි.

නමුත් නැන්දා දිනක් නොසිතූ ලෙස පරළ විය.

ඇය ඇඳුම් මැසීමට ඉතා හපනියක වූවාය. නිතර නිතර පාහේ නොයෙකුත් මාදිලියේ ඇඳුම් මැසීම ඇගේ විනෝදාංශය විය. ඇයගේ මෝස්තර නිරූපිකාව වූයේ මාය.එය මට වාසියක් මිසක කිසිදු විටක අවාසියක් නොවූයේ , ඇය මසන ඇඳුම් නිතරම නිරූපිකාව වූ මා හටම උරුම වීමයි.

“ පොඩ්ඩී , පොඩ්ඩී , පොඩ්ඩියේ මෙහෙ වර කෙල්ලේ “

දිනක් නැන්දා කෑගසු මට ඇසුනේ ආලින්දයේ බිම දිඟාවී වසිලිස්සා කියවමින් සිටින අතර තුරේය. මාමා , හාන්සි පුටුවේ දිගෑදී පත්තරය කියවමින් සිටියේය , මා ඔහුගේ පය පාමුල බිම ට වී වසිලිස්සා කියවූයෙමි.

ඇගේ ස්වරයේ වූ භයානක ගතිය ඉවෙන් මෙන් හඳුනා ගත් මාත් මාමාත් එකිනෙකාගේ මුහුණ බැලූවේ , වරද කරේ කවුරුන්ද යන්නට හඳුනා ගැනීමට මෙනි.

දෙවන වරටත් උච්ච ස්වරයෙන් හඬ තලන නැන්දා කෙරේ මා දිව ගියෙමි.

“ එනව නැන්දා , මේ එනවා “

මා ඇගේ කාමරය වෙත යද්දී ඇය සිටියේ මහන මැෂිමේ පුටුවේ වාඩී විය. ඇගේ ඉහලට එසවුන දෑතට මැදී වී තිබුනේ මාමා ඇයට අලුතින්ම ගෙනැවිත් දී තිබුන ලා නිල් පසුබිමේ පුංචි තද නිල්  මල් වැටුන චීත්ත රෙද්දයි. ඇය එම චීත්තය වමතින් හා දකුණතින් දෙපසට ඇද ඉහලට ඔසවා ගෙන සිටි අතර රෙද්දේ මැද හරියේ වු විශාල හිඩැසක් අතරින් තරහින් පිරී රතු වී ගිය ඇගේ සුදු මුහුණ මම දුටිමි.

විශාල පරාසයක් කපා දැමූ චීත්තය තුලින් පෙනෙන ,
නැන්දාගේ සුදු  මුහුණ දෙස ,බලා සිටින .......








මම
෴ සොඳුරු සිත ෴

මෙන්න තුන්වන කොටසට යන්න පාර

6 comments:

  1. අමුතුම මාදිලියේ කතාවක්. ලස්සනයි. බලාගන ඉන්නේ මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
  2. හරීම ආසාවෙන් කියෙව්වා. මේ පිටුව මුණ ගැහුනේ තරමක් පමා වෙලා කියවන්න කතා බොහෝමයි. ස්තූතියි මේ ලියවිල්ලට.

    ReplyDelete
  3. මේකත් අක්කා ලියන සීරිස් එකක් ද ? හොදා හොදා.

    ප.ලි. - ඔන්න ඔයැයි ලියපු ෴ ප්‍රාර්ථනා ෴ පෝස්ට් එක එකෙක් කොපි කරලා.

    ReplyDelete
  4. දිගින් දිගට කියවන්න හරිම ආස හිතෙන කතාවක්.
    ආසාවෙන් කියවනවා.

    ReplyDelete
  5. ආ මේ ලා නිල් පසුබිමේ පුංචි තද නිල් මල් වැටුනු මැද වැවක් තියෙන චිත්තයක්නේ.

    ReplyDelete
  6. කතාවේ ගැලීම හොඳයි, මේ කොටස නැවැත්වපු හැටි අලංකාරයි.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...